ජනතාව පෝලිම්වල දුක් විඳින විට පැන ගිය සජිත්ට සහ අනුරට ජනාධිපති ධූරය ඉල්ලීමට කිසිඳු අයිතියක් නැහැ

• රට ගොඩනගන වැඩපිළිවෙළ “පුළුවන් ශ්රී ලංකා” මඟින් ඉදිරිපත් කර තිබෙනවා.

• සැප්තැම්බර් 21දා ගෑස් සිලින්ඩරය ඉදිරිපස කතිරය ගසා එම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යමු - ජනපති රුවන්වැල්ලේ දී ජනතාවට කියයි.

පැවති ආර්ථික කඩා වැටීම හමුවේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් තමන් සමඟ එක්වන ලෙස ආරාධනා කළත් කිසිඳු සහායක් ලබා නොදී පැන ගිය සජිත් හා අනුර අද ජනතාව ඉදිරියට පැමිණ ජනාධිපති ධූරයේ වගකීම ඉල්ලීම විහිළුවට කරුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (09) පස්වරුවේ රුවන්වැලේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එදා ජනතාවගේ අවශ්‍යතා ඉටු කර දීමට සූදානම් නොවු සජිත් හා අනුර අද ජනතාව ඉදිරියට පැමිණ බොරු පොරොන්දු ලබා දෙමින් සිටින බවයි.

රට ගොඩනගන වැඩපිළිවෙළ “පුළුවන් ශ්රී ලංකා” වැඩසටහන මඟින් රටට ඉදිරිපත් කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා මෙම සැප්තැම්බර් 21 වනදා තමා අපේක්ෂා කරන්නේ එම වැඩපිළිවෙළ ඉදිරියට යාමේ ජනවරම බවද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

මේ රටේ ජනතාවට ආහාර, ඖෂධ, ඉන්ධන සහ ගෑස් නැති අවස්ථාවේ මම මේ රටේ වගකීම භාරගෙන ජනතාවගේ එම මූලික අවශ්‍යතා ඉටු කර දුන්නා. වෙන කවුරුත් හිටියේ නැහැ. සජිත් හා අනුර පැන ගියා. මේ රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කර දෙන්න ඔවුන් සූදානම් වුණේ නැහැ. ඔවුන් එයින් ඉවත් වුණා.

නමුත් මේ රටේ ජනතාව කුසගින්නේ සිටිනවා මට බලාගෙන ඉන්න බැරි වුණා. ඒ වගේම දරුවන්ට අධ්‍යාපනය නොලැබෙන එක,  ජනතාව දුක් විඳින එක මට බලාගෙන ඉන්න බැරි වුණා. මම මේ වගකීම භාරගත්තේ ඒ නිසයි.

අද මේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර තිබෙනවා. ඒ වගේම ඉන්ධන හා ගෑස්  තිබෙනවා. රැකියා ආදායම් මාර්ග තිබෙනවා. දරුවන් වෙනුවෙන් හොඳ පාසල් අධ්‍යාපනයක් ලැබෙනවා.

එදා මේ රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් මට සහාය ලබා දෙන්න කියා  මම සජිත්ට සහ අනුරට කිව්වා. නමුත් ඔවුන් ඒ වෙනුවෙන් කිසිම සහයක් ලබා දුන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට ජනතාව ඉදිරියට පැමිණ ඡන්දය ඉල්ලන්න කිසිම අයිතියක් නැහැ. ඒක මා විහිළුවක්.

මම අසීරුවෙන් මේ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමට ගෙන ආවා. දැන් අපි ජනතාවට සහන ලබාදෙමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් සිටිනවා. අප රට තුළ ඇති කළ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කළ යුතුයි. නැත්නම් නැවත රටේ ආර්ථිකය කඩා වැටෙනවා. ඒ නිසා රට ගොඩනඟන වැඩපිළිවළ අපි “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් රටට ඉදිරිපත් කර තිබෙනවා. අප මෙවර ජනාධිපතිවරණයේදී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ වෙනුවෙන් වූ ජනවරමයි.  ඒ නිසා සැපැත්ම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඔබේ ඡන්දය ලබාදී  රට ඉදිරියට ගෙන වැඩපිළිවෙළ ශක්තිමත් කරන ලෙස මම සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා,

අප විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් දේශපාලඥයන් වශයෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් සිදුකළා. ඒ වගේම අප එදා පක්ෂ පාටවලින් බෙදී කටයුතු කළා. නමුත් අද අප සියලු පක්ෂ ඒකරාශී කරගෙන එකම වේදිකාවක සිට කටයුතු කරනවා.

සියලුම පක්ෂ ඒකරාශි කරගෙන ස්වාධීන අපේක්ෂකයා වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතා  ලෝකයට ආදර්ශයක් දී තිබෙනවා. කඩාවැටුණු රට වසර දෙකක් ඇතුළත ගොඩනැඟූ එකම නායකයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.

