“පුළුවන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ මඟින් රටේ ආර්ථිකය 2025 – 2026 වන විට සාමාන්‍ය තත්ත්වයට ගෙන එනවා

• හැම දේම නොමිලේ දෙන බව පවසන සජිත් රටේ ආර්ථිකය විහිළුවට අරන්.

• අනුර හදන්නේ අසීරුවෙන් ගොඩනැඟු රටේ ආර්ථිකය නැවත බිඳ දැමීමටයි.

• කෝපි කඩේ කතා කියමින් නොසිට අනුර තමන්ගේ නිවැරදි ආර්ථික සැලැස්ම රටට ඉදිරිපත් කළ යුතුයි - ජනපති ගම්පොළදී.

“පුළුවන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ මඟින් මෙරට ආර්ථිකය 2025-2026 වන විට සාමාන්‍ය තත්ත්වයට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හැමදේම නොමිලේ ලබාදෙන බව පවසන සජිත් රටේ ආර්ථිකය විහිළුවට ගෙන ඇති බව පැවසූ ජනාධිපතිවරයා අනුර දිසානායක සැලසුම් කරන්නේ අසීරුවෙන් ගොඩනැඟු රටේ ආර්ථිකය නැවත බිඳ දැමීමට බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (09) පස්වරුවේ ගම්පොළදී පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලිය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමන් රාජපක්ෂලා ආරක්ෂා කරන බවට සජිත් සහ අනුර චෝදනා කළද තමා ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ රාජපක්ෂලා ආරක්ෂා කිරීමට නොව රටේ ජනතාව ආරක්ෂා කිරීමට බවයි.

එම වගකීම නිසි ලෙසම ඉටු කළ තමා රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ ජනවරම මෙවර ජනාධිපතිවරණයේ දී ඉල්ලා සිටින බව පැවසූ ජනාධිපතිවරයා රට ගොඩනැඟිය හැකි සැලැස්ම “පුළුවන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ තුළ ඇතුළත් බවද කියා සිටියේය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

මම ගම්පොළ දුටු විශාලම ජනකාය අද මෙතනට රැස්ව සිටිනවා. අපි දිනනවා. ඒ බව සහතිකයි. මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ මේ රටේ ජනතාවට කන්න දෙන්නයි. ඒ වගේම ඉන්ධන, ගෑස්, ඖෂධ සපයා දෙමින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් මම ජනාධිපති  ධූරයේ වගකීම භාරගත්තා. වසර දෙකකින් තුළ අප එම වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම නිසා අද මේ රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

මම මේ රට භාරගන්නා විට  රටේ ජනතාව පෝලිම්වල දුක් වින්දා. රට භාරගන්න කිසිම නායකයෙක් ඉදිරිත් වුණේ නැහැ. සජිත්ලා අනුරලා මේ සියලුදෙනා ජනතාව තනි කර පැන දිව්වා. ජනතාවට ආහාර, ඉන්ධන, ගෑස්, ඖෂධ සපයා දෙන්න බැහැ කියලා ඔවුන් බයේ පැන ගියා.

නමුත් මම මේ සියලුදේ ඔබට ලබා දුන්නා. දැන් මට ඔවුන් රනිල් රාජපක්ෂ කියනවා. මම රාජපක්ෂලාව ආරක්ෂා කළා නම් අද ඔවුන් මා සමඟ මේ වේදිකාවේ සිටිය යුතුයි. මම ආවේ ජනතාව ආරක්ෂා කරන්නයි. සජිත් හා අනුර කිසි අවස්ථාවක මට සහාය දුන්නේ නැහැ.

ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් මා සමඟ එක්වෙන්න කියා මම ඔවුන්ට කිව්වා. නමුත් ඔවුන් විවිධ කතා කිව්වා. දැන් රට ඉල්ලන්නේ මොවුන්ද?

