මා ජනවරම ඉල්ලන්නේ වෙනසක් නොව රට තුළ විප්ලවයක් සිදු කිරීමටයි

• රනිල් රාජපක්ෂ කියා මට චෝදනා කළත් මා සිදු කළේ එජාප ප්රතිපත්ති ආරක්ෂා කිරීමයි.

• සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් රට ගොඩනඟන වැඩපිළිවෙළ සමඟ එක් විය යුතුයි.

• ගෝඨාභයට ඡන්දය දුන් පිරිසගේ විසඳුම මාලිමාවට ඡන්දය දීම නොවෙයි : රට දිනවීමට එක් වීමයි - ජනපති රත්නපුරයේ දී.

මෙවර ජනාධිපතිවරණයේ දී තමන් ජන වරම ඉල්ලා සිටින්නේ “වෙනසක්” වෙනුවෙන් නොව රට තුළ විප්ලවයක් සිදු කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අපනයන ආර්ථිකයක්, කෘෂි නවීකරණය, ඩිජිටල්, හරිත සහ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ඇති කරමින් නව ආර්ථිකයක් රට තුළ ගොඩනැගීමේ ආර්ථික විප්ලවය සිදු කරන අතරම අස්වැසුම, උරුමය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, කාන්තාවන් සවිබල ගැන්වීම සහ සමාජ සාධාරණත්ව කොමිසම ඇති කිරීම ඇතුළු සමාජ විප්ලවයත්, දුෂණ විරෝධි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම, දිස්ත්‍රික් සංවර්ධන සභා  හා ජන සභා ඇති කරමින් කාන්තා හා තරණ නියෝජනය ඉහළ නැංවිමේ දේශපාලන විප්ලවයත් ඉදිරි වසර 05 තුළ ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (15) පස්වරුවේ රත්නපුරයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටී අතර ඔවුන් මහත් හරසරින් යුතුව ජනාධිපතිවරයාව පිළිගනු ලැබූහ.

රට අසීරුතාවට පත්වූ අවස්ථාවේ එක්ව කටයුතු කිරීම අතීතයේ සිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බවත් තම නායකයන්ගෙන් ලද පුහුණුව අනුව තමා එම ප්‍රතිපත්තිය අනුගමනය කළ බවත් පැවසු ජනාධිපතිවරයා සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් රට ගොඩනැඟීමේ වත්මන් වැඩපිළිවෙළට සහාය ලබාදිය යුතු බවද පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්දය ලබා දුන් පිරිස ඇති වූ එම තත්ත්වය ගැන අමනාපයෙන් පසුවිය හැකි නමුත් ඊට විසඳුම මාලිමාවට ඡන්දය දීම නොව රට දිනවීමට එක්වීම බව පැවසූ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවද එම පක්ෂයේ බහුතරයක් රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට දායක වෙමින් සිටින බවද පැවසීය.  

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

රට අසීරුතාවට පත්වු අවස්ථාවේ එක්ව කටයුතු කිරීම අතීතයේ සිට එක්සත් ජාතික පක්ෂයේ එකඟතාවයි.  එම ප්‍රතිපත්ති අනුගමනය කළ මට රනිල් රාජපක්ෂ කියා චෝදනා කළා. පොදුජන පෙරමුණ පක්ෂයේ බහුතරයක් මා සමඟ සිටියා. සුළුතරයක් ජී.එල්. පීරිස් සමඟ ගියා. එවිට අප සජිත් පීරිස් කිව්වේ නැහැ, අප කටයුතු කළේ රට ගැන හිතලයි. එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ මට ලැබණු පුහුණුව අනුව මම කටයුතු කළා. ඉන් පසු කණ්ඩායම මා සමඟ කටයුතු කර එම පුහුණුව ලැබුවා. අද අප සියලුදෙනා එක්ව රටේ ආර්ථිකය ගොඩගෙන තිබෙනවා. අප එක්ව රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කළා.

ආර්ථිකය බිඳ වැටී ඇති රටක්, අපනයන සදහා ගෙවීමට විදේශ විනිමය නොමැති රටක් වසර දෙකකින් ගොඩ ගන්න බැහැ. ඒ නිසා මේ ස්ථාවරභාවය තහවුරු කරමින් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මා මෙවර ජනවරම ඉල්ලා සිටිනවා.

