ඊළඟ වාරිකය වෙනුවෙන් මුදල් ලබාදීමට තවත් සති දෙකකින් IMF නියෝජිතයන් මෙරටට පැමිණෙනවා

• IMF ගිවිසුම වෙනස් කිරීමට ඉඩ දී මෙම සහන අහිමි කර ගන්නවාද කියා ජනතාව තීරණය කළ යුතුයි.

• සජිත්ට හා අනුරට මේ රට ඉදිරියට ගෙන යන්න බැහැ : ඒ බව මේ වන විට ඔවුන් ඔප්පු කර තිබෙනවා.

• රටක් ලෙස ඉදිරියට යනවාද, 2022 වසරේ පැවති තත්ත්වයට යනවද කියා ජනතාව තීරණය කළ යුතුයි - ජනපති කලුතරදී පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රි ලංකා රජය ඇතිකරගත් වැඩසටහනට අනුව ඊළඟ වාරිකය සඳහා වූ මුදල් ලබාදීමට තවත් සති දෙකකින් IMF නියෝජිතයන් මෙරටට පැමිණීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

IMF ගිවිසුම වෙනස් කිරීමට ඉඩදී රටට ලැබීමට නියමිත මෙම සහන අහිමි කරගන්නවාද කියා සැප්තැම්බර් 21 වනදා ජනතාව තීරණය කළ යුතු බව පැවසු ජනාධිපතිවරයා වැස්ස නැති කාලයේ ඉඳලා වැස්ස කාලයේ කුඩයත් අත්හැර පැන දුවන නායකයන් විශ්වාස නොකරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (18) පස්වරුවේ කලුතර මහජන ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

රනිල් වික්‍රමසිංහ පාලනය  යටතේ මෙරට ආර්ථිකය වර්ධනය වූ බව අද අනුර කුමාර දිසානායක ද පිළිගෙන ඇති බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා තමාට රට කිරීමට නොහැකි වුවහොත් වසර  එක හමාරකින් එය අතහරින බවට අනුර කුමාර කළ ප්‍රකාශය මගින් තහවුරු වන්නේ ඔහුට රට ඉදිරියට ගෙන යා නොහැකි බව ඔහු විසින්ම පිළිගැනීම යැයිද සඳහන් කළේය.

එසේම සජිත්ගේ වැඩපිළිවෙළ ගැන දැන ගැනීමට ඔහුට ඊයේ දින රූපවාහිනි වැඩසටහනකට ආරාධනා කළද ඔහු නොපැමිණි බව පැවසූ ජනාධිපතිවරයා තමන්ගේ වැඩපිළිවෙල රටට පැවසිය නොහැකි නායකයන්ට රට භාර දී අනාගතය අඳුරු කර නොගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

වැස්ස නැති කාලයේ ඉඳලා වැස්ස කාලයට කුඩයත් අතහැර දුවන නායකයන්ව විශ්වාස කළ හැකිද කියා මම ජනතාවගෙන් අහනවා. ටයිටැනික් නැව මෙන් ගිලෙමෙන් තිබු මෙරට ආර්ථිකය අද අප නිවැරදි දිශාවට යොමු කර තිබෙනවා. නැව වරායට සේන්දු වෙමින් තිබියදී කපිතාන් මාරු කර එම ගමන වෙනස් කර ගන්නවාද කියා ජනතාව තීරණය කළ යුතුයි.

අප අලුතින් සිතා ඉදිරියට යා යුතුයි. මේ රටේ ජනතාවට හොද අනාගතයක් තිබෙනවා. ඒ නිසා අපට නැවත 2022 දී පැවති තත්ත්වයට යන්න බැහැ. ඒ නිසා  තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ගොඩ නගා දීමේ ජනවරම මෙම සැප්තැම්බර් 21 වනදා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නමුත් අද සජිත් හා අනුර සූදානම් වන්නේ මේ රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ ආපසු හැරවීමටයි.

