පාර්ලිමේන්තු බලය සමඟ රටේ ආර්ථිකය ස්ථාවර කළ මා අද ජනතා බලය ඉල්ලන්නේ රට ගොඩනැඟීමේ විප්ලවය සිදු කිරීමටයි

• රටට අවශ්ය වෙනසක් නොව ප්රායෝගික වැඩපිළිවෙළක්.

• ඉදිරි වසර 05තුළ රටේ ආර්ථික පෙරළියක් සිදුකර නව ආර්ථිකයක් නිර්මාණය කරනවා.

• අනුමත කරගත් එකඟතාවන් සමඟ ඉදිරියට යා යුතු බව IMF එක දැනුම් දී තිබෙනවා.

• මා ඉල්ලා  අස්වෙන හෝ පැන දුවන පුද්ගලයෙක් නොවෙයි.

• සජිත්ට ඉගැන්වීමට නොහැකි වු දුවන්නේ නැතිව සිටීමේ පාඩම ඉගැන්වීමට මා සමඟ එක්වන්නැයි ඔහුට කියනවා - ජනපති මහනුවර දී කියයි.

ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගෙයේ ප්‍රබලයන් පිරිසක් ජනපතිට සහාය දැක්වීමට එක් වෙති.

මෙරට ආර්ථිකය 2022 වසරේ කඩා වැටුණු අවස්ථාවේ පාර්ලිමේන්තු බලය සමඟ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළ තමන් අද ජනතාවගේ ඡන්ද බලය ඉල්ලා සිටින්නේ රට ගොඩනැඟීමේ විප්ලවය සිදු කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තමා ජනාධිපති ධූර අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට සුදානම් වන බවට සමගි ජන බලවේගය අද අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන බව පැවසූ ජනාධිපතිවරයා තමා ඉල්ලා අස්වන කෙනෙකු හෝ සජිත් හා අනුර මෙන් පැන යන කෙනෙකු නොවන බව ද අවධාරණය කළේය.

එසේම  තමාට සජිත්ට ඉගැන්වීමට නොහැකි වූ දුවන්නේ නැතිව සිටිමේ පාඩම ඉගැන්වීමට තමා සමග එක්වන ලෙස ඔහුට පවසන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (15) මහනුවර පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

සජිත් හා අනුර වෙනසක් ගැන කථා කළද රටට අවශ්‍ය වෙනසක් නොව ප්‍රායෝගික වැඩපිළිවෙළක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරි වසර 05 තුළ මෙරට ආර්ථික පෙරළියක් සිදු කර නව ආර්ථිකයක් ගොඩනඟා දෙන බවටද ජනතාවට සහතික විය.

මේ අතර ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික අනූෂ විමලවීර,  ජාතික ජන බලවේගය පක්ෂයේ කුණ්ඩසාල ආසන සංවිධායක  සිසිර කුමාර සෙම්බුවත්ත සහ සමගි ජන බලවේගය පක්ෂයේ ඉස්ලාම් කටයුතු ලේකම් ඕ. කේ. නවාස් යන මහත්වරුන් ජනාධිපතිවරයාගේ විජයග්‍රහණය වෙනුවෙන් සහාය පළ කිරීමට එක්විම ද විශේෂත්වයක් විය.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

මීට වසර දෙකකට පෙර ජනතාව ඡන්දයක් ඉල්ලුවේ නැහැ. ඡන්දයක් පැවැත්වීමට පුළුවන් වෙයි කියා ජනතාව සිතුවේ නැහැ. නමුත් අද ජනතාව මුදල් උපයනවා. මේ දීර්ඝ සති අන්තයේ මහනුවර, නුවරඑළිය, බණ්ඩාරවෙලට පැමිණ සිටින ජනතාව දුටු විට රට ලබා තිබෙන ආර්ථික ප්‍රගතිය අපට පෙනෙන්නට තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙකු ඉදිරිපත් වී සිටිනවා. එදා ආණ්ඩුව භාර ගැනීමට ඔවුන් ඉදිරිපත් වුණානම් මට මෙතනට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රධාන අපේක්ෂකයන් වන අප තිදෙනාම මීට පෙර ජනාධිපතිරණ සඳහා ඉදිරිපත් වෙලා තිබෙනවා. මම 1977ට පෙර මගේ දේශපාලන කටයුතු ආරම්භ කළා. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ගාමිණි දිසානායක, ලලිත් ඇතුළත්මුදලි,  ගාමිණි අතුකෝරාළ මැතිතුමන්ලා සහ මම එක්වී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවූවා. ඔවුන්ගෙන් අද ඉතිරිව සිටින්නේ මම පමණයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීමේ වගකීම මට පැවරී තිබෙනවා.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කථා කර මහවැලි ව්‍යාපාරය ආරම්භ කළා, ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර බවට පත් කළා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාත් ජේවීපී ත්‍රස්තවාදය නිසා විනාශ වු මේ රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් විශාල වැඩකොටසක් කළා. ඒ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අපගේ කාර්මාන්ත උපායමාර්ග ඉදිරියට ගෙන ආවා. මෙම වැඩකොටස ලංකා ඉතිහාසයේ වාර්තාවක්  වන බව කිවයුතුයි.

