2022 වසරේ පෝලිම්වල නොසිටි නිවසක් සොයා ගැනීම කිසාගෝතමිය අබ මිටක් සොයා ගිය ගමනටත් වඩා අසීරුයි

• ටයිටැනික් නැව මෙන් ගිලෙමින් තිබු මේ රට භාරගත් මා රටේ ආර්ථිකය නිවැරදි දිශාවට යොමු කළා.

• සැප්තැම්බර් 21 වනදා ජන වරම ඉල්ලන්නේ නැව වරායට රැගෙන එමින් රට ජයග්‍රහණය කරවීමටයි.

• මා කිසිවිටෙක වරදින තීන්දු ගත්තේ නැහැ.

• තුන්සිංහලයේ අභිමානය ආරක්ෂා කර ගනිමින් දියුණු රටක් ගොඩනඟනවා - ජනපති ගාල්ලේදී පවසයි.

2022 වසරේ මෙරට පෝලිම්වල නොසිටි නිවසක් සොයා ගැනීම කිසාගෝතමිය අබ මිටක් සොයා ගිය ගමනටත් වඩා අසීරු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම ටයිටැනික් නැව මෙන් ගිලෙමින් තිබු මේ රට භාරගත් තමා නැවේ සිටි පිරිස එක් කර ගනිමින් අද නැව නිවැරදි දිශාවට මෙහෙයවීමට කටයුතු කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා සැප්තැම්බර් 21 වනදා ජන වරම ඉල්ලා සිටින්නේ නැව වරායට රැගෙන එමින් රට ජයග්‍රහණය කරවීමට බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (18) පස්වරුවේ ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

තමා සෑමවිටම තීරණ ගනු ලැබුවේ රටේ ජනතාවගේ අනාගතය පිළිබඳ සිතමින් බවත්, තමා කිසිදා වරදින තීන්දු නොගත් බවත් පැවසු ජනාධිපතිවරයා තුන්සිංහලයේ අභිමානය ආරක්ෂා කර ගනිමින් දියුණු රටක් ගොඩනගන බවද ප්‍රකාශ කළේය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

එදා රටේ ජනතාව පෝලිම්වල දුක් වින්දා. එදා පෝලිමේ නොසිටි නිවසක් සෙවීම කිසාගෝතමියි අඹ මිටක් සොයා ගිය ගමනටත් වඩා අසීරුයි. මම මේ රට භාරගත්තේ  රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමටයි. එහි අවසන් අදියර මම දැන් අවසන් කර තිබෙන බව ප්‍රකාශ කරනවා. මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා අපට ණය ලබා දුන් රටවල් සමඟ සාකච්ඡා කර ණය තිරසරභාවය පිළිබඳ ලංකාව වැනි රටකට සුදුසු ගිවිසුමකට එළැඹ තිබෙනවා.

ඒ වගේම අපට ණය ලබාදුන් රටවල් 18 ක් තිබුණා. එම රටවල් අතරින් රටවල් 17 ක් සමග වෙනමත්, චීන සමග වෙනමත් සාකච්ඡා කර එම කටයුතු අවසන් කර තිබෙනවා.

ඒ අනුව තෙවන කණ්ඩායම වන පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ ගිවිසුමත් අප හෙට වන විට අවසන් කරනවා. එසේනම් මම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ මූලික යුතුකම් ඉටු කර රටේ බංකොලොත්භාවය නිල වශයෙන් නැති කරන තත්ත්යකට ගෙන ඒමෙන් පසුවයි.

නමුත් මෙම ආර්ථික ස්ථාවරත්වය අප තහවුරු කර ගත යුතුයි. අප අලුත් ආර්ථිකයක් නිර්මාණය කළේ නැත්නම් නැවත ණය ලබාගෙන අපේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා. එම ආර්ථිකය නිර්මාණය කිරීම වෙනුවෙන් වූ ජනවරම සැප්තැම්බර්  21 වනදා මට ලබාදෙන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.

