අනුරගේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද? අපනයන ආර්ථිකයක්ද? ප්‍රශ්නය අහලා දවස් තුනයි, අනුර නිහඬයි

• අනුර ජනාධිපති වුණොත් ඩොලරයේ අගය රුපියල් 500ට යනවා.

• අනුර  ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් පරාජය කරමින් ආර්ථිකය වට්ටන්න හදනවා.

• අසීරුවෙන් ගොඩනැඟු රටේ ආර්ථිකය නැවත බිඳ දමන්න ඉඩ දෙන්නේ නැහැ.

• මා සංඛ්‍යා දත්ත සහිතව කරුණු ඉදිරිපත් කරන අයුරින් මාලිමාවද සංඛ්‍යා දත්ත සහිතව තම අය වැය පිළිබඳ ජනතාවට කරුණු ඉදිරිපත් කළ යුතුයි.

• ඒකා හොරා, මේකා හොරා කියමින් නොසිට ආර්ථිකය ආරක්ෂා කරන්නේ කොහොමද කියා වාද කරමු.

• සජිත් නොමිලේ දෙන ඒවට ගෙවන්න පුළුවන් ඇමරිකාවට විතරයි - ජනපති බේරුවලදී කියයි.

අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද, අපනයන ආර්ථිකයක්ද කියා තමා විමසා දින 03ක් ගත වුවද තමාට කිසිදු පිළිතුරක් ලැබි නැති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අරකා හොරා, මේකා හොරා කියමින් නොසිට රටේ ආර්ථිකය ආරක්ෂා කරන වැඩපිළිවෙළ ජාතික ජන බලවේගය රටට ඉදිරිපත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය

හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාවත් පරාජය කරමින් මෙරට ආර්ථිකය බිඳ දැමීමට සූදානම් වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අසීරුවෙන් ගොඩනැගු ආර්ථිකය බිඳ දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (13) පස්වරුවේ බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි. එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

පෙර පාසල් ගුරුවරුන් සඳහා විශ්‍රාම වැටුපක් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබාදීමේ යෝජනාව ද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි.

තමා සංඛ්‍යා දත්ත සහිතව කරුණු ඉදිරිපත් කරනවා සේම මාලිමාවද සංඛ්‍ය දත්ත සහිතව තම අය වැය පිළිබඳ ජනතාවට කරුණු ඉදිරිපත් කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා සජිත් නොමිලේ ලබාදෙන බව පවසන දේට ගෙවිය හැක්කේ ඇමරිකන් රජයට පමණක් බවද සඳහන් කළේය.

එබැවින් ජනතාව මුලාවන්ට හසු නොවී රටේ ආර්ථිකය පිළිබඳ සැබෑ අවබෝධයෙන් රට ගොඩනැගීම වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ සමඟ එක්විය යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

මේ රටේ ජනතාවට ආහාර, ඖෂධ, ඉන්ධන සහ ගෑස් නොතිබු අවස්ථාවේ මම එම අවශ්‍යතා ඉටු කර දුන්නා. ඔබේ වැඩපොළ වසා තිබු අවස්ථාවේ වැඩපොළ විවෘත කර දුන්නා. ඔබට බලාපොරොත්තු නොතිබූ අවස්ථාවක මම ඔබට බලාපොරොත්තුවක් ලබා දුන්නා. මම කිසිවවිටකත් පැනලා දිව්වේ නැහැ. මේ රටේ ජනතාව පිළිබඳ වගකීම භාරගන්න බැහැ කියා කිව්වේ නැහැ. මගේ නිවස ගිනි තැබුවත් මම ජනතාව වෙනුවෙන් කටයුතු කළා. මට සැබෑ ලෙසම අවශ්‍ය වුණේ මේ රටේ ජනතාවගේ දුක නැති කිරීමටයි. ජනතාවගේ බලාපොරොත්තු තහවුරු කිරීමටයි. මම එම වැඩපිළිවෙළ වසර දෙකක් තුළ සාර්ථකව ඉටු කර තිබෙනවා. ඉදිරියේ දී ජනතාවට තවත් සහන ලබාදෙමින් රටේ ආර්ථිකය ගොඩනඟන වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කරනවා. ඒ අනුව ලබන වසර වන විට ජනතාවගේ ජීවන බර තවත් සැහැල්ලු වෙනවා.