මම මේ රට භාර ගන්නා විට රටේ ජනතාවට අනාගතයක් තිබුණේ නැහැ. මම ලෝක නායකයන්ගේ සහාය ලබාගෙන කෙසේ  හෝ මේ රටේ ආර්ථිකය ගොඩගත්තා.

එහිදී මේ රටේ ජනතාවට මහත් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වුණා. නමුත් අසීරු තීන්දු තීරණ හමුවේ වුවද ආර්ථිකය ස්ථාවර කර ගනිමින් රටේ ජනතාවට ක්‍රම ක්‍රමයෙන් සහන ලබාදීමට අපට හැකි වුණා.

දැන් රටට හොඳ ආර්ථිකයක් තිබෙනවා. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මම ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. අපට මේ රට හදන්න පුළුවන්. ඒ නිසා ජනතාවගේ ජීවන බර තවත් සැහැල්ලු කර රැකියා ඇති කිරීමටත්, බදු බර සැහැල්ලු කිරීමටත්, උරුමය සහ අස්වැසුම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, රටේ ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට  පරිවර්තනය කිරීමටත් අප බලාපොරොතු වෙනවා.

මෙම වැඩපිළිවෙළ තුළින් මේ රටේ ආර්ථිකය 2025 – 2026 වන විට සාමාන්‍ය තත්ත්වයට ගෙන දෙන බවට මම සහතික වෙනවා.  ඒ නිසා පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අප සියලුදෙනා ඉදිරියට යමු.

සජිත් අද කියන්නේ හැම එකක්ම නොමිලේ ලබා දෙනවා කියලයි. තව ටික දවසකින් කියයි භාණ්ඩ මිලදී ගන්න ආණ්ඩුවෙන් සල්ලි දෙනවා කියලා. ඔහු ආර්ථිකය විහිළුවට ගෙන. ඒ නිසා ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන අප කථා යුතු නැහැ.

අනුර දිසානයක කියනවා මම ජනාධිපති වුණාහම පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ලබා දෙනවා කියලා. ඔවුන් මේ කියන්නේ කෝපි කඩේ කථායි. ඔවුන් ඇත්ත කියන්න බයයි. මාලිමාව කියන විදියට  අයවැය හැදුවත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. උද්ධමනය 25%ක් දක්වා ඉහළ යනවා.

ඒ නිසා කෝපි කඩේ කතා කියමින් නොසිට තම නිවැරදි ආර්ථික සැලසුම් අනුර දිසානයක රටට ඉදිරිපත් කළ යුතුයි. එයින් ජනතාවට එල්ල වන බර පිළිබඳ ඔවුන් නිවැරදිව ප්‍රකාශ කළ යුතුයි. මේ යෝජනා ඉදිරිපත් කළේ සුනිල් හඳුන්නෙත්ති සහ හර්ෂන සූරියප්පෙරුම නම් ඔවුන් අපට මෙය පැහැදිළි කළ යුතුයි.

ඒ නිසා ඔවුන්ට ආර්ථික සැලැස්මක් නැහැ. මේ රටේ ආර්ථිකය නැවත කඩා දමා ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයට වඩා අසීරු කාලයක් තමයි හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර දිසානායක මහතා මේ රටට ලබා දෙන්න යන්නේ. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේ දී ඔබ බුද්ධිමත් තීරණයක් ගත යුතුයි. ඒ වෙනුවෙන් සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන්න කියා මම සියලු ජනතාවගෙන් ඉල්ලනවා.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත ජනාධිපතිධුරයට පත් කිරීම සඳහා අද රටම රොද බැඳ සිටිනවා. ගම්පොල රැලියකට මෙතෙක් සහභාගි වූ මහා ජන ගඟක්

අද මෙතනට රැස්වී සිටිනවා. හෙට  දිනයේ දී වතුකරේ ජනතාවට  සුබ ආරංචියක් ලැබෙන්න නියමිතයි. ඒ ඔබ බලා සිටි වැටුප් ප්‍රශ්නයට විසඳුමයි.

