සජිත්ගේ හෝ අනුරගේ අනාගතය නොව තමන්ගේ සහ තම දරුවන්ගේ අනාගතය ගැන සිතා ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන්න

• පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ ජනතාවගේ දුක නිවීමට සජිත් හෝ අනුර ඉදිරිපත් වුණේ නැහැ.

• මම ජනතාව වෙනුවෙන් ඉන්ධන සහ පොහොර ඉල්ලන විට සජිත් හා අනුර මැතිවරණ ඉල්ලුවා.

• අසීරුවෙන් ගොඩගත් රටේ ආර්ථිකය රැකගමු - ජනපති කිලිනොච්චියේ දී කියයි.

සජිත්ගේ හෝ අනුරගේ අනාගතය නොව තමන්ගේ සහ තම දරුවන්ගේ අනාගතය ගැන සිතා මේ රටේ ජනතාව සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (10) පස්වරුවේ කිලිනොච්චි ප්‍රදේශයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලිය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ ජනතාවගේ දුක නිවීමට සජිත් හෝ අනුර ඉදිරිපත් නොවු බවයි.

තමන් ලොව පුරා රාජ්‍ය නායකයන් හමුවෙමින් ජනතාවට අවශ්‍ය පොහොර සහ ඉන්ධන ඉල්ලන විට සජිත් හා අනුර ඡන්දයක් ඉල්ලා සිටි බව සිහිපත් කළ ජනාධිපතිවරයා ජනතාවගේ වේදනාව හමුවේ ඡන්ද ඉල්ලමින් සහ වැඩ වර්ජන සිදු කරමින් රට අවුල් කිරිමට උත්සාහ කළ නායකයන් පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවද කියා සිටියේය.

එබැවින් අසීරුවෙන් ගොඩනැගු රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යමින් දියුණු රටක් ගොඩනැඟීමේ වගකීම ඉටුකිරීමට සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

මේ අවස්ථාවට එක් වූ ඔබ සියලුදෙනාට මම ස්තූතිය පළ කරනවා. මීට වසර දෙකකට පෙර ජනතාවට ආහාර තිබුනේ නැහැ. ඉන්ධන, ගෑස්, ඖෂධ සපයා ගැනිමට නොහැකි වුණා. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටි තිබුණා. වගා කරන්න පොහොර තිබුණේ නැහැ. එම අවස්ථාවේ මම මේ රටේ වගකීම භාරගත්තා. මේ රටේ ජනතාව දුක් විඳින අයුරු දැකලා මම කම්පා වුණා.

එහිදී ජනතාවගේ ජිවත්වීමේ අයිතිය ආරක්ෂා කළ යුතු බව මම තිරණය කළා. ඒ අනුව මම රටේ වගකීම භාරගෙන ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළා. සජිත් ප්‍රේමදාස  හෝ අනුර කුමාර ජනතාවගේ කුසගින්න නිවන්න එදා ඉදිරිපත් වුණේ නැහැ.

ඔබ දුක් විදින විට ඔවුන් බලාගෙන සිටියා. ජනතාවට සහන සැලසීමට අප අරම්භ කළ වැඩපිළිවෙළට ඔවුන් කිසිම සහායක් ලබා දුන්නේ නැහැ. ඔවුන් ඒ වෙනුවට ඡන්දයක් ඉල්ලුවා.

මම ලොව පුරා නායකයන්ට කථා කරමින් ජනතාව වෙනුවෙන් පොහොර, ඉන්ධන ඉල්ලනවිට සජිත් හා අනුර ඡන්දයක් ඉල්ලුවා. ජනතාවගේ වේදනාව මතින් ඔවුන් ඡන්ද සහ වැඩ වර්ජන කරන්න උත්සාහ කළා. මම ජනතාවට අවශ්‍ය පොහොර ලබා දී ගොවියා නැවත ගොවිබිමට යැව්වා. ජනතාවට අවශ්‍ය ඉන්ධන, ගෑස්, ඖෂධ ලබාදී ජන ජිවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කළා.

එදා සිදු වූ ආර්ථික කඩා වැටීම හමුවේ භාණ්ඩ මිල ඉහළ ගියත් ක්‍රම ක්‍රමයෙන් ජනතාවට සහන සැලසිමට අප කටයුතු කළා. භාණ්ඩ මිල අද සැලකිය යුතු ප්‍රමාණයකින්අඩු වෙලා තිබෙනවා. නැවත රටේ ආර්ථිකය ශක්තිමත් වීමට පටන් ගෙන තිබෙනවා. මේ සමග ඉදිරියේදී ජනතාවට තවදුරටත් සහන ලබාදීමට අපට හැකි වෙනවා.

එම කටයුතු ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.  මේ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් අපි කෘෂි නවීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. නවීන තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදන ඉහළ නංවා ගැනීමට අප ඔබට සහාය ලබා දෙනවා. ඒ වගේම මෙම ප්‍රදේශවල ගොවි ජනතාවගේ එළවළු සහ පලතුරු අළෙවි කළ හැකි නව ජාලයක් ඇති කර ඒ සඳහා පුද්ගලික අංශයද එක් කර ගන්නවා. ඒ වගේම මෙම ප්‍රදේශයේ විශාල ශීතාගාරයක් ඇති කරනවා. හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් 08ක් ලබාගත හැකි පරිදි අප මෙම ප්‍රදේශයේ කෘෂිකර්මය දියුණු කරනවා. අප මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි.

