සජිත්ට හා අනුරට ජනපතිගෙන් විවෘත අභියෝගයක්

• වේදිකාවල ලබාදෙන පොරොන්දුවල සත්ය අසත්යතාව ජනතාවට දැන ගැනීමට IMF සමඟ විවෘත සාකච්ඡාවකට එන්න.

• ජනතාව රවටා රට විනාශ කරන්න එපා.

• සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයින් සැමවිටම සිතුවේ රට ගැනයි - ජනපති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් පවසයි.

තවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා වෙත අභියෝග කරන බවත්, එවිට ඔවුන් අද වේදිකාවල පවසන දේ සත්‍ය අසත්‍යතාව සමස්ත රටේම ජනතාවට දැකබලා ගැනීමට හැකිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම වෙනස් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එසේ වුවහොත් රටේ  ආර්ථිකය නැවත කඩා වැටෙන බවත් බඩු මිල අඩු කරන බවට සහ බදු අඩුකරන බවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශයන් මඟින් ජනතාව රවටමින් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක රටට කිරීමට යන විනාශය වහා නතර කළ යුතු බවත් අවධාරණය කළේය.

බඩු මිල අඩු කිරීමට සහ බදු අඩු කිරීමට තමාද කැමති නමුත් ඒ සඳහා හැකියාව ඇත්තේ රුපියල ශක්තිමත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවලට අනුව කටයුතු කිරීමෙන් පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ හැර වෙනත් විකල්පයක් තිබේනම් එය වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී ඉදිරිපත් කර මතය විමසන  ලෙසද සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (25) පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමිනි.

එක්සත් ජාතික පක්ෂය බිහි කළ ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රතිපත්තිය වුයේ ශ්‍රී ලාංකිය අනන්‍යතාව ආරක්ෂා කිරීම බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන මෙන්ම රණසිංහ ප්‍රේමදාස මහතා සමඟ කටයුතු කර තමා ලද ආභාෂය වන්නේ ද සියල්ල ට පෙර රට රැක ගැනීම බව පැවසීය.

එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල පිරිසක් මෙම විශේෂ සම්මේලනයට එක්ව සිටි අතර 2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් රට බේරාගත් රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් බවට පත් කිරීමේ යුග මෙහෙවර ඉටු කිරීම සඳහා සැප්තැම්බර් 21වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමටත්, එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී කටයුතු කිරීමටත් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ එකඟත්වය පළ කිරිමේ යෝජනාව ඒක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා විසින් මෙහිදී පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කළේය.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා එය ස්ථිර කිරීමෙන් පසු  සියලුදෙනා දෑත් ඔසවා යෝජනාව  ඒකමතිකව සම්මත කළහ.

මේ අතර ප්‍රතිසංස්කරණය කරන ලද සිරිකොත පක්ෂ මූලස්ථානය විවෘත කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

අද ඔබ මෙම ස්ථානයට රැස්ව සිටින්නේ මට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදීමටයි. කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අනුමත කළ යෝජනාව අද මෙම සම්මේලනයේදී අනුමත කරගනු ලැබුවා.  මම ඒ පිළිබඳ ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා.

එක්සත් ජාතික පක්ෂය ඇති කළේ ඩී.එස්. සේනානායක මැතිතුමායි. ඒ වගේම එතුමා නිදහස් ශ්‍රී ලංකාවත්,  ශ්‍රී ලාංකිය අනන්‍යතාවයත් ආරක්ෂා කළා. 1946 සැප්තැම්බර් 06වනදා එතුමා ප්‍රකාශ කළා එක්සත්ජාතික පක්ෂයේ යුතුකම ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම කියලා.  අප සියලුදෙනා එක්සත් ජාතික පාක්ෂිකයන් ලෙස පමණක් නොවෙයි ශ්‍රී ලාංකිකයන් ලෙස සිතිය යුතුයි. ශ්‍රී ලංකාව නැති වුණොත් එක්සත් ජාතික පක්ෂය නැති වෙනවා. ඩඩ්ලි සේනානානයක මැතිතුමාගෙන්, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් සහ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා වැනි නායකයන්ගෙන් අප ලද අභාෂය එයයි. එසේනම් ශ්‍රී ලාංකිකයෙකු ලෙස මේ රට බේරා ගැනීමට මම අගමැතිකම භාරගත්තා. ඒ වගේම ජනාධිපති ධූරය භාරගත්තා.

