අනුර කුමාර දිසානායක ජවිපෙ ප්‍රතිපත්තියට බැස ජනතාව බියවැද්දීමට පටන් අරන්

• ඔහු උතුරේ ජනතාවට කළ තර්ජනය ගැන වහාම සමාව ගත යුතුයි.

• දකුණේ ජනතාවගේ නම කැත කළාට දකුණේ ජනතාවගෙන් ද සමාව ගත යුතුයි.

• අනුර ජනාධිපතිවරණය දිනන්නේ නැහැ.

• ධූරයේ වගකීම නිසි ලෙස ඉටු නොකළ  සජිත් අනුරව නිර්මාණය කළා.

• පළාත් සංවර්ධනය වෙනුවෙන් පළාත් සභා සඳහා විශාල සංවර්ධන බලයක් - ජනපති යාපනයේ දී කියයි.

අනුර කුමාර දිසානායක අද ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රමවේදය අනුගමනය කරමින් දකුණේ මෙන්ම උතුරේ ජනතාවද බිය වැද්දීමට පටන්ගෙන තිබෙන බවත් “දකුණේ වෙනසක් සඳහා ජනතාව පෙළ ගැසී සිටියදී එම වෙනසට එරෙහිවූවන් බවට උතුරේ ජනතාව පත්වුවහොත් දකුණේ ජනතාව තුළ කුමන මනෝභාවයක් ඇතිවේදැයි සිතන්න” ලෙස ඔහු උතුරේ ජනතාවට කළ තර්ජනය තමා හෙළා දකින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම තර්ජනය කිරීම සම්බන්ධව  අනුර කුමාර දිසානායක මහතා උතුරේ ජනතාවගෙන්  සමාව ගත යුතු බවත්, ඒ සඳහා දකුණේ ජනතාවගේ නම භාවිතා  කිරීම වෙනුවෙන් දකුණේ ජනතාවගෙන් ද ඔහු සමාව ගත යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (07) පස්වරුවේ යාපනය වඩ්ඩුකොඩිහි පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට යාපනයේ අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අනුර කුමාර දිසානයක ගෙන එන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිවලට අද රට තුළ ඉඩක් නොමැති බවත් ඔහු කිසිසේත් ජනාධිපතිවරණය ජයග්‍රහණය නොකරන බවත්ය.

සජිත් ප්‍රේමදාස විපක්ෂනායක ධූරයේ වගකීම ඉටුකළා නම් අනුර දිසානායකලා රට තුළ නිර්මාණය නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සජිත් වැනි නායකයන්ට රටේ අනාගතය භාරදිය නොහැකි බවද ප්‍රකාශ කළේය.

උතුරේ සංවර්ධනය සහ ඒ වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩසටහන් පිළිබඳවද මෙහිදී ජනතාව දැනුවත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් සංවර්ධනයේදී පළාත් සභා 09ට විශාල සංවර්ධන  බලයක් ලබාදීමට කටයුතු කරන බවද කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

වසර දෙකකට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකිවනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ. එදා අපට ගෑස් පෝලිම්, ඖෂධ හා ඉන්ධන පෝලිම්වල රස්තියාදු වීමට සිදු වුණා. ඡන්දයක් ගැන හිතන්නවත් බැරි වුණා. තමන්ගේ එදිනෙදා ජීවිතය පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දුන්නා.

මම ජනාධිපති ධූරය භාරගත්තේ රටේ අර්ථිකය ස්ථාවර කර මේ වසර දෙක අවසන් වන විට ජනාධිපතිවරණය පැවැත්වීමටයි. අද මෙම 2024 වන විට මට මැතිවරණයක් පැවැත්විමට හැකි වී තිබෙනවා. මම රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කර දැන් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යමින් සිටිනවා. එම අනාගත සංකල්පය “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහනයි.

එදා මේ වගකීම භාර ගැනීමට සජිත් සහ අනුර හිටියේ නැහැ. දෙන්නම පැනලා ගියා. අපිත් පැනලා ගියානම් අද මේ මැතිවරණය පවත්වන්න අපිට රටක් තිබෙනවාද. ඒ නිසා සජිත් හා අනුර මැතිවරණ වේදිකාවල ඒ අයගේ කතා පටන් ගන්න කළින් මට ස්තූති කළ යුතුයි.

