වැල්පාලමේ ගමනේ 75%ක් අවසන් : යළි නොවැටෙන ආර්ථිකයක් හදන්න ජනවරම මට දෙන්න

• ගෘෂාට මුහුණ දීමට සිදුවූයේ එක නතාලියා කෙනෙකුටයි :  මට නතාලියා දෙදෙනෙකුට මුහුණ දීමට සිදුව තිබෙනවා.

• දරුවාගේ අයිතිය ඉල්ලා දෙදෙනාම කෑ ගැසුවද මම වැල් පාලමේ ගමන අවසන් කර රට ජයග්‍රහණය කරවනවා- ජනපති අම්පාර විජයග්‍රාහී ජන රැලිය අමතමින් පවසයි.

රටේ ආර්ථිකය ස්ථාවර කරමින් තමන් මේ වන විට වැල් පාලමේ ගමනේ 75%ක් පමණ දුර පැමිණ ඇති බවත්, වැල් පාලමේ ගමන සම්පූර්ණ කරමින් යළි නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට නම් මෙම සැප්තැම්බර් 21 වනදා පක්ෂ පාට බේදයෙන් තොරව සියලු ජනතාව රට වෙනුවෙන් එක් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වැල්පාලමේ ගමනේදී ගෘෂාට මුහුණ දීමට සිදුවූයේ එක නතාලියා කෙනෙකුට වුවද තමාට  නතාලියා දෙදෙනෙකුට මුහුණ දීමට සිදුව ඇති බව පැවසූ ජනාධිපතිවරයා දරුවාගේ අයිතිය ඉල්ලා ඒ දෙදෙනාම කෑ ගැසුවද තමන් වැල් පාලමේ ගමන අවසන් කර රට ජයග්‍රහණය කරවන බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (16) පස්වරුවේ අම්පාරේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහුවරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජනරැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසිය,

අද අප මුහුණ දෙන්නේ ඉතා වැදගත් මැතිවරණයකටයි. මෙවර මැතිවරණය ජනතාවගේ අනාගතය තීරණය කරන මැතිවරණයක් බව කිවයුතුයි. සමෘද්ධිමත් හොඳ ආර්ථිකයක් ඇති රටක් අවශ්‍යද නැත්නම් පෝලිම් යුගයකට යනවාද කියා මෙවර මැතිවරණයේදී ජනතාව තීරණය කළ යුතුයි. ඒ නිසා නැවත පොලිම් යුගයකට යාමේ වරද සිදු නොකර අප සියලුදෙනා රටක් ලෙස ඉදිරියට යමු කියා මා ජනතාවගෙන් ඉල්ලනවා.

විමලවීර දිසානායක මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා එතුමා හැමදාම මේ වේදිකාවේ මාව විවේචනය කළ කියලා. මෙම වේදිකාවේ සිටින අප එදා දේශපාලන වශයෙන් විවේචන කර ගත්තා. නමුත් සියලුදෙනා බෑ කියපු අවස්ථාවේ අප එකට එක්ව රට වෙනස් කළා. අපි කිසිවෙක් දේශපාලනය දිහා බැලුවේ නැහැ. අපට අවශ්‍ය වුනේ මේ රටේ ජනතාව ජීවත් කරවීමටයි.

රටේ ජනතාව ආහාර නැතිව, ඖෂධ නැතිව දුක් විඳින විට ඉන්ධන සහ ගෑස් පෝලීම්වල දුක් විඳින විට එදා සජිත් හා අනුර ඒ දුක දැක්කේ නැහැ. නමුත් අපට ජනතාවගේ දුක ඉවසාගත නොහැකි නිසා දේශපාලනය පසෙක දමා ජනතාව ජිවත් කරවීම වෙනුවෙන්  එක් වුණා. අපි එකතුවෙලා මේ රටේ ආර්ථිකය ගොඩනැඟුවා.