මම මේ වගකීම් භාරගත්තේ  එදා මේ රටේ ජනතාව ගෑස්, ඉන්ධන, ඖෂධ සහ ආහාර පෝලිම්වල දුක් විඳින අයුරු දුටු නිසයි . ජනතාව මෙවන් පීඩාවකට පත්ව සිටින අවස්ථාවක ඔවුන් ගැන අනුකම්පා කර එම ප්‍රශ්න විසඳීමට කටයුතු කළයුතුයි. එය සිදු නොකිරීම මහත් පාපයක්. සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සිදු කළේ එම පාපයයි. නමුත් අපි සියලුදෙනා එකට එක්ව රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතියක් රැක දුන්නා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එහි සිටින කිසිවෙක් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හෝ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ වැඩ කළේ නැහැ. සජිත්ව පක්ෂයට ගත්තේත් මමයි. ඒ නිසා ඔවුන්ට මේවා පිළිබඳ අවබෝධයක් නැහැ. ඩී.එස්. සේනානායක මැතිතුමා ගැන දන්නේ නැහැ. ඒ නිසා ඔවුන් පක්ෂය කඩාගෙන එළියට ගියා. ඒ පිළිබඳ පුදුම විය යුතු නැහැ. අපි එක්සත් ජාතික පාක්ෂිකයන්. අප පළමුව සිතන්නේ රට ගැනයි.

මේ ආර්ථික අර්බුදයෙන් බේරිමට ඩොලර් බිලියන 03ක් අවශ්‍යයි කියා 2020 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් සඳහන් කළා . සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ මේ ගැන කථා කළේ නැහැ. එදා ඇත්ත ප්‍රකාශ කිරීම නිසා අප පරාජය වුණා. නමුත් අපිට මේ ගැටළුව පිළිබද අවබෝධයක් තිබුණා. මම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන මෙම ගැටළුව විසඳිය හැකි බව මම දැනගෙන හිටියා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටින් පිටවීමෙන් පසු කිසිවෙක් ජනාධිපතිකම ඉල්ලුවේ නැහැ. මට සහයෝගය දෙන ලෙස ඉල්ලු විට සජිත් ප්‍රේමදාස සට්ටම්භිරාළගේ උපදෙස් මත  ගිහින් ඩලස් අලහප්පෙරුමට සහයෝගය ලබා දුන්නා. නමුත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට දොෂාභියෝගයක් ගෙන ආ අවස්ථාවේ එතුමාව බේරගන්න ඉදිරියට පැමිණියේ මම බව ඔහුට සිහිපත් කර දිය යුතුයි. එතුමා මරණයට පත්වු අවස්ථාවේ මමයි එතනට ගියේ. ඔවුන්ට ඒවා මතක නැහැ. මම මේ පක්ෂය ආරක්ෂා කර තිබෙනවා.

1971දී  ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ළ සමයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කිව්වා අපි ආණ්ඩුවට සහාය ලබා දෙමු කියලා. අපි ඇහුවා ඇයි එහෙම කරන්නේ කියලා.  එතුමා කිව්වේ රට නැති වුණොත් අපට වෙන කිසි දෙයක් වැඩක් නැහැ කියලයි.

1989 දී නැවත මේ කැරැල්ල ඇති වූ අවස්ථවේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියව සාකච්ඡාවක් සඳහා කැඳෙව්වා. එතුමිය ඒ සඳහා එකඟවී සහාය ලබා දුන්නා. එවන් සිරිතක් අප අතර තිබෙනවා. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වු අවස්ථාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මා හමු වී ප්‍රකාශ කළා අපි කාවවත් ජනපති ලෙස  ඉදිරිපත් කරන්නේ නැහැ ඔබතුමන්ලාගේ පක්ෂයෙන් ඕන කෙනෙක් ඉදිරිපත් කරන්න කියලා. එම සිරිත් අප පක්ෂ අතර තිබෙනවා. මේවා දන්නේ නැති අය කෑ ගහනවා.

නමුත් මම මේ අභියේගය භාරගත්තා. අප මේ ප්රශ්න විසඳිය යුතුයි. ඒ සඳහා මට කණ්ඩායමක් අවශ්ය වුණා. රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ යන මහත්වරු මගේ රාජ්ය ඇමතිවරුන් බවට පත් කර ගත්තා. ඒ වගේම අලි සබ්රි, කංචන විජේසේකර, බන්දුල ගුණවර්ධන යන අමාත්යවරු ඇතුළු පිරිස්ක එක් කරගෙන මම වැඩ කළා. ඒ ගමන සාර්ථක වුණා.