ඒ නිසා ඔබ සැබෑ  එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් මට ඡන්දය ලබා දෙන්න කියා මා ඉල්ලනවා. ඔබ එක්සත් ජාතික පක්ෂයට ද්‍රොහි වෙනවා නම් සජිත් පීරිස්ට ඡන්දය ලබා දෙන්න කියා මම කියනවා. එක්සත් ජාතික පක්ෂය හැර ගිය සියලුදෙනාට නැවත පැමිණෙන ලෙස මම ආරාධනා කරනවා. අපි වැඩ කළේ රට බේර ගැනීමටයි. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්දය ලබා දුන් අය ඇතැම් විට ඇති වූ එම තත්ත්වය ගැන අමනාප විය හැකියි. නමුත් එයට විසඳුම මාලිමාවට ඡන්දය ලබා දීම නොවෙයි. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වුණත් පක්ෂයේ අය එක් කරගෙන රටේ ආර්ථිකය ගොඩගැනීමට අපට හැකි වුණා. ඒ නිසා රට දිනවීම වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කළ යුතුයි.

රටේ ආර්ථිකය අපනයන ආර්ථිකයකට පරිවර්තනය කරමින් ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි. මේ ප්‍රදේශවල කෘෂිකර්මය නවීකරණය කිරීම, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, ජාත්‍යන්තර මැණික් කලාපයක් මෙහි ඇති කර මැණික් කර්මාන්තය දියුණු කිරීම ඇතුළු සැලසුම් අප සකස් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ආරක්ෂා කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි. අනෙක් අපේක්ෂකයන්ට සැලැස්මක් නැහැ.  ජනතාවට සියල්ල නොමිලේ ලබා දෙනවා කියා ඡන්දය දිනන්න ඔවුන් හදනවා. එය කිසිවිටෙකත් කරන්න බැහැ. ඉතිහාසයේ එවන් දෙයක් සිදුව නැහැ.

මට පාර්ලිමේන්තුවෙන් වසර දෙකක ජනවරමක් ලබා දුන්නේ මේ රටේ ආර්ථික ස්ථාවරයභාවය ඇති කිරීමටයි. මම දැන් ජනතාවගෙන් වරමක් ඉල්ලා සිටින්නේ රට තුළ විප්ලවයක් සිදු කිරීමටයි.

අපනයන ආර්ථිකයක්, කෘෂි නවීකරණය, ඩිජිටල්, හරිත සහ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ඇති කරමින් නව ආර්ථිකයක් ලබාදීමේ විප්ලවය මම සිදු කරනවා. ඒ වගේම අස්වැසුම, උරුමය වැඩසටහන් ක්‍රියාත්මක කරමින් කාන්තාවන් සවිබල ගැන්වීම සහ සමාජ සාධාරණත්ව කොමිසම ඇති කරමින් එම සමාජ විප්ලවය සිදු කරනවා.

ඒ වගේම දුෂණ විරෝධි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම, දිස්ත්‍රික් සංවර්ධන සභා, ජන සභා ඇති කරන අතර තුර දේශපාලනය තුළ කාන්තා හා තරණ නියෝජනය ඉහළ නැංවිමේ දේශපාලන විප්ලවය ද සිදු කරනවා.

එම ආර්ථික, දේශපාලන සහ සමාජ විප්ලවය සිදු කිරීමේ ජන වරම සැප්තැම්බර් 21 වනදා මට ලබාදෙන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අමාත්‍ය අලි සබ්‍රි මහතා,

2022 වසර කියන්නේ මේ රටේ අපි  පැය 13ක් විදුලිය නැතුව, පොහොර, ගෑස් නැතුව ජනතාව පෝලිම්වල ගත කළ කාලයක්. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආර්ථික කළමනාකරණය නිසා මේ වන විට ආර්ථිකය යථා තත්ත්වයට පත් වී තිබෙනවා. රට තුළ තහවුරු කළ සාමකාමී පරිසරය නිසා මේ වසරේ විදේශ සංචාරකයින්ගේ පැමිණීම  ලක්ෂ 25ක් දක්වා වැඩිකර ගැනීමට හැකි  වුණා . රට සුවපත් කළ ජනාධිපතිවරයා පරාජය කිරීමට වේදිකාවල කෑගහන දේශපාලනඥයින්ට අමතක නොවන පාඩමක් උගන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කළ යුතුයි.

