සජිත් සහ අනුර ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේත් ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික වැඩපිළිවෙළමයි

• සැලැස්මකින් තොරව බදු අඩු කිරීම නිසා 2022 රටේ ආර්ථිකය කඩා වැටුණා.

• රට අගාධයට ඇද දැමූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නම් අරගල කළේ මොකටද ?

• ගොවියාට පොහොර ලබා දුන් අයුරින් ජලය ද ලබා දී වී අස්වැන්න ඉහළ නංවා ජාතික ආර්ථිකය ශක්තිමත් කරනවා.

උමා ඔය ඉතිරි වැඩ කඩිනමින් අවසන් කරනවා.

උක් ගොවියාට ද පොහොර සහනාධාරය - ජනපති මොණරාගලදී කියයි .

වැරදි ආර්ථික තීන්දු ගනිමින් අද සජිත් සහ අනුර ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළම බවත්, සැලැස්මකින් තොරව බදු අඩු කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් පියවර නිසා 2022 වසරේදී රටේ ආර්ථිකය කඩා වැටුණු අයුරු කිසිවෙකු අමතක නොකළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නම් සජිත් සහ අනුර අරගලයට මුවා වි ඔහු පන්නා දැමුවේ ඇයි දැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරි වූයේ පසුගිය වසර දෙක තුළ අසීරුවෙන් ඉදිරියට ගෙන ආ ආර්ථිකය ආරක්ෂා කරමින් ජනතාවට ජිවත්විය හැකි රටක් ගොඩනඟාදීමට බව ද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (29) පස්වරුවේ මොණරාගල පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන හමුවට අති විශාල ජනතාවක් එක්ව සිටියහ.

උමා ඔය ව්‍යාපාතියේ ඉතිරි වැඩද අවසන් කරන බවට මෙහිදී ගොවි ජනතාවට සහතික වූ ජනාධිපතිවරයා ගොවියාට පොහොර ලබා දුන් අයුරින් ජලය ද ලබා දී වී අස්වැන්න ඉහළ නංවා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් උක් ගොවියන්ට ද පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරන බවත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

එදා මේ රටේ ජනතාව පක්ෂ, පාට, ජාති, ආගම් බේද නොමැතිව සියලුදෙනා පොළිම්වල දුක් වින්දා. රට බේරා ගැනීමට නම් අප සියලුදෙනා එක්ව ඉදිරියට යා යුතුයි බව එදා අප තීරණය කළා. එහිදී මේ රටේ ජනතාව ලබාදුන් සහායට මම ස්තූතිවන්ත වෙනවා.

අප වසර දෙකක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළා. මා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ එම ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමටයි. මගේ අරමුණ වන්නේ ජනතාවගේ ජීවන බර අඩු කිරීමයි.

අද සජිත් සහ අනුර කියනවා ජීවන බර අඩු කරන්නේ බදු අඩු කරලා කියලා. බදු අඩු කළ විට රජයේ ආදායම අඩු වෙනවා. ඒ වගේම ඔවුන් කියනවා බඩු මිලත් අඩු කරනවා කියලා. එසේනම් ආදායම් අඩුකරගෙන වියදම් වැඩිකරගත් විට ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා ඔවුන්  කිව යුතුයි. මෙහෙම කළොත් නැවත  රට 2022 පැවති තත්ත්වයට පත් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද සිදු කළේ මෙයයි. ඒ නිසා ඇති වු තත්ත්වය මම ඔබට අමතුවෙන් කිවයුතු නැහැ.

ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නම් සජිත් සහ අනුර පාරට ඇවිත් ගෝඨාභය ජනාධිපතිවරයාව පන්නා ගත්තේ ඇයි කියා මම අහනවා.

අපි කටයුතු කරන්නේ දිනෙන් දින ජාතික නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමටයි. අප දැන් එහි සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. මෙම මුදල් ලැබෙන විට ජනතාවට සහන ලබාදිය හැකියි. අපි සමෘද්ධිය වෙනුවට අස්වැසුම ගෙනත් ජනතාවට තුන් ගුණයක ප්‍රතිලාභ ලබා දුන්නා. රජයේ සේවකයන්ගේ දීමනාව වැඩි කළා. මෙලෙස ආර්ථිකය දියුණුවන විට ජනතාවට සහන ලබාදිය හැකියි.