ආර්.එච්.එස්. සමරතුංග, නන්දලාල් වීරසිංහ,  මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් සමඟ මම වැඩ ආරම්භ කළා. මගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සාගල රත්නායක මහතා පත් කරගත්තා. අපි සාර්ථකව මෙම වැඩ කරගෙන ගියා. ඒ වගේම ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශාන්ත දේවරාජ්, ශාමිනි කුරේ යන මහත්වරුන්ද මීට දායක කරගත්තා. මේ රටේ ආර්ථිකය බේරා ගැනීමට කටයුතු කළේ මේ පිරිසයි.

මේ අතරේ අගමැතිතුමා පාර්ලිමේන්තුව භාරගත්තා.  ඇමතිවරු අපට විශාල සහයක් ලබාදුන්නා. එය පහසු කටයුත්තක් වුනේ නැහැ. නමුත් ඒ ආකාරයට කණ්ඩායමක් වශයෙන් එකතුවෙලා මේ රට බේර ගන්න අපට පුළුවන් වුණා.

අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහන ආරම්භ කළා. රටවල් 18ක් සමඟ සාකච්ඡා කළා. මේ සියලුදෙනා සමඟ එකඟතාවයන් ගිවිසුමක් අත්සන් කළා. ඒ අනුව තමයි අද අපි රට මේ තත්ත්වයට ගෙන ආවේ.

අපට අසිරු කාලයක් තිබුණා. රජයේ ආදායම් වැඩි කර ගැනීමට අපිට බදු වැඩි කර ගැනීමට සිදුවුණා. ඒ හමුවේ ජනතාවට එල්ල වූ බර අපි දන්නවා. ඒවා විද දරා ගත් ජනතාවට අප ස්තූතිවන්ත වෙනවා. නමුත් ඒ බර ටිකෙන් ටික අඩු කිරීමටත් අප කටයුතු කළා. ජනතාවට සහන ලබාදුන්නා.

අප මේ සහන ලබාදුන්නේ රුපියල ශක්තිමත් කරමිනුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම අනුව අපට ඉලක්ක තිබෙනවා. අප එම ඉලක්ක අනුව ක්‍රියා කළ යුතුයි.

නමුත් විපක්ෂය සිය මැතිවණ ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා බඩු මිල අඩු කරනවා, බදු අඩු කරනවා කියලා. බදු අඩු කළ විට රජයේ ආදායම අඩු වෙනවා. එවිට අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක වෙත ළගා වීමට නොහැකි වෙනවා. එවිට අපට ලැබෙන ආධාර නැති වෙනවා. අපට නැවතත් 2022 ජූලි මාසයේ රට තිබු තත්ත්යට යාමට සිදු වෙනවා. බදු අඩු කරන්න මමත් කැමතියි. නමුත් එය සිදු කළ යුත්තේ රුපියල ශක්තිමත් කිරීමෙන් පමණයි. ඒ වෙනුවෙන් වු වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. අසීරු වුණත් අප මේ ගමන යා යුතුයි.

අප සියලුදෙනා කැමතියි ජනප්‍රිය තීන්දු ගන්න. නමුත් එය රටේ අනාගතයට සුදුසු නැහැ.

අපි රෑ වැටුණු වළේ දවල් වැටිය යුතු නැහැ. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බදු අඩු කරන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා බදු අඩු කරන්න එපා කියලා. නමුත් එතුමා බදු අඩු කළා. එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබුණේ නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම වෙනස් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැහැ. ඔවුන් කිසිවිටෙක කොන්දේසි මාරු කරන්නේ නැහැ. මෙය ග්‍රීසියේ සිදු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රිසියේ ආර්ථිකය කඩා වැටුණා.  එවන් තත්ත්වයක් ලංකාවේ සිදුවනවාට අප කැමති නැහැ.

අප මෙම ගිවිසුමට අත්සන් තැබු නිසා සෑම මාස 06කට වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් අපට ඩොලර් මිලියන 700ක් පමණ ලැබෙනවා. ජනවාරි මාසය වන තෙක් අපට මේ මුදල් ප්‍රමාණවත්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ඔක්තෝබර් මාසයේ නැවත සාකච්ඡා සඳහා පැමිණෙනවා.

එක්සත් ජාතික පක්ෂය ලෙස අප ප්‍රකාශ කරන්නේ අප මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා කියලයි. නමුත් සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මෙය සංශෝධනය කරනවා කියලයි. එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබන වසර සඳහා අපට ලබා දෙන මුදල් නවත්වනවා. එවිට නැවත අපට පැරණි තත්ත්වයට මුහුණදීමට සිදු වෙනවා. නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්න මාස දෙක තුනක් යනවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ එය අනුමත කර ගැනීමට තවත් සති 06ක් පමණ ගත වෙනවා. මාස 06ක් අපට මුදල් නැතිව සිටිය හැකිද කියා මම අහනවා.

