ජනපති අමරපුර මහා නිකායේ මහා නායක හිමි බැහැදකී

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ මූලස්ථානය වෙත අද (28) පෙරවරුවේ පැමිණ  අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්ය කරගොඩ උයන්ගොඩ මෛත්රීමුර්ති නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

සිය මැතිවරණ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙලෙස අමරපුර මහා නිකායේ මහානායක ප්‍රමුඛ අනුනායක සහ නිකායික මහා සංඝරත්නය බැහැ දුටු අතර උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාද පළ කළහ.

අනතුරුව මහා සංඝරත්නය සමඟ කෙටි පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා වත්මන් ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳව ද උන්වහන්සේලා සමඟ සාකච්ඡ කළේය.

ආර්ථික අභියෝගය හමුවේ පීඩාවට පත් ජනතාව බේරා ගැනීම වෙනුවෙන් ඉකුත් දෙවසර තුළ තමා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ සාර්ථක අවසානයක් කරා ගෙන යමින් නැවත රට ආර්ථික ගැටළුවකට මුහුණ නොදෙන පසුබිමක් සැකසීම වෙනුවෙන් තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය අපේක්ෂා කරන බවද පැවසීය.

එක්සත් ජාතික පක්ෂ උප නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more