නිදහස ලබා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ එජාපය පසුව බෙදුනත් ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට යළි එක්ව සිටිනවා

• ඩී.එස් - ජේ.ආර් උරුමය රකින එජාපයට වසර 78යි.

• ජී.එල් - ගොඩහේවා - ඩලස් පෙරමුණේ සිටින සජබෙ එජාප ප්රතිපත්ති නැහැ.

• අනුර දිසානායක අපනයන ආර්ථිකයකට යොමුවන බව පවසන විට සුනිල් හඳුන්නෙත්ති ආනයන ආර්ථිකයේ සිටිය යුතු බව පවසනවා : පරස්පර විරෝධි ප්රකාශ පිළිබඳ අනුර රටට පැහැදිළි කළ යුතුයි.

• “වෙනසක්” කරන බව කියන අනුරගේ පිටු 232ක ප්‍රතිපත්ති ප්‍රකාශයම “හිස්”.

• රටට අවශ්ය දේශපාලන, ආර්ථික හා සමාජ වෙනස කරන එකම වැඩසටහන “පුළුවන් ශ්රී ලංකා ”වැඩසටහනයි - ජනපති මොරවක දී කියයි.

ඩී.එස්.සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක වැනි නායකයන් විසින් එදා රටට නිදහස දිනාගැනීම වෙනුවෙන්  ආරම්භ කළ  එක්සත් ජාතික පක්ෂය පසුව දෙකඩ වී පක්ෂ දෙකක් බවට පත් වූ බවත්, එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරය සමරන අද වනවිට රට ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීම සඳහා එම පක්ෂ දෙක යළි එක්ව සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රට වෙනුවෙන් එකට එක් වූ විට කෑ ගහන සජබට අද එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා  ජී.එල්. පීරිස් හා නාලක ගොඩහේවා ඩලස් අලහප්පෙරුම මුල්තැන ගත් එම පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය නොමැති බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මොරවක ප්‍රදේශයේ අද (06) පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටි අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

අනුර කුමාර දිසානායක ද අද ආණ්ඩුව යන මග යමින් අපනයන ආර්ථිකයකට යොමුවන බව පවසන විට සුනිල් හඳුන්නෙත්ති ආනයන ආර්ථිකයේ සිටිය යුතු බව ප්‍රකාශ කරන බව පැවසු ජනාධිපතිවරයා මෙම පරස්පර විරෝධි ප්‍රකාශ පිළිබඳ ජාතික ජන බලවේගය රටට පැහැදිළි කළයුතු බවද සඳහන් කළේය.

ජාතික ජන බලවේගය වෙනසක් කරන බව කියමින් රට මුලා කළද පිටු 232ක් වූ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වෙනසක් ගැන කිසිදු සඳහනක් නොමැති බවත් ඔවුන් සිදු කරන බව පවසන වෙනස “හිස්”  බවත් පැවසු ජනාධිපතිවරයා රටට අවශ්‍ය දේශපාලන, ආර්ථික හා සමාජ වෙනස කරන එකම වැඩසටහන “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන බවද අවධාරණය කළේය.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

අද මට විශේෂ දවසක්. එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඩී.එස්. සේනානායක මැතිතුමා සහ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා වැනි නායකයන් එක්ව මේ රටට නිදහස ලබාදීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඇති කළා. ඉන් පසුව වෙන්ව ද්වි පක්ෂ ක්‍රමය ඇති වුණා. අද යළිත් රටේ ආර්ථික නිදහස වෙනුවෙන් විශාල තර්ජනයක එල්ල වු අවස්ථාවේ රට බේර ගැනීමට අපි සියලුදෙනා එක්වෙලා ඉන්නවා.