රණසිංහ ප්රේමදාස ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් එල්ල වූ අවස්ථවේ එතුමාව බේරගත්තේ මමයි. මම එතුමාව බේරුවේ නැත්නම් අද සජිත් ප්රේමදාස දේශපාලනයේ නැහැ.

ඒ වගේම රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ මරණය අවස්ථාවේ එම වගකීම් භාරගෙන කටයුතු කළේ මමයි. දෝෂාභියෝගය සමයේ මගේ මිත්‍ර ලලිත් සහ ගාමිණිව අතහැර මම පක්ෂය සමග සිටියා. රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ පුතා පියාගේ ප්‍රතිපත්ති පාවා දීම ගැන මම කණගාටු වෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට ඔහුට තිබෙන අයිතිය මොකක්ද කියලා මම දන්නේ නැහැ.

මේ රටේ ආර්ථිකයට සිදුවන හානිය මම 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී කිව්වා. නමුත්කවුරුත් ඒක පිළිගත්තේ නැහැ. අපි පැවසු ආකාරයෙන්ම මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. 2022 ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ මම රට භාර ගත්තා. එහිදී මා හැම පක්ෂයකම සහාය ඉල්ලුවා. සජිත් මට සහාය දුන්නේ නැහැ. ඒ වෙනුවට පොහොට්ටුවෙන් කැඩුණු ජී.එල්.පීරිස් සමග එක්ව ඩලස් අලහප්පෙරුමට සහාය දීලා සජිත් අගමැති වෙන්න ලෑස්ති වුණා. සජිත් අගමැතිකම මගෙන් ඉල්ලුවා නම් මම දෙනවා.

අද හිටපු කෘෂිකර්ම ඇමති සහ සජිත් ප්‍රේමදාස  මගෙත් එක්ක තරග කරනවා. ඒ එක් අයෙක්වත් එදා ආණ්ඩුව භරගන්න සූදානම් වුණේ නැහැ. එදා රටේ නීතිය හා සාමය ඇති කිරීම සහ ජනතාව ජීවත්කරවීමේ වගකීම ආණ්ඩුවට පැවරී තිබුණා. ඇයි එදා ඔවුන් මේ වගකීම භාරගත්තේ නැත්තේ. අද හැම එකක්ම නොමිලේ දෙන්න පොරොන්දු වෙනවා. ඇයි එදා මේවා කළේ නැත්තේ කියා මම ඔවුන්ගෙන් අහනවා.

අද අනුර කුමාර  අහනවා දේශපාලනඥයෝ නිර්දන පන්තිය අතහැර දමා තිබෙන්නේ ඇයි කියලා. නිර්ධන පන්තිය පිළිබඳ ඔච්චර කැක්කුමක් තිබුණා නම්  එදා ආර්ථික අර්බුදය හමුවේ රට භාරගත්තේ නැත්තේ ඇයි. මම රටේ ආර්ථිකය හැදුවට පස්සේ දැන් රට ඉල්ලනවා.