ඒ වගේම සංචාරකයන් වැඩි පිරිසක් මෙම පළාත්වලට ගෙන්වා ගැනීමටත්, එමඟින් උපයා ගන්නා මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීමටත් අප කටයුතු කරනවා. ඒ වගේම රට පුරා ආයෝජන කලාප ඇති කිරීමට  සැලසුම් කර තිබෙනවා.

මේ ප්‍රදේශයේ විශාල ලෙස සූර්ය විදුලිබලය නිෂ්පාදනය කළ හැකියි. අපි එම අතිරික්ත නිෂ්පාදන ඉන්දියාව අලෙවි කරමු. ඒ අනුව මේ ප්‍රදේශවල ජනතාව පොහොසත් කිරීමේ වැඩපිළිවෙළ අප සකස් කර තිබෙනවා. මේ ප්‍රදේශයට ඩිජිටල් ආර්ථිකයක් ගෙන ආ විට කිලිනොච්චි ඉංජිනේරු පීඨය වටා ඩිජිටල් කලාපයක් ඇති කළ හැකියි. ඒ වගේම පුනරින් බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ගොඩනඟනවා. අපි මේ රට දියුණු කරමු. අප ඔබේ සහාය ඉල්ලා සිටින්නේ ඒ සඳහායි.

නමුත් සජිත් හා අනුර ආවොත් කරන්නේ කථා කරන එක විතරයි. අපට අවශ්‍ය මේ ප්‍රදේශ දියුණු කිරීමටයි. අපට අවශ්‍ය ජනතාවගේ දුප්පත්කම නැති කර හොඳ අනාගතයක් ගොඩනඟාදීමටයි. ඒ නිසා ඔබේ අනාගතය ගැන සිතන්න. සජිත් හෝ අනුරගේ අනාගතය නොව ඔබේ සහ ඔබේ දරුවන්ගේ අනාගතය ගැන සිතා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන ලෙස මම සියලු ජනතාවගෙන් ඉල්ලනවා.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපතිධූරයට පත් කිරීමට අපට ලැබෙන මෙම අවස්ථාව අප මඟ හරවා ගතහොත් එය නිවැරදි කිරීමට තවත් වසර පහක් බලා සිටීමට සිදු වෙනවා. ඒ වසර පහ තුළ මේ රට නැවත ගොඩ ගැනීමට හැකි තත්ත්වයක පවතීද යන්න නම් සැකයි. එම නිසා ‍අපි මෙවර ජනාධිපතිවරණයේදී නිවැරදිම තීරණය ගත යුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ඉදිරි වසර පහ තුළ මේ රටට අත්‍යවශ්‍ය වෙනවා. අද වන විට ආරම්භ කර තිබෙන මෙරටේ සංවර්ධන කටයුතු සියල්ල අඛණ්ඩව පවත්වගෙන යා හැකි වන්නේ ඒ හරහායි. එසේ නොවුන හොත් මේ රටේ සංවර්ධන කටයුතු පසෙකලා නැවත රට ආර්ථික අගාධයෙන් ගොඩ ගැනීමට කටයුතු කිරීමට සිදු වෙන බව ස්ථිරයි.

දකුණේ නායකයින් සමඟ සම්බන්ධතා පවත්වන උතුරේ සමහර නායකයින් තමන් ගේ මඩි තර කර ගෙන උතුරට ඇවිත් කියන්නේ දකුණේ නායකයින් උතුරේ ජනතාව රවටන බවයි. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුර දකුණ කියා කිසිම භේදයකින් තොරව එකවර සංවර්ධනය කිරීමටත් ජනතාවගේ සුබ සිද්ධිය සැලසීමටත් අවංකව කැප වෙන නායකයෙක් ලෙස විශ්වාස කළ හැකියි. මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අපතුළ පවතින එම විශ්වාසය මෙවර ජනාධිපතිවරණයේදී තහවුරු කරමින් ගෑස් ටැංකිය ඉදිරියෙන් කතිරය සළකුණු කර එතුමා නැවතත් මේ රටේ ජනාධිපතිධුරයට පත් කරන ලෙස මම ඔබගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංගම් තිලීපන් මහතා,

සමහර පිරිස් ජනතාව නොමඟ යවන්න උත්සාහ කරනවා. සජිත් ප්‍රේමදාස මහතා උතුරේ ජනතාවට ලබා දුන්නේ බාගයට ඉදි කළ නිවාසයි. ඒ නිසා ජනතාව පාරට වැටුණා. අපේ ජනතාවගේ ඉඩම් හා නිවාස ගැටළු නිවැරදිව හඳුනාගත් නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. එතුමා මේ වසර දෙක තුළ උතුරේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට කටයුතු කළා.

ඒ වගේම මෙතෙක් මේ ප්‍රදේශයේ ජනතාවට විශාල ගැටළුවක් වූ පානීය ජලය ලබා දීමට ද ජනාධිපතිතුමා පියවර ගත්තා. එතුමා පිළිබඳ විවිධ පුද්ගලයින් චෝදනා කළත් මේ රටේ ගැටළුවලට ප්‍රායෝගික විසඳුම් ඇත්තේ එතුමාගේ නායකත්වය තුළයි.

මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද ,ඊ.පී.ඩී.පී පක්ෂයේ නායකයින්, පළාත් පාලන ආයතන හිටපු ප්‍රධානීන්  සහ සභිකයින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Read more