මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්ම සකස් කිරීමට ලබන වසරේදී ජාතික කාන්තා සමුළුවක්

• පසුගිය ආර්ථික අර්බුදය හමුවේ වැඩිම පීඩාවකට පත්වූයේ මෙරට කාන්තාවයි : ආර්ථික ගැටළු විසඳමින් සමස්ත කාන්තාවන්ට සහනයක් ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා.

• කාන්තාවන් වෙනුවෙන් යුක්තිය සහතික කිරීමට තවදුරටත් කැපවී ක්‍රියා කරනවා -  ජනපති කාන්තා සමුළුව අමතමින් පවසයි.

මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට ලබන වසරේදි කාන්තා සමුළුවක් කැඳවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඔවුන් සවිබල ගැන්විම වෙනුවෙන් නව නීති ප්‍රතිසංස්කරණ රැසක් රජය පසුගිය දෙවසර තුළ සිදු කළ බව පැවසු ජනාධිපතිවරයා මෙරට කාන්තාවන් වෙනුවෙන් යුක්තිය සහතික කිරීමට තමා තවදුරටත් කැපවී සිටින බවද සඳහන් කළේය.

එසේම පසුගිය ආර්ථික අර්බුදය හමුවේ වැඩිම පීඩාවකට පත්වූයේ මෙරට කාන්තාවන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආර්ථික ගැටළු විසඳමින් සමස්ත කාන්තා පරපුරට සහනයක් ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවද ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ(13) කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති කාන්තා සමුළුව අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම කාන්තා සමුළුවට දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.

කාන්තා සමුළුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගොඩනැගෙන මෙරට ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

ඔබ අතරින් බොහෝ දෙනෙක් ස්වයං රැකියාවල එහෙම නැත්නම් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන්ගේ නිරත වන බව දැන ගන්නට ලැබීම මට සතුටක්. ඒවගේම ඔබ මුහුණදෙන ගැටළුවලට සවන්දීමට හැකි වීමද මා ඉතා වැදගත්කොට සලකනවා.

පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් මතු වූ ප්‍රශ්න නිරාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ඔබට අවශ්‍ය සහාය ලබාදීම පිළිබඳ රජයක් ලෙස අපේ අවධානය යොමුව තිබෙනවා.

එසේම පසුගිය කොවිඩ්-19 වසංගතය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල යෙදී සිටින බොහෝ දෙනෙකුට ගැටලු ඇති කළා. ආර්ථික අර්බුදයත් සමඟ මෙම ප්‍රශ්න ඉතා නරක අතට හැරුණා.

කිසිඳු නායකයකුට රට පාලනය කිරීමේ වගකීම භාර ගැනීමට නොහැකි වීම නිසා ඇති වූ ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ මෙරට සමස්ත ආර්ථික සහ දේශපාලන ව්‍යුහය කඩා වැටීමකට ලක් වුණා. එනිසා අප දැන් එම සමාජ ව්‍යුහය නැවත යථා තත්ත්වයට පත් කළ යුතුයි.

එහිදී අප වෙනස් ආකරයට සිතිය යුතුයි. අපට පැරණි ක්‍රමය මත විශ්වාසය තැබිය නොහැකියි. මා සහ අනෙකුත් අපේක්ෂකයින් අතර ඇති වෙනස එයයි. ඔවුන්ට පැරණි ක්‍රමය නැවත ඇති කිරීමට අවශ්‍ය නමුත් එමඟින් රට විනාශ වෙනවා මිස දියුණු වන්නේ නැහැ.

ඒ නිසා අප නැවතත් පැවති තත්ත්වයට පත් විය යුතු නැහැ. එබැවින් අප අපනයන ආර්ථිකයක් පිළිබද අවධානය යොමු කරමින් දිගුකාලීන වෙනස්කම් පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. එහිදී කෘෂි නවීකරණය සහ ස්වයං රැකියා අවස්ථා කෙරෙහි අවධානය යොමු කරමින් අපනයන ඉලක්ක කරගත් ඩිජිටල් හා හරිත ආර්ථිකයක් කරා අප ගමන් කරමින් සිටිනවා. මෙම පරිවර්තනය  සඳහා කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීමට ද අප කටයුතු කරනවා.

