සිංහල දෙමළ, මුස්ලිම් සියලුදෙනා එක්ව රට ඉදිරියට ගෙන යමු !

• පසුගිය වසර දෙක තුළ ජනතාවගේ ජීවන බර අඩු කළා.

• 2025,2026 වසර වන විට ජනතාවට මීට වඩා යහපත් ජීවන තත්ත්වයක් ගොඩනඟා දෙනවා.

• ජනතාව ජීවත් කරවීම කිසිසේත් මුලික අයිතිවාසිකම් උල්ළංඝණය කිරීමක් නොවේ : ඉදිරියටත් ජනතාව වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට සූදානම් - ජනපති කල්ලඩිහි  දී පවසයි.

විපක්ෂයට අවශ්‍ය වූයේ ජනතාවට සහන ලබාදෙමින් රට ඉදිරියට ගෙන යාමට ආරම්භ කළ වැඩසටහන නතර කිරීමට වුවත් පසුගිය වසර දෙක තුළ ජනතාවගේ ජීවන බර අඩු කිරීමට රජය කටයුතු කළ බවත්, 2025,2026 වසර වන විට මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් රටේ සියලු ජනතාව වෙනුවෙන් ගොඩනඟා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ වෙනුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා අත්වැල් බැඳ ගනිමින් ඉදිරියට යා යුතු බව පැවසු ජනාධිපතිවරයා ජනතාව ජීවත් කරවීම කිසිසේත් මුලික අයිතිවාසිකම් උල්ළංඝණය කිරීමක් නොවන බවත්, ඉදිරියටත් ජනතාව වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට තමා සූදානම් බවත් අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මඩකලපුව කල්ලඩි ශිවානන්දා ජාතික පාසල් ක්‍රීඩාංගණයේ අද (24) පෙරවරුවේ පැවති මඩකලපුව දිස්ත්‍රික් “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ අතිවිශාල ජනතාවක් මෙම ජන රැලියට එක්ව සිටි අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජකීය විද්‍යාලයේ දී අධ්‍යාපනය ලබාදුන් ගුරුවරයෙකු වන සිවලිංගම් මහතා ද මෙම වේදිකාවට පැමිණ සිටීම විශේෂත්වයක් විය.

“යම් කිසි බියගුළු ක්‍රියාවකින් සහ අප සමඟ  දුක් විඳින අනෙක් අය අතහැර දමා පැන ගොස් අපේ නගරයට අවනම්බුවක් ගෙන දෙන්නේ නැහැ” යනුවෙන් වන  ඇතන්ස් අධිරාජ්‍යයේ තරුණයින්ගේ දිවුරුම් ප්‍රකාශය  ඇසුරින් තම ගුරුවරයා ලබා දුන් ඔවදනක් ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ තම ගුරුවරයාගෙන් ලද පාඩම නිසා 2022 වසරේ කිසිවෙකු භාර නොගත් රට භාරගෙන  ආර්ථිකය ඉදිරියට ගෙන ඒමේ අභියෝගය ජයග්‍රහණය කිරීමට  තමාට හැකි වු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

මම රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විට මට ඉගැන්වූ ගුරුවරයෙක් වන සිවලිංගම් මැතිතුමා අද මෙම වේදිකාවේ සිටිනවා. මගේ පමණක් නොවෙයි එතුමා දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයාගේ ද ගුරුවරයායි. ඒ නිසා මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමේ ගෞරවයෙන් කොටසක් එතුමාටත් හිමිවිය යුතුයි.

ඒ වගේම අනුර බණ්ඩාරනායක මැතිතුමාටත්, මලික් සමරවික්‍රම මැතිතුමාටත් එතුමා අධ්‍යාපනය ලබා දුන්නා.  අපට රාජකීය විද්‍යාලයේදී  ඇතන්ස් අධිරාජ්‍යයේ තරුණයන්ගේ  දිවුරුම් ප්‍රකාශය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණා.