වසර 76ක් මේ රටට මොනවද කළේ කියලා අහන අනුර දිසානායකට ද මෙහිදී පිළිතුරු ලබා දිය යුතුයි. නිදහස් අධ්‍යාපනය ලබා, දේශපාලනයට ඇවිත් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට අනුර කුමාරට අවස්ථාව ලැබී තිබෙන්නේ වසර 76ක ක් තුළ සිදු කළ දේවලින් බව සිහිපත් කළ යුතුයි.1971දී සහ 1989 දී ජනතා විමුක්ති පෙරමුණ සිදු කළ කඩාකප්පල්කාරී කැරළි නොවන්නට මීටත් වඩා දෙයක් රටට කරන්න තිබූ බවත් මම කියනවා . ඒ නිසා නැවත ‘රට අඳුරට’ ගෙන යන්න උත්සාහ කරන්න එපා කියලත් මම ඔවුන්ට කියනවා.

සමාජවාදී ආණ්ඩුවක් පිහිටවූ ග්‍රීසියේ ආර්ථිකය බිඳ වැටුණා.එදා වාමාංශිකයි කියා පැමිණි ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  එරටින් පන්නා දැමුවා. ඒ නිසා ආර්ථිකය නැවත ගොඩ ගැනීමට ග්‍රීසියට වසර 13 ක් ගත වුණා. වසර දෙකක් තුළ මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හැකිවීම සැබවින්ම ප්‍රාතිහාර්යයක් බව කිව යුතුයි. ඒ බව කියන්නේ මා නොවෙයි. විදෙස් රටවල් පවා ඒ ගැන පුදුමයට පත් වෙමින් තිබෙනවා. අයි. එම්. එෆ් සංවිධානය ඉතියෝපියාවට උපදෙස් දුන්නේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ලංකාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමගේ වැඩපිළිවෙළ අනුගමනය කරන්න කියලයි.

අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,

ඉදිරි දින කිහිපය තුළ  මේ රටේ තීරණාත්මක ජනාධිපතිවරණයකට අප මුහුණ දෙනවා. මේ ජනාධිපතිවරණයේදී හදවතින් වගේම බුද්ධියෙන්ද කල්පනා කර තීන්දුව ගත යුතුයි.

පොදුජන පෙරමුණේ අප සමඟ සිටි හැටනව ලක්ෂයෙන් ඉතා කුඩා කොටසක් අද මංමුලා වී ඉන්නවා. ඒ කුඩා කොටස කියනවා හරියන්න හරි වරදින්න හරි අපි මාලිමාවට දීලා බලනවා කියලා. මේ රට නැවත බංගලිදේශයක් කරන්න ඔබ කැමතිද? ඔබ කැමතිද මේ රට කොංගෝවක් වෙනවා දකින්න? ඔබ කැමතිද මේ රට පලස්තීනයක් වෙනවා දකින්න?  ඔබ කැමතිද මේ රට ගාසා තීරය වෙනවා දකින්න?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පිංසිදු වෙන්න ළි‍ඳේ මැද සිට අපි ළිං කටට ළඟා වෙමින් සිටිනවා. හැබැයි ඔය, “හරියන්න හරි, වරදින්න හරි, මාලිමාවට” දෙන අයට කියන්න තියෙන්නේ ඔබ දන්නේ නෑ ළිදේ පතුළ කොහොමද කියලා. ළිඳ පතුලට වැටෙන්න ආසන්නව හිටිය අපි අද උඩට ඇවිත් ඉන්නවා. ළිදේ පතුල පේන්නේ නැති මේ මිනිස්සු දැන් අහනවා 75 වසරක් මොකක්ද කළේ කියලා.

අද බොහෝ රටවලට ජනතාව දෛනික ආහාර වේලවත් නැතුව විශාල පීඩාවකින් ජිවත් වෙනවි. ඔබ කැමතිද ඔබත් ඒ තත්ත්වයට පත් වෙන්න. මාලිමාවේ අනුර කුමාර සහෝදරයා නිදහසෙන් පස්සේ හදපු තඹුත්තේගම පාසලෙන් අධ්‍යාපනය ලබා ගෙන , කැළණිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ගෙන, මහපොළ ශිෂ්‍යත්වයත් අරගෙන, අද ජනාධිපති අපේක්ෂකයෙක් බවට පත් කළේ වසර 75 ක්  තිස්සේ මේ රටේ පාලකයන් කළ දේවල් නිසා බව මතක් කරලා දෙන්න කැමතියි.