අද අප තවත් තීරණ දෙකක් ගත්තා. රටේ විදේශ විනිමය සංචිතය දියුණු වී තිබෙන නිසා වාහන ආනයන තහනම අපි ඉවත් කළා. ලබන වසරේ සිට ලංකාවට වාහන ගෙන්වීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම බදු ගෙවන්නන්ගේ  මූලික බදු මට්ටම තිබුණේ ලක්ෂ 05ක් ලෙසයි. අප ඒ මට්ටම හත්ලක්ෂ විසි දහසකට වැඩි කළා. තමන්ගේ ආදායම් වැඩිවීමත් සමඟ තමන් ගෙවන බදු අඩුවීමක් සිදු වෙනවා. ඒ අනුව සෑම දෙනාටම සහනයක් හිමි වෙනවා.

මෙම කටයුතු සමග අපට ඉදිරියට යා හැකියි. මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කරලා මේ සාර්ථකත්වය නැති කිරීමට මම සූදානම් නැහැ. මේ රට දියුණු කිරීමේ වැඩපිළිවෙළ අප දැන් ආරම්භ කර තිබෙනවා. අප මේ වැඩපිලිවෙළ ආරක්ෂා කරගත යුතුයි.  

අද මාලිමාව ඉටු කළ නොහැකි පොරොන්දු ජනතාවට ලබා දෙනවා. ඔවුන්ගේ අය වැය රටේ ආර්ථිකය නැවත කඩා දමන අයවැයක්. ඔවුන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් පරද්දමින් රටේ ආර්ථිකය කඩන්න හදනවා. ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළොත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබෙන සහාය නැති වෙනවා. එවිට නැවත ඩොලරය රුපියල් 500 දක්වා ඉහළ ගොස් ජනතාවගේ ජීවන බර වැඩි වෙනවා.

ඒ නිසා මාලිමාවේ යෝජනා ක්‍රියාත්මක කළොත් 2022 මැයි මාසයට වඩා අසීරු තත්වයක් මෙරට ඇතිවන බව මම කිව යුතුයි. මම මෙහෙම කිව්වහම මට චෝදනා කරනවා මම ඔවුන්ට මඩ ගහනවා කියලා. මේක මඩක් නෙවෙයි, ජනතාව ජීවත් කරවීම් පිළිබඳ ප්‍රශ්නයක් අහන්නේ. මට අවශ්‍ය ඩොලරයේ අගය රුපියල් 275ක් කරන්නයි. ඒ දේ හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාරට කරන්න පුළුවන් නම් මගේ විරුද්ධත්වයක් නැහැ. ඒ නිසා මම ගණන් ඉදිරිපත් කරනවා වගේ ඔවුනුත් ගණන් ඉදිරිපත් කර රුපියල් ආරක්ෂා කළ හැකිද කියා ජනතාවට කිවයුතුයි.

පසුගියදා මාව හමුවෙන්න තරුණ කණ්ඩායමක් ආවා. ඒ අතර මාලිමාවට සහයෝග දෙන බව පැවසු පිරිසකුත් හිටියා. මම ඔවුන්ගෙන් ඇහුවා ඇයි මාලිමාවට සහය දෙන්නේ කියලා. ඔවුන් කිව්වා සර් අපි යූඑන්පී එකට චාන්ස් එකක් දුන්නා, මහින්ද මහත්තයාට චාන්ස් එකක් දුන්නා දැන් මාලිමාවටත් චාන්ස් එකක් දෙන්න ඕන කියලා.

මම ඇහුවා ඔබේ අනාගතය ගැන ඔබ චාන්ස් එකක් කාටවත් දෙනවද කියලා. අනේ නෑ සර්  අපට ස්ථීර අනාගතයක් ඕන කිව්වා. මම කිව්වා මාලිමාවට චාන්ස් එක්ක දෙන්න ගියොත් නැවත රටේ අනාගතය කඩා වැටෙනවා, එතකොට 2022 මැයිවල පැවති තත්ත්වයට වඩා අන්ත තත්ත්වයකට රටට මුහුණදීමට සිදු වෙනවා කියලා. එවිට ඔවුන් ප්‍රකාශ කළා අනේ සර් අපි ඒ ගැන හිතුවේවත් නැහැ කියලා. මාලිමාට දෙන් චාන්ස් එක නිසා අපි නැති වෙනවා. ඒ නිසා මාලිමාවට චාන්ස් එකක් දෙන්න ගිහින් තම අනාගතය නැති කර ගැනීමටමේ රටේ ජනතාව සුදානම් නැහැ කියා මම දන්නවා.

