ආර්ථික අර්බුදය හමුවේ ජනතාව අතහැර පළා යාම පිළිබඳ සජිත් හා අනුර ජනතාවගෙන් සමාව ගත යුතුයි

• ජනතාවට ජීවත්විය හැකි රටක් නිර්මාණය කර දුන්නේ මමයි.

• මෙය “චාන්ස් එකක්” ඉල්ලන දේශපාලනඥයන්ට ඔබේ අනාගතය භාරදිය යුතු අවස්ථාවක් නොවෙයි.

• ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය පිළිබඳ මා ඇසු ප්‍රශ්නවලට අනුර පිළිතුරු දිය යුතුයි.

• රට ජයග්‍රහණය කරවීමට නම් සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන්න - ජනපති කෑගල්ල විජයග්‍රාහී ජන රැලිය අමතමින් පවසයි.

සජිත් සහ අනුර දේශපාලන වේදිකාවේ ජනතාවගේ දුක කියමින් බොරුවට කඳුළු හෙළනවා වෙනුවට පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පෝලිම්වල දුක් විඳින විට ජනතාව අතහැර පළා යාම පිළිබඳ ජනතාවගෙන් සමාව ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (14) පස්වරුවේ කෑගල්ල නගර මධ්‍යයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ. එම ජනතාව මහත් හරසරින් යුතුව ජනාධිපතිවරයාව පිළිගත්හ.

ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ රටේ ආර්ථික ගැටලුව විසඳමින් ජනතාවට ජීවත්විය හැකි රටක් නිර්මාණය කර දුන්නේ තමන් විසින් බවයි.

එසේම ජනතාවගේ අනාගතය “චාන්ස් එකක්” ඉල්ලන දේශපාලනඥයන්ට බාරදීමට මෙය අවස්ථාවක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අසීරුවෙන් රැක ගත් මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සැප්තැම්බර් 21 වනදා සියලුදෙනා ගෑස් සිලින්ඩරය වෙනුවෙන් ඡන්දය භාවිතා කළ යුතු බවද කියා සිටියේය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

දැන් අප ගත කරමින් සිටින්නේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ අවසාන සතියයි. මෙවර ජනාධිපතිවරණය  සඳහා අපේක්ෂකයන් 38 දෙනෙක් ඉදිරිපත්ව සිටිනවා. එදා මේ කිසි කෙනෙක් ඔබ විඳින දුක දුටුවේ නැහැ. ආහාර, ඖෂධ, ඉන්ධන ගෑස් නැතිව ජනතාව විඳින දුක, ඒ වගේම දරුවන් පාසලට යවා ගත නොහැකිව විඳින දුක ඔවුන් එදා දුටුවේ නැහැ. අද ජනතාව ඉදිරියට පැමිණ ඇඩුවට එදා ඔවුන් සැඟවී සිටියා. රට අසීරුතාවට පත්වූ අවස්ථාවේ ජනතාව අතහැර ගිය සජිත් හා අනුර ජනතාව ඉදිරියට පැමිණ සමාව ඉල්ලිය යුතුයි.

රටේ ආර්ථික ගැටළුව විසඳමින් ජනතාවට සහන ලබා දී, ජීවත්වීම පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දුන්නේ මමයි. අද රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා. ක්‍රමානුකූලව ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් පසුගිය සමයේ අස්වැසුම ඇතුළු වැඩසටහන් අප ක්‍රියාත්මක කළා. පොහෙර සනාධාරය ලබා දුන්නා. විශ්‍රාම සහ වැඩිහිටි දීමනා ඉහළ දැමුවා. එක පැත්තකින් භාණ්ඩ මිල අඩු කරනවා වගේම අනෙක් පැත්තෙන් මුදල් දී ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට අප කටයුතු කර තිබෙනවා. ලබන වසර වන විට ජනතාවගේ ජීවන බර තවත් සැහැල්ලු වන බව ප්‍රකාශ කළයුතුයි.

මම වේදිකාවට නැග පොරොන්දු දෙන පුද්ගලයෙක් නොවෙයි. වගකීම ඉටුකර මම එය ජනතාව හමුවේ ප්‍රකාශ කරනවා. අපි අනාගතය ගැන සිතිය යුතුයි. අනාගතය පිළිබඳ කාටවත් චාන්ස් එකක් දෙනවද, නැත්නම් ස්ථීර අනාගතයකට යනවද කියා ජනතාව තීරණය කළ යුතුයි. මාලිමාවෙන් කියනවා අපිට චාන්ස් එකක් දෙන්න කියලා. ඔවුන්ගේ අය වැය මගින් IMF කොන්දේසි සියල්ල කඩ කර තිබෙනවා. කොන්දේසි කඩ කරලා IMF සහාය අහිමි වූ පසු රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. ඒ වගෙම ඔවුන් මේ ආර්ථික ප්‍රශ්න විසදන ආකාරය පිළිබඳ මම ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුයි.

