අපේ අරගලය අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමටයි

• දේශපාලන පක්ෂ ලෙස රටට වැඩක් කළ හැකි බව අප පෙන්වා දී අවසන්.

• දුරකථනය ඡන්ද හොරකමේ යන විට මාලිමාවට අතීතය අමතක වෙලා.

• රට ගොඩනැඟීමට ශ්‍රීලනිපය ලබාදුන් සහාය අමතක කරන්නේ නැහැ - 73 වන ශ්‍රීලනිප සංවත්සරය අමතමින් ජනපති පවසයි.

දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බව වත්මන් ආණ්ඩුව පෙන්වා දී ඇති බවත්, ඒ අනුව යමින් අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරගලය මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සමගි ජනබලවේගය පක්ෂය ඡන්ද හොරකමේ යන තැනට පහත වැටී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජාතික ජනබලවේගය පක්ෂය අතීතය අමතක වූ පක්ෂයක් බවට පත්ව ඇති අතර, අතීතය නොදැන අනාගතයට යා නොහැකි බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල මොනාජ් ඉම්පීරියල් හෝටලයේ අද (02) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සර උළෙලට එක්වෙමිනි.

පසුගිය දෙවසර තුළ වැටුණු රට ගොඩනැඟීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දුන් සහාය තමන් කිසිදා අමතක නොකරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නිර්පාක්ෂික අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය ගනු ලැබූ යෝජනාව මෙහිදී ඒකමතිකව සම්මත කර ගනු ලැබීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

පළමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සම්මේලනය ඇමතීමේ ගෞරවය මට ලැබී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා එහි ආරම්භක සාමාජිකයෙක් වුණා. පසුව එතුමා ඉන් වෙන් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළා. ඒ වන විට මා වයස අවුරුදු 10යේ පසුවූ අතර, එස්. ඩබ්ලිව්. ආර්. ඩී.  බණ්ඩාරනායක මැතිතුමාව දැනගෙන හිටියා. ඒ වගේම අවස්ථා කිහිපයකදී එතුමාව හමුවීමට ද මට අවස්ථාව ලැබුණා.

අපි පක්ෂ දෙක දෙපැත්තක සිට රට දියුණු කිරීමට කටයුතු කළා වගේම අප අතර බෙදීමක් ද තිබුණා. එහිදී හොඳ හා නරක අප වෙතින් සිදු වුණා. අද අතැමුන් අපෙන් අහනවා ගතවූ වසර 75ක කාලය තුළ මොනවද කළේ කියලා. අප කළ කී දේ පිළිබඳ ලැයිස්තුවක්ම අප සතුව තිබෙනවා. ඒ ගැන පසුවට කියන්නම්. එදා පැවති රජයන් මේ රටේ සෞඛ්‍ය මෙන්ම අධ්‍යාපනය දියුණු කළා. අප කළ හොද වගේම නරකත් භාර ගැනීමට සූදානම්. සමහරුන්ට වාගේ අපට අතීතය අමතක වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අපේ ඉතිහාසය හිස් වෙන්නේත් නැහැ.

අපට විවිධ මත තිබුණා. නමුත් අප නිරතුරුවම රට ගැන හිතුවා. 2022 වසරේදී ද රට ගැන හිතන්න සිදුවුණා. සාම්ප්‍රදායික දේශපාලනය අනුව නායකයන් නැති වුණා. එක පැත්තකින්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වුණා. ඊට පසුව කුමක්ද සිදුවුණේ? විපක්ෂ නායකවරයා වගේම අනුර දිසානායක ද අග්‍රාමාත්‍ය ධූරය බාර ගත්තේ නැහැ. ඒ අය පැනලා ගියා. නමුත් අපි කෙසේ හෝ එක්ව ආණ්ඩුවක් පිහිටවනු ලැබුවා. 2022 ජූලි 09 වැනිදා ගෝඨාභය ජනාධිපතිතුමා තනතුරෙන් ඉවත් වුණා. එතැන් සිට රටට නායකයෙක් හිටියේ නැහැ. රට අරාජිකව තිබුණා. එහිදී රට ගැන සිතා අප සියලුම දෙනා එකතු වුණා. ඒ ගැන මට ආඩම්බරයක් තිබෙනවා.

