ආර්ථික කඩා වැටීමකින් පසුව වේගයෙන්ම නැඟි සිටි එකම රට ශ්‍රී ලංකාව බව ලෝකයම පිළිගෙන තිබෙනවා

ඉදිරි වසර 05 තුළ නිසැක වශයෙන්ම රට දියුණුව කරා ගෙන යාමේ අභියෝගය ද ජය ගන්නවා

• “චාන්ස්” ඉල්ලන දේශපාලනඥයන්ට රට භාර දී අනාගතය අඳුරු කර ගන්න එපා.

• සජිත්ටත්, නාමල්ටත් දෙන ඡන්දය බන්දේසියක දමා අනුරට දෙන ඡන්දයක් - ජනපති මිනුවන්ගොඩදී කියයි.

ආර්ථික කඩා වැටීමකින් පසුව වේගයෙන්ම නැඟි සිටි එකම රට ශ්‍රී ලංකාව බව මේ වන විට ජාත්‍යන්තරය පිළිගෙන ඇති බවත් එවන් විප්ලවයක් සිදු කළ තමාට  ඉදිරි වසර 05 තුළ නිසැක වශයෙන්ම රට දියුණුව කරා ගෙන යා හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම වැඩපිළිවෙළ වෙනුවෙන් එක්වන ලෙස සියලුදෙනාට ආරාධනා කළ ජනාධිපතිවරයා  “චාන්ස්” ඉල්ලන දේශපාලනඥයන්ට තම අනාගතය භාර දී රටත්, අනාගතයක් අඳුරු කර නොගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (17) පස්වරුවේ මිනුවන්ගොඩ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට රට වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ 03ක් එක්වී සිටින බවයි.

සජිත්ට දෙන ඡන්දය බන්දේසියක දමා අනුරට දෙන ඡන්දයක් බව මෙහිදී එක්සත් ජාතික පාක්ෂිකයන්ට පැවසු ජනාධිපතිවරයා එසේම නාමල්ට දෙන ඡන්දයද බන්දේසියක දමා අනුරට දෙන ඡන්දයක් බව පොදුජන පෙරමුණේ සියලුදෙනා සිහි තබා ගත යුතු බව කියා සිටියේය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

සැප්තැම්බර් 21 වනදා ඔබට ඉතා වැදගත් දිනයක්. 2022 වසරේ මේ රට විශාල අවුලකට පත් වුණා. මම එය අමුතුවෙන් කිවයුතු නැහැ. ආහාර, ඖෂධ, ගෑස් සහ ඉන්ධන පෝලිම්වල ජනතාව දුක් වින්දා. ආහාර හාපොහොර තිබුණේ ද නැහැ. සම්පූර්ණයෙන් රටේ ආර්ථිකය කඩා වැටුණා.

එම අවස්ථාවේ දේශපාලනයත් කඩා වැටුණා. අගමැතිතුමා සහ ආණ්ඩුව ඉල්ලා අස්වුණා. කවුරුත් ආණ්ඩුව භාර ගැනීමට ඉදිරිපත් වුණේ නැහැ. විපක්ෂනායකවරයා පැනලා දිව්වා. අපි මේ ආණ්ඩුව භාරගන්නේ නැහැ කියලා හර්ෂද සිල්වා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායක හොයාගන්නත් බැරි වුණා. එදා ඔවුන්ට ඔබේ වේදනාව තේරුණේ නැද්ද,

ජනතාව අතරමංව සිටින මොහොතක එයට විසදුමක් සෙවිය යුතු බව  ඔවුන්ට සිතුණේ නැද්ද, එම අවස්ථාවේ ඔවුන්  දිව්වා. මම රට භාරගෙන මගේ සහායට එක් වූ කණ්ඩායම සමග ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ආවා.  දැන් ඇතැම් අය චාන්ස් එකක් ඉල්ලනවා. මේ අයට චාන්ස් එකක් දෙන්න සැප්තැම්බර් 21 වනදා ඔබේ අනාගතය ඔවුන්ට භාර දෙනවද කියා ජනතාව සිතිය යුතුයි.

