ජාතික ජනබලවේගය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිසිසේත් ප්‍රායෝගික නොවන ලියවිල්ලක්

• බදු අඩු කරන බව කිව්වත් රාජ්ය ආදායම් උපයන ක්රමවේදයක් නැහැ.

• ජාජබ අනුගමනය කරන්නේත් ගෝඨාභයගේ ප්‍රතිපත්තියයි.

• ජාජබ දෙබිඩි ප්‍රතිපත්තිය ටෙලිකොම් යෝජනාවෙන් තහවුරු වෙනවා.

• වත්මන් ආණ්ඩුවේ වැඩත් ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් - ජාතික බැංකු සේවක සංගමයේ ලේකම් අසේල ප්‍රනාන්දු.

• රට නැවත නඟා සිටවූ ජනපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය තව දුරටත් මෙරටට අවශ්‍යයයි - ජ්‍යෙෂඨ බැංකු කළමණකාර (විශ්‍රාමික)  ගාමිණී සේනානායක.

ජාතික ජනබලවේගය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිසිසේත් ප්‍රායෝගික නොවන හුදු ලියවිල්ලක් පමණක් බවත් එහි ඇතුළත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය මූල්‍ය  ප්‍රතිපාදන ප්‍රමාණය හෝ එය සොයා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳවද ඔවුන්ට අවබෝධයක් නොමැති බව එම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පැහැදිලි වන බවත් ජාතික බැංකු සේවක සංගමයේ ලේකම් අසේල ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයට බදු අඩු කළහොත් අහිමිවන රුපියල් බිලියන ගණනක රාජ්‍ය ආදායම සොයා ගැනීමේ කිසිදු ක්‍රමවේදයක් සඳහන්ව නැති බව පෙන්වා දුන් ඒ මහතා ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් වැට් බදු අඩු කිරීම සිදු කළේද මේ ආකාරයටම බවද පෙන්වා දුන්නේය.

ජාතික බැංකු සේවක සංගමයේ ලේකම් අසේල ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ  අද (27) පැවති මාධ්‍ය හමුවේදීය.

ටෙලිකොම් සමාගම විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පසුගිය සමයේ දිගින් දිගටම පැවසූ ජාතික ජනබලවේගය පක්ෂයේ නායකයා, මේ වන විට අදාළ සමාගම සඳහා ආයෝජකයකු ගෙන ඒම ගැටළුවක් නොවන බව සඳහන් කිරීම හමුවේ ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත හෙළි වන බවද ඒ මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික බැංකු සේවක සංගමයේ ලේකම් අසේල ප්‍රනාන්දු මහතා  මෙසේද පැවසීය,

ජාතික ජනබලවේගය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අධ්‍යයනය කිරීමේදී අපට හැඟී ගියේ එහි තේමාව  “සිහින පාරාදීසයක් - බිලියන ගණනාවක්” ලෙස සංශෝධනය විය යුතු බවයි.  

එහි සඳහන් පොරොන්දු  ඉටු කිරීමට කොතරම් මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් අවශ්‍යයද, ඒවා සපයා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන්ද ඔවුන්ටත් අදහසක් නැති බව එය කියවන විට තහවුරු වෙනවා. නමුත් එය කියවන කෙනෙක් සිහින පාරාදීසයකට නම් රැගෙන යනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් පනස් පන් දහස දක්වා ගෙන එන යෝජනාව 2025 අයවැයට ඉදිරිපත් කරන බව පැවසුවා. ඒ වගේම ජීවන වියදම් දීමනාව රුපියල් විසි පන් දහස දක්වා වැඩි කරන බවත් ප්‍රකාශ කළා. පසුගිය කාලයේ ජාතික ජනබල වේගයේ වෘත්තිය සමිති වැඩ වර්ජනය කරමින් ඉල්ලා සිටියේ මෙම ඉල්ලීම් නොවෙයිද? නමුත් වෘත්තීය සමිති රැසක් ඉන්න ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රාජ්‍ය සේවය පිළිබඳ කිසිවක් සඳහන් වී නැත්තේ ඇයි කියා අප ප්‍රශ්න කරනවා.

