ජාත්‍යන්තර ස්වෛරි බැදුම්කර හිමියන් සමඟ හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකාව බංකොළොත්භාවයෙන් නිදහස් වෙනවා

• මීට වසර දෙකකට පෙර ජනතාව භාරදුන් වගකීම නිසි ලෙස ඉටු කළා.

• “පුළුවන් ශ්‍රී ලංකා” කියා එදා කිව්වේ ආර්ථික අභියෝගයට මුහුණ දීමටයි : අද “පුළුවන් ශ්‍රී ලංකා” කියා කියන්නේ රට දියුණු කිරීමටයි.

• රට ඉදිරියට ගෙන යා හැකි නායකයෙක් තෝරා ගැනීමේ වගකීම ජනතාව සතුයි.

• සජිත්ට හා අනුරට රට දියුණු කිරීමේ සැලසුම් තිබුණා නම් මීට වසර දෙකකට පෙර රට භාර නොගත්තේ ඇයි?

• රටේ ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බව ප්‍රසිද්ධියේ පැවසුවේ සජිත් සමඟ සිටින කණ්ඩායමයි.

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ස්වෛරි බැදුම්කර හිමියන් අතර සාකච්ඡාවක් හෙට දින පැවැත්වෙන බවත්, එම සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය සම්පූර්ණයෙන් අවසන් වි සියලු රටවල සහාය නැවත මෙරටට හිමිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තමාට යම් වැඩ කොටසක් භාර දුන්නා නම් එම වැඩකාටස සාර්ථකව අවසන් කළ බවට වූ පණිවිඩය සැප්තැම්බර් 21 වනදාට පෙර ජනතාවට ලබා දීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවද ජනාධිපතිරවයා ප්‍රකාශ කළේය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (18) පස්වරුවේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රහාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් සංවිධානය කර තිබූ මම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

“පුළුවන් ශ්‍රී ලංකා” කියා එදා තමන් ආර්ථික අභියෝගයට මුහුණ දී එය ජයග්‍රහණය කළ බව පැවසු ජනාධිපතිවරයා අද  “පුළුවන් ශ්‍රී ලංකා” කියා කියන්නේ රට දියුණු කිරීමට බව පැවසූ අතර රට ඉදිරියට ගෙන යා හැකි නායකයෙක් තෝරා ගැනීමේ වගකීම ජනතාව සතු බවද අවධාරණය කළේය.

සජිත්ට හා අනුරට මෙරට ආර්ථික ගැටළුවට විසදුම් තිබුණා නම් මීට වසර දෙකකට පෙර රට භාර නොගත්තේ ඇයි කියා ප්‍රශ්න කළ ජනාධිපතිවරයා තමා සමඟ හොද කණ්ඩායමක් සිටින බව සජිත් පැවසුවද මීට වසර දෙකකට පෙර රටේ ආර්ථිකය ගොඩනැගිය නොහැකි බව ප්‍රසිද්ධියේ කියා සිටියේ එම කණ්ඩායම බවද සිහිපත් කළේය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

අදින් අපේ මැතිවරණ ව්‍යාපාරය අවසන් වෙනවා. සැප්තැම්බර් 21 වනදා මේ රටේ ජනතාව තම  අනාගතය පිළිබඳ තීරණය ගත යුතුයි. මම දේශපාලනඥයෙක් ලෙස ජීවිතයට මුහුණ දුන්නා. ඔබ පුරවැසියන් ලෙස දේශපාලනඥයන් කෙරෙහි විශ්වාසය තැබුවා.

පසුගිය වසරෙ දෙකේදී අප හැම කෙනෙකුටම අලුත් අත්දැකීමක් ලැබුණා. ඔබ විශ්වාසය තැබු නායකයන් මේ රටේ ප්‍රශ්නයට මුහුණදීමට නොහැකිව වගකීම් ප්‍රතික්ෂේප කර පැන  ගියා.

එවන් තත්තවයක තිබු රටක් මම භාරගත්තා. දේශාපලනඥයන් ලෙස අපට අභියෝගයවලට මුහුණදිමට සිදු වෙනවා. සතුට වගේම දුක තිබෙනවා. අපිට හොද කියනවා ඒ වගේම නරක කියවා. අප ප්‍රසිද්ධ වෙනවා අපේ නම අමතක වෙනවා. දේශපාලන ක්‍රියාවලියෙන් ලාභයක් ලබනවා, නැත්නම් අලාභයක් ලබනවා. ඒ වගේම තීරණ ගැනීමට සිදු වෙනවා.