ඇතැම් අය කියනවා අපි මාලිමාවටත් චාන්ස් එකක් දෙමු කියලා. චාන්ස් එකක් දෙන්න ගොස් ඔබේ අනාගතය අවධානමේ දැමිය යුතුද කියා මම අහනවා.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ මේ රටේ ජනතාව විශාල ලෙස දුක් වින්දා. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අපටත් අසීරු තීරණ ගැනීමට සිදු වුණා. එත් ජනතාවට කඩිනමින් සහන සැලසීමේ අරමුණින් අප අසීරුවෙන් වුවද එම තීරණ ගත්තා. මේ රටේ ජනතාව එම දුක විඳ දරාගත්තා. පාරට බැහැලා කෑ ගැහුවේ නැහැ. ජනතාවට එම ශක්තිය තිබුණා. මම මේ රටේ ජනතාවට ගරු කරන්නේ ඒ නිසයි.

ඒ කාලයේ සජිත් හා අනුර හිටියේ කොහෙද කියා සොයා ගන්න බැරි වුණා. ආර්ථිකය හදන්න උදව් කරන්න කිව්වත් උදව් කළේ නැහැ. ඡන්දය පවත්වන්න කිව්වා. උද්ඝෝෂණ කරන්න කිව්වා. අධිකරණයට ගියා. එවන් පිරිසකට ආණ්ඩුව භාර දෙන්න පුළුන්ද කියා මම අහනවා.

මේ රටේ ආර්ථිකය සුවපත් කළ හැකි වැඩපිළිවෙළ අප දැන් හදුනාගෙන තිබෙනවා. දැන් අප එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් ඉදිරියට යා යුතුයි. අපට අවශ්‍ය ඉදිරි වසර 05 තුළ යළි කඩා නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමටයි. එහිදී ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට අප කටයුතු කරනවා.

අද රටේ ජනතාව වෙනුවෙන් ඉතිහාසයේ පළමු වතාවට ප්‍රධාන පක්ෂ 03ක් එක් වී සිටිනවා. නමුත් සජිත් හා අනුර ඊට එක්වීමට කැමති වුණේ නැහැ. ඔවුන්ට මේ ගැටලු විසඳන්න බැහැ.

මම එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියනවා සජිත්ට දෙන ඡන්දය බන්දේසියක දමා අනුරට දෙන ඡන්දයක් කියලා. ඒ වගේම නාමල්ට දෙන ඡන්දයත් බන්දේසියක දමා අනුරට දෙන ඡන්දයක් කියා මම පොහොට්ටුවේ පාක්ෂිකයන්ට කියනවා.

ජනතාව තමන්ගේ අනාගතය පිළිබඳ සිතිය යුතුයි. අපට මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන්.  ආර්ථික කඩා වැටීමකින් වේගයෙන්ම නැගි සිටී රට ශ්‍රී ලංකාව කියා අද ලෝකයම පිළිගන්නවා. ඉදිරි වසර 05දීත් අප සියලුදෙනා එක්ව රටේ ආර්ථිකය දියුණු කරමු. එම ජනවරම මෙම සැප්තැම්බර් 21 වනදා මට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  මහතා,

අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරණ සටනට එකතු වුණා. එහිදී එතුමට ලබාගන්න පුළුවන් වුණේ ඡන්ද තුනයි. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් fjනවා කියා ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කළා. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකසිය තිස් හතරකගේ කැමැත්ත මත රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වුණා.

සජිත් ප්‍රේමදාස මේවන විට ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංග තුනක් ගෙන විත් තිබෙනවා. ඒ තුනම පරාජය කිරීමට ආණ්ඩුවට හැකි වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට ක්‍රමිකව යථා තත්ත්වයට පත් කරමින් ජනතාවගේ අවශ්‍යතාවයන් ලබාදීමට කටයුතු කළා. රටේ නීතිය සාමය ස්ථාපිත කළා.