දේශපාලන ජිවිතයක් කියන්නේ අභියෝග පිරි ජිවිතයක්. මම මේ රටේ ආර්ථිකය ගොඩගැනීමේ අභියෝගය භාරගත්තා. ටයිටැනික් නැව වගේ මේ රට ගිලෙන්න යමින් තිබුණා. නැවේ හැම තැනම සිදුරු තිබුණා. කපිතාන්ලා හිටියේ නැහැ. නැවේ සිටි ටික දෙනා එක් කර ගනිමින් මම රට ඉදිරියට ගෙන ආවා. කෙසේ හෝ අප දැන් නැව නිවැරදි දිශාවට ගෙනවිත් තිබෙනවා. නමුත් තවම වරායට ගෙනවිත් නැහැ. සැප්තැම්බර් 21 වනදා ජනතා වරම ඉල්ලන්නේ නැව වරායට ගෙන යාමට බව මම ප්‍රකාශ කරනවා.

මම සෑම විටම තීරණ ගත්තේ රටේ අනාගත පිළිබඳ අවධානය යොමු කරමින්. එහිදී අසීරු සහ ජනප්‍රිය නොවන තීරණ ගැනීමට සිදු වුණා. නමුත් අපි මේ රටේ ආර්ථිකය ද ස්ථාවර කර ගනිමින් ජනතාවට සහන ලබා දුන්නා.

අද අපට විදේශ රටවල සහාය හිමිව තිබෙනවා. මේ රට ඉදිරියට ගෙන යාමට නව ආර්ථික රාමුවක් අවශ්‍යයි. නැත්නම් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා.ඒ නිසා අපි සිඟමනේ යන ජාතියක් බවට පත් වෙනවද, තුන්සිංහලයේ අභිමානය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යනවද කියා ජනතාව තීරණය කළ යුතුයි.

අද සජිත් හා අනුර කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන අහෝසි කර අලුත් ගිවිසුම් ඇති කරගන්නවා කියලයි. නමුත් එය සිදු වන්නේ නැහැ. IMF  නිවේදනය කර තිබෙනවා මෙම ගිවිසුම් මාරු කිරීමට හැකියාවක් නැහැ කියලා. මැතිවරණ අවසන් වී සති දෙකකින් මෙම කටයුතු අවසන් කිරීමට IMF නියෝජිතයන් මෙරට පැමිණෙනවා. එවිට අප බංකොළොත්භාවයෙන් නිදහස් බවට වූ පණිවිඩය ඔවුන්ට ලබාදිය හැකියි.නමුත් ඔවුන් ආ විට අප මෙම ගිවිසුම් වෙනස් කරනවා කියා කිව්වොත් ගිවිසුම් අවසන් වෙලා අපට ලැබෙන සහාය අහිමි වෙනවා. එවිට ඩොලරයේ අගය රුපියල් 500ක් වෙනවා. සිදු වන්නේ එයයි.

රනිල් වික්‍රමසිංහ යටතේ ආර්ථිකයක වර්ධනය වු බව අද අනුර කුමාර දිසානායක පිළිගන්නවා. සමහර විට අපේ ක්‍රමය ක්‍රියාත්මක වෙයි කියලා ඔහු පවසා තිබෙනවා. එසේනම් අනුරට රට භාර දෙන්නේ මොකටද, මට එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා හැකියි. අනුර දිසානායක කියනවා අවුරුදු එක හමාරක් රට කරලා බැරිනම් දීලා යනවා කියලා. ඒ කියන්නේ මේ රට ඉදිරියට ගෙන යාමට ඔහුට හැකියාවක් නැති බවයි. සජිත් හා අනුර මේ රටේ ආර්ථික ප්‍රශ්නය උග්‍ර කරනවා මිස එය විසදන්නේ නැහැ. සජිත් ප්‍රේමදාසගේ වැඩපිළිවෙළ දැන ගන්න ඊයේ ඔහුට රූපවාහිනි වැඩසටහනකට ආරාධනා කළා. නමුත් ඔහු පැමිණියේ නැහැ.