අපි හදපු පාරේ ගිහිල්ලා , අපි හදපු ලයිට් ටික අරගෙන, අපි දීපු රස්සාව අරගෙන, අපි දීපු වතුර ටික අරගෙන, අපි දීපු නගර සංවර්ධනය අරගෙන, Cell Phone එකක් කණේ ගහගෙන අවුරුදු 80ක් පරම ආයුෂ ගෙවන ගමන් අහනවා ‘මුං 75 අවුරැද්දක් මොනවද කළේ’ කියලා. ජනතා විමුක්ති පෙරමුණ  කැරලි ගහපු, ගිනි තියපු, මීනී මරපු ඒ වගේම බස්,දැව ගබඩා, වී ගබඩා, රජයේ ආයතන හා වාහන, ගිනි තියපු කැරලි දෙකකට මුහුණ දීලා තමයි අපි දැන් මේ සංවර්ධනයට ඇවිත් ඉන්නේ.  

අපි තමයි සාක්ෂරතාවය අතින් මේ  කලාපයේ  ඉහලින්ම ඉන්න රට, මාතෘ මරණ වලින් අඩුම ප්‍රතිශතය තියෙන ඉහලින්ම ඉන්න රට ශ්‍රී ලංකාවයි. මෙහෙම හදපු රටේ ඉඳන් අහනවා අපි මොනවද කළේ කියලා.

ඉතිරි දවස් 5 ඔබ ගමට ගිහින් අපේ හැට නම ලක්ෂයේ අයට කරුණු කියලා ඔබ ජාතික යුතුකමක් ඉටු කරන්න අවශ්‍යයි. ඔබ සියලු දෙනා ජාතික යුතුකම ඉටු කරන පුනරුදයේ නායකයෙක් විය යුතුයි. මාලිමාවේ අය කියනවා හොරු අල්ලලා හිරේ දානවලු.මේ වේදිකා වල කවුරුත් හොරු නෑ. අපේ අත් පිරිසිදුයි. එසේ නම් මිත්‍රවරුණි,  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවා අපි මේ රට දිනවමු කියා මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,

ලබන ඉරිදා වන විට නැවත වරක් මේ රටේ ජනාධිපති වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එදා ජනාධිපතිධුරය බන්දේසියේ තබා භාර දෙන විට භාර ගත්තා නම් අද ඡන්දය ඉල්ලා ගෙන වේදිකා ගානේ කෑගහන්න විපක්ෂයේ අපේක්ෂකයන්ට සිදු වෙන්නේ නැහැ. අපට එදා තිබුණේ ජීවත් ‍වෙන්න පුළුවන් වෙයිද කියලා ප්‍රශ්නයක්. මොනවා නැති වුනත් ඖෂධ නැති වුනොත් අපට ජීවත් වීමට හැකි වන්නේ නැහැ. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඖෂධ විතරක් නොවෙයි අත්‍යවශ්‍ය සේවාවන් සියල්ල මේ වන විට සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට හැකි පරිසරයක් නිර්මාණය කර තිබෙනවා. මේ මැතිවරණය ජයග්‍රහණය කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නොවෙයි. අප ජයග්‍රහණය කරවන්නේ එතුමා හෝ එතුමාගේ පක්ෂය නොවෙයි. අප ජයග්‍රහණය කරන්නේ මේ රට ඉදිරියට ගෙන යාමට සමත් එකම නියෝජනය වන ස්වාධීන අපේක්ෂකයායි.

පසුගියදා මේ දිස්ත්‍රික්කයේ මැණික් ව්‍යාපාරිකයන් ගෙන්වා අප සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී පතල් කම්කරුවන්ට විශ්‍රාම වැටුපක් ලබා දීම පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවගේ ඉල්ලීම් ඉටු කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පොරොන්දු වුණා. ඒ වගේම  රුවන්පුර අධිවේගී මාර්ගය වැඩ පටන් ගන්නා තුරු පානදුර පාර, වංගු 119 ජනවාරි මාසයේදී පුළුල් කර, අධිවේගී මාර්ගයට  පිවිසෙන්න කටයුතු  සලසා දෙන බව සඳහන් කළා.

සජිත් පොඩි දරුවෙක් වගේ දැක්කොත් මොනවද පුතේ ඕනි කියලා අහනවා. ළමයි සියලු දෙනාට සීනි බෝල දෙන්න කොමිෂන් සභාවක් පත් කරනවා කියනවා. හැමදේකටම ජනාධිපති කොමිෂන් සභාව පත් කරනවා කියනවා. හැම දිස්ත්‍රික්කයටම ජනාධිපති කොමිෂන් පත් කරන බව කියනවා. කොමිෂන් සභා පත් කරලා,  රටක් දියුණු කරන්න පුළුවන් ද?

