මැතිවරණ ඉල්ලමින් අධිකරණයට ගිය පිරිසගේ පරමාර්ථය ජනතාව පීඩාවෙන් මුදා ගැනීම නොව තම බලය තහවුරු කර ගැනීමයි

• සැබෑ ලෙසම ජනතාව ගැන සිතුවා නම් එදා රටේ වගකීම භාරගත යුතුව තිබුණා.

• ජිවත්වීමේ අයිතිය සුරැකීම මුලික අයිතිවාසිකම් කඩකිරීමක් නම් ඊට මුහුණ දීමට සුදානම්.

• 2022 ජුලි මාසයේ දී මා මේ රටේ වගකීම භාරගත්තේ ජනතාව වෙනුවෙන් : අද ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද ජනතාව වෙනුවෙන්.

• නිසි දැක්මක් නොමැතිව බලය ලබා ගැනීමට පමණක් උත්සාහ කරන පිරිසට රට භාරදුනහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා.

• අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කරගෙන ඉදිරියට යමු - ජනපති දඹුල්ලේදී පවසයි.

කිසිවෙකු භාර ගැනීමට අකමැති වු රට භාර ගත් තමා ජනතාවගේ ජිවත් වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් කැප වෙද්දි, මැතිවරණ ඉල්ලමින් අධිකරණයට ගිය පිරිසගේ පරමාර්ථය ජනතාව පීඩාවෙන් මුදා ගැනීම නොව තම බලය තහවුරු කර ගැනීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තමා එදා මැතිවරණ පැවැත්වීමට මුදල් වැය කළානම් අද රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට නොහැකි වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරැකීම මුලික අයිතිවාසිකම් කඩකිරීමක් ලෙස සලකනවා නම් තමන් ඊට මුහුණදිමට සුදානම් බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (24) පස්වරුවේ දඹුල්ල බස්නැවතුම්පොළ භූමියේදි  පැවති “පුළුවන් ශ්‍රී ලංකා” දඹුල්ල විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

දඹුල්ල ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් මෙම ජන රැලියට එක්ව සිටි අතර එහිදි ඔවුහු ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගත්හ.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ 2022 ජුලි මාසයේ දී තමා මේ රටේ වගකීම භාරගත්තේ ජනතාව වෙනුවෙන් බවත්, රටේ එදා පැවති ගැටළුකාරී තත්ත්වය අවසන් කර ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කළ තමා අද ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුයේ ද  ජනතාව වෙනුවෙන් බවත්ය.

දැක්මක් සහ වැඩපිළිවෙළක් නොමැති බලය ලබා ගැනීමට පමණක් උත්සාහ කරන පිරිසකට මේ අවස්ථාවේ රට භාරදුනහොත් රටේ විනාශය වළක්වා ගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, පසුගිය දෙවසර තුළ අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව සිය ඡන්දය භාවිතා කළයුතු බව ද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

මම අද ඔබ ඉදිරියට පැමිණ සිටින්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි. එක් පක්ෂයකටවත් අයත් නැතිව රට වෙනුවෙන් මම ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටිනවා. මම මේ තනතුර භාරගත්තේ ජනතාව වෙනුවෙන්. එදා තිබුණ අර්බුද අවසන් කර රටේ ස්ථාවරත්වය ඇති කිරීමට මම කටයුතු කළා. මට අවශ්‍ය වුණේ එදා තිබු ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීමටයි.

එදා එම ප්‍රචණ්ඩක්‍රියා නැවැත්වුවේ නැත්නම් පාර්ලිමේන්තුවත් අහිමිව අපටද අද බංග්ලාදේශයට මුහුණදීමට සිදුවු තත්ත්වයට මුහුණදීමට සිදු වෙනවා. එදා අවනීතිය රජ කළා. එක් කණ්ඩායමක් තමන්ගේ සතුරන්ට පහරදීමට පටන් ගත් අතර තවත් පාර්ශ්වයක් රට පාලනය කිරීමට උත්සාහ කළා.