ජනතාවගේ ජීවිතවීමමේ අයිතිය සූරක්ෂිත කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි කෘතවේදීත්වය පළ කරමු කියා මා ලක්වාසී සියලු ජන කොටස්වලින් ඉල්ලා සිටිනවා.

අමාත්‍ය අලි සබ්‍රි මහතා,

අපේ රට කඩා වැටුණු වෙලාවේ කිසිදු නායකයෙක් ඉදිරිපත් වුණේ නැහැ. ඒ අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට ඇවිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර  ආර්ථිකය යහපත් තැනකට ගෙන ඒමට කටයුතු කළා. ඇමරිකාවේ සමන්තා පවර්ට ඇමතුමක් දී ලංකාවට අවශ්‍ය පහසුකම් ලැබා ගැනීමට කටයුතු කළා. එහෙම ජාත්‍යන්තර සබඳතාවක් තිබෙන අපේක්ෂකයෙක් මෙවර ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපති වුණේ මේ රටේ ජනතාවගේ පිනටයි. එහි ප්‍රතිඵල අද ජනතාව භුක්ති විඳිමින් සිටිනවා.

අද තෙල් පෝළිම් නැහැ, ගෑස් පෝලිම්  නැහැ, විදුලිකප්පාදු නැහැ. අමාරු අවස්ථාවේ ජනාධිපති ධූරය කරගහගන්න බැරි නායකයින් දැන් ඔවුන්ටත් වටයක් පදින්න ඉල්ලනවා.අද අප ජාත්‍යන්තරය ඉදිරියට යනවිට ඒ ජනතාව අහන්නේ වසර දෙක හමාරකින් ශ්‍රී ලංකාව ගොඩ ගත්තේ කොහොමද කියලයි.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලංකාවට කරපු දේ අද බංගලාදේශයට අවශ්‍යයි කියලා ලෝක බලවතුන් පවා කියනවා.

ග්‍රීසිය කියන්නේ ඔලිම්පික් පවත්වපු සංවර්ධිත රටක්. ඒ රටට සමාජවාදය අවශ්‍ය යි කියා කණ්ඩායමක් ආණ්ඩුව භාරගත්තා. ඔවුන් ජනමත විචාරයක් පවත්වලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත් වුණා. අන්තිමට රට ආර්ථික වශයෙන් බිඳ වැටුණා. රාජ්‍ය සේවකයන්ට වැටුපෙන් භාගයක් ගෙවන තැනට රට වැටුණා. වසර දහතුනක් යනතුරු ආර්ථිකය ස්ථාවර කර ගන්න ග්‍රීසියට හැකිවුණේ නැහැ. ඒ නිසා රට විපතට පත්වන ආකාරයේ  වෙනසක් කිරීමට බලාපොරොත්තු වන්න එපා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැන් ජනාධිපති වී අවසානයි. ඉදිරියේදී ජනාධිපතිවරුන්ගේ නාමාවලිය කියවෙද්දී කොහොමත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ජනාධිපති වරයෙකුගේ ලෙසට එක්වී හමාරයි. ඒ නිසා මෙවර මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය රටටයි.  ඒ නිසා මේ මැතිවරණය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනාගතය තේරීමක් නෙවෙයි, රටේ අනාගතය පිළිබඳ තේරීමක් පමණයි.

රට බංකොලොත් වී නැවත ගොඩගන්නා ගමන්  පොහොර සහනාධාරය ලබාදීමට, අස්වැසුම ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා.  එම නිසා  රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි සියලු දෙනා කැපවිය යුතුයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා,

මේ රට ආර්ථික වශයෙන් ගොඩ ගන්න පුළුවන් නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ජනතාවට විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා අපේ පොදු ජන පෙරමුණ කණ්ඩායම ඔබතුමාට සහයෝගය ලබාදීමට කටයුතු කරනවා. ජනාධිපතිවරයා පක්ෂය අතහැරලා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස අද ජනාධිපතිවරණ වේදිකාවට පැමිණ තිබෙනවා. 22 වැනිදා ප්‍රතිඵල එන විට මේ රටේ 09 වන විධායක ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතායි.