ඔවුන්ට වැඩපිළිවෙළක් නැති නිසා පිළිතුරු දෙන්නේ නැහැ. ඔවුන් ප්‍රශ්න ගැන කථා කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ බනින එක විතරයි. නමුත් මට පුළුවන් ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. ඒ නිසා ජනතාව තුළ වෛරය ඇති කරන්නේ නැතිව සත්‍ය කතා කරන්න කියා මා සජිත්ගෙන් සහ අනුරගෙන් ඉල්ලනවා.

ඉදිරියට යා හැකි මාර්ගය අප පෙන්වා දී තිබෙනවා. එම මාර්ගයේ රට ඉදිරියට ගෙන ගොස් රට ජයග්‍රහණය කරවීමට සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.

අමාත්‍ය අලි සබ්‍රි මහතා,

අපි අද ඉතාමත් තීර්ණාත්මක මැතිවරණයකට මුහුණ දී සිටිනවා. ඉදිරි වසර 5 තුළ මේ රට ගමන් කළ යුතු දිශානතිය මෙවර ජනාධිපතිවරණයෙන් තීරණය වෙනවා. ඒ නිසා හදවතින් නොව මොළය කල්පනා කර  තම මනාපය භාවිතා කරන්න කියා මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

අපි 2022 වසර සිහිපත්කර ගත යුතුයි. පැය 13ක් විදුලිය නැතුව, පොහොර, ගෑස් නැතුව සිටි ඒ කාලය මතක් කර ගත යුතුයි. ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය අරගලකරුවන් විසින් අල්ලා ගත්තා. පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට උත්සාහ කරද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එම උත්සාහය වළක්වාලමින් මේ රටේ නීතිය හා සාමය නැවත ස්ථාපිත කළා. එසේ නොවන්නට අද බංග්ලාදේශය මුහුණ දී ඇති තත්ත්වයට එදා මේ රට පත් වෙනවා.  

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආර්ථික කළමනාකරණය නිසා ආර්ථිකය යථා තත්ත්වයට පත් වී තිබෙනවා. රට තුළ තහවුරු කළ සාමකාමී පරිසරය නිසා මේ වසරේ විදේශ සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 25 දක්වා වැඩිකර ගැනීමට හැකි  වුණා .තැල්ල බඳින්න නම් බෙල්ලක් තිබිය යුතුයි. ඒ නිසා අප කැමති දෙයක් කරන්න නම් අපට රටක් තිබිය යුතුයි. රට සුවපත් කළ ජනාධිපතිවරයා පරාජය කිරීමට වේදිකා ගානේ කෑගහන කුහක දේශපාලනඥයින්ට දැනෙන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කළ යුතුයි.

හකීම් හා රිෂාඩ් සජිත් එක්ක හිටියට එම පක්ෂවල පාක්ෂිකයන් සිටින්නේ ජනාධිපතිතුමා සමඟ බවත් පැවසිය යුතුයි.

අනූර දිසානායක අහනවා වසර 76ක් මේ රටට මොනවද කළේ කියලා. එතුමානිදහස් අධ්‍යාපනය ලබා, අද දේශපාලනයට ඇවිත් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ වසර 76ක කළ කී දේ නිසා බව මා ඔහුට මතක් කර දෙනවා. 71 කැරැල්ල , අසූ නවයේ කැරැල්ල නොතිබුණා නම් මීටත් වඩා කරන්න තිබුණා . ඒ නිසා නැවත අපට අඳුරු අතීතයට යන්න බැහැ.

සංවර්ධිත රාජ්‍යයක් වූ ග්‍රීසියට සමාජවාදය වුවමනායි කියලා සමාජවාදී ආණ්ඩුවක් පිහිටවූවා. නමුත් ආර්ථිකය බිඳ වැටුණා.එදා වාමාංශිකයි කියා පැමිණි ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  එරටින් පන්නා දැමුවා.ඒ හමුවේ ග්‍රීසියේ ආර්ථිකය නැවත ගොඩ ගැනීමට ඔවුන්ට වසර 13 ක් ගත වුණා. එම වසර දහතුන ඇතුළත රාජ්‍ය සේවකයකට වැටුප් ගෙවීම් සිදු කළේ සියයට පනහක් පමණයි. ඒනිසා අපට අහන්න තිබෙන්නේ ඩොලරය රුපියල් 400කට යන වෙනසක් ඔබට අවශ්‍යද කියායි.