අප එකට එක්වුණා කියා ඇතැමුන් කෑ ගැහුවා. එහෙම කෑ ගහන්නේ පැනලා ගිය අය. අද සජබ ට එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධයක් නැහැ. ජී.එල්. පීරිස් හා නාලක ගොඩහේවා ඩලස් අලහප්පෙරුම එක්ක ඉන්න අයට එක්සත් ජාතික පක්ෂය කියන්න බැහැ. අද ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අමතක කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය ලෙස අප රට අසීරුතාවකට පත් වු සෑම අවස්ථාවකම එක්ව වැඩ කරන්න සූදානම්. අප එසේ නොකළානම් අද මෙහි සිටින බොහෝ දෙනෙක් හාමතේ මිය යනවා. ඖෂධ නැතිව මිය යනවා. එක්සත් ජාතික පක්ෂය ලෙස අපි හැම වෙලාවම ඇත්ත කියනවා.

ඩී.එස්. සේනානායක මැතිතුමා, ජේ.අර්. ජයවර්ධන මැතිතුමා සහ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අපිට ඉගැන්වුවේ ඇත්ත කියන්නයි. ඒ නිසා තමයි 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී අනෙක් පක්ෂ විවිධ ප්‍රකාශ සිදු කරද්දි අපි ඇත්ත කථා කළේ. රටේ ආර්ථිකය බංකොළාත් වෙන්න යනවා කියලා අපි එදා කිව්වා.

ඒ අනුව අපි අපේ මැතිවරණ ප්‍රකාශයේ මෙසේ සඳහන් කළා. “ අප බලාපොරොත්තු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් මාර්ග ඔස්සේ ඇමරිකන් ඩොලර් මිලියන 6000ක මුදල් සොයා ගැනීමටයි”. එදා අප බොරු කියනවා කිව්වා. අපට සැලැස්මක් නැහැ කිව්වා. අවසානයේ ඡන්දයෙන් අපි පැරදුනා. මට බොහෝ දෙනෙක් කිව්වා ඇයි ඇත්ත කිව්වේ බොරු කිව්වනම් දිනන්න තිබුණා කියලා. මම කිව්වා මම ඇත්ත වසන් කරන්න ලෑස්ති නැහැ කියලා. එදා අපි කියපු විදිහට රටේ ආර්ථික අර්බුදය ඇති වුණා.

ඒ අවස්ථාවේ කිසිවෙක් භාර නොගත් රට භාරගත් අපි රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළා. ඒ වගේම ජනතාවට සහන ලබාදීමට කටයුතු කළා. අපි දැන් මේ ආර්ථිකය තහවුරු කරගෙන ඉදිරියට යා යුතුයි. ඒ වැඩ සැලැස්ම “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන මගින් මම රටට ඉදිරිපත් කර තිබනෙවා. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර වසර 05කින් රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට මම කටයුතු කරනවා.

එහිදී ජනතාවට තවදුරටත් සහන සැලසීමට අප කටයුතු කරනවා. නමුත් එය විපක්ෂය කියන විදිහට කරන්න බැහැ. එහෙම කළොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. නමුත් අපි දැන් ගෙන යන වැඩපිළිවෙළ ස්ථීර වැඩපිළිවෙළක් බව කිවයුතුයි.  

මේ රටේ 52%ක් වූ කාන්තාවන්ගේ අයිතිවාසිකම් අපි පිළිගෙන තිබෙනවා. අනෙක් පක්ෂ වගේ නෙවෙයි කාන්තාවන් වෙනුවෙන් අපි වෙනම මැතිවරණ ප්‍රකාශනයක් එළිදක්වා තිබෙනවා. එය මගේ වෙබ් අඩවියේ තිබෙනවා.

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත අපි සම්මත කළා. එමගින් මේ රටේ කානාත්වන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වෙනවා. අප දැන් එය ක්‍රියාත්මක කරනවා. කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන කථා කිරීමට මෙතෙක් නීතියක් තිබුණේ නැහැ. නමුත් අපි එය වසර දෙකක් තුළ  ගෙනාවා.

