එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණය හේතුවෙන් ජීවනෝපායට බලපෑම් එල්ල වූ සියලු ධීවර ජනතාවට කඩිනමින් වන්දි

• මොරටුව වඩු කාර්මිකයන්ටත් විශ්රාම වැටුපක් සහ සමාජ ආරක්ෂණ ක්රමයක්.

• වරාය පහසුකම් වැඩිදියුණු කිරීමට ඉදිරියේ දී පුළුල් සැලැස්මක්.

• වත්මන් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවාද? නැද්ද? ජනතාව තීන්දු කළ යුතුයි- ජනපති මොරටුව ජනතාව සමඟ පැවති හමුවේ දි කියයි.

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණය හේතුවෙන් ජීවනෝපායට බලපෑම් එල්ල වූ ධීවර ජනතාවගෙන් කොටසකට වන්දි ගෙවීම් මේවන විටත් සිදු කර තිබෙන බවත්  ඉතිරි කොටස සඳහා ද අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ  ඊයේ (08) රාත්‍රියේ මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේ දි එම ජනතාව හමු වූ අවස්ථාවේ ඔවුන් සිදු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

එහිදී මොරටුව ප්‍රදේශයේ ජීවත්වන වඩු කාර්මිකයන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන ලෙස සිදු කළ ඉලලීමට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ අවිධිමත් ශ්‍රම වෙළෙඳපොලේ රැකියා කරන සියලු දෙනා වෙනුවෙන් ආරම්භ කරන  විශ්‍රාම වැටුප සහ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ පිළිබඳව ‘පුළුවන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ සඳහන් කර තිබෙන බවයි.

වරාය පහසුකම් වැඩිදියුණු කරන ලෙස මෙහිදී ඉදිරිපත් කෙරුණු යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ  ත්‍රිකුණාමලය වරායේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් පවතින අතර  ඊට සමගාමීව හම්බන්තොට සහ කොළඹ වරායද සංවර්ධන කෙරෙන බවයි.  චීනයේ චෝංකිං වෙත ගමන් කිරීම සඳහා මියන්මාරයේ ඉදි කෙරෙන නව වරායත් සමඟ බෙංගාල බොක්ක කලාපයද සම්බන්ධ කිරීමට උත්සාහ දරමින් සිටින බවත්, ඒ අනුව  ඉන්දියන් සාගරයේ බටහිර සහ නැගෙනහිර කලාප  දෙකම නාවික ගමනාගමනය සඳහා සංවර්ධනය කිරීමට හැකි වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මත්ද්‍රව්‍ය විරෝධී අණදෙන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට මා බලාපොරොත්තු වෙනවා. මත්ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනය,මත්ද්‍රව්‍ය පාලනය කිරීමට ගන්නා පියවර සහ මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වී දඬුවම් විඳින තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම ඇතුළු සියලු කටයුතු මෙම ආයතනය මගින් සිදුකිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පවතින නීතිවලට වඩා දැඩි නීති ක්‍රියාත්මක කිරීමටත් අප බලාපොරොත්තු වනවා.

මම මේ රට භාර ගන්නා විට, අපේ ආර්ථිකයට, පවතින  ණයබර දැරිය නොහැකි බවත්, ආර්ථිකය කඩා වැටෙනු ඇති බවත් ජාත්යන්තර මූල්ය අරමුදල ප්රකාශ කර තිබුණා.

අපට ණය ගෙවීමට නොහැකි වුණා. ණය තිරසරභාවය නැතිවුණා. ඒ අනුව ණය ගෙවීම සඳහා ණය තිරසරභාවය ඇති කරගත යුතු වුණා. ණය ගැනීමත්, මුදල් මුද්‍රණය කිරීමත් නතර කිරීමට අපට සිදුවුණා. රාජ්‍ය බැංකු වලින් ණය ලබා ගැනීමද සිදු නොකරන ලෙස අපිට දැනුම් දුන්නා. එම බැංකු සඳහා මුල්‍ය ප්‍රාග්ධනය යෙදවීමට අපට සිදු වුණා.

