සෑම සිසුවෙකුටම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වයක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා

• ඒ වෙනුවෙන් අධ්යාපන අමාත්යවරයා ලෙස එදා ධවල පත්රිකාවෙන් ගෙන ආ යෝජනාවට එරෙහිව ජවිපෙ පාරට බැස්සා.

• Gen Z පරපුරට හොඳ අනාගතයක් නිර්මාණය කර දීම අරමුණයි.

• සැලැස්මක් නැති කථාවට සීමා වූ සජිත්ගේ හා අනුරගේ දේශපාලන බිල්ලක් වී අනාගතය අඳුරු කර ගන්න එපා  - ජනපති තරුණ ප්‍රජාවගෙන් ඉල්ලයි.

ඉදිරි වසර 10 තුළ සෑම දරුවෙකුටම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වයක් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රවේශය සකස් කරන බවත් ඒ වෙනුවෙන්  " English for all" වැඩසටහන ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

මෙම යෝජනාව  තමා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස  එදාද අධ්‍යාපන ධවල පත්‍රිකාව මගින් ගෙන ආ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධව පාරට බැස්ස බව සිහිපත් කළ ජනාධිපතිවරයා එදා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට හැකි වුවා නම් අද ඉංග්‍රිසි භාෂාව පිළිබඳ ගැටළුවක් රට තුළ නිර්මාණය නොවන බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳන් කර සිටියේ ඊයේ (17) මල්වාන ජනතාව සමඟ පැවති හමුවෙන් අනතුරුව ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුමක් නොතිබීම හේතුවෙන් තරුණ තරුණියන් මුහුණ දෙන ගැටළුවලට රජයේ විසදුම කුමක්ද කියා තරුණයෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.

Gen Z පරපුරට හොඳ අනාගතයක් නිර්මාණය කර දීම තම අරමුණ බව පැවසු ජනාධිපතිවරයා සැලසුම් නොමැති බොරු පොරොන්දුවලට සීමා වූ  සජිත්ගේ සහ අනුරගේ දේශපාලන අවශ්‍යතාවල බිල්ලක් නොවන ලෙසද තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියේය.

ජන හමුව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අවස්ථාවේ මා නියෝජනය කළ බිගයම  ආසනයට පැමිණ මල්වානේ ජනතාව හමුවීම සිරිතක් ලෙස මම සලකනවා. මාල්වානේ ජනතාව සෑම අවස්ථාවකම මට විශාල සහයෝගයක් ලබාදුන්නා. එදා මල්වාන ඉතා පුංචි නගරයක්. වෙළෙඳ කලාපය ආරම්භ වීමත් සමඟ මල්වාන විශාල නගරයක් බවට පත්වී තිබෙනවා. විශාල දියුණුවක් ලබා තිබෙනවා. මල්වානේ වෙළෙඳාමත්, වෙළෙඳ කලාපයත් එක්ව මේ ප්‍රදේශයේ දියුණු ආර්ථිකයක් ගොඩනැඟී තිබෙනවා.

2022 වසරේ අප විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ මල්වානේ ජනතාව වෙළෙඳාම් කරන ජනතාවට ද  විශාල පහරක් එල්ල වුණා. භාණ්ඩ ආනයනය කිරීමට විදේශ විනිමය තිබුණේ නැහැ. දැන් ඒ තත්ත්වයෙන් අප මිදී තිබෙනවා. දැන් රටේ ආර්ථිකය දියුණු වෙමින් පවතිනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අපට අවශ්‍ය මුදල් සොයා ගැනීම වෙනුවෙන් පියවර ගැනීමට මට සිදුවුණා. මුදල් මුද්‍රණය කිරීම හෝ ණය ලබාගැනීමට අපට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා මට අසීරු තීරණ රැසක් ගැනීමට සිදුවුණා. නමුත් මාස හයක් පමණ ගතවන විට රුපියල ශක්තිමත් වෙමින් භාණ්ඩ මිලත් අඩු වී රට ස්ථාවර භාවයට පත්වීම ආරම්භ වුණා. මේ සියල්ල අතරතුර අපට අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධිය මෙන් තුන් ගුණයක් ප්‍රතිලාභ ලබාදෙන අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, රාජ්‍ය අංශයේ වැටුප් ඉහළ නැංවීම සඳහා මේ වනවිට උදය ආර්. සෙනෙවිරත්න කමිටුවේ වාර්තාව ක්‍රියාත්මක කිරීමටත් හැකිවුණා.  