ජනතාව මාව ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ වුවද මට ජනතාව ප්‍රතික්ෂේප කළ නොහැකි බව මම තීරණය කළා. රටේ නායකයෙක් ලෙස ජනතාව ප්‍රතික්ෂේප නොකර මම ජනතාව වෙනුවෙන් අභියෝගය භාරගත්තා. මට භාරදුන් නැවේ සිදුරු තිබුණා. ටයිටැනික් නැව වගේ ගිලෙන්න ඉඩ තිබුණා. නැව තුළට වතුර ඇවිත් තිබුණා. කපිතාන් කෙනෙක් හිටියේ නැහැ. නමුත් නැව භාරගෙන නැවේ සිටි අනෙක් පිරිස එක් කර ගනිමින් අපි ගමන  ආරම්භ කළා.

මම භාරගත්තේ ණය ගෙවීමට නොහැකි වූ රටක්. බංකොළොත් වූ රටක්, ඒ වගේම විදේශ විනිමය නැති රටක්. අපේ බැදුම්කර හිමියන් අපව ප්‍රතික්ෂේප කර තිබුණා. නමුත් පසුගිය වසර දෙක තුළ එම කටයුතු අවසන් කර අපේ ණය තිරසර භාවය සහ බංකොලොත් භාවය ඉවත් කර අපට දියුණුවීමට අවස්ථාව ලබාගැනීමට හැකිව තිබෙනවා. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ එකගතාවකට පැමිණ තිබෙනවා. ඒ අනුව  බංකොලොත්භාවය අවසන් කර දියුණුව කරා යාමට අපට අවස්ථාව ලැබි තිබෙනවා.

ඒ වගේම අපට ණය ලබා දුන් රටවල් තිබෙනවා. එම රටවල් 18 සමග එක් ගිවිසුමක් සහ චීනය සමඟ වෙනම ගිවිසුමකට එළැඹුණා. අපේ ණය තිරසර භාවය පිළිගනෙ ඒ සඳහා අලුත් ක්‍රමවේදයක් ඇති කිරීමට සහ අප බංකොළොත් නොවන බව පිළිගෙන රටේ දියුණුව ඇති කර ගැනීමට ගිවිසුමකට පැමිණීමට හැකි වී තිබෙනවා. ඉතිරි වී තිබෙන්නේ ජාත්‍යන්තර ස්වෛරි බැදුම්කර හිමියන් සමග සාකච්ඡ කිරීමයි. ඒ අනුව හෙට ඒ අය සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු තීරණයකට එළැඹ එම වැඩකටයුතු සම්පුර්ණ අවසන් කීරමෙන් පසු ලංකාවේ බංකොලොත්භාවය අහෝසි වී එම රටවල ආධාර උපකාර අපට ලැබෙනවා.

මට යම් වැඩ කොටසක් භාරදුන්නා නම් එම වැඩකාටස අප සාර්ථකව අවසන් කර තිබෙනවා බව සැපැත්ම්බර් 21 වනදා ජනාධිපතිවරණයට පෙර මට ප්‍රකාශ කිරීමට හැකියාව ලැබී තිබෙනවා.  ඒ පිළිබඳ සතුටු වෙනවා.

මෙම වැඩපිළිවෙළේදි අපට අසීරු, ජනප්‍රිය නොවන තීරණ ගැනීමට සිදු වුණා. නමුත් වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. ජනතාවට දුෂ්කරතාවලට මුහුණදීමට සිදු වුණා. නමුත් එම ප්‍රශ්න විසදීමට මම කටයුතු කළා. අද රුපියල ශක්තිමත් වී භාණ්ඩ මිල ක්‍රමානුකූලව අඩු වී ජනතාවට සහන ලැබී තිබෙනවා. ඒ වගේම ජීවන බර පිළිබඳ ගැටළුව 2025 වසරේදී අවසන් කිරිමට මම බලාපොරොත්තු වෙනවා.

අප රට ඉදිරියට ගෙන යා යුතුයි. අප දැන් එහි ඉදිරි පියවර ගැන සිතියි යුතුයි. අප ලබාගත් මේ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කරගත යුතුයි.

“පුළුවන් ශ්‍රී ලංකා” කියා එදා අපි ආර්ථික අභියෝගයෙන් ගොඩ ආවා. දැන් “පුළුවන් ශ්‍රී ලංකා” කියා කියන්නේ රට දියුණු කිරීමටයි. ඒ සඳහා අවශ්‍ය නීති මම සම්මත කරගෙන තිබෙනවා. ආර්ථික පරිවර්තන නිතිය සමග අපට ඉදිරියට යාමට අවස්ථාව තිබෙනවා.

