එදා පැන ගිය සජිත්ට සහ අනුරට අද ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හැකි වෙලා : ඒ තමයි රනිල් වික්‍රමසිංහ පාලනය

• සජිත්ට මේ ඡන්දය දිනන්න බැහැ : සජිත්ට දෙන ඡන්දය අනුරට දෙන ඡන්දයක්.

• තම නිවස කඩා වැටුණොත් අලුත් ගොඩනැගිල්ලක් ඉදිකරන්නේ ශක්තිමත් පදනමක් මතයි.

• මා ජන වරමක් ඉල්ලා සිටින්නේ එම නිවස ගොඩනැඟීම වෙනුවෙනුයි -  ජනපති කැකිරාවේදී කියයි.

එදා ආර්ථික අභියෝගයට බියේ පැන ගිය  සජිත්ට සහ අනුරට අද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ තමන් රට තුළ ඇති කළ ආර්ථික ස්ථාවරත්වය නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සජිත්ට මෙම මැතිවරණය ජයගත නොහැකි බවත්, සජිත්ට ලබාදෙන ඡන්දය අනුරට ලබාදෙන ඡන්දයක් වන බවත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පැවසූ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පාවා නොදෙන ලෙසද ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (01) පස්වරුවේ කැකිරාව මහජන ක්‍රීඩාංගණයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය  කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

තම නිවස කඩා වැටුණොත් අලුත් ගොඩනැගිල්ලක් ඉදිකරන්නේ ශක්තිමත් පදනමක් මත බවත්, පෙර අත්තිවාරම  දෙස බලා එය ගොඩනැගීමට අවශ්‍ය පියවර අප හඳුනා ගන්නා බවත් පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා මෙවර ජනතා වරමක් ඉල්ලා සිටින්නේ එම නිවස ගොඩනැගීම වෙනුවෙන් බවද සඳහන් කළේය.

සජිත් හා අනුර ජන වරම ඉල්ලන්නේ තිබෙන නිවසත් ගිනි තබා දැමීමට බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයේ දී තම ජයග්‍රහණය රටේ ජයග්‍රහණය වනු ඇති බවද කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

අද මෙම වේදිකාවේ විවිධ පක්ෂ නියෝජනය කරන පිරිස සිටින්නේ ඇයි කියා මා ඔබට පැහැදිළි කිරීමට කැමතියි. අවුරුදු දෙකකට පෙර මේ රටේ විශාල අවුලක් තිබුණා. ආහාර ඉන්ධන, ගෑස් තිබුණේ නැහැ. හැමතැනම පෝලිම් තිබුණා. එදා ප්‍රශ්නය උග්‍ර වූ විට මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා මැයි 09 වනදා ඉල්ලා අස් වුණා. සම්ප්‍රදාය අනුව අගමැතිවරයා ඉවත් වූ පසු එම වගකීම විපක්ෂනායකවරයා භාරගත යුතුයි. මුළු දවසම බලාගෙන හිටියත් ඔහුගෙන් කිසිම තොරතුරක් ලැබුණේ නැහැ.

රාත්‍රී වන විට අපට ආරංචි වුණා මෙම වගකීම භාර ගන්න බැහැ කියා  විපක්ෂනායකතුමා කිව්වා කියලා. ඊට පස්සේ කථාවක් ගියා, ජනාධිපතිවරයා හමු වෙන්න සරත් ෆොන්සේකා ගියා කියලා. සරත් ෆොන්සේකා මැතිතුමත් වගකීම භාර ගන්නේ නැතිව නැවත පැමිණ තිබුණා.

ඉන් පසුව හිටපු ජනාධිපතිවරයා මට පණිවිඩයක් එවලා තිබුණා ඇවිත් මේක භාරගන්න කියලා. මම තනිවම ගිහින් මේ වගකීම භාරගත්තා. ඊට පසුව මට උදව් කිරීමට මේ සියලුදෙනා එකතු වුණා.  අපි සියලුදෙනා එකතු වුණේ රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම වෙනුවෙන් බව කිවයුතුයි. අපි එකතුවුණේ නැත්නම් දරුවන්ට ආහාර නැතිව යනවා. කිරි පැකට් එකක් ගන්න අම්මටයි තාත්තටයි මාරුවෙන් මාරුවට පෝළිම්වල ඉන්න වෙනවා.