මේ රටේ තීරණාත්මක මොහොතක ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔබ වෙනුවෙන් ඉදිරිපත් වී තිබෙනවා. එතුමාගේ පාලන කාලයේ නොවුනත් කොරෝනා සමයේ මියගිය මුස්ලිම් ජනතාවගේ අවසන් කටයුතු වලදී සිදු වූ අසාධරණය වෙනුවෙන් එතුමා මුස්ලිම් ප්‍රජාවගෙන්  සමාව ගත්තා.  පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් එතුමා පෙනී සිටියා.

වතුකරයේ  ජනතාව වසර ගණනාවක් තිස්සේ මුහුණ දුන් නිවාස ප්‍රශ්නය ගැන එතුමා අවධානය යොමු කර තිබෙනවා. ලයින් කාමර වෙනුවට නිවාස ලබා දීමට  එතුමා ඉදිරිපත් අවස්ථාවේ කවුරුත් හිතුවේ මේ නිවාස ව්‍යාපෘතිය කවදාවත් වෙන්නේ නැහැ කියලයි. නමුත් ඒ පිළිබඳව  ජනාධිපතිතුමා දුන්  පොරොන්දුවක් ඉටු  කර තිබෙනවා. සැප්තැම්බර් 21 වෙනිදා අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කරනවා. රටේ අනාගතය වෙනුවෙන් ඔබේ ඡන්දය ගෑස් සිලින්ඩරයට ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා,

2005 වසරේ අපට තිබුණු ලොකුම ප්‍රශ්නය වුණේ තිස් වසරක් පැවති යුද්ධයයි. ගමට මිනීපෙට්ටි එන යුගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නවතා දැමීමට කටයුතු කළා. 2020 වසරෙදි කොරෝනා වසංගතය පැමිණියා. එම අවස්ථාවේදී කොරෝනා වලින් ජනතාව බේරා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළා. එතුමා ජනතාවගේ ජීවිත බේරා ගැනීමට දක්ෂ වුණත් බරපතල ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට හැකියාව තිබුණේ නැහැ. ඒ නිසා රට අඩියටම කඩාගෙන වැටුණා. ඉන්ධන , ආහාර, ගෑස් ගෙන ඒමට භාණ්ඩාගාරය කිසිදු ඩොලර්යක් තිබුණේ නැහැ. ඒ වෙලාවෙදි අරගලය ඉස්මතු වෙලා තිබුණා. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුව භාර ගැනීමට විපක්ෂයට ආරාධනා කළා. එහිදී කිසිදු නායකයෙක් රට බාර ගැනීමට කැමති වුණේ නැහැ. නමුත් පාර්ලිමේන්තුවේ  එක් අසුනක් තිබුණු රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගන්න කටයුතු කළා. දැන් සජිත්ලා අනුරලා පම්පෝරි ගහගෙන වේදිකාගානේ කයිවාරු ගහනවා. නමුත් අර්බුදය වෙලාවෙදි ජනතාව පීඩාවෙන් මුදවා ගැනීමට ඔවුන් ඉදිරිපත් වුණේ නැහැ.

මාතෘ භූමිය අසරණ වෙලා ඉන්න වෙලාවේ කිසිදු නායකයෙක් රට භාර නොගත් වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහතා ලෙස රට භාරගත්තා. රට භාරගෙන ආර්ථිකය කළමනාකරණය කිරීමට ඉදිරිපත් වුණා. අද ජනතාවට ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා සියල්ලලබාදීමට එතුමා කටයුතු කර තිබෙනවා. ඒ නිසා ඉදිරි වසර පහ තුළදී එතුමා ශ්‍රී ලංකා ආර්ථිකය කඩා නොවැටෙන තැනකට පත් කිරීමේ කාර්ය සිදු කරන බව අපට විශ්වාසයි.

