ජනතාවට සහන සැලසිය හැක්කේ මැතිවරණ ප්‍රකාශනවලින් බොරු පොරොන්දු ලබාදීමේන් නොව : ක්‍රමානුකූලව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පමණයි

• රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් නිසි සැලැස්මක් මා සතුව තිබෙනවා.

• ආර්ථික අභියෝගයට බිය වී පැන දිවු පිරිසක් සමඟ ඉදිරියට යනවාද නැත්නම් රට මෙම තත්ත්වයට ගෙනා කණ්ඩායම සමඟ ඉදිරියට යනවාද කියා ජනතාව තීරණය කළ යුතුයි - ජනපති මහනුවරදී අවධාරණය කරයි.

ජනතාවට සහන සැලසිය හැක්කේ මැතිවරණ ප්‍රකාශනවලින් බොරු පොරොන්දු ලබා දීමෙන් නොව, ක්‍රමානුකූලව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් පස් වසරක සැලැස්මක් තමාට තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා එම සැලැස්ම ක්‍රියාත්මක කරන අතරතුර රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගනිමින් ආහාර මිල සහ බදු බර ද අඩු කර ජනතාවට ස්ථිර සහන සලසා දෙන බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ  මහනුවර හාරිස්පත්තුව මැතිවරණ කොට්ඨාසයේ පූජාපිටිය මාරතුගොඩ ක්‍රීඩාංගණයේ අද (27) පැවති "පුලුවන් ශ්‍රී ලංකා" විජයග්‍රාහී ජන රැලියට එක්වෙමිනි.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා විසින් සංවිධානය කර තිබු මෙම මහජන රැළියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ප්‍රදේශයේ ජනතාව විසින් මහත් හරසරින්  පිළිගනු ලැබූහ.

එහිදී වැඩදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් මට අවුරුදු 05 ක සැලැස්මක් තිබෙනවා. එම සැලැස්ම තුළ අපට ආහාර මිල අඩු කළ හැකියි. ඒ වගේම තරුණ තරුණියන්ට නව රැකිය අවස්ථා උදාකර දිය හැකියි. උරුමය සහ අස්වැසුම වැඩසටහන් හරහා ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට අප කටයුතු කරනවා. ඒ වගේම අපනයන ආර්ථිකයක් කරා යොමුවීම අපේ සැලැස්ම වී තිබෙනවා. මගේ මැතිවරණ ප්‍රකාශය තුළ එම සියලු කරුණු ඇතුළත් වෙනවා.

අප මේ ගමන යා යුත්තේ ක්‍රමනුකූලවයි. අපි කියන්නේ වැල් පාලමේ ගමන ඉදිරියටම ගොස් එගොඩ වෙමු කියලයි. නමුත් විපක්ෂය කියන්නේ වැල් පාලම කපා දමනවා කියලයි. ඔවුන් වැල් පාලම  දෙපැත්තෙන්ම කපා දැමීමට සූදානම් වෙනවා. ඒ නිසා ජනතාව නිවැරදි තීරණයක් ගත යුතුයි. මේ රට භාර ගැනීමට නොහැකි බව පවසමින් පැන දිවු පිරිසක් සමග ඉදිරියට යනවද නැත්නම් රට මෙම තත්ත්වයට ගෙනා කණ්ඩායම සමඟ ඉදිරියට යනවාද කියා ජනතාව තීරණය කළ යුතුයි.

තරුණයන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දිය යුතුයි. ඒ වගේම ජනතාවගේ ජීවන බර තවත් අඩු විය යුතුයි. බදු බර තවත් අඩු විය යුතුයි. නමුත්  බොරු පොරොන්දු දෙන්නේ නැතිව ක්‍රමානුකූලව එය සිදු කළ යුතුයි. ඒ නිසයි මම ගෑස් සිලින්ඩරය මගේ ඡන්ද ලකුණ කරගත්තේ. ගෑස් සිලින්ඩරය අවශ්‍යනම් ඊට කතිරය ගහන ලෙස මම ඉල්ලා සිටිනවා.