එදා මේ රටේ ප්‍රචණ්ඩත්වය ඇති වුණා. මම එම තත්ත්වය පාලනය කළා. එදා මම එම පියවර නොගත්තා නම් එදා ලංකාව, අද බංග්ලාදේශය මුහුණ දී සිටින තත්ත්වයට පත් වෙනවා. කවුරුවත් බංග්ලාදේශයේ වගකීම භාරගත්තේ නැහැ.  මිනිසුන් ඝාතනය කරනවා. අගවිනිසුරුවරයා පන්නා දමා තිබෙනවා. එවන් තත්ත්වයකට අද ඔවුන් පත් වෙලා සිටිනවා.

නමුත් මම සියලුදෙනා එක් කරගනිමින් එදා මේ රටේ ආණ්ඩුක් හැදුවා. අනුරටයි, සජිත්ටයි ඊට එක්වන ලෙස මා ආරාධනා කළා. නමුත් ඔවුන් අවේ නැහැ. දැන් රාජපක්ෂලා ඉවත් වූ විට  කියනවා රාජපක්ෂවරුන් අයින් වෙනවා කියලා දන්නවා නම් අප මෙතන ඉන්නවා කියලා.

අපි ඇවිල්ලා 70%ක තිබු උද්ධමනය 2%ක් දක්වා අඩු කළා. රතු පරිප්පු 40%කින් අඩු කළා, තිරිගු පිටි මිල 29%කින් අඩු කළා. කුකුල් මස් මිල 11%කින් අඩු කළා. ඩීසල් මිල 28%කින් සහ ගෑස් මිල 31%කින් අඩු කළා. දළ දේශීය නිෂ්පාදනය 2023 වසරේදී ඩොලර් බිලියන 84ක් බවට පත් කළා. අප එය තවත් ඉහළ නංවා ගත යුතුයි.

ඒ වගේම අපි රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. දැන් උදය ආර්. සෙනෙවිරත්න වාර්තාව අනුව ඉදිරියේ දී වැටප් වැඩි කරනවා.  ඒ වගේම අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කර සමෘද්ධිය මෙන් තුන් ගුණයක් මුදල් ලබා දුන්නා. බංකොළොත් රටක් වුවද අප මෙම වැඩකොටස ක්‍රියාත්මක කළා.

ඒවගේම ගොවි ජනතාවට පොහොර ලබා දුන්නා. ඉතිහාසයේ පළමු වතාවට මේ ප්‍රදේශයේ ලක්ෂ ගණනකට සින්නකර ඉඩම් අයිතිය හිමිවෙනවා. අප රට තුළ ඇති කළ මෙම ස්ථාවරත්වය නිසා තමයි අද ජනාධිපතිවරණය පැවැත්වීමට හැකි වී තිබෙන්නේ. බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියා, දැන් ඔවුන්ට මැතිවරණය පැවැත්වීම නොහැකි වී තිබෙනවා. නමුත් අප ගත් පියවර නිසා තමයි අද සජිත් ප්‍රේමදාසට සහ අනුර දිසානායකට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ. ඔවුන් එදා පැනලා ගියා, අද ඡන්දයකට එනවා. මෙය තමයි රනිල් වික්‍රමසිංහගේ පාලනය කියා මම ඔවුන්ට කියන්න කැමතියි.

අපි කණ්ඩායමක් ලෙස එක්වෙලා මේ රට හැදුවා. අප රටේ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කර ගනිමින් විදේශ විනිමය ඉහළ නංවා ගත යුතුයි. ඒ වෙනුවෙන් අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. මම මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ  ඒ සඳහා වූ ජනවරමයි.

තමන්ගේ නිවස කඩා වැටුණොත් අලුත් ගොඩනැඟිල්ලක් ඉදිකරන්නේ ශක්තිමත් පදනමක් මතයි. කළින් අත්තිවාරම  දෙස බලා එය ගොඩනැගීමට අවශ්‍ය පියවර අප හඳුනා ගන්නවා. මම මේ ජන වරම ඉල්ලන්නේ මේ නව නිවස ගොඩනැඟීමට බව ප්‍රකාශ කිරිමට කැමතියි. සජිත් හා අනුර ඉල්ලන්නේ තිබෙන නිවසටත් ගිනි තැබීමටයි.

