“පුළුවන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට අද රටේ බහුතර සහාය හිමිව තිබෙනවා

• රටේ ආර්ථික ස්ථාවරත්වය ද ආරක්ෂා කර ගනිමින් ජනතාවට සහන සැලසීමේ වැඩසටහන ඊට ඇතුළත්.

• කෘෂි නවීකරණ වැඩසටහන යටතේ හලාවත පොල් වගාව දියුණු කිරීමට පියවර.

• මාදම්පේ ආර්ථික කලාපය ඇති කරනවා  : හලාවත වරාය ප්රධාන වරායක් ලෙස දියුණු කරනවා.

• සජිත් සහ අනුර  දේශපාලන වේදිකාවල ලබා දෙන්නේ ඉටු කළ නොහැකි පොරොන්දු - ජනපති හලාවත දී පවසයි.

“පුළුවන් ශ්‍රී ලංකා”  05 වසරක ජාතික වැඩසටහනට අද රටේ සෑම පළාතකම ජනතාවගේ සහාය හිමිව තිබෙන බවත් එම වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කර රටේ ආර්ථික ස්ථාවරත්වය ද ආරක්ෂා කර ගනිමින් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (01) පස්වරුවේ හලාවත පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

කෘෂි නවීකරණ වැඩසටහන යටතේ හලාවත පොල් වගාව දියුණු කිරීමට කටයුතු කරන බවත්, මාදම්පේ ආර්ථික කලාපය ඇති කිරීම මෙන්ම හලාවත වරාය ප්‍රධාන වරායක් ලෙස දියුණු කර මෙම සියලු ආර්ථිකයන් අධිවේගි මාර්ගය සමඟ සම්බන්ධ කිරීමේ රජයේ සැලසුම් පිළිබඳවද ද ජනාධිපතිවරයා මෙහිදී ජනතාව දැනුවත් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

කෘෂි නවිකරණ වැඩසටහන සමඟ මෙම ප්‍රදේශයේ පොල් වගාව දියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සමඟම මාදම්පේ ආර්ථික කලාපය ඇති කිරීමට මම කටයුතු කරනවා. බිංගිරිය අක්කර දහසක ආයෝජන කලාපය ඇති කර, ඉරණවිල සංචාරක කලාපය ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ මැද ඩිජිටල් කලාපයකුත් ඇති කර ගැනීමට අපට හැකියාව තිබෙනවා.

ඒ සමඟම හලාවත වරාය ප්‍රධාන වරායක් ලෙස දියුණු කිරීමට අප කටයුතු කරනවා. එමඟින් හලාවත ධීවරයන්ගේ නිෂ්පාදන සෘජුවම කටුනායකට යැවීමට අවස්ථාව ලැබෙනවා. එම සියලු කටයුතු කටුනායක අධිවේගි මාර්ගය හා සම්බන්ධ කරනවා.

ඒ වගේම කුලියාපිටිය හා හලාවත ප්‍රදේශවල විශාල දියුණුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. ඊට අමතරව සංචාරකයන් ගෙන්වා ගැනීමට කල්පිටිය සහ ඉරණවිල සංචාරක කලාපයක් බවට පත් කරනවා. සංචාරකයන් ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ගැනීම අපේ සැලසුමයි. එහිදී මේ ප්‍රදේශවලද සංචාරක කර්මාන්තය දියුණු කරනවා.

සජිත් සහ අනුර අද දේශපාලන වේදිකාවල විවිධ පොරොන්දු දෙනවා. රෑ වැටුණු වළේ ඔබ දවල් වැටිය යුතුද කියා මම ජනතාවගෙන් අහනවා.

