රටට ආදරය කරන සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් මට සහාය දෙන්න : ජනපතිගෙන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඇරයුමක්

• සජිත් ළඟ එජාප ප්රතිපත්තිය නැහැ :ආර්ථිකය ගැන දන්නෙත් නැහැ.

• බදු අඩු කර සහන ලබා දෙන බවට සජිත් හා අනුර කියන කතා බොරු.

• තම මැතිවරණ ප්රකාශය  ප්රතිපත්ති ප්රකාශනයකට වඩා සැප්තැම්බර් 22 වනදා සිට ක්රියාත්මක කළ හැකි ප්රායෝගික වැඩපිළිවළෙක්.

• අස්වැසුම ගෙනාවේ සමෘද්ධිය නැති කිරීමට නොවේ : කාර්යක්ෂම කිරීමටයි.  සමෘද්ධි නිලධාරින්ගේ අනාගතය ආරක්ෂා කරනවා - ජනපති.

එක්සත් ජාතික පක්ෂයේ සිරිත සෑම අවස්ථාවකම රටේ ආර්ථිකය අර්බුදයකට පත් වු අවස්ථාවේ එය ගොඩගැනීමට එක්වීම බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා ජේ.ආර්. ජයවර්ධන මහතා සිදු කළා මෙන් තමාද පසුගිය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කටයුතු කළ බවත්, රටට ආදරය කරන සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට තමාට සහාය ලබාදිය යුතු බවත් පැවසීය.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආ විට ඔහුව බේරා ගත්තේ ද තමන් බව සිහිපත් කළ ජනාධිපතිවරයා මෙලස රැක ගත් එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස විසින් කඩා දැමු බවත්, ඔහුට කිසිදා එක්සත් ජාතික පක්ෂය දියුණු කළ නොහැකි බවත් සඳහන් කළේය.

ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (31) පෙරවරුවේ බණ්ඩාරවෙල පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලියට එක් වෙමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ රට බේරා ගැනීමට පක්ෂ බේදයෙන් තොරව සියලුදෙනා එක් වූ නිසා බවයි.

තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තවත් එක් ප්‍රතිපත්ති ප්‍රකාශයකට වඩා සැප්තැම්බර් 22 වනදා සිට ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවළෙක් බව පෙන්වා දුන් ජනාධිපතිවරය ජනතාවගේ ජීවන බර තවත් සැහැල්ලු කිරීම, රැකියා ලබාදීම, බදු බර අඩු කර දරාගත හැකි බදු ක්‍රමයක් ඇති කිරීම, ආර්ථික ප්‍රවර්ධනය කර අපනයන ආර්ථිකයක් ඇති කිරීම, උරුමය සහ අස්වැසුම වැඩසටහන් ආරක්ෂා කර සුදුසු සියලුදෙනාට එය ලබාදීම යන ප්‍රධාන අරමුණ 05 යටතේ එය ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

එසේම අස්වැසුම වැඩසටහන සමෘද්ධිය නැති කිරීමට ආරම්භ කළ වැඩසටහනක් නොව සමෘද්ධි වැඩසටහන කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහනක් බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු සමෘද්ධි නිලධාරින්ට ගැටළුවකින් තොරව එම කටයුතු කරගෙන යාමට හැකි බවත් ඔවුන්ගේ අනාගතය ආරක්ෂා කිරීමට තමා කැපවී සිටින බවත් අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

මම ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වුණේ මේ රට බේරගන්න පක්ෂ බේදයෙන් තොරව සියලු දෙනා එක් වූ නිසයි.

මම ජනාධිපති අපෙක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ පසු එදා අප සිදුකළ වැඩකොටස මෙන්ම  අද ලබා තිබෙන ආර්ථිකය ප්‍රගතිය පිළිබඳ පැහැදිළි කළා. 2022 පැවති තත්ත්වයට වඩා අද අප බඩු මිල අඩු කර  ජනතාවගේ ජීවන බර අඩු කර තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි  කර තිබෙනවා. අඩුආදායම්ලාභී ජනතාවට අස්වැසුම ලබා දුන්නා. තවත් ලක්ෂ 05කට අස්වැසුම ලබා දීමට තිබෙනවා. ඒ අනුව මෙතෙක් නොලැබුණු පිරිසටද එම ප්‍රතිලාභය හිමි වෙනවා.