ඊළග වාරිකය වෙනුවෙන් මුදල් ලබාදීමට තවත් සති දෙකකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරටට පැමිණෙනවා. එවිට මේ ගිවිසුම වෙනස් කරන බව අප පැවසුවොත් ඔවුන් අපට මුදල් ලබාදීම නවත්වනවා. එවිට රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා.  ඊට ඉඩ දෙනවද කියා ජනතාව තීරණය කළ යුතුයි.

රනිල් වික්‍රමසිංහ යටතේ ආර්ථික වර්ධනය වු බවත්, එම ක්‍රමය ඉදිරියට ගෙන යාමට සිදු විය හැකි බවත් අද අනුර කුමාර පිළිගෙන තිබෙනවා.  ඒ වගේම අනුර කියනවා රට කරන්න බැරිනම් අවුරුදු එක හමාරකින් දාලා යනවා කියලා. දුවන්න නම් රට භාරගන්නේ මොකටද කියලා මම අනුරගෙන් අහනවා.

සජිත් ප්‍රේමදාසගේ වැඩපිළිවෙළ මොකක්ද කියා දැන ගන්න ඊයේ  රූපවාහිනි වැඩසටහනකට ඔහුට එන්න කිව්වා. නමුත් ඔහු පැමිණියේ නැහැ. ජනතාවට තම වැඩපිළිවෙළ ඉදිරිපත් කළ නොහැකි අයෙකුට රට භාරදිය හැකිද?  සජිත්ට හා අනුරට මේ රට ඉදිරියට ගෙන යන්න බැහැ. ඒ බව මේ වන විට ඔවුන් ඔප්පු කර තිබෙනවා.

ඒ නිසා අප රටක් ලෙස ඉදිරියට යනවාද, 2022 වසරේ පැවති තත්ත්වයට යනවද කියා ජනතාව තීරණය කළ යුතුයි. ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ඉදිරියට යාමට සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

පූජ්‍ය දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි,

කළුතර මිනිස්සු අභිමානයෙන් ජීවත් වුණා. පානදුරාවාදය කළුතර දිස්ත්‍රික්කයට ආඩම්බරයක් වුණා.  කොස් ඇටයක් දෙමින් දිස්ත්‍රික්කය පුරාම ගියපු තරුණයා කොස් මාමා ලෙස විරුදාවලිය ලබලා  මේ රටට කන්න දෙන්න වැඩපිළිවෙළක් දියත් කළා. ඉතිහාසයේ සිටම රයිගම් පුරවරය ශ්‍රී ලංකා නිදහස් සටනට දායකත්වය ලබා දුන්නා.

අපි ඉපදෙන විටම උප්පැන්නයේ ආගමක් සඳහන් වෙනවා. ජනතාව ආධ්‍යාත්මිකව නිවැරදි ගමන් මඟක ගියේ ඒ ආගම නිසයි. ආගම තිබියදීත් සමහර තැන්වල සිදුවන දේවල් අහන්නවත් බැහැ. සමහර දේශපාලන නායකයින් නිරාගමික රාජ්‍යයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ රටේ විමුක්තිකාමී හැඟීමෙන් එන ප්‍රතිගාමී බලවේග වළක්වාලීමට අප කටයුතු කළ යුතුයි. දහමක් නැති මිනිසුන් බවට පත්කර ගෝත්‍රික සමාජයක් නිර්මාණය කිරීමට එම කණ්ඩායම් උත්සාහ දරනවා.

1988-89 කාලයේ අපි හිටියේ විශ්වවිද්යාලයේයි. ඒ කාලයේ ජනතාව වින්ද දුක  පිළිබඳව අප සියළු දෙනා දන්නවා.  දැන් ඒ අය ගෙයක් ගෙයක් ගාණේ ඇවිත් අරයට ඡන්දය දුන්නොත් බලාගෙනයි, මෙයාට ඡන්දය දුන්නොත් බලාගෙනයි කියා තර්ජන කරමින් සිටිනවා.  ඔය සහෝදරයගේ කාලේ භික්ෂූන් වහන්සේලා1306 නමක් ඝාතනය කළ බවත් අපට මතකයි.