අද සජිත් හා අනුර කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම අහෝසි කරනවා කියලා. ඔවුන්ට අවශ්‍ය එම ගිවිසුම් ආහෝසි කර මීට වසර දෙකකට පෙර පැවති තත්ත්වයට රට ගෙනයාමටද කියා මම අහනවා.

සජිත්ට හා අනුර කිසිඳු සැලැස්මක් නැහැ. ඔවුන්ට අවශ්‍ය බලය ලබා ගැනීම පමණයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම අහෝසි කළොත්, නැවත අලුතින් සාකච්ඡා කිරීමට සිදු වනවා. එවිට ශ්‍රී ලංකාව කෙරෙහි තිබෙන විශ්වාසය නැති වී අපට නැවත පෝලිම් යුගයකට මුහුණ දිමට සිදු වෙනවා. නමුත් අපත් සමග ගමන් කළහොත් රුපියල ශක්තිමත් කරගෙන ජීවන බර සැහැල්ලු කර ගනිමින් රට දියුණු කරගෙන ඉදිරියට යාමට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා දන්න පාරේ යනවද, නොදන්න පාරේ ගිහින් අතරමං වෙනවද කියා ජනතාව තීරණය කළයුතුයි.

සජිත්ට හා අනුරට විසදුම් තිබුණා නම් ඇයි මීට වසර දෙකකට පෙර රට භාර ගත්තේ නැත්තේ ඇයි කියා මම අහනවා.  රටේ වගකීම භාරගන්න බැහැ කියලා ඉවත් වෙලා ගිය අයට නැවත මේ රට භාර දිය යුතුද,

ඒ නිසා රට ඉදිරියට ගෙන යා හැකි නායකයෙක් තෝරා ගැනීමේ වගකීම ජනතාවට පැවරෙනවා. මෙවර ජනාධිපතිරණයේදී  දී ක්‍රිකට් කණ්ඩායම වගේ කණ්ඩායම් තෝරන්නේ නැහැ. පාර්ලිමේන්තු ඡන්දයෙන් එම කණ්ඩායම තෝරා දෙනවා. ඇතැම් අය කියනවා මට කණ්ඩායමක් ඉන්නවා කියලා. එහෙනම් මීට වසර දෙකකට පෙර එම කණ්ඩායම දමා ඔවුන්ට රටේ ආර්ථිකය ගොඩනැගුවේ නැත්තේ ඇයි කියා මම අහනවා. රට භාර ගන්න එපා කියා කිව්වෙත් එම කණ්ඩායම බව මම මෙහිදී සිහිපත් කරනවා.

ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තම අනාගතය පිළිබඳ සිතිය යුතුයි. තරුණ පරපුරේ අනාගතය පිළිබඳ සිතිය යුතුයි. මම ජනතා වරම ඉල්ලන්නේ එම අලුත් ගමන යාමටයි. හෙට අප පුද්ගලික බැදුම්කරුවන් සමඟ එකඟතාවකට එළැඹීමෙන් පසු 22 වනදා සිට අලුත් ගමනක් යාමට සුදානම් වෙමු.

ජීවන බර සැහැල්ලු කරමින්, රැකියා ලබාදෙමින්, නව ආර්ථිකයක් ඇති කරමින් විදේශ විනිමය සිගා කන්නේ නැතිව අභිමානවත් රටක් ලෙස අපේ රට තුන්සිංහලයේ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා

අමාත්‍ය කංචන විජේසේකර මහතා,

මේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම පැවැත්වුණෙත් මේ ස්ථානයේයි. මීට සති දෙකකට පෙර සමගි ජන බලවේගයේ රැස්වීම තිබුනෙත් මේ ස්ථානයේයි. මේ රැස්වීම් භූමියේ අඩක්වත් පුරවා ගැනීමට එම කණ්ඩායම් දෙකටම ජනතාව හිටියේ නැහැ. අද පවත්වන රැළියට මාතර දිස්ත්‍රික්කයෙන් පිට කිසිදු අයෙක් ගෙනවිත් නැහැ. අද අමාරු දවසක අව්වේ මේ ජනතාව කැපවීම් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි වසර 5 ලබා දීම සඳහායි.