එක් අතකින් ජනතාවට භාණ්ඩ මිල අඩු කිරීමෙන් සහනයක් ලබාදීමටත්, ආදායම වැඩි කිරීම මඟින් සහනයක් ලබාදීමටත් හැකි වී තිබෙනවා. නමුත් ඒ තුළ පරතරයක් තවම තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ ක්‍රමානුකූලව කටයුතු කරමින් ලබන වසරේදී ජීවන බර විශාල ලෙස සැහැල්ලු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප නිවැරදි මාර්ගයක ගමන් කරමින් සිටිනවා. මේ සියල්ල සිදු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර, අපට ණය දී ඇති රටවල් 18 මගින් ලබාදී ඇති ණය සහනය අත්‍යාවශ්‍ය වෙනවා. අද අප මේ තත්ත්වයෙන් සිටින්නේ එම සහාය ලැබුණු නිසයි. අපට මෙම එකඟතා වෙනස් කළ නොහැකියි. එසේ කළහොත් සියල්ල කඩා වැටෙනවා.

සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාම බදු අඩු කරන බව ප්‍රකාශ කරනවා. එසේ සිදු කළ හොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට හිමිව ඇති ආධාර අහිමි වෙනවා. ඩොලරයේ අගය ඉහල යමින් සියල්ල යළිත් කඩා වැටෙනවා. ඉදිරි වසර 5 තුළ අප ශක්තිමත් ආර්ථිකයක් ඇතිකර ගත යුතුයි. අපනයන ආර්ථිකයක් ඇති කරගනිමින් අපේ වෙළෙඳාම දියුණු කරගත යුතුයි.

එදා අප මෙහි තිබූ පොල්වත්ත වෙළෙඳ කලාපයක් බවට පත් කර අළුත් ආර්ථිකයක් නිර්මාණය කළා. ඒ නිසා බියගම නගරය ඇතුළු අවට ප්‍රදේශයට කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් ලැබුණා. බියගමට මා කළ දේ සමස්ත රටටම සිදු කිරීමට මට අවශ්‍යයි. ඒ වෙනුවෙන් අප බිංගිරිය, ත්‍රිකුණාමලය, යාපනය, හම්බන්තොට ආදී ප්‍රදේශවල විශාල ආයෝජන කලාප ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. මල්වාන ප්‍රදේශයද මම අමතක කර නැහැ. කෑරගල ප්‍රදේශයේද අළුතින් අයෝජන කලාපයක් ඇති කිරීමට මම බලාපොරොත්තු වෙනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට ගෙන යාමත් සමඟ එම ප්‍රදේශයේ තාක්ෂණ කලාපයක් සමඟ නව නගරයක් ඉදි කළ හැකියි. එහි ඔබට වෙළෙඳාමේ නිරත විය හැකියි. ඒවගේම සියඹලාපේ මංසන්ධිය සඳහා යෝජිත නව රෝහල ද අප ඉදි කළ යුතුයි. ඒ නිසා ගෑස් සිලින්ඩර ලකුණට ඔබේ ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ආවොත් සිදුවන්නේ කුමක්ද කියා අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. ඒ නිසා අප එම තත්ත්වයට යා යුතුද? අප සාමාන්‍ය තත්ත්වයට යා යුතුයි. ඔවුන්ට ඡන්දය දී නැවතත් රට නැති කරගන්න එපා. ඒවගේම ඇතැමුන් සමගි ජනබලවේගයට යනවා. සමගි ජනබලවේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂය නොවෙයි. ප්‍රදීපගම ආදර්ශ ගම්මානය නිර්මාණය කලේ මමත් ප්‍රේමදාස ජනාධිපතිතුමාත් එකට වැඩ කරලයි. එතකොට සජිත් හිටියෙත් නැහැ. ඒ නිසා සජිත්ට දෙන ඡන්දයත්, නාමල්ට දෙන ඡන්දයත් ඔබ බන්දේසියක තබා අනුරට දෙන ඡන්දයක් බව මම පැවසිය යුතුයි.

නැවත වරක් මා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව මෙම ප්‍රදේශයත්, ප්‍රදේශයේ පාසලේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතුත් මා භාරගන්නා බව පැවසිය යුතුයි. එනිසා සැප්තැම්බර් 21වෙනිදා ගෑස් සිලින්ඩරය ලකුණ ඉදිරියෙන් ඔබේ කතිරයට සටහන් කරන්න කියා මා ඉල්ලා සිටිනවා.

මෙහිදී රැස්ව සිටි තරුණ තරුණියන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ප්‍රශ්න සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පිළිතුරු මෙසේය,

ප්‍රශ්නය:

මම පළමු වරට ඡන්දය ප්‍රකාශ කරන ශිෂ්‍යයාවක්. මා මෙන්ම ඔබතුමාට ඡන්දය දීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඉතින් ඔවුන් වෙනුවෙනු ඔබට ලබාදීමට ඇති පණිවිඩය කුමක්ද?