අනුරව ජනාධිපති කර ඩොලරයට වැඩි මිලක් ගෙවන්න ඔබ සූදානම්ද, එහෙම වුණොත් ඔබ වෙස්සන්තරට වඩා අන්ත වෙනවා.

මම මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රශ්න කළවිට අනුර මට වාදයකට කථා කළා. මම කිව්වා මම මේ ගැන වාද කරන්න ලෑස්තියි ඊට කළින් ඔබේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද, අපනයන ආර්ථිකයක්ද කියා පැහැදිළි ස්ථාවරය කියන්න කියලා. සුනිල් හදුන්නෙත්ති සහ අනුර කුමාර අතර තිබෙන ප්‍රශ්නය විසදගෙන මට දැනුම් දෙන්න කියා මම කිව්වා. ප්‍රශ්නය අහලා දින 03ක් වෙනවා. අද වන තුරු මට පිළිතුරක් නැහැ. ඒකා හොරා, මේකා හොරා කියන එක නෙවෙයි, වාද කළයුතුතේ මේවා පිළිබඳවයි. මුදල් හොයන්නේ කොහොමද, ආර්ථික ආරක්ෂා කරන්නේ කොහොමද කියලයි වාද කළයුත්තේ. ඒ නිසා මෙවන් පිරිසකට අනාගතය භාර දෙන්න බැහැ.

අනිත් පැත්තෙන් සජිත් හැමදේම නොමිලේ දෙනවා කියනවා. සජිත් ඉදිරියට කියයි හිසරදයත් නොමිලේ දෙනවා කියලා. ඒ විදිහට ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්ද, එයා නොමිලේ දෙන ඒවට ගෙවන්න පුළුවන් ඇමරිකාවට විතරයි. වෙන කාටවත් බැහැ.

ආර්ථික අර්බුදය හමුවේ පැනලා දුවලා ආපසු ආර්ථිකය කඩාකප්පලක් කරන්න උත්සාහ කරන පිරිසකට මේ රට භාර දෙන්න බැහැ. ඒ නිසා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදී රටේ අනාගතය ගොඩනගන වැඩපිළිවෙළ ආරක්ෂා කරගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.

අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා,

රනිල් වික්‍රමසිංහ කියන්නේ පාර්ලිමේන්තුවේ අත්දැකීම් සම්භාරයක් ඇති නායකයෙක් බව කිව යුතුයි. විනාශ වී ගිය මේ රට ඉතා කෙටි කාලයකින් ගොඩ නැඟීමට හැකි වුණේ එතුමාට තිබෙන ඒ අත්දැකීම් හා පලපුරුද්ද නිසයි.

ජාත්‍යන්තරයේ විශ්වාසය නොමැතිව රාජ්‍යයක් පාලනය කළ නොහැකියි. ඕනෑම රාජ්‍ය නායකයෙකුට සෘජුවම දුරකථනයෙන් ආමන්ත්‍රණය කර රට වෙනුවෙන් අවශ්‍ය ඕනෑම උදව්වක් උපකාරයක් ලබා ගත හැකි එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.

මීට වසර දෙකකට පෙර මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තබා විනාශ කලා. එදා ජනාධිපතිතුමගේ පෞද්ගලික නිවසත්  ගිනි තැබුවා. මන්ත්‍රීවරයෙක් මහ මග ඝාතනය කෙරුණා. ජනතාවට හෙට දවස ගැන විශ්වාසයක් ඇතිව ජීවත් විය නොහැකි පරිසරයක් රට තුළ නිර්මාණය වී තිබුනා. මහා ගිනි ජාලයක් බවට එදා පත්ව තිබු මේ රට ජනාධිපතිතුමා ඉතා කෙටි කාලයකින් ගොඩ නැගුවා. මෙලෙස ගරා වැටුණු රටක් ඉතා කෙටි කාලයකින් ගොඩ නැගුව ලෝකයේ එකම රාජ්‍ය නායකයා බවට රනිල් වික්‍රමසිංහ මහතා අද පත්ව සිටිනවා. ඒ නිසාම එතුමට ලෝකයේ විවිධ රට වලින් පැසසුම හිමිව තිබෙනවා.