අප පසුකළේ පහසු කාල පරිච්ඡේදයක් නොවෙයි. අපට තවමත් අසීරුයි. ප්‍රශ්න තිබෙනවා. නමුත් අනාගතය පිළිබඳ හොඳ බලාපොරොත්තුවක් තිබෙනවා. එම බලාපොරොත්තුව ආරක්ෂා කර ගැනීම සඳහා මා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර මෙරට  ආර්ථිකයට දරා ගත නොහැකිව තිබු  ණය බර අපි අඩු කරගත්තා. ඒ වගේම ජනතාවට ජීවන බර පිළිබඳ ගැටළුවකට මුහුණ දීමට සිදු වුණා. නමුත් ක්‍රමාණූකූලව අද අප එම ජීවන බර අඩු කරමින් සිටිනවා. රටේ අර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කිරීමත් සමඟ අපි රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළා. උදය ආර්. සෙනෙවිරත්න කමිටු වාර්තාව අනුව ඉදිරියේ දී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අප කටයුතු කරනවා.

අප අස්වැසුම වැඩසටහන ගෙනවිත් සමෘද්ධිය මෙන් තුන් ගුණයක් ප්‍රතිලාභ ජනතාවට ලබා දුන්නා. විශ්‍රාම වැටුප් වැඩි කළා. අබාධිත ප්‍රජාවගේ දීමනා වැඩි කළා. මේ අයුරින් සියලු ආධාර මුදල් වැඩි කර තිබෙනවා. ආර්ථිකය ශක්තිමත්වීම නිසා අපට මෙම පියවර ගැනීමට හැකි වුණා.

අද බඩු මිල අඩු වී තිබෙනවා. නමුත් අප ජනතාවට තවත් සහන ලබාදිය යුතුයි. 2025 වසර තුළ මෙම වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. රුපියල ශක්තිමත්වීම සමඟ ජනතාවට සහන ලබාදීමට අපට හැකි වෙනවා.

අපි ලංකාවට හොඳම කෘෂි තාක්ෂණය ගෙනවිත් තිබෙනවා. වැඩිවන ලෝක ජනතාවට අවශ්‍ය ආහාර සැපයීමට අප සූදානම් විය යුතුයි. අප මේ ප්‍රදේශවල වී වගාව දියුණු කළ යුතුයි. ප්‍රධාන කෘෂිකර්ම පළාතක් ලෙස අප උතුරු පළාතට එම වාසිය ලබා දිය යුතුයි. ඒ වගේම උතුරේ නව අයෝජන කලාප ඇති කිරීමටත්  සංචාරක කර්මාන්තයේ දියුණුවක් ඇති කිරිමටත් අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි යාපනයට ගංගාවක් කියන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මෙම පළාතේ ඩිජිටල් මධ්‍යස්ථාන ඇති කිරීමට කටයුතු කරනවා.

මෙම වැඩකටයතු මහා ආණ්ඩුවට තනිව කරන්න බැහැ. ඒ නිසා පළාත් සභා 09ට එම බලතල සමඟ විශාල සංවර්ධන බලයක් මම ලබා දෙනවා. ඒ වෙනුවෙන් පළාත් සභා මණ්ඩල වැනි ආයතන ද අපි ඇති කරනවා. මම ඔබ හමුවට ආවේ මෙම කටයුතු ඉදිරියට ගෙන යාමේ ජනවරම ඉල්ලීමටයි.