නමුත් මම එක් කණ්ඩායමක ජනාධිපතිවරයා නොවී රට වෙනුවෙන් ඉදිරියට පැමිණියා. එදා අරගලයට සහාය ලබාදුන් තරුණ තරුණියන් රටේ වෙනසක් ඉල්ලා සිටියා. මම ඔවුන්ට ඇහුම්කම් දුන්නා. අද මම රට තුළ එම වෙනස ආරම්භ කර තිබෙනවා. එය ඉදිරියට ගෙන යාමට මට සහාය ලබාදෙන ලෙස මා ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

විපක්ෂ නායකයා කියන්නේ රටේ විකල්ප අගමැතිවරයායි. ජනතාව ආරක්ෂා කිරීමට විපක්ෂනායකයාටත් යුතුකමක් තිබුණා. නමුත් ඔහු එය ඉටු කළේ නැහැ. ඔහු පැනලා ගියා.අපි අසීරු කාලයකට මුහුණ දුන්නා. එහිදී අපට දුෂ්කර තිරණ ගැනීමට සිදුවණා. මුදල් මුද්‍රණය කිරීමට නතර කිරීමට සිදු වුණා. රජයේ වියදම් අඩු කිරීමට සිදු වුණා. ආදායම් උපයා ගැනීම වෙනුවෙන් අකමැත්තෙන් වුවද වැට් බදු වැඩි කිරීමට සිදු වුණා. මෙම ඇතැම් තිරණ ඔබටත් බරක් වුණා. අප සමහර තීන්දු ගත්තේ කැමැත්තෙන් නොවේ. එහිදී මෙම බර දරාගත් සියලු ජනතාවට මම ස්තුතිවන්ත විය යුතුයි. කෙසේ වුවත් අප එම පියවර නොගත්තානම් අද අපට රටක් නැහැ.

අද අපේ රටේ ආර්ථිකය දියුණු වී තිබෙනවා. ඒ සමඟම ජනතාවට සහන ලබාදීමට කටයුතු කළා. එදා සමෘද්ධිය වෙනුවෙන් වැය කළේ රුපියල් බිලියන 60යි. අද අප අස්වැසුම වැඩසටහන වෙනුවනේ රුපියල් බිලියන 183ක් වැය කරනවා. එදා ලක්ෂ 16කට ලැබුණු එම ප්‍රතිලාභය අපි ලක්ෂ 24ක් වෙනුවෙන් ලබාදී තිබෙනවා.

එසේම වකුගඩු රෝගින්ට, වැඩිහිටියන්ට, ආබාධිත පුද්ගලයන්ට ලබාදෙන දීමනා ඉහළ දමා තිබෙනවා. රජයේ සේවකයන්ට රුපියල් 10,000ක දීමනාවක් ලබාදුන් අතර 2025 පාදක වසර කර ගනිමින් ජීවන වියදම ලෙස රුපියල් 25,000ක් ලබාදීමට තීරණය කර තිබෙනවා. එසේම ආරම්භක වැටුප ජීවන වියදම සමඟ රුපියල් 55,000ක් බව අප නියම කර තිබෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුප් සඳහා රුපියල් 3,000ක අන්තර්කාලීන දීමනාවක් ලබාදුන්නා. මේ අප සිදුකළ ප්‍රධාන වැඩකටයුතු කිහිපයක් පමණයි. බංකොළොත් නොවු ආණ්ඩුවකට කිරීමට නොහැකි වු වැඩකොටසක් බංකොලොත් බව ප්‍රකාශ  කරතිබු  රටක්ව තිබියදී අප විසින් සිදු කළා.

අද වන විට අපේ රටට සංචාරකයන් පැමිණෙනවා. රට පුරා ආයෝජන කලාප ඇති කරනවා. ඒ වගේම අප කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම ප්‍රදේශවල හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් 08ක් ලබාගත හැකි පරිදි දියුණු කිරීමට අප සහාය ලබා දෙනවා.මේ අතර ජනතාවගේ ජීවන බර අඩු කිරීමට ද අප පසුගි දෙවසර තුළ කටයුතු කළා.

දැක්මක් නැති අයට අපි රට භාරදෙන්න හොඳ නැහැ. දුන්නොත් මේ රට විනාශ වෙනවා. ඒ නිසා අප ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමු. තවත් වසර කිහිපයක් යන විට මේ ප්‍රශ්න සම්පුර්ණයෙන් විසඳා ගනිමින් අපට ඉදිරියට යාමට හැකියාව ලැබෙනවා.