අප එක්ව රට සහ ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගත්තා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගත් නිසා තමයි අද වන විට ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබී තිබෙනවා. අපට රට ගොඩනඟන්න, ආර්ථිකය නඟාසිටුවන්න පුළුවන් වෙයි කියා කවුරුත් හිතුවේ නැහැ. මාසයක් දෙකක් ඇතුළත අවශ්‍ය වර්ධනය ඇති කරන්න අපට පුළුවන්කම ලැබුණා. ශ්‍රීලනිපයේ සාමාජිකයන්ට මේ අවස්ථාවේදී මම ස්තුතිවන්න වෙනවා. ඔබ සියලුම දෙනා පක්ෂයත් බේරා ගෙන, එක්සත්ව තබාගෙන මා හට සහාය ලබා දුන්නා.

ගත වූ වසර දෙකක කාලය තුළ අප සිදුකළ වැඩසටහන ගැන මෙම අවස්ථාවේ කතා කළ යුතු නැහැ. අපි කෙසේ හෝ රට තුළ ආර්ථිකය ස්ථාවරයත්වයක් ඇති කළා. අපට ඒ ආර්ථික ස්ථාවරයත්වය තහවුරු කිරීමට අවශ්‍යයි. ඒ වගේම මේ රට ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න ද අවශ්‍යයි. තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ලබාදීමට අවශ්‍යයි. අප කැපවී සිටින්නේ රට වෙනුවෙන්. ඇතැමුන් රට ගැන කතා කරලා හිතන්නේ තමන් ගැන විතරයි. අපි රට ගැන කතා කර, හිතන්නේ ද රට ගැන පමණයි. මේ වන විට අපේ අරගලය අලුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීමටයි.

දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බව අප පෙන්වා දී තිබෙනවා. අපි අරගල කරන්නේ එම වෙනස සහ දියුණුව සඳහායි. තරුණ තරුණියන්ට අනාගතයක් ඇති කිරීම වෙනුවෙන් ඒ අරගලය අප සිදු කරනවා. මේ රට හැමදාම හිඟන රටක් වෙන්න බැහැ. හැමදාමත් රටවල්වලින් විදේශ විනිමය ඉල්ලන්න බැහැ. අපට අවශ්‍ය මුදල් අප සෙවිය යුතුයි. රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. ඒ ආර්ථිකය තුළින් මේ රටේ ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් හිමිකර දිය යුතුයි.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන මේ වන විටත් ගම්මාන වෙත පැමිණ තිබෙනවා. දැනටමත් මහින්ද අමරවීර අමාත්‍යතුමා ඊට අදාළ  අත්හදා බැලීම් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම අපි සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ද ගමට එනවා. සංචාරකයන්ගේ පැමිණීම ද දෙගුණයක් කරනවා. මේ සෑම දෙයකින්ම ගමට මුදල් ගලා එනවා. සූර්ය බලශක්තිය ගම්මානවලට ගෙන එනවා. අලුතින් ආයෝජන කලාප ඇති කරමින් රට ඉදිරියට ගෙන යනවා.

අප සියලුම දෙනාම එක්ව වෙලා ලක්ෂ 20කට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. කොළඹ අඩු ආදායම්ලාභීන්ට තට්ටු නිවාස අයිතිය ද ලබා දෙනවා. වතු නිවාසවලට ගම්මාන සමඟ නිවාස ලබාදීමට ද කටයුතු කරනවා. මෙම කටයුතු මේ රට තුළ පළමු වතාවට අප කළ විප්ලව බව කිව යුතුයි. අස්වැසුම ලබා දීමත් විප්ලවයක් නොවෙයිද කියා මා අහනවා.