පොහොට්ටුවෙන් ගිය සමහර කණ්ඩායම් සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතු වී සිටිනවා. ඒ අය ඇමතිකම් දරන කාලයේ ආරණ්‍යවල සිටින ස්වාමීන් වහන්සේලාටත් දඩ අය කළා. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ රබර්, තේ වගාවන් සඳහා  නිශ්චිත අගයක් ලබා දුන්නේ වත්මන් ආණ්ඩුවයි. එකින් එක විස්තර නොකළත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දැක්ම පැහැදිලියි. වැඩිපිළිවෙළ පැහැදිලියි.   ඒ නිසා මේ වැඩ කරන පුළුවන් කණ්ඩායමට මේ රට ගෙන යාමට ඔබගේ ශක්තිය ලබා දෙන ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා,

රෝහිත අබේගුණවර්ධන මගේ මිත්‍රයා මට මේ රැස්වීමට ආරාධනා කරමින් කිව්වේ,ඇමතිතුමා පොහොට්ටුව වෙනුවෙන් ඇවිල්ල වචනයක් කතා කරන්න කියලා. අපි සඟ, වෙද, ගුරු, කම්කරු කියන පංච මහා බලවේගය නියෝජනය කරපු වාමාංශික කණ්ඩායමක්. මගේ මේ අවුරුදු 40 දේශපාලන කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දයක් දීලා නෑ, දෙන්න බලාපොරොත්තුවක් තිබුනෙත් නෑ. අපි දේශපාලන වශයෙන් හා මතවාදීව වෙනස් තැන් වල හිටපු අය. මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයට පත්වුණාම මහින්ද සුළඟ අරගෙන රට පුරා ගිහිල්ලා ආණ්ඩුවක් හදන වැඩපිළිවෙළ හදාගෙන යනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපිව එළියට දැම්මා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපිව එළියට දැමු විට අර පංච මහා බලවේගයේ නියෝජනය කරන කණ්ඩායමට නායකත්වයක් දෙන්න අපි එදා පොහොට්ටු පක්ෂය හැදුවා. පොහොට්ටුව, ගම් මට්ටමේ සංවිධාන කටයුතු කරනකොට තමුන්නාන්සේලාගේ දිස්ත්‍රික්කයේ නායකතුමා තමයි, වැඩපිළිවෙළ හදලා ක්‍රියාකාරී වැඩපිළිවෙළ ගමට ගෙන ගිහින් මේ රටේ ශක්තිමත්ම දේශපාලන පක්ෂය නිර්මාණය කරන්න කටයුතු කළේ.

අපි පක්ෂයක් හදලා, ආණ්ඩුවක් හදලා, ජනාධිපතිවරු පත් කර ගත්තත් අවාසනාවකට කොවිඩ් වසංගතයත් එක්ක ඇති වෙච්ච ආර්ථික අර්බුදය කලමනාකරණය කර ගන්න නොහැකි වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 156ක් අපිට හිටියා. ගෝඨාභය ජනාධිපතිතුමාට හැට නම ලක්ෂයක් ඡන්දය දීලා අපි බලය ගත්තා. එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා. මහින්ද රාජපක්ෂ එදා අපේ ආණ්ඩුවේ අගමැතිවරයා. බැසිල් රාජපක්‍ෂ මැතිතුමා මුදල් ඇමතිවරයා. චමල් රාජපක්ෂ ඇමතිතුමා කැබිනට ඇමතිවරයෙක්. නාමල් රාජපක්ෂ ඇමැතිතුමා ඇමතිකම් පහක් එක්ක අමාත්‍ය මණ්ඩලයේ හිටියා. සම්පූර්ණ කැබිනට් මණ්ඩලයෙන් හයෙන් එකක් හිටිය රාජපක්ෂලා. රටේ ආර්ථික අර්බුදය පිළිබදව, නොයෙක් නොයෙක් ගැටලු පැමිණෙන විට අපි කැබිනට් මණ්ඩලයේදී ඒ පිළිබදව කතාකළා. එදා එසේ විදේශ සංචිත අඩු වෙනවා. අයිඑම්එෆ් එකට යමු කියලා ඇමති මණ්කඩලයේ කණ්ඩායමක් යෝජනා කරනවා. කණ්ඩායමක් එපාය කියනවා. එදා "වියත් මගේ" කණ්ඩායම ඇවිත් කිව්වා, "අයිඑම්එෆ් එකට යන්න එපා. ගියොත් සහනාධාර ටික දීගන්න බැරිවෙයි. රට ගෙනියන්න බැරි වෙයි කියලා" බිල්ලෙක් මවලා දුන්නා. හැබැයි අවසානයේදී අපි කියන දේවල් ඇහුවේ නැති නිසා අපේ මන්ත්‍රී කණ්ඩායම 123ක් දක්වා අඩු වුණා. අනෙක් සියලු දෙනාම ගිහිල්ලා ස්වාධීනව විපක්ෂයේ වාඩිවුණා. අපි බොහොම අමාරුවෙන් අල්ලන් ගියා. හැබැයි එන්න එන්න තත්ත්වය භයානක වුණා.. අරගලය නිසා ගෝඨාභය ජනාධිපතිතුමාට රට අත්හැරලා යන්න වුණා. මහින්ද මහතාත් අගමැතිකම අතහැරියා.