අපට රටේ සෑම පළාතකම සහයෝගය අද ලැබෙනවා. සෑම කණ්ඩායමකම සහාය ලැබී තිබෙනවා. ඒ නිසා අද සිට ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කරනලෙස මම  ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්රී ජගත් ප්රියංකර මහතා,

ජාතික සමගිය ගොඩ නැඟීමටත්, රාජ්‍යයේ ස්ථාවරත්වය රැකීමට හා ආර්ථිකය නැවත ගොඩ නඟා ගැනීමට සුදුසු මේ තරම් ශක්තිමක් වේදිකාවක් මීට පෙර  මෙරට දේශපාලන ඉතිහාසයේ දකින්න ලැබුණේ නැහැ. අපි විශ්ව විද්‍යාලයේදී  පළමු වරට ඡන්දය ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. නමුත් සමාජ විවේචන හා වසර 75ක අතීතයට කරන වෛරය හැර වෙනත් දෙයක් ඒ පක්ෂය තුළ නැති බව වටහා ගත්තා. ප්‍රායෝගික නොවන වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මේ වන විට ජනතාවගෙන් ඔවුන් ප්‍රතික්ෂේප වන බව පෙනෙනවා.

සමගි ජනබලවේගය පක්ෂයත් වැඩිම ගිවිසුම් ගත වීමෙන් වාර්තාවක් තැබීමට සූදානම් වෙනවා. ඔවුන් අතරින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් අභියෝග හමුවේ නායකත්ව ලක්ෂණ පෙන්වමින්, මේ රට වැටී තිබූ ප්‍රපාතයෙන් ගොඩ ගෙන, වැඩක් කළ හැකි බව පෙන්වා ඔබ හමුවට පැමිණ සිටිනවා. කිසිම දෙයක් නොකර බලය ලබා ගැනීමට පමණක් ඔබ හමුවන දේශපාලනඥයන්ගෙන් එතුමා වටින්නේ ඒ නිසයි.

හිටපු රාජ්ය  අමාත්ය නිමල් ලන්සා මහතා,

හලාවත ධීවරයන්ට මුහුදු යන්න, දරුවන්ට පාසල් යන්න, ප්‍රවාහන පහසුකම්,  සඳහා පෙට්‍රල්, ඩීසල් නැති වේලාවේ සජිත්වත්, අනුරවත් මේ රට භාර ගත්තේ නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා තනියම මේ අභියෝගය භාර ගත්තා.

ඖෂධ නැතුව පෙට්‍රල් නැතුව පෝලීම් වල දවස් ගණන් රස්තියාදු වුණා. ඇතැමුන් මිය ගියා. මේ රටේ ඉන්න බැහැ කියලා මිනිස්සු රට දාලා යන්න ගියා. වෙන්නප්පුව, හලාවත ජනතාවත් රට දාලා ගියා.  අවුරුදු දෙකකට කලින් මේ රටේ තෙල් නැව් ඇවිත්, දවස් ගණන් නැංගුරම් දාලා හිටියා. ඒවට ගෙවන්න  භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 10 ක් තිබුණේ නැහැ.  අද  ඒ අතීතය ඇතැමුන්ට සමහර අයට අමතක වෙලා. නමුත් ඒ අතීතය මතක අපි සියළු දෙනාට ඉටු කිරීමට යුතුකමක් තිබෙනවා.

වැටුණු රට, කවුරුත් භාර ගන්න බැහැ කියපු මේ රට, ආර්ථිකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හොඳ තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කළා. අද සංචාරකයෝ එනවා. ඒ කාළේ  ජනතා විමුක්ති පෙරමුණ කිව්වා සුවිදේශිකයින්ට ලංකාවට එන්න එපා කියලා. විදෙස් රටවල  ඉන්න ලාංකිකයන්ට කිව්වා ලංකාවට මුදල් එවන්න එපා කියලා.

දැන් සංචාරක  හෝටල් පිරිලා, උද්ධමනය අඩු වෙලා , ඩොලරය මිල  පහත වැටිලා, රුපියල ශක්තිමත් වෙලා. ඉන්ධන, ඖෂධ, භාණ්ඩ මිල අඩු වෙමින් පවතිනවා. බංග්ලාදේශයට, මාලදිවයිනට  වුණු  දේ අපට සිදු වුණේ නැහැ. අපට එහෙම කියන්න පුළුවන් වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිසයි.

ඒ අසමසම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා සැප්තැම්බර් 21 වෙනිදා ජයග්‍රහණය කරවන්න කියලා මා ඔබ සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

හිටපු අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතා,

සාමාන්‍යයෙන් කෙනෙක් දේශපාලනය කරන්නේ රට ගැන හිතලා. රටේ අනාගතය ගැන හිතලා. රටේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා. ඒත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර අනෙක් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා දෙස බැලූ විට එහෙම දෙයක් පේනවද?