ආර්ථිකය කඩා වැටුණු ලෝකයේ අනෙකුත් රටවල් දෙස බැලු විට එම කිසිඳු රටක් මෙවන් වේගයකින් සාමාන්‍ය තත්ත්වයට පත්ව නැහැ. නමුත් අප එම වාර්තාව තබා තිබෙනවා. අපට දැන් තිබෙන්නේ 2022 පැවති තත්ත්වයට රට ගෙන යාම නොවෙයි. රට දියුණු කිරීමයි.   ඒ සමඟ අප මෙම අම්පාර දිගාමඩුල්ල දැවැන්ත සංවර්ධනයකට ගෙන එනවා. මහවැලියෙන් අත්හැරුණු කලාප කෘෂිකර්මාන්තය වෙනුවෙන් විවෘත කරනවා. ඒ වගේම මුහුදු කරයේ ධීවර කර්මාන්තය දියුණු කරනවා. ඒ අතරම පානම සිට නිලාවේලි දක්වා දියුණු සංචාරක කලාපයක් ඇති කරනවා.

මම ආපසු හුණුවටයේ කතාව සිහිපත් කළ යුතුයි. දැන් අප වැල්පාලමේ 75%ක් පමණ දුර පැමිණ තිබෙනවා. වැටෙන්නේ නැතිව ඉතිරි ටික යා යුතුයි. වැල්පාලමේ ගමනේදී ගෘෂාට මුහුණ දීමට සිදුවුයේ එක නතාලියා කෙනෙකුට පමණයි. නමුත් මට නතාලියා දෙදෙනෙකුට මුහුණදීමට සිදුව තිබෙනවා.   දරුවා මට ඕන කියා නතාලිනා දෙදෙනාම කියනවා.

එදා මේ රටේ ජනතාව දුක් විඳින විට මේ නතාලියා දෙදෙනා කොහෙද හිටියේ කියා මම අහනවා. අප වැල්පාලමේ ගමන අවසන් කර නතාලියා දෙදෙනා පන්නා දමමු කියා මම ජනතාවට කියනවා. පක්ෂ, පාට බේදයෙන් තොරව අප සියලුදෙනා එක්ව රට ලබාගත් මේ ආර්ථික ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමු. ඒ වෙනුවෙන් සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන්න කියා මම ඉල්ලනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී  විමලවීර දිසානායක මහතා,

පහුගිය වසර 30 තුළදීම මා කතා කර තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධවයි.  නමුත් 2022 වසරේ ඇති අරගලය අවස්ථාවේ  මන්ත්‍රීවරුන්ගේ ගෙවල් , දේපළ ගිනි තියලා මේ රට අරාජික කළ අවස්ථාවේදී ඒ තත්ත්වය සමනය කර සාමකාමී රටක් බවට පත්කිරීමට ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය විනාශ කළ අරගලකරුවන් පාර්ලිමේන්තුවත් විනාශ කිරීමට පැමිණී අවස්ථාවේදී එතුමා පාර්ලිමේන්තුව අරගලකරුවන්ගෙන් බේරා ගත්තා.  ත්‍රස්තවාදී කල්ලි විසින් මේ රට නීතියක් නොමැතිව පාලනය කිරීම ආරම්භ කළ අවස්ථාවේ පටන් ඔවුන්ගෙන් රට මුදාගෙන, ආර්ථිකය නිවැරදිව කළමනාකරණය කර ගනිමින් ජනතාව ජීවත් කිරීමට කටයුතු කළා. ඒ නිසා ‘රනිල්ට පුළුවන්’ කියලා අද පෙන්වා තිබෙනවා.

අපි පසු කරගෙන ආවේ ඩීසල් ලීටර්යක් රුපියල් 2500ට ගත් යුගයක්. ආහාර වගේම ඖෂධද නැති යුගයක්. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදුකරමින් ආර්ථිකය ගොඩ ගැනීම බලාපොරොත්තු වන කණ්ඩායම් වලට රට බාර දුන්නොත් රට බංගලදේශයක් බවට පත්වෙනවා.ඒ නිසා මෙවර ජනාධිපතිවරණය ඔබට වගේම රටටත් තීරණාත්මකයි. ප්‍රජාතන්ත්‍රවාදයේ පහන් සිළුව ආරක්‍ෂා කරගත් වීරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි. ඔබේ ඡන්දයෙන් මීළඟ වසර 5 දී මේ රටේ ජනාධිපතිවරයා වන්නේත් එතුමායි.