මෙම තත්වය හමුවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා අපට වැට් බදු වැඩි කිරීමට සිදුවුණා. එය ඉතාම අසීරු තීරණයක් වුණා. නමුත් එයින් ප්‍රතිඵල ලැබෙන බව අප දැන සිටියා. වැට් බදු වැඩි කිරීමත්, ආදායම් බදු ක්‍රම මාරු කිරීමත් අප සිදු කළා. එහි ප්‍රතිඵල අද වන විට ලැබී තිබෙනවා.

ඒ අනුව රටේ ආදායම් වැඩි වන විට රුපියල ශක්තිමත් වුණා. රුපියල් 370ට තිබූ ඩොලරය රුපියල් 300ක් මට්ටමට පැමිණියා. ඒ නිසා භාණ්ඩ මිලත්, ප්‍රෙටල්, ඩීසල් ඇතුළු ඉන්ධන මිලත් ක්‍රම ක්‍රමයෙන් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීමට පටන් ගත්තා.

නමුත් ගැටලුවක් තිබුණා. 2019 වසරේ ඩොලරය පැවතුණේ රුපියල් 185ත් 190ත් අතර අගයකයි. භාණ්ඩ මිල සකස් වී තිබුණේ ඒ අනුවයි. ඩොලරය රුපියල් 370 දක්වා ඉහළ යන විට භාණ්ඩ මිලත් ඒ හා සමානවම ඉහළ ගියා. නමුත් අපේ ආදායම ඉහළ ගියේ නැහැ. බදු පැනවූ නිසා ආදායම තවත් අඩු වුණා. ඒ නිසා අප ජනතාවට සහන සැලසීමට ක්‍රියා කළා. පළමුවෙන්ම අපි අඩුආදායම්ලාභීන් වෙනුවෙන් අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා.  ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා වැඩි කළා. 2024 ආදායම් වැඩිවන විට රාජ්‍ය සේවකයින්ට සහනයක් ලබාදීමටත් අප කටයුතු කළා. 2024 වසරේ අයවැයෙන් රුපියල් 10,000ක් ලබාදුන්නා. එළඹෙන වසරේ සිට උදය ආර්. සෙනෙවිරත්න කමිටුවේ වාර්තාව ක්‍රියාත්මක වෙනවා. එම නිසා 2025-2026 කාලසීමාව තුළ වැටුප් සහ දීමනා දෙකම වැඩිවෙනවා. ඒ නිසා මේ මැතිවරණයේදී තීරණය කළ යුත්තේ මේ වැඩකටයුතු ඉදිරියට ගෙනයනවාද නැද්ද යන්නයි.

අපේ අරමුණ අපනයන ආර්ථිකයකට පරිවර්තනය වීමයි. ඒ වගේම ආණ්ඩුව සහ පුද්ගලික අංශය එක්ව රැකියා 100,000ක් බිහිකිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. විදේශ රැකියා සඳහා යොමුවන පුද්ගලයින් 50,000කට පුහුණුවීම සඳහා ආධාර ලබාදිමටත් අප ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. අපනයන ආර්ථිකයක් තුළ අපේ ධීවර කර්මාන්තය සංවර්ධනය කරමින්, එළඹෙන වසර තුළ සංචාරකයන්ගේ පැමිණීම දෙගුණයක් බවට පත් කර ගන්නවා, කෘෂික නවීකරණය, නව ආයෝජන කලාප ඇති කිරීම, ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම යන කරුණු සියල්ලම “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන තුළ අන්තර්ගත වෙනවා.

බංකොලොත්භවයට පත් වූ රටක් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට අනෙක් රටවලට වසර දහයක් පහළොවක් පමණ කාලයක් ගත වුණා. නමුත් මගේ බලාපොරොත්තුව 2027 වසර වනවිට මෙම වැඩකටයුතු අවසන් කිරීමයි.