අපි කිව්වා මේ රට භාරගන්න කෙනාට අපි කොන්දේසි විරහිතව සහයෝගය දෙනවා කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයට අපි කිව්වා රට භාරගන්න අපි උදව් කරන්නම් කියලා. එතුමා කිව්වා, "මේ රට අවුරුදු දහයකට ගොඩ ගන්න බෑ.

මේක ගිනි ගොඩක්.මේක භාරගෙන අපිට අමාරුවේ වැටෙන්න බෑ" කියලා. අනුර කුමාර දිසානායක ඇමතිවරයා එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා.

ඔහු අසාර්ථකම ඇමතිවරයෙක්. ඔහුත් මේ රට භාර ගැනීම ප්‍රතික්ෂේප කළා. අපි කිව්වා රට රනිල් වික්‍රමසිංහ මහතාට "භාර දෙමු" කියලා. එතුමා තනි පුද්ගලයෙක්.  අපි එතුමාට කිව්වා ජනතාව දුක් විඳින තත්ත්වයට විසඳුමක් දෙන්න කියලා. ඒ වෙලාවෙදි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට භාරගෙන මුලින්ම කළේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමයි. නීතිය, සාමය ස්ථාපිත කළා විතරක් නෙවෙයි, මේ රටේ ඇතිව තිබුණු ප්‍රචණ්ඩකාරී තත්ත්වයෙන් රට මුදවාගන්න කටයුතු කළා. එහෙම නැත්නම් අද මේ රටත් බංගලදේශයක් වෙනවා.

අවුරුදු දහයකින්වත් ගොඩ ගන්න බෑ කියපු රට එතුමා අවුරුදු දෙකක් ඇතුළත ගොඩගත්තා. බංකොලොත් වු රටකට කවුරුත් ආධාර කරන්න, ණයක් දෙන්න එන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට තිබුණු ජාත්‍යන්තර සම්බන්ධතා අනුව රටින් රටට ගිහින් රාජ්‍ය නායකයන් හමුවෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සම්බන්ධ වෙලා, සාකච්ඡා කරලා රට තිබුණ බංකොලොත්භාවයෙන් මුදවා ගන්න හැකියාව ලැබුණා. එදා රට භාරගන්න කෙනෙක් හිටියේ නෑ. නමුත්, අද රට බංකොලොත්භාවයෙන් මුදවා ගත්තට පසුව රට භාරගන්න අපේක්ෂකයෝ 38 දෙනෙක් ඇවිත් ඉන්නවා.

