රට අඳුරට නොව රට ඉදිරියට ගෙන යාම වෙනුවෙන් එක්වෙමු

එක්සත් ජාතික පාක්ෂිකයන්ටත්, පොහොට්ටුවේ සිටි සියලුදෙනාටත්, ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයන්ටත් ජනපති යළි ආරාධනා කරයි.

• මීට දෙවසරකට පෙර අප ගත කළ අඳුරු යුගය කිසිවෙකු අමතක නොකළ යුතුයි.

• මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දුන්නා : දුක්විඳින නිර්ධන ජනතාව ගැන කතා කරන සමාජවාදී නායකයන් ඒ වෙනුවෙන් කිසිවක් කළේ නැහැ.

• සුජාත එක්සත් ජාතික පක්ෂය ඇත්තේ මා ළගයි :සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් මා සමඟ එක්වන්න - ජනපති කුලියාපිටියේ දී කියයි.

රට අඳුරට නොව රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ වෙනුවෙන් තමන් සමඟ එක්වන ලෙස එක්සත් ජාතික පාක්ෂිකයන්ට මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටි සියලුදෙනාටත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ටත් තමා නැවත ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මීට දෙවසරකට පෙර ගත කළ අඳුරු යුගය කිසිවෙකු අමතක නොකළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් එහි ප්‍රතිලාභය ජනතාවට ලබාදීම වෙනුවෙන් එක්වීම සියලුදෙනාගේ වගකීම බවද ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (17) පස්වරුවේ කුලියාපිටියේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අද සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයක් නැති බවයි. සුජාත එක්සත් ජාතික පක්ෂය ඇත්තේ තමා ළග බව පැවසූ ජනාධිපතිවරයා සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් මෙම සැප්තැම්බර් 21 වනදා තම ජයග්‍රහණය වෙනුවෙන් එක්විය යුතු බවද ප්‍රකාශ කළේය.

එසේම මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කළේ තමන් බව ද පැවසූ ජනාධිපතිවරයා දුක්විදින නිර්ධන ජනතාව ගැන කතා කරන සමාජවාදී නායකයන් ඒ වෙනුවෙන් කිසිවක් නොකළ බවද පෙන්වා දුන්නේය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

අද එක්සත් ජාතික පාක්ෂිකයන්ට විශේෂ දවසක්. ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා. අප එතුමාව සමරන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් නිසයි.

සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ නෙවෙයි, ඒනිසා ඔවුන් අද එය සමරන්නේ නැහැ. මේ රටේ තිබෙන්නේ එක එක්සත් ජාතික පක්ෂයක් පමණයි. මම එම සියලුදෙනාගේ සහාය ඉල්ලනවා.

අපට අවජාතක එක්සත් ජාතික පක්ෂයක් නැහැ. ඒ නිසා සැප්තැම්බර් 21 වනදා අපට ඡන්දය ලබා දෙන ලෙස මම එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනාගෙන්  ඉල්ලනවා.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සමග කටයුතු කරන විට  අපට විශාල වගකීමක් පැවරුණා. වසර 20ක් තිස්සේ රටේ සංවර්ධනයක් තිබුණේ නැහැ. අප එක් වෙලා මහවැලි ව්‍යාපාරය ඇති කළා. අලුත් අගනුවරක් ලබා දුන්නා. වෙළඳ කලාප දෙකක් ලබා දුන්නා. උදාගම් ව්‍යාපාරය ආරම්භ කළා. මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන ඇති කළා, යොවුන් පුරය ඇති කළා.

මෙවර ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඊටත් වඩා විශාල වැඩකොටසක් ජනතාව වෙනුවෙන් සිදු කරනවා කියා මා ප්‍රකාශ කරනවා. මේ රටේ ජනතාවට අප හොඳ අනාගතයක් ගොඩනගා දිය යුතුයි. ඒ වෙනුවෙන් මම කැපවී සිටිනවා. ඒ නිසා සැප්තැම්බර් 21 වනදා මේ රටේ ජනතාවට වැදගත් දිනයක් බව කිවයුතුයි. එදින තීරණය වන්නේ ජනතාවගේ සහ රටේ අනාගතයයි. අප රටට හොද අනාගතයක් ලබා දෙනවාද, නැත්නම් නැවත ගෑස්, ඉන්ධන සහ ඖෂධ පෝලිම්වලට යනවද කියා ජනතාව තීරණය කළ යුතුයි.

