ඉදිරි වසර 05 තුළ මෙරට ආර්ථික ගැටළුව විසඳනවා

• තවත් වසර 20කින් මීට වඩා හොඳ රටක ජීවත්විය හැකි බවට වූ විශ්වාසය  තරුණ පරපුරට ලබාදිය යුතුයි.

• සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දිය යුත්තේ එම රට නිර්මාණය කිරීම වෙනුවෙනුයි.

• ආර්ථිකය නැවත බිඳ දැමුවහොත් රටේ අනාගතය පිළිබඳ විශ්වාසයක් තබන්න බැහැ - ජනපති අම්පාරේදී කියයි.

ඉදිරි වසර 05 තුළ මෙරට ආර්ථික ගැටළුව විසඳීමට කටයුතු කරන බවත්, තවත් වසර 20කින් මීට වඩා හොඳ රටක ජීවත්විය හැකි බවට වූ විශ්වාසය මෙරට තරුණ පරපුරට ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දිය යුත්තේ එම රට නිර්මාණය කිරීම වෙනුවෙන් බව අවධාරණය කළ ජනාධිපතිවරයා සජිත්ට සහ අනුරට රට ගොඩනඟන සැලසුම් නැති බවත් ඔවුන්ට රට භාර දුනහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙන බවත් ප්‍රකාශ කළේය.

එසේ රටේ ආර්ථිකය නැවත බිඳ දැමුවහොත් මෙරට අනාගතය පිළිබඳ විශ්වාසයක් තැබීමට කිසිවෙකුට නොහැකි වන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අම්පාර, තිරුක්කෝවිල් ප්‍රදේශයේ අද (11) පස්වරුවේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙරට කඩා වැටුණු ආර්ථිකය යළි ඔසවා තැබූ තමා සියලුදෙනාට ජීවත්විය හැකි රටක් පසුගිය වසර දෙක තුළ නිර්මාණය කර දුන් බවයි. තම දරුවන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් රට ගොඩනඟන එම වැඩපිළිවෙළ ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යා යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.  

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

2004 වසරේ ඇති වූ සුනාමියෙන් පසු මම මේ තිරුක්කෝවිල් ප්‍රදේශයට පැමිණියා. අප කෝවිල ප්‍රදේශයට පැමිණ එම කටයුතු සොයා බලා ආධාර ලබා දුන්නා.  එදාට වඩා දැන් තිරුක්කෝවිල් ප්‍රදේශය දියුණු වී තිබෙනවා.  මේ ප්‍රදේශය තවත් දියුණු කරන ලෙස අද ඔබගේ මහජන නියෝජිතයන් ඉල්ලා සිටියා. රටේ ආර්ථික දියුණුව ඇති කරන විට මේ තිරුකෝවිල් ප්‍රදේශයත් දියුණු කරන බව මා ඔබට ප්‍රකාශ කරනවා.

මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ රටේ ආර්ථිකය බිඳ වැටී තිබු අවස්ථාවකයි. 2022 වසරේ ජනතාවට ආහාර, ඉන්ධන, පොහොර, ගෑස් තිබුණේ නැහැ. පැය ගණන් විදුලිය කප්පාදු කළා. ඔබ සියලුදෙනා ඉතා අසීරුවෙන් ජිවත් වුණා. අපට මෙවන් දියුණුවක් ලබාගත හැකි වනු ඇතැයි එදා කිසිවෙකු සිතුවේ  නැහැ. වෙන කවුරුත් එදා මේ රටේ වගකීම භාරගත්තේ නැහැ. අනුර දිසානායකවත්, සජිත් ප්‍රේමදාසවත් ඊට ඉදිරිපත් වුණේ නැහැ.

අද අපි සියලුදෙනාට ජීවත්විය හැකි රටක් ගොඩ නඟා තිබෙනවා. ජනතාවට අවශ්‍ය ආහාර, ඉන්ධන, ගෑස්, පොහොර සහ ඖෂධ අද තිබෙනවා. අද රටේ සියලු ජනතාව සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා.

ආර්ථික අර්බුදය හමුවේ රුපියලේ අගය පහළ ගොස් භාණ්ඩ මිල ඉහළ ගියා. නමුත් ජනතාවගේ ආදායම් වැඩි වුණේ නැහැ. ඒ නිසා තවම අපට ජීවන බරට මුහුණදීමට සිදුව තිබෙනවා. පසුගිය වසර දෙක තුළ අප ගත් පියවර නිසා රුපියල ශක්තිමත් වී තිබෙනවා. බොහෝ භාණ්ඩවල මිල 10% - 40%ත් අතර ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා. නමුත් ජනතාවට තවමත් ගැටලු තිබෙනවා. මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් මට අසීරු තීරණ ගැනීමට සිදු වුණා. නමුත් රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ අප ජනතාවට සහන සැලසීම කටයුතු කළා.