මම සමගි ජන බලවේගයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් අහනවා ඔබ මේ බදු අඩු කරනවා නම් ඒ සඳහා මුදල් ලැබෙන්නේ කොහෙන්ද කියලා.  රාජ්‍ය ආදායම් අඩු කරගෙන ඔබ රටේ ආර්ථික ප්‍රශ්නය විසදන්නේ කොහොමද. බොරු කියලා මේ රට විනාශ කරන්න එපා. අපි පක්ෂ 03 එකතුවෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විද්‍යුත් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පවත්වමු. ඔබ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අහන්න මොකක්ද කරන්නේ කියලා. එම සාකච්ඡාව අපි පටිගත කරලා රටට ඉදිරිපත් කරමු.

ඔබ සිතනවා නම් මෙම ගිවිසුම වෙනස් කරන්න පුළුවන් කියලා එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රකාශ කරන්න. ඔබ එම ඉලක්කවලට අනුව කටයුතු කරනවානම් එම ආදායම් උපයාගන්නේ කසේද කියා ප්‍රකාශ කරන්න. මේ ප්‍රශ්න දෙකට කරුණාකර පිළිතුරු ලබා දෙන්න. ඔබට සැලැස්මක් තිබෙනවා නම් එය රටට කියන්න. බොරු කියන්න එපා. පක්ෂ 03ම එක්වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර එම සාකච්ඡාව රටට ඉදිරිපත් කරමු. එවිට ජනතාවට පුළුවන් සත්‍ය අසත්‍යතාවය දැනගන්න. ඊට පස්සේ රටේ කවුරුත් ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ලකුණු කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක දේශගුණික විපර්යාස පිළිබඳව ජනාධිපති ජේෂ්ඨ උපදේශක  රුවන් විජේවර්ධන මහතා,

එක්සත් ජාතික පක්ෂය කියන්නේ මහා දැවැන්ත පක්ෂයක්. දැවැන්ත නායකයින් මේ රටට බිහිකළ පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂය කවදාවත් අභියෝගයට බයේ පැනලා ගියේ නැහැ. ඉතිහාසය ඊට සාක්ෂි දරනවා. සුද්දගෙන් මේ රටේ නිදහස් කර ගත්තේ ඩී.එස්.සේනානායක මහතායි. පළවෙනි පෝලිම් යුගය නිමා කළේ පළවෙනි විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතායි. මේ රටේ කර්මාන්ත පුනරුදය ඇති කළේ රණසිංහ ප්‍රේමදාස මහතායි. මීට වසරක් දෙකකට පෙර තිබුණු දෙවන පෝලිම් යුගය නැති කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එසේ බැලූ විට එක්සත් ජාතික පාක්ෂික නායකයින් මේ රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටද කටයුතු කර තිබෙනවා.

මේ රටේ ආර්ථිකය ගොඩ නැඟිය හැකි නායකයා තමන් බව  රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාවෙන් පෙන්නුම් කර තිබෙනවා. මේ රටට ඉදිරි වසර පහටද එතුමාගේ නායකත්වය අවශ්‍යයි. ඒ සඳහා එක්සත් ජාතික පාක්ෂිකයන් හැටියට ඔබලා ගමින් ගමට ගිහින්  රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කිරීමට කටයුතු කරන්න.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා,

එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  රටේ ජනතාව වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට පැමිණ තිබෙනවා. රට කඩා වැටුණු අවස්ථාවේ සියලුම නායකයින් රට ගොඩ ගැනීමට බැහැ කියද්දී, “පුලුවන්” කියා ඉදිරිපත් වූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි. එතුමා ඉන්ධන, ගෑස් ,ආහාර, ඖෂධ පෝලිම් නැති කරමින්  මූලික අවශ්‍යතා ලබා දෙමින් ජනතාවට ජීවත් විය හැකි තත්ත්වයක් ඇති කළා. එදා කිසිදු භාණ්ඩයක් ආනයනය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා ගොඩනැඟු ආර්ථිකය නිසා  වාහන හැර අනිත් සියලු දේ ආනයනය කිරීමට හැකි ආර්ථිකයක් මේ වන විටත් නිර්මාණය වී තිබෙනවා. ලබන වසරේදී වාහන ආනයනය කිරීමටත් අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ජනතාවට සෞභාග්‍යමත් ජීවිතයක් ලබාදීම සඳහා  අවශ්‍ය ආර්ථික වැඩපිළිවෙළ මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා. ආර්ථික නවීකරණය සඳහා අවශ්‍ය අණ පනත් මේ වන විටත් පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙනවා. දශක ගණනාවක් අත් හැරුණු  නීති පාර්ලිමේන්තුවට ගෙන ඒමට එතුමා කටයුතු කළා. සමහර නායකයින් එම නීති ගෙන ඒමට මැලි වුණේ ඒවා  ජනප්‍රිය නොවූ නිසයි. නමුත් තමන්ගේ දේශපාලනයට වඩා රටේ ජනතාව ගැන හිතන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එතුමට සහාය දෙන කණ්ඩායමක් සමඟ ආර්ථික ප්‍රතිසංස්කරණ නීති ගෙන ඒමට කටයුතු කළා.