ජනතාව වෙනුවෙන් අප ගෙන ගිය වැඩපිළිවෙළේදී විපක්ෂයේ කිසිවෙක් අපට සහාය ලබා දුන්නේ නැහැ. 2023 ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වන ලෙස රංජිත් මද්දුමබණ්ඩාරයි, හරිනි අමරසුරියයි අධිකරණයට ගොස් නඩු දැම්මා. නමුත් මේ රටේ ජනතාවට අවශ්‍ය වුයේ ජිවත්වීමට නිසා ජනතාවගේ ජිවන අයිතිය වෙනුවෙන් මට එම මුදල් වැය කිරීමට සිදු වුණා. නමුත් ඔවුන්ට අවශ්‍ය වුණේ රට අවුල් කිරීමටයි. මාස තුන හතරක් මැතිවරණ කරන විට ජනතාවට මෙම සහන ලබාදීමට නොහැකි වෙනවා.

මම මූලික අයිතිවාසිකම් උල්ළංඝණය කළා කියලා ඔවුන් අධිකරණ තීන්දුවක් ගත්තලු. නමුත් ජනතාවගේ මුලික අයිතිවාසික්ම සුරැකීම නිසා මා වෙනුවෙන් තීරණයක් ගත්තානම්  ඊට මුහුණදීමට සුදානම් කියා මම ප්‍රකාශ කරනවා.

රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,

ඓතිහාසික රංගිරි දඹුල්ල  පුරවරයට පැමිණි ජන ගඟ දෙස බැලූ විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් වන බව ස්ථිරයි. දඹුල්ල කියන්නේම ඉතිහාසය පුරා ‘බෑ කියපු දේවල් පුළුවන් කියා’ කරලා පෙන්නපු ජනතාවක් ඉන්න ප්‍රදේශයක්. එළාර රජු එලවන්න දුටුගැමුණු රජතුමා  සේනා සංවිධානය කරන විට  දඹුල්ලෙන් ලබාදුන් දායකත්වය ඉතිහාසයේ සඳහන් වෙනවා. උඩරට විතරයි එළවළු වන්න පුළුවන් කියලා කියපු යුගය අවසන් කර, දඹුල්ල එළවළු වගා කරලා රටේම එළවළු ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට දඹුල්ල ජනතාව කළ මෙහෙය ගැන ඉතිහාසය සාක්ෂි දරනවා. දඹුල්ලේ කවදත් හිටියේ “පුළුවන්” කියලා හිතන ජනතාවක්.

මේ වේදිකාව දෙස බැලූ විට එකට එකතු වෙන්න පුළුවන් කියලා කවදාවත් හිතපු නැති නායකයින් අද මෙහි ඉන්නවා. දෙපැත්ත බෙදී දේශපාලනය කළ දේශපාලන නායකයින් අද “පුළුවන්”  කියලා එක පැත්තක ඉඳගෙන රටක් ගොඩනඟන්න කටයුතු කරමින් ඉන්නවා.  ආර්ථිකය බිඳ වැටුණු වෙලාවේ  සියලු දෙනා එකතු වී අපට පුළුවන් බව රටට පෙන්වා දුන්නා.

ජනතාව දවස් ගණන් පෝලිම්වල හිටපු කාලයක් තිබුණා. පොහොර ගන්න ගෑස් සිලින්ඩරයක් ගන්න ඉන්ධන ටිකක් ලබාගන්න ජනතාව දින ගණන් පෝලිම් වල හිටියා. එදා රට බාරගන්න කිසිම නායකයෙක් හිටියේ නැහැ. පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඔවුන් පීඩාවෙන් මුදවා ගන්න පුළුවන් කිව්වේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  විතරයි.