එහිදී අප ප්‍රධන ක්ෂේත්‍ර දෙකක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. පළමුවැන්න කාන්තා සවිබල ගැන්වීමේ පනත හරහ මෙරට කාන්තා ප්‍රජාව සවිබල ගැන්වීමයි. ඒ වගේම අප ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත ද ඉදිරිපත් කර තිබෙනවා. එය කාන්තාවන් සහ පුරුෂයන් අතර සමානාත්මතාවය ඇති කිරීම අරමුණු කර ගෙන ඉදිරිපත් වූවක් මිස ඊට වඩා දෙයක් එහි අන්තර්ගත වන්නෙ නැහැ. එමගින් සෑම ලිංග භේදයකටම අයත් පුද්ගලයන්ට රජය විසින් සමානව සලකන පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් යුක්තිය සහතික කිරීමට මම තවදුරටත් කැපවී ක්‍රියා කරනවා.

කාන්තා සවිබල ගැන්වීම සහ සමානාත්මතාවය සම්බන්ධයෙන්, අප මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ අපි මේවා පුළුල් ලෙස ක්‍රියාත්මක කරන්නේ කෙසේද සහ අප ඉටු කළයුතු භූමිකාව කුමක්ද යන්නයි. දේශපාලනයේ නිරතවන කාන්තාවන් පිළිබඳ පමණක් නොවෙයි, ව්‍යාපාර සහ කළමනාකාරීත්වයේ නිරතවන කාන්තාවන් පිළිබඳවද අප කතා කළ යුතුය. එහි අනුපාතය කුමක්ද යන්න සොයාබැලිය යුතුයි. ශ්‍රී ලංකාව තුළ, අපි තවමත්  ස්ත්‍රී පුරුෂ අනුපාත ස්ථාපිත කර නැහැ. දෙවනුව අපේ අවධානය යොමු වන්නේ සමාජ සාධාරණත්ව කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහායි. එය සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන තවත් නීතියක් බවට පත්වෙනවා.

පංතිය, කුලය සහ වෙනත් ප්‍රශ්න මත පවතින පක්ෂග්‍රාහීව කටයුතු කිරීමේ අභියෝගය අප ජය ගත යුතුයි. අපි මෙය සිදු කරන්නේ නම්, සාධාරණ සමාජයක් සහ විවිධ මට්ටම්වල කාන්තා නියෝජනය සහතික කළ යුතුයි.

ලබන වසරේදී කාන්තා සංවිධානවලට එකට එක්ව ශ්‍රී ලංකාවේ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට අවස්ථාව හිමිවන බවද පැවසිය යුතුයි.

මට ඇහුම්කන් දීම සඳහා මෙහි පැමිණීම පිළිබඳ සියලුදෙනාට ස්තූතිවන්ත වෙමින් සැප්තැම්බර් 21 වන දින ගෑස් සිලින්ඩරය ඉදිරියේ ඔබේ ජන්දය සලකුණු කරන ලෙස ඉල්ලා සිටිනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය,

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්වන කැපවීම සහ කාන්තාවන්ගෙන් සමාජයට ලබාදෙන විශාල දායකත්වය අගය කරමින් කටයුතු කිරීම සැබැවින්ම ප්‍රශංසනීයයි. කැපී පෙනෙන කාන්තා චරිත කිහිපයක් සමඟ ඔබ ජීවිත කාලය පුරාම කටයුතු කර ඇති නිසා මෙවැන්නක් සිදුවීම පුදුමයක් නොවන බව කිවයුතුයි.

ජනාධිපතිතුමනි, ඔබතුමාගේ දිවංගත මෑණියන් වන නාලිනී වික්‍රමසිංහ මහත්මිය මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී චරිතයක් වූ අතර, අද අප සමඟ මේ අවස්ථාවට එක්ව සිටින ඔබේ ආදරණීය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ශ්‍රී ලංකාවට හිමිවූ බුද්ධිමත් කාන්තාවන් අතර ප්‍රමුඛතම ස්ථානයක සිටිමින් විශිෂ්ටතම ජනාධිපති බිරිඳ ලෙස ගෞරවයට පාත්‍ර වෙනවා. එමෙන්ම කාන්තාවන්ගේ රැකියා පිළිබඳ මෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීම් වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටින ශානිකා වික්‍රමසිංහ මෙනවිය ද අප මෙහිදී සිහිපත් කළ යුතුයි. එතුමිය මෙම අවස්ථාව සංවිධානය කිරීම වෙනුවෙන් විශාල වෙහෙසක් දැරුවා.