බංකොලොත් රටක් අද මේ තැනට පත්ව තිබෙනවා. ආර්ථිකය වේගයෙන් දියුණු කිරීම සඳහා අපනයන ආර්ථිකයක් ඇති කිරීම, ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම හා සංචාරක කර්මාන්තය දියුණු කිරීමටද අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා. ජනාධිපතිතුමා මේ ගෙන යන වැඩපිළිවෙළට එක්සත් ජාතික පාක්ෂිකයන් හැටියට අපි අපේ උපරිම වගකීම ඉටු කළ යුතුයි. ඒ සඳහා එක්සත් ජාතික පාක්ෂිකයන්ට  වගකීමක් තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ  මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා,

මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව ගිනි ගන්නා දේශයක් බවට පත්ව තිබුණා. ඉන්ධන, ආහාර ගෑස්, ඖෂධ නොමැතිව රට නැවතී තිබෙන යුගයක් නිර්මාණය වී තිබුණා. මහජන නියෝජිතයන්ගේ නිවාස ගිනිබත් කරමින් අරාජික රටක් නිර්මාණය වී පැවතියා . ඒ අවස්ථාවේ විපක්ෂ නායකයා ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් මේ රට පීඩාවෙන් මුදවා ගැනීමට ඉදිරිපත් වුණේ නැහැ. ඔවුන් එදා උත්සාහ කළේ අරාජිකත්වය තුළින් තමන්ට බලය ලබා ගැනීමටයි.

ගිනිගත් දේශය නිවාලන වගකීම බාරගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කළා. ඒ වගේම රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරමින් ජනතාවට ජීවත්වීමට අවශ්‍ය සියලු මූලික පහසුකම් ලබාදීමට කටයුතු කළා.

අද ජනාධිපතිවරණයට 39 දෙනෙකු ඉදිරිපත් වී සිටිනවා. ඒ නාම ලේඛනය දිහා බැලූ විට නායකත්වය ලක්ෂණය තිබෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව ඉතාම පැහැදිලියි.

2022දී ආර්ථික අර්බුදයක් පැමිණෙන බව කල් තියාම අවබෝධ කර ගත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊට විසඳුම්  2020 වසරේ එක්සත් ජාතික පක්ෂ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කළා. එම ආර්ථික අභියෝගයට මුහුණ දෙන ආකාරය සහ ඊට ලබා දෙන විසඳුම් සම්බන්ධයෙන්ද එම ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් කරුණු ඉදිරිපත් කළා. රනිල් වික්‍රමසිංහ මහතාගේ දුරදක්නා ඥානය එයින්ම පැහැදිලි වෙනවා . එම නිසා යුගයේ අවශ්‍යතාවය වන්නේ පිට්ටනිය හදන්න මිස, හදපු පිටියේ සෙල්ලම් කිරීම නොවෙයි. බඩේ ගින්දර නැති කළ, හිතේ ගින්දර නැති කළ එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එතුමා ව ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කැපවීම එක්සත් ජාතික පක්ෂයේ අපගේ වගකීමක් වෙනවා. එම නිසා අප අද මේ සම්මේලනය අවසන් කර නික්ම යාමෙන් පසුව දෙගුණයක් කැප ‍වී අපේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට කැප වෙමු.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා,

1948 වසරේ මේ රටට නිදහස ලබා ගැනීමටත් අද වාගේම පක්ෂ සියල්ල එකතු වී කටයුතු කළා. එදා මේ රටට නිදහස දිනා ගැනීමට  ඩී.එස්.සේනානායක මැතිතුමාට සියලු පක්ෂ උපකාර කළා. වර්තමානයේද ආර්ථික අර්බුදයන් ශ්‍රී ලංකාව බේරා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ විපක්ෂ සියලු දෙනා උදව් කළා.

