ජාතිවාදය සහ ආගම්වාදය එපා : ආර්ථිකය ගැන හිතමු

• සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා එක්ව රට ගොඩනඟමු.

• පුද්ගල  කැමැත්ත අනුව භූමදානය හෝ ආදාහනය සඳහා නව නීතියක්.

• කොරෝනා සමයේ මුස්ලිම්වරුන් ආදාහනයට රජයට නිර්දේශ කළ පාර්ශ්ව සතු වගවීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් : අසාධාරණයට ලක් වූවන්ට වන්දි

• රනිල් හොඳ නමුත් වටේ සිටින පිරිස හොඳ නැති බවට රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළත් මෙවර පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නොවේ.

• මම හොඳ නම් මට සහාය දෙන්න : රිෂාඩ් බදුර්දීන් සමඟ සිටින කණ්ඩායමට මෙන්ම මුස්ලිම් කොංග්‍රසයට  ද ජනපතිගෙන් ආරාධනා - ජනපති කාත්තන්කුඩි හා සමන්තුරේ ජන රැලි අමතමින් පවසයි.

කොරෝනා සමයේ මිය ගිය මුස්ලිම් ජාතිකයන් භූමදානය සම්බන්ධයෙන් මතුවු ගැටළුව හේතුවෙන් එම ජනතාව මුහුණ දුන් අසීරුතාව පිළිබඳ කණගාටුව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුද්ගල කැමැත්ත මත භූමදානය හෝ ආදාහනය කිරීමට හැකි වන අයුරින් නව නීතියක් ගෙන එන බවද සඳහන් කළේය.

එසේම  මුස්ලිම්වරු ආදාහනය කිරීමට රජයට නිර්දේශ කළ පාර්ශ්ව සතු වගවීම පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට කමිටුවක් පත් කරන බවත්, මේ හේතුවෙන් අසාධාරණයට ලක් වු පවුල්වලට වන්දි ගෙවීමට ද කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (31) කාත්තන්කුඩි ප්‍රදේශයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටක් ලෙස ඉදිරියට යාමේ දී ජාතිවාදය සහ ආගම්වාදය අවශ්‍ය නොවන බවයි.

සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට අයත් වුවද සියලුදෙනා එක්ව රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට කැපවිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මේ අතර එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීමේ තවත් ජන රැලියක් අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් ඊයේ (31) පස්වරුවේ සමන්තුරේ දී පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හොඳ නමුත් ඔහු වටේ සිටින පිරිස හොඳ නැති බවට රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ මෙවර පැවැත්වන්නේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නොවන බවයි.

වටේ සිටි පිරිස තෝරාගන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකදී බැවින් තමන් හොඳ නම් මෙවර ජනාධිපතිවරණයේ දී තමාට සහාය ලබා දෙන ලෙස රිෂාඩ් බුදර්දීන් මන්ත්‍රීවරයා සමඟ සිටින පිරිසට මෙන්ම මුස්ලිම් කොංග්‍රසයට කියා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.

රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම  බඩු මිල අඩු කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කළද කිසිදු අවස්ථාවක මුස්ලිම් ජනතාවගේ භූමදානය පිළිබඳ ගැටළුව කතා කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටි බවද සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළේ තමන් ප්‍රමුඛ රජය විසින් බවද පෙන්වා දුන්නේය.

සමන්තුරේ පැවති ජන රැලියේ දී අදහස් දැක්වූ ප්රධාන කථිකයන්අමාත්ය අලි සබ්රි මහතා,

මෙවර ජනාධිපතිවරණය ඉතා වැදගත් බව කිව යුතුයි.  එහිදී වැරදි තීන්දුවක් ගනු ලැබුවොත් ජනතාවට නැවතත් දුක් විඳින්න සිදු වෙනවා. 2022 වසරේ දී සිදු වූ දේ නැවත වෙන්න දෙන්න එපා.