ඔබේ ඡන්දය ඉල්ලන්න අනුර දිසානායකත් මෙහි පැමිණියා. ඔහු කිව්වේ “දකුණේ වෙනසක් සඳහා ජනතාව පෙළ ගැසී සිටියදී එම වෙනසට එරෙහිවුවන් බවට ඔබ පත්වුවහොත් කුමන මනෝ භාවයක් දකුණේ ජනතාව තුළ ස්ථාපිත වේදැයි සිතන්න. ඒ වෙනසට විරුද්ධ වූවන් ලෙස යාපනය හඳුන්වනවාට ඔබ කැමතිද, උතුර හදුන්වනවාට ඔබ කැමතිද, අප ජයග්‍රහණය කරනවා. හැබැයි එම ජයග්‍රහණයේ පංගුකරුවන් බවට ඔබ පත්විය යුතුයි. ඊට එරෙහිවුවවන් බවට පත් වෙන්න එපා” කියලයි. මේ අනුර කියන්නේ ඡන්දය දුන්නේ නැත්නම් බලාගනිමු කියලා නොවේද, අනුර කුමාර දිසානායක යාපනය ජනතාවට තර්ජනය කරනවා. මම එය හෙළා දකිනවා.

2010 ජනාධිපතිවරණයේ දී අපි උතුරට ආවා. අපි මෙහි ජනතාවට කිව්වා සරත් ෆොන්සේකාට ඡන්දය දෙන්න කියලා. මේ ජනතාව සරත් ෆොන්සේකාට ඡන්දය දුන්නා. දකුණේ ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නා. දකුණේ ජනතාව ඇවිල්ලා ඔබට ගැහුවද? ඒ කිසිවක් සිදු වුණේ නැහැ. අවසානයේ ඩග්ලස් දේවානන්ද මහතාට අමාත්‍ය ධූරයකුත් ලැබුනා.

2015  අපි සියලුදෙනා කිව්වා මෛත්‍රිපාල සිරිසේනට ඡන්දය දෙන්න කියලා. දකුණේ ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නා. අපි දිනුවා. මොනවත් වුණේ නැහැ. 2019 වසරේ යාපනයේ ජනතාව සජිත් ප්‍රේමදාසට ඡන්දය දුන්නා. දකුණේ ජනතාව ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නා. ගෝඨාභය රාජපක්ෂ හමුදාව අරගෙන මෙහාට ආවේ නැහැ. හැම වෙලාවෙම අපි ප්‍රතිඵලය පිළිගෙන තිබෙනවා.

ඒ නිසා අනුර කුමාර දිසානායක කොහොමද ඔබට තර්ජනය කරන්නේ. ඔහු දිනන්නේ නැහැ. ඒ බව මම සහතික කරනවා. ඔහු දකුණේ ජනතාවත්, උතුරේ ජනතාවත් බය කරන්න හදනවා. ඔහු ගෙන යන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රමවේදයයි. ඒ කාලේ චිට් දුන්නා. මගේ මිත්‍ර අනුර කුමාර දිසානායකට මම කියනවා මේ පිළිබඳ වහාම උතුරේ ජනතාවගෙන් සමාව ඉල්ලන්න කියලා.

ඒ වගේම සිංහල ජනතාවගේ නම කැත කළ නිසා සිංහල ජනතාවගෙනුත් සමාව ඉල්ලන්න කියා මම ඔහුට කියනවා. ඉන්පසුව ගිහින් විපක්ෂයේ වාඩිවෙන්න කියලා මම ඔහුට කියනවා. ජනතා විමුක්ති පෙරමුණේ තර්ජන ඔහු සිදු නොකළ යුතුයි කියලා. ඊට අපි බය වෙන්නෙත් නැහැ, ඉඩ දෙන්නෙත් නැහැ කියලා මම කියනවා.

සජිත් ගැන කථා කරලා වැඩක් නැහැ. සජිත් විපක්ෂනායක ධූරයේ වගකීම හරියට කළානම් අනුර දිසානායක අද නැහැ. එයාට අනුර නවත්වන්න බැහැ. ඒ නිසා ඔහු වෙනුවෙන් ඡන්දය නාස්ති කරන්න එපා.

අපට තිබෙන්නේ මේ රට දියුණු කරගෙන ඉදිරියට යන්න. ඒ වෙනුවෙන් සැප්තැම්බර් 21 දා ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ගහන ලෙස මම ඉල්ලනවා.