මේ රට මෙතනින් ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයා වන්නේද එතුමායි.  අද අප එතුමා වටා ඒකරාශී වී සිටිනවා. ඒ වගේම මේ රටේ සෑම ජාතියකටම සමානව සලකන එකම නායකයාද රනිල් වික්‍රමසිංහ මහතා බව සඳහන් කළ යුතුයි.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනතාවගේ ගින්න නිවා දැමුවේ ගිනි කන්දක් උඩ සිට බව පැවසිය යුතුයි. එතුමා තනි පුද්ගලයෙක් වුවත් වශයෙන් එදා මේ රටේ අනාගතය භාරගත්තා. ඒ වෙනුවෙන් කළගුණ සලකන ජාතියක් ලෙස එතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාව පෙළ ගැසී සිටිනවා.

අද මේ ස්ථානයේ සියලුම ජාතින් සිටිනවා. ඒ වගේම ජනාධිපතිවරණය වෙනුවෙන් වූ අපේ සූදානම තවත් ශක්තිමත් වී තිබෙනවා. ඉතිහාසයේ  ලියවෙන ලෙස ඉදිරි ජනාධිපතිවරණයේදී ඉහළම ජනවරමකින් අප එතුමාව දිනවන බව සඳහන් කළ යුතුයි.

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා,

සැප්තැම්බර් 21 වෙනදා නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ රනිල් වික්‍රමසිංහ  මහතා බව සඳහන් කළ යුතුයි. අනුර කුමාර දිසානයක මහතා පසුගියදා යාපනයේදී කළ ප්‍රකාශයෙන්ම ඒ බව තවත් තහවුරු වෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ගත යුතු කිසිවක් නැහැ. ආර්ථික කළමනාකරණය කිරීමටද කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නැහැ. ඔවුන් කරන්නේ වෛරි දේශපාලනය පමණයි. වෛරී දේශපාලනය තුළින් රටක් ඉදිරියට ගෙනියන්න බැහැ.

රටක් ගොඩ නැඟිය හැකි වේදිකාව අද අප වටා බිහි වී තිබෙනවා. කවුරු ජනාධිපති වුවත් රටේ ආර්ථිකය සහ විදේශ ප්‍රතිපත්තිය නිසි ලෙස කළමනාකරණය කළ යුතුයි. ඒ සඳහා දැක්මක් ඇති එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා බව සඳහන් කළ යුතුයි.

අනුර  කුමාර කියන විදිහට පාලනය කළොත් රට යළි කඩා වැටෙනවා. එසේ වුවහොත් මේ රට තවත් ග්‍රීසියක් බවට පත්වීම වළක්වන්න බැහැ. ඒ නිසා අපට තවත් නාස්ති කරන්න කාලයක් නැහැ. අප සියලු දෙනා ස්ථිර දේශපාලන සිතියමක්  නිර්මාණය කිරීමට බුද්ධිමත්ව කටයුතු  කළ යුතු කාලය එළඹ තිබෙනවා.

රාජ්‍ය  අමාත්‍ය කනක හේරත් මහතා,

අද මේ වේදිකාවේ සිටින සියලුම දෙනා “පුළුවන්” කියන මතයේ සිටින කණ්ඩායමක්. අභියෝගවලින් පැනගිය කණ්ඩායම් අද විපක්ෂයේ සිටිනවා. අභියෝගවලින් පැනගිය පිරිස්  රටට අවශ්‍ය නැහැ.

රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්දයෙන් පසුව  විපක්ෂය මේ වන විට පසුබැස ගොස් සිටිනවා. ඔවුන් අද “කණ්ඩායම්” ගැන කතා කරනවා. නායකත්වය හොඳ නැත්නම් කණ්ඩායම්වලින් වැඩක් නෑ.

මේ රට හදන කණ්ඩායමේ හොඳ නායකත්වයක් අපට ලැබී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළ ඉදිරියට ගියහොත් ශක්තිමත් රටක් බිහිවීම වළක්වන්න බැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා,

සමාජ මාධ්‍ය දෙස බලන විට මේ රටේ ජනාධිපතිවරුන් ගොඩක් ඉන්නවා. ගොඩක් ඉන්නවා. නමුත් එදා මේ රට වැටී තිබූ අවස්ථාවේ මේ රට භාරගන්න ඒ කවුරුත් හිටියේ නැහැ. එදා තනි මන්ත්‍රීවරයෙක් ලෙස හිටපු  රනිල් වික්‍රමසිංහ  මහතා මේ රටේ අනාගතය බාරගෙන සිය වගකීම නිසියාකාරව ඉටුකළා.