විශේෂයෙන් අපේ ඉදිරි සැලසුම් කිහිපයක් පිළිබඳවත් මෙම මෙහිදී සඳහන් කළයුතුයි. මට අරමුණු 05ක් තිබෙනවා. ඒ ජීවන බර තවත් සැහැලු කිරීම, රැකියා ලබාදීම, බදු බර අඩු කර දරාගත හැකි බදු ක්‍රමයක් ඇති කිරීම, ආර්ථික ප්‍රවර්ධනය කර අපනයන ආර්ථිකයක් ඇති කිරීම, උරුමය සහ අස්වැසුම වැඩසටහන් ආරක්ෂා කර සුදුසු සියලුදෙනාට ඒවා ලබාදීමයි. අප ඒ කටයුතු සිදු කරනවා.

මගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රතිපත්ති ප්‍රකාශනයකට වඩා සැප්තැම්බර් 22 වනදා සිට ක්‍රියාත්මක කළ හැකි කඩිනම් හා ප්‍රයෝගික වැඩසටහනක් බව කිව යුතුයි. 2022 වසරට වඩා අද ජීවන බර අඩු වී තිබෙනවා. නමුත් මම එතනින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ජනතාවගේ ජීවන බර අඩු කළ යුතුයි. බඩු මිල අඩු කළ යුතුයි. අපේ පරමාර්ථය එයයි.

අනෙක් පක්ෂද බඩු මිල අඩු කරන බව කියනවා. නමුත් අප එය සිදු කරන්නේ රුපියල ශක්තිමත් කිරීම හරහායි. රුපියල ශක්තිමත්වීමත් සමඟ බඩු මිල අඩු කර ජනතාවට සහන ලබාදීමට හැකි වෙනවා.

අපි සමෘද්ධිය වෙනුවට අස්වැසුම ඇති කළා. එය සිදු කළේ සමෘද්ධි වැඩසටහන නැති කරන්න නොවෙයි. අපි එය රැකගෙන ආවේ සමෘද්ධි වැඩසටහන, අස්වැසුම හා සම්බන්ධ කරමින් කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාමටයි. ඒ නිසා සමෘද්ධි නිලධාරින්ට ගැටළුවකින් තොරව මෙම වැඩකටයුතු සමඟ ඉදිරියට යා හැකියි. අප ඔවුන්ගේ අනාගතය ආරක්ෂා කර දෙනවා.

අප මේ වන විට ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අනුව රටේ දළ දේශීය නිෂ්පාදනය වැඩි කරගෙන තිබෙනවා.

නමුත් සජිත් හා අනුර කියනවා බදු අඩු කරනවා කියලා. බදු අඩු කර ජනතාවට සහන ලබා දෙන්න බැහැ. සෑම වසරකම යම් කිසි ඉලක්කයක් අනුව ආදායම් ඉහළ නංවා ගැනීමට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක වී තබෙනවා. රටේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට නම් අප එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි.

ඒ නිසා අපි සහන ලබාදෙන්නේ මේ රටේ ජනතාවගේ නිෂ්පාදනය වැඩි කිරීම හරහායි. වතුකරයේ ජනතාව වෙසෙන ලයින් කාමර ගම්මාන බවට පත් කර ඉඩම් ලබාදීමේ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා.

එදා පොරොන්දු වූ අයුරින් අපි වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කර දුන්නා. ඒ වගේ ඉතිරි වැඩකොටසත් අප ඉටු කරනවා.

වෙන එක් අපේක්ෂකයෙක්වත් තරුණ තරුණියන්ට රැකියා ලබාදීම ගැන කථා කර නැහැ. නමුත් ආදායම් වැඩිවීමත් සමග රජය නව රුකියා අදායාම් මාර්ග ලක්ෂයක් ඉදිරියේ දී නිර්මාණය කර දීමට කටුයුතු කරනවා. ඒ වගේම තමන් කැමති වෘත්තීය පුහුණුවක් ලබාගැනීමට තවත් 50,000කට අපි මුදල් ලබාදෙනවා. එසේම ලබන වසරේ තවත් නව රැකියා අවස්ථා ගණනාවක් නිර්මාණය වන බව සඳහන් කළයුතුයි.

