වතුකරයේ ජනතාවට ද රටේ අනෙක් ජනතාවට හිමි වරප්‍රසාද ලබා දෙනවා

• බලය ලබා ගැනීමේ අරමුණින් බොරු පොරොන්දු දෙන නායකයන්ට රටේ ආර්ථිකය විනාශ කිරීමට ඉඩ දෙන්නේ නැහැ.

• මෙරට දැවැන්තම ආර්ථික, දේශපාලන සහ සමාජ පෙරළිය ඉදිරි වසර 05 දී සිදුකරනවා.

• සජිත් හා අනුර කථා කරන්නේ මුහුණු වෙනසක් කරන්නයි : මා ජන වරම ඉල්ලන්නේ විප්ලවයක් වෙනුවෙන්.

• ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට නම්  IMF එකඟතා අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව දැනුම් දී තිබෙනවා - ජනපති නුවරඑළියේ දී පවසයි.

වතුකරයේ  ජනතාවට ද රටේ අනෙක් ප්‍රදේශවල ජනතාවට හිමි සියලු වරප්‍රසාද ලබාදීම තම අරමුණ බවත්, වතු ජනතාවට ලයින් කාමර වෙනුවට ගම්මානයක ජීවත්වීමේ අයිතිය ලබා දෙමින් නීත්‍යානුකූල ඉඩම් අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විටත් ක්‍රියාවට නංවා තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (15) පස්වරුවේ නුවරඑළිය නගරයේ  පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැළියට අතිවිශාල ජනතාවක් එක්ව සිටී අතර ඔවුන් මහත් හරසරින් යුතුව ජනාධිපතිවරයාව පිළිගනු ලැබූහ.

බලය ලබා ගැනීමේ අරමුණින් බොරු පොරොන්දු දෙන නායකයන්ට රටේ ආර්ථිකය විනාශ කිරීමට ඉඩ නෙදෙන ලෙස මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා ක්‍රමානුකූලව ජනතාවට සහන සලසා දෙමින් මෙරට සිදුවන දැවැන්තම ආර්ථික, දේශපාලන සහ සමාජ පෙරළිය ඉදිරි වසර 05 තුළ සිදුකරන බවද ප්‍රකාශ කළේය.

සජිත් හා අනුර වෙනසක් ගැන කථා කළද ඔවුන් පවසන මුහුණු වෙනස රටට අවශ්‍ය නැති බවත්, ඔවුන් ජනතාව ගැන සිතනවා නම් එදා පෝලිම්වල දුක් විඳී ජනතාවට සහන සැලසීමේ වෙනසට එක්වීමට තිබූ බවත් පැවසූ ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයේ දී තම ජනතා වරම ඉල්ලා සිටින්නේ වෙනසක් නොව විප්ලවයක් වෙනුවෙන් බව කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර බදු අඩු කරන බවට සජිත් සහ අනුර ජනතාව ඉදිරියේ බොරු පොරොන්දු ලබා දුන්නද ඔවුන් කිසිවෙක් මෙතෙක් IMF සමඟ ඒ පිළිබඳ කථා කර නොමැති බව පැවසූ ජනධිපතිවරයා ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගනිමින් ඉදිරියට යාමට නම් මේ වන විටත් ආරම්භ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවට IMF විසින් කර ඇති දැනුම්දීම පිළිබඳවද ජනතාව දැනුවත් කළේය.

මෙම ජන රැලියට එක්වීමට පෙර නුවරඑළිය ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සමඟ හමුවකට නුවරඑළිය ජනාධිපති මන්දිරයේ දී එක් වූ ජනාධිපතිවරයා එම සිසුන් කළ ඉල්ලීමක් පරිදි පාසලට  නව ඉඩමක් පවරාදීමේ ලිපි ලේඛන විදුහල්පතිවරයා වෙත භාරදීමද සිදු කළේය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසිය,