සජබෙ කියනවා මම ජනාධිපති ධූර අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වෙන්න හදනවා කියලා. ඔවුන් දැනගන්න ඕන මම ඉල්ලා අස්වෙන මිනිහෙක් නොවෙයි කියලා. ඔවුන් වගේ ධාවන සපත්තු දාලා දුවන මිනිහෙක් නොවෙයි කියලා. මම එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනාට කියනවා මා සමඟ එක් වන්න කියලා. සජිත් ප්‍රේමදාසටත් මම එන්න කියනවා, ඔහුට උගන්වන්න බැරි වුණ දුවන්නේ නැතිව සිටීමේ පාඩම මම උගන්වන්නම්. අ

මම දුෂ්කර කාලයකදී මේ රටේ ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් දුෂ්කර තීරණ ගත්තා. අකමැත්තෙන් වුවද වෛද්‍යවරයෙක් ශල්‍යකර්මයක් සිදුකරන අයුරින් එම තීරණ ගැනීමට සිදු වුණා.

ආර්ථිකය දියුණුවීමත් සමග  ජනතාවට අප තවත් සහන ලබා දෙනවා. මගේ මූලික පරමාර්ථය 2025 වසර අවසන් වන විට ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමයි.

දැන් සජිත් හා අනුර කියනවා  භාණ්ඩ මිල අඩු කරනවා, සහන දෙනවා කියලා. මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අඩු කර නැති දෙයක් හොයන්න නැහැ. ඒ වගේම සජිත්ට ඉතිරිවෙලා තියෙන්නේ හිසරදරය නොමිලේ දෙන්න විතරයි. මේ සියල්ල දුන් විට ආණ්ඩුවේ වියදම වැඩි වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සියලු අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රකාශ පරීක්ෂා කර තිබෙනවා. IMF එක සැප්තැම්බර් 13 වනදා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. “ඉතිහාසයේ සිදුවූ දරුණුම අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබාදීම සඳහා මෙම වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ඉතා වැදගත් වනවා” කියා එහි සඳහන්ව තිබෙනවා. IMF කියන්නේ මෙම ඉලක්ක වෙනස් කරන්න එපා කියලයි.

ඒ වගේම ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කිරීම අත්‍යාවශ්‍ය බව සඳහන් කර තිබෙනවා. කවුරු බලයට ආවත් ඒවා වෙනස් කරන්නේ නැහැ කියලයි කියන්නේ. ඒ අනුව IMF එක දැනුම් දී තිබෙන්නේ අනුමත කරගත් එකඟතාවන් සමග ඉදිරියට යා යුතු බවයි. මේවා කියන්නේ මම නෙවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි.

අද අනුර කුමාර කියන්නේ මට ඔය පුටුවේ ඉදගන්න බැරි වුණා. මට චාන්ස් එකක් දෙන්න කියලා. මෛත්‍රිපාල සිරිසේනව ජනාධිපති පුටුවට ගෙනත් දැම්මේ මම නෙවේ ජනතා විමුක්ති පෙරමුණයි. ඔහුගේ නම යෝජනා කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ඔවුන් උත්සාහ කරන්නේ මුහුණු වෙනස් කරන්නයි.

මම නම් වෙනසක් කරන්නේ නැහැ. පාර්ලිමේන්තු බලය සමග මම රට ස්ථාවර කළා. මම ජනතාවගේ ඡන්ද බලය ඉල්ලන්නේ විප්ලවයක් කරන්නයි.  වෙනස ගැන කථා කරලා වැඩක් නැහැ, ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍යයි. වසර 05 ක් තුළ මෙරට ආර්ථිකයේ පෙරළියක් ඇති කර නව ආර්ථිකයක් ගොඩනඟා දෙන බවට මම ජනතාවට සහතික වෙනවා.

ඒ වගේම අස්වැසුම සහ උරුමය වැඩසටහන් ක්‍රියාත්මක කර මම සමාජ විප්ලවයක් සිදු කරනවා. මෙම විප්ලවය කසිවෙක් සිදු කළේ නැහැ. සමාජ සාධාරණත්ව කොමිසම ඇති කරනවා. ඒ වගේම දුෂණ විරෝධි න්‍යාය පත්‍රය ඉදිරිපත්කරනවා. ඒ වගේම නැවත දිස්ත්‍රික් සංවර්ධන මණ්ඩල ඇති කර ජන සභා ඇති කර තිබෙනවා. මෙය විශාල විප්ලවයක් බව කිවයුතුයි. ඒ නිසා මෙම විප්ලවය සමග එක්වන ලෙස මම සියලුදෙනාට ආරාධනා කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ අප සියලුදෙනා එක්වෙලා මෙම විප්ලවය සිදු කරමු. ඒ නිසා අලුත් බලවේගයක් ලෙස ඉදිරියට යාමට සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරිපස කතිරය ගසා මට ජන වරම ලබාදෙන ලෙස ඔබ සියලුදෙනාගෙන් ඉල්ලනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