වෙනසක් සඳහා ඡන්දය දීමේ ප්‍රතිඵලයක් ලෙස ලෙබනනය, ග්‍රීසිය වැනි රටවල ආර්ථිකය කඩා වැටුණ ආකාරය අපි දැක්කා. ග්‍රීසිය හැර එසේ ආර්ථික අර්බුදට මුහුණ දුන් එක් රටක්වත් ඉන් ගොඩ ඇවිත් නැහැ.

රට අමාරුවේ වැටුණ අවස්ථාවේ රටත් සහ ජනතාවත් වෙනුවෙන් ඉදිරියට ආවේ  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි. මේ වන විට ඉන්ධන, ගෑස්, පොහොර, විදුලිය වගේම ඖෂධ හිඟයකින් තොරව ලබා ගන්න හැකියාව තිබෙනවා. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්න හිතා ගෙන බොහෝ දෙනෙක් බොරු පොරොන්දු ලබා දෙන්න පුළුවන්. නමුත්, එය ඉටු කිරීමට පුළුවන්ද, පුළුවන් නම් ඒ කොහොමද කියා අහන්න ඔබට අයිතිය තිබෙනවා. අපගේ වියදම් නිසි ලෙස කළමනාකරණය නොකළහොත් රට යළිත් අර්බුදයකට එක වළක්වා ගත නොහැකියි.

සජිත් ප්‍රේමදාසගේ පියාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන විට එතුමා රැක ගැනීමට කටයුතු කළ  නායකයාට වසර පහකට රට බාර දෙන්නට තරම් සජිත් ප්‍රේමදාසට ඉවසීමක් නැහැ. නමුත් අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ජයග්‍රහණය කරවනවා.

හිටපු ආණ්ඩුකාර එම් අසාද් සාලි මහතා,

ණය ගෙවා ගැනීමට නොහැකි වූ රටක් නැවත මෙතරම් පිරිසක් සමඟ රැස්වීම් පැවැත්විය හැකි තත්ත්වයට ගෙන ඒම අති සාර්ථකයි. ඒ වගේම මේ මැතිවරණ ව්‍යාපාරය අවසන් වන විට සජිත්ගේ පිලේ ඉතුරු වෙන්නේ ඉතා සුළු පිරිසක් පමණක් බව කිව යුතුයි. ළඟඳීම තවත් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අත්වැල් බැඳ ගන්නවා.

මෙවර ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින්නේ තමන් බව අනුර දිසානායක ව්‍යාජ දත්ත උපුටා දක්වමින් රට පුරා වේදිකාවල කියමින් ඇවිදිනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය අදටත් ජනතාවට අමතක නැහැ. මේ වගේ අයට රටේ පාලනය භාර දෙන්න ඔවුන් සූදානම් නැහැ. රැලිවල පෙන්නන්නේ ඔළුගෙඩි මිස මැතිවරණය දවසට ඡන්ද පෙට්ටියට වැටෙන ඡන්ද නොවෙයි.  මීට පෙර  සමන්තුරේ පැමිණ මුල්ගල් තබා ගිය නිවාස 300 යේ ඉදිකිරීම් අවසන් කර  මේ ප්‍රදේශයේ ජනතාවගෙන් ඡන්දය ඉල්ලන්න එන ලෙස මම සජිත් ප්‍රේමදාසට කියනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ දේශපාලන පරිණතභාවය පෙන්වා ජනතාවගේ ඡන්දය දිනාගෙන ඉවරයි. එය සැප්තැම්බර් 21 වෙනිදා ලබන ඡන්ද ප්‍රතිඵලයෙන් අපට දැන ගන්න පුළුවන්.

පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ්  මහතා,

2022 වසරේ  අපි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාහනයට නැග්ගා. ඒත් ඔහු අපිව කැලේ මැද දාලා ගියා. ඒ අවස්ථාවේ ඒ වාහනය බාර ගන්නා ලෙස සජිත් ප්‍රේමදාස ගෙන් සහ අනුර දිසානායක ගෙන් ඉල්ලා සිටියත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළා.  