2024 වසරට වඩා 2025 වසරේදී ජනතාවට වැඩි සහනයක් ලබාදිය හැකියි. මේ විදියට ආර්ථිකය දියුණු වී මුදල් තිබෙන නිසා උක් වගාව සඳහා දපොහොර සහනාධාරයක් ලබාදීට අපට පුළුවන් වෙලා තිබෙනවා. අප ඉදිරියට යා යුත්තේ මේ අයුරින්. බොරු පොරොන්දු දෙන්නේ නැතිව රටේ ආර්ථිකය දියුණුවීමත් සමඟ ජනතාවට සහන ලබාදීමට හැකි වෙනවා. 2025 අවසාන කාර්තුවේ සිට මෙම සහන ලබාදීම තවත් වැඩි කිරීමට හැකියාව තිබෙනවා.

ඒ නිසා මෙම වැඩපිළිවෙළ කඩා දමා පැරණි ක්‍රමයට යනවද කියා ජනතාව තීරණය කළ යුතුයි. ඒ වගේම ජනතාවගේ බදු බර අඩු කළ යුතුයි. අසීරු කාලයේ මුදල් මුද්‍රණය කළ නොහැකි තත්ත්වයක් ඇති වූ විට අපට බදු වැඩි කිරීමට සිදු වුණා. එමඟින් ජනතාව විශාල පීඩාවකට මුහුණ දුන් බව අප දන්නවා.

කෙසේ හෝ දැන් රටේ ආදායම් වැඩි වෙනවා. දළ ජාතික නිෂ්පාදනය වැඩි වෙනවා. එවිට ජනතාවට බදු සහන ලබාදිමට අපට හැකි වෙනවා. ඒ වගේම ලබන වසරේ තරුණ තරුණියන් ලක්ෂයකට ස්ථිර ආදායම් මාර්ග  ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමන් කැමති පුහුණු ආයතනයකින් පුහුණුව ලබා ගැනීමට තවත් තරුණ තරුණියන් 50,000කට  මුදල් ලබා දෙනවා.

මේ රටේ ආර්ථිකය ප්‍රවර්ධනය කර ග්‍රාමීය ප්‍රදේශවලට ද සංවර්ධනය ගෙන යාම අපේ අරමුණයි. මෙම ප්‍රදේශයේ ඉඩම් ගැටළුවේ කොටසක් මේ වන විට විසඳා තිබන අතර ඉතිරි කොටස කඩිනමින් විසඳීමට කණ්ඩායමක් යොමු කරනවා.

ඒ වගේම කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමට ද අප කටයුතු කරනවා. මෙම කටයුතු තුළින් මේ පළාතේ කාෂිකර්මය දියුණු කර ගොවි ජනතාවට ශක්තිමත් කිරීමට අවස්ථාව ලැබෙනවා.

උමා ඔය ව්‍යාපාරයේ ඉතිරි වැඩ කොටස අප අවසන් කරනවා. ජනතාවට පොහොර ලබා දුන්නා වගේම ජලයද ලබා දීමට අප කටයුතු කරනවා. ඔබ මට වසර 05ක් ලබා දුන්නොත් පසුගිය අවුරුදු දෙකට වඩා විශාල වැඩකොටසක් අපට ඉටු කළ හැකියි. ඒ නිසා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන්න කියා මම ඉල්ලනවා.

අමාත්ය ප්රසන්න රණතුංග මහතා,

අද අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙලා. එකිනෙකා මරා ගෙන තමන්ගේ දේශපාලන මතවාද වලින්  දේශපාලන කළ කාලය අවසන් වෙලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කණ්ඩායම් එකම වේදිකාවකට ඇවිත් තිබෙනවා.  ඒ සියලු  කණ්ඩායම් එකතු කර ගෙන රට වෙනුවෙන් ඉදිරිපත් වුණ කණ්ඩායම තමයි  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනුවෙන් පෙනී සිටින්නේ.