රාජ්ය අමාත්ය අනුරාධ ජයරත්න මහතා,

මෙවර ජනාධිපතිවරණයේදී පාට පක්ෂ භේදයෙන් තොරව පුළුල්ම සන්ධානය  ගොඩ නඟා තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. මේ වේදිකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය,පොදු ජන පෙරමුණ , කම්කරු කොංග්‍රසය, ජාතික නිදහස් පෙරමුණ ඇතුලු සියලු පක්ෂ එකට එක්වී සිටිනවා. අද බලය ඉල්ලන කිසිම දේශපාලන නායකයෙක් ජනතාව ගෑස් පෝලිංවල දුක් විඳින විට ජනාධිපතිධූරය භාර ගෙන  ජනතාව පීඩාවෙන් මුදා ගැනීමට කටයුතු කළේ නැහැ.

පැය 13ක් විදුලිය කප්පාදු   කළ රටක්, ආර්ථික වශයෙන් බංකොලොත්  වූ රටක්  වසර දෙකක් ඇතුලත යථා තත්ත්වයට පත් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. රනිල් වික්‍රමසිංහ කියන්නේ වැඩක් කරලා පෙන්වූ නායකයෙක්. නැවත අත්හදා බැලීම් සිදු කරන්න බැහැ. නැවත අනතුරේ වැටෙන්න බැහැ. ඉදිරි වසර පහ තුළ මේ රට තුළ නොවැටෙන ආර්ථිකයක් නිර්මාණය කළ හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.  සැප්තැම්බර් 22 වැනිදාට   එලිවන විට  හාරිස්පත්තුව ආසනය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින්, මුළු රටම ජයග්‍රහණය කරමින් රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපතිධුරයට පත් කිරීමට කටයුතු කරමු.

රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා,

අද මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන  මන්ත්‍රීවරුන් සියලු දෙනාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමට එක් කඳවුරකට පැමිණ තිබෙනවා. ඒ මේ රට ආර්ථික අර්බුදයෙන් බේරා ගැනීමට සමත් වූ නායකයා නැවත ජනාධිපති කිරීම සඳහායි.

උතුරේ ත්‍රස්තවාදීන් සහ දකුණේ ත්‍රස්තවාදීන් මේ රට වෙලාගත් කාලයක් තිබුණා. ලංගම බස් රථ ගිනි තියපු, මිනිස්සුන්ගේ ජීවිතවලට වටිනාකමක් නොදී මරා දැමූ ඉතිහාසයක් ජවිපෙට තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සිදු කළ ත්‍රස්තවාදී ක්‍රියාකාරීකම් මෙන්ම  කොටි ත්‍රස්තවාදීන් මේ රටට කළ ආර්ථික විනාශය ඉතාම බරපතලයි.

එදා ජනතාව පෝලිම්වල ඉඳලා දුක්වින්දා. අගමැතිධූරයත්, ජනාධිපතිධූරයත් බාර ගන්නා ‍ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සෑම දේශපාලන නායකයෙකුගෙන්ම  ඉල්ලා සිටියා. එදා බන්දේසීයේ තබා දුන් ජනාධිපතිධූරය හෝ අගමැතිධූරය දැන් වේදිකාගානේ ගිහින් බලය ඉල්ලන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය යථා තත්ත්වයට පත්කළ නිසයි.

රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජාත්‍යන්තර සබඳතා හේතුවෙන් මේ රටේ පීඩා විඳි ජනතාවට  සහන ලබාදීමට හැකිවුණා. ලෝකයේ සියළුම නායකයින් සමඟ සෘජු දුරකථන ඇමතුමකින් සම්බන්ධ වී මේ රටට අවශ්‍ය දෙයක් ලබා ගැනීමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එතුමා මේ රටේ  ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන්  ‘අස්වැසුම’, ‘උරුමය’ සින්නක්කර ඉඩම් ඔප්පු, සහල් සහනාධාර ලබා දුන්නා.  ඒ වගේම ගුරු පත්වීම් ලබා දුන්නා. මේ සියල්ල කළ හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ජාත්‍යන්තර සබඳතා සහ ආර්ථික කළමනාකරණ හැකියාව නිසයි.

රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ  මහතා,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ මගේ මාමා වන එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමායි. මගේ පියා වන අනුරුද්ධ රත්වත්තේ මහතාද මේ හාරිස්පත්තුව ආසනයට  විශාල සේවාවක් කළා. 2015 වසරේදී  මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ විට  නැවත බලයට ගෙන ඒම වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් කළා. අපි හැමදාමක් කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂයට විරුද්ධවයි.  නමුත් 2022 වසරේදී පැමිණි ආර්ථික අර්බුදය විසඳීමේ අභියෝගය භාර ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අවුරුදු විසිපහක් හිටියා. අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ අවුරුදු විසිපහක් හිටියා. නමුත් ආර්ථික අර්බුදය පැමිණි වෙලාවේ රට බාරගන්න කවුරුත් හිටියේ නැහැ. අවුරුදු විසිපහක් පාර්ලිමේන්තුවේ හිටපු අය, ආර්ථික අර්බුදය හමුවේ පළා ගිය අය,  අද වේදිකා ගානේ නැගලා බලය ඉල්ලීම දෛවය සරදමක් බව කිව යුතුයි.

අරගලය අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පහරදී මහමඟ ඝාතනය කළා. ජනතා විමුක්ති පෙරමුණේ 88-89 භීෂණය නැවතත් 2022 වසරෙදී පෙන්නුවා. මෙවන් කණ්ඩායමකට බලය ගියොත් සිදුවන දේ ගැන ඔබ හිතා බලන්න.  

අපට පුද්ගලයෙක් හෝ පක්ෂයක් රකින්න අවශ්‍ය නැහැ. ඒ නිසා ආර්ථික අර්බුදයන් රට බේරාගත් නායකයා වෙනුවෙන් අප ඉදිරියට පැමිණියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ඉදිරි වසර 5ක සඳහාත් මේ රටට අවශ්‍යයයි.

පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

සැප්තැම්බර් 22 වෙනිදා උදේ  වන විට මේ රටේ නැවතත් ජනාධිපතිවරයා  රනිල් වික්‍රමසිංහ මහතා බවට කිසිම සැකයක් නැහැ. මෙවර ජනාධිපතවරණය වෙනුවෙන් සකස් වී තිබෙන පුළුල්ම වේදිකාව මෙයයි.   සමගි  ජන සන්ධානයේ කණ්ඩායමත්  අප සමඟ එක්වී සිටිනවා. සැප්තැම්බර් විසිවෙනිදා වෙනකොට සමගි ජන සන්ධානයේ පළුවක්ම ජනාධිපතිතුමා සමඟ එක් වීමට බලාගෙන සිටිනවා. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දීමට නියමිතයි. ඒ නිසා ජයග්‍රහණය පිළිබඳව කිසිදු සැකයක්   තබා ගන්න එපා. දිනන්න පුළුවන් වගේම  වැඩක් කරන්න පුළුවන් නායකයෙක් අපි තෝරගත්තේ ඒ නිසයි.  

සජිත් ප්‍රේමදාස කියන්නෙ වැඩ බැරි ටාසන් කෙනෙක්. එතුමා නිවාස ඇමැතිවරයා ලෙස කළ දේවල් රටම දන්නවා. අනුර දිසානායක දිනන්න නම් ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්ක වැඩි ජන්ද ලක්ෂ හතකින් ජයගත යුතුයි.  එහෙම වෙන්නෙ නෑ. නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින්නේ විපක්ෂයට යන්නයි. අපට අවශ්‍යය විපක්ෂයට යන දේශපාලන කඳවුරක් නොවෙයි. අප ජනාධිපති රනිල්  වික්‍රමසිංහ  මහතාට ජන්දය ලබා දුන්නේද මහින්ද  රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට බව සහිපත් කළ යුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකක් ඇතුළත පෝලිම් යුගය අවසන් කර, රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කළා. ඒ අතරතුර ජනතාවට සහනාධාර දීමටත් එතුමා කටයුතු කළා. විදුලි බිල අඩු කළා, ඉන්ධන මිල අඩු කළා, ගෑස් මිල අඩු කලා, අස්වැසුම සහනාධාර ලබා දුන්නා.  උරුමය සින්නක්කර ඉඩම් අයිතිය ලබා දුන්නා.  ලබන වසරේදි රාජ්‍ය සේවකයින්ට රුපියල් 25000ක වැටුප් වැඩි කිරීමක් සඳහාද කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

මේ සියල්ල කළ හැකි වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැවැන්ත ආර්ථික කළමනාකරණ ශක්තිය නිසයි. ඉදිරියේදී ආර්ථිකය කඩා නොවැටෙන තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිවරයා ගෙන  යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට අවශ්‍යයි.  එතුමා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා. එම නිසා කළ පුරුද්දත්, පළපුරුද්දත් දෙකම තිබෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ජයග්‍රහණය වෙනුවෙන් අපි සියලු දෙනා කැපවෙමු.