මේ රටේ ආර්ථිකය ශක්තිමත් වීමට සමගාමීව ජනතාවට සහන සැලසීමටද අද වෙන ‍විට එතුමා පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, අස්වැසුම ලබා දීම, මෙරටට වාහන ගෙන්වීමට යළි අවසර ලබා දීම වැනි ක්‍රියාමාර්ග රැසක් මේ වන විට ගෙන තිබෙන බව කිව යුතුයි.

අද අපි සර්වපාක්ෂික එකඟතාවයකට පැමිණ සියලු පක්ෂ එක වේදිකාවක සිටිනවා. මෙවැනි එකමුතුවක් ඉතිහාසයේ කිසිඳු කාලයක සිදුව නැහැ. රට ඉදිරියට ගෙන යාමට ජාත්‍යන්තරයේ සහයෝගය අවශ්‍යයි. අපේ ආණ්ඩුවට සහයෝගය නොඅඩුව ලැබෙනවා. ලබන 21 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය නියත වශයෙන්ම ජයග්‍රහණය කර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අප ‍මෙතෙක් ගෙන ආ වැඩ පිළිවෙළ මීටත් වඩා වැඩි  වේගයකින් ඉදිරියට ගෙන යන බවට මා සහතික වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 21 වෙනිදා ජයග්‍රහණය කිරීමෙන් පසු එතැන් සිට ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළ අද එතුමා රට හමුවේ තබා තිබෙනවා. ඒ වගේම 2025 වසරට නියමිත අයවැය ලබන මාසයේ ඉදිරිපක් කළ යුතුව තිබෙනවා. එතුමා මේ වන විට එයත් සැළසුම් කර තිබෙනවා. එතුමාට තිබෙන මේ දුරදක්නා ක්‍රියා පිළිවෙත ගැන විපක්ෂයට සිතා ගැනීමටවත් නොහැකි තත්ත්වයකට පත්ව සිටින බව කිව යුතුයි.

නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා,

2022 වසර වන විට  මේ රට විශාල අගාධයක වැටී තිබුණා. ලංකා ඉතිහාසයේම එවන් තත්ත්වයක් ඊට පෙර ඇතිව තිබුණේ නැහැ. අවම වශයෙන් යුද සමයේදීවත් රට ඒ තත්ත්වයට පත් වුණේ නෑ. එම අවස්ථාවේදී රට බේරගන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැර වෙනත් කිසිවෙක් ඉදිරිපත් වුනේ නෑ. එතුමා එදා ඒ පියවර නොගත්තා නම් අද මේ රටේ ගෑස් සිලින්ඩරයක  මිල රුපියල් 15, 000ක් 20, 000ක් පමණ වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා "පුළුවන් " කියා මේ රට භාරගත්තා. එතුමා මේ රට ආරක්ෂා කර, ආර්ථිකය නඟා සිටුවා අද වන විට ස්ථාවරත්වයට පත් කර තිබෙනවා. රට එම තත්ත්වයට ගෙන ආ පසු දැන් පිරිසක් ඇවිත් රට ඔවුන්ට භාර දෙන්න කියනවා. මේ අවස්ථාවේදී  අපට අවදානමක් ගන්න බැහැ. සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන  විභාගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට නොවෙයි. එම විභාගය පැවැත්වෙන්නේ අපටයි.

මට, මාලදිවයින, බංග්ලාදේශය, පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය වැනි රටවල මිතුරන් සිටිනවා. ඔවුන් කියන්නේ ඔබගේ රට වැටුන වෙලාවේ ගොඩ ගන්න රනිල් වික්‍රමසිංහ හිටියා වගේ අපේ රට වැටුනු වෙලාවේ එවැන්නෙක් හිටියේ නැහැ කියලයි. එසේ නම් අපේ ඒ වටිනා මිනිසා අප රැක ගනිමු.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා,

මේ රටේ ජනතාව ආර්ථික වශයෙන් දැවැන්ත පීඩනයකට ලක් වී සිටින මොහොතක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රට ගොඩ නඟන වැඩපිළිවෙළට  අපි අපේ උපරිම ශක්තිය  ලබා දුන්නා.