කෘෂිකර්මය නවිකරණය, රැකියා ඇති කිරීම හ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අප වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. බණ්ඩාරවෙල එළවළු එකතු කරන මධ්‍යස්ථානයක් නිසා කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ මේ පළාතට විශාල ශීතාගාරයක් ලබාදීමට අප කටයුතු කරන බව ප්‍රකාශ කිරීමට කැමතියි.

මම අද මෙතන කථා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ, පොදු ජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින සියලුදෙනා වෙනුවෙන්. නමුත් ඩී.එස්. සේනානායක මැතිතුමා ආරම්භ කළ ජේ.ආර්.ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස සහ ඩී.බී. විජේතුංග යන මහත්වරුන්ගෙන් පසු පක්ෂය භාරගත් නායකයා ලෙස මම එක්සත් ජාතික පාක්ෂිකයන්ට යමක් කියන්න කැමතියි.

මම බණ්ඩාරවෙල ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ මෙහි ක්‍රියාකාරිත්වය අමුතුවෙන් සිහිපත් කළ යුතු නැහැ. එදා මෙහි පැවති රැස්වීමකදී ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කිව්වා මට ආර්ථිකය භාරදෙන්න මම හදලා ගන්නම් කියලා. ඉන් පසුව ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ මම කාර්මාන්ත වැඩසටහන ගෙන ආ අවස්ථාවේ එතුමා ඇගළුම් කර්මාන්ත ශාලා 200 ආරම්භ කිරීම භාර ගත්තා.

අනිත් කර්මාන්ත ශාලා 300 ඇති කිරීවේ වගකීම මට භාර දුන්නා. නමුත් ්‍රඑතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාවේ මමයි එතුමාව ආරක්ෂා කළේ. මම හැමදාම එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර දුන්නා.

අප ආරක්ෂා කළ එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස කඩා දැමුවා. අපි එක්සත් ජාතික පාක්ෂිකයන් ලෙස යළිත් වැඩ කළ යුතුයි. ජේ.ආර්. ජයවර්ධන මහතා වගේ මමත් ආරථිකය භාරගෙන වසර දෙකකින් එය ගොඩගත්තා. එයයි එක්සත් ජාතික පක්ෂයේ සිරිත. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය විදියට අපි එක් වෙමු. ආපහු යන්න එපා. සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂය දියුණු කරන්න බැහැ.

ඔහු තුළ රට දියුණු කිරීමට ප්‍රතිපත්තියක් නැහැ. ඔහුට හරියට ආර්ථිකය ගැන කතා කරන්නවත් බැහැ. ඒ ගැන අහන්නේ හර්ෂ ද සිල්වාගෙන් හා කබීර් හෂීම්ගෙන්. ඒ දෙන්නට අත්පුඩි ගැසු විට නාලක ගොඩහේවාට එන්න කියනවා. මෙහෙම නායකයෙකුට රටක් භාර දෙන්න පුළුවන්ද, ඒ පක්ෂය සම්පූර්ණයෙන් වැටිලයි තියෙන්නේ. එහි  එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නැහැ.  තමන් රටට ආදරය කරන සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන් නම් මෙම සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට කතිරය ගසා මට සහාය ලබාදෙන ලෙස මම සියලුදෙනාට කියනවා.

අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා,

ඔබ අප සියලුදෙනා අපගේ ජීවිත කාලයේ තීරණාත්මක ජනාධිපතිවරණයට එළැඹෙන සැප්තැම්බර් 21 වෙනිදා මුහුණ දෙනවා. නිදහසෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට අප මුහුණ දුන්නා. අද වේදිකාවේ කයිවාරු ගහන ජනතා විමුක්ති පෙරමුණ හෝ සමගි ජන බලවේගය ඒ අවස්ථාවේ රට භාරගන්න ඉදිරිපත් වුණේ නැහැ.

එහෙම තත්ත්වයක තිබුණු රට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ජාත්‍යන්තර නායකයින් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකර අද රට හුස්ම ගත හැකි තත්ත්වයට ගෙනවිත් තිබෙනවා.