අනෙක් අපේක්ෂකයන්ට මේ කටයුතු සිදු කළ හැකි ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. සමගි ජන බලවේගයට ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් තිබෙනවා. නාලක ගොඩහේවාගේ "සැමට ජයක්" ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අනෙක් පිරිසගේ Blue Prin 3.0 ප්‍රතිපත්ති ප්‍රකාශය තිබෙනවා.  

ජාතික ජන බලවේගයේ මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක අපේ රටේ  ව්‍යාපාරිකයින් අපනයන ආර්ථිකයකට යොමුවෙමින් ඉන්දියාවටත්, අප්‍රිකාවටත් අපේ නිෂ්පාදන අපනයනය කළයුතු බව පසුගිය දවසක ප්‍රකාශ කළා.

එනිසා අපේ වැඩපිළිවෙල ඔවුන්ද අනුගමනය කරනවා කියා මමත් සතුටු වුණා. නමුත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව මේ දක්වා එළැඹී ඇති සියලුම නිදහස් වෙළඳ ගිවිසුම් අවලංගු කරන බවයි.  නිදහස් වෙළඳ ගිවිසුම් නොමැතිව අපනයන ආර්ථිකයක් ඇතිකර ගන්නේ කොහොමද ? ඒ වගේම මේ රට අපනයන ආර්ථිකයකට පරිවර්තනය කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධව සුනිල් හඳුන්නෙත්ති මහතා අධිකරණයට ගියා. අපනයන ආර්ථිකයක් ඇතිකිරීම ව්‍යවස්ථාවට විරුද්ධ බව එමඟින් ඔහු කිව්වා. ආනයන කර්මාන්ත මත තිබෙන ආර්ථිකය ආරක්ෂා කළ යුතු බවත් එමඟින් ප්‍රකාශ කර තිබුණා.

ඉතින් මොරවකදී තිබූ මගේ රැස්වීමේදී ඊට පසුවදා ඔහු මොරවකට පැමිණීමට නියමිතව තිබු නිසා මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස මා ඉල්ලා සිටියා. නමුත් ඒකට පිළිතුරක් දුන්නේ නෑ. මහ බැංකු බැඳුම්කර වංචාවක් ගැන කරුණු ඉදිරිපත් කරන බව කිව්වා. එය මට අදාළ නැහැ. ඒ නිසා මම අද ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළා. ඒවගේම ඔහු යාපනයේදී ප්‍රකාශයක් කර තිබුණා. මම ඒ ගැනත් විමසුවා. ඔහු ඊට පිළිතුරක් ලබා දෙන්නෙත් නැහැ. අපනයන ආර්ථිකයක්ද? ආනයන ආර්ථිකයක්ද? මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නේ නැහැ. ඒ ගැන අහනකොට මහ බැංකු වංචාවක් ගැන කියනවා. ඒ ගැන තරහ ගිහින් අද තිබුණ තරුණ හමුවකදී මට බැනලා තිබෙනවා. නමුත් ජාතික සමගියට එකඟයි කියලා කිව්වා. ඒ ගැන මම සතුටු වෙනවා. නමුත් මම අහන  ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්නේ නැහැ.