ඒ වගේම කාන්තා සහ ළමා හිංසනය වැළැක්වීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ යටතේසෑම පොලිස් සථානයකම කාන්තා හා ළමා හිංසනය මැඩපැවැත්වීමේ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ වගේම යුක්තිය මෙහෙයුම හරහා ඔබේ දරුවන් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කර දෙනවා. ගෘහස්ථ හිංසනය මැඩපැවැත්වීමට නීතියේ සහාය ලබා දෙන ක්‍රමයක් අපි ඇති කරනවා. එවන් වැඩසටහන් ගණනාවක් අප ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වගේම අප කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. සංචාරක කර්මාන්තය දියුණු කර මේ පළාත්වලට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ නංවා ගැනීම අපේ අරමුණයි. සිංහරාජය සංචාරක කලාපයක් බවට පත් කර මේ ප්‍රදේශය දියුණු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සංචාරක ව්‍යාපාරයෙන් ජීවත්වන ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ යනවා.

ඩිජිටල් සහ නිෂ්පාදන ආර්ථිකයක් අපි මේ රටේ ඇති කරනවා. ඒ වෙනුවෙන් රට පුරා ආයෝජන කලාප ඇති කරනවා. මේ සමඟ විදේශ ආයෝජන ගෙන ඒමට ද අප කටයුතු කරන බව මා ප්‍රකාශ කරනවා.

අපි මේ කටයුතු සිදු කරන විට මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මහතා සැපැතැම්බර් 04 වනදා කැළණියේ දී ප්‍රකාශ කර තිබෙනවා “අපේ මිලියන 3.8ක මාර්කට් එකෙන් අපට යන්න බැහැ. මේ මාර්කට් එකෙන් එළියට අපි යන්නේ නැහැ. ඒ නිසා අපි මේ කර්මාන්තකරුවා සහ ව්‍යවසායකයා එළියට ගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරනවා” කියලා.  

ඒ කියන්නෙත් අපනයන කර්මාන්තයේ රැදෙන්න කියලයි. අනුර දිසානායක මන්ත්‍රිතුමා අප යන මාර්ගයේ යන එක හුඟක් හොදයි. නමුත් එක ප්‍රශ්නයක් තිබෙනවා. ඔබේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා නිදහස් වෙළෙඳ ගිවිසුම් අහෝසි කරනවා කියලා. අපනයනය කරන්න නම් නිදහස් වෙළෙඳ ගිවිසුම් තිබිය යුතුයි. අනුර කියනවා අපනයන ආර්ථිකයකට යනවා කියලා. පක්ෂය ඒකට දම්වැලක් දමා තිබෙනවා.

මේ රටේ අපනයන ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් මම ආර්ථික ප්‍රවර්ධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒකට විරුද්ධව සුනිල් හදුන්නෙත්ති මහතා සහ ඒ අයගේ ආර්ථික උපදේශක හර්ෂන සුරියප්පෙරුම නඩුවක් දාලා කියනවා “ආනයන ආදේශක නොසලකා හැරීමට ලක් කරන අපනයන ආයෝජනා මත පදනම් වූ ආර්ථිකයක් සදහා වැඩි වශයෙන් අනුග්‍රහය දක්වන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ තුන්වන සහ හතරවන වගන්තිවලට පටහැනියි” කියලා.

අනුර කියනවා අපි අපනයන කර්මාන්තයට යනවා කියලා. හඳුන්නෙත්ති කියනවා බැහැ ආනයන කර්මාන්තයේ සිටිය යුතුයි කියලා.

ඒ වගේම විදේශ ආයෝජකයන්ව පැත්තකට දාන්න කියලා ඔවුන් කියනවා. මෙහෙම සළකන විට ඔවුන් එයිද, ඒ නිසා අනුර දිසානායක මහතා මේ පරස්පර විරෝධි කරුණු  අපට පැහැදිළි කළ යුතුයි.