අර්බුද අවස්ථාවේ ජනාධිපති ධූරය භාර නොගෙන පැන ගිහින් සමාජ මාධ්‍ය මාධ්‍ය වලින් ජනාධිපතිවෙන්න හදන කිසිදු නායකයකුට රට ගොඩ ගැනීමට සැලසුමක් නැහැ. එනිසා ජනතාව සිහින පොරොන්දුවලට තමන්ගේ මනාපය දෙන්නෙ නැති බව මට විශ්වාසයි. සැප්තැම්බර් 21 වනදාට සිලින්ඩරය ලකුණට මනාපය දී 09වන විධායක ජනාධිපතිවරයා ලෙස නැවත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කරගනිමු.

රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා,

ලංකා ඉතිහාසයේ හැදුණු දැවැන්තම වේදිකාව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම ලෙස ඉදිරියට ඇවිත් තිබෙනවා. "අනම් මනං වානා  රනිල් තමයි ඕනා" කියන පණිවිඩය අද ගම්පොළ ජනතාව රටට දී තිබෙනවා. මේ රටේ අගමැතිකම වෙන්දේසියේ දැමූ ඉතිහාසයේ එකම විපක්ෂ නායකයා සජිත් ප්‍රේමදාස මහතායි. ආණ්ඩුව වැටෙන වෙලාවේදි හැමදාමත් ආණ්ඩු පක්ෂය  ලබා ගත්තේ විපක්ෂයයි. නමුත් රට ආර්ථික අර්බුදයක් ඇතිවූ වෙලාවෙදි අගමැතිකම බාර දෙන්න  සජිත් ප්‍රේමදාස මහතාට එදා අගමැතිධුරය භාර ගන්න ආරාධනා කරන විට ඔහු පැනලා ගියා. මේ කිසිම නායකයෙක් ජනතාව දුක් විඳින වෙලාවේ රට භාර ගැනීමට කැමති වුණේ නැහැ.

අද හැමතැනම ගහලා තියෙනවා "රට අඳුරට" කියලා, ඔය කියන කෙනා රටට පත්වුණොත් රට අඳුරට යන එක වළක්වන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණට රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න දර්ශනයක් වැඩපිළවෙළක් නැහැ.

සැප්තැම්බර් 21 වැනිදා අප මේ රටට පත් කරන්නේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවට නායකත්වයක් ලබා දිය හැකි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව විශ්වාසයෙන් යුතුව කියනවා.  මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය සුබයි වගේම සමස්ත මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලයත් රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාම සුබයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

අද අපි මේ රැස්වීම පවත්වන වෙලාවේ  සජිත්ගේ මහනුවර රැළිය පැවැත්වෙනවා. දාහක් විතර සෙනඟ ඉන්නවා. අද ගම්පොළ රැළියේ ඉන්න මේ සෙනග  දිහා බැලූ විට රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් වන බව මට විශ්වාසයයි. පසුගියවර පොදු ජන පෙරමුණෙන් මන්ත්‍රීවරු හය දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. ඉන් පස්දෙනෙක්ම ඉන්නේ ජනාධිපතිතුමා සමඟයි. පොහොට්ටුවේ එක්කෙනෙක් විතරක් සජබයට පැන්නා. සජබ එක්කෙනෙක් අපි ගත්තා. අද මැතිවරණ වේදිකාවේ දැවැන්තම සන්ධානය නිර්මාණය කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , පොදු ජන පෙරමුණ,  එක්සත්  ජාතික පක්ෂය, මුස්ලිම් කොංග්‍රසයේ බහුතරය ඉන්නේ අප සමගයි.  රාවුෆ් හකීම් අකුරණ වේදිකාවට ගොඩවෙලා  සජිත්ට ඡන්දය දෙන්න කිව්වම ජනතාව හූ කියලා බැස්සුවා.