ඉදිරි වසර 05 තුළ මේ රටේ ආර්ථික ගැටළුව විසදීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම ප්‍රදේශ පුළුල් සංවර්ධනයකට ලක් කරනවා. ඒ වෙනුවෙන් අපි කෘෂි නවීකරණ වැඩසටහන ගෙනවිත් තිබෙනවා. කෘෂිකර්මය සඳහා නව තාක්ෂණය හඳුන්වා දෙනවා. මේ ප්‍රදේශයේ වී වගාව හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 08ක් කිරීමට අපි අධාර උපකාර ලබා දෙනවා. නව තාක්ෂණය සමඟ තිරුකෝවිල් ප්‍රදේශයේ කෘෂිකර්මය දියුණු කරනවා.

මේ මහා සාගරයෙන් ප්‍රයෝජන ගැනීමට අප ධීවර අංශය ද දියුණු කරනවා. ඒ වගේම මෙහි තිබෙන ඛනිජ වැලි කර්මාන්තය ද දියුණු කරනවා. තිරුක්කෝවිල්වලට සංචාරක ව්‍යාපාරය ගෙනවිත් මේ ප්‍රදේශයට  නව ආර්ථිකයක් ලබා දෙනවා.

රටට නව ආර්ථිකයක් දෙන විට තිරිකෝවිල්වලට ද නව ආර්ථිකයක් ලැබෙනවා. ත්‍රිකුණාමලය විශාල ආයෝජන කලාපයක් බවට පත් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එම කටයුතු සඳහා මෙහි පළාත් සභාව වඩා ශක්තිමත් කරමින් අදාළ බලතල ලබා දෙනවා.

අපි තරුණයන්ට හොඳ අනාගතයක් උදා කර දිය යුතුයි. තවත් වසර 20කින් මීට වඩා හොඳ රටක අප ජීවත්වන බවට විශ්වාසයක් තරුණයන් තුළ ඇති කළ යුතුයි. ඔබ සැප්තැම්බර් 21 දා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දිය යුත්තේ එම රට නිර්මාණය කිරීම සඳහායි.

සජිත්ට සහ අනුරට මේ සඳහා සැලසුම් නැහැ. ඔවුන් දන්නේ කථා කරන්න විතරයි. ඒ නිසා ඔබ සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය දී රට ගොඩනඟන වැඩපිළිවෙළ ආරක්ෂා කර ගත යුතුයි.

අමාත්‍ය අලි සබ්‍රි මහතා,

මීට වසර දෙකකට පෙර රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා .ඒ අවස්ථාවේ අයි. එම්. එෆ් සංවිධානයේ උපදෙස වුණේ රටේ සියළු දෙනාම එක්ව අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු කරන ලෙසයි.නමුත්  විපක්ෂයේ කිසිවෙක් ඊට සහාය දීමට සූදානම් වුණේ නැහැ.

එදා ජනතාව මුහුණ දුන් දුෂ්කරතා අද තිබෙනවාද කියා ජනතාව සිතා බැලිය යුතුයි. රටේ මේ අසීරු තත්ත්වය ඔබ ඔබේ පෞද්ගලික රෝගී තත්ත්වයක් සමඟ සංසන්දනය කර බලන්න. රෝගය සුවපත් කිරීම වෙනුවෙන් ඔබ යන්නේ සිටින දක්ෂම වෛද්‍යාවරයා වෙතද? එසේත් නැත්නම් අත්හදා බලන වෛද්‍යවරයෙක් වෙතද? කියා මම අහන්න කැමතියි.

මේ අවස්ථාවේ රටේ තිබෙන්නේ එවන් තත්ත්වයක්. එවිට අප තෝරා ගත යුත්තේ කිසිම අත්දැකීමක් නැති ප්‍රායෝගික නොවන ප්‍රතිපත්ති ඉදිරිපත් කරන අයෙක්ද? ඒ අත්හදා බැලීමට ඔබ සූදානම්ද? ඊට ඔබ සූදානම් නම් මීට වසර දෙකකට පෙර ඔබ සිටි පෝලිම්වල හිට ගෙන සිටීමටත් ඔබ සූදානම් විය යුතුයි.