එදා විදුලිය පැය 13ක් කප්පාදු කරලා, ඖෂධ, පොහොර ,ඉන්ධන, ආහාර නැතුව  ජනතාව දවස් ගණන් පෝලිමේ හිටියා. ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ හැට නමයක් ලබා දීලා අපේ ජනතාව පෝලිම්වල දකිද්දී අපටත් දුකක් තිබුණා.  

එදා අපේ නායකයන්ට සෘජු තීරණ ගැනීමට හැකි වුණේ නැහැ. සමහර දේශපාලන නායකයන් ඉවත් වෙලා ගියේ ජනතාවගෙන් පැමිණි පීඩනය දරාගන්න නොහැකිවයි.

සමහරු හිතුවා මේ රට ගොඩ ගන්න බැහැ කියලා. 149ක් හිටපු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතරින් පිරිසක්  විපක්ෂයේ  අසුන් ගත්තා. මේ සියලු දෙනාගේම තිබුනේ බලාපොරොත්තු කඩා වැටීමක්.  ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයේ නායකයින්ට රට බාරගන්නා ලෙස ආරාධනා කළා. එම වගකීම බාරගන්න කිසිදු නායකයෙක් හිටියේ නැහැ.  

ජනතාවගෙන් එන අප්‍රසාදය නිසා තමන්ගේ දේශපාලන අනාගතය  අහිමි වේ යැයි  සිතා ඔවුන් රටේ වගකීම භාරගන්න ඉදිරියට පැමිණියේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ වගකීම භාරගෙන වසර දෙකක් ඇතුළත ආර්ථිකය ගොඩ දැමීමට කටයුතු කළා. එම වසර දෙක තුළදී එතුමා තමන්ගෙ පක්ෂය ගැනවත් හිතුවේ නැහැ.ආර්ථික ප්‍රතිසංස්කරණ තීන්දු ගැනීමේදී  රනිල් වික්‍රමසිංහ මහතා  ඒවා ජනප්‍රියද නැද්ද කියා බැලුවේ නැහැ.නමුත් ඒ ගත්ත තීන්දුව නිසා අද රුපියල ශක්තිමත් වී තිබෙනවා. උද්ධමනය අඩුවෙලා තිබෙනවා. විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යාමට හැකි වී තිබෙනවා. විදුලි බිලද අඩු කර තිබෙනවා.

අද ජනාධිපතිධූරයට පොරයක් තිබුණට, මීට වසර දෙකකට පෙර අගමැතිධුරය ගන්න, ජනාධිපතිධුරය ගන්න කියනකොට කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ.  මීට වසර දෙකකට පෙර ජනාධිපතිවරණය තිබුණා නම් අද ඉදිරිපත් වී තිබෙන අපේක්ෂක ලැයිස්තුව මේ තරම් දීර්ඝ වන්නේ නැහැ. මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයින් 196 දෙනා ගෙන් 170ක් ඉන්නේ ජනාධිපතිවරයා සමඟයි. ඒනිසා මාතර දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය ස්ථිරයි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් ජනාධිපතිවරයා විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. ගිං-නිල්වලා ව්‍යාපෘතිය මඟින් නිල්වලා ග‍ඟේ ගංවතුර  ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට ද මේ වනවිට කටයුතු කර තිබෙනවා. ඒ නිසා මාතර ජනතාව කෘතගුණ සලකන බව අප දන්නවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද හැට නම ලක්ෂයක් ලබාගෙන ජයග්‍රහණය කළා. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 17 ක් ඇතුළත්ව තිබුණා. නමුත් රටේ ආර්ථිකය බිඳ වැටෙන විට ගෝඨාභය රාජපක්ෂ මහතා රටෙන් පලා ගියා. මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලයේ නාවික කඳවුරේ සැඟවුණා. පාර්ලිමේන්තුව අල්ලගන්න අරගලකරුවන් පැමිණි වෙලාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව රැක ගත්තා. එදා අරගලකරුවන්  පාර්ලිමේන්තුව අල්ල ගත්තා නම්  අද ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ තත්ත්වයට පත් වෙනවා.

අද වන විට රටේ සාමකාමී වාතාවරණයක් ඇති කර ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා. හිඟයකින් තොරව ඉන්ධන, ගෑස්, ආහාර, ඖෂධ ,පොහොර, ලබාදීමට කටයුතු කර තිබෙනවා. ගොවියා ගැන බලන්න වෙන ආණ්ඩු අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වන විට රුපියල් හාරදහසක පොහොර සහනාධාරයක් ලබාදීමටද කටයුතු කර තිබෙනවා. බංකොලොත් වූ රටක් මේ තත්ත්වයට ගෙන ඒමට හැකි වුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි ආර්ථික කළමනාකරණය නිසයි. තමන්ට ලැබුණු අමාත්‍යාංශය නිසියාකාරයට කරගන්න බැරිවුණු දේශපාලන නායකයින් අද රට හදන්න කතා කරනවා.