දුරකථනය සහ මාලිමාව රටට මොනවද කළේ? සමගි ජන බලවේගය දෙමළ පක්ෂවලින් ඡන්දය හොරකම් කරන්න ගිහින් ඒ මොහොතේම අහුවුණා. අද ඔවුන්ට යාපනයටවත් යන්න බැරි තත්ත්වයක් ඇතිව තිබෙනවා. දේශපාලන පක්ෂ එවැනි තත්ත්වයකට වැටිය යුතු නැහැ. ඒ වගේම මාලිමාව අතීතය අමතක වූ පක්ෂයක්. අතීතය ගැන නොදැන අනාගතයට යන්න බැහැ. තමන් කුමක්ද කළේ කියා ඔවුන්ට අමතක වෙලා. ඔවුන්ගේ කැලැන්ඩරයේ 1971 කියන වසර නැහැ. 1971 කියන වසරක් ඔවුන්ට තිබෙනවාද කියා පුළුවන් නම් පෙන්වන්න. අපට කටයුතු කිරීමට සිදුව තිබෙන්නේ මෙවැනි පිරිසක් සමඟයි.

අප සියලුම දෙනාම එකතු වෙලා ගම දියුණු කරමු. ඇතැමුන් පක්ෂ ගැන කතා කරන නමුත් තරුණ තරුණියන් ගැන කතා කරන්නේ නැහැ.  නමුත් අප තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබා දීමට පියවර ගන්නවා. ස්වයං රැකියා අවස්ථා බිහි කරනවා. නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන එනවා. එපමණක් නොව තවත් තරුණ තරුණියන් 50000කට වෘත්තීය පුහුණුව ලැබීම සඳහා මුදල් ලබා දෙනවා. ඔවුන්ට කැමති වෘත්තියක පුහුණුව ලැබිය හැකියි. විදෙස් රටවලට වුවද යෑමට අවස්ථාව තිබෙනවා. විදෙස් රටවල ද සෞඛ්‍ය අංශයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ අවස්ථා හඳුනාගෙන ඒ සඳහා තරුණ තරුණියන් යොමු කිරීමට අප උදව් කරනවා.

අපි මෙතැන සිටින්නේ ජනතාවගේ ජීවිතය තව තවත් දියුණු කිරීමටයි. අපට අවශ්‍ය රට දියුණු කිරීමටයි. අද ගෑස්, ඉන්ධන, ඖෂධ පෝලිම් නැහැ. නමුත් මම එක පෝලිමක් ඇති කරන බව සඳහන් කරනවා. ඒ සැප්තැම්බර් 21 වැනිදා ඡන්ද පොළට යන පෝලිමයි. ඒක නවත්වන්න මම ඉඩ තියන්නේ නැහැ.

මේ ගමන යන අවස්ථාවේදී මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්තුති කරනවා.  එදා අපි දේශපාලන වශයෙන් දෙපැත්තක හිටියත් අප අතර මිත්‍රකම තිබුණා. මේ සෑම කෙනෙක් ගැනම දැනගෙන හිටියා. සියනෑ කෝරළේ අයගෙන් පාර්ලිමේන්තුවට එන්න කලිනුත් දැනගෙන හිටියා. ඒ වගේම නිමල් සිරිපාල ද සිල්වා ද වගකීම් සහගත නායකයෙක් බව පැවසිය යුතුයි. එතුමා වරායත්, ගුවන් තොටුපළත් සංවර්ධනය කරා ගෙන යමින් සිටිනවා. මෙවැනි අවස්ථාවක එම ආයතන ඉදිරියට ගෙන යෑම දක්ෂතාවක් බව කිව යුතුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනයෙන් ඉහළට ආ පක්ෂයක්. මේ කාලය වන විට දේශපාලන කේෂත්‍රයේ විප්ලව ඇතිව තිබෙනවා. ගත වූ වසර දෙක තුළ නායකයන් පක්ෂ අත්හැර ගියා. ඔවුන් අලුත් මාර්ගයක ගමන් කරමින් සිටිනවා. ඔබ ලබා දුන් සහයෝගය මම කිසි දිනෙක අමතක කරන්නේ නැහැ. අප ඉදිරියට ගිහින් ප්‍රතිඵල රටට පෙන්වමු. අපි කිසි දිනෙක පැනලා ගියේ නැහැ. එක තැනක සිට ප්‍රශ්නවලට මුහුණ දුන්නා. අනාගතයේදී ද ප්‍රශ්නවලට මුහුණ දී රට හදන්න එකතු වෙමු. අපි ජයග්‍රහණය කරමු.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා

මා රනිල් වික්‍රමසිංහ මැතිතුමාව හඳුනා ගත්තේ 1989 වසරේදීයි. අපගේ දේශපාලන මත පිළිබඳ වෙනස්කම් තිබුණා. එදා පැවති ගතානුගතික දේශපාලන මත අනුව මමත් එතුමාව බොහෝම තදින් විවේචනය කර තිබෙනවා. නමුත් රට වැටෙන අවස්ථාවේදී මට එතුමාව පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය අසලදි හමුවුණා. අපි සර්ව පාක්ෂික සම්මේලනයක් පවත්වා රට වැටුණු වෙලාවේ නායකත්වය භාර ගන්න සුදුසු කෙනෙක් හොයන බව කිව්වා. ඔබතුමා ඒ සර්වපාක්ෂික සමුළුවට නිහතමානීව පැමිණියා. ඔබතුමා තනතුරු හොයාගෙන යන කෙනෙක් නෙමෙයි. ඒ වගේම එතුමා පවුල් හදන දේශපාලනඥයෙක්ද නොවෙයි.

අද මේ පෙරළිය සිදුව තිබෙන්නේ එදා අපිව පක්ෂයෙන් ඉවත් කළ නිසා බව පැවසිය යුතුයි. නමුත් අද  අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ගේ  දේශපාලන අනාගතය සුරක්ෂිත කර තිබෙනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒ සැමට අවස්ථාවක් ලබා දෙනවා. වැදගත් දේශපාලනය කළ හැකි තරුණ තරුණියන්ට අපේ පක්ෂය විවෘත කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් ලෙස ඔබ විශාල වශයෙන් කැප කිරීම් කරනවා. ඔබ අප සියලුම දෙනාටම එක අරමුණක් තිබෙනවා. ඒ අප ජනතාව වෙනුවෙන් සේවය කිරීමටයි. පෞද්ගලික න්‍යාය පත්‍රවලින් බැහැරව ගිය වැඩ පිළිවෙළක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙනවා.

රට වෙනුවෙන් අපි අපේ තීරණ ගත යුතුයි. මධ්‍යම කාරක සභාවේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට ප්‍රකාශ වුණා. නමුත් ඊට ඉඩ නොදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදිය යුතු බවට අප ඉතා ප්‍රායෝගික තීන්දුවක් අරගත්තා. ජනාධිපති අපේක්ෂකත්වයට මා ඉදිරිපත් විය යුතු බවටත් ඇතැමුන් යෝජනා කළා. නමුත් අප යථාර්ථවාදීව ඒ දෙස බලා දැනට තරග බිමේ සිටින අපේක්ෂකයෙක් තෝරාගත යුතු බවට තීන්දුවක් ගත්තා. අනුර කුමාර දිසානායක සමග අපේ ගනුදෙනුවක් නැහැ. ඔහුට රට වෙනුවෙන් වැඩපිළිවෙළක් නැහැ. ඔවුන්ගේ පාක්ෂිකයන් බලා සිටින්නේ අනිකුත් පාක්ෂිකයන්ගේ නිවාස ගිනි තියන්නයි. ඒ තත්ත්වය ඇති කරන්න අප ඉඩදිය යුතු නැහැ. සජිත් ගිරවෙක් වගේ කියනවා පමණයි. බොරු පොරොන්දු ලබා දෙමින් ජනතාව රවටමින් රට වටේ යනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිරන්තරයෙන් අභියෝගවලට මුහුණ දුන් පක්ෂයක්. ඒ වගේම සෑමවිටම රට වෙනුවෙන් පෙනී සිටි පක්ෂයක්. මෑත යුගය ගතහොත් මීට වසර දෙකකට පෙර අරගලය අවස්ථාවේදී අප රට වෙනුවෙන් පෙනී සිටියා. අපට අවශ්‍ය වුණේ රටත් ජනතාවත් ආරක්ෂා කර ගෙන ඉදිරියට යෑමටයි.  