ඔවුන්ට අවශ්‍ය වුණේ අලුත් වාහනයක්. ඔවුන් වාහනයේ තත්ත්වය  බලලා පැනලා ගියා.  එම ස්ථානයට රනිල් වික්‍රමසිංහ නම්  පළපුරුදු කාර්මික ශිල්පියා පැමිණියේ ඒ අවස්ථාවේදීයි. කෙසේ වෙතත් කැලෑව මැද සිරවී සිටි වාහනයේ සිටි පිරිස් තමන් බේරා ගන්නා ලෙස එම ශිල්පියා ගෙන් ඉල්ලා සිටියා. ඔවුන්ව බේරාගෙන කැලෑවෙන් එළියට එන විට මුලින් පැනලා ගිය අනුර සහ සජිත් කියනවා වාහනය ඔවුන්ට බාර දෙන්න කියලා. ඉතිං ඔවුන්ට වාහනය දෙන්න ඔබ සූදානම්ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගතය අනෙක් අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ හා සංසන්දනය කරද්දී කොතරම් ප්‍රායෝගිකද කියා වැටහෙනවා.  විපක්ෂය කියන ආකාරයට බදු අඩු කිරීමෙන්  මේ රට තවත් වෙනිසියුලාවක්, ග්‍රීසියක් තත්ත්වයට  ඇද වැටෙනවා.

පාර්ලිමේන්තු මන්ත්රී ඒ. එල්. එම්. අතාවුල්ලා,

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රටේ ප්‍රශ්න විසඳුවාට පස්සේ සියයට 3ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අනුර කුමාර වගේම සජිත් ද තමන්ගේ අත්දැකීම් අඩුකම පෙන්නුම් කරනවා.

ඒ වගේම හකීම්ගේ පාර්ශ්වය කවදාවත් දිනන්නේ නැහැ කියන කාරණය අපේ ජනතාව දන්නවා. රටේ ඕනෑම ප්‍රශ්නයක් අත්දැකීමෙන් විසඳිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි. ජනාධිපතිතුමා සමඟ අපට තිබෙන්නේ එක කොන්දේසියයි. ඒ ශ්‍රී ලංකාවාසී සියලු දෙනා සමඟ එක්ව කටයුතු කළ යුතුයි කියන කොන්දේසිය පමණයි.ඒ වගේම පසුගිය ආණ්ඩුවේ වැරදිවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමාව අයැදීම ඉතිහාසගත විය යුතු කරුණක් බවද සඳහන් කළ යුතුයි.

හිටපු අමාත්ය දයා ගමගේ මහතා,

රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පාට පක්ෂ ආගම් භේදයකින් තොරව සියලු දෙනා එකතු වෙලා සිටීම පිළිබඳ ඉතා සතුටුයි.  අද මෙහි සිටින සියලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් එතුමා නැවත ජනාධිපතිධුරයට පත් කිරීමට වෙහෙසෙන්නේ එතුමා මේ රට බේරා ගත්තා නිසා පමණක් නොවෙයි. නැවත මේ රට 2022 වසරේ තිබූ තත්ත්වයට පත් වනවාටද අකමැති නිසායි. අප සියළු දෙනාගේ අපේක්ෂාව ජනාධිපතිතුමා ‍ගේ වැඩ පිළිවෙළ අඛණ්ඩව පවත්වා ගෙන යමින් රට ඉදිරියට ගෙන යාමයි.

සජිත් ප්‍රේමදාස මහතාගෙන් මොනවා ඉල්ලුවත් දෙනවා කියලයි කියන්නේ. හැබැයි ඔහු ජනාධිපති වෙන්නේ නැති නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට ඕන දෙයක් දෙන්නම් කියන්න පුළුවන්. නමුත් ජනතාවට අවශ්‍ය මොනවද කියලා ජනාධිපතිතුමා දන්නවා. සජිත් එක්ක වැඩිපුර ඉන්නේ මොනවහරි දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්න චම්පික, හකීම්, රිෂාඩ් වැනි අයයි.

