සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව වෙනුවෙන් සමෘද්ධිමත් අනාගතයක් උදා කර දෙනවා

• පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් සාධාරණය ඉටු කරනවා.

• රටේ ජනතාව ඉවසීමෙන් කටයුතු කරද්දි බලය ලබා ගැනීම පමණක් අරමුණ කරගත් සජිත් හා අනුර මැතිවරණ ඉල්ලා උද්ඝෝෂණ කළා.

• සජිත් හා අනුර පවසන අන්දමට IMF ගිවිසුම් කඩ කර රට ඉදිරියට ගෙන යන්න බැහැ - ජනපති මන්නාරමේදී කියයි.

මෙවර ජනාධිපතිවරණයේදී තමන් ජනතාව ඉදිරියට පැමිණ ඇත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව වෙනුවෙන් සමෘද්ධිමත් අනාගතයක් උදා කර දෙන වැඩපිළිවෙළ සමඟ බවත් පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් සියලු ජනතාව වෙනුවෙන් කඩිනමින් සාධාරණය ඉටු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් තමාට අසීරු තීන්දු තීරණ ගැනීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා එහිදී රටේ ජනතාව ඉවසීමෙන් කටයුතු කරද්දි බලය ලබා ගැනීම පමණක් අරමුණ වූ විපක්ෂයේ පිරිස් මැතිවරණ ඉල්ලා උද්ඝෝෂණ කළ බවද සිහිපත් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මන්නාරම බස් නැවතුම්පොළ අභියසදී අද (17) පස්වරුවේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පැවති මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

රට ඉදිරියට ගෙන යා යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා අනුව පමණක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිතිවරයා සජිත් හා අනුර පවසන අන්දමට එම ගිවිසුම් කඩ කර රට ඉදිරියට ගෙන යා නොහැකි බවත් රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ ජනතාව සැබෑ අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

රට දියුණුව කරා ගෙන යාමේදී මන්නාරම දියුණුව වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන සංවර්ධන සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා රැස්ව සිටි ජනතාව දැනුවත් කළේය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

අද මම ඔබ සියලුදෙනා හමුවට පැමිණ සිටින්නේ ඔබේ අනාගතය ගැන කථා කිරිමටයි. ඔබට අවශ්‍යනම් හොද අනාගතයක ජීවත්වෙන්න පුළුවන්. නැත්නම් නැවත පෝලිම් යුගයකට යන්න පුළුවන්. සැප්තැම්බර් 21 වනදා  ඔබ තීරණය කළ යුත්තේ එයයි. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ අනාගතය නොව ජනතාවගේ අනාගතය සහ රටේ අනාගතය බව මම සිහිපත් කරනවා.

වසර දෙකකට පෙර මම රට භාරගන්න විට ආහාර, ඖෂධ, ඉන්ධන, ගෑස් කිසිවක් තිබුණේ නැහැ. එම ගැටළු විසඳීමට සජිත් හෝ අනුර ඉදිරිපත් වුණේ නැහැ. ජනතාව දුක් විඳින විට ඔවුන් වගකීම භාර ගන්න බැහැ කිව්වා.

නමුත් මම රටේ වගකීම භාරගත්තා. දැන් ගෑස්, ඉන්ධන, ඖෂධ, පොහොර සියල්ල තිබෙනවා. ආර්ථිකය නැවත ආරම්භ වී තිබෙනවා. ජනතාව ගොවිනැන් කරනවා. ධීවර කර්මාන්තයේ නිරත වෙනවා. දරුවන් අධ්‍යාපනය ලබනවා. දැන් එදා පැන ගිය අය අද රට භාරදෙන්න කියලා ඉල්ලනවා. ඔවුන්ට කොස්සෙන් ගසා පැන්නිය යුතුයි. ජනතාවට අවශ්‍ය වෙලාවේ ඔවුන් සිටියේ නැහැ. දැන් කෙල පෙරාගෙන රට ඉල්ලනවා. මේ අයට රට භාර දිය යුතුද,