ආර්ථික අර්බුදයට මුවාවී තමන්ගේ පටු දේශපාලන වාසි වෙනුවෙන් පෙනී සිටින අනෙකුත් පක්ෂවල නායකයන් නායකත්වයට කෑදරකමින් පොර බදද්දී, වගකීම් විරහිතව හැසිරෙද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම දේශපාලන පරිණතභාවය තුළින් මේ රට ගොඩ ගැනීමට කටයුතු කළා.

ජනාධිපතිතුමනි, ඔබතුමාට දැක්මක්, අරමුණක් තිබෙනවා. ඔබතුමා මේ රටට ආදරෙයි. ඔබතුමා මේ රටේ  වගකීම ගත්තේ ඒ නිසයි . දේශපාලන පක්ෂයේ මතයට වඩා මේ රට වෙනුවෙන්  කැපවීම් සිදු කළ යුතු බව ඔබ දේශපාලනඥයින්ට පෙන්වා දුන්වා. අපේ සහාය හිමි වූයේ ඔබතුමාගේ ඒ කැපවීමටයි.

සැප්තැම්බර් 21 වෙනිදාට ඔබ ඉහළම ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරවීමට කටයුතු කරන්නේ ඔබතුමාගේ ඒ කැපවීම වෙනුවෙනුයි. ඔබතුමාගේ කැපවීම ඉදිරි වසර පහටත් මේ රටට අවශ්‍ය නිසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා,

2022 වසරේදී ගෝඨාභය  මහතා ජනාධිපති ධුරය  තැටියේ තියලා දුන්නත් එය භාර ගන්න කෙනෙක් හිටියේ නැහැ. රට වැටී තිබූ අවස්ථාවේ  රට ගොඩනගන වගකිම භාර නොගත් පිරිස අද කෝටි ගණන් වියදම් කර,  ජනාධිපති ධුරය ඉල්ලන්න ඇවිත් තිබෙනවා.  සමහරු දුක් මහන්සි වෙලා, ලෝකය පුරා ඇවිදිමින් ජනාධිපති ධුරය ඉල්ලනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා මේ රට ගොඩ නගන වගකීම භාර ගත්තා.  එතුමා වගකීම භාර ගත් මොහොතේ ඉදිරියට  දුෂ්කර කාලයක් එන බව  කියමින් ජනතාව දැනුවත් කළා. ඒ දුෂ්කර කාලය  ආවා. ඉන්ධන මිල ඉහළ ගියා. විදුලිබිල, ජල බිල ඉහළ ගියා.  ඩොලරයේ අගයත්ඉහළ ගියා. ආහාර මිලත් ඉහළ ගියා. එතුමා කීවා කෙටි කාලයක් ඉවසන්න කියලා. ඔබ තමුන්නාන්සේලා ඒ කෙටි කාලය ඉවසුවා.  අද වන විට ඉන්ධන මිල  අඩු වෙලා. ජල බිල අඩු වෙලා. ආහාර මිල අඩු වෙලා.  ඩොලරයේ අගයත් අඩු වෙලා. එසේ නම් මේ ජනාධිපතිවරණයේ ඡන්දය දෙන්නේ මේ වීර ක්‍රියාව සිදු කළ පුද්ගලයාට ද? නැත්නම් පැනලා ගිය බල ගුල්ලන්ට ද කියලා ඔබ තීරණයක් ගත යුතුයි.  

ග්‍රීසිය බංකොලොත් වුණ වේලාවේ එක්  නායකයෙක් එදා රට ගොඩ නගන වගකීම භාර ගත්තා. එහිදී ද ජනතාවට  දුෂ්කරතා ඇති වුණා. මේ රටේ විපක්ෂ නායක වගේ විපක්ෂ නායකවරයෙක් එදා ග්‍රීසියෙත් හිටියා. ඔහු කිව්වා  “තමන්ට බලය දුන්නොත් සියලු සහන දෙනවා” කියලා. ජනතාව ඔහුට බලය දුන්නා. නමුත්  ජනතාවට සහන දෙන්න ඔහුට  හැකි වුණේ නැහැ.  ඔහුගේ යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කළා. ණය දෙන්න බැහැ කිව්වා. ජනතාව ඔහුව මාස තුනකින් එළවා දැම්මා. එදා ඒ රටේ හිටියා අනුර කුමාර වගේ නායකයෙක්. ඔහු කිව්වා “මට බලය දෙන්න මම අලුත් කෙනෙක් සියලු සහන දෙනවා” කියලා.  ජනතාව ඔහුටත් බලය දුන්නා. ඔහුත් හිටියේ මාස හතරයි.  ජනතාව ඔහුව එළවා දැම්මා. ඒ ආකාරයට වසරක් තුළ ග්‍රීසියේ ආණ්ඩු හතරක් පෙරළුණා. අන්තිමට  නායකයන් පත් කරලා, ආණ්ඩු පත් කරලා, ජනාතව හෙම්බත් වුණා.