මේ වෙලාවේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. එතුමා පසුගිය දෙවසර තුළ එය ක්‍රියාවෙන්ම පෙන්වා තිබෙනවා.  ඒ නිසා මෙවර ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව වැඩි ඡන්දයෙන් කෑගල්ලෙන් ජයග්‍රහණය කරවමු කියා මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ආර්ථිකය ක්‍රමාණුකූලව ගොඩගැනීමට කටයුතු කළා. අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ශ්‍රී ලංකා මාතාව සාමාන්‍ය වාට්ටුවට ගෙන ඒමට කටයුතු කළා කිව්වොත් නිවැරදියි.

මේ රටට භාණ්ඩ දෙදාහක් ආනයනය කිරීම නවත්වා තිබුණා. ආර්ථිකය නිවැරදිවීමත් සමඟ නැවත භාණ්ඩ   ආනයනය කිරීම ආරම්භ කළා. ලබන වසරේ සිට වාහන ආනයනය කිරීමටත් අනුමැතිය ලබා දී තිබෙනවා.

අවුරුදු දෙකක් පුරා අනෙක් දේශපාලන පක්ෂ ඔවුන්ගේ පටු දේශපාන අරමුණු වෙනුවෙන් කටයුතු කරන විට ජනාධිපතිතුමා මේ රට ස්ථාවර කිරීමට කටයුතු කළා. එතුමා ඡන්ද සටන ආරම්භ කළෙත් ඉතා ක්‍රමානුකූලව යි.  නමුත් මේ වනවිට ජනාධිපතිවරයාගේ මැතිවරණ ක්‍රියාවලිය වේගයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා . එය 21 වෙනිදා වන විට විජයග්‍රහණයක් බවට පත් වෙනවා නියතයි.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා,

අද මෙතනට රැස්ව සිටින්නේ  මේ ආසනයේ ජනතාව පමණයි. මේ මහා ජන ගඟ කියා සිටින්නේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණයේ සුබ පණිවිඩයයි. අද ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වී ඇති බව බ්ලූම්බර්ග් වාර්තාව සඳහන් කරනවා.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මේ රටේ නැවත පෝලිම් යුගයක් ඇති නොවන බව ස්ථිරයි. ඒ නිසා නැවතත් මේ රටේ නියත වශයෙන්ම ජනාධිපති වන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.

අනුර දිසානායක කෑගල්ලට ඇවිත් කියනවා  කෑගල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු බාර් පර්මිට් අරගෙන තියෙනවා කියලා.  එම වාර්තා ෆයිල් ප්‍රසිද්ධියේ පෙන්නන්න කියල මම අභියෝග කරනවා. අනුර දිසානායක කියන්නේ ජනතාව බොරුවෙන් අන්දලා තමන්ගේ සිහින ළඟා කරගන්න උත්සාහ කරන්නෙක් බව කිව යුතුයි. නායකයෙක් තමයි. අනුර දිසානායකගේ ඔක්කොම සෙල්ලම් තිබුනේ තැපැල් ඡන්ද  භාවිතා කරන තුරු පමණයි. දැන් ඔහුගේ පරාජය ස්ථිර බව අනුර කුමාර දන්නවා. කෑගල්ලේ ජනතාව වැඩි ඡන්දයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාව දිනවන වන බව ස්ථිරයි.

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා,

කෑගල්ල කියන්නේ 1977 සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික කඳවුරු ජයග්‍රහණය කළ දිස්ත්‍රික්කයක්. එම සියලු කඳවුරු මේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී සිටිනවා. අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,කම්කරු කොංග්‍රසය එකම වේදිකාවකට පැමිණ තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණ හතේදීම කෑගල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබෙන්නේ එවකට බලයේ  හිටපු ජනාධිපතිවරයායි. ඒ නිසා මෙවරත් කෑගල්ලෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාගේ ජයග්‍රහණය ස්ථීරයි.

හිටපු අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය,

ජනතාව දුක් ගිනි නිවීම සඳහා ඉදිරිපත් වුණු නායකයා වෙනුවෙන් පෙනී සිටීමට මා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය කැප කළා. නමුත් විපක්ෂයේ සිටින ඇතැමුන්ට නිවැරදි තීන්දුවක් ගන්න කොන්දක් නැහැ. කෑගල්ලේ  කබීර් හසීම් මහතාට කොන්දක් නැතිවීම පිළිබඳව මගේ කණගාටුව පළ කරනවා.