මම 1973 නුවරඑළියට පැමිණියා. ගාමිණි දිසානායක, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි අප සිලුදෙනා එක්ව  එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කර 1977 දි ජයග්‍රහණය කරවූවා. ඒ අය අතරින් අද ජීවතුන් අතර සිටින්නේ මා පමණයි. මා එකසත් ජාතික පක්ෂයේ සියලුදෙනාගේ සහාය ඉල්ලන්නේ ඒ නිසයි. ශ්‍රී ලංකාවේ තිබෙන්නේ එකම එක්සත් ජාතික පක්ෂයයි. එහි නායකයා වන මට ඡන්දය දෙන්න කියා මම එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා

සෞම්‍යමුර්ත් තොණ්ඩමන් මැතිතුමා සහ මම ඇමතිවරු වශයෙන් දිවුරුම් දුන්නේ එකම දිනයකයි. අපි වතුකරයේ පාසල් දියුණු කළා. ගුරුවරු පුහුණු කළා. නුවරඑළිය ජනතාවට වතු අයිතිය ලබාදීම වෙනුවෙන් 1994 ජනවාරි මාසයේ අප දෙදෙනාම  නුවරඑළියට පැමිණයා. ඉන්පසුව වතු ජනතාවටද පුරවැසිභාවය ලබාදීමට මට අවස්ථාව ලැබුණා.

ජීවන තොණ්ඩමන් මැතිතුමා සමග එක්ව වතුකරයේ කම්කරු ජනතාවගේ වැටුප වැඩි කිරීමට මම කටයුතු කළා. අප වතුකරයේ වැඩිහිටි අයට අස්වැසුම ලබා දෙනවා. ලයින් කාමර යුගය අවසන් කර ගම්මාන ඇති කර එම ජනතාව ඉඩම් අයිතිය ලබා දෙනවා. වතු ජනතාවට ද අනෙක් ජනතාව භුක්ති විඳින සියලු වරප්‍රසාද ලබාදීම මගේ අරමුණයි. එසේම වලපනේ සිංහල ජනතාව අප අමතක කර නැහැ. හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සමඟ ඔවුන් වෙනුවෙන් අපි වැඩ කළා. එම ඉතිරි වැඩ කොටස එස්.බී. දිසානායක මහතාට භාර දෙනවා.

මම මේ රට භාරගත්තේ වෙන කවුරුත් රට භාරගන්න බැහැ කියපු අවස්ථාවකයි. ජනතාවට ආහාර, ඖෂධ, ඉන්ධන, ගෑස් නැති අවස්ථාවේ අප එක්වෙලා ජනතාව ජීවත් කරවූවා. සජිත් සහ අනුර ජනතාව ජීවත් කරවීමට සිතුවේ නැහැ. ජනතාවට අනුකම්පා කළේ නැහැ. ඔවුන් කරන්නේ ඡන්ද කාලයට ඔලුගෙඩි ගණන් කිරීම විතරයි. ඔවුන් මිනිසුන් නොවෙයි. එවන් පිරිසකට ඡන්දය ලබා දෙනවද කියා ජනතාව තීරණය කළ යුතුයි.

ආර්ථික අර්බුදය හමුවේ මට අසීරු තීරණ ගැනීමට සිදු වුණා. නමුත් ආර්ථිකය ශක්තිමත්වීමත් සමඟ අප ජනතාවට ක්‍රමානුකූලව සහන ලබා දුන්නා. ඒ වගේම ලබන වසරේදී මීට වඩා සහන ලබාදීමට හැකියාව තිබෙනවා.

රට වෙනුවෙන් අසීරු තීරණ ගන්නා විට අපට ඉල්ලා අස්වෙන්න කිව්වා. ඉන්පසුව කිව්වා වර්ජන කරන්න කියලා. එක දවසකවත් ඔවුන් ජනතාව ජීවත්කරවීමට උදව් කළේ නැහැ. අප දැන් රටේ ආර්ථික ගැටළුව විසදා තිබෙනවා. ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර තිබෙනවා. මේ තත්ත්වය නැවත ගිලිහීමට පුළුවන්. ඒ නිසා රටේ ආර්ථිකය ශක්තිමත් කර තහවුරු කළ යුතුයි.  මම ඉදිරි වසර 05 ඉල්ලන්නේ ඒ සඳහායි. මේ රටේ ජනතාවට බිය නැතිව ඉදිරියට යා හැකි පසුබිමක් අප නිර්මාණය කර දෙනවා.

කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ අප ක්‍රියාවට නංවා තිබෙනවා. තේ අස්වැන්න ඉහළ නංවා හොද ආදායමක් ලබාගත යුතුයි. ලයින් කාමර ගම්මාන බවට පත් කළ විට ඒ ගම්මාන තුළට නවීන කෘෂිකර්මාන්තය ගෙන ඒමට මම උදව් කරනවා. කිරි පට්ටි පාලනය දියුණු කරනවා. මෙහි අධ්‍යාපනය දියුණු කළ යුතුයි. මම අද ගාමිණි විද්‍යාලයට අයත් ඉඩම ලබා දුන්නා. ඒ වගේම මේ පළාතට නව කර්මාන්ත ගෙන එනවා.

මෙම පළාතේ ප්‍රධාන අංශයක් ලෙස සංචාරක කර්මාන්තය දියුණු කරනවා. ප්‍රධාන හෝටල් මේ පළාතට ගෙන එනවා. සීතාඑළිය, මස්කෙළිය දියුණු ප්‍රදේශ කරනවා. තවත් ගෝල්ෆ් පිට්ටනියක් මේ ප්‍රදේශයට ගේනවා. මෙහි ජනතාවට සංචාරක ව්‍යාපාරයෙන් ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කරනවා.

ගාල්ල වගේම නුවරඑළියේත් සංචාරක ව්‍යාපාරයේ නව දියුණුවක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. අප ඉදිරියට යා යුතුයි. අද සජිත් ප්‍රේමදාස කියන්නේ හැම දෙයක්ම නොමිලේ දෙනවා කියලයි.

අනුර දෙන පොරොන්දු ගත් විට දිගු ලැයිස්තුවක් තිබෙනවා. බදු අඩු කරනවා කියලා කියනවා. මම කිව්වා අපි IMF එක්ක අපි කථා කරමු කියලා. අනුර කුමාර මට විවාදයකට කථා කළා. මම එන්නම් කියලා කිව්වා. නමුත් ඔහු තවම මට ආරාධනා කළේ නැහැ. ආරාධනය කළ ගමන් මම එනවා. ඇයි බය ආරාධනා කරන්න. සජිත් හා අනුර කියනවා අපි IMF එක කථා කරනවා කියලා. නමුත් තවම කවුරුත් කතා කරලා නැහැ.

IMF එක සෑම අපේක්ෂකයෙකුගේම මැතිවරණ ප්‍රකාශ පරික්ෂා කර තිබෙනවා. ඒ අනුව IMF සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ප්‍රධානි  නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

“ඉතිහාසයේ ඇති වූ දරුණුම අර්බුදයෙන් මිදීමට ශ්‍රි ලංකාවට අවස්ථාවක් ලබාදීම සඳහා IMF වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කිරීම අත්‍යාවශ්‍යයි” ලෙස එහි සඳහන් වෙනවා. එයින් අදහස් වන්නේ අප ආරම්භ කළ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බවයි.

“ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ තීරණය ශ්‍රී ලංකාවේ ජනතාව ගත යුතුයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වැඩසටහන සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෘෂ්ටිකෝණයෙන් බැලු විට අපට දක්නට තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව සිය ඉතිහාසය මුහුණ දුන් දරුණුම අර්බුදයෙන් පුර්ණ වශයෙන් යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා මෙම වැඩසටහන තුළින් අත්කරගෙන ඇති ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වෙනවා”

ඔවුන් නොකියා කියන්නේ මේ වැඩපිළිවෙළ හොදයි අපි එය වෙනස් කරන්නේ නැහැ කියලයි. ඉතින් ඔබ සජිත් සහ අනුර වැනි කාඩ්බෝඩ් වීරයන්ට ඡන්දය ලබා දිය යුතුද,

අනුර කියනවා වෙනසක් කරනවා කියලා. ඔවුන්ට දැන් ආර්ථිකය වෙනස් කරන්න බැහැ ඔවුන්  කියන්නේ මුහුණු වෙනසක් ගැනයි. ඔවුන් චාන්ස් එකක් ඉල්ලනවා. මම වෙනස්කම්වලට ඉඩ දෙන්නේ නැහැ. මම ජනතා වරම ඉල්ලන්නේ වෙනසක් නොව විප්ලවයක් වෙනුවෙන් කියා මම ජනතාවට කියනවා.

