මේ රටේ ගොවි ජනතාව පොහොර නැතිව දුක් විඳින විට අද බොරු පොරොන්දු දෙන සජිත් හා අනුර හිටියේ කොහේද ?

• එදා ජනතාව පෝලිම්වල දුක් විඳින විට සජිත් හා අනුර හිටියේ කොහේද ?

• ජනතාව අසීරුතාවට පත් වූ අවස්ථාවේ පැන ගිය අය අද තම අනාගතය වෙනුවෙන් බලය ඉල්ලනවා.

• වෙළෙඳාම සහ ගොවිතැන ශක්තිමත් කළහැක්කේ කාටදැයි මුස්ලිම් කොංග්‍රසයෙන් අහන්න.

• මුස්ලිම් ජනතාවගේ භූමදානය පිළිබඳ අයිතිය නීතියෙන්ම ලබා දෙනවා.

• අනෙක් නායකයන් මැතිවරණ වේදිකාවේ පොරොන්දු දෙන විට, මා ජනතාව ඉදිරියට පැමිණෙන්නේ පොරොන්දු ඉටු කරයි - ජනපති සයින්දමරදු ජන රැලිය අමතමින් පවසයි.

පොහොර මිල අඩු කරන බවට සහ ගොවි ණය කපා හරින බවට අද ප්‍රකාශ කරන සජිත්  හා අනුර එදා මේ රටේ ගොවි ජනතාව පොහොර නැතිව දුක් විඳින විට සිටියේ කොහොදැයි තමා ප්‍රශ්න කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තමා ලෝක නායකයන්ට කථා කර පොහොර සහනාධාර ලබා ගැනීමට කටයුතු කිරීම නිසා ගොවියා නැවත ගොවි බිමට යවා රටේ වී නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට හැකි වූ බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

අද ජනතාවගේ ජිවන බර ගැන කථා කරන සජිත් හා අනුර පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ ජීවන බර අඩු කිරීමට කිසිඳු සහායක් ලබා නොදුන් බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනතාව අසීරුතාවට පත් වූ අවස්ථාවේ පැන ගිය අය අද තම අනාගතය වෙනුවෙන් බලය ඉල්ලන බව පැවසූ ජනාධිපතිවරයා තමා මෙවර ජනාධිපතිවරණයේදී ජන වරම ඉල්ලා සිටින්නේ රටේ අනාගතය වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහන ඉදිරියට ගෙන යාමට බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11) පස්වරුවේ කල්මුණේ, සයින්දමරදු ෆවුසි ක්‍රීඩාංගණයේ  පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට මුස්ලිම් ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ග වූ වෙළෙඳාම සහ ගොවිතැන නැති වුවහොත් එම ජනතාවට දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බවයි. එබැවින් මෙරට වෙළඳාම සහ ගොවිතැන ශක්තිමත් කළ හැක්කේ කාටදැයි මුස්ලිම් කොංග්‍රසයෙන් විමසන ලෙස ජනතාවට පැවසූ ජනාධිපතිවරයා තමා ජනතාව ඉදිරියට පැමිණ ඇත්තේ සැලසුම් සමඟ බවද කියා සිටියේය.

එසේම තමා කිසිවිටෙකත් ජනවාර්ගික ප්‍රශ්නය සහ ආගමික ප්‍රශ්නය පදනම් කර ගනිමින් මැතිවරණ නොකරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මුස්ලිම් ජනතාවගේ භූමදානය පිළිබඳ අයිතිය නීතියෙන්ම ලබා දෙන බවත්, අනෙක් නායකයන් මැතිවරණ වේදිකාවල පොරාන්දු දෙන විට තමා ජනතාව ඉදිරියට පැමිණෙන්නේ පොරොන්දු ඉටු කර බවද සඳහන් කළේය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

ඔබට ආහාර නොතිබු අවස්ථාවේ මම ආහාර ලබා දුන්නා. ඔබට ඖෂධ, පොහොර, ඉන්ධන සහ ගෑස් නොතිබු අවස්ථාවේ මම එම අවශ්‍යතා සපුරා දුන්නා. ඔබට බලාපොරොත්තු නොතිබු අවස්ථාවේ මම බලාපොරොත්තුවක් ලබා දුන්නා.