අමාත්ය සුසිල් ප්රේම්ජයන්ත මහතා,

මෙය රනිල් වික්‍රමසිංහ මහතාට ඔබ ඡන්දය ලබා දෙන පළමු අවස්ථාව නොවෙයි. මීට පෙර 2005 දී  එදා ඔබ  අලියා ලකුණට ඡන්දය දුන්නා. ඒ අවස්ථාවේදී යාපනයෙන් 85%කට වැඩි ප්‍රමාණයක් ඡන්දය ලබා දී තිබුණා. මෙවර එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් නොවෙයි. එතුමා ගේ ලකුණ ‘ගෑස් සිලින්ඩරයයි

එදා අලියා ලකුණ ඉදිරියේ කතිරය ගැසූ ඔබ ලබන 21 වැනිදා ගෑස් සිලින්ඩරය ඉදිරියේ කතිරය ගසන බව අපට විශ්වාසයි.

එදා උතුරේත් දකුණේත් පැවති ලොකුම ප්‍රශ්නය වුණේ ආර්ථිකය කඩා වැටීමයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් කර වසර දෙකක් තුළ වැටුණ රට නඟා සිටුවන්න එතුමාට හැකි වුණා.

එතුමා විසින් මාව අධ්‍යාපන අමාත්‍යවරයා  ලෙස පත් කර යාපනය ප්‍රදේශයේ අධ්‍යාපනය නඟා සිටුවීමට උපදෙස් දුන්නා. යාපනය ජනතාවට අංක එකත්, දෙකත්, තුනත්  අධ්‍යාපනය බව එතුමා දැන ගෙන සිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාර ගන්නා විට දරුවන්ට පාසැල් යන්න බස් , ඉන්ධන තිබුණේ නෑ.දිවා ආහාර තිබුණේ නෑ. ඒ ව‍ගේම ගුරු සහ විදුහල්පති අඩුපාඩු තිබුණා.

මොන තරම් ආර්ථික අපහසුතා තිබුණත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිසුන්ට නිල ඇඳුම්, පෙළ පොත් ලබා දීමට කටයුතු කළා. ඒ වගේම  ප්‍රාථමික අංශයේ සිසුන් ලක්ෂ 17කට දිවා ආහාරය ලබා දුන්නා. ගුරුවරු විදිහල්පතිවරු බඳවා ගත්තා. විභාග පැවැත්වුවා. ලබන වසරේ සිට දෙසැම්බර් මාසයේ දී  සාමාන්‍ය පෙළ විභාගයත් අගොස්තු මාසයේදී උසස් පෙළ විභාගයත් නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මේ අතරේ දකුණේ ගුරුවරු ලෙඩ වෙලා පාසැල් වසා තිබුණා. ඔවුන් ඇත්තට ලෙඩා වුණා නොවෙයි. බොරුවට ලෙඩ වී වැටුප් විෂමතා ඉවත් කරන ලෙස වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තා. එය මෙහෙය වුයේ ජනතා විමුක්ති පෙරමුණෙයි. ඔවුන්ට අවශ්‍ය ඔබේ දරුවාට අධ්‍යාපනය ලබා දීම නොව බලය ලබා ගැනීමයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා නැති කිරීම වෙනුවෙන් පත් කළ කමිටුවේ වාර්තාව අනුව වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව 2025 ජනවාරි 01වෙනිදා  සිට රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 55 000ක් වෙනවා. සියලු රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි වෙනවා. මෙම වැටුප් වැඩි කිරීම ජනාධිපතිවරණය ඉලක්ක කර සිදු  කළ දෙයක් නොවෙයි. මෙම වැටුප් ගෙවීම  සඳහා අවශ්‍ය මුදල් අප සොයා ගෙන තිබෙනවා. වෙනත් ජනාධිපති අපේක්ෂකයෙක් මෙවන් වැඩිපිළිවෙළක් ඉදිරිපත් කර නැහැ. මේ යෝජනා අයවැයට ඉදිරිපත් කර ක්‍රියාත්මක කළ හැකි වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් ජනාධිපතිධුරයට පත් වුනොත් පමණයි.