රාජ්‍ය යාන්ත්‍රණයේ ලක්ෂ පහළොවක් සේවකයින් සිටිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රාජ්‍ය සේවකයන්ට පසුගිය වසර දෙක ඇතුළත  වාර්තාගත වැටුප් වැඩිවීමක් ලබාදුන්නා. ලක්ෂ විස්සකට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දුන්නා. ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වලට සහල් කිලෝ 20ක් ලබා දුන්නා. මේ දේවල් සිදු කළේ ජනතාව ඉල්ලලා නොවෙයි . මේ කිසි දෙයක් ඡන්ද පොරොන්දු ද නොවෙයි.මේ සියල්ල ලබා දුන්නේ රට බංකොලොත්ව තිබෙන වෙලාවේදී ජනතාව සුරක්ෂිත කිරීම සඳහායි. රාජ්‍ය සේවකයා වැටුණොත් සමස්ත ආර්ථිකයම වැටෙන බව ජනාධිපතිවරයා  දන්නවා.

ලබන වසරේ රාජ්‍ය සේවකයන්ගේ වැටුපට රුපියල් 25000ක් එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.  මොකද රාජ්‍ය සේවකයා තමයි මාසික පඩියකින් ජීවත්වන එකම කණ්ඩායම.  රාජ්‍ය සේවකයින්ට  ආණ්ඩුවෙන් පඩි වැඩි නොකොළොත්  ඔවුන්ට වැටුප් වැඩි කරන්න කිසිවෙක්  නැහැ. රටේ පවතින ආර්ථිකයට අනුව භාණ්ඩ හා සේවා සපයන කණ්ඩායම් ඔවුන්ගේ මිල ගණන් වැඩි කරනවා. නමුත් රාජ්‍ය සේවකයන්ට වැටුප් ලබාදීමට වෙන කවුරුත් නැහැ.

ඒ වගේම රටේ ආර්ථිකය නැවත බිඳ නොවැටෙන ලෙස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අණ පනත් සම්මත කර තිබෙනවා. දෙකෝටි තිස් ලක්ෂයක් වන ජනතාව ඉතා අසරණව ඉන්නවිට ඔවුන්ට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ජාතියට ඓතිහාසික වාර්තාවක් එක් කරමින් 09 විධායක ජනාධිපතිවරයා ලෙස එතුමා පත්වන බව ස්ථිරයි. ඒ සඳහා එක්සත් ජාතික පාක්ෂිකයන් හැටියට අප කැපවෙමු.

එක්සත් ජාතික පක්ෂයේ උප නායක, ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක  නීතිඥ අකිල විරාජ් කාරියවසම්  මහතා,

මෙවර ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ දේශපාලන මිත්‍ර පාර්ශ්ව මෙන්ම අතීතයේ  සතුරු පාර්ශ්වත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වමින් සිටිනවා. එදා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දුන් ලක්‍ෂ හැට නමයක ජනතාවගෙන් බහුතරයක් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වී සිටිනවා.

මේ රට ගොඩ නැඟීමට හැකියාව ඇත්තේ අප පක්ෂයේ නායක ජනාධිපති  රනිල්ට වික්‍රමසිංහ මහතාට බව  පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සෑම දෙනාම පිළි ගෙන තිබෙනවා .

මේ වන විට ඇතැමුන් සඳහන් කරනවා අපගේ නායකතුමා ඔවුන්ගේ පක්ෂය කැඩුවා, ඒ වගේම එල්.ටී.ටී.ඊ  සංවිධානයත් කැඩුවා කියා. එහෙනම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුද ජයග්‍රහණයේද ප්‍රධාන සාධකයක් වී ඇති බව ඔවුන් පිළි ගන්නවා. ජනාධිපතිතුමා රටේ වගකීම බාර ගත්තේ නාමල් රාජපක්ෂ මහතාව වැල් පාලමෙන් එගොඩ කරන්න කියාද  ඇතැමුන් චෝදනා කළා.