මා හැමදාම දේශපාලනය කළේ හෘද සාක්ෂියට එකඟවයි. මා සෑමදාම පක්ෂයට වඩා රට ගැන හිතපු දේශපාලනඥයෙක්. ගෝඨාභය රාජපක්ෂ මහතාව අපි  ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩි ඡන්ද තුන් ලක්ෂ පනස් පන්දාහකින් ජයග්‍රහණය කර වූළුා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාවත් මෙවර  ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩි ඡන්ද ලක්ෂ තුන හමාරකින් ජයග්‍රහණය කරවීමට අප කටයුතු කරනවා. රනිල් වික්‍රමසිංහ මහතාට සම කළ කෙනෙක් ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ නැහැ. ජනාධිපතිවරයාගේ ඊළඟ වසර පහක ධූර කාලය ක්‍රියාත්මක කරන අවස්ථාවේදීත් රට ගොඩ නැඟීම වෙනුවෙන් සිදු කරන සියලු කාර්යයන් ඉදිරියේ ඕනෑම කැප කිරීමක් කර සහයෝගය දැක්වීමට අප සූදානම්

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා,

වාමාංශික ජාතිකවාදී දේශපාලන කඳවුරේ සිටි අප ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට තීරණය කළේ ජනතාව වෙනුවෙන් පසුගිය වසර දෙක තුළ ඉටු කළ සේවාව නිසයි. මේ රටේ සියලුම ජාතීන් එකම වේදිකාවකට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වී තිබෙනවා. සජිත් ප්‍රේමදාසලා, අනුර දිසානායකලා වසර දෙකක් කලේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතුයි.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකක් කළේ ජනතාව ජීවත් කරවීමයි. ජනාධිපතිවරයා සමග වෛද්‍යවරයෙක් යනකොට විහිළු කරපු අනුර දිසානායක අද හැම මැතිවරණ වේදිකාවකට යන්නේ වෛද්‍යවරයෙක් සමඟයි. එම නිසා බොරුවෙන් දේශපාලනය කරන මේ අය බලය ලබා ගත්තොත් රටට වෙන්නේ බංග්ලාදේශයට  වූ දෙයයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්  කැපවෙමු කියා මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා .

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා,

තව දවස් හතරකින් උධා වන්නේ මේ රටේ ජනාධිපතිවරයා තෝරනු ලබන දවසයි.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අපි මේ ඉදිරිපත් වී තිබෙන්නේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කළ නිසයි. රාජපක්ෂලා රට බිඳ දමලා ඉන්ධන, ආහාර ගේන්න බැරි තත්ත්වයක් ඇතිකරලා ජනතාව පාරට ඇද දැමුවා. ඒ වෙලාවේ සජිත්ලා අනුරලා රට බාරගන්න ඉදිරිපත් වුණේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂලා මේ රට බිංදුවට ඇද දැම්මා. මේ වෙන කොට  නාමල් රාජපක්ෂයි සජිත් ප්‍රේමදාසයි ගිවිසුම් ගහගෙන ඉන්නේ. පොහොට්ටුවේ ඡන්ද සජිත්ට දෙන්නලු. ඒ නිසා ජනතාවට යුතුකමක් තිබෙනවා. ඉන්ධන, ගෑස්, ඖෂධ නැතුව ඉන්න විට ඒ සියල්ල ජනතාවට ලබා දීඹ  වෙනුවෙන් ඉදිරිපත් වූ රනිල්   වික්‍රමසිංහ මහතාට කළ ගුණ සැලකිය යුතුයි. ඒ නිසා එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අප සියලු දෙනා කැප වෙමු.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය

21 වැනිදාට තෝරන්නේ මේ මව් රටේ අනාගතයයි . කොරෝනා ව්‍යසනය සමඟ රට කඩන් වැටුණා. ඒ සමගම ඇතිවුණු ආහාර, ඉන්ධන ගෑස් හිඟය  නිසා  ජනතාව උද්ඝෝෂණවලට පෙළඹුණා. එය භීතිය ගෙන දෙන අරගලයක් බවට පත්කිරීමට ජනතාව විමුක්ති පෙරමුණ කටයුතු කළා. එම අවස්ථාවේදී රට භාර භාරගන්න කියලා එවකට ජනාධිපතිවරයා විපක්ෂයට ආරාධනා කළා.