අද අපට මෙහෙම එකතුවී ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න අවස්ථාව ලබා දුන් රනිල් වික්‍රමසිංහ මහතාට අපගේ ගෞරවය හිමි වෙනවා. මේ වන විට නොයෙක් අය ජනාධිපති ඇඳුම් මසමින් සිටිනවා. ඔය කවුරු කවුරුත් එළඹෙන 21 වැනිදායන් පසුව මේ රටේ ජනාධිපති වෙන්නේ නෑ. සැප්තැම්බර් 21ට පස්සෙත් ජනාධිපති වෙන්නේ  රනිල් වික්‍රමසිංහ  මහතාම බව කිව යුතුයි යුතුයි.

සමාජ මාධ්‍ය තුළ රැලි ගැන කතා කරනවා. නමුත් ජනතාවගේ රැල්ල රනිල් වික්‍රමසිංහ මහතා වටා බව සඳහන් කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය,

අපට අනාගතයක් ගැන බලාපොරොත්තුවක් ඇති කළේ රනිල් වික්‍රමසිංහ මහතා බව පැවසිය යුතුයි. එතුමාගේ නායකත්වය තුළින් අපගේ අනාගත දරු පරපුරට සංවර්ධිත රටක් බිහිකිරීමේ අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටිනවා.

මේ තුන්කෝරලේ ජනතාව එතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට එකතු විය යුතුයි. අප රටේ ජනතාවට නැවත වරක් හුස්ම  ගැනීමට අවස්ථාව සලසා දුන්නේද එතුමා බව සඳහන් කළ යුතුයි.

අප තවත් ඉදිරියට යනවාද නැද්ද යන්න තීරණය කිරීමට ලබන 21 වැනිදා ගැනීමට ඔබට අවස්ථාව හිමි වෙනවා. අපි අපේ වගකීම සහ යුතුකම ඉටු කරමු කියා මා ඉල්ලා සිටිනවා.

ඒ වගේම එතුමා කාන්තාවගේ සහ දරුවන්ගේ සුරක්ෂිතභාවය  තහවුරු කිරීමට පියවර⁣ ගෙන  තිබෙනවා. මේ රට ආසියාවේ ආශ්චර්යය  බවට පත් කිරීමට සිටින එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවද පැවසිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා,

අද රුවන්වැල්ල ආසනය දහස් සංඛ්‍යාත ජනතාවගෙන් පිරී ගොස් තිබෙනවා. අද මේ පෙන්නුම් කරමින් සිටින්නේ ලබන 22 වැනිදා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණයයි.  ඔබ ඒ ගැන කිසිදු සැකයක් තියා ගන්න එපා.

මේ තුන් කෝරලේ දේශපාලනය කරන විට අපට ආගම්, ජාති භේද නැහැ. අපට උතුරද, දකුණද කියා වෙනසක් නැහැ. අපගේ එකම ඉලක්කය ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවීමටයි.

ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර උතුරේ ජනතාවට තර්ජනය කරමින් සිටිනවා. ඒ වගේම මාලිමාවේ රණවිරුවෙක් වෙනත් ඡන්දදායකයන්ට තර්ජනය කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙනවා.    මොන තර්ජන දැම්මත් අපේ ජනතාව ඒවාට බය නැති බව කිව යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල මහතා,

කඩා වැටුණු රට නැවත ගොඩනගන්න ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වය, පළපුරුද්ද සහ ජාත්‍යන්තර සබඳතා ඉවහල් වූ බව කිව යුතුයි.

එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් මේ රටේ කාන්තාවන්ගේ සහ තරුණයන්ගේ සුභසාධනය වෙනුවෙන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසාම එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද ජනතාව පිළිගෙන තිබෙනවා.

මේ රටේ බිහි වූ සුවිශේෂීම නායකයෙක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හඳුන්වන්න පුළුවන්. අද විවිධ කුමන්ත්‍රණ රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඔවුන්ගේ ඉතිහාසය දෙස බලන්න. ජනතා විමුක්ති පෙරමුණ එදා විනාශ කළේ මේ රටේ ආර්ථිකය බවත් අමතක කරන්න එපා.

මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු අන්‍යාගමික නායකයන් ද ,  සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක,අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. එම්. මුෂාරෆ්, හිටපු අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකෝරල, සන්දිත් සමරසිංහ, හිටපු පළාත් සභා අමාත්‍ය ශ්‍රී ලාල් වික්‍රමසිංහ, දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අමිල රුවන්, ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති අන්නමලේ බාස්කරන්, දෙහිඕවිට සජබ කණ්ඩායම් නායක සෙස්ටස් අර්සකුලරත්න යන මහත්වරුන්, ප්‍රාදේශීය දේශපාලන නායකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more