ජනතා විමුක්ති පෙරමුණ බලයට පත් වුවහොත් පාර්ලිමේන්තුව විසුරවනවලු. එවිට අයවැයක් හෝ මේ වැටුප් වැඩි කිරීම සිදු වන්නේ නැහැ.

ඒ වගේම ලෝකයේ දියුණු රටවල පවතින  අධ්‍යාපන ක්‍රම හඳුන්වා දෙමින් ජනවාරි 01 වනදා සිට  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  සිදු කෙ‍රෙනවා. මේ සියලු දේ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව සිදු කෙරෙනවා.

අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,

මෙම අවස්ථාව මට පෞද්ගිලකව ඉතා සංවේදී අවස්ථාවක් වනවා. 1996 වසරේ මා නිවාස ඉදිකිරීම් හා මහජන උපයෝගීතා අමාත්‍යවරයා ‍ ලෙස කටයුතු කරද්දී යාපනයේ ගොඩනැගිලිද්‍රව්‍ය සංස්ථාව විවෘත කිරීමට පැමිණියා. ඒ අවස්ථාවේ සිදු වූ බෝම්බ පිපිරීමකින් 26 දෙනෙකු මිය ගියා. එහි කැබැල්ලක් තවමත් මගේ හිසේ තිබෙනවා. එදා එසේ සිදු වුණා කියා මට යාපනයේ ජනතාව සමඟ කිසිදු වෛරයක් නැහැ. යාපනයේත්, මා නියෝජනය කරන ඌව පළාතේත් ඉන්නේ එකම ආකාරයේ ප්‍රශ්න තිබෙන අහිංසක ජනතාවක්. මේ රටේ රාජ්‍ය නායකයාත් අණ්ඩුවත් මේ ප්‍රශ්න ගැන සංවේදීව බලා ඒවාට විසඳුම් ලබා දෙමින් සිටිනවා.

බොහෝ දේශපාලන නායකයින් යාපනයේ ජනතාව දෙස බැලුවේ ත්‍රස්තවාදීන් ලෙසයි. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කවදාවත් ඒ අයුරින් බලා නැති බව කිව යුතුයි. දකුණත් සමඟ උතුර එකවර සංවර්ධනය කරමින් කටයුතු කිරීමට එතුමා තම ජීවිත කාලයම වෙහෙසුනා. ‘උරුමය’ වැඩසටහන තුළින් යාපනය ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නය වන ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කළා. එය ආරම්භ කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බව අමතක කරන්න එපා.

ඒ වගේම ගෑස්, ඉන්ධන, ආහාර පානවලට ලබා දෙන ප්‍රමුඛත්වයම ලබා දෙමින් කෘෂි කර්මාන්තයට අවශ්‍ය පොහොර ලබා දීමට එතුමා කටයුතු කළා.  උතුරේ ඔබ කෙරෙහි දක්වන සැළකිලිමත්භාවය එතුමා සෑම විටම පෙන්වා තිබෙනවා. නමුත් එතුමා ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් බොරු කියන්නේ නැහැ. ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් ඔබේ ප්‍රශ්න විසඳීමට එතුමා බලාපොරොත්තු වෙනවා. එතුමා ජාතිවාදය කරපින්නා ගෙන දේශපාලනය කරන පටු දේශපාලනඥයෙක් නොවෙයි.

මේ ජනාධිපතිවරණයේදී උතුර මෙන්ම දකුණත් ජය ගන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායා. මේ රටේ ජනාධිපතිවරයා  එක පැත්තකින් පමණක්  ජයග්‍රහණය කිරීම ප්‍රමාණවත් නැහැ. ඔහු මුළු රටම ජයග්‍රහණය කළ යුතුයි. ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් බවට පත්වන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා. උතුරේත් දකණේත් ජාතිවාදී දේශපානය ඔබ ප්‍රතික්ෂේප කළ යුතුයි. ජාතීන් අතර සහජීවනයෙන් ජීවත් විය යුතු බව තිස් අවුරුදු යුද්ධය අපට උගන්වා තිබෙනවා. ඒ තත්ත්වය මේ රටෙ නැවත ඇති වෙන්නේ නැහැ. එසේ නොවන්නට ජනතා අභිලාෂයන් තේරුම් ගත් නායකයෙක් ඉන්නවා නම් ඒ රනිල් වික්‍රමිසංහ මැතිතුමායි. එතුමා පක්ෂයට වඩා රට ගැන හිතන කෙනෙක්. දැන්  එතුමාට තිබෙන්නේ සමඟියේ වේදිකාව පමණයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා,