ජනතා විමුක්ති පෙරමුණ 2022 වසරේදී කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න බැහැ කියලා. ඊට පස්සේ කිව්වේ ජාත්‍යන්තර අරමුදලට ගියාට  රට ගොඩ ගන්න බැහැ කියලා. නමුත් දැන් අයි. එම්. එෆ් ගිහින්, රටත් ආර්ථික වශයෙන් ගොඩ ගෙන තිබෙනවා.  ජාතික ජන බලවේගය ආර්ථික ඔස්තාර්ලාගේ අයවැය  ඉදිරියට ගෙන ගියහොත් රට නැවත අරාජිකත්වයට පත් වෙනවා. එහිදී ආර්ථිකය කඩා වැටෙනවා නියතයි. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කිරීමට අප කැප විය යුතුයි .

සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා,

අපි මීට වඩා අභීයෝගවලට මුහුණ දුන් පිරිසක්. මේ එක් ජනාධිපතිවරණයක් පමණයි. නමුත් නියම අභියෝගයට මුහුණ දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා තනිවමයි.

දේශපාලන ඉතිහාසයේ වම හා දකුණ එකතු කිරීමට හැකි වූ එක ම නායකයා රනිල්  වික්‍රමසිංහ මැතිතුමායි. එතුමා ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ  රටේ ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරලයි. ජේ ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ගාමිනී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි දේශපාලන නායකයන් සමඟ දේශපාලනය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්ව ලක්ෂණය පසුගිය වසර දෙකේදී මැනවින්  පෙන්නුම් කළා. ඒ නිසා එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි උපරිමයෙන් කැපවෙමු කියා මා ඉල්ලා සිටිනවා.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා,

අද ජාතික ජන බලවේගයේ  නායකයෙන් කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේ රටට කිසිඳු විනාසයක් කර නැති ආකාරයටයි. ඔවුන්ගේ කැරළි නිසා මේ රටේ ආර්ථිකය නැවත හැරවීමට නොහැකි වන ලෙස පසුපසට ගිය බව ඔවුන්ට මතක් කර දිය යුතුයි.

මේ රට ආර්ථික අර්බුදයෙන් වැටුණු වෙලාවේ ඔවුන්ට රාජ්‍ය බලය ලබා ගැනීමට අවස්ථාව තිබුණා. ජනාධිපතිධූරය බන්දේසියේ තබා පිරිණැමුවත් ඔවුන් එය භාර ගත්තේ නැහැ.  ඔවුන් ගෙවල් ගිනි තබමින් දේපළ ගිනි තබමින් රට තව දුරටත් අස්ථාවර කිරීමට කටයුතු කළා. ඔවුන්ට ජනතාවගේ දුක මීට වසර දෙකකට පෙර පෙනුනේ නැහැ. දැන් පෙනෙන්නේත් නැහැ. නමුත් රාජ්‍ය බලය ඉල්ලමින් වේදිකා ගානේ සිහින විකුණනවා. මේවට කෑගල්ලේ ජනතාව රැවටෙන්නේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රජිකා වික්‍රමසිංහ මහත්මිය,

මීට වසර දෙකකට පෙර රට පැවති තත්ත්වය සියලු දෙනා දන්නවා. පෝලිම් යුගය නිමා කරමින් ජනතාවට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.කළ ගුණ දන්න කිසිදු කෙනෙක් මෙවර මැතිවරණයේදී ඔබතුමාට ඡන්දය නොදී ඉන්නේ නැහැ. අද ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා,

සජිත් ප්‍රේමදාස හිරු නාලිකාවේ ජනාධිපති වෙලා, අනුර කුමාර සමාජ මාධ්‍යවල ජනාධිපති වෙලා ඉන්නා විටදී  මේ මහ පොළොවේ ජනාධිපති වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මැතිවරණ වේදිකාවේ පාට පක්ෂ භේදයකින් තොරව සියලු කණ්ඩායම් පෙළ ගැසී සිටින්නේ මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහායි. මේ ඉදිරි දින කිහිපය තුළ රනිල්  වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ මැතිවරණ මෙහෙයුම තවත් ශක්තිමත් කරමින් එතුමාගේ  ජයග්‍රහණය විජග්‍රහණය කිරීමට කෑගල්ලේ අපි කැපවී සිටිනවා.

මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිප් සමරසිංහ , හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ යන මහත්වරු, ප්‍රාදේශීය දේශපාලන නායකයින් ඇතුළු විශාල ජනකායක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more