කන්ද උඩරට ජනතාව හැමදාම කෘතගුණ සලකනවා. මේ රටට විශාල මෙහෙවරක් සිදු කර තිබෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන්න කන්ද උඩරට ජනතාව නිශ්චිත වශයෙන්ම කටයුතු කරනවා. මේ වැසි මධ්‍යයේ පැමිණ සිටින ජනතාව දිහා බැලූ විට එය ස්ථිරයි.

මීට වසර දෙකකට පෙර රාජ්‍ය පාලනය බිඳ වැටුනා. එවැනි සිදුවීමක් වුණේ ඉතිහාසයේ පළමු වරටයි. ශ්‍රී ලංකාව එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට පත්වුණා. එම අවස්ථාවේදී විවිධ කණ්ඩායම් හිංසාවාදී ක්‍රියා පිළිවෙතකින් බලය ලබා ගැනීමට උත්සාහ දැරුවා.ඒ අවස්ථාවේදී අප ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයෙන් ජනාධිපති කර මේ රටේ සාමකාමී  වාතාවරණයක් ඇති කිරීමට කටයුතු කළා.

ඉන්පසුව ආර්ථිකය ගොඩනැඟීම සඳහා විධිමත් කළමනාකරණ  වැඩපිළිවෙළක් දියත් කළා. මේ වන විට ජනතාවට ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයාට හැකිව තිබෙනවා. මේ වසර දෙක තුළ ජනාධිපතිවරයා ජනතාව ජීවත් කරවීමේ යුද්ධයේ සිටියදී අනුර දිසානායකලා සජිත් ප්‍රේමදාසලා පාර්ලිමේන්තුවේ කකුලෙන් අදිමින් සිටියා. ඔවුන් වසර දෙකක කාලයක් තුළ කළේ ජනාධිපතිවරණ මෙහෙයුම්  වැඩපිළිවෙළයි.

නමුත් ජනාධිපතිතුමා  ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් වැඩ කළා. එසේ නම් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරකින, වගකීමක් ඇති නායකයෙකුට මේ රට භාර දෙනවාද? නැතිනම් වගකීම් විරහිත නායකයෙකුට රට භාර දෙනවාද? කියන කාරණය මෙවර මැතිවරණයේදී තීන්දු කරනවා. බොරු පොරොන්දු වලට  දැන් ජනතාව රැවටෙන්නේ නැහැ. ජනාධිපතිධූරය ලබාගෙන ආණ්ඩුවක් ගෙන යාමට නම් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී කැමැත්ත තිබිය යුතුයි. අනුර දිසානායකට පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත්‍රීවරු තිදෙනෙක් පමණයි. ඔවුන්ට ආණ්ඩුවක් පවත්වාගෙන යාමට කිසිසේත් හැකියාවක් නැහැ. ආණ්ඩුක්‍රම අර්බුදය ඇති කිරීමෙන් හෝ  වෙනත් අර්බුදයක් නිර්මාණය කර බලය ලබා ගැනීමට විපක්ෂය දැරූ උත්සාහය මෙවර මැතිවරණයේදී ප්‍රතික්ෂේප වෙනවා.

