2022 සිදුවීමෙන් පොහොට්ටුවෙත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් බොහෝ අයගේ ජීවිත අනූ නවයෙන් බේරුණේ මා නිසයි

• අතීතය අමතක කරන්න එපා : රට වෙනුවෙන් එක ගමනකට එක් වෙමු.

• සජිත්ටත්, නාමල්ටත් දෙන ඡන්දය බන්දේසියක දමා අනුරට දෙන ඡන්දයක්.

• බියගම දියුණු කළ ක්‍රමවේදයට රටම දියුණු කරනවා - ජනපති දෙල්ගොඩ ජනතාව හමුවෙමින් පවසයි.

රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ආ ආවස්ථාවේ එතුමාත්, එක්සත් ජාතික පක්ෂයත් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන ආවේ තමා බවත්,  2022 වසරේ රට තුළ සිදුවු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පොදු ජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසකගේ ජීවිත අනූ නවයෙන් බේරුණේද තමා නිසා බවත්  අමතක නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ දෙල්ගොඩ ප්‍රදේශයේ අද (17) පස්වරුවේ පැවති ජන හමුවකට එක් වෙමිනි.

තමන් දේශපාලනය ආරම්භ කළ බියගම සංවර්ධනය වෙනුවෙන් සිදුකළ වැඩපිළිවෙළ මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එම දියුණුවේ වාසිය දේශපාලනයෙන් තොරව අද සෑම දෙනාම භුක්ති විඳන බව ද පෙන්වා දුන්නේය.

බියගම දියුණු කළ ක්‍රමවේදයට රට පුරා ආයෝජන කලාප ඇති කරමින් රටම දියුණුව කරා ගෙන යාම තම අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා රට වෙනුවෙන් එක ගමනකට එක් වන ලෙස පක්ෂ බේදයෙන් තොරව තමා සියලුදෙනාටම ආරාධනා කරන බවද සඳහන් කළේය.

ජනතාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරත් මෙසේද පැවසීය

අප දැන් රට වෙනුවෙන් එක ගමනක් යා යුතුයි. 2022 වසරේ මේ රට භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ අවස්ථාවේ මම ආණ්ඩුව භාර ගත්තා. ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන නැතිව රටේ ආර්ථිකය කඩා වැටි තිබු අවස්ථාවේ ජනතාව ජීවත් කරවීමේ වගකීම මා භරගත්තා.

එම අවස්ථාවේ පක්ෂ ගැන හිතන්න ගියේ නැහැ. එදා දේශපාලන පක්ෂ ගැන සිතුවා නම් අද ලංකාවක් නැහැ. මම ජනාධිපති ධූරයේ වගකීම භාරගෙන සියලු දෙනා එක් කර ගනිමින් මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළා.

ඒ අනුව අද ජනතාවගේ මූලික ප්‍රශ්න විසඳී තිබෙනවා. අද ජනතාවට ජීවත්විය හැකි රටක් තිබෙනවා. පහසු කාර්යයක් නොවුවත් අප එම අභියෝගය භාරගෙන වැඩ කළා. දැන් අප ඉදිරියට යා යුතුයි. අප දැන් ක්‍රමානුකූලව ජනතාවට සහන සලසා තිබෙනවා. ලබන වසරේදී ජීවන බර තවත් සැහැල්ලු කිරීමට අප කටයුතු කරනවා.

මේ රටේ ජනතාවට හොඳ අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවක් තිබෙනවා. මට අවශ්‍ය එම බලාපොරොත්තු ඉටු කිරීමටයි. මේ රටට අලුත් ආර්ථිකයක් ලබාදීමේ වැඩපිළිවෙළ අප ඉටු කළ යුතුයි.

මා බියගම ඇති කළ සංවර්ධනය රටටම ලබාදීමට මට අවශ්‍යයි. බියගම දැන් විදේශ විනිමය උපයන ආර්ථිකයක් තිබෙනවා. 1977ට පෙර මෙහි ජනතාවගේ ජීවනෝපාමාර්ගය වූයේ බීඩි එතීමයි. හුඟක් අය කිව්වා බියගම සංවර්ධනය කරන්න බැහැ කියලා. නමුත් මම එය කළා. දැන් වෙළෙඳ කලාප කිහිපයක් මෙහි තිබෙනවා. සෑම නිවසකම මුදල් ඉපැයීමේ හැකියාව තිබෙනවා. ලංකාවේ බොහෝ තැන්වල මෙවැනි තත්ත්වයක් නැහැ. දැන් බියගමට ලබාදිය යුතුව තිබෙන්නේ බෙල්ලකපාපු හන්දියේ රෝහල් ඉදිකිරීම පමණයි.

ඒ වගේම බියගමට හොඳ ක්‍රීඩා පිටියක් ලබා දෙනවා. දැන් මෙහි දියුණු කිරීමට ඉඩක් නැහැ. ඒ නිසා ඊළඟ වෙළඳ කලාපය කෑරගල ප්‍රදේශයේ අක්කර 120ක භූමියක ඉදිකිරීමට මම බලාපොරොත්තු වෙනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට ගෙන ගිය විට එම ස්ථානයේ නව තාක්ෂණ නගරයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.

බියගම ප්‍රදේශයේ අප ඇති කළ සංවර්ධනයේ වාසිය දේශපාලනයෙන් තොරව සෑම අයෙකුම ලබාගෙන තිබෙනවා. අපේ රටත් මේ අයුරින් සංවර්ධනය කළයුතුයි. ඒ වගේම බියගම විශ්වවිද්‍යාලයක් ඇති කිරීමටද මම බලාපොරොත්තු වෙනවා.

අප බියගම සංවර්ධනය කර පෙන්වා තිබෙනවා. ඒ නිසා මෙම බියගම ක්‍රමවේදය අනෙක් පළාත්වලට ලබාදෙමින් රටම සංවර්ධනයකට ගෙන යමු. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන සියලුදෙනාට මම කියනවා දැන් තිබෙන එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න කියලා. ඒ නිසා ගෑස් සිලින්ඩරය වෙනුවෙන් සැප්තැම්බර් 21 වනදා ඔබේ ඡන්දය ලබා දෙන ලෙස මම ජනතාවගෙන් ඉල්ලනවා.

මම එක්සත් ජාතික පාක්ෂිකයන්ට මතක් කරනවා එදා රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාව දෝශාභියෝගයෙන් බේරා දුන්නේ මමයි. ඒ නිසා සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන් නම් අප සමඟ එක් විය යුතුයි.

ඒ වගේම පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදස් පක්ෂයේ අයට මම කියනවා පසුගිය කාලය අමතක කරන්න එපා කියලා. ඇතැම් අය 2022 වසරේදී අනූ නවයෙන් ජීවිත බේරාගත්තේ. මම රට භාරගෙන ස්ථාවර භාවයක් ඇති කළේ නැත්නම් මොකක්ද වෙන්නේ. ඒ නිසයි මම කියන්නේ සජිත්ට දෙන ඡන්දයත්, නාමල්ට දෙන ඡන්දයත් බන්දේසියේ දාලා අනුරට දෙන ඡන්දයක් කියලා. ඒ නිසා  සියලුදෙනා එක්ව සැප්තැම්බර් 21 වන දින ගෑස් සිලින්ඩරය ළඟින් කතිරය ගහන්න කියලා මම ඉල්ලනවා.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

මහා සංඝරත්නය ද, රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා සහ ප්‍රාදේශීය දේශපාලන නායකයින්  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more