මේ දිස්ත්‍රික්කයෙන් බිහි වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ  ගාමිණි අතුකෝරල මැතිතුමා මේ රටේ අනාගතය  භාර ගන්න හිටිය නායකයෙක්.  අවුරුදු හතරහමාරක්  විපක්ෂයේ සිටි  එතුමාගේ සහෝදරිය තලතා අතුකෝරල මැතිණිය අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වේදිකාවේ සිටිනවා. සජිත් දිනනවා නම් එතුමිය මේ වේදිකාවට ගොඩ වෙයිද? එතුමිය දැන ගත්තා සජිත් කියන්නේ කවදාවත් දිනන්න බැරි පුද්ගලයෙක් කියලා.  

එදා පාර්ලිමේන්තුවේදී ඓතිහාසික කතාවක් කරලා එතුමිය හොඳ තීන්දුවක් ගත්තා. රුවන්පුරේ අභිමානය රැකගෙන වැඩි ඡන්ද ලක්ෂ දෙකකින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපති කරවන්න රත්නපුරේ අප සියලු දෙනා එක්ව සිටිනවා.

හිටපු අමාත්‍ය ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් පෙළ ගැසී සිටීම ගැන මා වඩාත් සතුටට පත් වෙනවා. මා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින්, වෙනදා මෙන් සහභාගී වීමට නොහැකි වුවත් මේ සියළු දෙනාගේ කැපවීම මා අගය කරනවා.

මීට වසර දෙකකට පෙර  2022 වසරේ ආර්ථිකය කඩා වැටිලා ජනතාව විශාල වශයෙන් දුක් ගැහැට වලට මුහුණ දුන්නා. දේශපාලන වශයෙන් අවුල් සහගත තත්ත්වයක් ඇති වී රට පවත්වාගෙන යාමට නොහැකි වුණා. ඒ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායකට වගේම මා වීරයෙක් කියා ප්‍රකාශ කරන සරත් ‍‍ෆොන්සේකා මහතාටද රට භාර ගන්න කියා කිව්වත්  ‘අනේ අම්මෝ මේක කරන්න බෑ’ කියලා ඔවුන් සැඟවුණා.

සජිත් ප්‍රේමදාස මහතාගේ ආර්ථික උපදේශකයෝ එදා කිව්වේ මේ රට නම් ගොඩ ගන්න සක්‍රයාටවත් බෑ කියලයි. ඒ ‘බෑ’ කිව්ව දේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අවුරුදු දෙකක් ඇතුළත ‘පුළුවන්’ කියලා අරගෙන කරලා පෙන්නුවා.

එදා එතුමා මේ අභියෝගය භාර ගැනීම ගැන අප ඉතාමත්ම සතුටු වුනා. මේ රට ගොඩ දාන්න පුලුවන් එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවට අපට විශ්වාසයක් තිබුණා .මේ රට ඉදිරියට ගෙන යන්න නැවත වරක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමටසැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරියේ කතිරය ගසන්න කියා මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

හිටපු පාර්ලිමේන්තු තලතා අතුකෝරල මහත්මිය,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටීමට මාගත් තීරණය පිළිබඳව මගේ හිතට විශාල සැහැල්ලුවක් දැනෙනවා. සැප්තැම්බර් 22වදාටත් මේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව නිසැකයි.

වසර විස්සක දේශපාලන ඉතිහාසයේ මගේ නායකයා ලෙස මා හැමදාමත් සැළකුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව මම ආඩම්බරයෙන් කියනවා. අවුරුද 16ක් එතුමා යටතේ සිට අවුරුදු හතරක් තව නායකයෙක් එක්ක ඉන්නකොට මට වෙනස දැණුනා. අද මේ තීරණය ගන්නකොට  මේ දිස්ත්‍රික්කයේ ජනතාවට කැළලක් නොවෙන්න ගෞරවයක් ඇති වෙන ලෙස සීසර්ගේ දේ සීසර්ට දුන්නා වගේ පාර්ලිමේන්තු ආසනයත් සමගි ජන බලවේගයට දීලායි මම ආවේ.

