සැප්තැම්බර් 21 වනදා අපි දිනනවා ස්ථීරයි ... !

• ශක්තිමත් ආර්ථිකයක් ඇති දියුණු රටක් දරුවන්ට උරුම කර දෙමු.

• රට බංකොළොත් කරන සජිත්ගේ හා අනුරගේ ප්‍රතිපත්ති  පරාජය කරමු.

• රට දිනවන වැඩපිළිවෙළ සමඟ ඉදිරියටම යමු - ජනපති  මැද කොළඹ අවසන් විජයග්‍රාහී ජන රැලිය අමතමින් අවධාරණය කරයි.

සැප්තැම්බර් 21 වනදා තම ජයග්‍රහණය ස්ථීර බව ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුදෙනා එක් කර ගනිමින් ශක්තිමත් ආර්ථිකයක් ඇති දියුණු රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ ඒ සමඟ ක්‍රියාවට නංවන බව ප්‍රකාශ කළේය.

දේශපාලනය පසෙක දමා 2022 වසරේදී සියලුදෙනා එක් කර ගනිමින් තමා ඉදිරියට පැමිණියේ රට වෙනුවෙන් බව පැවසු ජනාධිපතවරයා එම සියලුදෙනා සමඟ එක්ව මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් දියුණු රටක් ගොඩනඟාදීමේ වගකීම ද  නියත ලෙසම ඉටු කරන බව  අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (18) පස්වරුවේ මැද කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් දීප ව්‍යාප්තව පැවති ජන රැලි මාලාවේ අවසන් ජන රැලිය මෙය වු අතර ජනාධිපතිවරයාගේ විජයග්‍රහණය තහවුරු කරමින් මැද කොළඹ අතිවිශාල ජනතාවක් ඊට එක්ව සිටියහ.

එම ජනතාව විසින් ජන රැලියට එක් වූ ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගනු ලැබීය.

ජන රැලිය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ තමා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නැවත රට බංකොළොත් නොවන ආකාරයේ  ආර්ථිකයක් ගොඩනැගීමේ ජන වරම බවයි.

සජිත්ගේ හා අනුරගේ රට බංකොළොත් කරන ප්‍රතිපත්ති සැප්තැම්බර් 21 වනදා මේ රටේ ජනතාව එක්ව පරාජය කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා රටට ආදරය කරන සියලුදෙනා එක් කර ගනිමින් රට දිනවන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවද අවධාරණය කළේය.

මෙම ජන රැලියට එක්වීමට පෙර කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වුණු අධිෂ්ඨාන පහන් පූජාව සඳහා ද සහභාගී වූ ජනාධිපතිවරයා අශිර්වාද ලබා ගත්තේය.

එළැඹෙන ජනාධිපතිවරණ විජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කරමින් තරුණ වෘත්තීයවේදීන් විසින් මෙම අධිෂ්ඨාන පහන් පූජාව සංවිධානය කර තිබිණි.

ජන රැලිය ඇමතූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

රටක්,රාජ්‍යයක් තිබෙන, නමුත් නායකයෙක් නැති තත්ත්වයක් 2022 වසරේදී ශ්‍රී ලංකාවට උදා වුණා. ඒ අවස්ථාවේදී විපක්ෂයේ කණ්ඩායම්  රට භාර ගත්තේ නැහැ. ඒ අවස්ථාවේදී අත්දැකීම් තිබෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එම අභියෝගය භාර ගත්තා. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතර මනාපය ලබාගෙන ජනාධිපතිධූරය ලබා ගත්තා. ඒ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු ජනාධිපතිවරණ සටනට එන්නේ නැතුව ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළා.

සජිත් ප්‍රේමදාස කියන්නේ සියළු අභියෝග හමුවේ පලා ගිය නායකයෙක් . අනුර දිසානායකට පාර්ලිමේන්තුවේ මනාප තුනයි හිමිවුණේ. ඔය මනාප තුනෙන් තමයි අනුර දිසානායක රට පාලනය කරනවා කියන්නේ. එතුමා කොහොමද නීතියක් සම්මත කරගන්නේ? සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංග තුනක් ගෙනාවා. ඒ විශ්වාසභංග තුනම පරාජයට පත්වුණා. ජනාධිපතිවරයා ජනතාවගේ දුක් ගිනි නිවීමට කටයුතු කරද්දී  සජිත් ප්‍රේමදාසයි අනුර දිසානායකයි කළේ කකුලෙන් ඇදීම පමණයි.  ඔවුන් පසුගිය වසර දෙකම කටයුතු කළේ ජනාධිපතිවරණය සඳහායි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසුගිය වසර දෙකම කටයුතු කළේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහායි. පසුගිය වසර දෙක තුළ මෙම නායකයන් සිදු කළ කාර්යයන් සොයා බලා මෙවර ඡන්දය ලබා දෙන්න කියා මා ඉල්ලා සිටිනවා. ඒ වගේම නොවැටෙන ආර්ථිකයක් සකස් කළ හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බවත් අවධාරණය කරනවා. එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැද කොළඹ ජනතාව රොද බැදිනු ඇතැයි මා විශ්වාස කරනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා,