ඇතැම් කණ්ඩායම් මේ අර්බුදය මැද්දේ උද්ඝෝෂණ කළා . විදේශ ශ්‍රමිකයන්ට මෙරටට මුදල්  එවන්න එපා කිව්වා. නමුත් ඔවුන්ගේ පවුල් සුරක්ෂිතව ගත කළා. මේ රටේ ප්‍රශ්නවලින් තෙරපී සිටින ජනතාව එම ප්‍රශ්නවලින් මුදවා ගැනීමට පුළුවන් කියන බලාපොරොත්තුවක් එක්කඅපි පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ  අභියෝගය භාර ගත්තා. රනිල් වික්‍රමසිංහ මහතා එදා එම තීන්දුව ගත්තේ නැත්නම් අද මේ රට ලිබියාවක්, සිම්බාබ්වේ රාජ්‍යයක්, බංගලිදේශයක් බවට පත් වෙනවා.

සමහර දේශපාලන කණ්ඩායම් විශ්‍රාමික හමුදා නිලධාරීනට ටීෂර්ට් අන්දලා වේදිකා ගානේ තමන්ගේ දේශපාලන මෙහෙවර වෙනුවෙන් කඩේ යවමින් සිටිනවා. ඔවුන් ඒ ආකාරයට හමුදාවේ ගෞරවය දේශපාලන වේදිකාව උඩ වෙන්දේසි කරමින් සිටිනවා. අරගලය වෙලාවේ ආරක්ෂක අංශවලට සමහර අරගල නායකයින් කියාගත් පුද්ගලයින් කිව්වේ" උඹලට වඩා  ප්‍රභාකරන්" හොඳයි කියලා, “ අට පාස් ආමිකාරයෙන්” කියලයි. නමුත් දැන් දේශපාලන වේදිකාවල රණවිරුවෝ කියාගන්නා පිරිස් ටී ෂර්ට් ඇඳගෙන තමන්ගේ ගරුත්වය ද නැති කරගනිමින් ඉන්නවා.  ඒ හමුවේ සියලුදෙනාගේ ගරුත්වය රැකි එකම නායකයා  රනිල් වික්‍රමසිංහ මහතා බව කිව යුතුයි. එතුමා සැප්තැම්බර් 21 වැනිදා නව වන විධායක ජනාධිපති බවට පත් කරමු කියා මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

රාජ්ය අමාත්ය රෝහණ දිසානායක මහතා,

අපි මීට පෙර සෑම අවස්ථාවකම සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධ වේදිකාවෙයි. නමුත් එදා පාර්ලිමේන්තුවෙදී අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කරන අවස්ථාවේ ඡන්ද 134 ක් ලබාදී ඔබතුමාව ජනාධිපති ධූරයට පත් කිරීමට එදා අප ගත් තීරණය නිවැරදි බව අද වන විට ඔප්පු කර තිබෙනවා. අපි අපේ ජනතාව වෙත ගොස් ඔබතුමාට ඡන්දය දෙන්න කියන්නටත් පෙර ඈත දුෂ්කර ගම්මාන සියල්ලකම ජනතාව ඔබතුමා වෙනුවෙන් ඡන්දය ලබා දීමට තීරණය කර අවසන්.

මේ රටේ පාසල් 10126ක් තිබෙනවා. එම පාසල් වලට සජිත් ප්‍රේමදාස දිනකට එක බැගින් සුහුරු පුවරු දුන්නොත් සජිත් ප්‍රේමදාසට එම කටයුත්ත අවසන් කරන්න අවුරුදු 27ක් ගතවෙනවා. ඒක සිදු වෙන දෙයක් නොවෙයි. වත්මන් අතිගරු ජනාධිපතිතුමා හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු වගේම තරුණ කටයුතු අමාත්‍යවරයෙකු ලෙස බෙල්වුඩ් ගම්මානය ආරම්භ කළා. තරුණ සේවා සභාව ආරම්භ කළා. මේ රටේ අධ්‍යාපනය ගැන මෙන්ම තරුණ පරපුර වෙනුවෙන්ද නිරන්තරයෙන් කතා කළේ රනිල් වික්‍රමසිංහ මහතායි. වැඩක් ඇති දෙයක් සිදු කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.