2022 වසර වන විට තමුන්නාන්සේලා දුක් වින්දේ උද්ධමනය 71% ක් වූ නිසයි. ග්‍රීසියේ උද්ධමනය 273% ක් වුණා. ඔවුන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කළා.  නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කළේ නැහැ. තමුන්නාන්සේලාගේ සමෘද්ධිය කැපුවේත් නැහැ. මහපොළ ශිෂ්‍යත්වය කැපුවෙත් නැහැ. වකුගඩු දීමනාව කැපුවෙත් නැහැ. වැඩිහිටි දීමනාව කැපුවෙත් නැහැ.

ඒ කිසිවක් කප්පාදු නොකර එතුමා දුප්පතුන්ට අස්වැසුම දුන්නා.  පසුගිය වසරේ රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000  ක් වැඩි කළා. ඒ අවස්ථාවේ දී ජොසප් ස්ටාලින් රුපියල් 10000  මදි කියලා රුපියල් 25000 ක් ඉල්ලලා රාජ්‍ය සේවකයින් අරගෙන පාරට බැස්සා.

කොන්දේසි විරහිතව මම මෙතනට පැමිණියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ භයානක විපතින් රට ගලවා  ගත් නිසායි. එය සිදු කිරීමට හැකියාව ඇත්තේ ද ඔහුට පමණයි. සැප්තැම්බර් 21 එළඹෙන්නේ ආර්ථික යුද්ධයක්. ඒ යුද්ධය පැරදුණොත් උතුරේ යුද්ධය නිසා මියගිය පිරිසට වඩා දහගුණයක් මිය යනවා.

ඒ නිසා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා,

2022 වසරේ දී ඔබ මේ බේරුවල ටවුමේ ඉන්ධන පිරවුම්හල් ඉදිරියේ කිලෝමීටර් කීයක් දිග පෝලිමක, දවස් කීයක් හිටගෙන හිටියද කියා නිදහසේ සිතා බලන්න. ඒ පෝලිමේ හිටපු සමහරු කියනවා වෙන කාට හරි දීලා බලමු කියලා. දීලා බලලා ආයේ පෝලිම් වලට යන්නද හදන්නේ?  මේක දීලා බලන වේලාවක් නොවෙයි.

අපි තවම සියළු ප්‍රශ්නවලින් ගොඩ ඇවිත් නැහැ. අපි ප්‍රශ්න ක්‍රමයෙන් විසඳා ගනිමින් සිටින රටක්. එදා  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ටයි කෝට්කාරයා නිසා ඇමරිකාවේ හිටපු ජනාධිපතිට කෝල් කරලා මට තෙල් නැවක් එවනවද කියලා ඇහුවේ නෑ. එදා වැටුප් ගෙවන්නවත්  සල්ලි තිබුණේ නෑ. රට බංකොලොත් වෙලා. මෙරට ණයවර ලිපි භාර නොගන්නා තත්ත්වයක් ඇතිව තිබුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෙසේ හෝ   ඉන්ධන ගෙනාවා. ඒ ඉන්ධන බෙදා දෙන්න ක්‍රමවේදයක් හැදුවා. මේ ක්‍රමයෙන් රට ගොඩ නැඟුවා.

අද මාලිමාවේ ස්ටිකර් ගහපු අය තමයි එදා ඉන්ධන ලීටරය රු.3000ට  අළෙවි කළේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා QR Code හඳුන්වා දෙමින් ඒ මාෆියාවත් මර්දනය කළා.  ඊට පසු  පියවරෙන් පියවර රටේ රෝදය කැරකුවා. එදා ආහාර මිල 100%කින් ඉහළ ගොස් තිබුණා. අද වන විට උද්ධමනය 2% දක්වා පහත වැටී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ මැතිවරණය පරාජය වුවහොත්  එතුමාට ප්‍රශ්නයක් නෑ. එතුමාට මේ ලෝකේ ඕනෑම විශ්ව විද්‍යාලයක, ඕනෑම රාජ්‍යයක පිළිගත් තනතුරකට පත් විය හැකියි. හැබැයි අපිට නැවතත් පෝලිමට යන්න වෙනවා.