කාත්තන්කුඩිහි පැවති ජන රැලියේ දී අදහස් දැක්වූ ප්‍රධාන කථිකයන්

කැබිනට් නොවන අමාත්ය අලිසාහිර් මවුලානා මහතා,

මෙවර ජනාධිපතිවරණයේ  ප්‍රධාන අපේක්ෂකයන් තුන් දෙනා අතර අත්දැකීම් සහ දැනුම සහිත අපේක්ෂකයා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. කාත්තන්කුඩියේ ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඡන්දය ලබා දීමට හේතු රැසක් තිබෙනවා. මේ  ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් සම්බන්ධ ගැටළු විසඳා දීමට කටයුතු කරන බව එතුමාගේ  මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේද සඳහන් කර තිබෙනවා.  ඒ පිළිබඳව අපි ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. නැගෙනහිර පළාතේ ආරම්භ කළ පෞද්ගලික  විශ්වවිද්‍යාලය පසුගිය කාලයේ වසා දැමුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය නැවත විවෘත කර අපේ දරුවන්ට උසස් අධ්‍යාපන පහසුකම් ලබා දීමට පියවර ගත්තා. එසේම වසර ගණනාවක සිට පැවති ඉල්ලීමට අවධානය යොමු කරමින්  කාත්තාන්කුඩි මූලික රෝහල වැඩිදියුණු කිරීමටද ජනාධිපතිතුමා කටයුතු කළා.

ඒ වගේම හජ් වන්දනාව නිම කර පැමිණි මුස්ලිම් ජාතිකය පිරිසක් 1990 වර්ෂයේ දී කුරුක්කල් මඩු ප්‍රදේශයේදී ඝාතනයට ලක් වෙනවා. ඔවුන්ගේ පවුල්වලට  නවාස් කොමිසේ නිර්දේශ මත වන්දි ලබා දීමට  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වී තිබෙනවා. කාත්තන්කුඩි ප්‍රදේශයට අදාළ  බොහෝ ප්‍රශ්න ජනාධිපතිතුමා විසඳා තිබෙනවා. එතුමා නිතරම සිතන්නේ ජනතාවගේ අනාගතය ගැන සහ  අපේ දරුවන්ගේ අනාගතය ගැනයි. ඒ අනාගතය සුරක්ෂිත කිරීමට ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දීමට කටයුතු කරන ලෙස මා ඔබ සැම ගෙන් ඉල්ලා සිටිනවා.

වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා,

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය මේ වන විට ස්ථිරයි. රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් වැනි අය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පක්‍ෂපාතී නොවී මුස්ලිම් ජනතාව නොමඟ යවනවා. පසුගිය මැතිවරණවලදීත් ඔවුන් ජනතාව මෙහෙයවූයේ ඒ ආකාරයටයි.

මේ ආකාරයෙන් ඔවුන් හතර වතාවක් මුස්ලිම් ජනතාව නොමඟ යවා  තිබෙන බව මතක් කළ යුතුයි. නමුත් ඔවුන් සහාය දක්වන අපේක්ෂකයන් කිසි දිනක ජයග්‍රහණය කළේ නැහැ.

ඒ අනුව බලන විටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය ස්ථිරයි.  රටේ ආර්ථිකය ගොඩනැඟීමේ ඉතිහාසයක් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පමණයි. රට තුළ පැවැති අර්බුදකාරී තත්ත්වය තුළ මුස්ලිම් ජනතාව බරපතළ ගැටලුවලට මුහුණ දුන්නා. එම තත්ත්වයෙන් මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නිරන්තරයෙන් කටයුතු කළා.

අද මුස්ලිම් ජනතාවට ජීවත්වීමේ නිදහස තිබෙනවා. ඊට කෘතඥතාව දැක්වීමක්  ලෙස ජනාධිපතිවරයාට ඡන්දය ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

Read more