ඒ වගේම රටේ ආර්ථික පරිවර්තනය ඇතුළු ජාත්‍යන්තරය සමඟ ඇතිකරගත් එකඟතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කළ එකම රාජ්‍ය නායකයා වන්නේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. කවුරුන් බලයට පත් වූවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇතිකරගත් ගිවිසුම් සහ පනවා ඇති නීති අණපනත් එලෙසින්ම ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එනිසා නැවත අත්හදාබැලීම් කරන්න ගියොත්, කවුරුන් හෝ මේ ජාත්‍යන්තරය සමඟ ඇතිකරගත් එකඟතා හෝ ගිවිසුම් කඩ කළහොත් ඒ ආණ්ඩුව උපරිම සතියක් හෝ සති දෙකක් පවත්වාගෙන යන්න පුළුවන් වෙයි. ඉන් එහා ගමනක් නැහැ. ඒ නිසා හොඳින් සිතා බලා ඔබේ අනාගතය වෙනුවෙන් එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදා ගෑස් සිලින්ඩරයට කතිරය යොදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිනවන්න කියා අපි ඉල්ලා සිටිනවා.

අමාත්ය අලි සබ්රි මහතා,

මේ රටේ තීරණාත්මකම ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මක එකක්. ඕනම මැතිවරණයකින් කවුරුන් හෝ ජයග්‍රහණය කරනවා තමයි. නමුත් මෙවර අභියෝගය වන්නේ ජයග්‍රහණයෙන් පසු මේ රට පවත්වා ගෙන යා හැකි වන්නේ කාටද කියන කාරණයයි. අපට අසනීපයක් හැදුන අවස්ථාවකදී සුදුසුම වෛද්‍යවරයා සොයා ගැනීමට අපි කොතරම් සොයා බලනවද? මීට පෙර රෝගීන් සනීප කර තිබෙනවද කියා කී දෙනෙක් ගෙන් අහනවද? ඒ වගේම පාසලකට විදුහල්පතිවරයෙක් පත් කරන කොට  ඔහු පිළිබඳව කොතරම් සොයා බලනවද? එහෙම සොයා බලන්නේ වෛද්‍යවරයාට වැරදුනොත් ඒ ලෙඩාට වැරදෙන් නිසයි. විදුහල්පතිවරයාට වැරදුනොත් වරදිනනේ දරුවන්ටයි. එසේ නම් මේ රටේ ඉතාමත් තීරණාත්මක මේ ජනාධිපතිවරණයේදී අපි ‍අපේ නායකයා තොරා ගන්නා විට මොන තරම් දුරට ඔහු පිළිබඳව සොයා බැලිය යුතුද?

සජිත් ප්‍රේමදාස මහතා බාර ගෙන කටයුතු කළ අමාත්‍යාංශවලට සිදු වූ දේ සොයා බලන්න. ඔය දෙනවා කියන ඒවා දෙන්නේ කොහෙන්ද කියලාවත් ඔහු දන්නේ නැහැ. අනුර කුමාරත් වසර දෙකක් පමණ කාලයක් මෙරට කෘෂි කර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ඔහු කළ එක දෙයක් කියන්න පුළුවන් කමක් තියෙනවාද ? ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක් වරක් නෙවෙයි මේ රට වැටුණ තුන් වතාවක්ම මේ රටේ බර කරට ගත්තා. අපි ඒ අතීතයට යා යුතු නැහැ. පසුගිය වසර දෙක දෙස පමණක් හැරී බලමු. ඒ තරම් දුෂ්කර කාලයක් ඔබේ ජීවිතයේ මුහුණ දී නැති බව ඔබටම වැටහෙනවා. ඒ වෙලාවේ මේ රට බාර ගත් එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ඔබට අමතක නැහැ. වෛද්‍යවරයෙක් රෝගියෙකුට ට  ලබා දෙන බෙහෙත්වලින් ඒ රෝගියා සනීප වී ගෙන එනවා නම් කවුද  ඒ වෛද්‍යවරයා මාරු කරන්නේ?  වසර දෙකක් තිස්සේ ලංකාව කියන ලෙඩා සුවපත් වෙමින් සිටිනවා. නිට්ටාවට සුව කරන්න අවශ්‍ය නම් තවදුරටක් ඒ වෛද්‍යවරයාත් සමඟම සිටිනවාද?  එසේත් නැත්නම් වෙනත් අත්හදාබැලීමක් කරනවාද කියන ප්‍රශ්නය ඔබ ඉදිරියේ තිබෙනවා.  