මේ රටේ ආර්ථිකය ගොඩනැඟිම වෙනුවෙන් අසීරු තීරණ ගැනීමට මට සිදු වුණා. එහිදී ජනතාවට දුක් විදීමට සිදු වුණා. නමුත් ඒ සියල්ල දරාගෙන ජනතාව සිය යුතුකම ඉටු කළා. සජිත් හා අනුර එම යුතුකම ඉටු කළේ නැහැ.ජනතාව දුක් විඳින විට සජිත් හා අනුර ඡන්දයක් ඉල්ලුවා. නමුත් මම උත්සාහ කළේ ජනතාවට ආහාර, ඖෂධ, ඉන්ධන, ගෑස් සොයා දීමටයි. මම ජනතාවගේ ගැටළු විසදා දුන්නා. රුපියල ශක්තිමත් කර භාණ්ඩ මිල අඩු කර දී තිබෙනවා. ඒ වගේම ජනතාවට අස්වැසුම ලබා දුන්නා. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළා. තවමත් අසීරුතා අවසන් වී නැහැ. නමුත් ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමේ සටන මම 2025 දී අවසන් කරනවා.

අප මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ද ආරක්ෂා කර ගනිමිනුයි. රටක් ලෙස ජයග්‍රහණය කළ හැක්කේ එවිටයි. එසේ නොමැතිව සජිත් හා අනුර කියන විදියට එම ගිවිසුම් කඩ කර රට ඉදිරියට ගෙන යන්න බැහැ.

අප මේ පළාත්වල කෘෂි නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මල්වතු ඔයේ ජලය යෝධ වැවට ගෙන එනවා. යෝධ ඇල තවත් අඩි 02ක් ඔසවා ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය ලබා දෙනවා. ඒ වගේම මෙම පළාතේ ධීවර කර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය සැලසුම් අප සාකච්ඡා කර තිබෙනවා. එම කටයුතු සඳහා අවශ්‍ය මුදල් කාදර් මසතාන් ඇමතිතුමාට මා ලබා දෙනවා.

ඒ වගේම සූර්ය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීම අපේ අරමුණයි. මම ජනතාව ඉදිරියට පැමිණ සිටින්නේ වැඩසටහනක් සමඟයි. මේ ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා වෙනුවෙන් අප එම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

එල්ටීටීඊ යට සම්බන්ධ වීම නිසා අත්අඩංගුවේ පසුවන අය තවත් නිදහස් කිරීමට අප කටයුතු කරනවා. මන්නාරම සිංහල ගම්මානවල සිටින පවුල් පිළිබඳවත් බියක් ඇති කරගන්න එපා කියා මම කියනවා. ඒ වගේම විනාශ වී තිබෙන විහාරස්ථාන 05 ද ඉදිරියේදී ඉදිකර දීමට අප කටයුතු කරනවා.

මන්නාරම දියුණු කර මන්නාරම සිට ත්‍රිකුණාමලයෙ දක්වා අලුත් පාරක් හදනවා. එවන් දියුණුවක් අප මෙම පළාත්වල ඇති කරනවා. මෙය අපට සිදුකළ හැකියි. එම වැඩකටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙමින් මට ජනවරම ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා,

අර්බුද රැසක් මධ්‍යයේ ඇතැම් දේශපාලකයන්ගේ විවිධ බාධා කිරීම් නොතකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය පළ කරමින් විශාල ජනකායක් මෙම අවස්ථාවට සහභාගී වී සිටිනවා. මුදල් ලබා දී හෝ මේ රැස්වීමට ජනතාව සහභාගි වීම වැළැක්වීමට සමහර අය උත්සාහ කළා. නමුත් ජනතාව ඒ කිසිවක්  නොතකා  ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න ඉදිරිපත් වුණා. මීට පෙර පැවැති විපක්‍ෂයේ රැස්වීම්වලට වඩා විශාල පිරිසක් මෙහි රැස්වී සිටීම පිළිබඳව මා ඉතා සතුටට පත් වෙනවා. එයින් පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩපිළිවෙළ විශාල පිරිසක් අනුමත කරන බවයි.

ජනාධිපතිතුමා කටයුතු කරන්නේ රට සංවර්ධනය කිරීමේ ඒකායන අරමුණින් බව කිව යුකුයි. අපි එතුමා සමඟ අත්වැල් බැඳ ගත්තේ ද ඒ නිසයි. 2022 වසරේදී  ඉන්ධන, ගෑස් පෝලිම් ඇති වුණා. ආහාර හිඟයක් පැවතියා. ඒ හේතුවෙන් මේ රටේ  විශාල අර්බුදයක් ඇති වුණා. සාමාන්‍යයෙන් මෙවැනි අර්බුදවලින් මැති ඇමැතිවරු ඝාතනය කර තිබෙන බව අසල්වැසි බංග්ලාදේශය දෙස බලන විට පේන්න තිබෙනවා. නමුත් අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සියලු දෙනාම ආරක්ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. එම්.  මුෂාරෆ් මහතා,