මගේ අයියා ගාමිණි අතුකෝරල මහතා 2000 මේ වේදිකාවේම ගිය නුවණ ඇතුන් ලවා ඇද්ද විය යුතුයි කියලා  කිව්වා. ඒක අදටත් වලංගුයි.  එදත් පක්ෂය තුළ ජනතාව වෙනුවෙන් අරගල කළා. එක්සත් ජාතික පක්ෂ නායකතුමා එක්ක අරගල කළා. එදා මහලේකම්වරයා, උපලේකම්වරයා හැටියට එක්සත් ජාතික පක්ෂයේ මේ දිස්ත්‍රික්කයේ අවශ්‍ය නායකත්වය ලබා දෙන්න ලොකු සටනක් කළා.  හැබැයි පක්ෂය කැඩුවේ නැහැ. එතුමාට අවශ්‍ය වෙලා තිබුණේ අපේ නායකතුමා එක්ක කඩිනමින් ආණ්ඩුවක් ගන්න. එතුමාව විශ්වාස කරපු දෙයක් තමයි රනිල් වික්‍රමසිංහ මහතා පුටුවේ වාඩි කළාට පස්සේ මේ රට හරි තැනට යනවා මම මලත් කමක් නැහැ කියලා එතුමා කිව්වා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරනවා කියන්නේ මේ රටේ ජනතාව ජයග්‍රහණය කරනවා කියලා. අපට දිනන නායකයෝ අවශ්‍ය නැහැ. අපි අවශ්‍ය ජනතාව දිනවන නායකයෙක්.  

එතුමා එදා ඒ ටික ගන්නකොට සමහර අයගේ ගෙවල් ගිනි ගන්නවා. සමහර මන්ත්‍රීවරු ජීවිත පූජා කරලා, ජනතාවට කිරිපිටි, බෙහෙත් නැහැ. ගෑස්, ඉන්ධන පෝලීම් වල  හිටියා. එදා මෙතන තෙල් පෝලීම් වල ත්‍රීවිල් සහෝදරයන් කොච්චර වෙලා හිටියා ද? එදා  බහුල පරිනත නායකත්වය කියන එක .

සමගි ජනබලවේගයේ අය කිව්වේ අයි.එම්.එෆ් සාකච්ජා සාර්ථක වෙන්නේ නැහැ කිව්වා. අයි.එම්.එෆ් එකෙන් රනිල්ට ණය දෙන්නේ නැහැ කිව්වා. ආණ්ඩුව මාස පහකින් හයකින් වැටෙනවා කිව්වා. රනිල් ආපසු ජනාධිපතිවරණය තරග කරන්නේ නැහැ කිව්වා. රාජපක්ෂලා අතහැරලා එන්නේ නැහැ කිව්වා. ජනාධිපතිවරණය කල් දානවා කිව්වා. ඒ කියපු හැමදේම බොරු කරලා මෙතුමා පුළුවන් කියන එක මේ රටටම ඔප්පු කරලා තියෙනවා.

මට සජිත් ප්‍රේමදාසගෙන් කාරණ දෙකක් අහලා දැන ගන්න අවශ්‍යයි. රාජපක්ෂලා එක්ක ගිවිසුම් ගහගත්තා කියපු, රාජපක්ෂලා රැක්කා කියපු හොරු රකිනවා කියපු,  රනිල් වික්‍රමසිංහ මහතා  ගැන බොරු ප්‍රචාරය කරපු සමගි ජනබලවේගයේ අය උත්තර දෙන්න ඕනි සජිත් ප්‍රේමදාස මහතාට මොකක්ද  තියෙන ගිවිසුම නාමල් රාජපක්ෂ එක්ක.  අපට අවශ්‍යයි දැන ගන්න. එතුමා කියන්නේ මම ඩීල් ගහන්නේ නැහැ කියලානේ. අනෙක හිරු නාලිකාවත් එක්ක මොකක්ද තියෙන ඩීල් එක කියල අහන්නේ. කාරුණාකර මේවාට උත්තර දෙන්න.  

අද අපි පක්ෂ පාට බේදයකින් තොරව රට දිනවන්න එකතුවෙලා ඉන්නේ. පක්ෂවලට බේදිලා කුහක කමකින් බලය ලබා ගන්න කටයුතු කරන්නේ කුහකයෝ මිසක් ජනතාවට ආදරේ නැති මිනිස්සු කියලායි.

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල එල්ලාවල මහතා සහ  මුදිතා ද සොයිසා මහත්මිය , විවිධ පක්ෂ නියෝජනය කරමින් ප්‍රාදේශීය දේශපාලන නායකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more