ඒ නිසා මේ මැතිවරණය සැප්තැම්බර් 21 නෙවෙයි හෙට උදේ තිබ්බත් ජයග්‍රහණය ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හිමිවන බව කිය යුතුයි. ජනාධිපතිතුමනි,  මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව ඒ වෙනුවෙන් අපත් සමඟ කැපවී සිටින බව ඔබතුමා වෙත මම සහතික වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සැප්තැම්බර් 21 වැනිදා ගෑස් සිලින්ඩරය ඉදිරියේ ඔබේ වටිනා ඡන්දය සලකුණු කරන ලෙස මා සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා,

මීට වසර දෙකකට පෙර වැටී තිබූ මේ රට නඟා සිටවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්  අද මේ රටම කිසිදු බේදයකින් තොරව අත්වැල් බැඳ ගෙන සිටිනවා. මේ දිනවල රට පුරා පැවැත්වෙන ජනහමුවලට සහභාගී වන දහස් සංඛ්‍යාත ජනතාවගෙන් ඒ බව තහවුරු වෙනවා.

වැටුණු රට ගොඩ ගැනීමේ ඒ දැවැන්ත අභියෝගය බාර ගනිමින් එදා පාර්ලිමේන්තුව හරහා  රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කළ අවස්ථාවේ  ඇතැමුන් එතුමාට ජනවරමක් නැහැ කිව්වා. එදා අපි ව්‍යවස්ථානුකූලව රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපති ලෙස පත් කර නොගත්තා නම් අද බංග්ලාදේශයේ තිබෙන තත්ත්වය මේ රටට අත් වන්නේ මීට වසර දෙකකට පෙරයි.

ජනාධිපතිතුමනි, විරුද්ධ පක්ෂයක සිටියත් අප ඔබතුමාට ගරු කරන එක් කරුණක් තිබෙනවා. ඒ තමයි ඔබතුමා හැමදාමත් කටයුතු කළේ එදා අරගලය විසින් ඉල්ලා සිටි  ‘සිස්ටම් චේන්ජ්’ එක සිදු කිරීමටයි . ඒ නිසාම මේ වසර දෙක ඇතුළත දැඩි අභියෝග හමුවේ මේ රට ගොඩ ගත් අයුරින්ම ඉදිරි වසර පහත් ඔබතුමා මේ රට  ගොඩ නඟනු ඇතැයි කියන විශ්වාසය හා බලාපොරොත්තුව මේ රටේ ජනතාව ඔබ වෙත තබා තිබෙන බව මා කියන්න කැමතියි.  

හිටපු අමාත්ය  හරීන් ප්රනාන්දු  මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට ප්‍රචාරක රැස්වීම් පහයි පවත්වා තිබෙන්නේ. දැනටම තිබෙන සමීක්ෂණවලින් ජයග්‍රහණය කර තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. තව මැතිවරණ රැලි අනූවක් පැවැත්විමට තිබෙනවා.එම රැලි මාලාව අවසන් වන විට නියත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

සජිත් ප්‍රේමදාස තවම හිතාගෙන ඉන්නේ  එයාගේ නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියලයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකරන බව අද  කියනකොට  සජිත් ප්‍රේමදාස මහත්තයා හෙට කියනවා එයාත් රාජ්‍ය  සේවකයන්ට වැටුප් වැඩි කරනවා කියලා. ජනාධිපතිතුමා කියන දේම එයාත් කියමින් යනවා.

ප්‍රසිද්ධ  නාලිකාවට බයේ මගෙන් පුරප්පාඩු වූ ජාතික ලයිස්තු මන්ත්‍රීකම හිරුණිකාට දෙන්න බැරි නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ.

අභියෝගය බාරගත්තේ නැතුව හැංගි හැංගි ඉඳලා ආර්ථිකය හැදුවට පස්සේ ඇවිත් රට ඉල්ලන නායකයන් ගැන විශ්වාස කරන්න එපා.

සජිත් ප්‍රේමදාස කියනවා අයි.එම්.එෆ් එකට ඕන විදියට වැඩ කරන්නේ නැහැ කියලා. මේක අත්හදා බලන වෙලාවක් නෙවෙයි. මේ වැටුණු රට ගොඩ ගත් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන  අවස්ථාවක් පමණයි. මාලිමාවේවත්, සමගි ජන සන්ධානය වත් අස්වැසුම හෝ උරුමය යන වැඩසටහන්  ගැන මේ වෙනතුරු කතා කරලා නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන එම වැඩපිළිවෙළවල් දෙක ඉදිරියට ක්‍රියාත්මක කරනවාද නැද්ද කියා ඔවුන් කිසිම වේදිකාවක මේ වන විට කියන්නේ නැහැ.