We will not bring disgrace to our city, by any act of cowardice or desert our suffering comrades in the ranks” “යම් කිසි බියගුළු ක්‍රියාවකින් සහ අප සමඟ  දුක් විඳින අනෙක් අය අතහැර දමා පැන ගොස් අපේ නගරයට අවනම්බුවක් ගෙන දෙන්නේ නැහැ”  යන්න එහි සිංහල තේරුමයි. 2022 වසරේදි කිසිවෙක් භාර නොගත් රට භාරගෙන රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට මා හට හැකි වුණේ එම ආභාෂය නිසා බව කිවයුතුයි. ජනතාව වෙනුවෙන් සටන් කර ජනතාවට සහන ලබා දෙමින් තරුණ පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනගා දීමේ අභියෝගය මම භාරගත්තා. ඒ නිසයි අපි “පුළුවන් ශ්‍රී ලංකා” කියලා කියන්නේ.

අසීරු කාලයක මම මේ අභියෝගය භාරගත්තා. එදා විපක්ෂනායකයා පැනලා ගියා. ඔහුට මෙවන් ගුරුවරයෙකු සිටියේ නැහැ. විපක්ෂ නායකයා කියන්නේ විකල්ප අගමැතියවරයායි. නමුත් ජනතාව දුක් විඳින විට ඔහු පැන ගියා. ඒ වගේම අනුර කුමාර දිසානායක මහතාද සොයා ගැනිමට නොහැකි වුණා. නමුත් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන ක්‍රියාත්ම කළා. එහිදී දුෂ්කර තීරණ ගැනීමට සිදු වුණා. මුදල් මුද්‍රණය කිරීමටවත්, දේශීය බැංකුවලින් ණය ගැනීමටත් හැකියාවක් තිබුණේ නැහැ. වියදම් අඩු කළා. රට ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආදායම් උපයා ගැනීමට වැට් බදු වැඩි කිරීමට සිදු වුණා. නමුත් අප රටේ ආදායම් ඉහළ නංවා ගත්තා. එමඟින් රුපියල ශක්තිමත් වුණා.

ජනතාව වෙනුවෙන් අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. වකුගඩු රෝගින් සහ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ලබාදෙන  දීමනා 50%කින් වැඩි කළා. හැකි සෑම අයුරින්ම ජනතාවට සහන ලබා දුන්නා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. දැන් අප උදය සෙනෙවිරත්න කමිටු වාර්තාව අනුව කටයුතු කරනවා. 2025 පාදක වසර ලෙස ගෙන රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව රුපියල් 25,000ක මාසික ගෙවීමක් කිරීමට එමඟින් යෝජනා කර තිබෙන අතර අප එය පිළිගන්නවා. ඊට පසුව ආරම්භක මාසික වැටුප ජිවන වියදම සමඟ රුපියල් 55,000ක් වනවා. විශ්‍රම වැටුප රුපියල් 3,000ක අන්තර්කාල දීමනාවක් ලෙස ලබා දුන්නා. ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් රුපියල් ලක්ෂ 10ට අඩුනම් පොලිය 8.5% සිට 10% දක්වා ඉහළ දැමුවා. පෙර පාසල් ගුරුවරියන්ගේ දීමනාව රුපියල් 5,000ක් බවට පත් කළා.

උරුමය වැඩසටහන යටතේ අප ලක්ෂ 20ක ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබා දෙනවා. කොළඹ රජයේ මහල් නිවාසවල ජීවත්වන ජනතාව ලක්ෂ දෙක හමාරකට එම නිවාස අයිතිය ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම වතුකරයේ ගම්මාන ඇති කර එම ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙනවා. මැතිවරණය නිසා උරුමය වැඩසටහන නතර කළද එම කටයුතු කඩිනමින් සිදු කළ යුතු නිසා ඉදිරි වසර තුනේදී එම කටයුතු අවසන් කිරීමට නීතියෙන් වෙනම අධිකාරියක් ඇති කරනවා.

