පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පළාත් පාලන නියෝජිතයන් රැසක් සමඟ ජනපතිට සහාය පළ කිරීමට එක් වෙයි

• ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරි වසර 05 සඳහා ද මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර නොගහොත් ලොව විනාශ වූ රටවල් අතරට ශ්රී ලංකාව ද එක් වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර 05 සඳහා ද මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර නොගතහොත් පාරේ මිනිසුන් මරා දමන, ආගමික ස්ථානවලට පහර දෙන සහ අධිකරණය වසා දැමු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගිනි තැබූ, ලේ වැගිරෙන තවත් බංග්ලාදේශයක් බවට ශ්‍රී ලංකාව පත්ව ලෝකයේ විනාශ වූ රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පැවසීය.

එබැවින් තම පෞද්ගලික මති මතාන්තර පසෙකලා මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

උහන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උපුල් ප්‍රියන්ත, හිටපු උප සභාපති ජගත් දේශප්‍රිය, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුගත් ජා තුංගආරච්චි, මහඔය ප්‍රාදේශීය සභවේ හිටපු සභාපති ඉන්දික නිලන්ත යන මහත්වරුන් ඇතුළු පොදු ජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන් රැසක් සමඟ කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත අද (26) පස්වරුවේ පැමිණි විමලවීර දිසානායක මහතා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවට සහතික විය.

අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡවට එක් වෙමින් විමලවීර දිසානායක මහතා සඳහන් කළේ මෙය පක්ෂය අතහැර යාමක් නොවන අතර මෙම අවස්ථාවේ සියලුදෙනා රට සහ ජනතාව වෙනුවෙන් ගතයුතු තීරණයක් බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ විමලවීර දිසානායක මහතා මෙසේද පැවසීය,

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, මනුෂ්‍යත්වය,  යුක්තිය නීතිය හා සාධාරණත්වය වැළලි යන අවසාන මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය නම් පහනේ අවසන් දැල්ල නිවී යාමට ඔන්න මෙන්න කියා තිබියදී එම ප්‍රජාතන්ත්‍රවාදයත්, රටත්, රටේ ආර්ථිකයත්, නීතියත් ආරක්ෂා කරගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

ජීවිත කාලයම එතුමා සමඟ දේශපාලන සටනක සිටියත් 2022 වසරේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපති ධූරයට පත් කිරීමට පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මම දායක වුණා. අද පොහොට්ටුවේ සිටින සියළු මන්ත්‍රීවරුන් එදා එතුමා ජයග්‍රහණය කරවීමට ඡන්දය භාවිතා කළා. ඒ තීරණාත්මක අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් පහන් දැල්ල නිවීමට යන මොහොතේ එම වගකීම ගතහැකිව තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණක් බව අප දැන සිටියා.

එතුමා එදා ජනාධිපති නොවන්නට ඊළග පැය 24 තුළ ශ්‍රී ලංකාවේ උත්තරීතර සභාව ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල් කඩ වන පාර්ලිමේන්තුව ගිනි තබා විනාශ කොට අද බංග්ලාදේශය මුහුණදී සිටින තත්ත්වයට ශ්‍රී ලංකාවද පත්වීමට නියමිතව තිබුණා. නමුත් එතුමා පැය 24ක් තුළ මේ සියල්ල පාලනය කර ප්‍රජාතන්ත්‍රවාදයත්, නීතියත් ආරක්ෂා කළා.  

අවසාන තීරණාත්මක මොහොතේ මේ රට ගලවා ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ ගෞරවය අප එතුමාට ලබා දිය යුතුයි. එතුමා ජනාධිපති නොවුණා නම් මම ඇතුළු කිසිවෙකු අද ඉතිරි වන්නේ නැහැ. අපේ ගෙවල් ගිනි තැබුවා, විනාශ කළා. මාව මරන්න හෙව්වා. ඒ මිලෙච්ඡත්වය නැති කර අප බේරාගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

දෙවැනි යුද්ධය ඇති වූ අවස්ථාවේ මේ රට ආරක්ෂා කළේ රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ වගේම තෙල් පෝලිම්, ගෑස් පෝලීම්, ඖෂධ පෝලිම් මේ සියල්ල නැති කර එම ආර්ථික නරාවලින් අපව ගොඩගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

අප සියල්ලට පෙර රට සහ ජනතාව ගැන සිතිය යුතුයි. රට ගලවා ගත හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාට නම් අප දේශපාලන මතිමතාන්තර පසෙකලා එතුමාට සහාය ලබා දිය යුතුයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාව නොසිටියහොත් බංගල්දේශය වගේ ලේ වැගිරෙන, පාරේ මිනිසුන් මරා දමන, හින්දු කෝවිල්, බෞද්ධ විහාරස්ථානවලට පහර දෙන, අධිකරණය වසා දැමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගිනි තැබු ලේ වැගිරෙන තවත් බංග්ලාදේශයක් බවට පත්ව, ලෝකයේ විනාශ වූ රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්වනවා.

Read more