නමුත් කිසිම නායකයෙක් රට භාරගත්තේ නැහැ.  එදා බන්දේසියක තබා ලබා දුන් ජනාධිපතිකම බාරගන්න අනුර කැමති වුණෙත් නැහැ. අනාගතය අවිනිශ්චිත වේලාවේ රට භාරගෙන ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට ඉදිරිපත් වුණු එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා පමණයි.

බංකොලොත් වී තිබුණු රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට කටයුතු කරමින් සිටින ජනාධිපතිවරයා එකේ සිට පහ දක්වා දරුවන් වෙනුවෙන් ආහාර වේලක් ලබාදීමටද කටයුතු කළා. ජනතාවට අස්වැසුම ලබාදුන්නා , උරුමය  වැඩසටහන හරහා ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දුන්නා. දැන් රට සාමකාමී වී තිබෙනවා. එම නිසා අත්හදා බලන නායකයින් තව දුරටත් රටට අවශ්‍ය වන්නේ නැහැ.මෙය අත්හදා බැලීමට සුදුසු වෙලාවකුත් නෙවෙයි.

හිටපු අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

අනුර දිසානායකයි, සජිත් ප්‍රේමදාසගේ අතර සටන තියෙන්නෙ දෙවන ස්ථානයටයි. රටට අභියෝගයක් පැමිණි අවස්ථාවක  සියලු දේශපාලන නායකයින් පලා ගියා. අභියෝගය භාර ගන්න පුළුවන් වුණේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණයි. එතුමාට එම අභියෝගය දිනා ගැනීමට ශක්තිය ලබා දුන්නේ මේ රටේ ජනතාවයි. 2022වසරේ දී ජනතාවට තිබුණු ප්‍රශ්න විසඳීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. අරගලකරුවන් රනිල්  වික්‍රමසිංහ  මහතාගේ නිවසත් ගිනි තැබුවා.  තමන්ගේ දේපොළ නැති වුණත් ජනතාවගේ ප්‍රශ්න විසඳීමට එතුමා කටයුතු කළා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හැමදාමත් හිතුවේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරන ආකාරයයි.

එතුමාගේ ආර්ථිකය පිළිබඳ තිබෙන දැනීම නිසා ඉක්මනින් රට බංකොලොත් භාවයෙන් මුදාගැනීමට හැකිවුණා. අද බංගලාදේශයේ තත්ත්වය දිහා බැලූ විට සමාජවාදයේ ක්‍රියාකාරකම් පෙනෙන්නට තිබෙනවා. අභියෝග භාරගන්න පුළුවන් නායකත්වයක් සමාජවාදයේ තිබුණා නම් 2022 වසරේ දී රට භාරගන්න තිබුණා. නමුත් අනුර දිසානායක වගේම ,සජිත් ප්‍රේමදාසත් එදා රට භාරගත්තේ නෑ. දැන් කියනවා හොඳම ටීම් එකේ ඉන්න එයාට කියලා. එදත් හිටියේ ඔය ටීම් එකම තමයි. ඒ නිසා ජනතාව මෙවර මැතිවරණයේදී නිවැරදි තීන්දුව ගත යුතුයි.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා, අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක,  ලසන්ත අලගියවන්න , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, සහන් ප්‍රදීප්, මහාචාර්ය ආශු මාරසිංහ  මහත්වරු, ප්‍රාදේශීය දේශපාලන නායකයින් ඇතුළු විශාල ජනකායක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more