අද ජනතා විමුක්ති පෙරමුණ එක පැත්තකට යනවා. ජාතික ජන බලවේගය තව පැත්තකට යනවා. මාලිමාවට කොයි පැත්තට කැරකෙන්නද යන්නේ කියලා හිතාගන්න බැහැ.

ජාතික ජන බලවේගය කියනවා වෙනසක් ගේනවා කියලා. ඔවුන් කරන වෙනස මොකක්ද කියලා මම අහනවා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු 232 කියවූ විට කිසිම වෙනසක් නැහැ. වෙනස කරන්නේ අපියි.

රටේ ආර්ථිකය වෙනස් කර අපනයන ආර්ථිකයකට අපි යනවා. අපි මේ රටේ ජනතාව ලක්ෂ 20කට “අයිතිය” ලබා දෙනවා. එයයි වෙනස. අපි නව අධ්‍යාපන වැඩසටහන් ගෙනාවා. පාර්ලිමේන්තුවේ කන්තා හා තරුණ නියෝජනය ගෙන ආවේ අපියි. පළාත් සභා සහ ප්‍රාදේශීය සභා සඳහාද එය ගෙනවිත් තිබෙනවා.

එපමණක් නොවෙයි ජන සභා ඇති කර කාන්තා හා තරුණ නියෝජනය වැඩි කර තිබෙනවා. පුද්ගලයන් ලක්ෂයක් එකතුව පෙත්සමක් අත්සන් කර එව්වොත් පාර්ලිමේන්තුවේ එම විෂය වාද කරන්න පුළුවන් තත්ත්වයක් අපි ඇති කර තිබෙනවා. මේවයි වෙනස්කම්. ඒ හැර වෙනස “හිස්” නම් වෙනස් කරනවා කිව්වට වැඩක් නැහැ.

දුෂණය වැළැක්වීමට අප දුෂණ විරෝධි න්‍යාය පත්‍රය ගෙනවිත් දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධි පනත අනුමත කර ගැනීමට කටයුතු කරනවා. මේ අය දූෂණය ගැන කථා කරනවා. නමුත් අපි කතා කරන්නේ නැහැ දුෂණයට වැට බදිනවා. ඒ වගේම අපි සමාජ සාධාරණත්ව කොමිසම ගෙනවිත් තිබෙනවා. මේ රටේ ඡන්ද ක්‍රම වෙනස් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා.

ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශයේ  පිටු 232ක් තිබුණාට අනාගතය ගැන කරුණු නැහැ. මම කැමතියි, අනුර කුමාර දිසානායක අපට මේ කරුණ පැහැදිළි කරලා දෙනවා නම්. නමුත් පුළුවන් ශ්‍රී ලංකා කියන්නේ දේශපාලන, ආර්ථික හා සමාජ වෙනස කරන වැඩපිළිවෙළයි. ඒ නිසා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරියේ කතිරය ගහන්න කියා මම ඉල්ලනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා

එක්සත් ජාතික පක්ෂයෙන් බණ්ඩාරනායක මැතිතුමා  ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කළා. එදා සිට අද දක්වා කාලය තුළ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකම වේදිකාවට පැමිණි පළමු අවස්ථාව  මෙයයි. අද  එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරය  සුවිශේෂී වන්නේ අන්න ඒ නිසයි.

2019 වසරේදී එක්සත් ජාතික පක්ෂය හැටියට ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා. නමුත් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොදුජන පෙරමුණට බලය ලබා දුන්නා. නමුත් 2020 වසරේ සිට ආර්ථිකය කඩා වැටෙන බව රනිල් වික්‍රමසිංහ මහතා දැනගෙන හිටියා. සමහර නායකයින් ඊළඟ පෝයට ආණ්ඩුව වැටෙයි කියලා බලාපොරොත්තු වෙලා ඉන්න වෙලාවක රනිල් වික්‍රමසිංහ මහතා  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන ලෙස එවකට ආණ්ඩුවට යෝජනා කළා. එහෙම යෝජනා කළේම ජනතාව වෙනුවෙන් තියෙන එතුමාගේ සංවේදී භාවය නිසයි.