නමුත් එවැන්නක් සිදුව නැති බව අද පැහැදිලි වෙනවා. ඔවුන් වෙනම බලයක් හදාගන්න උත්සාහ කරමින් සිටිනවා. නමුත් පොදු ජන පෙරමුණේ බහුතරය ජනාධිපති වික්‍රමසිංහ මහතා ට එක් වී සිටිනවා. බොහෝ දෙනෙක් රට අර්බුදයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට කෘතවේදීත්වය දැක්වීමක් ලෙස ඡන්දය ලබා දීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ ජනාධිපතිවරණය රටේ අනාගතය තීන්දු කරන මැතිවරණයක් බව කිව යුතුයි. කෘතිම බුද්ධිය, ඩිජිටල් ආර්ථිකය , නවීන කෘෂිකර්මාන්තය ගැන කතා කරන එකම ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. එබැවින් එතුමාගේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණයක් වන බව පැවසිය යුතුයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු අමාත්ය රවී කරුණානායක මහතා,

තව දවස් විසි හතකින් මේ රටේ 09වන විධායක ජනාධිපතිවරයා තෝරන ජනාධිපතිවරණ ඡන්දය පැවැත්වෙනවා. මීට මාස විසි පහකට පෙර ශ්‍රී ලංකාව පැවතියේ පෝලිම් යුගයකයි. රට බං කළොත් වී, විදුලිය පැය 13ක වගේ  කප්පාදුවක් තිබෙන වෙලාවක ඒ අභියෝගය බාරගන්න අද කෑ ගහන කයියනායලා ඉදිරිපත් වුණේ නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අභියෝගය භාරගෙන පීඩාවට පත් ජනතාවට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළා.

හැමදාමත් එක්සත් ජාතික පක්ෂය රටේ අභියෝග බාරගෙන ජනතාව වෙනුවෙන් ඉදිරියට පැමිණියා. 1948 වසරේදී සුද්දාගෙන් රට නිදහස් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ ඩී.එස්.සේනානායක මහතා කටයුතු කළා. 1977 වසර වන විට තිබූ තිබුණු පෝලිම් යුගය නිමා කරමින් විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වා දෙමින් ජේ.ආර්. ජයවර්ධන  මහතා  ජීවත් විය හැකි පරිසරයක්  මේ රටේජනතාවට නිර්මාණය කර දුන්නා. 2022 වසරේදී පැමිණි ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට  හැකි වුණා.

ඒ වගේම රටේ ආර්ථිකය නවීකරණය කිරීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හඳුන්වාදීමට එතුමා කටයුතු කළා.  නැවත නොවැටෙන ආර්ථිකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පදනම මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සකස් කරමින් තිබෙනවා. එය ඉදිරියට පවත්වාගෙන යාමට මෙවර මැතිවරණය ඉතාම තීරණාත්මකයි. 2022 වසරේ මැයි මාසය වන විට ඩොලර් මිලියන පහක් හොයාගන්න අපේ භාණ්ඩාගාරයේ තිබුණේ නැහැ. දැන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තිබෙන ජනාධිපති අපේක්ෂකවරු ඊට විසඳුම් සෙවීමට එදා ඉදිරිපත් වුණේ නැහැ.   රනිල් වික්‍රමසිංහ මහතා අමිහිරි වුණත් සත්‍ය කතා කිරීමට කටයුතු කළා. රට ගොඩ නැඟීම වෙනුවෙන් එතුමා ගත් සමහර තීන්දු තීරණ ජනප්‍රිය නැහැ. නමුත් එය ආර්ථිකය ගොඩ නැඟීම සඳහා ඉතාම වැදගත් තීන්දු තීරණ බව කිව යුතුයි. සමහර විපක්ෂයේ කණ්ඩායම් අද වේදිකාගානේ කියනවා තමන් බලයට පැමිණියහොත් බදු අඩු කරනවා කියලා. 2020 වසරේදී බලයට පැමිණි නායකයා බදු අඩු කිරීමෙන් ආර්ථිකය බිඳ වැටුණු හැටි මේ රටේ ජනතාව හොඳින් දන්නවා. එම නිසා නැවත එවැනි ජනප්‍රිය කතාවලට රැවටෙන්න එපා. එහෙම වුණොත් නැවත ගොඩනැඟීමට රටක් ඉතුරු වෙන්නේ නැහැ.

හිටපු අමාත්ය හරින් ප්රනාන්දු මහතා,

සමඟි ජන සන්ධානයෙන් මේ වන විට 14 දෙනෙකකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ජයග්‍රහණය වෙනුවෙන් එක්ව සිටිනවා. 1993 වසරෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් ඡන්දයෙන් පත්වී නැහැ. එනිසා මේ එළඹෙන ජනාධිපතිවරණය තීරණාත්මකයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් ඡන්දයෙන් ජනාධිපති කිරීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය රැකපු දැවැන්ත නායකයෙක් වන රනිල් වික්‍රමසිංහ මහතා  මුළු රටේම ජනතාවගේ කුසේ තිබුණු ගින්නත්, හිතේ තිබුණු ගින්නත් නිවීමට කටයුතු කළා.