හිටපු අමාත්ය හරීන් ප්රනාන්දු මහතා,

අද මෙතනට පැමිණ සිටින ඔබතුමාලා මීට අවුරුදු දෙකකට පෙර  හිටපු තත්ත්වය ගැන මතක් කරගන්න. එදා උදේ නැගිටලා ගෑස් හෙව්වේ. දර ලිප පත්තුකරන්න භූමිතෙල් ටිකක් හොයාගන්න උත්සාහ කළා. මේ රටේ මිනිස්සු මැරි මැරී ඉපදෙනකොට ජනතාව බේරගන්න ඉදිරිපත් වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. මේ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් ලෙස සිටින්නේ තුන්දෙනයි.

එයින් දෙදෙනක් රටේ ජනතාව දුක් විඳිමන් සිටින අවස්ථාවේ ඒ ජනතාවගේ දුක දැකලා ඒක විසඳීමේ අභියෝගය භාරගන්න බැරිව ඇඟ බේරගෙන පැනලා ගියා. නමුත් ජනතාව වෙනුවෙන් අභියෝගය භාරගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි.

දැන් මෙයාලා අලුත් කතාවක් කියනවා. ඒ තමයි ජනාධිපතිවරණයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළොත් හොරු ආරක්ෂා වෙනවා. මේක හොරු අල්ලන මැතිවරණයක් නෙවෙයි. මේ ජනාධිපතිවරණය පවත්වන්නේ හොරු අල්ලන්න නෙවෙයි. ඔබේ අනාගතය ආරක්ෂා කිරීමට පුළුවන් කාටද කියන එක තීරණය කිරීම සඳහායි. ඔබ අපි හොරු කියලා හිතනවා නම් පාර්ලිමේන්තු මැතිවරණයේදී අපිව පරාද කරන්න පුළුවන්. ඒ එක්කම මම අහනවා. අනුර දිසානායක ජනාධිපති වුණොත් එයාගෙ අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරු කවුද? අනුර දිසානායකගේ විදේශ කටයුතු ඇමති කවුද? මුදල් ඇමති කවුද? සාංචාරක ඇමති කවුද කියලා. ඒ නිසා මේක අත්හදා බැලීම් කරන වෙලාවක් නොවෙයි. මේ වැඩ පෙන්නපු නායකයාට ගරු කරන ඡන්දයක්. ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් දෙන උරුමය වැඩසටහන අවශ්‍ය නම්, වතුකරයේ වැඩකරන ජනතාවට රුපියල් 1700ක දෛනික වැටුප අවශ්‍ය නම්, වෙන කාටවත් ඡන්දය දෙන්න අවශ්‍ය නෑ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තමයි ඔබ ඡන්දය දෙන්න. මේ දකින මහා ජන ගඟත් සමඟ ලබන සැප්තැම්බර් 21 වැනිදා අනිවාර්යයෙන්ම මේ බදුල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව තහවුරු වෙනවා.

අමාත්ය නිමල් සිරිපාලද සිල්වා මහතා,

වතුකරයේ ජනතාව වගේම අනෙකුත් සියළු පක්ෂ නියෝජනය කරන සියළුම බලවේග අද මේ වේදිකාවේ සිටිනවා. මේ තමයි සමඟියේ සහ යුක්තියේ වේදිකාව. ඒ වගේම මේ කෘතවේදීත්වයේ වේදිකාවයි. මේ දිස්ත්‍රික්කයේ අප බත් කන අය මිස තණකොළ කන මිනිසුන් නොවෙයි. මේ දිස්ත්‍රික්කයේ ඉන්නේ කෘතවේදීත්වය හොඳින් හඳුන්වන ඒ වගේම කළගුණ සැළකීම දන්න මිනිස්සු බවත් කිව යුතුයි. ඒ වගේම මේ දිස්ත්‍රික්කයේ කිසිම ජාති, ආගම් බේදයක් නැහැ. මේ රට ගොඩ දමන අරමුණ කරා ගමන් කරන,  ට සහාය ලබා දෙන මිනිසුන් සිටින දිස්ත්‍රික්කයක් බව මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් නැවත වරක් තහවුරු කරනවා.