මේ රටේ ජනතාව දුක් විඳින විට සජිත් හා අනුර පැනලා ගියා. නමුත් මම රට භාරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කළා. ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළ අප ක්‍රමානුකූලව ආරම්භ කළා. ලබන වසර වන විට රුපියල තවත් ශක්තිමත් වු විට ජනතාවගේ ජීවන බර සැහැල්ලු වන බව මා ප්‍රකාශ කරනවා.

නමුත් සජිත් හා අනුරගෙන් ජීවන බර සැහැල්ලු කරන්නේ කොහොමද කියා ඇහුවොත් ඒ සඳහා ඔවුන්ට වැඩපිළිවෙළක් නැහැ. ඔවුන්ට ආර්ථිකය පිළිබද අවබෝධයක් නැහැ. අප අපනයන ආර්ථිකයක් සමඟ ඉදිරියට යා යුතුයි.  

ඒ වගේම අප ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කර තිබෙනවා. මේ රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය හිමි වන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි. මගේ සමාජවාදී මිත්‍රයන් මෙය කළේ නැත්තේ ඇයි කියා මම අහනවා. දුක් විදින නිර්ධන පංතියේ ජනතාව ගැන කථා කරන ඔවුන් එම ජනතාව වෙනුවෙන් එම අයිතිය ලබා දුන්නේ නැත්තේ ඇයි කියා මම අහනවා.

අපි මේ ප්‍රදේශවල නව කර්මාන්ත ආරම්භ කරනවා. අද අපි දකුණු ආසියාවේ විශාලම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව මෙහි ආරම්භ කළා. ඒ වගේම බිංගිරියේ ආයෝජන කලාපයක් සඳහා තවත් අක්කර දහසක් වෙන් කර තිබෙනවා. මෙම දියුණුව සමඟ කුලියාපිටිය අලුත් නගරයක් බවට පත් වෙනවා.

අප කුරුණෑගල නව විශ්වවිද්‍යාලයක් ඇති කරනවා. ඒ අනුව විශාල අධ්‍යාපන දියුණුවක් මෙම පළාත්වල ඇති වෙනවා. ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් අප මෙම වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. “පුළුවන් ශ්‍රී ලංකා” කියන්නේ ඒ නිසයි. අපි එක්වුණොත් මොනවද කරන්න බැරි, අපත් සමඟ එක්වන ලෙස එක්සත් ජාතික පාක්ෂිකයන්ට වගේම පොහොට්ටුවේ හිටපු අයටත්, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ටත් මම ආරාධනා කරනවා.

2022 මැයි මාසයේ මේ රටේ ජනතාව හිටියේ කොච්චර බයේද, තවමත් ඒ බය තිබෙනවා. ඇතැම් අය තවම කියන්නේ නැහැ කාටද ඡන්දය දෙන්නේ කියලා. මේ බය නැති කරලා සැප්තැම්බර් 21 වනදා  ගෑස් සිලින්ඩරය ජයග්‍රහණය කරවා අප ඉදිරියට යමු කියා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා,

කුලියාපිටිය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක්. කුලියාපිටිය ජනතාවට අද තිබෙන්නේ ලොකු අලියා දිනවනද? පොඩි අලි පැටියා දිනවනවාද කියන ප්‍රශ්නයයි. අපි මේ වේදිකාවට සියලු දෙනා එකතු වී සිටින්නේ ලොකු අලියා දිනවන්නයි. ලොකු අලියා දිනවීමේ අයිතිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වගේම පොදු ජන පෙරමුණටත් ලැබෙන්න අවශ්‍යයි. කඳුකරය, ඌව පළාත රනිල් වික්‍රමසිංහ දිනනකොට කුරුණෑගලින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයක් තරහවුරු කිරීම ඔබ සැමගේ වගකීමක් බව කිව යුතුයි.