අපි පස් වසරක සැලැස්මක් සමඟ  රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළීවෙළ මේ වන විට ජනතාව හමුවේ තබා තිබෙනවා. අප ජීවන බර සැහැල්ලු කරන්නේ රුපියල ශක්තිමත් කරලයි. රුපියල ශක්තිමත් කරන්නේ මේ රටේ දළ දේශීය නිෂ්පාදන ඉහළ නංවා ගැනීම තුළිනුයි.

නමුත් සජිත් සහ අනුර කියන විදියට බදු අඩු කළොත් රටේ ආදායම තවත් අඩු වෙනවා. එවිට රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. 2019 නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බදු අඩු කලා. එහි ප්‍රතිඵලයක් ලෙස 2022  වසරේ මේ රටේ ජනතාවට පොලිම්වල සිටීමට සිදු වුණා.

මෙවැනි වැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළහොත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය හිමි වන්නේ නැහැ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ තවත් රටවල් 17ක් සහයෝගය ලබාදී තිබෙනවා. අපි ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළොත් නැවත 2022 වසරේ තිබු තත්ත්වයට යාමට සිදුවන බව මම කණගාටුවෙන් වුවද කිවයුතුයි. අපි ඇති කළ ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙන යා යුතුයි. බංග්ලාදේශයේ වගේ අවුලක් මේ රටේ ඇති කරගන්න බැහැ.

ඒ වගේම මෙහි සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ට මම වචනයක් කියන්න කැමතියි. අද එක්සත් ජාතික පක්ෂය බෙදිලා තිබෙනවා. ඇතැමුන් හිතනවා සමගි ජන බලවේගයට යන්න ඕන කියලා. නමුත් ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරුන්ගේ ප්‍රතිපත්තිය තිබෙන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නේ මම කියලා මා බව කිවයුතුයි.

සජිත්ට මේ ඡන්දය දිනන්න බැහැ. සජිත්ට දෙන ඡන්දය අනුරට දෙන ඡන්දයක් බව කිවයුතුයි. මේ ගැන ජනතාව දැනුවත් කරන්න, අනුරට උදව් කර අපේ ප්‍රතිපත්ති අපි නැති කරගත යුතු නැහැ. ඒ නිසා අපි සියලුදෙනා දෙනා එක්ව රට ඉදිරියට ගෙන යමු. මේ රටේ ජයග්‍රහණය තහවුරු වන්නේ මගේ ජයග්‍රහණය මත බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි.

රාජ්ය අමාත්ය ශෙහාන්  සේමසිංහ මහතා,

බලාපොරොත්තු තබා ගත හැකි රටක් නිර්මාණය කර හැකි එකම නායකයා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. මේ රටේ මිලියන 22ක ජනතාවට නායකත්වයක් ලබාදෙන්න අවශ්‍ය මොහොතක නායකත්වය නොදී පලා ගිය නායකයින් සිටින වෙලාවක ජනතාව වෙනුවෙන් රට භාරගෙන ආර්ථිකය සහ ජනතාවගේ මූල්‍ය ශක්තිය නඟා සිටුවීමට රනිල් වික්‍රමසිංහ මහතා කළ සේවය ප්‍රශංසනීයයි.

ගොවියා නැවත ගොවි බිමට ගෙනයාම සඳහා  වැඩ ආරම්භ කරමින් මහ කන්නය, යල කන්නය වගාව සාර්ථක කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. පොහොර සඳහා රුපියල් 25000ක මුදලක් ලබාදීමටද කටයුතු කළා.

ජනතා විමුක්ති පෙරමුණ මීට මාස තුනකට කලින් රාජ්‍ය සේවයේ වර්ජන රැල්ලක් ඇති කළා. නමුත් රට ආර්ථික අර්බුදය පවතින අවස්ථාවකදී අස්වැසුම ලබාදුන්නා, උරුමය ඉඩම් ඔප්පු ලබා දුන්නා, සහල් සහනාධාරය ලබා දුන්නා. මේ සියල්ල සිදු කළේ පාර්ලිමේන්තුවේ එක අසුනකින් ජනාධිපතිධූරය දක්වා පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙළ නිසයි. ජනතාවගේ මූල්‍ය ශක්තිය වැඩි කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ නිසා පොහොසත් රටක් නිරායාසයෙන්ම බිහිවෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය පැතුම් මල්ලක් විතරයි.