රාජ්‍ය අමාත්‍ය ලෝහාන් රත්වත්තේ මහතා,

මගේ පියා එවකට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයායි. ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ රටේ ජනාධිපති ලෙස පත් කළා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්කිරීමට උරදුන්නා. මගේ දේශපාලන ජීවිතයේ ආරම්භයම වාමාංශිකයි. අපි සියලු දෙනා එක්ව 2019 දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කළා. මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටවීමට කටයුතු කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා නිහතමානීව ජනාධිපති ධූරය කරන්න බැහැ කියා සජිත් ප්‍රේමදාසට ආරාධනා කළා. එතුමා එය ප්‍රතික්ෂේප කළා. අනුර දිසානායකට ආරාධනා කරන්න දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ගත්තා. නමුත් එක දුරකථන ඇමතුමකට වත් ඔහු සම්බන්ධ වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාට කතා කලාම කොන්දේසි විරහිතව ඒ සඳහා එකඟ වුණා. ඉන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර මනාපයෙන් ජනාධිපති ධුරයට පත්කළා. එදා එතුමාට ලබාදුන් මනාපය පිළිබඳ පොදුජන පෙරමුණේ අප අද ආඩම්බර වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පීඩා විඳි ජනතාව දුකෙන් මුදවා ගැනීමට කටයුතු කළා. රටේ ආර්ථිකය ස්ථාවර කළා.

සජිත් ප්‍රේමදාස අවුරුදු විසිපහක් පාර්ලිමේන්තුවේ හිටියා. යහපාලන කාලයේ කැබිනට් ඇමතිවරයෙක්ව  කටයුතු කළා. අනුර දිසානායක වසර 25ක් පාර්ලිමේන්තුවේ හිටියා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කැබිනෙට්ටුවේ කෘෂිකර්ම ඇමති අනුර දිසානායකයි. මේ දෙදෙනාම මහනුවරට කළ දෙයක් නැහැ.

ඒ නිසා අනුරට හෝ සජිත්ට රට භාර දුන්නොත් ජනතාව හාන්සියි. අද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට සිදුවෙලා තිබෙන දේ තමයි රටටම සිදුවෙන්නේ.දැන් අනුර කියනවා සැප්තැම්බර් 25 එයාට ඡන්දයක් දෙන්න කියලා. එතුමා ඡන්දෙ තියෙන දවසවත් දන්නේ නෑ. අනුර දිසානායක බැරිවෙලාවත් ජනාධිපති වුනොත්  පාර්ලිමේන්තු මැතිවරණයට යන තෙක් ජනතාව බලාගන්න කැබිනට්ටුවක් අවශ්‍ය වෙනවා. මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුගෙන් ඉඳලා කැබිනට්ටුවක් සකස් කරගන්නේ කොහොමද? පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගන්නේ කොහොමද? එමනිසා 21වෙනිදට ජනතාවගේ යුතුකම ජනතාව ඉටු කරන්න. අපි අපේ යුතුකම ජනතාව වෙනුවෙන් ඉටු කරනවා.

රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා,

සෙංකඩගල පුරයට පැමිණ ආරම්භ කළ කිසි දෙයක් වැරදියි නැහැ. අද මේජනතාව පැමිණ තිබෙන්ණේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන සුබ ආරංචිය රැගෙනයි. විපක්ෂ නායකවරයාට බන්දේසියේ තබා දුන් අගමැතිකම භාර නොගෙන, ජනතාව දුක් විඳින වෙලාවේ පැනලා ගියා. දැන් ඔහු රට සුරපුරයක් කරන බවට වේදිකා වේදිකාගානේ කෑගහමින් සිටිනවා. ජනතාව නිහඬව මේ නායකයන් සිදුකල දේ බලාගෙන හිටියා.

අනුර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ව්‍යවසායකයන් නැති කර දැමුවා. කර්මාන්ත වසා දැමුවා. ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා. මේ සියලු දේම කරලා අද ඇවිත් කියනවා ආර්ථිකය හදන්න ඔවුන්ට පුළුවන් කියලා. තවත් කතා කියමින් වේදිකා ගානේ කෑ මොර දෙනවා.  නමුත් මේ අයට පුළුවන් රට ගිනිතියන්න විතරයි.අනුරට හරි සජිත්ට හරි කතිරේ ගැහුවත් මාස හයෙන් නැවත රනිල් වික්‍රමසිංහට රට භාර ගන්න වෙනවා.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම  මහතා,

ආර්ථිකය ගොඩනගන්න පුළුවන් කියන කණ්ඩායම සහ ආර්ථිකය ගොඩනගන්න බෑ කියන කණ්ඩායම අතර තිබෙන මැතිවරණය මෙයයි.