වසර දෙකක් තුළ අප ගත් පියවර නිසා ජනතාවගේ ජීවන බර අඩු වී තිබෙනවා. 2022 ජුලි මාසයේ සිට අද වන තෙක් රතු පරිප්පු මිල 41%කින් අඩු වී තිබෙනවා. තිරිඟු පිටි මිල 29%කින් අඩු වී තිබෙනවා, කුකුල් මස් මිල 11%කින් අඩු වී තිබෙනවා, 2022 ඉන්ධන මිල දෙස බැලු විට ඩීසල් මිල 28%කින් සහ ගෑස් මිල 31%කින් අඩු වෙලා තිබෙනවා. ඩීසල් රුපියල් 450 සිට රුපියල් 317ට අඩු වී තිබෙනවා. අවම බස් ගාස්තු රුපියල් 40 සිට රුපියල් 28 දක්වා අඩු වී තිබෙනවා. ගෑස් මිල රුපියල් 5,370 සිට 3,600 දක්වා අඩු වී තිබෙනවා. මේ අයුරින් ජනතාවගේ ජීවන බර අඩු වී තිබෙනවා.

ඒ නිසයි ගෑස් සිලින්ඩරය මම මැතිවරණ ලකුණ ලෙස යොදා ගත්තේ. ඉදිරියට ජනතාවගේ ජිවන බර අඩු කරමින් තවත් සහන ලබාදෙන බව මම ප්‍රකාශ කරනවා.

අවුරුදු දෙකක් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන තවත් වසර කිහිපයක් ඉදිරියට ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබාගත යුතුයි. අපි අපනයන කර්මාන්ත ක්‍රියාත්මක කළයුතුයි. සංචාරක ව්‍යාපාරය අද දියුණුවෙමින් තිබෙනවා. වෙරුගල් සිට මඩකලපුව දක්වා සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා. එවිට කුඩා සහ මහා පරිමාණ හෝටල් ඉදිවෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ සිට අරුගම්බේ දක්වා සංචාකර කර්මාන්තය දියුණු කරනවා.  එපමණක් නොවෙයි කෘෂි නවීකරණ සහ ධීවර නවීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මෙම වැඩසටහන් තුළින් ඔබගේ නිවසේ ආදායම වැඩි කරදීමට අපි කටයුතු කරනවා.

නමුත් විපක්ෂ නායකයා කියනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ අප ඇතිකරගත් එකඟතා වෙනස් කරනවා කියලා. මේ ගිවිසුම් වෙනස් කරන්න බැහැ. ගිවිසුම් වෙනස් කළොත් ආධාර ලැබීම නවතිනවා. එවිට රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. නැවත පෝලිම් යුගයක් ඇති වෙනවා. රට ඉදිරියට ගෙනයාම පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නැහැ. අප මෙම කටයුතු ක්‍රියාත්මක කරන විට ඔවුන් අපට සහාය ලබා දුන්නේ නැහැ.

2023 වසරේ මැතිවරණ පැවැත්වීමට මට මුදල් තිබුනේ නැහැ. එම මුදල් ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් යෙදවීමට සිදු වණා. නමුත් විපක්ෂය මම මැතිවරණ තියන්නේ නැහැ කියලා අධිකරණයට ගොස් නඩු දැම්මා. 2023 සෑම දිනයක්ම ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් මට යෙදවීමට සිදු වුණා. ඒ නිසයි මේ රටේ පෝලිම් නැති වුණේ. දළ දේශීය නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට හැකි වුණේ ද ඒ නිසයි. කිසිම රටක් මෙවන් වේගයකින් බංකොළොත් භාවයෙන් මිදී නැහැ.

විපක්ෂයට අවශ්‍ය වුණේ මෙම වැඩපිළිවෙළ නතර කිරීමටයි. අවසානයේ මම මුලික අයිතිවාසික්ම උල්ළංඝණය කළා කියලා අධිකරණයට ගොස් මට විරුද්ධව තීන්දුවක් ගත්තා. ජනතාව ජීවත් කරවීම මුලික අයිතිවාසිකම් උල්ළංඝණය කිරීමක් නොවෙයි. ඉදිරියටත් ජනතාව වෙනුවෙන් ඉදිරිපත්වීමට  මම සුදානම්.

ජනාධිපතිවරයා ලෙස මගේ වගකීම වන්නේ රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරමින්, රට දියුණු කර අනාගත පරපුර වෙනුවෙන් යහපත් අනාගතයක් ගොඩනඟා දීමයි.