එයින් නිර්මාණය වන්නේ දුප්පත් රටක් පමණයි. එබැවින්ම  මහපොළොවේ යථාර්ථයක් කළ හැකි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලබාදී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. මේ රට ගොඩනැගීමට වෙනත් විකල්ප නැහැ.

ලෝකයේ සෑම රටක්ම මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පිළිබඳ විශ්වාසය තබා තිබෙනවා. එවැනි විශ්වාසයක් දිනාගත් වෙනත් නායකයෙක් මේවර ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ නැහැ.

රාජ්ය අමාත්ය  ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,

මීට මාස 27කට පෙර මෙරට ජනතාව පෝලිම් යුගයක සහ පැය දහතුනක විදුලිකප්පාදුවකින් ජනතාව පීඩා ලබමින් සිටියා.  රට භාර ගැනීමට සෑම නායකයෙකුටම හිටපු ජනාධිපතිවරයා ඇරයුම් කළා. අද ජනාධිපතිවරණයට තිබෙන උනන්දුව එදා ජනතාව පීඩාවෙන් මුදා ගැනීමට එම නායකයන්ට තිබුණේ නැහැ. ජනාධිපති කාර්යාලය වටලලා, රූපවාහින සංස්ථාවට බලෙන් ඇතුල් වෙලා රට අරාජිකව තිබෙන වෙලාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය බාරගත්තා.  අභියෝගය නායකයෙන් බිහිකරයි කියන්න හොඳම උදාහරණය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි. එතුමා රට බාරගෙන ජනතාව පීඩාවෙන් මුදාගෙන , රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළා.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවකයින් පසුගිය මාර්තු මාසයේ සිට වැඩ වර්ජනයක නිරත වෙනවා. ජනාධිපතිවරයා "උරුමය"වැඩසටහන ක්‍රියාත්මක කිරීම නිසා ඔවුන් කලබල වී තිබෙනවා. මේ වැඩවර්ජනය මෙහෙයවන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මිනින්දෝරු ප්‍රධානියායි. ඔහු ජාතික ජන බලවේගය වෙනුවෙන් දේශපාලනය කරනවා.

රට අරාජිකත්වයට තිබෙන මොහොතේ බාර නොගත් ජනාධිපතිකම වෙනුවෙන් අද සජිත් ප්‍රේමදාසලා , අනුර දිසානායකලා වේදිකාගානේ කියමින් යන කාරණාපිළිබඳව බුද්ධිමත් ජනතාව නැවත නැවත සිතා බැලිය යුතුයි. එසේ සිතා රටේ ආර්ථිකය ගොඩනැංවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ශක්තියක් වෙමු.

පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා,

බිඳවැටි තිබු ආර්ථිකය යථා තත්ත්වයට පත් කර එය නැවත නොවැටෙන ආර්ථිකයක් බවට පත්කිරීම සඳහා නායකත්වයක් ලබාදිය ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි. දේශපාලන පාට පක්ෂ භේදයකින් තොරව මෙම පුළුල් සන්ධානය නිර්මාණය කළේ  ඒ නිසයි.

අනුර කුමාර "රට අනුරට "කියනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්නේ "පුළුවන් ශ්‍රී ලංකා" කියලයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයම ඉතාම සරලයි. එතුමා කළ හැකි දේ පමණක් සරලව ජනතාවට තේරෙන භාෂාවෙන් ලියා තිබෙනවා. සැප්තැම්බර් 21 වැනිදා රට භාර දිය යුත්තේ ‘පුළුවන්’ මිනිහෙකුට මිසක්  ප්‍රාදේශීය සභාවක සභාපති කෙනෙක්වත් වුණේ නැති කෙනෙකුට නෙවෙයි.  මේ රටේ අනුරට ඉඩක් නෑ සජිත්ට ඉඩක් නෑ කියලා අනුරාධපුරේ ජනතාව විසි එක් වෙනදට ඔප්පු කර පෙන්වනවා .

පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.චන්ද්රසේන  මහතා,

අනෙක් ජනාධිපති අපේක්ෂකයෙන් වසර දෙකක් පුරා තමන්ගේ ප්‍රචාරණ කටයුතු කළා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව පීඩාවන් මුදවා ගැනීම සඳහා හා ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ගොඩගැනීම වෙනුවෙන් පසුගිය වසර දෙක කැප කළා.ජනාධිපතිවරයා අද ජනතාව ඉදිරියටට එන්නේ පීඩාවට පත් ජනතාවට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කර දීමෙන් පසුවයි.