එදා අපේ මහ භාණ්ඩාගාරය ඩොලර් මිලියන 20ට හි‍ඳෙන විට රටේ භාණ්ඩ හිඟයක්ද ඇති වී ආර්ථිකය බිඳ වැටුණා. ඕනෑම රටක ආණ්ඩුවක් බිඳ වැටෙනකොටඅනෙක් පසින්  ආණ්ඩු බලය ලබා ලබාගන්න විපක්ෂය බැඳී සිටිනවා. ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ආර්ථිකය බිඳ වැටීමත් සමඟ ආණ්ඩුව භාර ගන්නා ලෙස විපක්ෂයට ආරාධනා කළා. විපක්ෂ නායකවරයා පැය හයක් සාකච්ඡා කරලා රට බර ගන්න බෑ කිව්වා. අගමැතිවරයෙක් සොයාගන්න හිඟමනේ යන්න වුණා. අනුර දිසානායකත් බැහැ කියලා ගියා.

අපි හැමදාම රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කළේ වගකීමක් ගන්න බැරි නායකයෙක් කියලා. නමුත් මාතෘ භූමිය භාරගන්න කිසිම කෙනෙක් නැති වෙලාවේ කොන්ද පණ ඇතුව ඒ වගකීම භාරගත්තේ රනිල් වික්‍රමසිංහ මහතායි. එම භාරගත්ත වගකීම නිසි ආකාරයෙන් ඉටු කිරීමට එතුමා කටයුතු කළා. ඉන්ධන, ආහාර පොහොර ,ඖෂධ මේ රටට හිඟයකින් තොරව ගෙන ඒමට එතුමාට පුළුවන් වුණා. වතු ජනතාවට දෛනික දීමනාව වැඩි කර දීමට රනිල් වික්‍රමසිංහ මහතාට පුළුවන් වුණා.  රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට එතුමාට පුළුවන් වුණා. 21 වැනිදාට තෝරන්නේ රියලිටි තරගාවලියක තරුවක් නොවෙයි. එදිනට සිදු කරන්නේ  මේ රටේ දෙකෝටි විසි ලක්ෂයක් ජනතාවට ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමයි. ඒ නිසා නිවැරදි තීන්දුවක්  21 වෙනදාට ගන්න කියා මා ජනතාවට යෝජනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

22වනදා  එළිවන විට ගෑස් සිලින්ඩරය  දිනවන එක දිනවනවාමයි. පක්ෂ නායකයින්, පක්ෂය පැත්තක තියලා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ හිට ගත්තේ  ආර්ථිකය කඩා වැටුණු වෙලාවේ එය බේරා ගැනීමට ඉදිරිපත් වුණා එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා නිසයි. ජනාධිපතිවරයාගේ තිබුණු ජාත්‍යන්තර සබඳතා මත මේ රටේ ආර්ථිකය නිවැරදිව කළමනාකරණය කරගෙන ජනතාව දුකින් මුදවා ගැනීමට හැකි වුණා.  ඒ ආකාරයට ජාත්‍යන්තර සබඳතා තිබෙන වෙනත් ජනාධිපති අපේක්ෂකයෙක් නැහැ. අපට ගෙවීමට තිබුණු ඩොලර් බිලියන 10ක ණය කප්පාදු කර ගැනීමටත් එතුමා සමත් වුණා. ආර්ථික කළමනාකරණය කරන නායකයෙක්, බැහැයි කියපු රට කෙලින් කරපු නායකයෙක් මේ රටට ඉදිරි වසර පහට අවශ්‍ය නායකයෙක් මේ සෙංකඩගල ජනතාවගේ වැඩි මනාපයෙන් දිනන බව ස්ථිරයි. පොහොට්ටුවට වැටුණු සියලු ඡන්ද ගෑස් සිලින්ඩරයට ලබා ගැනීමට අප කටයුතු කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කම්කරු කොංග්‍රසය සියලු පක්ෂ එක මිටට එකතුවෙලා ජනාධිපතිවරයා දිනවන්න කැපවී සිටිනවා. අපට හෙටත් රැස්වීමක් තියන්න කිව්වොත් මේ වගේ සෙනඟක්ම ගෙනැල්ලා රැස්වීමක් පවත්වන්න පුළුවන්. ඒ නිසා දන්තධාතූන් වහන්සේ වැඩ සිටින මේ සෙංකඩගල පුරවරයේ සිට ජනතාව රොද බැඳ සිටින්නේ  ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කරන්නයි.