ආනයන ආර්ථිකය, අපනයන ආර්ථිකයක් කර අප එම වෙනස ලබා දෙනවා. කෘෂිකර්මය නවීකරණය කර ගම්මාන දියුණු කිරීම, සංචාරක කර්මාන්තය දෙගුණයක් කිරීම, ඩිජිටල්, හරිත සහ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් තුළින්  දියුණු ආර්ථිකයක් ඇති කිරීමේ විප්ලවය අප සිදු කරනවා.

අද සුදුසු හැම දෙනාටම අස්වැසුම ලබා දෙනවා. උරුමය වැඩසටහන යටතේ ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලැබෙනවා. වතුකරයේ ගම්මාන ඇති කරනවා. කාන්තාවන් සවිබල ගන්වා කාන්තා හිංසනය නැවැත්වීමට නීති ගෙන එනවා. මම එම ආරක්ෂාව කාන්තාවන්ට ලබා දෙනවා. කුලය හා පන්තිය නොසලකා කටයුතු කිරීමට සමාජ සාධාරණත්වය කොමිසම ඇති කරනවා. IMF සමග දුෂණ විරෝධි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා.  ඒ තුළ සමාජ වෙනසක් සිදු වෙනවා. ඒ නිසා මෙතෙක් ලංකාවේ නොතිබු ආර්ථික, දේශපාලන හා සමාජ විප්ලවය සිදු කරනවා. එයයි අප ලබාදෙන වෙනස.

මට පාර්ලිමේන්තුවෙන් ලැබුණේ ආර්ථිකය ස්ථාවර කිරීමේ වරමයි. මම මෙවර ජනාධිපතිවරණයේ දී ඉල්ලා සිටින්නේ ඊළග වසර 05 තුළ මෙම විප්ලවය සිදු කර ජනතාවට හොඳ ජීවිතයක් ලබාදීමේ ජනතා වරමයි. මෙම කටයුතු වෙනුවෙන් සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරිපසින් කතිරය ගසා මට එම ජන වරම ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා,

වත්මන් රජය යටතේ වතුකම්කරුවන්ට පොරොන්දු වූ වැටුප් වැඩි කිරීම තහවුරු කර තිබෙනවා. නමුත් වතුකම්කරුවන්ට රුපියල් 2500ක වැටුප් වැඩිවීමක් ලබා දෙන බව කියමින්,ඔවුන්  කුඩා තේවතු හිමියන් බවට පත් කරන බව කියමින් සජිත් ප්‍රේමදාස මහතා සාවද්‍ය ප්‍රකාශ කරමින් වතුකරයේ ජනතාව රැවටීමට උත්සාහ කරනවා.

අපි කවදාවත් කඳුකරය පක්ෂ වශයෙන් වෙන් වී පාලනය කිරීමට බලාපොරොත්තු වුණේ නැහැ. එවකට අගමැතිව සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්ථාපිත කළ මේ පළාතේ ප්‍රාදේශීය සභා ඔවුන් ඇති කළ බව  කියන සමහර දේශපාලනඥයන් පවසනවා. නමුත් එහි සත්‍යතාව මේ ජනතාව දන්නවා. අනුන් කළ වැඩ තමන් කළ බවට ජනතාව රවටා ඡන්දය ලබා ගැනීමට මොවුන් කටයුතු කරමින් සිටිනවා.  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සළකුණ වන ගෑස් සිලින්ඩරය මෙවර ඡන්ද පත්‍රිකාවේ තිබෙන්නේ අග සිට ඉහළට එන විට තුන්වැනි තැනයි. එබැවින් එළැඹෙන සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරියේ කතාරය යොදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරමි කියා මා අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය වසරක කාලය තුළ අපි ජනාධිපතිතුමා සමඟ ගමන් කළා. කඳුකර ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් බොහෝ දේ සහතික කර තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය තුළ බව කිව යුතුයි.

සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා,

නුවරඑළියේ සියළුම බලවේග අද මේ වේදිකාවේ සිටිනවා. අපට අවශ්‍ය වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය දියුණු සංචාරක කලාපයක් බවට පත් කිරීමටයි. ආරුමුගම් තොන්ඩමන් කියන්නේ නුවරඑළිය ගැන කියද්දී නොමැකෙන නාමයක්. එතුමා වගේ වීරයෙක් හැදුවේ මෙහි සිටින ජවතාව වන ඔබයි. එතැන් පටන් ඔබ සමඟ ගමන් කිරීමට  අද එතුමාගේ පුතා ජීවන් තොණ්ඩමන් ඉදිරිපත් වී සිටිනවා.

අපි අභීයෝගවලට මුහුණ දී තිබෙනවා. ඒ නිසා මේ එක් ජනාධිපතිවරණයක් පමණයි. නමුත් නියම අභියෝගයට මුහුණ දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා තනිවමයි. අද මේ වේදිකාවට සියළු පක්ෂ පාට එක්කර ගැනීමට හැකි වූයේත් එතුමාටයි. එතුමා ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ  රටේ ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරලයි. එතුමාගේ  නායකත්ව ලක්ෂණය පසුගිය වසර දෙකේදී මැනවින්  පෙන්නුම් කළා. එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි උපරිමයෙන් කැපවෙමු කියා මා ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා,

අද ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සජිත් ප්‍රේමදාස මහතා  2015 යහපාලන ආණ්ඩුවේ නිවාස අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළා. නමුත් ඒ වසර පහ තුළ ඔහුට එක නිවසක්වත් හරියටහදන්න බැරි උනා. ඔහු අසාර්ථක අමාත්‍යවරයෙක් බව ඔප්පු කර පෙන්වා තිබෙනවා.

ඒ වගේම 2005 වසරේ අනුර කුමාර  දිසානායක කෘෂිකර්ම ඇමතිවරයා  වශයෙන් කටයුතු කළා. ඔහු අසාර්ථක අමාත්‍යවරයෙක් බවත් ඔප්පු කර තිබෙනවා.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  වී ගොවීන්ට ලබාදෙන සහනාධාර වැඩිකර තිබෙනවා. ඒ නිසා මේ වසරේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතක අස්වැන්නක් ලබා දී තිබෙනවා.

මේ රටේ ජනතාව ගෝඨාභය ජනාධිපතිවරයාට එරෙහිව පාරට බැස්සා. සාමකාමීව තිබූ ඒ විරෝධතාව ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රචණ්ඩත්වයට පත් කළා. ගෙවල් ගිනි තිබ්බා, වාහන ගිනි තිබ්බා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ අනාගතය භාරගෙන ඒ ප්‍රචණ්ඩත්වය අවසන් කළා. පෝලිම් යුගය අවසන් කළා.  අද රටේ නීතිය හා සාමය  ස්ථාපිත කිරීමට එතුමාට හැකියාව ලැබුණා.

මේ රට හදන්න පුළුවන් එකම නායකයා තමන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙවී ගිය වසර දෙක තුළ ඔප්පු කර පෙන්වා තිබෙනවා. සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමටත්, වතු කම්කරු වැටුප  වැඩි කිරීමටත් එතුමා පියවර ගෙන තිබෙනවා. රට වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් සුරක්ෂිත අනාගතයක් බිහි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉදිරි වසර පහ සඳහාස  මේ රටේ වගකීම භාර දෙමු කියා මා ඉල්ලා සිටිනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා,

2022 වසරේදී මේ රට බේරා ගැනීමට කවුරුන් හෝ ඉදිරිපත් වන තුරු මේ රටේ ජනතාව බලා සිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැර වෙනත් කිසිවෙක් ඊට ඉදිරිපත් වුණේ නැහැ. එතුමා විසින් රට ස්ථාවර කළ පසු බලය ඉල්ලා ගෙන නම් දැන් වන විට අපේක්ෂකයින් ඉදිරිපත්ව සිටිනවා.