එසේම ජනාධිපතිතුමා මේ වන විටත් පුද්ගල ආදායම් මත පනවා ඇති බදු අඩු කිරීම පිළිබඳ ප්‍රශස්ත යෝජනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබඳ නිර්දේශ ලද වහාම එය ක්‍රියාත්මක කළ හැකියි. නමුත් රුපියල් ලක්ෂයේ සිට පුද්ගල ආදායම් මත පනවා ඇති බද්ද සිට රුපියල් ලක්ෂ දෙකෙහි සීමාවට ගෙන එන බවට මොවුන් යෝජනා කර තිබෙනවා. මෙය බැලූ බැල්මට හොඳ යෝජනාවක් වුවත් එහිදී අහිමි වනරුපියල් බිලියන 68ක රාජ්‍ය ආදායම සොයා ගන්නේ කෙසේද යන්න  මෙහි කොතැනකවත් සඳහන් කර නැහැ. ඔවුන්ගේ උත්තරය වන්නේ ගෙවීම් පැහැර හරින ලද බදු මුදලින් එම ආදායම් සොයා ගන්නා බවයි.  

2023 දෙසැම්බර් 31 වනදා වන විට මෙරට හිඟ බදු ප්‍රමාණය  රුපියල් බිලියන 1068ක් පමණ වනවා. මේ අතරින් රුපියල් බිලියන 878ක් සඳහා  බදු අභියාචනා ගොනු කර තිබෙනවා. එම නීතිමය ක්‍රියාවලිය අවසන් වීමට සෑහෙන කාලයක් ගත වන නිසා මේ කියන ආකාරයට ඉතා ඉක්මණින් හා පහසුවෙන් හිඟ බදු අය කර ගැනීමට හැකියාවක් නැහැ. පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලනයද වැට් අඩු කිරීම සිදු කළේ මේ ආකාරයටයි. ඒ නිසා මාස කිහිපයක් ගිය තැන ආර්ථිකය දරුණු ලෙස කඩා වැටුණා. රටේ අරගලයක්ද ඇති වුණා. ඒ අනුව නැවතත් ගෝල්ෆේස් අරගලයක් කරා රට තල්ලු වෙයිද කියා මෙහිදී අප ප්‍රශ්න කරනවා.

ඒ වගේම අයි. එම්. එෆ් සංවිධානය සමඟ සාකච්ඡාවකට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක යන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාට ආරාධනා කළා . නමුත් එම ආරාධනාව කර මේ වන විට පැය හතළිස් අටක් ගත වී තිබුණත් මේ දක්වා ඔවුන්ගේ ප්‍රතිපත්තිය අයි. එම්. එෆ් සංවිධානය සමඟ සාකච්ඡා කර මේ රටේ ජනතාවට ඇත්ත දැන ගැනීමට අවස්ථාව උදා කර නැහැ.

ඒ වගේම වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වා දී ඇති ප්‍රතිපත්ති සහ යෝජනා ගණනාවක්ද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට තිබෙනවා.

උදාහරණයක් ලෙස ක්ෂුද්‍ර මූල්‍ය හා  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැළසීමට නව බැංකුවක් ආරම්භ කරන බව ‍එහි සඳහන් වෙනවා. නමුත් මහ බැංකුවේ නිර්දේශ පරිදි සෑම වාණිජ බැංකුවකම මේ සඳහා වෙනම ඒකකයක් මේ වන විටත් ස්ථාපිත කර තිබෙනවා. ඒ වගේම ප්‍රතිපත්ති පොලී අනුපාතික ස්ථායි කරන බව පවසනවා. නමුත් මේ රටේ ප්‍රතිපත්ති පොලී අනුපාත මේ වන විට පහළ ලොස් තව දුරටත් ස්ථායි වෙමින් පවතින  බව බැංකු වෘත්තිකයින් ලෙස අප මේ රටේ ජනතාවට සඳහන් කරනවා.

එසේම රාජ්‍ය බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය කරන බව ඔවුන් පවසනවා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වන විටත් රාජ්‍ය මෙන්ම පෞද්ගලික බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය කිරීම සඳහා රුපියල් බිලියන 450ක සංචිතයක් වෙන් කර තිබෙනවා. ඒ පසුබිමෙහි තමයි ඔවුන් මේ යෝජනාව ගෙන එන්නේ.

ඊට අමතරව ආයෝජන ගැන කතා කර තිබෙනවා. 1977 සිට මේ දක්වා මේ රටට කිසිම විදේශ ආයෝජනයක් ගෙන ඒමට නොදී උද්ඝෝෂණ, වැඩ වර්ජන  කර ඒවා කඩාකප්පල් කළ ජ.වි.පෙ මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශයේ පරිච්ඡේදයක්ම ආයෝජන සම්බන්ධව වෙන් කර තිබීම විහිළුවක් වුවත් එය සතුටු විය හැකි කාරණයක් බව පැවසිය යුතුයි.