අපේ අම්මාලා, තාත්තලා සහ  ඉතිහාසය පුරාම දේශපාලනය වෙනුවෙන්  සටන් කරපු  කණ්ඩායම් දැන් එකතු වෙලා තියෙන්නේ එකම අරමුණක් වෙනුවෙන්. එදා ජනතාව පාරවල්වල ඉන්ධන, ගෑස්, බෙහෙත් ලැබෙනතුරු බලාගෙන හිටියා. රෝහල්වල රෝගීන්ට අවශ්‍ය බෙහෙත් දෙන්න බැරි වුණා. ආර්ථික අර්බුදයත් එක්ක රට බංකොලොත් වුණා. බංකොලොත් වෙනකොට කිසිදු රටක් ආධාර දුන්නේ නැහැ. රටට ණය දුන්නේ නැහැ. අපේ නායකයින්ට රට අත හැරලා යන්න සිදු වුණා. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනය කළා.  

අද රට සාමාන්‍ය තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. වැල් පාලම් භාගයක් ඇවිත් තියෙනවා ඉතුරු ටික ගොඩ යාමයි අපේ වගකිමයි. ඒ ගොඩ යෑමේ තීන්දුව තිබෙන්නේ සැප්තැම්බර් 21 වෙනිදාටයි.  අද කටින් බතල හිටවන නායකයින්  ඕන තරම් ඉන්නවා. වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා විතරයි.

රාජ්ය අමාත්ය ජගත් පුෂ්පකුමාර මහතා,

එදා අපි කතා කළේ පක්ෂයක අපේක්ෂකයෙක් දිනවන්නයි. අද අපි කැපවී සිටින්නේ ස්වාධීන අපේක්ෂකයෙක් දිනවන්නයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි. මීට අවුරුදු දෙකකට පෙර රටේ තිබුණු තත්ත්වය අපි දන්නවා. රැපියල් 2000ට පෙට්‍රල් ලීටරයක් ගහගෙන රෝහලට තමන්ගේ දරුවා ගෙනියපු දෙමව්පියන් හිටියා. ගෑස් නැතුව, දරුවට කිරි පිටි නැතුව දුක් විඳපු දෙමව්පියන් හිටියා. රෝහලට ගිහාම බෙහෙත් නැතිව දුක් විඳපු දෙමව්පියන් හිටියා.

මේ වගකීම බාරගන්න කියලා අපි එදා සජිත් ප්‍රේමදාස මහත්තයාට කිව්වා. දැන් කයිවාරු ගහන  සජිත් ප්‍රේමදාස මහත්තයා එදා කිව්වේ මේක බාර ගත්තොත් එයාට තව අවුරුදු දෙකකින් ජනාධිපති වෙන්න බැරි වෙනවා කියලයි. එදා රටේ ජනතාව දුක් විඳිනකොට ජනතාවට කිසි දෙයක් කරගන්න බැරුව සිටපු වෙලාවේ පැනලා ගියපු සජිත් ප්‍රේමදාස අද ජනතාවගෙන් ජනාධිපතිකම දෙන්න කියලා ඉල්ලනවා.

රාජ්ය අමාත්ය විජිත බේරුගොඩ මහතා.

වර්තමානයේ අප පසුවන්නේ ඉතා තීරණතාමක අවස්ථාවකයි. මේ රට ඉදිරියට ගෙන යමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් අත්දැකීම් ඇති, දේශපාලන පළපුරුද්දක් සහ ජාත්‍යන්තර සබඳතා තිබෙන නායකයෙක් අවශ්‍යයි. එම පළපුරුද්ද සහ දේශපාලන පන්නරය ඇති එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

ජනතාව නැවත මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගත යුත්තේ අසීරු අවස්ථාවේ තමන් සමඟ සිටි නායකයාවයි. ඒ නිසා නව වන විධායක ජනාධිපතිවරයා ලෙස ඉදිරි වසර 05 සඳහාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලය ලබා දිය යුතුයි. ඌව වෙල්ලස්ස ජනතාව එදා ඉංග්‍රිසි අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. ඒ වගේම වර්තමානයේ ද පුරසාරසම් දොඩවන්නන්ගෙන්, භීෂණය පතුරවන දේශපාලන ව්‍යාපාරවලින් මේ රට බේරාගෙන රනිල් වික්‍රමසිංහ මහතා නැවත මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට ඌව වෙල්ලස්ස ජනතාව පෙරට එන බව මම දන්නවා.