හිටපු අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය,

රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේ රට භාර නොගත්තා නම් අද ශ්‍රී ලංකාවත් බංගලාදේශයක් බවට පත්වෙනවා. එතුමා රට භාරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් මේ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමට වැඩපිළිවෙළක් සකස් කළා. ඒ සිදුකළ වැඩ පිළිවෙළ නිසා අද වන විට ආර්ථිකය යථා තත්ත්වයට පත් වී තිබෙනවා.  මේ වෙලාවෙදි විපක්ෂයේ කණ්ඩායම් කිව්වේ ආර්ථිකය නිවැරදි කරන්න රනිල්ට බැහැ කියලායි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියත් ආර්ථිකය ගොඩගන්න බැහැ කියලයි. ඉන් පසුව විපක්ෂ කණ්ඩායම් කිව්වේ ජනාධිපතිවරණය තියන්නෙත් නැහැ කියලයි. විපක්ෂය කරන්නේ නෑ කියපු සියල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කරලා පෙන්වලා තියෙනවා. “බෑ” කියපු සියල්ල ජනාධිපතිවරයා “පුළුවන්” කියලා කරලා පෙන්වා තිබෙනවා. බෑ කියන නායකයෙකුට රට බාර දෙනවාද දෙනවද “පුළුවන්” කියන නායකයෙකුට රට භාර දෙනවාද කියා ජනතාව තීරණය කරන  තීරණාත්මක දිනය 21වැනිදායි.

සමගි ජන සන්ධානය අද මහනුවර මාකට් එක වගෙයි . සජිත් ප්‍රේමදාස  එම සන්ධානයට බැඳෙන ඕනම දේශපාලන අනාථයෙකුට සංවිධායකකම් බෙදෙමින්සිටිනවා. සජිත් ප්‍රේමදාසට කරන්න පුළුවන් බෙදන එක විතරයි. ආර්ථිකය ගොඩනගන එක කරන්න බැහැ. ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන්  මහතා,

මේ මැතිවරණය අඳුර සහ ආලෝකයේ අතර පවත්වන මැතිවරණයක්. මෙය ආර්ථික වර්ධනය සහ අවපාතය යන දෙකෙන් එකක් තෝරා ගැනීම සඳහා පවත්වන මැතිවරණයක් ලෙසත් සඳහන් කළ හැකියි.

මේ රටේ ආර්ථික සංවර්ධනයක් ඇති කළ හැකි නායකයෙක් ඉන්නවා නම් ඒ අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. එතුමාගේ උත්සාහය නිසා අද රට ක්‍රමානුකූලව ආර්ථික වශයෙන් ඉදිරියට යනවා. මින් ඉදිරියට හැම දෙයක්ම කරනවා කියලා ඕනම කෙනෙකුට වේදිකාවල කියන්න පුළුවන්. නමුත් එවන් පුද්ගලයෙක් අවශ්‍ය වූ අර්බුදකාරී කාලය තුළ ඒ කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. ප්‍රායෝගික නොවන බොහෝ දේ ඔවුන් අද අනෙක් අපේක්ෂකයන්ගේ වේදිකාවල කතා කරනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. නමුත් කියන දේ කරන එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි.

වතුකර ජනතාව වෙනුවෙන් සංවේදී වූ එකම නායකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, වතුකරයේ EPF, ETF සම්බන්ධ ගැටලුවලට මුදල් වෙන්කර විසඳුම් ලබාදීමට ද ගියවර ගනු ලැබුවා. එපමණක් නොවෙයි අධ්‍යාපනය, ඉඩම්, නිවාස  ආදී ගැටලු විසඳීමට එතුමා කඩිනම් පියවර ගත්තා.

මේ මැතිවරණයේදී ඔබ ඡන්දය ලබා  දෙන්නේ එක්  පක්ෂයකට හෝ  තනි පුද්ගලයෙකුට නොවෙයි. ඔබ ඡන්දය ලබා දෙන්නේ මේ රට ජයග්‍රහණය කරවීමටයි.