වෘත්තීය ජීවිතය පුරාවටම ඔබ ශ්‍රී ලංකාවේ මිලියන 11කට ආසන්න කාන්තාවන් වෙනුවෙන් වෙහෙස නොබලා පෙනී සිටියා. විශේෂයෙන්ම අභියෝගාත්මක කාලවලදී කාන්තාවන්ට සහයෝගය දැක්වීම, කාන්තාවන් ආරක්ෂා කිරීම සහ නායකත්වය දීම සඳහා ඔබතුමා එදා මෙන්ම අදත් කැපවී ක්‍රියා කළා. 2022 වසරේදී ඔබ මෙරට නායකත්වය භාරගන්නා අවස්ථාව වන විට, මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකික මව්වරුන් විශාල අවිනිශ්චිතතාවකට මුහුණ දෙමින් සිටියා. එය සියලු අභියෝගයන් භාර ගනිමින් ඔබතුමා අධිෂ්ඨානශීලීව කටයුතු කරමින් ඒ අවිනිශ්චිතතාව නැති කිරීමට කටයුතු කළා.

කාන්තාවන්ට දිගු මතකයක් තිබෙනවා. එනිසා 2022 වසරේදී මේ රට බාරගනිමින් ඔබතුමා ඔවුන්ට අත්කර දුන් ජයග්‍රහණ ලේසියෙන් අමතක වන්නේ නැහැ. එනිසා එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඔවුන්ගේ කෘතඥතාව ජනාධිපතිතුමාට දක්වනු ඇති බව මට විශ්වාසයි.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා සීතා අරඹේපොල මහත්මිය,

මා මේ දේශපාලන කඳවුර තුළ හිට ගන්නේ වසර දෙකක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ  දේ ඇස් පනා පිට දකින්න ලැබුණු නිසයි. මෙහි රැස්ව සිටින කාන්තා ඔබද වසර දෙකක අත්දැකීම් තුළින් නැවතත් එතුමා ජනාධිපතිධූරයට පත් කිරීමට  විශ්වාසය ඇති කර  ගෙන තිබෙන බව මා විශ්වාස කරනවා.

පසු ගිය දෙවසර තුළ ගෑස්, ඉන්ධන, ආහාර, ඖෂධ වැනි අත්යවශ්ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා දීම පිළිබඳව බොහෝ දෙනා කතා කරනවා. නමුත් අස්වැසුම, උරුමය වැනි වැඩසටහන් තුළින් වැඩිම සහනය ලබා ගත්තේ මේ රටේ කාන්තාවන් බව ඔවුන් කතා කරන්නේ නැහැ. පාර්ලිමේන්තු කාන්තා සංසදය හරහා මට ද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමඟ ශ්රී ලංකාවේ කාන්තාවන් වෙනුවෙන් වගකිව යුතු මැදිහත් වීමක් සිදු කිරීමට අවස්ථාව ලැබුණා. අපගේ යෝජනා කෙරෙහි එතුමා ඉතා ඕනෑ කමින් අවධානය යොමු කළ බව කිව යුතුයි. එම නිසා කාන්තා සුබ සාධනය වෙනුවෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ කාන්තා සංසදයට ඉතා පහසු පරිසරයක් නිර්මාණය වුණා.

එසේම කාන්තාවන් සඳහා ස්වයං රැකියා ආරම්භ කිරීමට අවම පොලියක් යටතේ ණය ලබා දීම, උකස් කළ රන් භාණ්ඩ සඳහා සහන ලබා දීම වැනි සෘජුවම කාන්තාවන්ට සහන ලබා දීම වැනි කටයුතු රැසක් ද එතුමාගේ නායකත්වය යටතේ සිදු වුණා. දිවයින පුරා ගම්දනව්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මඟින්ද කාන්තාව තම පවුල තුළ ශක්තිමත් වන බව සිහිපත් කළ යුතුයි.