එසේනම් තමන්ගේ වැඩපිලිවෙළ රටට කියන්න බැරි නායකයන්ට මේ රට ඉදිරියට ගෙන යන්න බැහැ. රට ඉදිරියට ගෙන යාමට නොහැකි  නායකයන්ට රට භාරදීලා වැඩක් නැහැ. ඒ නිසා ඔබේ අනාගතය ගැන සිතන්න. නැවත පැරණි තත්ත්වයට මේ රට පත්වීමට ඉඩ දෙන්න එපා.

මට භාරදුන් යුතුකම මම ඉටු කර තිබෙනවා. දැන් අලුත් රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපි ඉදිරියට යමු කියා මා සියලුදෙනාට ආරාධනා කරනවා. ඒ වෙනුවෙන් සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන ලෙස මම ඉල්ලනවා.

අමාත්‍ය අලි සබ්‍රි මහතා,

මේ රටේ ආර්ථිකය අද වන විට සුවපත් වෙමින්  තිබෙනවා. ලෙඩක් සුවපත් වෙමින් සිටින අවස්ථාවක දොස්තර මාරු කරනවාද කියා මා ජනතාවගෙන් නැවත විමසනවා. කුමන්ත්‍රණ කර බලය ලබා ගන්න හිටපු අයට එය සිදු කර ගන්න බැරි වුණා. දැන් කියනවා වෙනසක් අවශ්‍යයි කියලා. හැබැයි වෙනස අවශ්‍ය වෙන්නේ කබලෙන් ලිපට වැටෙන්නද කියා නැවත කල්පනා කර බලන්න කියා මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බංග්ලාදේශය අවුරුදු විස්සක් පාලනය කරපු ෂීක් හෂීනා අගමැතිතුමිය  පලවා හැරියා. බංගලාදේශය සංවර්ධනය කළ නායිකාව සමාජවාදී අරගලකරුවන් විසින් එලවා දැමුවා. අද බංගලාදේශයේ පැය 19 ක් විදුලි කප්පාදු කරනවා. මේ රටටත් අවශ්‍ය එහෙම වෙනසක්ද  කියා මා ඔබෙන් අහනවා.එම නිසා මෙවර මැතිවරණයේදී නිවැරදි තීන්දුව ගන්න.

ජනතා විමුක්ති පෙරමුණ හිතාගෙන ඉන්නේ මේ රටේ මිනිස්සුන්ට ඕන බොරුවක් කියලා ඔවුන්ගේ හිත දිනාගන්න පුළුවන් කියලයි. වෙනසක් කරන්න ගිහිල්ලා ලෝකයේ අනිත් රටවල්වලට සිදු වුණේ ඒ රට තිබුණු තැනින් පහළට වැටීමයි. ග්‍රීසිය කියන රටට අද වෙලා තිබෙන දේ බලන්න. ඔලිම්පික් තරගාවලිය තිබුණු රට සමාජවාදී පෙරළිය නිසා වසර දහතුනක් ආර්ථික අගාධයකට වැටුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ මන්ත්‍රීවරයෙක් ලෙස වගේම ඇමතිවරයෙක් ලෙසත් හය වතාවක් අග්‍රමාත්‍යවරයෙක් ලෙසත් කටයුතු කර තිබෙනවා. ඒ නිසා එතුමට තව කරන්න දෙයක් නැහැ. එම නිසා එතුමාගේ සේවය අවශ්‍ය වෙන්නේ රටටයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගත් වහාම අමෙරිකාවේ සමන්තා පවර් මහත්මියට කතා කර පොහොර ටික ලබාගන්න කටයුතු කළා. ඒ නිසා මේ  රටේ කන්න අටක් සාර්ථකව වගා කිරීමට හැකි වුණා. ඒ නිසා තමයි ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකිවුණේ. වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවේ විශාල වෙනසක් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වුණා. එම නිසා එතුමාට ඉදිරි වසර පහට බලය ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා .

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා,

සැප්තැම්බර් 22වැනිදා ඉර පායනවා වගේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය විශ්වාසයි. මේ රටේ දකුණෙන් බිහිවුනු නායකයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා යුද ගිනි නිවා දැමුවා. මේ රටේ ආර්ථික ගින්න ආරම්භ වූ පසුව පොහොට්ටුවේ නායකයින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට රට භාර ගන්නා ලෙස ආරාධනා කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ තිබුණු ආර්ථික යුද්ධය ජයග්‍රහණය කිරීමට කටයුතු කළා. අද ජනතාව එය අත්විඳිමින් තිබෙනවා. අද මේ රටේ විදුලි කප්පාදුවක් නැහැ. ඉන්ධන,ගෑස් පෝලිම් නැහැ. ආර්ථිකය ශක්තිමත් කරලා ජනතාවට ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කළාට පසුව විපක්ෂයේ කණ්ඩායම්   අද ජනාධිපතිකම ඔවුන්ට ඉල්ලනවා. ගාල්ලේ ජනතාව ඊට සූදානම් නැහැ.

සමාජවාදී කණ්ඩායම් අරගල කරලා ග්‍රීසිය, ලෙබනනය , බංගලාදේශය වැනි රටවල් වලට අද වෙලා තිබෙන දේ බලන්න. වෙනදා ලෙබනනයට ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයන් ගියා. අද ලෙබනට සංචාරකයෙකුටවත් යන්න බැහැ. සමාජවාදය අරගල කර  දියුණු කළ රටක් ලෝකයේ නැහැ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වසර දෙකක ධූර කාලයේදී මේ ප්‍රදේශයේ  මාතෘ රෝහල ආරම්භ කරන්න පැමිණියා. අධිකරණ සංකීර්ණය විවෘත කරන්න පැමිණියා . smart classroom 200කට උපකරණ ලබා දීමටත්,  ජෛව විවිධත්ව පරිසර උද්‍යානය විවෘත කිරීමටත් පැමිණියා. ජනාධිපතිවරයා කොතරම් කාර්යබහුල වුණත් ගාල්ලට යුතුකම් කරන්න අමතක කළේ නැහැ. ඒ වගේමයි ගාල්ල ජනතාවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් සැප්තැම්බර්  විසි එක්වෙනිදාට යුතුකම ඉටු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී  වජිර අබේවර්ධන මහතා,

මේ රට වැටුණු අවස්ථාවේදී නායකයින් රට දාලා පළා ගියා.  නමුත් රමේෂ් පතිරණලා , ප්‍රසන්න රණතුංගලා පොහොට්ටුවේ බහුතර කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ  රට ගොඩ නඟන්න කටයුතු කළා.  ගාල්ලේ මිනිස්සු අභියෝග හමුවේ පැන දිවූ අය නොවෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගිනිගත් රට භාරගෙන අද වන විට ස්ථාවත්වයකට පත් කර  තිබෙනවා.  

නිදහසින් පසුව අපේ සියලුම නායකයින් මරා දැමුවා. ඩී. එස්. සේනානායක මහතා අකල් මරණයකට පත් වුණා. එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක,විජය කුමාරතුංග , ආර් ප්‍රේමදාස මහත්වරු ඇතුලු නායකයින් ඝාතනය කෙරෙනවා. ජේ.ආර් ජයවර්ධන මහතාටද බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. ලලිත් ඇතුලත්මුදලි , ගාමිණි දිසානායක මහත්වරුන් ඝාතනය කරනවා.

දේශපාලන වේදිකාවේ ඉන්න නායකයින් ඝාතනය කිරීමට පෙර ඔවුන්ට හොරා කියා චරිතය ඝාතනය කරනවා. නිදහසින් පසුව අපේ දේශපාලන නායකයින් එකසිය විසි පහක් මරා දැමුවා.  එම නිසා ජනතාව ලෙස මේවත් කල්පනා කර බලා තමන්ගේ ඡන්දය ලබා දෙන ලෙස මා ඔබට මතක් කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාරගෙන ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ හොඳම රට බවට පත් කරන විට ලෝක බලවතුන් කැමති වන්නේ නැහැ. ඒ නිසා අප කල්පනාවෙන් සිටිය යුතුයි.  මෙවර සියලු පක්ෂ එකතු වෙලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව වැඩි ඡන්දයෙන් මේ ගාළු දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරවීමට එක්වන ලෙස මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා,