මේ රටේ ජනතාවගේ දුක හඳුනන එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ආර්ථිකය ගොඩ නඟා මේ පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න කටයුතු කළා. සීගිරියට අද කොපමණ  සංචාරකයින් එනවද?

මේ රටේ අර්බුදය පටන් ගත්තේ ගෑස් සිලින්ඩරයෙන්. ඒ නිසා ගෙදර ගෑස් ලිප භාවිතා කරන සෑම මොහොතකම රටේ තිබුණු අර්බුද මතක් කරගෙන එම අර්බුදයෙන්  රට බේරා ගත්ත නායකයා, රනිල්  බව සිහි කරමින් ගෑස් සිලින්ඩරයට ඔබේ මනාපය ලබා දෙන්න.

මාතලේ  මහනගර සභාවේ හිටපු නගරාධිපති සන්දනම් ප්රකාශ් මහතා,

මේ රටේ ගෑස්, ඖෂධ, ඉන්ධන නැතිවූ අවස්ථාවේ අපි විඳපු දුක තේරුම් අරගෙන අපේ රට භාරගෙන අද වර්තමානයේ අපේ රට පවතින තත්ත්වයට ගෙන ආ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කළගුණ සැලකීම වෙනුවෙනුත්, මේ අත් කර ගත් ප්‍රගතිය ඉදිරියට ගෙන යාම වෙනුවෙනුත් මේ මැතිවරණයේදී අපේ සම්පූර්ණ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට අප තීරණය කළා.

එතුමා තමන් සතු ජාත්‍යන්තර සබඳතා භාවිතා කරමින් මේ රට අද පවතින ස්ථාවර තත්ත්වයට ගෙන ඒමට විශාල වැඩකොටසක් සිදු කළා. ඒ නිසා ඉදිරි වසර 5 වෙනුවෙන් මේ රට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දිය යුතුයි. ඒ වගේම එදා කඳුකරයේ ජනතාව 90%ක් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය භාවිතා කළා. නමුත් ඒ සියලුදෙනාම අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව කිව යුතුයි.

එක්සත් ජාතික පක්ෂයේ දඹුල්ල ආසනයේ ප්රධාන සංවිධායක ප්රියාන් විජේරත්න මහතා,

දේශපාලන දැනුම, පරිණතභාවය , අත්දැකීම් හා දක්ෂතාව තුළ මේ රට හතර වතාවක් ආර්ථික වශයෙන් නඟා සිට වූ නායකයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අප අද මෙසේ රැස්ව සිටිනවා.

මීට වසර 03කට පෙර අප අතරින් වෙන් වූ කෘතහස්ත දේශපාලනඥයකු වූ මංගල සමරවීර මහතා මේ අවස්ථාවේ මට සිහිපත් වනවා. එතුමා ප්‍රජාතන්ත්‍රවාදය, සංහඳියාව සහ සංවර්ධනය යන කරුණු ඔස්සේ උඩුගම් බලා පිහිනන්න සූදානම් වුණා.

ඔහු එක් අවස්ථාවක ප්‍රකාශ කළා මේ රට කවදා හරි තවත් යුරෝපයක් කරනවා නම් එය කළ හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව.  

නොබෝ දිනකින් මේ රටේ මිනිසුන්ට ඒ පිළිබඳව දැනෙනු ඇති බවද ඔහු එදා  පැවසුවා. ඇත්තටම මිනිසුන්ට එය දැනුන වෙලාවේ තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත මේ රටේ පාලකයා ලෙස පත් කර ගැනීමට සිදු වුණේ.

රටක් සංවර්ධනය කිරීමට නම් ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව අත්‍යවශ්‍යය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් අපට පෙන්වා දී තිබෙනවා. මේ ආරම්භ කළා පමණයි. මේ රියදුරා වෙනස් කළොත් නැවත පාර වැරදෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෑත් මත මේ රටේ ඉදිරි දශකය ආරක්ෂිත  බව විශ්වාසයි.

ප්‍රදේශයේ මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පුජකවරුන් ද, හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් සහ ක්‍රියාකාරිහු රැසක් ද මීට එක්ව සිටියහ.

Read more