මේ සියල්ලටම වඩා කාන්තාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාන්තා හිංසනය පිටුදැකීම  වෙනුවෙන් රටපුරා පොලිස් ස්ථානවල වෙනම ඒකකයක් පිහිටුවීමද, ඒ සඳහා අවශ්‍ය කාන්තා පොලිස් නිලධාරීන් බඳවා ගැනීමද සිදු කරනු ලැබුවා. මෙහිදී එක් පිරිසකට රැකියා ලබා දීමද, තවත් පිරිසකට පෞද්ගලිකත්වයට හානියක් නොවන ආකාරයට නීතියේ රැකවරණය ලබා ගැනීමටද අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන් කාන්තා සවිබල ගැන්වීමේ පනත තුළින් කාන්තාව සුරක්ෂිත කිරීමට එතුමා ගනු ලැබූ පියවර කාන්තාවන් ලෙස අප ලැබූ ජයග්‍රහණයක් බව කිව යුතුයි.

මෙහිදී කාන්තාවන් මතුකළ ප්‍රශ්න කිහිපයක් සහ ජනාධිපතිවරයා ඊට ලබා දුන් පිළිතුරු මෙසේය,

ප්‍රශ්නය

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමයට ඔබතුමා කටයුතු කරනවාද?

පිළිතුර

අප මේ වන විට කාන්තා සවිබල ගැන්වීමේ පනත ඉදිරිපත් කර තිබෙනවා. මම ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ පසුගිය වසර දෙකක කාලය තුළ, අධීක්ෂණ කාරක සභාවේ සහයෝගය ඇතිව එම පනත සම්මත කර ගැනීමට කටයුතු කළා. ඊළඟ පියවර වන්නේ එම පනත ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමයි.

පළමු පියවර විය යුත්තේ කාන්තා නියෝජනය සුරක්ෂිත කිරීම සහ කාන්තා සවිබල ගැන්වීමේ කොමිෂන් සභාව ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව කාන්තාවන් අතර ජාතික මට්ටමේ කතිකාවතක් ආරම්භ කිරීමයි.

කෙසේ වෙතත්, අප ඒ සඳහා ප්‍රමුඛත්වය ලබා දීම ඉතා වැදගත් වෙනවා. වහාම අවධානය යොමු කළ යුතු සහ පසුව කටයුතු කළ හැකි ක්ෂේත්‍ර මොනවාද යන්න අප තීරණය කළ යුතුයි. කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පැහැදිළි පස් අවුරුදු සැලැස්මක් සකස් කිරීම, ප්‍රමුඛතා ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ පුද්ගලයින් පුහුණු කිරීම සහ සංවිධාන ගොඩනැගීම අත්‍යවශ්‍ය වෙනවා.

බිම් මට්ටමින් දැනට කාන්තා සංවිධාන ප්‍රමාණය අඩු බැවින් තවත් කාන්තා සංවිධාන පිහිටුවීම ප්‍රවර්ධනය කළ යුතුයි. මීට අමතරව, ගම් මට්ටමේ කටයුතු හසුරුවන ජනසභාව තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම ඉතා වැදගත් වෙනවා. මෙය ආරම්භය පමණයි.

විවිධ ව්‍යවසායන් සහ ආයතනවල කාන්තා උපදේශක කමිටු පිහිටුවීමත් අපේ අරමුණු අතර තිබෙනවා. මෙය කළ හැකි වුවද, ක්‍රියාත්මක කිරීමේ සැලසුම් කෙටුම්පත් කිරීමට නිලධාරීන්ට පමණක් ඉඩ නොදී,  සමූහයක් ලෙස ඔබ මෙම ගැටලු විසඳා ගන්නේ කෙසේද යන්න තීරණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

ප්‍රශ්නය

මව්වරුන් බවට පත්වන කාන්තාවන් නැවතත් රටේ ශ්‍රම බලකායට එක්කර ගැනීමටත්, කාන්තා උපාධිධාරීන් ශ්‍රම බලකායට එක් කර ගැනීමටත් ඔබතුමා සතු සැලසුම් මොනවාද?

පිළිතුර

මෙරට  ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය වැඩි කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ ඇතිකරගත් ගිවිසුම්වල ද මේ පිළිබඳ කරුණු අන්තර්ගත වෙනවා. එබැවින් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අප දැන් අවධානය යොමු කර තිබෙනවා.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, කොළඹ මහ නගර සභාවේ හිටපු පුරපතිනි රෝසි සේනානායක යන මහත්මීන් ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more