මම බංකොලොත් වුන රටේ කෘෂි කර්ම ඇමතිවරයායි. නමුත් එදා බංකොලොත් නොවූ රටක කෘෂිකර්ම ඇමැති විදියට කටයුතු කළ අනුර කුමාර කිව්වා වැව් 10,000 ප්‍රතිසංස්කරණය කරනවා කියලා. නමුත් ඔහු හදපු එක වැවක් හොයා ගන්න නැහැ.  හදපු වැවක් නම් නැහැ.  

මේ රටට ජනතාව විමුක්ති පෙරමුණ කළ විනාශය ඩොලර් බිලියන 200 ට වඩා වැඩියි .මේ බව අපේ ජනතාව  දන්නවා. ලංකාවේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය කියනකොට මාතර දිස්ත්‍රික්කය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වැඩි ජන්දෙන් දිනවන්න  කටයුතු කරන්නකියා මා ඔබෙන් ඉල්ලා සිටිනවා .

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා,

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට භාර ගැනීම වළක්වාලීමට එදා එතුමාගේ එකම නිවස ගිනි තැබුවා. නමුත් රට භාරගෙන පැය කිහිපයක් යාමට මත්තෙන් නීතිය හා සාමය ආරක්ෂා කිරීමට එතුමා කටයුතු කළා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරය භාරගත්තේ රටට ආදායම් ලැබුණු නැති මොහොතක, ජනතාවගේ මූලික අවශ්‍යතා මුළුමණින්ම  හිඟ වූ මොහොතකයි. එතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් ගිවිසුම් ගත වෙලා මේ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට කටයුතු කළා. ආර්ථිකය නිවැරදිව කළමණාකරණය කරමින්  රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමට කටයුතු කළා. නව ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන ඒමට කටයුතු කළා. ආර්ථික පරිවර්තනය නීතිය හඳුන්වා දෙමින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමටද කටයුතු කළා. නව පනත් හතළිස් තුනක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පසුගිය වසර දෙකක කාලය තුළ  කටයුතු කළා. මුදල් මුද්‍රණය කිරීමට හෝ නව ණය ගැනීම නවතා දැමුවා. අද රුපියල ශක්තිමත් වී තිබෙනවා. උද්ධමනය තනි ඉලක්කමට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම කඩ කළහොත් ලංකාව නැවත වැටෙන එක වළක්වන්න බැහැ. එහිදී නැවත වරක් විදේශ සංචිත අඩු වී, භාණ්ඩ මිල ඉහළ යෑම සිදු වෙනවා. ඉන්පසුව රට නැවත 2022 වසරේ තිබුණ තැනට පත්වෙනවා. නායකත්වයේ වෙනසක් සිදු කළොත් අපි ආයෙත් පාරට වැටෙයි කියා කියන්නේ පදනමක් ඇතුවයි. මේ වන විට ජාතන්තරය තුළ ගොඩ නඟා ගෙන සිටින විශ්වාසය බිඳ වැටුණහොත් රට යළි ගොඩ නැඟීම සඳහා ආරම්භ කළ සියලු වැඩසටහන් නවතිනවා. ඒ අනුව මෙතෙක් ගොඩ නඟා ගත් විශ්වාසය නැති කර ගත්තොත්  නැවතත් මේ රටට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. නැවත අර්බුදයකට රට පත් වුණහොත් සංචාරකයින් පැමිණෙන්නේ නැහැ. අපනයන ආර්ථිකය සකස් කිරීම බිඳ වැටුනොත් නැවත ආර්ථිකය ගොඩ ගැනීමට හැකියාවක් නැහැ. ජාත්‍යන්තරයේ එම විශ්වාසය ගොඩ නඟා ගැනීම පහසු වුණේ නැහැ. නමුත් එය ඉතා ඉක්මණින් බිඳ වැටෙන්න දෙන්න එපා.

දකුණේ ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ආපස්සට  ගෙනයාමට ඉඩ නොතබන බව මට විශ්වාසයි.