මේ ප්‍රධාන අපේක්ෂකයන් තුන් දෙනා ගෙන්  මේ රට ගොඩදාන්න පුලුවන් කාටද? මේ රටට අනාගතයක් ඇති කරන්න පුලුවන් කාටද? ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතමා කියන්නේ අලුතින් හිතන නායකයෙක්. අනාගතයේ ඉදිරි අවුරුදු 10ක් 20ක් පිළිබඳ කල්පනා කර සැලසුම් හදන, ප්‍රතිපත්ති හදන නායකයෙක්. තරුණ නායකයින්ට වැඩිය එතුමා කතා කරන්නේ AIගැන. ඒ වගේම නවීන කෘෂිකර්මය ගැන, අධ්‍යාපන නවීන වෙනස්කම් ගැන.

එතුමා පුළුල් ලෙස ලෝකය දකිනවා. කොහොමද අපේ රට ඉදිරියට ගමන් කරන්නේ කියලා සීමා මායිම් වලින් එහාට ගිහින් කල්පනා කරනවා. හැබැයි අනෙක් නායකයෝ මොනවද කතා කරන්නේ? විචේචනය කරනවා. හැමෝටම බනිනවා. එහෙම නැත්නම් හිටපු ජනාධිපතිවරයෙක්ගේ විශ්‍රාම වැටුප් අහිමි කිරීම,  ජනාධිපති නිල නිවාස හෝටල්වලට දීම, එහෙම නැත්නම් කාට හරි විවේචනය කරලා මඩ ගහලා විනාශ කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැල් පාළමෙන් එගොඩ කළේ මේ රටේ ජනතාවයි. එතුමා තමයි ආසියාවේ තිබෙන ශක්තිමත්ම දූෂණ විරෝධි පනත ගෙනාවේ. ඒ වගේම සාධනීය අණ පනත් සියයකට ආසන්න ප්‍රමාණයක් එතුමා ගෙනාවා. එතුමා සහල් සහනාධාරය ලබා දුන්නා.  අස්වැසුම ලබා දීමට කටයුතු කළා. සින්නක්කර ඉඩම් නැති ලක්ෂ විසි ගණනකට උරුමය වැඩසටහන හරහා  ඔප්පු ලබාදීමද ආරම්භ කර තිබෙනවා.

අපිට නැවත අරගලයක් ඇති කරන්න අවශ්‍යයද? නැවත ආර්ථික අවුලක් ඇති කරන්න අවශ්‍යයද? ආර්ථිකය ශක්තිමත්ව තිබුන මාලදිවයින අනෙකුත් රටවල් වගේ අපි නැවතත් අවුලකට යන්න අවශ්‍යයද කියා ජනතාව සිතිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්රී චින්තක අමල් මායාදුන්න මහතා,

මෙවර ජනාධිපතිවරණය තීරණාත්මකයි.  මේ රට ආර්ථිකයෙන් සවිබල ගැන්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලන්නේ අවුරුදු 5යි.