මම ජනාධිපතිවරු ගණනාවක් සමඟ වැඩ කළ කෙනෙක්. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමඟ තරම් පහසුවෙන් කිසිම ජනාධිපතිවරයෙක් සමඟ  වැඩ කර නැහැ. එතුමාගේ දූරදර්ශී නුවණ, අවබෝධය, අත්දැකීම්, ජාත්‍යන්තර සබඳතා ආදී සියල්ල සහ මේ වසර දෙක තුළ රට ආර්ථික අර්බූදයෙන් ගොඩ ගැනීමට කටයුතු කළ පරිණතභාවය හේතුවෙන් මීළඟ වසර පහ තුළ මේ රටේ ජනාධිපතිධූරය හෙබවිය යුත්තේද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිව තීරණය කළා. විශේෂයෙන් එතුමාගේ කෘෂි නවීකරණ වැඩසටහන යටතේ වැඩිම ප්‍රතිලාභ හිමි වන්නේ මේ ප්‍රදේශයටයි. ඒ වගේම එතුමා ඡන්දය ඉල්ලන්න අවශ්‍යය නැහැ. එතුමාගේ සේවය අවශ්‍යය අපටයි. මේ රටටයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා,

ශ්‍රී ලංකාව මුහුණ දුන් අර්බුදකාරී තත්ත්වයෙන් තවම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වී නැහැ. අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහාය දිය යුතු වන්නේ ඒ නිසයි. මේ වන විට රට ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයකට ගෙනවිත් තිබෙන නමුත් ප්‍රශ්නය විසඳා අවසන් නැහැ. අප ප්‍රශ්නය විසඳීමට ප්‍රවේශ වෙලා සිටිනවා පමණයි. ආර්ථික ගැටළුව විසඳා ගැනීමට නම් අප මේ මාර්ගයේ ගමන් කළ යුතු වෙනවා.

ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් මේ රටේ නායකත්වයට පත් කළ යුතු වෙනවා. නැවත මුල සිට ආරම්භ කරන්න කෙනෙක් රටට අවශ්‍ය නැහැ.

රාජ්ය අමාත්ය චාමර සම්පත් දසනායක මහතා,

බණ්ඩාරවෙල ආසනයට මමත් සුදර්ශන දෙනිපිටිය මන්ත්‍රීතුමත් අයිති වෙනවා. එනිසා මේ ආසනයේ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය පිළිබඳ කිසිඳු සැකයක් නැහැ. එදා 2022 වසරේ මේ රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියා. ආණ්ඩුව ඔබට අස්වැසුම දෙන තත්ත්වයක නොවෙයි. තිබුණේ  ඔබ ආණ්ඩුවට අස්වැසුම දෙන්න වෙන තත්ත්වයකයි. එදා තිබුණේ ආණ්ඩුව ඔබට සහල් දෙන තත්ත්වයක් නෙවෙයි, ඔබ ආණ්ඩුවට හාල් දෙන්න සිදුවන තත්ත්වයක් එදා තිබුණේ. නමුත් එහෙම තිබුණ රටක් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුවෙන් ඔබට සහන දෙන තත්ත්වයට පත් කර තිබෙනවා.