ඒ වගේම ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය  පසුගිය කාලය පුරා කියා සිටියේ  ටෙලිකොම් සමාගම විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි. නමුත් දැන් ඔවුන්ගේ නායකයා  ටෙලිකොම් සඳහා ආයෝජකයකු ගෙන ඒම ප්‍රශ්නයක් නොවන බව පවසනවා. මේ දෙබිඩි ප්‍රතිපත්තිය මොකක්ද කියා අප ප්‍රශ්න කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය වන්නේ රාජ්‍ය ආයතන ඵලදායීව පවත්වා ගෙන යාම සඳහා පෞද්ගලික ව්‍යවසාය අවශ්‍යය බවයි.

තවද අස්වැසුම ප්‍රතිලාභ වෙනුවට රුපියල් දස දහසක් දුප්පත් පවුල් සඳහා ලබා දෙන බව මෙහි සඳහන් වෙනවා. අස්වැසුම ප්‍රතිලාභ ලබා දෙන්නේ කාණ්ඩ කිහිපයක් යටතේයි. එහිදී දැඩි ආර්ථික දුෂ්කරතා ඇති පවුලක් සඳහා  රුපියල් පහළොස් දහසක් ලබා දෙනවා.  එසේ නම් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මේ රුපියල් පහළොස් දහස ලබන පවුලටත් ලබා දෙන්නේ රුපියල් දස දහසක්ද කියා අපි ප්‍රශ්න කරනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයට නම්  පැහැදිලිව ඉතා දුෂ්කරම ආර්ථික තත්ත්වයේ සිටින පිරිසට ලැබෙන මුදලෙහි කප්පාදුවක් සිදු වෙනවා.  ඒ වගේම මේ මුදල් සොයා ගැනීමේ ක්‍රමවේදය කුමක්ද කියා මෙහි කිසිම ආකාරයකින් සඳහන් කර නැහැ.

සැබැවින්ම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ එය කිසිසේත් ප්‍රායෝගික නොවන යෝජනා ඇතුළත් හුදු ලියවිල්ලක් බවයි. එම නිසා මෙය විචක්ෂණශීලීව කියවා බලා ඒවා ප්‍රායෝගික, යාතාර්ථවාදී යෝජනාද යන්න වටහා ගන්නා ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ රටට හා අවස්ථාවට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට ගොඩ දැමූ බව අප දන්නවා. එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන ගොස් රටේ ආර්ථිකයත් අපේ ආර්ථිකයක් ගොඩ නඟා ගන්නවාද කියා ඔබ තීරණය කළ යුතුයි.

ජ්‍යෙෂඨ බැංකු කළමණකාර (විශ්‍රාමික)  ගාමිණී සේනානායක මහතා,

ණය ප්‍රශස්තකරණයෙන් පසු 2028 වසරේ සිට  සාමාන්‍ය පරිදි රට පවත්වා ගෙන යාමට හැකි වන වැඩසටහනකට අයි. එම්. එෆ් සංවිධානය විසින් ශ්‍රී ලංකාව ඇතුළත් ‍කර තිබෙනවා. රජය ‍කටයුතු කරමින් සිටින්නේ ඒ අනුවයි. කිසියම් පාර්ශ්වයක් මෙම වැඩසටහනින් ඉවත් වනවා නම් නැවතත් මේ රට ආර්ථික වශයෙන් අර්බුදයට ලක්වී ගොඩ ගැනීමට නොහැකි තත්ත්වයේ ගරා වැටීමකට ලක් වෙනවා.

ඊයේ ජාතික ජනබලවේගය පක්ෂය විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නෛතික රාමුව වෙනස් කිරීම, ආයතනික හා පරිපාලන වෙනස්කම් සිදු කිරීමට අදාළ යෝජනා වගේම එහි ඇතුළත් වන‍්නේ රජයේ ආදායම වන රුපියල් බිලියන 3074ට පහර වදින යෝජනා පමණක් බව කිව යුතුයි.

ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ මේ රටට අවශ්යය වන්නේ මේ වන විට ගොඩ නඟා ගනිමින් පවතින රටේ ආර්ථිකය ශක්තිමක් කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන නායකයෙක් මිස කවුරුන් හෝ පක්ෂයක නායකයෙක් පත් කර ගැනීම නොවෙයි. අයි. එම්.එෆ් වැඩසටහන විධිමත්ව ක්රියාත්මක කරමින්, ජාත්යන්තරයේ පවා ඇගයුමට ලක් වන ආකාරයෙන් මේ රට නැවත නඟා සිටවූ නායකත්වය තව දුරටත් මේ රටට අවශ්යය වන්නේ ඒ නිසා බව මම සඳහන් කිරීමට කැමතියි.

Read more