එදා අස්ථාවරව තිබූ මේ රටේ වගකීම භාර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැර වෙන කිසිවෙක් ඉදිරිපත් නොවුනාට අද ස්ථාවර වූ රට භාර ගැනීමට අපේක්ෂකයින් රැසක් ඉදිරිපත් වී සිටිනවා. නමුත් දකුණේ සහ කඳුකරයේ අපේ මන්ත්‍රීවරුන් සියළු දෙනා මෙන්ම, උතුරේ 70%කට වැඩි පිරිසක් මෙවර ඡන්දය ලබා දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බව තහවුරු කර තිබෙනවා. මේ වන විට නැගෙනහිර පළාතේ රනිල් රැල්ලක් ඇති වී තිබෙනවා. ඒ අනුව බලද්දී රටම රහසින් රනිල්ට බව පැහැදිළියි.

උතුරු පළාත් සභාවේහිටපු මන්ත්‍රී අලි ඛාන්, මුසලි ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති  ඇතුළු මන්ත්‍රීවරුන්, මාන්තායි බටහිර ප්‍රාදේශීය සභාවේ හිටපු  මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සමඟ ප්‍රාදේශීය සභානියෝජනය කළ මන්ත්‍රීවරුන් රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහය පළ කිරීමට එක්ව සිටිනවා.  දෙමළ  සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්ගේ කණ්ඩායමේ කිහිප දෙනෙකුද අද ජනාධිපතිතුමාට සහාය දැක්වීමට එක්වුණා. මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ රැල්ල රට පුරා පැතිරෙන බව පැහැදිළියි. නවතම සමීක්ෂණ වාර්තා වලට අනුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමු ස්ථානයේත්, සජිත් තුන්වන ස්ථානයේ පසුවෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමරත්න සුමතිපාල මහතා,

සැප්තැම්බර් 21 වනදා මේ රටේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අද මෙතැන ‍රැස්ව සිටින පිරිසෙන් තීරණය කළ හැකියි. මීට දෙවසරකට පෙර මේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාක ‍අන් කිසිවෙකුටත් වඩා මෙම ප්‍රදේශයේ ජනතාව අත් වින්දා. එදා මේ රටේ වගකීම භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිම බයක් නැතුව රට භාර ගත්තා. එදා පටන් මේ දක්වා කිසිම ජාතියක්, ආගමක්, පක්ෂ ,පාට භේද නොතකා සියලු ජනතාව වෙනුවෙන් විශාල සේවයක් සිදු කළා.එසේ නොවන්නට අද මේ ජනාධිපතිවරණය පැවැත්වීමටවත්, මේ ආකාරයේ රැස්වීම් පවත්වන්නටවත් හැකි පරිසරයක් මේ රටේ නිර්මාණය වනේනේ නැහැ.

සැප්තැම්බර් 21 වෙනිදා ඔබේ ඡන්දය පාවිච්චි කිරීමට පෙර අප ගත කළ පසුගිය දෙවසරට පෙර කාලය ගැන හිතන්න. ඒ වගේම ඉදිරි වසර 5 ගැනත් සිතා ගෑස් සිලින්ඩරය ඉදිරියේ කතිරය ගසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණයේ පාර්ශ්වකරුවන් වන ලෙස ඔබ සැම ගෙන් ඉල්ලා සිටිනවා.  

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා,

ත්‍රස්තවාදය බිහිවන්නේ මුස්ලිම් මව්වරුන්ගේ කුස තුළ බව අනුර කුමාර කියනවා. එවන් අයකුට සහාය දී අපායේ යනවද කියලා ඔහුට සහාය දෙන අපේ මුස්ලිම් ඥාතීන්ගෙන් මම අහන්න කැමතියි.

මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මන්ත්‍රීවරුන් 125කගේ සහාය පමණක් නොවෙයි පක්ෂ රැසක සහයෝගයද හිමිව තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද ලක්ෂ 69ක් ලබා ගත්තා. මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා  ඊටත් වඩා  වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන බව මෙහි රැස්ව සිටින ජනතාව සහතික කරනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයන්, රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, කුලසිංහම් තිලීපන්, හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Read more