සහල් සහනාධාරය දෙන කටයුත්තේදී හරි අපූරු වැඩක් සිදුවුණා. රජයේ සහල් බෙදාදීමේ වැඩසටහන යටතේ හාලි ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපේ ජනතාවට සහල් මිටි 2000ක් බෙදා දුන්නා. ඒ සහල් මිටි 2000න් 1997ක් ගැන කිසිම පැමිණිල්ලක් ලැබී තිබුණේ නැහැ.  නමුත් සහල් මිටි 3කට ගුල්ලෝ ගහලා කියලා පැමිණිලි ඇවිත් තිබුණා. මම ඒ පිළිබඳ සොයා බැලුවා. බලනකොට බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න හාල් මිටි තුනකට ගුල්ලෝ දාලා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉස්සරහට මාධ්‍ය ගෙනල්ලා සන්දර්ශනයක් පවත්වලා. එදා ඒ උත්සාහ කළේ ජනතාවට හාල් ලබාදෙන වැඩසටහන නැවැත්වීමටයි. සහල් මිටි 1997කට ගුල්ලො ගහලා නෑ, ඒත් ජවිපෙට ලැබුණු හාල් ගෝනි 3ක විතරක් ගුල්ලෝ ඉන්නවා. මේ වගේ කඩාකප්පල්කාරී වැඩ තමයි  ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ.

සජිත් ප්‍රේමදාස වේදිකාවේ ජී. එල්. පීරිස් ළඟ තියාගෙන කියනවා අපේ ගාව තමයි සූරයන් ඉන්නේ කියලා. ජී. ඒල්. පීරිස් බොරැල්ලෙන් බැස්සුවොත් ගෙදර හොයා ගන්න බැරි මනුස්සයා.  සත 25 සහ රුපියල තොරගන්න බෑ. එදා අරගලයේ මිනිස්සු පොලු අරගෙන එනකොට සජිත් සුසන්තිකාටත් වඩා වැඩි වේගෙකින් දිව්වේ. එහෙම දුවපු  සජිත් වීරයෙක් වෙනවද. අනුර කුමාර මහත්තයාටත් මේ දවස්වල හීනයක් පෙනිලා, මට බෑ මට බෑ කියනවා. ඇයි කියලා ඇහුවම කියනවා, පසුගිය පාර මට භාර දෙන්න ගියා, මම මේක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කරේ තියලා බේරුනා කියලා. ඒක නිසා මට මේක බලෙන් දුන්නත් මම භාරගන්නෙ නෑ කිවවලු. ඒ නිසා එයාට මේ දවස්වල හීන පේනවා. ඒ නිසා අනුර කුමාර මේක දුන්නත් ගන්නෙ නෑ. ගත්තත් මේක අරගෙන කරන්නත් බෑ. ඔය ඉන්න එකෙක්වත් මේක අරගෙන කරන්නේ නෑ.

පාර්ලිමේන්තු මන්ත්රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා,

එදා අප පත් කරගත් ජනාධිපතිවරයාට කෙටි කාලෙකින් ගෙදර යන්න සිදුවුණා. පරිණත නායකයෙක් වූ ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා මේ රට භාර ගත්තා. අපට පාර්ලිමේන්තුවේදී අවවාද අනුශාසනා ලබා දුන්නා. එතුමාට පක්ෂයක් තිබුණේ නෑ. එතුමා රට අසරණ වූ වෙලාවේ නොබියව රටේ අනාගතය බාරගත්තා.

එතුමාගේ තිබෙන ජාත්‍යන්තර සබඳතා උපයෝගී කරගෙන ඉතා කෙටි කාලයකින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙනාවා. ජනතාවට  ඉන්ධන, ගෑස් ලැබෙන්න පටන් ගත්තා. ඒ වගේම විදෙස් රටවලට ශ්‍රමිකයන් යොමු කරන්න පියවර ගත්තා. අපේ පළාතට කෘෂි නවීකරණ ව්‍යාපෘති ගෙන ආවා. දැන් ඒවා ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

අද සංචාරක ව්‍යාපාරය ශක්තිමත් වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව හොඳම ගමනාන්තය බවට අද පත්ව තිබෙනවා.  එවැනි වැඩසටහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය  විජයග්‍රහණයක් කිරීමට අප පෙළ ගැසී සිටිනවා. එවැනි පරිණත නායකත්වයක් ඉදිරි වසර පහ තුළ කටයුතු කළහොත් රට තව තවත් සංවර්ධනය වෙනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන්, රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, අරවින්ද් කුමාර්, හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි ද සොයිසා, බණ්ඩාරවෙල එජාප සංවිධායක රවී ගුණවර්ධන, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ යන මහත්වරුන්, ප්‍රාදේශීය දේශපාලන නායකයන්, ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධාකවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more