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය සඳහා අවසන් තුරුම්පු අදිමින් සිටිනවා. ජන මනස විකෘති කරමින් නොයෙක් ප්‍රශ්න මවමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයට බාධා කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා .  නමුත් එතුමාගේ ජයග්‍රහණයට බාධා කිරීමට අප ඉඩ තියන්නේ නැහැ. ගාල්ල ජනතාවත් එහෙමයි. මීට වසර දෙකකට පෙර ජනතාව පෝළිමේ  හිටියේ  ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්නයි. 21 වැනිදට ජනතාව පෝලිමේ ඉන්නේ ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දීමටයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට උතුරේ ඡන්ද නැගෙනහිර ඡන්ද වතුකරයේ ඡන්ද ලැබුණේ නැහැ.  එතුමා ජයග්‍රහණය කළේ බහුතර සිංහල ඡන්දවලිනුයි. නමුත් මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංහල බහුතර ඡන්ද වගේම උතුරු, නැගෙනහිර සහ වතුකරයේද සියලු ඡන්ද වලින් ලබන ජයග්‍රහණය කිසිවෙකුට වළක්වන්න බැහැ.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

ගාල්ලේ ජනතාව අද එකාවන්ව පෙළ ගැසී සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවීමටයි. වෙනදා කොළපාටින් ,නිල් පාටින්, කුරහන් පාටින් තිබුණු ගාල්ල අද දේදුණු පාටින් එකතු වී සිටින්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙනුයි. සමහරු කියනවා උතුර රනිල්ට හොඳයි, නැගෙනහිර රනිල්ට හොඳයි, කන්ද උඩරට රනිල්ට හොඳයි, දකුණ කොහොමද කියලා.  දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ජයග්‍රහණය කරවන බවට අද රැස්ව සිටින මේ ජනතාව පෙන්වා තිබෙනවා.  සමහර මාධ්‍ය තියෙනවා දේශපාලනඥයෙක්  ආවම හපාකන්න දඟලන මාධ්‍යවේදීන් දානා නමුත් සජිත් ආවම මීයෝ වගේ හැසිරෙනවා. හැබැයි සජිත් අනිත් මාධ්‍යවල තිබුණු සජීවී සාකච්ඡාවලට ආවේ නෑ. මොකද සජිත්ට අභියෝගයක් භාර ගන්න හැකියාවන් නැහැ.

ජනාධිපතිවරණයට පෙර හදාගෙන හිටපු රැලි බිඳ ගෙන  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරියට එන බව දැන් පේන්න තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නලින් හේවගේ කියනවා බෝ ගහ කියන්නේ ගහක් ද, කොස් ගහක් මුල බුදු හාමුදුරුවො වැඩ හිටියා නම් අපිට කොස් කාලත් හමාරයි කියලා. රට නිරාගමිකකරණය කරන ජනතා විමුක්ති පෙරමුණෙන් ලංකාවට සුබවාදී අනාගතයක් ගැන හිතන්න බැහැ.  අභියෝගය තිබෙන අවස්ථාවේ භාරගන්න බැරි වුණු ජනතා විමුක්ති පෙරමුණ දැන් ඉල්ලන්නේ අත්හදා බලන්නයි. ජනතව විමුක්ති පෙරමුණ  රැලි  පෙන්වන්නේ පිට පළාත්වලින්  සෙනඟ ඇදලයි.  සජිත් ප්‍රේමදාසගේ මන්දමානසික නායකත්වයට විරෝධාර එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙ අභිමානය පාවා දෙන්න එපා කියා මා ඉල්ලනවා.

රට බංකොලොත්භාවයෙන් මුදා ගත්තට පස්සේ ඔවුන් රට ඉල්ලනවා නම් ඔවුන්ගේ ඒ නායකත්ව ලක්ෂණ වටහා ගත හැකියි.

එම නිසා ඉදිරි වසර 05ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට නැවත රට භාර දීමට අප පෙළ ගැසෙමු කියා ගාල්ල ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ යන මහත්මීන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල ජනකායක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .

Read more