ඔබ ආහාර නැතිව කුසගින්නේ සිටීම මට වේදනාවක් වුණා. ඔබ ඉන්ධන, ගෑස්, පොහොර නැතිව සිටිනවා දුටු විට මම කණගාටු වුණා. රටේ ජනතාව දුක් විඳිනවා දැක මම කණගාටු වුණා. කිසිවෙක් රටේ වගකීම භාර නොගත් නිසා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනය පරිදි මම ජනාධිපති ධූරය භාරගත්තා.

එදා සජිත්ට ජනතාව විදින මේ වේදනාව දැනුණේ නැද්ද, ඔවුන් කිව්වා මේ ලෙඩේ අපි භාර ගන්නේ නැහැ කියලා. ඔවුන්ගේ හෘදසාක්ෂිය කුමක්ද කියා මම අහනවා.

පොහොර මිල අඩු කරනවා, ගොවි ණය නැති කරනවා කියලා අද ජනතාවට පොරොන්දු දෙනවා. නමුත් ගොවින්ට පොහොර අවශ්‍ය වෙලාවේ ඔවුන් ජනතාවට පොහොර දෙන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒ වෙලාවේ ඔබ හිටියේ කොහේද කියා මම සජිත්ගෙන් සහ අනුරගෙන අහනවා.

අසීරු ජනප්‍රිය නොවන තීන්දු ගනිමින් මම මේ රටේ ආර්ථිකය ගොඩගත්තා. වසා දමා තිබු කඩ සාප්පු මම විවෘත කළා. දැන් අපි රටේ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කර තිබෙනවා.

මේ ඡන්දය ජනවාර්ගික ප්‍රශ්න ගැන නොවෙයි. මේ ඡන්දය ආගමික කටයුතු පිළිබඳ නොවෙයි. මුස්ලිම් ජනතාවට තිබු ප්‍රධාන ප්‍රශ්නය මම විසදුවා. භූමදානය කිරීමේ අයිතිය මම ඔබට නීතියෙන් අරන් දෙනවා. අනිත් අය මේවා කතා කරන්නේ මැතිවරණ කාලයටයි. මම මේවා ඡන්ද කාලයේ කථා කරන්නේ නැහැ. මම ඔබ හමුවට පැමිණ සිටින්නේ ඒ වැඩකොටස ඉටුකරලයි. දැන් තිබෙන්නේ එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට පමණයි. මම දැන් ජමහල් මුස්ලිම් පල්ලියත් නැවත ලබා දී තිබෙනවා. දැන් මේ පළාතේ ජනතාවට ආගම ගැන කතා කරන්න දෙයක් නැහැ.

මුස්ලිම් ජනතාව වෙළඳාම් කරනවා. ඒ වගේම ගොවිතැන් කරනවා. වෙළඳාම සහ ගොවිතැන නැති වුණොත් මුස්ලිම් ජනතාව අසීරුතාවට පත් වෙනවා. ඒ නිසා වෙළඳාම සහ ගොවිතැන දියුණු කරන්න පුළුවන් කාටද කියා ඔබ මුස්ලිම් කොංග්‍රසයෙන් අහන්න.

අප ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් ලබා දිය යුතුයි.රුපියල ශක්තිමත් කර අප ජනතාවගේ ජීවන බර අඩු කරනවා.

අද ජීවන බර වැඩියි කියන සජිත්ගෙන් සහ අනුරගෙන මම අහනවා ඇයි ඔබ මේ රට භාරගෙන ජනතාවගේ ජීවන බර අඩු කළේ නැත්තේ කියලා. ආර්ථික අර්බුදය හමුවේ ඔවුන් බියේ පැන ගියා. මට මේ රට භාර ගැනීමට සිදු වුණා. දැන් මම රට ඉදිරියට ගෙන යාමේ වගකීම භාරගෙන තිබෙනවා. ඒ නිසා සජිත් සහ අනුර ගැන නැවත විශ්වාසයක් තැබිය හැකිද කියා මම අහනවා.

අද මම මෙහි පැමිණෙන විට හොද සාප්පුවක් දැක්කා. එම සාප්පුවේ ලේස් සපත්තු කුට්ටමක් තිබ්බා. සජිත් මෙහි පැමිණි විට  ඔබ  එය ඔහුට අරන් දෙන්න. එතකොට ඔහුට දුවන්න පහසුයි.