ජනතාව පීඩාවෙන් සිටින වෙලාවකදි නායකයින්  රට බාරගන්න බෑ කියන වෙලාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට භාරගත්තේ ජනතාවගේ දුක දන්න නායකයෙක් නිසයි. මීට වසර දෙකකට පෙර රට තිබුණු තැන ඔබතුමාලා දන්නවා. ඒ ගැනත්, ඉදිරි අනාගතය ගැනත් හිතලා මෙවර  ජනාධිපතිවරණයේදී  ඡන්දය පාවිච්චි කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. දෙනියායට විශාල වැඩ කොටසක් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. දෙනියායේ සංවර්ධන කටයුතු නතර කළ තැනින් ඉදිරියට ගෙන යාමට මෙවර ජනාධිපතිවරයෙන් පසුව කටයුතු කරමු.

අමාත්ය කාංචන විජේසේකර මහතා,

මේ වේදිකාව රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් එකමුතු වූ වේදිකාවක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, නව සන්ධානය, සියලුම දේශපාලන පක්ෂ මෙම වේදිකාව නියෝජනය කරනවා. තැපැල් ඡන්දය සඳහා ඡන්ද පොළට ගිය රාජ්‍ය නිලධාරීන් බහුතරය මනාපය පළ කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාටයි. ඉදිරියේදීත් නිහඬ වී සිටි බුද්ධිමත් ජනතාව ඉදිරියට ඇවිත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට කටයුතු කරන බව අපට විශ්වාසයි.

සමහර කයියනායකවරු කිව්වා මොරවකට, අකුරැස්සට දෙනියායට ඇවිත්  පුළුවන් නම් රැස්වීමක් තියන්න කියලා. අද මොරවක ජනතාව පෙන්නල තියෙනවා රනිල් වික්‍රමසිංහ මහතාට කොපමණ පිරිස් බලයක් තියෙනවද කියලා.

මාතර දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන නියෝජිත පිරිසක 90%ක් ඉන්නේ මේ වේදිකාවෙයි. රට ආර්ථික අර්බුදයට මුහුණ පෑ වෙලාවේ පොදු ජන පෙරමුණේ නායකයින් විපක්ෂයට ගියා. ජනතාව පීඩාවට පත් වන වෙලාවේ ජනතාවගේ දුක ඔවුන් දැක්කේ නැහැ. සමහරු දේශපාලනයෙන්ම සමුගත්තා. ණය ප්‍රතිව්‍යුහගත  කරන්න බැහැ කියලා කිව්වා. ඩොලර් එක රුපියල් 700 යයි කියලා කිව්වා.

ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයේ කණ්ඩායම්වලට අගමැතිකම ජනාධිපතිකම භාරගන්න කියා කිව්වා.  රට තියෙන්නේ මරණීය තැනක කියලා එදා හර්ෂ ද සිල්වා කිව්වා. ඒ වෙලාවෙදි ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කියලා කිව්වේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.

අද සමහරු මැතිවරණ වේදිකාවේ සිහින විකුණනවා. නමුත් මේ රටේ අභියෝගය බාරගන්න ආරාධනා කළ විට පැනලා දිව්වා. ඒ  කණ්ඩායම් අද ජනතාවට සිහින ලෝකයක් පෙන්වමින් යනවා. ඒ නිසා තමයි මේ මැතිවරණයේදී අත්හදා බලන්න යන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ. නැවත අත්හදා බැලන්න ගියොත් රට යළි විනාශයට තල්ලු වීම වැළැක්විය නොහැකියි.