අද කෑගහන ආර්ථික විශේෂඥයන් එදා කිව්වේ ඩොලර් නොමැතිව රටක් ගෙනි යන්න බැහැ කියලයි. එම අභියෝගාත්මක අවස්ථාවේ විපක්ෂයේ කණ්ඩායම් ඒ වගකීම භාර ගත්තෙ නැහැ.  ඒ අවස්ථාවේ අපේ කණ්ඩායම පාර්ලිමේන්තුවේ  තනි පුද්ගලයකුව සිටි රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය භාර ගන්නා ලෙස ආරාධනා කළා. අප සමඟ පක්ෂ රැසක් එතුමාට සහාය ලබාදීමට එකඟ වුණා.

පොහොර නොමැතිව පාරට පැමිණ උද්ඝෝෂණ කළ ගොවීන් යළි ගොවි බිමට යැවීමේ වැඩපිළිවෙළ සකස් කිරීමේ අභියෝගය ජනාධිපතිතුමා මට භාර දුන්නා. විපක්ෂයේ කණ්ඩායම් එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට උත්සාහ ගත්තා. නමුත් පළමු වැඩසටහන ලෙස ගොවි ජනතාවට පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ ගෙන ආවා. රජයේ වැඩපිළිවෙළ විශ්වාස කරමින් ගොවි ජනතාව අද රටට සහල් අතිරික්තයක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. එහි ගෞරවය ගොවි ජනතාවට හිමි වෙනවා.

තෙල් පෝලිම්, ගෑස් පෝලිම් යුගය අවසන් කර අද රට සාමාන්‍ය තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා එම තීන්දුව නොගත්තා නම් අද රටේ ජනතාව මිය යන්නේ ඖෂධ නැතුවයි. කිරිපිටි නොමැතිව දරුවන්  මිය යන්න ඉඩ තිබුණා.

එදා තෙල් පෝලිම්වල සිටි පිරිස්වලට වැඩි මිලට තෙල් විකිණූ පිරිස් අද මාලිමාවට සහාය දෙනවා. ඔවුන්ට ඒ නායකයන්  හොඳයි. ඒ අන් කිසිවක් නිසා ‍නොවෙයි. මාලිමා පාලනයක් ආවොත්  නැවත අරගලයක් එනවා. නැවත තෙල් පෝලිම් එනවා. එතකොට වැඩි මිලට තෙල් විකුණන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා.  ඒ නිසා තවදුරටත් අත්හදාබැලීම් කරන්න බැහැ. එල්ටීටීඊ සංවිධානයයි, ජනතා විමුක්ති පෙරමුණයි. මේ රටට කළ විනාශය නොවෙන්න අද මේ රට සංවර්ධිත රටක්. රටක් ලෙස ණය ලබා ගැනීමට සිදු වු‍ණේ ඔවුන් එදා කළ විනාශය නිසයි.

අනුර කුමාර දිසානායක එදා ඇමැති මණ්ඩලය නියෝජනය කළා. වැව් දසදහසක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ඔහුට භාර දුන්නා. අඩුම තරමින් වැව් දහයක්වත් හැදුවේ නැහැ. නමුත්  පෝස්ටර්, බැනර්වලින් විශාල ප්‍රචාරණයක් ලබා දුන්නා. සංදර්ශන විතරයි. කරපු දෙයක් නැහැ. එදා ඩබල් කැබ්වල ගිය ඔවුන් අද යන්නේ සුපිරි වාහනවලයි. මේ අය ඇමැති වගකීම් දන්නේ නැහැ. ඒ කාලයේ කළ දේවල් හොයාගෙන ගියොත් අනුර දිසානායක කියන්නේ අසාර්ථකම කෘෂිකර්ම අමාත්‍යවරයායි. ඒ වගේ අසාර්ථක  වූ නිවාස අමාත්‍යවරයෙකුට රට භාරදීලා රට යළිත් විනාශ කරන්න අවශ්‍යද? අපේ ජනතාවට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව අමතක කිරීමට තරම් මේ රටේ ජනතාව ගුණමකුවන් නොවන බව කිව යුතුයි.

ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ භාණ්ඩාගාරික, පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම්, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සරය අප ඉතා අභිමානයෙන් යුතුව අද සමරනු ලබනවා. ශ්රී ලංකා නිදහස් පක්ෂය ආරම්භයේ සිටම අභියෝගවලට මුහුණ දුන් පක්ෂයක්බව කිව යුතුයි. පක්ෂයේ නිර්මාතෘවරයා වන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා ඝාතනයට ලක් වුණා. සිරිමාවෝ මැතිනියගේ ප්රජා අයිතිය අහිමි කෙරුණා. මේ ගමන් මඟ තුළ ශ්රී ලංකා නිදහස් පක්ෂය බාධක කම්කටොලු රැසකට මුහුණ  දුන්නා.  

