මෙරට කඩා වැටුණු ආර්ථිකයට පණ දුන්නේ අපියි

• සජිත් සහ අනුර ජනතාවට සහනයක් දෙන්න ඇඟිල්ලක්වත් ඉස්සුවේ නැහැ.

• අද ඔවුන් ජනතාව ඉදිරියට පැමිණ සිටින්නේ කෑදරකම නිසයි.

• එදා සජිත් හා අනුර මේ රටේ ජනතාවගේ දුක දැක්කේ නැද්ද?

• අසීරුවෙන් ගොඩනැඟු රටේ ආර්ථිකය නැවත බිඳ දමන්න ඉඩ දෙන්න එපා - සීතාවක මහජන සමුළුව අමතමින් ජනපති පවසයි.  

මේ රටේ කඩා වැටුණු ආර්ථිකයට පණ දුන්නේ තමන් ඇතුළු තම කණ්ඩායම බවත් සජිත් සහ අනුර මේ රටේ ජනතාවට සහනයක් වීමට එදා ඇඟිල්ලක්වත් එසවූයේ නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

එදා ජනතාවගේ දුක නොදුටු සජිත් සහ අනුර අද ජනතාව ඉදිරියට පැමිණ සිටින්නේ කෑදරකම නිසා බව පැවසූ ජනාධිපතිවරයා අසීරුවෙන් ගොඩනැඟු රටේ ආර්ථිකය නැවත බිඳ දෑමීමට ඔවුන්ට ඉඩ නොදෙන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (09) පස්වරුවේ කොස්ගමදී පැවති සීතාවක මහජන සමුළුව අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාට සහය පළ කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම සමුළුවට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

මම මේ රටේ ජනාධිපති ධූරයේ වගකීම භාර ගත්තේ රටේ සාමාන්‍ය ජන ජීවිතය සහතික කරමින් රටේ ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබා දීමටයි. ආහාර, ඖෂධ වගේම ගමනක් බිමනක් යාමට ඉන්ධන නැතිව, ආහාර සකස් කර ගැනීමට ගෑස් නැතිව එදා ජනතාව දුක් වින්දා. ඒ වගේම කර්මාන්තශාලා වසා දමා රැකියා ආදායම් මාර්ග අහිමි වී තිබුණා. මේ තත්ත්වය මට වේදනාවක් වූ නිසා මම මේ රටේ වගකීම භාරගත්තා.

සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක ඔබේ කුසගින්න නිවන්න සූදානම් වූණේ නැහැ. ජනතාවට ඉන්ධන, ගෑස් ලබා දී ජීවත්වීමේ අයිතිය ලබාදිමට ඔවුන් සූදානම් වුණේ නැහැ. මේ රටේ ජනතාව දුක් විඳින විට ඔවුන් එය බලාගෙන සිටියා. ජනතාවට සහනයක් දෙන්න ඔවුන් ඇඟිල්ලක්වත් ඉස්සුවේ නැහැ.

නමුත් මම ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන සහ ගෑස් ලබා දී, පාසල්  නැවත විවෘත කර  වසා දමා  තිබු කර්මාන්ත ශාලාද විවෘත කර රටේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ආවා. ඒ අනුව මේ රටේ ආර්ථිකයට පණ දෙන්න පටන් ගත්තේ මම සහ මා සමඟ සිටි අගමැතිවරයා ප්‍රමුඛ ඇමතිවරු සහ මන්ත්‍රීවරුන් බව කිව යුතුයි.  

සජිත් සහ අනුර ජනතාව වෙනුවෙන් කිසි දෙයක් කළේ නැහැ. නමුත් අපට ජනතාව පිළිබඳ වේදනාවක් තිබුණා. ඒ වේදනාව නිසා අපි ජනතාවට සහන ලබාදීමට කටයුතු කළා. එදා සජිත් හා අනුර මේ රටේ ජනතාවගේ දුක දැක්කේ නැද්ද, දරුවන්ට පාසල් යන්න බැරිව සිටිනවා දැක්කේ නැද්ද, ඔවුන් ඒ සඳහා පිළිතුරු ලබා දිය යුතුයි.

රටේ ආර්ථිකය හදන්න අපත් සමඟ එකතු වෙන්න කියා ඔවුන්ට ආරාධනා කළත් ඔවුන් පැමිණියේ නැහැ. ඔවුන් කිව්වා මම ආවේ රාජපක්ෂවරුන් ආරක්ෂා කරන්න කියලා. මම රාජපක්ෂවරුන් ආරක්ෂා කළා නම් අද ඔවුනුත් මේ වේදිකාවේ ඉන්න ඕන. නමුත් අද ඔවුන් ඉන්නේ වෙන වේදිකාවක.