අද පොහොට්ටුවට වගේම ,ජනතා විමුක්ති පෙරමුණත්  අනෙක් සෑම පක්ෂයකටත් දේශපාලනය කරන්න හැකි වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට තුළ ඇති කළ සාමකාමී වාතාවරණය නිසයි.

ආර්ථික අර්බුදය ඇතිවූ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත්ට රට භාර ගන්න කියා  ආරාධනා කළා. ඒ වෙලාවේ සජිත්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසූවක් හිටියා. ඒත්  රට භාර ගන්න සජිත්ට කොන්දක් තිබුණේ නැහැ. සජිත්ට එදා කොන්දක් තිබුණා නම් අපිත් හිටගන්නෙ  සජිත් ගේ පැත්තෙයි. නමුත් පාර්ලිමේන්තුවේ හිටපු තනි මන්ත්‍රීවරයා ලෙස වුවත් රනිල් වික්‍රමසිංහ මහතා රටේ වගකීම භාර ගන්න එකඟ වුණා. මන්ත්‍රී ආසන එකසිය තිස් හතරක සහාය ලබා දී එතුමාව ජනාධිපති බවට පත් කිරීමට කටයුතු කළා. අද එහි ප්‍රතිඵල ජනතාව භුක්ති විඳිමින් තිබෙනවා.

ඉදිරි පරම්පරාවටත් ඒ භුක්තිය දීමට නම් එකම එක විසඳුමයි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරවීමයි.මැතිවරණයට තව දවස් හතරයි. තීරණය ඔබ සතුයි.

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා,

මේ වෙලාවේ රනිල් තමයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් වගේම පළාත් පාලන ආයතන නියෝජිතයින් බහුතරයක් එක හඬින් කියනවා. මීට වසර දෙකකට පෙර මේ රට වැටුණා. එහෙම වැටුණා නම් තිබෙන්නේ නැගිට්ටවන්නයි. ඒකට සජිත්ට කතා කළා. අඩුම තරමේ පාර්ලිමේන්තුවේ ඡන්දයට ආවේවත් නැහැ. ඩලස්ව දාලා මඟ හැර ගියා. අනුරට කුමාර දුරකතන අක්‍රීය කර ගෙන හිටියා. දැන් කියනවානේ ලියුමක් එව්වා කියලා. ඒ ලියුම ආව ගිය තැනක් නැහැ. සරත් ෆොන්සේකා කිව්වා එයාගේ නම යෝජනා කළාම ජනතාවගේ ප්‍රතිචාර බලලා භාර ගන්නම් කියලා. අද නායකයෝ කියලා කියා ගන්න අය එදා හැසිරුණේ එහෙමයි.

නියම නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නොබියව එදා රටේ වගකීම භාර ගත්තා. අපි අපේ උපරිම ශක්තිය එතුමාට ලබා දුන්නා. මේ රටේ කඩාවැටුණ ආර්ථිකය යහපත් ආකාරයට කළමනාකරණය කළේ  රනිල් වික්‍රමසිංහ  මහතායි. අද වන විට රට ක්‍රමානුකූලව ඉදිරියට ඇවිත් තිබෙනවා. මෙතෙක් ආ ගමන අප ආරක්ෂා කර ගෙන  ඉදිරියට ගෙන යා යුතුයි.

සජිත් ප්‍රේමදාස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කරනවා කියනවා. අනුර දිසානායක, ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, හරිනි කියන කතා එකිනෙකට පරස්පරයි. අද රට තිබෙන්නේ අත්හදා බලන කාලයක නෙමෙයි. මේ අලුත් අය ගෙනවිත් පුරුදු කරන කාලයක් නොවෙයි.

වත්මන් රජයට පැහැදිලි වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ වැඩපිළවල කඩාකප්පල් නොකිරීමේ වගකීම ඔබට තිබෙනවා. පක්ෂ පාට භේදවලින් තොරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අප සහය ලබා දෙන්නේ ඒ නිසයි. එහි ප්‍රතිඵලයක් ලෙස

මීට සතියකට පෙර සහ ඊයේ පැමිණි සමීක්ෂණ වාර්තා දෙකෙන්ම ඉදිරියෙන් සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.

රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා,

අපට ඉදිරියට නායකයෙක් අවශ්‍යයි. ඔබට මතක ද 2022 වසරේ මැයි මාසේ 09 වෙනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් මහ පාරේ ඝාතනය කරනවා. මහජන නියෝජිතයන් ඇතුළු අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් 800 ක් විතර ගිනි තියලා දැම්මා. ඉන්ධන, ගෑස් පෝලීම් තිබුණා. එදා පැය 14 ක් විදුලිය තිබුණේ නැහැ, පාසල් වහලා, රෝහල්වල බෙහෙත් තිබුණේ නැහැ. ගොවි බිම්වලට පොහොර තිබුණේ නැහැ.  රටේ බරපතල අර්බුදයක් තිබුණේ. ගොවියෝ පාරට බැහැලා හිටියේ. රට ඉදිරියට ගෙන යන්න නායකයෙක් හිටියේ නැහැ. පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙකු ලෙස හිටපු රනිල් වික්‍රමසිංහ මහතා “පුළුවන්” කියලා එදා රටේ වගකීම භාර ගත්තා.

අද අවුරුදු දෙකකට පස්සේ ඒ ව්‍යසයනකාරී තත්ත්වය මුළුමනින්ම වෙනස් වෙලා. බලාපොරාත්තු තබා ගත හැකි තත්ත්වයක් ඇති වෙලා. මේ නිර්මාණය වූ වර්තමානය ඉදිරියට ගෙනයාමත් පහසු නෑ. ජාත්‍යන්තරය සමඟ හොඳ සම්බන්ධයක්  තියා ගෙන මහජනතාවගේ කැමැත්ත එක්ක ඉදිරියට යන්න තියෙන ගමනක්.  

අපිට මේ අවස්ථාවේ නිවැරදි නායකයෙක් නොසිටියොත්, මේ රට ඉදිරියට  ගිනියන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා අපි සියලු දෙනා එකට එකතුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප විය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පියදර්ශන යාපා මහතා,

සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් රූපවාහිනී වැඩසටහන්වලට පැමිණ  කියන කතා ඇහුවහම එක දෙයක් තේරෙනවා. ඔවුන් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මේ රටට ඉතුරු කළ මුදල් වියදම් කරන අකාරය පමණයි. නමුත් ඔවුන් ආදායමක් හොයන ආකාරය කියන්නේ නැහැ.

අද රටට අත්දැකීම් බහුල ජනාධිපතිවරයෙක්  සිටිනවා. බිමට වැටී තිබූ රට ගොඩනඟන්න පුළුවන්කම ලැබුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පමණයි. අනෙකුත් අපේක්ෂකයන්ට කිසිදු දැක්මක් නැහැ. අද ඔවුන් වේදිකාවල ජනතාවට බොරු කියමින් සිටිනවා. ඔවුන් කවදාවත් ඇත්ත කතා කරන්නේ නැහැ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ගත වූ පසුගිය වසර දෙක තුළ රට ගොඩනගන්න විශාල වෙහෙසක් ගත්තා. එතුමා ජාත්‍යන්තර සහාය ලබා ගනෙ  තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහාය ගෙන  තිබෙනවා.  මේ රටේ ජනතාවගේ ශක්තියද එතුමාට ලැබී තිබෙනවා.

මේ අවස්ථාවේ මේ රට භාරගන්න සිටින සුදුසුම සහ අත්දැකීම් බහුල අපේක්ෂකයා ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව කිව යුතුයි. අප රටක් වශයෙන් ඉදිරියට යමින් තිබෙනවා. මේ යන ගමන කඩාකප්පල් කළහොත් එය අපරාධයක් බව ඔබ සැම තේරුම් ගත යුතුයි. එතුමාගේ  වැඩ පිළිවෙළ මුළු ආසියාවම කතා කරනවා.

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා,

කුලියාපිටියේ මෙම විජයග්‍රාහී ජනරැළියට අද අති විශාල ජනකායක් පැමිණ සිටීමෙන් තහවුරු වන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා 21 වනදා නියත වශයෙන් ජනාධිපති වශයෙන් කිරුලු පළඳින බවයි. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් ගණනාවක් ඉදිරිපත්ව සිටිනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අමතරව ප්‍රධාන අපේක්ෂකයෝ තුන්දෙනෙක් ඉන්නවා.

සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ යන අපේක්ෂකයින් තිදෙනාම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිකමට හෝ අගමැතිකමට සුදුසුයි කියලා මීට පෙර අවස්ථා කිහිපයකදීම පිළි අරගෙන අනුමත කරලා ඉවරයි. ඒක නිසා මේ ජනාධිපතිවරණයේදී ජනතාවට තීන්දුව ගැනීමට පහසුයි.  

රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බලය ගන්න බෑ,  ජනාධිපති හෝ අගමැති වෙන්න බෑ කියලා ඇතැම් ජ්‍යෙතීර්වේදීන් හා සමීක්ෂණ වාර්තා වලින් පෙන්නලා තිබුණා. ඒ සියල්ල පරදා එතුමා 2001 හා 2015 අගමැති වෙලා බලය අරගෙන පෙන්නුවා. 2022 ජනාධිපති වෙලා පෙන්නුවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපි ඔක්කොම එකට අත්වැල් බැඳගෙන සංවිධානය වෙලා මෙම රැස්වීමට සහභාගීව සිටිනවා. කිසිම අපේක්ෂකයෙකුට සහභාගී නොවුන තරම්  සෙනඟක් මෙම රැලියට සහභාගී වෙලා සිටිනවා. දිස්ත්‍රික්කයෙන් පිට කිසිම කෙනෙක් අපි මේ රැලියට ගෙනැවිත් නෑ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද මෙතනට පැමිණියේ Western Auto Mobile ආයතනය විවෘත කරලායි. මේ මාසේ 21 වනදාට අප සියලු දෙනා එකතුව පාට පක්ෂ භේදයකින් තොරව ගෑස් සිලින්ඩරය ඉස්සරහා කතිරය ගහලා, කුරුණෑගල දිස්ත්‍රික්කයේ  යෝධ සංවර්ධනයක් ඇති කිරීමට ශක්තියක් වෙමු කියා ඉල්ලා සිටිනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළා කියා මට ලැබෙන වාසියක් නැහැ. නමුත් එතුමා ජයග්‍රහණය කිරීමෙන් පෝලිම්වල රස්තියාදු වෙන්නේ නැතුව නිදහසේ ගෙදරට වෙලා ඉන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාව ලැබෙන්නේ මට විතරක් නෙවෙයි. මේ රටේ සමස්ත ජනතාවටම ඒ අවස්ථාව ලැබෙනවා.

මා හිටපු පක්ෂයේ නායකතුමා මේ දවස්වල ඉල්ලන ඕන දෙයක් දෙන්නම් කියනවා. ඉල්ලලා බලන්න. යන ගමන් සංවිධායක කමකුත් දීලා යයි. ඩීල් දේශපාලනය නැහැ කිව්ව කෙනා මේ වෙන කොට නාමල් ප්‍රේමදාස කරලා සජිත් රාජපක්ෂ බවට පත්වෙලා.  ඒ විතරක් නෙවෙයි හිරු නාලිකාව මොන තරම් සජිත් ප්‍රේමදාසට කඩේ යනවද කියලා ඔබ දකිනවා ඇති. ඒ ඩීල් එක මොකක්ද කියලා හෙළි කරන ලෙස මම සජිත්ට අභියෝග කරනවා.

කිසිම අත්දැකීමක් නැති අයට රට භාර දීලා, රට පමණක් නොවෙයි ඔබත් විනාශ වෙනවද කියා ඔබ හොඳින් කල්පනා කර බලන්න. ඒ නිසා සැප්තැම්බර් 21 වෙනිදාට ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ගසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට එක්වන ලෙස මා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.  

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන්, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, හිටපු අමාත්‍ය එස්. බී. නාවින්න, හිටපු ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත්  බස්නායක, එජාප කුලියාපිටිය කලාප සංවිධායක එස්. සමරවීර යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය දේශපාලන නායකයන්, ආසන සංවිධායකවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more