නමුත් ඒ සෑම අභියෝගයක්ම සාර්ථකව ජයග්‍රහණය කිරීමට අපට හැකි වුණා. මෑත කාලයේදීත් ශ්‍රීලනිපය යම් අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දුන්නා. නමුත් අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සියලු අර්බුදයන් සමනය කර ගැනීමට සමත්ව සිටිනවා. ඒ වගේම අපෙන් වෙන්වූ සියලු පාර්ශ්වයන් පක්ෂය වටා යළිත් ඒකරාශී වෙමින් සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු ඉතිහාසයේ සිට යුගයේ අවශ්‍යතාවය ඉටු කළ පක්ෂයක්. ජාතික ප්‍රශ්නවලදී පක්ෂ පාට පසෙකලා  අපේ යුතුකම අප ඉටු කර තිබෙනවා.

පක්ෂය තුළ විවිධ මතවාද තිබුණත් රට ගොඩ නැඟීම වෙනුවෙන් පක්ෂ භේද සියල්ල අමතක කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීන්දුවක් ගනු ලැබුවා. ඒ සහාය ලබාදීමේ තීරණය නිවැරදි බව අද අපේ රට තිබෙන තත්ත්වය අනුව පෙනී යනවා. අපගේ මේ සහාය ලබාදීම් සිදු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් ඊට අනුකූලව බවද පැවසිය යුතුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ජනතාවට සිදුකළ කාර්යභාරය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්, සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය, චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිනිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් මේ රට වෙනුවෙන් සිදු කළ විශිෂ්ඨ සේවයද මා මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා. වසර 73ක ඉතිහාසය තුළ මේ රටේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදු කළ කාර්යභාරය පිළිබඳව අප ආඩම්බර වෙනවා.

එවන් අභිමානවත් ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද තවත් ඓතිහාසික තීන්දුවක් ගනු ලැබුවා. ඒ මීට වසර දෙකකට පෙර මේ රට ආර්ථික  අර්බූදයකට මුහුණ දී සිටි අභියෝගාත්මක අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ ආණ්ඩුවක්  පිහිටුවා ගැනීමයි. අපි එදා පෙනී සිටියේ පක්ෂයක් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් නොවෙයි. ඉතිහාසයේ සිටම සත්‍යය වෙනුවෙන් පෙනී සිටි  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු තීරණ ගන්නේ රටේ ජනතාව වෙනුවෙන් බව කිව යුතුයි.

දේශපාලනය කියන්නේ ඉන්ධන, පොහොර, ඖෂධ නැති වන විට ‘කෝ ඒවා නැහැනෙ’ කියන එක නොවෙයි. සමස්ත ශ්‍රී ලංකා කාරයන්ට අවශ්‍ය වුණේ රට නැවත ගොඩ නැඟීම පමණයි. එහිදී ඇතැම් කණ්ඩායම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා දමන්න, විකුණන්න උත්සාහ කළා. රටට ආදරය කරන ශ්‍රී ලංකාකාරයන් නිසා පක්ෂය බේරා ගැනීමට හැකියාව ලැබුණා. ඒ ගෞරවය මේ රටේ සිටින සමස්ත ශ්‍රී ලංකා නිදහස්  පාක්ෂිකයන්ට හිමි වෙනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු අන්‍යාගමික නායකයන්, ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර, නියෝජ්‍ය ලේකම් ජගත් පුෂ්පකුමාර, හිටපු ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල, දේශපාලන මණ්ඩල සභික වීරකුමාර දිසානායක යන මහත්වරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංග ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන්, විධායක සභිකයන්, මධ්‍යම කාරක සභා සාමාජිකයන්, ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරුන්, සියලු වෘත්තීය සමිතිවල සාමාජිකයන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සංධානයේ නියෝජිතයන් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more