එදා ජනතාව විඳපු දුක දැක පිහිටට ආපු නැති අය දැන් ජනතාව ඉදිරියට එන්නේ වෙන කිසිවක් නිසා නොවෙයි, කෑදරකම නිසයි. දැන් ඔවුන්ට ජනාධිපති ධූරය අවශ්‍ය වී තිබෙනවා.

තවම රටේ ආර්ථිකය සම්පුර්ණයෙන් ශක්තිමත් වෙලා නැහැ. අපි අසීරුවෙන් රටේ ආර්ථිකය මේ තත්ත්වයට ගෙනාවා. ඒ නිසා අසීරුවෙන් ගොඩනැගු ආර්ථිකය නැවත බිඳ දමන්න කිසිවෙකුට ඉඩ දෙන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා. සැප්තැම්බර් 22 වනදා සිට අප සියලුදෙනා එකතුවී මේ වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යමු.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

අපේ රටේ  ඇති වූ  දරුණුතම අර්බුද සමයේ අපේ රටට රාජ්‍ය පාලකයන් නොමැතිව අරාජිකව සිටින අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමා අභියෝග භාර ගෙන අරාජිකත්වයෙන් රට මුදා ගැනීමට ක්‍රියා කළා.

මේ රටේ ජනතාවට හෙට දවස ගැන විශ්වාසයෙන් ජීවිත් විය හැකි පරිසරයක්  එතුමා ඇති කළා.  මැතිවරණයක් පැවැත්විය හැකි වතාවරණයක් ගොඩ නැගුවා.

අනාගත  පරපුර අලුත් ලෝකයකට ගෙන  එන ගමන අලුත් ආර්ථිකයක් කරා  යන ගමන රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආරම්භ කළා. ඒ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන  යා යුතුයි.  එහෙම නොවුනොත් නැවත මේ රට විනාශයට ඇද වැටෙනවා.

දේශපාලන  මතවාදවලින්  ඉවත් වී  සියලු ජනතාව මාතෘභූමිය ආරක්ෂා කරමින්, දියුණු රටක් බවට පත් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආරම්භ කර ඇති ගමන සාර්ථක  කර ගැනීම සඳහා මේ රටේ සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය එතුමාට ලබා දිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා,

අද මුළු රටටම තිබෙන එකම ලකුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ විජයග්‍රාහී ලකුණ වන ‘ගෑස් සිලින්ඩරය’ යි. මේ මැතිවරණ ව්‍යාපාරයට ඇත්තේ තවත් දවස් 10ක් වැනි කෙටි කාලයක් පමණයි.  සැප්තැම්බර් 21 වනදාට ඓතිහාසික සීතාවක ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණයේ කොටස්කරුවන් වීමට සූදානම්. ඒ සඳහා ජාති ආගම් භේදයකින් තොරව මේ මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට අවශ්‍යයයි. දිවයිනේ විවිධ පළාත්වලට ගමන් කරන ජනතාවට මේ මැතිවරණයේ උණුසුම දනවන ආසනය ‘අවිස්සාවේල්ල’ බවට පත් කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

අවිස්සාවේල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක අමල් පුස්සැල්ලගේ මහතා,

කිසි කෙනෙකු මේ රට භාර නොගන්නා අවස්ථාවේ අපේ රට භාරගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපව පෝලිම් යුගයෙන් ගලවා ගත්තා. අද අපේ රටේ ජනතාටව සාමාන්‍ය පරිදි ජීවත් වීමට අවශ්‍ය පරිසරය එතුමා සකස් කර දී තිබෙනවා. එතුමා අපේ ගොවිතැන, දරුවන්ගේ අධ්‍යාපනය, රටේ තරුණ ප්‍රජාවට රැකීරක්ෂා කරගන්න පුළුවන් වාතාරවරණයක් මේ රටේ නැවත ඇති කළා. ඒ සියල්ල සමඟ රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කර තිබෙනවා. අසාදු ලේඛනගත කර තිබූ රටක් මේ තරම් ඉක්මනින් ලෝකය පිළිගන්නා තත්ත්වයට පත් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ලෝකයේ වෙනත් කිසිඳු නායකයෙකුට එවන් හැකියාවක් ලැබී නැහැ. අවිස්සාවේල්ල ප්‍රදේශයේ සියලුම දේශපාලන නායකයින් අද එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී සිටින්නේ ඒ නිසයි.

අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය මහේෂ් අල්මේදා, සීතාවක ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ජයන්ත රෝහණ, ජනාධිපතිවරණ ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවේ කොස්ගම කලාපයේ කැඳවුම්කරු සමන්ත උදයකුමාර ගමගේ, අවිස්සාවේල්ල ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවේ භාණ්ඩාගාරික විමල් ප්‍රසන්න යන මහත්වරුන්, විවිධ පක්ෂ නියෝජනය කරමින් පළාත් පාලන ආයතන හිටපු ප්‍රධානීන්  සහ සභිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Read more