අප සියලුදෙනා එක්වී ඉදිරියට යමු. සිංහල දෙමළ, මුස්ලිම් සියලුදෙනා එක්වී රට ඉදිරියට ගෙන යමු. 2025, 20226 වන විට මේ රටේ ජනතාවට හොද අනාගතයක් මම ගොඩනගා දෙනවා. ඔබේ අනාගතය ආරක්ෂා කර ගෙන රට ගොඩනැඟීමට සැප්තැම්බර් 21වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන්න.

අමාත්ය බන්දුල  ගුණවර්ධන මහතා,

මඩකලපුව දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයෙක් ලෙස සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා නැගෙනහිර පළාතේ දියුණුව වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය ඇතුලු  තවත් විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා.

ඉදිරි ජනාධිපතිතිවරණය රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ දියුණුව තහවුරු කරන මැතිවරණයක් බව සඳහන් කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් නිසා 2022වසරේදී ජනතාව විශාල ලෙස පීඩාවට පත්වුණා. ප්‍රචණ්ඩකාරී අරගලකරුවන් පාර්ලිමේන්තුව පවා ගිනි තැබීමට උත්සාහ කළා. ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා  නොබියව පාර්ලිමේන්තුව බේරාගෙන රටේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා.

රට අර්බුදයකට මුහුණ දී සිටි මොහොතේ පැනගිය අනුර කුමාර දිසානායකටත්, සජිත් ප්‍රේමදාසටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා කිසිඳු සදාචාරමය අයිතියක් නැහැ. අද රට තුළ  මැතිවරණ පැවැත්විය හැකි, ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. මේ රටේ දේශපාලන පක්ෂ බහුතරයක් මෙවර ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන්නේ එතුමාගේ සැබෑ නායකත්වය නිසයි. ආර්ථික අර්බුදයෙන් රට ගොඩ දැමූ සහ ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා 70%ක ජන වරමකින් මේ රටේ නැවත ජනාධිපති බවට පත් වීම කිසිවෙකුටවත් වළක්වන්න බැහැ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද වේදිකාවල රටේ ආර්ථිකය පිළිබඳව අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටිනවා. 2025 අයවැය සඳහා මුදල් සොයා ගන්නේ කෙසේද කියා වහාම රටට කරුණු දක්වන ලෙස මා ඔහුට අභියෝග කරනවා.

තමිල් මක්කල් විඩුදලෛ  පුළිකල්  පක්ෂයේ නායක රාජ්ය අමාත්ය සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් මහතා,

මීට වසර දෙකකට පෙර පැවති ආර්ථික අර්බුදයත්, අරගලයත් නිසා රට අරාජික වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති ලෙස පත් කිරීමට දායක වීම සම්බන්ධයෙන් එදා මම මා ගැනම ලැජ්ජාවට පත් වුණා. මීට වසර දෙකකට පෙර පැවති ඒ ඉතාම දුෂ්කර තත්ත්වයෙන් රට බේරා ගැනීමට ඉදිරිපත් වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එතුමාව ජනාධිපති ලෙස පත් කර ගැනීම සඳහා අපේ සහායද ලබා දුන්නා.

නැගෙනහිර සංවර්ධනය සඳහා  කෘෂිකාර්මික, ධීවර හා කර්මාන්ත යන ක්ෂේත්‍රයන්හි ව්‍යාපෘති රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර තිබෙනවා. ඒ සඳහා අප අවස්ථාව ලබා ගත යුතුයි. ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් නැගෙනහිර පළාතේ  ගෙයින් ගෙට ගොස් ජනතාව පෙළ ගැස්වීමට අප කටයුතු කරනවා. එමඟින් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වගේම මේ දිස්ත්‍රික්කයේ ජනතාව ලෙස අපටද ජයග්‍රහණය කළ හැකි වෙනවා.

රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මැතිවරණයේදී   ජයග්‍රහණය කරවිය යුත්තේ ඇයි කියා ඔබ දන්නවා.