1988 වසරට පසුව ඉපදුන තරුණයින් කියනවා මාලිමාව දිනයිලු. මාලිමාවට දිනන්නත් බෑ. දින්නත් කරන්නත් බෑ.  ජනතා විමුක්ති පෙරමුණ 88-89 කාලෙදි කරපු දේවල් 2022 වසරේ දී මාලිමාව යටතේ සිදු වුණා.  මාලිමාව යටතේ එදා ගෙවල් ගිනි තිබ්බා . ඒ වගේම තමයි බස් ගිනි තිබ්බේ. මාලිමාව දිනන්න නම් ඡන්ද ලක්ෂ හැත්තෑවක් ගන්න අවශ්‍යයි. එහෙම ගන්න නම් එක දිස්ත්‍රික්කයෙන් වැඩි ඡන්ද ලක්ෂ තුනක් ගන්න අවශ්‍යයි.  ඒ කියන්නේ මහනුවරින් ලක්ෂ අටක් ගන්න ඕන. කුරුණෑගලින් ලක්ෂ අටක් ගන්න ඕනේ.  නමුත් ජනාධිපතිවරණ සටන රනිල් වික්‍රමසිංහ මහතා පටන් ගත්තේ ඡන්ද ලක්ෂ හතලිහක් සාක්කුවේ දාගෙනයි.  අනුර දිසානායක ඡන්ද සටන ඡන්ද ලක්ෂ තුන හමාරකින් බවත් කිව යුතුයි.

2022 දී දවසට පැය 14 ක විදුලි කප්පාදුවක් තිබුණා. ආහාර, ඉන්ධන ,ගෑස්  තිබුනේ නැහැ. ආර්ථිකය කඩා වැටුණු රටක් තිබුනේ. සමහර මිනිසුන් රටින් ගියා. එහෙම වැටුණු රට රනිල් වික්‍රමසිංහ මහතා භාරගෙන විධායක බලතල පාවිච්චි කරලා සාමකාමී පරිසරයක් නිර්මාණය කළා. ආර්ථිකය දියුණු කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.

ඒ නිසාම ජනතාවට ජීවත්වීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට හැකි වුණා. අද කිසිදු භාණ්ඩ හෝ සේවා හිඟයකින් තොරව ලබාගත හැකියි.මේ ආර්ථික තත්වය ඇති කළේ රනිල් වික්‍රමසිංහ මහතායි.

මේ ගමේ ප්‍රාදේශීය සභා මැතිවරණය නොවෙයි, පාර්ලිමේන්තු මැතිවරණයක් නොවෙයි.  මෙය වසර පහක් විධායක බලය ලබාදෙන ජනාධිපතිවරණයයි. ඒ නිසා මේ මැතිවරණයේදී තීන්දු කරන්නේ නැවත පෝලිම් යුගයකට යනවද නැද්ද කියන කාරණයයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසයි.  එතුමා ස්වාධීන අපේක්ෂකයෙක් වී ඉදිරියට පැමිණියේ රට ගොඩනඟන වැඩපිළිවෙල දියත් කර ජනතාවට පහසුවෙන් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කර පෙන්නලයි. එසේ නම් සැප්තැම්බර් 21 වැනිදා කියන්නේ මේ රටේ ඉරණම තීන්දු කරන දවසයි. එසේ නම් ණය ගෙවන්න නොහැකිව සිටි  අපි, කන්න බොන්න බැරුව හිටපු අපි, ජීවත් කරපු නායකයා දිනවීමට අපි කැප වෙමු.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා,

සමාජ මාධ්‍ය තුළින් නිර්මාණය වන ජනාධිපතිවරුන්ට ප්‍රායෝගික ජනාධිපතිධූරයේ කටයුතු කරන්න බැහැ. එය 2019 වසරේදී ජනාධිපති ධුරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේදී ජනතාවට අත්දකින්න සිදුවුණා.  ඒ නිසා ආර්ථික කළමනාකරණය කිරීම කළ හැකි නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. එතුමා ජයග්‍රහණය කිරීම වෙනුවෙන් අපි සියලු දෙනා කැපවිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී  උදයන කිරිදිගොඩ මහතා,