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගියදා එළිදැක්වුවා.  ඒක කණ්ඩායමක් මහනුවර දළදා මාලිගාව අබියස ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වා. හර්ෂල, කබීර්ල කොළඹ  දී ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදැක්වූවා. ජනාධිපතිවරණයට පෙර සමඟි සන්ධානයක් දෙකට කැඩිල ඉවරයි. ඒ නිසා පක්ෂය එකට තියාගන්න බැරි නායකයෙකුට රට භාර දෙන්න එපා

කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා,

අද මේ රැළියට මා පැමිණියේ මොරවක ජනතාවට සුභ ආරංචියක් අරගෙනයි. තේ , ගම්මිරිස් වගා කරන ගොවියාට පොහොර හොණ්ඩරයක් රුපියල් හාරදාහකට  ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ සඳහා ඡන්දය දිනනකන් ඉන්න අවශ්‍ය නැහැ. දැනටමත්  එම වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. කුඹුරු ආණ්ඩුවට පවරගන්නවා කියා මාතර ඉන්න  ඩලස් හා බුද්ධික අසත්‍ය ප්‍රකාශ කරමින් යනවා. ජනතාවගේ ඉඩම් සින්නක්කර ඔප්පු ලබාදීම ජනාධිපතිතුමා “උරුමය” නමින් මේ වන විටත් සිදු කරගෙන යනවා.  

මේ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඒ කොටි ත්‍රස්තවාදීන් සහ ජනතාව විමුක්ති පෙරමුණයි. මේ කණ්ඩායම් දෙක ලංකාවේ නොහිටියා නම් අපි අනෙක් රටවල් වලට ණය දෙන රටක් බවට පත්වීමට ඉඩ තිබුණා. රට බංකොලොත් කිරීමට ප්‍රධාන ලෙස මෙම කණ්ඩායම් දෙක මැදිහත් වුණා.  බංකොලොත් වූ රට ගොඩ නැගීම සඳහා කටයුතු කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතයි. එතුමා වසර දෙකක් ඇතුළත ගෙනගිය වැඩපිළිවෙල ඉදිරියටත් රටට අවශ්‍යයි. එම නිසා  රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවීමට අප සියලු දෙනා එක්වී සිටිනවා. ඒ වෙනුවෙන් අප කැප වී සිටිනවා.

රාජ්ය අමාත්ය වඩුවෙල්  සුරේෂ් මහතා,

වතු ජනතාව වෙනුවෙන් හැමදාම පෙනී සිටියේ රනිල් වික්‍රමසිංහ මහතායි. කඳුකර වතු ජනතාව මෙන්ම දකුණේ වතු ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා තීන්දු තීරණ රැසක් ගෙන තිබෙනවා.  

ඒ වගේම පසුගිය දිනවලා පැවති තැපැල් ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයාට රාජ්‍ය සේවකයින් වෙතින්  සුභ ආරංචියක් එවා තිබෙනවා. මේ රටේ සිටින පලපුරුදුම නායකයා අද රට බාරගෙන තිබෙනවා. එතුමාගේ කළමනාකරණ හැකියාව පසුගිය වසර දෙකක කාලය තුළ ජනතාව අත්වින්දා. එනිසා මෙවර ජනාධිපතිවරණයේදී එතුමාට අපේ යුතුකම ඉටුකරමු කියා මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

හිටපු අමාත්ය ජනාධිපති උපදේශක මනූෂ නානායක්කාර මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනයක් යටතේ වතු කම්කරු ප්‍රජාවට දෛනික වැටුප ලෙස රුපියල් 1700ක දීමනාවක්  ලබාදීම ස්ථිරයි. එම සුභ ආරංචිය ලබන අඟහරුවාදා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනවා . ජනාධිපතිවරයා රට භාර ගත්තේ මේ රට විශාලා මහනුවරක්ව පැවති වෙලාවකදීයි. අනාගතය අවිනිශ්චිත වූ තත්ත්වයකයි. ආහාර , ඖෂධ නැති තත්ත්වයකට පත්ව තිබූ රට බේරා ගැනීමට ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පමණයි. ජනතාව විඳින පීඩාවෙන් මුදා ගැනීමට කිසිදු නායකයෙක් ඉදිරිපත් නොවන පසුබිමක මානව හිතවාදී නායකයෙක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට ආවා.