අද කොපමණ සෙනඟ ගෙනල්ලා පෙන්නුවත් මේ රටේ නිහඩ බහුතරය ඉන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟයි.  අවුරුදු දෙකකට පෙර වින්ද දුක ගැන හිතලා, ඒ දුක නැවත විඳින්න අවශ්‍ය නැත්නම්  මෙවර ජනාධිපතිවරණයේදී  ඔබේ ඡන්දය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ලබා දෙන්න.

කලා ශිල්පී සේනක විජේසිංහ  මහතා,

මාලිමාවේ ටී ෂර්ට් ඇඳගෙන වෙනත් පිරිසක්  මිනිස් ඝාතන කළ හැකියි, කළබල කළ හැකියි. 88/89 සිදු වුනෙත් එය බව ඔවුන් කියනවා. ජනතා විමුක්ති පෙරමුණ එවන් අමානුෂික පක්ෂයක් නොවෙයි, සුපිරිසිදු වන්දනීය ජනතා විමුක්ති පෙරමුණට මෙහෙම මඩ ගහන එක වැරදියි කියලා තව කෙනෙක් කියනවා.

මෙහෙම කියන එක් අයෙක් වත් 88-89 කාලයේ ඉඳලා නැහැ. මම 1986 වසරේ සිට මහනුවර දිස්ත්‍රික්කයේ, හාරිස්පත්තුවේ ජනතා විමුක්ති පෙරමුණ නායකයා ලෙස කටයුතු කළා. දෙදහසින් පසු උපන් දරුවන්ට හැංගුවට ජනතා විමුක්ති පෙරමුණ මොනවද කළේ කියලා  අපට හංගන්න බෑ.

ඒ කාලයේදී හැටදාහක් මිය ගියා. අපි අහලා තියෙන්නේ  විජය කුමාරතුංග ඇතුළු දහස් ගණනක් ඝාතනය කළා කියලා විතරයි. නමුත් කවුරුත් නොදන්න තව කතාවක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කොතරම් ෆැසිස්ට්වාදී පක්ෂයක්ද කියා කවුරුත් දන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ තුළ තමන්ගේ මතයට විරුද්ධව කතා කළ තරුණයන් පවා ගෙළ කපා ඝාතනය කළා. ඔවුන්ව ටයර් දාලා ගිනි තිබ්බා. ඒ සියල්ල  බැර වුණේ හමුදාවට සහ පොලිසියටයි.

අදත් තත්ත්වය ඒකමයි.  අද ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව සමාජ ජාලාවල කුමක් හෝ පෝස්ට් එකක් දැම්මොත් ටී පනස් හයේ රිදම් එකට කමෙන්ට් එනවා.

අද අපි හිඟන කලාකරුවෝ, හිඟන නළුවෝ. ඒත් මාලිමාවේ  කලාකරුවෝ සුපිරිසිදුයි, සම්භාව්‍යයි. ඔය වගේම කලාකරුවෝ ටිකක් පසුගිය පළාත්පාලන මැතිවරණයේදී  ජේවීපී වේදිකාවට ගොඩ වුණා. එදා දිනන්න බලාගෙන වේදිකාවට ගොඩ වුණත් ඔවුන් සීයට තුනේ නැවතුණා. ගෝඨාභයට හිටපු කොටසක් එකතු වෙලා  ඉන්න නිසා මෙවර නම් 3%ට වඩා පොඩ්ඩක් වැඩි වෙයි

ඒ නිසා ජවිපෙ බයිලා වලට රැවටෙන්න එපා.  මේ වෙලාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාර්ශ්වයෙන් බොරු සද්ද නැහැ.  මේක නිශ්ශබ්ද ඡන්දයක්. නමුත් අති විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ එතුමායි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරුන් ද , අමාත්‍ය වරුන් වන අලි සබ්රි, විදුර වික්‍රමනායක, ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්,  රාජ්‍ය අමාත්‍ය  අනූප පැස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  තලතා අතුකෝරල, හිටපු අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන,හරීන් ප්‍රනාන්දු, එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් විජේමාන්න,  හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Read more