2022 වසරේ මැයි නව වෙනිදා  මේ රටට ගිනි තැබූ කණ්ඩායම් අද ජනාධිපති ධූරය ඉල්ලා පැමිණ සිටිනවා. රටක් ගිනි තියලා රටක් ගොඩගන්න බෑ කියලා ඔවුන්ට තේරෙන්නේ නැහැ. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගිනි තියන්නේ නැතුව රට ගොඩනගන හැටි කරලා පෙන්නුවා. එම නිසා රට ගොඩනගන විදිහේ මෙහෙයුමට ඔබලාත් එකතු වෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා,

ආර්ථික අර්බුදය තිබෙන අවස්ථාවේ කිසිදු නායකයෙක් ජනාධිපති පුටුව භාරගන්න කැමති වුණේ නැහැ. අද එම නායකයින් පොරොන්දු දේශපාලනයක් ඉදිරියට දමා ජනතාවට සිහින විකුණමින් සිටිනවා. නමුත් ආර්ථිකය කළමනාකරණය කර රට යථා තත්ත්වයට පත් කළ නායකයා කවුද කියා ජනතාව හොඳින්ම දන්නවා. ඔවුන් එය අත්දුටුවා. මේ කළමනාකරණය ශ්‍රී ලංකාවට ඉදිරි වසර පහ තුළදී ද අවශ්‍යයි. නැවත නොවැටෙන ආර්ථිකයක් නිර්මාණය  කළ හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය,

අපේ මාතෘ භූමිය අර්බුදවලට මුහුණ දෙන හැම අවස්ථාවක දීම මේ රට ගොඩ ගන්න පක්ෂයක් පාටක් නැතුව අත දිගු කළ අයෙක්  වෙයි  නම්  ඒ ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.

2022 දී  මේ රට බංකොලොත් වී, අර්බුදයට පත්ව තිබූ  වෙලාවේ, ජීවත් වෙන්නේ කොහොමද  කියන ප්‍රශ්නයට  විසඳුම දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව අමතක කරන්න එපා. විපක්ෂයේ මන්ත්‍රීවරියක් ලෙස මා ඒ දෙස  බලා සිටියා.

අද තමන්ව දිනවන්න කියමින්  හන්දියක් ගානේ ගිහින් පොරොන්දු දෙන සමහර අය මෙතුමා ජනතාව විඳින දුක නිවීමට එකතු වෙන්න  කියලා ඉල්ලා සිටියදී හාස්‍යයට, උපහාසයට ලක් කළා.  ඒවේලාවේ ඔබලාගේ බඩගින්න ඔවුන්ට දැනුණේ නැහැ. මම  බොහොම අමාරුවෙන්ඒ හැසිරීම දෙස  බලාගෙන හිටියා.

ඡන්ද හැටනම ලක්ෂයකින් පත්වුණ නායකයා පැනලා ගියාම රටේත් ජනතාවගේත්  ආරක්ෂාව, භාර ගත්ත රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ.

මේ මැතිවරණ ව්‍යාපාරයේ තවම එතුමා අවසන් කළේ  සියයට 50යි.  තව සියයට 50ක් අවසන් කිරීමට තිබෙනවා.  අත්දැකීම් නැති සමහරු  අද රටේ නායකත්වය ඉල්ලනවා. එවැනි පසුබිමක මෙරට සිටින පරිණත, අත්දැකීම් ඇති, ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගත්ත නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා  ජනාධිපති කරවන්න,  ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ගහලා දිනවන්න කියා මා  ඔබෙන් ඉල්ලා සිටිනවා.

මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන්ද හිටපු පළාත් සභා මන්ත්‍රී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය, විවිධ පක්ෂ නියෝජනය කරමින් පළාත් පාලන ආයතන හිටපු ප්‍රධානීන්  සහ සභිකයින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Read more