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට භාර නොගත්තේ නම් අද මේ රට මහා විනාශයකට තල්ලු වීමට ඉඩ තිබුණා. ඔබේත් රටේත් වාසනාවකට එතුමා රට භභාර ගෙන ඔබේ අනාගතය සුරක්ෂිත කිරීමට පියවර ගත්තා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පසුගිය වසර දෙක තුළ අපව කිසිම පෝලිම රස්තියාදු කළේ නැහැ. ලබන 21 වැනිදා ඔබ නිවැරදි තීන්දුවක් නොත්තොත්, එතුමා රටේ ජනාධිපති බවට පත් නොකළහොත් නැවත රටේ පෝලිම් ඇතිවීම වැළැක්වි නොහැකියි.  

හිටපු රාජ්ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය,

අද දෙමළ ජනතාවගේ ඡන්ද ජනාධිපතිතුමාගේ තීරණාත්මක බලවේගය බවට පත් වී තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය අප විසින්  තහවුරු කළ යුතුයි. එසේ නොවුවහොත් 2022 දී රට මුහුණ දුන් තත්ත්වයට නැවත පත් වීම වළක්වා ගත නොහැකියි.  

එදා මුහුණ දුන් දුෂ්කරතාවලින් රටේ ජනතාව මුදා ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි. අද බොහෝ දෙනෙකුට එය අමතක වී තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජනාධිපතිතුමා තනියම සටනක් කළා. ඒ ආර්ථික ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ළඟ තිබෙන බව එතුමා මේ වන විට පෙන්වා දී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසු වන්නේ ඒ නිසයි. අත්දැකීම් රහිත නායකයෙකු තෝරා ගැනීම ආදිනව ගෝඨාභය රාජපක්ෂගේ පාලනයෙන් අපි අත් වින්ඳා. සජිත් ප්‍රේමදාස මහතා සමඟ සිටි පිරිසක් එදා රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට ඉදිරිපත් වූයේ නැතත් ජනාධිපතිතුමා තනි මන්ත්‍රීවරයෙක් ලෙස ඒ අභියෝගය බාර ගෙන අද වන විට රට මුදා ගෙන ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් ගත කිරීමට හැකි තැනට පත් කර තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටන අනෙක් අපේක්ෂකයන්ට ඒ හැකියාවවත්, රට දියුණු කිරීමේ සැලැස්මක්වත් නැහැ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගුරුහරුකම් දුන් අයම අද සජිත් ප්‍රේමදාස මහතාට ගුරුහරුකම් ලබා දෙනවා. උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පමණක් බව අප මතක තබා ගත යුතුයි. උතුරේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට ඉදිරිපත් වුණේ එතුමා පමණයි. ඒ නිසා 2005 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඡන්දය නොදී උතුරේ ජනතාව සිදු කළ වරද නැවත නොකළ යුතුයි. එදා ඔබ ඒ වරද නොකළා නම් අද මේ රට ලෝකයේ දියුණු රටක් බවට පත් වීමට ඉඩ තිබුණා.

මහා සංඝරත්නය, අන්යාගමික පූජකයින්, යාපනය නගර සභාවේ හිටපු මන්ත්රී සහ නල්ලුර් සංවිධායක සින්නතුරෙයි කුලේන්තිරාජා, එම්, නාගේස්වරන්, උඩුපිඩි සංවිධායක එස්. මෝහන්දාස් යන මහත්වරුන් සහ ප්රාදේශීය දේශපාලන නායකයන්, ආසන සංවිධායකවරුන්, දිස්ත්රික් සංවිධාකවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more