ඒ වෙනුවෙන් ගෑස් සිලින්ඩරය ලකුණට ඡන්දය දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය, විජයග්‍රහණයක් බවට පත් කිරීම අපගේ වගකීමක් සහ යුතුකම වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා,

ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියලා මේ රටේ උද්ඝෝෂණ මාලාවල් දියත් කළා. නමුත් ඔහුගේ දරුවන් විදේශ රටවල විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබනවා. අනුර දිසානායක කියන්නේ මේ ආකාරයට දෙබිඩි පිළිවතක් ගත කරන නායකයෙක්. ඒ පක්ෂයේ ඇතැමුන් කියනවා ගනිකා වෘත්තිය නීතිගත කරනවා කියලා. මහනුවර ජනතාව මේවට කැමතිද? ලාල්කාන්ත කියනවා පොලිස් බලය ගමට දෙනවා කියලා. ජනතාව මේවට කැමතිද? මේ වගේ දෙබඩි නායකයන්ට රට  බාර දුන්නොත් මේ රට විසාලාවක් වෙන එක නවත්වන්න බැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිදිගොඩ මහතා,

අද පාට පක්ෂ භේදයකින් තොරව අප කවුරුත් පැමිණ තිබෙන වේදිකාව" පුළුවන් "කියන වේදිකාවයි. රට භාරගන්න කියන අවස්ථාවේදී පුළුවන් කියලා භාරගත් කණ්ඩායම මේ වේදිකාවේ ඉන්නවා.

අනිත් වේදිකාවල ඉන්නේ මිනිස්සු ජනතාව දුක් විඳිනකොට “බෑ” කියලා පැනලා දුවපු කණ්ඩායමයි. අද මෙතන ඉන්න ජනතාව අව්වේ ඉන්නත් පුළුවන් වැස්සේ ඉන්නත් පුළුවන් කියලත් පෙන්වා තිබෙනවා. මේ වේදිකාවේ මෙන්ම මේ භූමියේ සිටින සියලු ජනතාවට "පුළුවන්" බව අප හොඳටම දන්නවා. ඔවුන් සියලු දෙනා එක්ව සැප්තැම්බර් 21 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා,

ජනතාව හැමදාම පාට පක්ෂ ගැන හිතුවා. සමාජ මාධ්‍යයේ තිබුණු කාරණාවලට ජනතාව අහු උනා.  රට වැටුණු වෙලාවේ තමයි හරි නායකයා කවුද කියලා ජනතාව දැන ගත්තේ. ජනතාව දුක් විඳින වෙලාවේ රට භාර නොගත් විපක්ෂයේ නායකයින් සියලු දෙනාම දැන් ආර්ථික ඔස්තාර්ලා වගේ කතා කරනවා. ඒ වෙලාවෙදි ජනතාවගේ දුක වෙනුවෙන් ඉදිරියට පැමිණි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.

එම නිසා මේ රටේ ආර්ථිකය ගෝනි බිල්ලන්ගෙන් ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ජනතාවට මේ පාර වැරදුනොත් මේ රටේ ආර්ථිකය නැවත ගොඩ ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සැප්තැම්බර් 21 වනදා නිවැරදි තීරණය ගන්නා ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

හිටපු පළාත් සභා මන්ත්‍රී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය,

මෙවර මැතිවරණය භීතිය පතුරවලා ජයග්‍රහණය කරන්න පාදක තැනට අනුර දිසානායක පත් වෙලා.   ජවිපෙ කණ්ඩායම්  නිවෙස් වලට ඇවිත් චන්දයක් දෙන්නේ කාටද කියා විමසීම් සිදු කරනවා. අනුර මහත්තයෝ ඔහොම තර්ජනය කරලා නුවර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් මනාප ලබා ගන්නට බෑ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසර දෙක තුළ  සිදුකළ ආර්ථික පරිවර්තනය ජනතාවට දැනී තිබෙනවා. එම ආර්ථික නිදහස තුළ ජනතාවගේ ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී තිබෙනවා. එනිසාම වෘත්තීයවේදීන්, වෛද්‍යවරුන්,නීතිඥවරුන්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරමින් තිබෙනවා.

මහා සංඝරත්නය ,අන්‍යාගමික පූජකවරුන්,  ප්‍රාදේශීය දේශපාලන නායකයින් ඇතුළු විශාල ජනකායක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .

Read more