ජනපති සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්

• කොරෝනා සමයේ මුස්ලිම්වරුන් ආදාහනයට රජයට නිර්දේශ කළ පාර්ශ්ව සතු වගවීම පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්. 

• ශ්රී ලංකා රජය විසින් ජෙරුසෙලමෙහි නව කොන්සල් කාර්යාලයක් විවෘත කළ බවට පැතිර යන ප්රචාර අසත්යයි - ජනපති.

පසුගිය කොරෝනා සමයේ මිය ගිය මුස්ලිම්වරුන් ඇතුළු සෙසු ආගමිකයන් ආදාහනය කිරීමට රජයට නිර්දේශ කළ පාර්ශ්ව සතුව පවතින වගවීම පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට අනෙකුත් පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට තමන් යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය සමඟ ඊයේ (27) පස්වරුවේ පැවති හමුවේදී සිදු කෙරුණු ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

කොළඹ මාළිගාවත්තේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි සභාපති අෂ්-ෂෙයික් එම්. අයි. එම්. රිස්වි මවුලවිතුමා ඇතුළු විධායක මණ්ඩලය සමඟ සාකච්ඡාවකට එක් විය.

මහලේකම් අෂ්-ෂෙයික් අක්‍රම් නූරාමිත්, භාණ්ඩාගාරික අෂ්-ෂෙයික් ආචාර්ය ඒ. ඒ. අහමද් අස්වර්, උපසභාපති අෂ්-ෂෙයික් එච්.ඔමාර්දීන්, අෂ්-ෂෙයික් එම්. ජේ. අබ්දුල් ඛාලික්, උපසභාපති අෂ්-ෂෙයික් අයි. එල්. එම්. හෂීම්, උප සභාපති අෂ්-ෂෙයික් ඒ. එල්. එම්. ඛලීල් යන මවුලවිවරුන් ප්‍රමුඛ විධායක සභාවේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටි අතර එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මවුලවිතුමන්ලා මෙහිදී සිය ආශිර්වාදය පළ කළහ.

මේ වන විට රටේ සිදුව තිබෙන ආර්ථික ප්‍රකෘතිමත්භාවය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ද මෙහිදී මවුලවිතුමන්ලා දැනුවත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ජනවරම ඉල්ලා සිටීමට බවද පැවසිය.

තමා මැතිවරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මහානායක ස්වාමින් වහන්සේලා මෙන්ම අනෙකුත් ආගමික පූජකතුමන්ලා ද හමුවී අවවාද අනුශාසනා ලබාගත් බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු ආගම්වලට සමාන කොට සැලකීමට තමා කැපවී සිටින බවද සඳහන් කළේය.

පලස්තීන ගැටළුව පිළිබඳවද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ පලස්තීන රාජ්‍යය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බවත්, ඒ වෙනුවෙන් පෙනී සිටින බවත්ය.

ශ්‍රී ලංකා රජය විසින් ජෙරුසෙලමෙහි නව කොන්සල් කාර්යාලයක් විවෘත කළ බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවත්, ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් වෙත අවශ්‍ය සේවාවන් සැපයීම සඳහා 2000 වසරේ සිට ශ්‍රී ලංකාව ඊශ්‍රායලය තුළ තානාපති සේවාවන් පවත්වාගෙන යන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

හිටපු අමාත්‍යවරුන් වන ඒ.එච්.එම්. ෆවුසි, ෆයිසර් මුස්තාපා, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more