හිටපු අමාත්‍ය දයා ගමගේ මහතා,

පසුගිය කාලයේ ජනතාව ජීවත් වුණේ කිසිඳු බලාපොරොත්තුවක් නැතුවයි. අනාගතය පිළිබඳ අවිනිශ්චිත භාවයක් තිබුණු යුගයක් ජනතාව පසු කළා. ජනතාවට ජීවත් වීමට බලාපොරොත්තුවක් ඇති කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි.

එතුමා නැගෙනහිර සංචාරක කලාපයක් බවට පත් කරන අතර , අම්පාර දිස්ත්‍රික්කයටත් විශාල වැඩ කොටසක් සිදු කරමින් තිබෙනවා. අම්පාරේ ජනතාවට සංචාරක ක්ෂේත්‍රයෙන් මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ද ආර්ථිකය දියුණු කර ගැනීමට වැඩපිළිවෙළක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර තිබෙනවා.

අම්පාර ජනතාවගේ ආදායම දෙගුණ කිරීමට එමඟින් හැකියාව ලැබෙනවා. අපනයන කෘෂිකර්මාන්තයක් ඇති කිරීම තුළින් අපනයන ආර්ථිකයක් ඇතිකිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කටයුතු කරමින් සිටිනවා.මේ සෑම ආර්ථික වැඩපිළිවෙළක්ම  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයෙන් පසුව ඉදිරියට සිදු කරනවා. ඒ සඳහා අම්පාර ජනතාවගේ සහයෝගය මෙවර ජනාධිපතිවරණයේදී ලබා දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.

හිටපු අමාත්‍ය නීතිඥ ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය,

රටේ අනාගතය තීරණය කරන මැතිවරණයක් ලෙස මෙවර ජනාධිපතිවරණය සළකන්න පුළුවන්. මීට වසර දෙකකට පෙර ආර්ථිකයේ බිඳවැටීමත් සමඟ ජනතාව උද්ඝෝෂණවලට, අරගලවලට කැඳවමින් ජනාධිපති මන්දිරය වැටලීමට සමහර කණ්ඩායම් කටයුතු කළා.

සාමාන්‍යයෙන් ලෝකයේ අනෙක් රටවල්  ආර්ථික අර්බුදයක් පැමිණි වෙලාවේදී පක්ෂ විපක්ෂ කණ්ඩායම් එකතු වී ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා. නමුත් ලංකාවේ විපක්ෂයේ කණ්ඩායම් ජනතාව අරගලයට කැඳවමින් තවත් රට අරාජික කිරීමට කටයුතු කළා.

එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රට භාරගන්නා ලෙස එම විපක්ෂයේ කණ්ඩායම්වලට ආරාධනා කළා. නමුත් ඔවුන් එදා රට භාර ගැනීම ප්‍රතික්ෂේප කරලා අරගලය තෝරාගෙන තවත් රට අරාජික කළා. ඒ වෙලාවේ රට භාර ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. එතුමාගේ අත්දැකීම් සහ ජාත්‍යන්තර සබඳතා මත ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීමට එතුමාට හැකි වුණා. බංකොලොත් වූ රටක්, භාණ්ඩ හිඟව පැවති රටක්, යථා තත්ත්වයට පත් කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කටයුතු කළා.  

රටට වැඩක් කර ජනාධිපතිවරයා අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට එදා බාර නොගත්තා නම් ශ්‍රී ලංකාව තවත් බංගලාදේශයක් බවට පත්වෙනවා.  මේවා ජනතාවට අමතක වෙලා නැහැ. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේදී  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙන බව අපට විශ්වාසයි.

දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී චන්ද්‍රනේරු මහතා ද මෙහිදී අදහස් දැක්විය.

මහා සංඝරත්නය ප්‍රමඛ අන්‍යාගමික පූජකවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්.ඒ අතාවුල්ලා මහතා සහ පළාත් පාලන දේශපාලන  නියෝජිතයන් ඇතුළු විශාල ජනතාවක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more