මේ රටේ ඡන්ද දායකයෝ එක්කොටි  හැත්තෑ එක් ලක්ෂයයි. මෙයින් 80% ඡන්දය දැම්මොත් එක්කොටි හතළිස් ලක්ෂයයි. එදා ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ගත්තතේ තුන් ලක්ෂ පනස්දාහයි.  තුන් ලක්ෂ පනස්දාහ දස ගුණයක් කළත්, ලක්ෂ තිස් පහයි. මේ රටේ පරිපාලන දිස්ත්‍රික්ක විසි දෙක ඇතුලේ ඇතුලේ ලැබෙන ඡන්ද අනුව ඡන්ද ලක්ෂ දෙකක් ගත්තත්  ඒ අයට එන්නේ ඡන්ද ලක්ෂ  හතලිස් හතරයි. එහෙම ඇවිත් 50% ගන්න බැහැ. උතුර, නැගෙනහිර නැහැ. උඩරට නැහැ. කඳුකරය නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ හැමදේම විවේචනය කරමින් සිටිනවා මිස රටේ ආර්ථික ක්‍රමය ගැන, රටේ දැක්ම ගැන කතා කරනවාද ? එසේ කතා කරන්නවත් ඔවුන්ට දැනුමක් අවබෝධයක් නැහැ. එවන් කෙනෙකුට මේ රට බාර දීමට ඔබ අප සූදානම් නැති බව සැප්තැම්බර් 21 වෙනිදාට ගෑස් සිලින්ඩරය ඉදිරියේ ඔබේ ඡන්දය ලබා දී ඔවුන්ට දැනුම් දෙන ලෙස මම මේ පුත්තලම දිස්ත්‍රික් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රාජ්ය අමාත්ය අරුන්දික ප්රනාන්දු මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙන්නේ රෑට ටී වී එකේ දාන රැස්වීම් වලින් නෙවෙයි. ෆේස් බුක් දාන පෝස්ට් වලින් නෙවෙයි. හදවතේ රැඳී සිටින ජනතාවගේ කෙළෙහි ගුණෙහි මනාපයෙන් එතුමා මේ රටේ යළිත් ජනාධිපති වෙනවා.  

1994වසරේදී  අවුරුදු 17කට පස්සේ ආණ්ඩුව ගත් අවස්ථාවේ චන්ද්‍රිකා බණ්ඩාරණායකට දෙන්න එපා කියලා සමහර නායකයනි කියද්දී, මහත්මා දේශපාලනයේ ප්‍රතිමුර්තියක් වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉවත්ව ගියා. 2001දි අපි පරාදයි. චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති. එදා චන්ද්‍රිකා මැතිණිය කටුනායක ගුවන් තොටුපොලින් බසිද්දි සේරම එක්සත් ජාතික පාක්ෂිකයෝ කීවා චන්ද්‍රිකාව වටලලා, චන්ද්‍රිකා එලවලා අපි ආණ්ඩුව ගමු කියලා. එදත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එය ප්‍රතික්ෂේප කර මහත්මා දේශපාලනය පෙන්වා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කලා.

යුද ජයග්‍රහණයේ ගෞරවය අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නොදුන්නාට කරුණා අම්මාන් වෙන් කර එල්.ටී.ටී එක දෙකඩ කලේ වෙන කවුරුත් නෙවෙයි රනිල් විකුමසිංහ මැතිතුමා කියන එක මේ වෙලාවේ මතක් කළ යුතුයි.

ඒ ව‍ගේම ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩ ගත්තේද එතුමායි. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරවීමට කටයුතු කළ යුතුයි.

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්රික්කයේ ප්රධාන සංවිධායක ජේ. සුදාසන් මහතා,

2022  ආර්බුද සහ අරගල සමයේ ගෑස් තිබුණද? විදුලිය තිබුණද? ඉන්ධන තිබුණද? 2024 වසරේ අද වන විට තත්ත්වය කොහොමද? ගෑස්, විදුලිය, ඉන්ධන තිබෙනවාද? අපේ රට මේ ප්‍රශ්න හේතුවෙන් මුහුණ දෙමින් බංකොලොත් වෙලා තියෙන කොට රට භාර ගන්න කවුරුවත් හිටියේ නෑ. කයියනායකලා කවුරුත් ආවේ නෑ. එතකොට රට භාර ගන්න ආවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි. අපි එය කවදාවත් අමතක කළ යුතු නැහැ. එතුමා රට ගැන හිතන,ජනතාව ගැන හිතන නායකයෙක් බව කිව යුතුයි. එතුමා අනාගත පරපුර ගැන හිතන නායකයෙක් . ඒ වෙනුවෙන් කළගුණ දැක්වීමට සැප්තැම්බර් 21 වෙනිදාට ඔබට අවස්ථාව හිමි වී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය අලි සබ්‍රි රහීම් ,හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, රාජ්‍ය අමාත්‍ය අසෝක ප්‍රියන්ත, හිටපු පළාත් සභා මන්ත්‍රී සන්ධ්‍යා රාජපක්ෂ යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක් වූ අතර පක්ෂ රැසක් නියෝජනය කරමින් ප්‍රාදේශීය දේශපාලන නායකයන්, ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධාකවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more