පිළිතුර:

තවත් වසර 25ක් පමණ වන විට ඔබේ වයස අවුරුදු 50වත්  සම්පූර්ණ වී නැහැ.  ඔබට හොඳ අනාගතයක් ලබාදීමට අපට අවශ්‍යයි.  රුපියල ශක්තිමත් වෙමින් ආර්ථිකය ස්ථාවරවීම ආරම්භ වී තිබෙනවා. දැන් තරුණ ප්‍රජාව තමන්ට අවශ්‍ය අනාගතය කුමක් ද යන්න තීරණය කළ යුතු වෙනවා. Gen Z පරපුර ලෙස හඳුන්වන ඔබ සියලුදෙනාට හොඳ අනාගතයක් ලබාදීම මගේ බලාපොරොත්තුවයි.

ප්‍රශ්නය:

අපේ රටේ බොහෝ අය අපේ රටේ දේශපාලන තත්ත්වය ගැන නොදන්නා නිසා මේ මාසයේ නිවැරදි ජනාධිපතිවරයකු තෝරා ගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටිනවා. ජනතාව වෙනුවෙන්  විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් ඔබේ අනාගත සැලසුම් පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස ඉල්ලා සිටිනවා.

පිළිතුර:

කවුරුත් නැති වෙලාවක මට ජනාධිපතිකම භාර ගන්න සිදුවුණා. ආර්ථිකය නිවැරදි මගට ගැනීම සඳහා මම එය භාරගත්තා. දැන් අපි බංකොලොත් භාවයෙන් ඉවත් වෙමින් සිටිනවා. ඉතා ඉක්මනින් අපගේ කටයුතු කළමනාකරණය කිරීමට අපට හැකියාව ඇති බව ජාත්‍යන්තර ප්‍රකාශ කරනවා. අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ අපගේ ණයහිමි රටවල් 18කින් ඒ සඳහා ආධාර සහ සහන ලැබෙනවා. ඒ නිසා අපි අපේ ආර්ථිකය අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බවට පත් කළ යුතුයි. ඉතින් මම බියගම වෙනුවෙන් අනුගමනය කළ ක්‍රමවේදය

ශ්‍රී ලංකාවට සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. එවිට අපි අපනයනයට නැඹුරු ආර්ථිකයක් සහිත රටත් බවට පත් වෙනවා.

ප්‍රශ්නය:

මීට මාස කිහිපයකට පෙර, හිජාබ්, නිකාබ් සහ අබායා පැළඳ සිටින මුස්ලිම් කාන්තාවන් කාර්යාලවල සහ පොදු ස්ථානවල ඇතුළු වීමේදී නින්දා අපහාසවලට ලක් වුණා. මේ වන විට තත්ත්වය යහපත් වී තිබෙනවා. මේ තත්ත්වය ඉදිරියටත් පවතීද?

පිළිතුර:

මා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනවිට ඔබට එවැනි ඔබට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඔබට ඔබේ සම්ප්‍රදායික ඇඳුම් ඇඳීමට අවශ්‍ය නම්, එය ඔබේ තෝරා ගැනීමයි. ඔබට එය අවශ්‍ය නැතිනම් එයද ඔබේ තීරණයයි. ඔබ මුහුණ දුන් අභියෝග පිළිබඳ මට වැටහෙනවා. ඇත්තෙන්ම, මුස්ලිම් කාන්තාවන් පරීක්ෂා නොකළ යුතු බවත් ඔවුන්ගේ ඇඳුම් ඉවත් කිරීමට බල නොකළ යුතු බවත් පැවසීම පිළිබඳ කොමිසමකදී මට දෝෂාරෝපණයක් ද එල්ල වුණා. විරෝධතා නොතකමින්, විශේෂයෙන් ඔබේ ආදරණීයයන් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේදී ඔබ අත්විඳින දුෂ්කරතා මම හඳුනාගත්තා. මම දැන් ඒ සඳහා පනතක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ මඟින් තමන් ආදාහනය කිරීමට හෝ භූමදාන කිරීමට කැමතිද යන්න තෝරාගැනීමේ අයිතිය එම පුද්ගලයාටම ලබාදෙනවා වගේම එම තේරීමට ගරු කරනවා.

ප්‍රශ්නය:

ඉදිරි වසර 10ක අනාගතයක් දෙස බැලීමේදී ඔබ දැකීමට බලාපොරොත්තු වන සමාජ වෙනස්කම් මොනවාද?