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන්  යාපා අබේවර්ධන මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මා ඡන්දය දෙන්න තීරණය කළේ එතුමා වැඩ බලන ජනාධිපතිවරයා වූ අවස්ථාවේදීයි. එතුමා ජනතාවගේ දුක් ගිනි නිවීම ඉදිරිපත් වුණේ එතුමාගේ නිවසත් ගිනිබත් කළ අවස්ථාවකයි. ජනතාවට අනාගතය පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් නොමැති අවස්ථාවක බලාපොරොත්තුවක් ඇති කලේ රනිල් වික්‍රමසිංහ  ජනාධිපතිතුමායි. දයාසිරි ජයසේකර  මහතා කිව්වා රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද ඉල්ලන්නේ දිනනවා නම් විතරයි කියලා. ඔව් එතුමා අද ඉදිරිපත් වී සිටින්නේ දිනන ඡනදයකට බව මම සඳහන් කරනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය,

ජනතාවගේ ජීවිත ආරක්ෂා කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් වන බව මේ ජන ගඟ දකින විට මට විශ්වාසයි. මා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය නැවත භාරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණියේ එතුමා ආර්ථිකය සම්බන්ධයෙන් ගෙන යන නිවැරදි ක්‍රියාමාර්ගය නිසයි. සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර තිබෙන වෙනස අහසයි පොළොවයි වගෙයි.

ජනාධිපතිවරයාගේ ජීවිතය හරි සරලයි. එතුමන් දරුවෝ වඩා ගත්තේ නැති උනාට දරුවන්ට හරි ආදරෙයි. මේ රටේ වැඩිම ළමා නිවාස ගණනක භාරකාරත්වය දරන දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියයි.

අරගලකරුවන් , ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති මන්දිරය විනාශ කරන විට  රට බාරගන්න කිසිවෙකු හිටියේ නෑ. පෙට්‍රල් ලීටරය එදා කළු කඩේ රුපියල්  4500ට අලෙවි කළා. එදා රාජපක්ෂවරුන්  රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපතිධූරය දුන්නේ දණින් වැටිලයි.  ජනාධිපතිතුමා පාට පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාම එකතු කරගෙන  බිඳ වැටී තිබුණු මේ රටේ ආර්ථිකය ගොඩ ගැනීමට කටයුතු කළා.

ඒ අවස්ථාවේ එතකොට විපක්ෂයේ කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය  අරමුදල රනිල්ට ණය දෙන්නේ නැහැ කියලයි.  ඉන් පසුව රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණය කල් දානවා කිව්වා.  ජනාධිපතිවරණය තිබ්බත් රනිල් වික්‍රමසිංහ  මහතා ඉල්ලන්නේ නැහැ කිව්වා. විපක්ෂය කියපු ඔක්කොම චෝදනා බොරු කියලා අද වෙනකොට ඔප්පු වෙලා තිබෙනවා. එතුමාගේ ඊළඟ අවුරුදු 5 නිම වෙනකොට මේ රටේ ජනතාවට හොඳින් ජීවත් විය හැකි යහපත් පරිසරයක් නිර්මාණය කරන බව මට විශ්වාසයි.

මේ දවස්වල සමගි ජන බලවේගයේ එක්කෙනෙක් වේදිකාවට ගොඩ වෙන කොට අනිත් කෙනා බැහැලා යනවා. රත්නපුර වේදිකාවේ සුසන්ත පුංචිනිලමේ හිටියා කියලා සජබෙ අනිත් මන්ත්‍රීවරුන් වේදිකාව වර්ජනය කර තිබෙනවා. මාතලේ සමගි ජන බලවේගයේ රැළියෙදි ලක්ෂ්මන් වසන්ත අරක්කු මුදලාලි එපා කියලා රෝහිණී මන්ත්‍රීවරිය වේදිකාව වර්ජනය කළා.  මෙහෙම කණ්ඩායමක් සමඟ රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. ඒ තමයි සජිත්ගේ ප්‍රතිපත්තිතරුක දේශපාලනය. සියලුම කණ්ඩායම් එකට එකතු කරගනිමින් ආර්ථිකය දියුණු කළ හැකි එකම නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බව මේ වන විට ඔප්පු කර තිබෙනවා. ඒ නිසා එතුමගෙ ජයග්‍රහණය වෙනුවෙන් අප කැප වෙමු කියා මාතර ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන පසඳ යාපා අබේවර්ධන, ගයාන් සංජීව යන මහත්වරුන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල ජනකායක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more