ඒ වගේම බිඳ වැටුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර තිබෙන වෙලාවකයි. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ මේවනවිට ජනතාව  අත් විඳිමින් තිබෙනවා.

අනුර දිසානායකලා, සජිත් ප්‍රේමදාසලා  සුරංගනා පොරොන්දු ලබා දෙමින් ජනාධිපති සිහින දකිමින් සිටිනවා. ජනතාව බොරුවෙන් මුලා කරලා කරන්න, ඉටු කරන්න බැරි පොරොන්දු ලබාදී  බලය ලබා ගතහොත් රට විනාශ වෙන එක නවත්වන්න බැහැ. ජනාධිපතිවරයා ආරම්භ කළ ආර්ථික වැඩපිළිවෙළ  නවතා දැමුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීමට හැකියාවක් නැහැ.

හිටපු අමාත්ය පී. හැරිසන් මහතා,

මෙවර මැතිවරණය මගින් තීන්දු කරන්නේ ශ්‍රී ලංකා මාතාවගේ අනාගතයයි. මෙම මැතිවරණයේදී නිවැරදි තීන්දුව ගත්තේ නැත්නම්  රට තවත් බංගලාදේශයක් බවට පත් වීම නවත්වන්න බැහැ. ජවිපෙ ත්‍රස්තවාදයෙන් පසුව 2022 වසරේ නැවත ලේ වැගිරීම් ඇති කරන්න මූලික වුණේ අනුර කුමාර දිසානායකයි. ජනතාවට අනාගත බියක් ඇති කරලා, ප්‍රචණ්ඩත්ව සමාජයක් ඇති කරලා ඔවුන් බලාපොරොත්තු වුණේ බලය ඔවුන්ට ලබාගන්නයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගැනීමෙන් පසුව ඔවුන්ට එම වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න බැරි වුණා.

මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා දෙන්නේ නැහැ වගේම වෛද්‍යවරුන්ට සහ කථිකාචාර්යවරුන්ටද, වාහන බලපත්‍ර නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ කියනවා.  රාජ්‍ය නිලධාරින් බහුතරය සේවයක් නොමැතිව ඉන්න බවත් ජනතාව විමුක්ති පෙරමුණ බලයට පැමිණෙන් පසු එම අතිරික්ත සේවකයන් ඉවත් කරන බවත් අනුර කුමාර දිසානායක වේදිකා ගානේ කියාගෙන යනවා. මේවාට ජනතාව එකඟ වෙනවාද?

පෝරමිටියක් ගන්න නැතුව උතුරු මැද පළාත ජනතාව දුක් විඳපු අතීතය සිහිපත් කරන්න.  රුපියල් 5000ට පොහොර මිටියක් ලබාදෙන බව අනුර කුමාර දිසානායක එයාගේ ප්‍රතිපත්ති  ප්‍රකාශයේ කියනවා. නමුත්  ජනාධිපතිවරයා පොහොර ගැනීම සඳහා ගොවි ජනතාවට රුපියල් 25000ක දීමනාවක් ගොවීන්ගේ බැංකු ගිණුමට මේ වන විටත්  ලබා දෙනවා. ජාවිපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ  සුරංගනා කතා විතරයි. මහ පොළොවේ යථාර්ථයක් කළ හැකි හොඳම ප්‍රතිපත්තිය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර තිබෙනවා. එබැවින් එය ජයග්‍රහණය කිරීමට කැපවෙමු.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, අමාත්ය අලි සබ්රි, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන එස්.සී.මුතුකුමාරණ, ඉශාක් රහුමාන්, වීරසේන ගමගේ, උතුරු මැද පළාත් හිටපු ප්රධාන අමාත්ය එස්.එම්.රංජිත්, එක්සත් ජාතික පක්ෂ කැකිරාව සංවිධායක එස්.බී.අබේසිංහ යන මහත්වරු ඇතුළු පක්ෂ රැසක් නියෝජනය කරමින් ප්රාදේශීය දේශපාලන නායකයන්, ආසන සංවිධායකවරුන්, දිස්ත්රික් සංවිධාකවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more