පිළිතුර:

සමාජය ඉතා වේගයෙන් වෙනස් වෙනවා. ඒ තුළ කෘත්‍රිම බුද්ධිය ආධිපත්‍යය දරනු ඇති බව ඔබට පෙනෙනවා. ඔබ සහ මා අතර ඇති වෙනස නම් මම හැදුනේ අපිට ජංගම දුරකතනයක් හෝ කිසිවක් නොමැති කාලයකයි. ඒ නිසා අපි එකිනෙකා සමඟ කටයුතු කළා. දැන් ඔබ අයත් වන  Gen Z පරම්පරාව සැමවිටම ජංගම දුරකථනය සමඟ ජීවත් වෙනවා. සෑම දෙයක්ම ඒ වටා කේන්ද්‍රගත වී තිබෙනවා. එබැවින් එය තවදුරටත් වැඩි දියුණු වන බව පෙනෙන්නට තිබෙනවා. ඒ සඳහා කෘත්‍රිම බුද්ධිය ද තවදුරටත් ඇතුළත් වනු ඇත. තවත් බොහෝ නව තාක්‍ෂණයන්ද පැමිණෙනු ඇතියි. එය හොඳද නරකද යන්න අපි තීරණය කළ යුතුයි. නමුත් අපේ රට ආපස්සට ගමන් කරනවාට මම කැමති නැහැ. ඒ නිසා මට අවශ්‍ය ඔබ දැනුවත් කර ජනතාව දැනුවත් කිරීමටයි. එවිට අපට තව වසර 20 කින් දැනුම පිළිබඳ ආර්ථිකයක ඇතිවන අභියෝග ජයගත හැකියි. ඇත්තෙන්ම එය කුමක් වනු ඇත්දැයි කීමට අපහසුයි.

ප්‍රශ්නය:

පාසලේ සිට විශ්වවිද්‍යාල සහ සේවා ස්ථානවලට සිසුන් මාරු වීමේදී ඔවුන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවිනතාවයේ ගැටලුවකට මුහුණ දෙනවා. මෙම හිඩැස පිරවීමට රජය සැලසුම් කරන්නේ කෙසේද?

පිළිතුර:

ශ්‍රී ලංකාව සඳහා මගේ ප්‍රතිපත්තිය " English for all" වැඩසටහනයි. ඉදිරි වසර 10 තුළ, අපි ඉංග්‍රීසි ගුරුවරුන් පුහුණු කළ යුතු අතර සෑම කෙනෙකුටම භාෂාව ඉගෙන ගැනීමට ප්‍රවේශය ඇති කළ යුතු වෙනවා. මම මේ අදහස 1982 තරම් ඈතක දී අධ්‍යාපන ධවල පත්‍රිකාව හරහා  යෝජනා කළා. නමුත් ඒ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරෝධය පළ කරමින් පාරට බැස්සා. ඒ නිසා අපට ඉදිරියට යාමට නොහැකි වුණා. එදා අධ්‍යාපන ධවල පත්‍රිකාව ක්‍රියාත්මක කළා නම් අද මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. එසේනම් ජවිපෙන් එයට විරුද්ධ වූයේ මන්දැයි ඔබ ඔවුන්ගෙන් ඇසිය යුතුයි. දැන් මම මෙය ඉදිරියට ගෙන යාමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා. පළමු වසර දෙක තුළ, අපි ගුරුවරුන් පුහුණු කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. පසුව අනෙක් පිරිසට පුහුණුව ලබා දෙන්නවා. පෞද්ගලික ආයතනවලට ලියාපදිංචි වී ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට ද අපි අවස්ථාව ලබා දෙනවා. එනිසා ඉදිරි වසර 10 තුළ රට තුළ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණත්වය ඇති කළ හැකියි.

ප්‍රශ්නය:

යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය සමඟ අපේ රටේ තරුණ පරපුරට සම්බන්ධ වීමට අවස්ථාවක් තිබෙනවාද

පිළිතුර:

දේශගුණික විපර්යාස අප මුහණ දෙන ප්‍රධාන ගැටළුවක් වෙනවා. ඒ පිළිබඳ අධ්‍යාපනය හැදෑරීමට , පශ්චාත් උපාධි හැදැරීමට හෝ පර්යේෂණ පැවැත්වීමට විධිමත් ස්ථානයක් නැහැ. එනිසා ලෝකය වෙනුවෙන් අප මෙම විශ්වවිදයාලය කොත්මලේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ ආයතවලට ඒ සම්බන්ධවීමේ හැකියාව තිබෙනවා. ඒ හරහා දැනුම වර්ධනය කරගත හැකියි. ලෝකයේ පවතින ඕනෑම ආයතනයකට ද මේ සමඟ සම්බන්ධ වී කටයුතු කළ හැකියි. අප බලාපොරොත්තු වන්නේ එයයි.

Read more