අපි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරගෙන ඉදිරියට ගෙන යමු. අප මේ ප්‍රදේශවල කෘෂිකර්මාන්තය දියුණු කරනවා. කෙතරම් අසීරු වුවත් 2023, 2024 යල මහ කන්නවලදී මේ රටේ ගොවි ජනතාව අපට සාර්ථක අස්වැන්නක් ලබාදුන්නා. ඒ අනුව දැන් ගොවි ජනාතවගේ අත මිට සරු වී තිබෙනවා. මෙම ලෝක නායකටන් කථා කරලා අසීරුවෙන් ලබාගත් පොහොර නිසා මෙම දියුණුව ලබා ගැනීමට හැකි වුණා. ඒ අවස්ථාවේ සජිත් ප්‍රේමදාසයි, මුස්ල්ම් කොංග්‍රසයයි හිටියේ කොහේද කියා මම අහනවා.

අප පේදුරුතුඩුවේ සිට පානම දක්වා විශාල සංචාරක කලාපයක්  ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් පලාලි, හිගුරන්ගොඩ, මත්තල යන ගුවන් තොටුපොළ දියුණු කරනවා. සමන්තුරේ ආයෝජන කලාපයක් ඇති කරනවා.  ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කරනවා. මම ජනතාව ඉදිරියට එන්නේ සැලසුම් සමඟයි.

මෙම ජනාධිපතිවරණයේදී මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ ජනවරමයි. සජිත් කියන්නේ හැමදේම නොමිලේ දෙනවා කියලා.  රටක් එහෙම සංවර්ධනය කරන්න බැහැ.

ආර්ථික අර්බුදය හමුවේ බයවෙලා පැන ගිය අය දැන් ඒ අයගේ අනාගතය වෙනුවෙන් බලය ඉල්ලනවා. මම ආවේ මේ රටේ ජනතාවගේ අනාගතය ගැන හිතලයි. ඒ නිසා ඔබේ අනාගතය ගැන සිතා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරිපස කතිරය ගහන ලෙස මම ඉල්ලනවා.

අමාත්‍ය අලි සබ්‍රි මහතා,

මීට වසර දෙකකට පෙර ගෑස් නොමැතිව සුපර් මාර්කට්වල දර අලෙවි කළ යුගයක් මේ රටේ තිබුණා. ගොවින්ට පොහොර තිබුණේ නැහැ. මහ බැංකුවේ තිබුණේ ඩොලර් මිලියන 20යි. ඒ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතාට ආණ්ඩුව භාර ගන්නා ලෙස දැනුම් දෙන ලෙස එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මට උපදෙස් දුන්නා.

ඒ අනුව මම සජිත්ට කතා කළා. ඒ අවස්ථාවේ එතුමාගේ  ඉල්ලීම පරිදි මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව සළසා දුන්නා.නමුත් එදා රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හමුවේ සජිත් පසු බැස්සා. එදා ඒ විදිහට වගකීම පැහැර හැරි සජිත් අද රට භාර දෙන්න කියා ඡන්දය ඉල්ලමින් ඔබ ඉදිරියට එනවා.

සජිත් මේ කියන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැඩි පරිශ්‍රමයක් දරා ගොඩ ගත් රට කිසිදු සුදුසුකමක් නැති කෙනෙකුට භාර දෙන්නද කියලද කියා මම අහනවා.

1989, 1994, 1999  වර්ෂවල අෂ්රෆ්  නායකතුමා  හිටියේ කා සමඟද? අද අපේ මුස්ලිම් නායකයන් එක්ක ඉන්න කණ්ඩායම ඉදිරි ජනාධිපතිවරණයේදී නියත වශයෙන්  පරදිනවා. එසේ නම් සමාජය පාවා දෙන මුස්ලිම් නායකයන් පසුපස නොයන ලෙස මම ඔබෙන්ඉල්ලා සිටිනවා.

අපි දේශපාලනය කරන්නේ ආත්මාර්ථකාමී පටු අරමුණු සඳහා නොවෙයි. පහුගිය අවුරුදු 5 තුළ අපි ආණ්ඩුව තුළ සිදු කළ අරගල සුළුපටු නැහැ. ඒ බව දන්නේ අපි සහ දෙවියන් විතරයි. අපගේ ඥාතීන්ගේ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීමට එදා නීතියක් ගේනවා. ඒ වෙනුවෙන් රජයක් ලෙස අපි සමාව ඉල්ලනවා.