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් තිස් නව දෙනෙකු ඉදිරිපත් වී සිටිනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට මීට අවුරුදු දෙකකට පෙර රට භාර දීමට නායකයකු සෙවූ අවස්ථාවේදී තිස් ගණනක් තියා එක් නායකයෙක්වත් ඒ සඳහා  ඉදිරිපත් වුණේ නැහැ. එදාඅභියෝගය හමුවේ පළා ගිය නායකයින්ට මේ රට බාර දෙනවාද නැද්ද කියා 21 වැනිදා අපේ ජනතාව තීන්දු කරයි.  

එදා අභියෝගය හමුවේ රට භාරගෙන රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ තිබුණු පෝලිම් යුගය නැති කළා. මාස හයක් ඇතුළත ආහාර ,ඉන්ධන, ගෑස්, හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කළා. ඒ වගේම ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනසක් ඇති කළා. ආර්ථික පරිවර්තන නීතිය ගෙනැවිත් නව ආර්ථික කළමණාකරණ වැඩසටහන් ආරම්භ කළා. අද මෙරට ආර්ථිකය ස්ථාවරත්වයකට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වී තිබෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට සහයෝගය පළ කළා. ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය විශ්වාසය ජාත්‍යන්තරයට ලබාදීමට  ජනාධිපතිවරයා මේ වන විටත් කටයුතු කර තිබෙනවා. එම විශ්වාසය තවදුරටත් ඉදිරියට ගෙන යනවාද නැද්ද කියන කාරණය මෙවර මැතිවරණයේදී තීරණය වෙනවා.

ණය ලබාගෙන තිබෙන සෑම රටක් සමඟම ගිවිසුම අත්සන් කිරීමට අප කටයුතු කර තිබෙනවා. මැතිවරණ වේදිකාවල ජාත්‍යන්තර ගිවිසුම් වෙනස් කරනවා කියා මොර දුන්නට ඒ කිසිවක් කළ නොහැකි බව කිව යුතුයි. එහෙම එම ගිවිසුම් අවලංගු කළහොත් රට ආර්ථික ප්‍රපාතයකට ඇද වැටීම නවත්වන්නත් බැහැ.

සැලැස්මක් ඇතුව විධිමත්ව ගොඩනඟන මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යාමට හැකියාව තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණයි. එම විධිමත් ක්‍රමවේදයක් කඩාබිඳ දැමුවහොත් ආර්ථිකය නැවත කඩා වැටෙනවා. දැන් රුපියල ශක්තිමත් වී තිබෙනවා, රටට අවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව තිබෙනවා, ඒ සමඟම ජනතාවට  අස්වැසුම ලබාදී තිබෙනවා. උරුමය වැඩසටහන හරහා ජනතාවට සින්නක්කර ඉඩම් අයිතියි ලබා දී තිබෙනවා. නිදහස් වෙළඳ ගිවිසුම්  ගණනාවක් ජනාධිපතිවරයා මේ වන විටත් අත්සන් තබා තිබෙනවා. රටක ආර්ථිකය ගොඩ නැඟීමෙන් ජනතාවට ලෝකය ඉදිරියේ කොන්ද කෙලින් තබා ගෙන ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ හැකියි. ජනාධිපතිවරයා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළින් එය සිදුකළ හැකියි. වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයෙන් දිනන්නේ ශ්‍රී ලංකාවයි. ඒ සඳහා මැද කොළඹින් ශක්තිය එකතු කරන්න කියා මා ඉල්ලා සිටිනවා.

සබරගමුව පළාත් ආණ්ඩුකාර  නීතිඥ නවීන් දිසානායක, එජාප ජාතික ලේකම් රවී කරුණානායක,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, ප්‍රේමනාත් දොළවත්ත, හිටපු අමාත්‍ය මන්ත්‍රී ෆයිසර් මුස්තාපා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ, කොළඹ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ද මෙහිදී ජන රැලිය ඇමතූහ.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා ද, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අමාත්‍ය ටිරාන් අලස් ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන , ඒ.එච්.එම්. ෆවුසි යන මහත්ම මහත්මීන් සහ පළාත් හා ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල ජනකායක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more