හිටපු අමාත්ය විජිත් විජිතමුණිද සොයිසා මහතා,

එදා මේ රට භාර ගන්න බැහැ කියලා සජිත් සහ අනුර පැනලා දිව්වා. තෙල්,ගෑස්, පොහොර තිබුණේ නැහැ. ඇගේ ගාන්න සබන් කෑල්ලක් තිබුණේ නැහැ. දරුවන්ට කිරි පිටි ටිකක් තිබුණේ නැහැ. එහෙම තිබු රට ගොඩගන්න රනිල් වික්‍රමසිංහ මහතා බය නැතිව ඉදිරිපත් වුණා. ඔහු මේ රට ගොඩනැගුවේ අනිත් අය කළ විදිහට සල්ලි අච්චු ගහලා හෝ සම්පත් විකුණලා නොවෙයි.

මේ රට ගොඩනැගුවේ රනිල් වික්‍රමසිංහ මහතායි. වැරදීමකින් හෝ ජවිපෙට බලය ගායොත් ජනවාරි මාසයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න වෙන්නෙත් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන කඩාකප්පල් වෙනවා. ජවිපෙ සමෘද්ධි අරමුදලටත් අත තියනවා. ඒ නිසා ගෑස් සිලින්ඩරය දිනවීම හැර වෙනත් විකල්පයක් නැහැ.

මොනරාගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය ගයාෂාන් නවනන්ද මහතා,

අතීතයේ ගනු ලැබු වැරදි ආර්ථික තීන්දු තීරණ නිසා මේ රට බංකොළොත් වෙලා ඉන්ධන සහ ගෑස් නැති වෙද්දි, පැය ගණනක් විදුලිය කප්පාදු කරද්දි, රෝහල්වල ඖෂධ නැතිව ජනතාව මියයද්දි මේ රටේ වගකීම භාර ගැනීමට කිසිවෙකු සිටියේ නැහැ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා තනි ආසනයක් තිබු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණෙද්දි   මුලින්ම එතුමාව හමුවු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ගයාශාන් නවනන්ද ඉස්සරහින්ම ඉන්නවා.මම එතුමාව සොයාගෙන ගියේ එතුමාගේ දැනුමෙන් සහ පරිනත භාවයෙන් උදව්වක් ගැනීමටයි.

ලංකාවේ ජනතාවගේ, මේ වෙල්ලස්සේ ජනතාවේග පූරුවේ පිනට පහළ වූ රනිල් වික්‍රමසිංහ මහතා ලක්මාතාව වේදනාවෙන් දුක් විඳිද්දී, නායකයෝ රටේ ජනතාවට මැරෙන්න ඇරලා, ජනතාව අතහැරලා පැන යද්දී මේ රට භාරගත්තා. ඒ වෙනුවෙන්  අප ඔබතුමාට සදාකල් ණයගැතියි. ආර්ථිකය යුද්ධය ගොඩගෙන ඔබතුමා සුවහසක් ශ්‍රී ලංකා වැසියන්ගේ  ජීවිත බේරා ගත්තා.

පර්ලිමේන්තු මන්ත්රී කුමාරසිරි රත්නායක මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරගත්තේ ඉතාම විශාල අභියෝගයක්. ඒ අභියෝගයට ඉතාමත්ම ශක්තිමත්ව මුහුණ දෙමින් ප්‍රසන්න රණතුංග මහතා වැනි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල අමාත්‍යවරු ඒකරාශී කරගෙන ඉතාම නිවැරදි කළමනාකාරීත්වකින් යුක්තව අද මේ රට නිවැරදි දිශාවකට, නිවැරදි තැනකට,  ස්ථාවර තැනකට ගෙනවිත් තිබෙනවා.  

මොනරාගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනාගෙන් හතර දෙනෙක්ම ඔබතුමාට සහය දෙන්නේ ඒ නිසයි. පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු ඇතුළු නියෝජිතන් වැඩි පිරිසක් ඔබතුමා සමඟ එක් ඒ නිසයි.

ඒ වගේම එදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක හිටපු අපේ ආදරණීය ජනතාව මේ විදියට ඔබතුමා සමඟ එක්ව සිටිනවා. ඒ ඔබතුමා මේ රට වෙනුවෙන් කළ මෙහෙවරට කෘතගුණ දැක්වීමටයි.

ප්‍රදේශයේ මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, පළාතේ දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more