මේ වන විට රටේ සියලු ජාතිනී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව යළි ජනාධිපති ධූරයට පත් කිරීමට  සූදානමින් සිටිනවා. ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වීමට එක්වන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

කැබිනට් නොවන  අමාත්‍ය අලී සාහීර් මවුලානා මහතා,

අද රටේ ජනතාවට විදුලිය ඇතුළු මූලික අවශ්‍යතා සියල්ල නොඅඩුව තිබෙනවා.ඒ වගේම ජනතාවට ක්‍රමක්‍ර මයෙන් සහන ලැබෙමින් පවතිනවා. මිනිසුන් සතුටින් ජීවත්වෙනවා.  සියලු ජාතීන් සතුටින් උත්සව පවත්වනවා.මේ තත්ත්වය දිගටම පැවතිය යුතුයි. එසේත් නොමැතිව වටිනා කාලය යළි පෝලිම්වල ගත කරන්න ජනතාව කැමති නැහැ.

මේ තත්ත්වය නොවෙනස්ව පැවතීමට නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පාලනය අඛණ්ඩව පැවතිය යුතුයි. වෛද්‍ය ෂාෆි ඇතුළු  මුස්ලිම්වරුන්ට එරෙහිව රටේ ජනතාව පෙළඹ වූ  චන්න ජයසුමන, චම්පික රණවක, දයාසිරි ජයසේකරත්, රිෂාඩ් ත්‍රස්තවාදියෙක් බව කියූ  මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකත්, අද ඉන්නේ  සජිත් සමඟයි. ඒ වගේම මුස්ලිම් ජනතාවගේ අවසන් කටයුතු සම්බන්ධ අමානුෂික තීරණ ගැනීමට සහාය දුන් නාලක ගොඩහේවා වැනි පුද්ගලයන්ද අද සජිත්ට සහාය දෙනවා. ඔවුන් සියළු දෙනා ජාති භේද ආගම් භේද ඇති කර ජනතාව වෙන් කිරීමට උත්සාහ කළ බව මේ ජනතාව දන්නවා. අපට ජාතිවාදය හෝ ආගම්වාදය අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය වන්නේ මේ රටේ සියළු ජනවර්ග සමඟ සමඟියෙන් ජීවත්වීමටයි. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවීමේ  නිවැරැදි තීරණය ජනතාව ගත යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. මුෂාරෆ් මහතා,

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවීමට රටේ සෑම ප්‍රදේශයකම ජනතාව සූදානමින් සිටිනවා. ඒ වගේම සමගි ජන බලවේගය පක්ෂය මේ වන විට  තුන්වන ස්ථානයේ සිට සිව්වන ස්ථානය දක්වා පසුබැස තිබෙන බවත් කිව යුතුයි.

එදා වගකීම්වලින් පැනලා දුවපු අය අද පාලන බලය ඉල්ලනවා.  එදා ජනතාව පෝලිමේ ඉන්න විට ඔවුන් වෙනුවෙන්  පෝලිමේ ඉන්න ඔවුන් ආවේ  නැහැ. මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් කාරියප්පර් මහතා පසුගිය දිනක රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කියනවා “ අපි එදා රට භාර ගන්න හිටියේ, නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩිමුඩියේ ගිහින් එය භාරගත්තා” කියලා.  ඒත් එදා ඇත්තටම  සිදු වුණේ ඔවුන් බෑ කියලා දිව්ව එකයි.

ජාතික ජන බලවේගයත් පසු බැස්සා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන්  රකිනවා කියලා අද ඇතැමුන් චෝදනා කරනවා. නමුත් රාජපක්ෂලා ගේ ලොකුම වෛරය තියෙන්නේ ජනාධිපතිතුමා සමඟ බව කිව යුතුයි.

2005 වසරේ පැවති ජනාධිපතිවරණයේදී  ජයග්‍රහණය අභියස සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපතුමාව,  රාජපක්ෂලා විසින්  වංචාවෙන් පරාජය කළා. එදා එතුමා ජයග්‍රහණය කළා  නම් අද අපේ රට සිංගප්පූරුව වගේ දියුණු වෙනවා. රාජපක්ෂලා එසේ කළත් රට අමාරුවේ වැටුණ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනතාව වෙනුවෙන් ඔවුන් සමඟ එක්ව කටයුතු කළා.

නැවත පෝලිම් යුගයක් පැමිණියහොත්  අනුර, සජිත් කොහෙද ඉන්නේ කියලාවත් හොයා ගන්න ලැබෙන්නේ නැහැ.  නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කිසිම අසීරු අවස්ථාවක ඔබ අත් නොහරින බව ඔප්පු කර තිබෙනවා. එම නිසා අපේ ජනතාව එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අත්වැල් බැඳගෙන අවසන් බව කිව යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම් අතාවුල්ලා මහතා,

විදුලිය, රැකියා, භාණ්ඩ, ගෑස් හා ඉන්ධන නොමැතිව මීට වසර දෙකකට පෙර රටේ ජනතාව පාරට බැස්සා. ඒ දිනවල ජනතාව හිටියේ ගිනි ගොඩක. මේ රට බේරා ගන්නේ කවුද කියා ඔවුන් බලා සිටියා.