මම මේ ප්‍රශ්න යොමු කළේ ඡන්දදායකයින් වෙනුවෙන්. මැතිවරණයක් අවස්ථාවකදී අපි හැම වෙලාවෙම අනිත් පක්ෂ වලින් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න ඇත්තටම අවස්ථාවලදී විවාද දක්වා ගෙනගොස් තිබෙනවා.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මෙන්ම ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවක් පත් කෙරුණා. ඇතැමුන් මාද ඊට සම්බන්ධ බවට ප්‍රකාශ කළ නිසා එම කොමිෂන් සභාව ඉදිරියේ මමත් ප්‍රකාශ ලබා දුන්නා. නමුත් අවසානයේ මා ඊට සම්බන්ධ නොමැති බව තහවුරු වුණා. එම වාර්තා මගින් නඩු පැවරිය යුතු බවට නිර්දේශ කර තිබූ පුද්ගලයින් සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු ගොනු කෙරුණා. එම නඩුවලදී මේ සම්බන්ධයෙන්  චෝදනා ලැබූ අය නිදහස් වුණා. ඉන් අනතුරුව රජය මෙම නඩුව අභියාචනාධිකරණයේ ගොනු කරනු ලැබුවා. එහිදී ද නඩුව ඉවත් වුණා. මේ වන විට නැවතත් රජය මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබෙනවා.අවශ්‍ය නම් අනුර කුමාර දිසානායක මහතාට තමන්ගේ නීතිඥයාත් මෙම කටයුතු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ හැකියි. සැබවින්ම සිදුවී ඇත්තේ කුමක්ද කියලා ඔහු දන්නේ නැහැ. මෙරට දූෂණය නැති කිරීමට අපි සූදානම්. ඊට අදාල නීති සකස්කර තිබෙන්නේ අප බව ද ප්‍රකාශ කළ යුතුයි.

අමාත්ය සුසිල් ප්රේම්ජයන්ත මහතා,

අවුරුදු දෙකයි මාස තුනෙන් රට මේ තත්ත්වයට ආවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය හේතුවෙනුයි. මේ ජනාධිපතිවරණයේදී ඔබ කණ්ඩායමට ඡන්දය දෙන්න එපා. මහ මැතිවරණයේදී ඔබට කණ්ඩායම මොකක්ද කියලා තෝරා ගත හැකියි. 2022 මැයි 09 වෙනිදා සිදුවීම් වලින් නැවතත් 88?89 යුගය සිහි ගන්වන නිසා මේ රටේ ජනතාවගෙන් එක් පිරිසක් බවට නිහඬව සිටිනවා. ජේ. වී. පී වෙනුවට එන්. පී. පී නමින් එන්නේ මේ දේවල් වහගන්නයි. නමුත් එන්.පී.පී අකුරුවලින් වහ ගෙන මේ එන්නේ ඒ විනාශකාරී ජේ.වී. පි යම බව මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා.

මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්රනාන්දු මහතා,

ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දෙන්න හිතන කෙනෙක් මෙතන සිටිනවා නම් මා ඔවුන්ට කියන්නේ කිසිම ඉලක්කයක්, අරමුණක් , වැඩසටහනක් නැති පක්ෂයකට ඡන්දය ලබා දීලා ඔබ විශාල වරදක් කරන්න යන බවයි. ඒ වගේම තවත් අපේක්ෂකයෙකු ලෙස අනෙක් පසින් මේ රට හදන්න අයි. එම්. එෆ් යන්න ඕනද කියලා පුරසාරම් දොඩන  සජිත් ප්‍රේමදාස මහතා සිටිනවා. නමුත් මේ රට ගොඩ ගන්න නම් වහාම අයි. එම්. එෆ් සංවිධානය සමඟ සාකච්ඡා කරන්න කියා පාර්ලිමේන්තුවේ කතා කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පමණයි.

අද රට මේ තත්ත්වයට ගෙනවිත් තිබෙන්නේ එම වැඩපිළිවෙළ නිසයි.   එදා කයිය ගහපු පම්පෝරි ගහපු සජිත්- අනුර දෙන්නම අද කියනවා අපි ඇවිල්ලත් කරන්නේ ඒකම තමයි කියලා. එහෙම නම් ඇත්ත ඇති සැටියෙන්ම කියන කෙනාද, තමන්ට අවශ්‍ය වෙලාවට බොරුව ඇත්ත කරන නායකයන්වද මේ රටේ නායකයා බවට පත් කරන්න අවශ්‍ය වන්නේ කියා ඔබ තීරණය කළ යුත්තේ

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, කොළඹ හිටපු පුරපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more