පාර්ලිමේන්තු මන්ත්රී , ගුණතිලක රාජපක්ෂ මහතා,

රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ රටේ ජනතාව  රැක ගත්තේ මීට වසර දෙකකට පෙරයි. ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ දී එතුමාව තෝරාපත් කර ගැනීමේදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් එකසිය තිස් හතර දෙනෙක් ඡන්දය භාවිතා කළා. එතුමාට ඒ ලබා දුන් වගකීම නිසි ආකාරයෙන් ඉටුකර අද ජනතාව ඉදිරියට පැමිණ තිබෙනවා.

වගකීමක් ඉටුකළ නායකයෙකුට කෘතවේදීත්වය දක්වන්න මේ මහා ජන ගඟ අද හාරිස්පත්තුවට පැමිණ තිබෙනවා. කෙළෙහි ගුණ දන්නා ජනතාව සැප්තැම්බර් 22 වනදා අලුයම වන විට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට ඡන්දය ලබා දෙන බව ස්ථිරයි. මෙවර  ජනාධිපතිවරණයේදී හාරිස්පත්තුව ආසනය ජන්ද  35,000කින් එතුමාව ජයග්‍රහණය කරවනවා.

පාර්ලිමේන්තු මන්ත්රී උදයන කිරිඳගොඩ මහතා,

මෙවර ජනාධිපතිවරණයේදී තීරණය කරන්නේ රටේ අනාගතයයි. මේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති පුළුල් ම සංවිධානය තිබෙන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමටයි. මීට වසර දෙකකට පෙර රට ආර්ථික වශයෙන් බිඳ වැටුනා. එම අවස්ථාවේදී කිරිපිටි, ගෑස් ආහාර, ඉන්ධන  පෝලිම් යුගයක් ආරම්භ වුණා. එම පීඩාව රටේ ධනවතාගේ සිට දුප්පතා දක්වාම විඳින්නට සිදුවුණා.

ජනතාව ඒ පීඩාවෙන් මුදා ගැනීමට එදා කිසිදු නායකයෙක් සිටියේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා කොන්දේසි විරහිතව ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් ඉදිරිපත් වුණා. එසේ ඉදිරිපත් වී වසර දෙකක් ඇතුළත රට යථා තත්ත්වයට පත් කිරීමට එතුමට හැකි වුණා . එම නිසා ඉදිරි වසර පහටද  එතුමාගේ නායකත්වය රටට අවශ්‍යයි.

පාර්ලිමේන්තු මන්ත්රී මොහොමඩ් මුසම්මිල්  මහතා,

අප හැමදාම දේශපාලනය කළේ රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධවයි. නමුත් පසුගිය ආර්ථික අර්බුදය හමුවේ එතුමා ජනතාව වෙනුවෙන් කොන්දේසි වීරහිතව ඉදිරිපත් වුණා. අරගලකරුවන් පාර්ලිමේන්තුව වැටලීමට සූදානම් වන විට එය  බේරා ගත්තේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ අනුව වත්මන් බංග්ලාදේශය වැනි රටක් මෙරට බිහි නොවීමේ ගෞරවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වෙනවා. රටේ සාමය ස්ථාපිත කර ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන්  එතුමාට ලබා දිය යුතු ගෞරවය හා කෘතවේදිත්වය මේ ජනාධිපතිවරණයේදී ලබාදිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට වමට වගේම දකුණටත් පුළුවන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතා පෙන්වා දුන්නා .

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය නායක භාරත් අලුත්සාමි, එක්සත් ජාතික පක්ෂයේ  හේවාහැට ආසනයේ  සංවිධායක  ශාන්තිනී කෝංගහගේ,  එක්සත් ජාතික පක්ෂයේ මහනුවර  දිස්ත්‍රික් සංවිධායක එම් .ඉස්තිහාර්, එක්සත් ජාතික පක්ෂයේ හාරිස්පත්තුව කලාප සංවිධායක තිලක් රණසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හාරිස්පත්තුව සංවිධායක අසංග කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් ප්‍රමුඛ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Read more