නමුත් රට රකින ජනාධිපතිවරයෙක් සමඟ යන ගමන ආරක්ෂිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා යටතේ අපිට කවදාවත් පෝලිමේ ඉන්න සිදු වුණේ නැහැ. වතු කම්කරුවන්ගේ වැටුප්, නිවාස හා යටිතල පහසුකම් පිළිබඳ කතා නොකළ කිසි වෙකුට මේ ජනතාවගෙන් ඡන්දය ඉල්ලන්න කිසිම අයිතියක් නැහැ. වතු කමිකරුවන්ගේ වැටුප් වැඩි කිරීමටත්, නිවාස ප්‍රශ්නය විසඳීමටත් කටයුතු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි.

අනුරකුමාර දිසානායකත්, කෘෂිකර්ම අමාත්‍යාංශය සහඉඩම් අමාත්‍යාංශයේ වගකීම් දැරුවත්  ජනතාවට ඉඩම් අඟලක් ලබා දුන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතා 2015-2019 කාලයේ නිවාස ඇමැතිවරයා ලෙස කටයුතු කළා නේද?  ඉන්දීය රජයෙන් ලබාදුන් ආධාරවලින් හැර ඔහු එක නිවසක්වත් ඉදිකර දී නැහැ. අමාත්‍ය ධූරවල සිටින කාලයේ කඳුකරය දෙස හැරී නොබැලූ අය ජනාධිපතිධුරයට පත් වුනාට පස්සේ බලයිද?  අද විපක්ෂයේ අපේක්ෂකයින්ට ඡන්දය ඉල්ලන්න නිදහස් පරිසරය නිර්මාණය කළේද  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි . ඒ නිසා ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කිරීම අපේ ජනතාවගේ වගකීම බව කිව යුතුයි.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

නුවරඑළිය ජනතාවට පසුගිය වසර දෙකකට පෙර වගා කටයුතු කරන්න පොහොර තිබුණේ නැහැ. රටේ ආර්ථිකය කඩා වැටෙද්දී  රටට ඩොලර් ගෙන ඒමට ප්‍රධාන දායකත්වය ලබා දුන්නේ ඔබයි. ඊට කළගුණ දැක්වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කම්කරු වැටුප 1700 ක් දක්වා වැඩි කළා. තවත් රුපියල් 350ක් මැතිවරණයෙන් පසුව ඔබට ලබා දෙනවා.

අද වන වන විට රටේ විවිධ රැලි නිර්මාණය වී තිබෙනවා.  වෙනදා කැටවලින් සල්ලි හොයපු ජනතා විමුක්ති පෙරමුණ අද විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. ජනාධිපතිවරණයෙන් පසුව රටේ යළිත් කැරැල්ලක් ඇති වෙයි කියා බියෙන්  රුපියල් බිලියන හතක දේපල රක්ෂණය කර තිබෙනවා. කොටස් වෙළඳපොල කඩා වැටෙමින් තිබෙනවා.

කෙසේ වුවත් සැප්තැම්බර් 22 වනදා මේ රටේ යළිත් ජනාධිපති බවට පත්වන්නේ රනිල් වික්‍රමසිංහ  මහතා බව පැවසිය යුතුයි. එනිසා කවුරුත් කලබල විය නැහැ. අපි මේ රටේ සියලු  පුරවැසියන්ගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කරනවා.

ශිෂ්‍ය අරගල නිසා බංගලාදේශය අද කඩාවැටිලා. අද එරට ඉන්ධන නැහැ, දීර්ඝ  විදුලි කප්පාදුවක් සිදුවෙනවා. ඇඟලුම් කර්මාන්තශාලා වැසෙමින් පවතිනවා.  ඒ වගේම අප පුනරුද යුගය පසු කර අවසන්.  එනිසා යළිත් පුනරුද යුග නිර්මාණය කළොත් බංගලාදේශයට සිදු වූ විනාශය අපේ රටටත් සිදු විය හැකියි. ඒ නිසා අමාරුවෙන් ගොඩ නැඟූ මේ රට නැවත කඩා වට්ටවන්න උත්සාහ කරන්න එපා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන්, නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක නිමල් පියතිස්ස,  ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සංවිධායක  පලනි ශක්තිවේල්, උප සභාපති බී. අරූල්සාමි, ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩල සභිකවරුන් වන ආර්. රාජතුරෙයි, කේ. කනකරාජ්, පිලිප් කුමාර්, අනුෂා සිවරාජ්, කනිෂ්කා මයිකල් යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය දේශපාලන නායකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more