ගිනි ගත් රටක්, සංචාරකයන් නොපැමිණි  රටක්, අද වන විට ජීවත් වෙන්න පුළුවන් රටක් හැටියට ගොඩ නඟා තිබෙනවා. මේ වසරේදී පමණක් සංචාරකයින් ලක්ෂ පහළොවකට වඩා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මීට වසර දෙකකට පෙර ඇතැමුන් මැතිවරණයක් ඉල්ලා කෑගැසුවා. එදා මැතිවරණයක් පැවැත්වූවා නම් අද රට ආර්ථික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන්ද විනාශ වී හමාරයි. නමුත් එතුමා වසර දෙක කාලයක් තුළ ආර්ථිකය ශක්තිමත් කර ජනාධිපතිවරණය පැවැත්වීමට හැකි තත්ත්වයක් නිර්මාණය කළා. රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ හොඳ පිතිකරුවෙක්. ඒනිසා මෙවර ජනාධිපතිවරණය නමැති ලෝක කුසලානය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අප දිනනවා .

අපි ඔක්කොම රනිල් වික්‍රමසිංහ   මහතා දාලා ගිය විට එක්සත් ජාතික පක්ෂය රැකගත් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි.  එම නිසා එතුමා ජයග්‍රහණය කිරීමේ වගකීම එක්සත් ජාතික පාක්ෂිකයන්ට හිමිවෙනවා. ගෑස් සිලින්ඩරය අලියගෙ පිටේ තියාගෙන මෙවර අප දිනවනවා දිනවනවාමයි.

දිවයින පුරා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිහු සහ පාක්ෂිකයන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

හිටපු අමාත්ය මනූෂ නානායක්කාර මහතා,

ජනතාව 2020 වසරේදී  එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කළා. එදා අපි හිටියේ  රැල්ලට ගිහින් සමගි ජන සන්ධානය හදලා. එදා මුළු රටින්ම එක්සත් ජාතික පක්ෂයට ලැබුණු ඡන්ද එකතු කරලා තමයි, රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ආවේ. නමුත් එක්සත් ජාතික පක්ෂය  පරාජය කිරීම හේතුවෙන් ජනතාවට වසර දෙකක් ඇතුළතදී විශාල පීඩාවකට මුහුණ දෙන්න සිදුවුණා. නමුත් තමන්ව පරාජය කළා කියලා හිතන්නේ නැතුව ඒ මොහොතේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි. මිනිසුන්ට ජීවිතය පිළිබඳ බියක් ඇතිව තිබූ අවස්ථාවක, අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇතිවූ අවස්ථාවක ඒ ජනතා දුක බලන්න කිසිදු නායකයෙක් හිටියේ නැහැ.  

එදා සියල්ල  අර්බුදයේ මුවාවෙන් බලය ලබා ගන්න උත්සාහ කළා.  විපක්ෂ  නායක සජිත් ප්‍රේමදාස මහතාත් අනුර කුමාර දිසානායක මහතා රටේ අර්බුදයෙන්  පාලන බලයට එන්න බැලුවා. නමුත් ශ්‍රී ලාංකේය ජාතිය වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් යුතුකම ඉටුකළ එකම නායකයා රනිල්  වික්‍රමසිංහ මහතායි. රටේ ජනතාව වෙනුවෙන් පපුව උණු වූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි. ජනාධිපති පුටුව වෙනුවෙන් ජනතාවගේ පීඩාවන් දෙස නොබැලූ දේශපාලන කණ්ඩායම් අද බලය ඉල්ලමින් දඟලනවා.

වැටුණු රට ගොඩ ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායකවරයායි. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැන එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආඩම්බරයක් තිබෙනවා . අන්න ඒ පාක්ෂිකයන් නැවත එක් කර ගනිමින් ලබන මාසයේදී නැවත රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීමට කටයුතු කරමු.

වෙනත් දේශපාලන නායකයින් අවුරුදු දෙකක් ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කළා. රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු දෙකක් කළේ ජනතාව දුකෙන් මුදවා ගැනීමේ කටයුත්තයි. එසේ නම් ජනතාව දුකින් මුදවා ගැනීමේ යුතුකමේ මනාපය  ජනාධිපතිවරණයේදී ලබාදෙන්න. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට  අප "ඔපරේෂන් දික්විජය" නමින්  නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. එයට ඔබ සැමගේ දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

Read more