අපේ රට මීට වසර දෙකකට පෙර දැවැන්ත ආර්ථික අවපාතයකට ඇද වැටුණා. බොහෝ දෙනෙක් කිව්වේ අවුරුදු සියයක් ගියත් මේ රට ගොඩ ගන්න බැහැ කියලයි.  ශ්‍රී ලංකාවට තවදුරටත් හුස්ම ගැනීමට නොහැකි බව ඔවුන් පැවසුවා. අප විශ්වාස කර තිබූ දේශපාලන නායකයන් එදා  රටින් පැන ගියා. සමහරු හැංගුණා. එදා හිටපු ජනාධිපතිවරයා රට භාර ගන්නා ලෙස ආරාධනා කළ කිසිම දේශපාලනඥයෙක් ඒ සඳහා එකඟ  වුණේ නැහැ.

එදා සජිත් ප්‍රේමදාස මහතා උද්ඝෝෂණ භූමියට  යන විට විරෝධතාකරුවන් විසින් ඔහුට පහර දී එළවා දැමූවා.  ඔහු ලොව වේගවත්ම ධාවකයා වූ උසේන් බෝල්ට්ට වඩා වේගයෙන් දිව ගියා. එහෙත් අනුර කුමාර දිසානායක මහතා උද්ඝෝෂණ භූමියට ගිය විට ඔහුට ගැටලුවක් ඇති වුණේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතා මෙම ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීමට උත්සාහ කළ අතර , ප්‍රශ්නයට හේතුව අනුර කුමාර දිසානායක මහතා බව මෙයින් පැහැදිලි වුණා. අවසානයේ විසඳුමක් දෙන්න කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ.

ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, භූමිතෙල් පෝලිම් එදා රට පුරා දකින්න ලැබුණා. සල්ලි තිබුනත් මිල දී ගැනීමට බඩු  තිබුණේ නැහැ.

රටේ අඳුර දුරු කිරීමට ආලෝකයක් ගෙනෙන නායකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා රට ගොඩ ගැනීමට ඉදිරිපත් වුණා.  

‍අපට එය අමතක කරන්න බැහැ. ඒ නිසා අද මේ රටේ සියලුම ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න තීරණය කර තිබෙනවා‍. ඉදිරි වසර පහ තුළ මේ රට පාලනය කරනවා නම් එය කළ  හැක්කේ අත්දැකීම්, බුද්ධිය, දැනුම, ජාත්‍යන්තර සම්බන්ධතා ඇති නායකයකුට පමණයි.

ඒ සුදුසුකම් ඇති මේ අවස්ථාවේ සිටින එකම නායකයා,  ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව මම ඔබට කියන්න කැමතියි. ඔහුගේ මැතිවරණ ලාංඡනය වන  ‘ගෑස් සිලින්ඩරය’    ඉතා වැදගත් ලාංඡනයක්. ඔබ ගෑස් සිලින්ඩරයට ඡන්දය දුන්නොත් , ගෑස් සිලින්ඩරය නිවසට එයි . ඒ වගේම ගෑස් සිලින්ඩරටට ඡන්දය නොදුන්නොත් ගෑස් සිලින්ඩර් සොයා ගෙන ඔබට පාරට බහින්න වෙයි.   මේක තමයි ඇත්ත. ඒ නිසා  ගෑස් සිලින්ඩරයට ඡන්දය දී ගෑස් සිලින්ඩරය ගෙදර ගේනවද ? නැත්නම් ඡන්දය නොදී  ගෑස් සිලින්ඩර් සොයා පාරට බහිනවාද කියා ඔබ තීරණය කළ යුතුයි.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන්,  ටී.එම්.වී පක්ෂයේ මහලේකම් එස්. ප්‍රශාන්තන්,  නියෝජ්‍ය ලේකම් වයි. චන්ද්‍රකුමාර්, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් සුජිත් ලෝරන්ස්, ජාතික සංවිධායක ටී. කජීවරන්, කාන්තා කටයුතු පිළිබඳ ලේකම් ඒ. සුසිකලා, තරුණ කටයුතු ලේකම් එස්. සුරේෂ් කුමාර්, මඩකලපුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකාරක සී. සුදර්ශන් යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය දේශපාලන නායකයන් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියහ

Read more