නමුත් ඔබ එක් දෙයක් මතක තබා ගත යුතුයි. ඔබ නැවත පෝලිම්වල දවස් ගණන් ගත කරද්දී ඒ පෝලිම් නැති කරන්නට යළිත් රනිල් වික්‍රමසිංහ මහතා වැනි අයෙක් නැති බව මේ අවස්ථාවේ මා ඔබට කියනවා. එසේ නම් මීළඟ වසර පහ ඔබ පෝලිම්වල ඉන්නවාද? එසේත් නැත්නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සහාය දෙනවාද කියා ඉදිරි මැතිවරණයේදී තීරණය කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා,

මේ රටේ ඉදිරි වසර පහ සඳහාද ජනාධිපතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව මේ වන විට තහවුරු වී තිබෙනවා.අපට ඒ ගැන කිසිම සැකයක් නැහැ. නැගෙනහිර ජනතාව ද එම ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙමින්  අනාගත පරපුරේ දියුණුවට කටයුතු කළ යුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම පාලන කාලය තුළ නැගෙනහිර පළාතට අමාත්‍යාංශ 3ක් ලබා දුන්නා. ඒ වගේම පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වා  බලය බෙදා දීමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

හිටපු අමාත්‍ය දයා ගමගේ මහතා,

ලබන 21 වැනිදා පැවැත්වෙන්නේ මේ රටේ දරුවන්ගේ අනාගතය තීරණය වන මැතිවරණයක්. මෙම මැතිවරණයේදී අපි නිවැරදි තීරණය නොගතහොත් දරුවන්ගේ  අනාගතය අවාසනාවන්ත විය හැකියි. එවකට නැගෙනහිර පළාතේ විපක්ෂ නායකවරයා ලෙස මම කටයුතු කරන කාලයේ නැගෙනහිර පළාතේ මහ ඇමතිවරයා ලෙස සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා කටයුතු කළා. අද අප දෙදෙනාම එකම වේදිකාවට පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කඩා වැටුණු ආර්ථිකය නැවත නඟා සිටුවීමේ සත්භාවයෙනුයි. ඒ අනුව රට ගොඩ නැඟීම සඳහා පාට පක්ෂ ආගම් භේදයකින් තොරව අප සියලු දෙනා එක වේදිකාවට පැමිණ සිටිනවා

මේ රටේ බහුතර ජනතාවට බත සැපයීමට අම්පාරේ අපි  සමත් වී තිබෙනවා. අද අම්පාර ආරුගම්බේ ප්‍රදේශය සංචාරක ව්‍යාපාරයත් සමඟ සීඝ්‍රයෙන් දියුණු  වෙමින් පවතිනවා. කෘෂිකර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම තුළින් අම්පාර දිස්ත්‍රික්කය දියුණු කිරීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා අපේ  ජනාධිපතිතුමාට සැලසුමක් තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණයෙන් පසුව තුරික්කෝවිල් ප්‍රදේශයටත් කර්මාන්තශාලා ලබාදී  තරුණ තරුණයින්ට රැකියා ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල යටතේ නැගෙනහිර පළාතම දියුණු කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කටයුතු කරනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගුනසේකරම්  ශංකර් මහතා,

අද අපේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදී තිබෙනවා. ඔවුන්ට ඉඩම් සඳහා සම්පූර්ණ හිමිකම සහිතව සින්නක්කර ඔප්පු ලබාදී තිබෙනවා. නිවාසවල අයිතිය ද ලබා දී තිබෙනවා. අපේ ජනතාවගේ ගැටළුවලට ඇහුම් කන් දෙන, ඒවාට සංවේදී නායකයෙක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරි පස් වසර සඳහා දමෙරට ජනාධිපතිවරයා විය යුතුයි.

සමහර පිරිස් අනවශ්‍ය ලෙස ජාතිවාදයක් පිළිබඳ කතාකරමින් ඔවුන්ගේ පැවැත්ම රැකගැනීමට කටයුතු කරමින් සිටිනවා. කෙනෙක් අනාගතයේ කරන දේට වඩා වර්තමානයේ කරන දේ තමයි වැදගත් වෙනවා .

ඒ වටිනාකම අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට හිමි වෙනවා. ඒ නිසා අපි මේ මැතිවරණයේදී නිවැරදි තීන්දුවක් ගත යුතුයි.

අපේ ඡන්දය හිමි වෙන්නේ ජාති ආගම් භේදයකින් තොරව කටයුතු කරන රනිල් වික්‍රමසිංහට ජනාධිපතිතුමාට පමණයි. අපි එතුමාට ඡන්දය නොදුන්නොත් අනාගතයේ සෑම දෙමළ ජාතිකයෙක්ම දුක් විඳින බවත් ඊට අප වගකිව යුතු බවත් කිව යුතුයි.

හින්දු පූජකතුමන්ලා සහ අන්‍යාගමික නායකයන් ද,  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. සන්තල්නේරු, නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන ආර්. රාජේෂ්වරන්, කේ. පුෂ්පකුමාර්, ටී. එම්. වී. පී පක්ෂයේ තිරික්කෝවිල් සංවිධායක කනගසුන්දරම් ප්‍රභාකරන් යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව  සිටියහ.

Read more