විපක්ෂ කණ්ඩායම්  ඩොලර් ලබා ගැනීමේ  වුවමනාවට විදේශ රටවල  න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරමින් සිටියා. එනිසා රට දිගින් දිගටම අරාජිකත්වයට ගමන් කරමින් තිබුණා.

ජනාධිපතිවරයා රටේ ආර්ථිකය නගා සිටුවීමින් මේ රටේ රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව වැඩි කර, නියමිත වෙලාවට පොහොර සපයමින් ආහාර සුරක්ෂිතතාව ඇති කළා.

කොරෝනා කාලයේ  අපේ දරුවන්ගේ අධ්‍යාපනය විශාල ලෙස බිඳ වැටුණා. ඒ ගැනවත් හිතන්නෙ නැතුව සමහර වෘත්තිය සමිති, කණ්ඩායම් දරුවන් උගසට තියා උද්ඝෝෂණ ව්‍යාපාර පටන් ගත්තා. ඔවුන් පාරේ සිටින විට ජනාධිපතිවරයා ලබන වසරේ ජනවාරි සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප තවත් ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන අවස්ථාවේදී අනුර කුමාර දිසානායක කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕන නෑ කියලයි. නමුත් දැන් එතුමා කියන්නේ එයාලා බලයට ආවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට යනවා කියලයි. සමන්ත විද්‍යාරත්න කිව්වා උමා ඔ‍යේ හිලක් තියෙනවා කියලා. හඳුන්නෙත්ති හිල තියෙන තැන හරියටම කිව්වා. කයියන්නනායකලාගේ බොරු මේ වන විට  ජනතාව ඉදිරියේ අනාවරණය වෙමින් තිබෙනවා.

රට බංකොලොත් කාලයේ ජනාධිපතිවරයා ආර්ථිකය කළමනාකරණය කරන අතරේ අස්වැසුම හා උරුමය වැඩසටහන් දියත් කළා. දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දුන්නා. විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යොමු කිරීමට කටයුතු කළා. මේ සියල්ලම සිදු කළේ වැටී තිබූ ආර්ථිකය නිවැරදිව  කළමනාකරණය කරන අතරේ බවත් කිව යුතුයි. එම නිසා වැරදි තීන්දුවක් නොගෙන රට ඉදිරියට ගෙන යන තීන්දුව ගන්න කියා මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නව සන්ධානයේ දකුණු පළාත් නායක පසඳ යාපා අබේවර්ධන මහතා,

රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දයක් ලබා දෙන්නේ මාගේ ජීවිතයේ පළමු වතාවටයි. පොදු ජන පෙරමුණේ ලක්ෂ හැට නමයක ඡන්ද වලින් බහුතරයක් මෙවර රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන්නේත් පළවෙනි වතාවටයි. මීට වසර දෙකකට පෙර පොදු ජන පෙරමුණේ ජනතාවට පාරේ බැහැලා යන්න විදිහක් තිබුණේ නැහැ. පෝලිම් යුගය පැමිණි වෙලාවේ වැඩිපුර බැනුම් වැහුවේ හැට නම ලක්ෂයට අයත් මිනිස්සුයි. ඒ වෙලාවේදී කිසිම නායකයෙක් රට භාරගන්න ඉදිරියට ආවේ නෑ.  පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙක්ව සිටී රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන සිදුකළ ආර්ථික පරිවර්තනය නිසා පොදු ජන පෙරමුණේ අපට පාරේ බැහැලා යන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා මෙවර ඔබතුමාට පොදු ජනපෙරමුණේ බහුතරයකගේ ඡන්දය ලැබෙන බව මට විශ්වාසයි.

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන , හිටපු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව, යන මහත්වරු, ප්‍රාදේශීය දේශපාලන නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම රැළියට එක්ව සිටියහ.

Read more