සජිත් හෝ ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ ඒ අවශ්‍යතාව වෙනුවෙන් ඉදිරිපත් වුණේ නැහැ.  නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා  නිර්භීතව ඉදිරිපත් වුණා. සියළු ගැටලු විසඳා රට ගොඩ නැඟීම ආරම්භ කළා.  එදා අභියෝගය මඟ හැර බයේ දුව ගිය පිරිස අද පැමිණ රට ඔවුන්ට  බාර දෙන්න කියා ඉල්ලනවා.

මේ සෙල්ලම් කළ හැකි අවස්ථාවක් නොවෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඉදිරි වසර 5ද රට බාරදීම හැර වෙනත් විකල්පයක් නැහැ. ඇමතිකමක්වත් හරියට නොකළ අයට රටේ ජනාධිපතිකම දෙන්න මේ රටේ ජනතාව සූදානම් නැති බව කිව යුතුයි.

තමන්ගේ අවශ්‍යතා සඳහා පමණක් දේශපාලනය කරන රිෂාඩ් සහ හකීම් පිළිබඳව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට හොඳ අවබෝධයක් තිබෙනවා. ඔවුන් අපේ ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් කිසිම දෙයක් කරලා නැති බව ඔබ දන්නවා. කරවාකුප්පට්ටු  ප්‍රදේශයේ දෙමළ, මුස්ලිම්, සිංහල ක්‍රිස්තියානි සියලු දෙනාම ජීවත් වුණා. දේශපාලකයෝ කිහිප දෙනෙක් මේ නගර දෙකඩ කරලා ජනතාව අතර වෛරයක් ඇති කළා. එකම රටේ ජනතාව වෙන් කරන දේශපාලනඥයින්ව අප ප්‍රතික්ෂේප කළ යුතුයි. ඇද වැටී තිබූ මේ රට නැවත නඟා සිටවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මීළඟ වසර 5 සඳහාද භාර දීමට සිංහල දෙමළ, මුස්ලිම් ජනතාව තීරණය කර තිබෙනවා. අතීතයේ  සිදු වූ අතපසුවීම නැවතත් අනාගතයේ සිදු වීමට ඉඩ නොදෙන බව කිව යුතුයි.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා,

අද ඇතැමුන්  ‘ රටම අනුරට’  කියා කියනවා .නමුත් එය ‘රටම අඳුරට’ ලෙස වෙනස් විය යුතුයි.  ඒ අතරේ  සජිත් ප්‍රේමදාස හිතන්නේ ඔහු දැනටමත් ජනාධිපති වී ඇති බවයි. මේවා තමයි විකට චරිත. විකට චරිතයකට මේ රටේ ජනාධිපති ධුරය ලබා දීමට ජනතාව සූදානම් නැහැ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා තරම් පරිණත නායකයෙක් සමඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තරම් සුදුසුකමක් ඇති කෙනෙක් මෙවර අපේක්ෂකයන් අතර නැති බව ජනතාව දන්නවා. දේශපාලනය පිළිබඳ එතුමාගේ තිබෙන හසළ බුද්ධියත්, පරිණතභාවයත් , ජාත්‍යන්තර සබඳතාත් හේතුවෙන් අද මේ රට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර ජනාධිපතිවරණයේදී  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා අනිවාර්යයෙන් ජය ලබනවා. මේ අවස්ථාවේ එතුමා හැර වෙනත් විකල්පයක් පෙනෙන තෙක් මානයේ නැති බවද සඳහන් කළ යුතුයි.

මීට වසර දෙකකට පෙර පැවති ඒ කටුක අමිහිරි කාලයට ආපසු යන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ.යළිත්  පෝලිම්වල ඉන්න ජනතාව සූදානම් නැහැ. ඒ නිසා ඉදිරි වසර පහක ධූර කාලය සඳහා  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට යළි රට භාර දෙන්න පක්ෂ පාට භේදයකින් තොරව මේ ජනතාව සූදානම්. මෙවර එතුමාගේ ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් වන බව විශ්වාසයි.

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරු, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන ඉෂාක් රහුමාන්,විමලවීර දිසානායක,කල්මුණේ  ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ඒ.එම්. ජෙමීල්,  හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more