පොහොට්ටුව කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 104ක් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ 21 වෙනිදා ඡන්ද මධ්‍යස්ථානයට ගිහිල්ලා ගෑස් සිලින්ඩරයට කතිරය ගහලා 23 වෙනිදාට නැවත රට ආරක්ෂිත තැනකට ගෙනයන වැඩපිළිවෙළට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබා දෙමු කියලා මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා,

අනුර දිසානායකට රට ගියොත් රට අඳුරට යන එක නවත්වන්න බැහැ. 1971 දී මෙන්ම 1988-1989 වසරවල ඔවුන් කළ කී දේ අපට මතකයි. ඒ වගේම  2022 දී කරපු වැඩත් අපට හොඳට මතකයි. ආර්ථිකය අර්බුදයට පත්වුණ වෙලාවේ ඊට විසඳුම් දෙනවා වෙනුවට ගෙවල් ගිනි තියලා දේපළ ගිනි තියලා විසඳුම් හොයන්න කටයුතු කළේ අනුර දිසානායකලයි. ඔවුන්ට ඇත්තටම අර්බුදය විසඳීමට හැකියාවක් තිබුණා නම් දේපළ ගිනිබත් කරන්නේ නැතුව ඇවිත් ආණ්ඩුව භාරගන්න තිබුණා. මොකද විපක්ෂයේ සියලුම කණ්ඩායම්වලට එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රට බාරගන්න කියා ආරාධනා කළා.

නමුත් රට භාරගෙන ආර්ථිකය අර්බුදය විසඳනවා වෙනුවට ඔවුන් තෝරා ගත්තේ දේපළ ගිනි තැබීමයි. ජනතා විමුක්ති පෙරමුණ රටට කළ විනාශය අමතක වෙන්න නම් අපි මැරිලා ඉපදෙන්න ඕන. 1989දී තරුණයන් හැටදාහක් ඝාතනය කිරීමට හේතු වුණේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වයයි. ඒ නිසා එළැඹෙන 21 වෙනිදාට අනුර දිසානායක වගේම සජිත් ප්‍රේමදාසවත් එකට තියලා පරාජය කිරීමට අප කළුතරින් සූදානම් බව කිව යුතුයි.

රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා,

සජිත්  ප්‍රේමදාසයි, අනුරයි   දිසානායකයි රටේ ආර්ථිකය බිඳ වැටුණු අවස්ථාවේ පැනල ගියා වගේම ඊයේ මැතිවරණ විවාදයෙනුත් සජිත් ප්‍රේමදාස පැනලා ගියා. මොකද එතුමාට සජීවී සංවාදවලට ඇවිත් කතා කරන්න බැහැ.

මේ උදා වී තිබෙන  මොහොත තීරණාත්මකයි. තව දින තුනකින් මේ රටේ නව වන ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලබන ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඒ මැතිවරණය මේ රටේ අනාගතය තීරණය කරනු ලබනවා. ආර්ථික යුද්ධය ජයග්‍රහණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඔබේ වටිනා ඡන්දය ලබා දී රටට නොවැටෙන ආර්ථිකයක් සකස් කිරීමට අපේ සහාය ලබා දෙමු කියා මා ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා,

එදා රට දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවේ රට භාරගන්න එපා කියලා විපක්ෂ නායකවරයාට ආර්ථික ඔස්තාර්ලා  උපදෙස් දුන්නා. ජනතාව දුක් විඳින විට අරගලවලට කැඳවපු අනුර කුමාර දිසානායක රට බාරගන්න ඉදිරිපත් වුණේ නැහැ. එදා  බන්දේසියේ තබා දුන් ජනාධිපති කම භාර නොගත් සජිතුයි අනුරයි අද ජනාධිපතිවරණයේදී අසත්‍ය ප්‍රකාශ කරමින් බලය ඉල්ලනවා.

ජනතාව මේ අයගේ ක්‍රියා කලාපය මීට වසර දෙකකට පෙර දැක්කා. ඒ නිසා එම නායකින් දෙදෙනාගේ ක්‍රියා කලාපයට නැවත රට භාර දෙනවාද නැද්ද කියා සිතා බලන්න. ඔලු ගෙඩි මාරු කරලා මේ රටේ ආර්ථිකය හදන්න බැහැ. 2022 වසරේදී උද්ධමනය 71%ක් තිබුණා. අද වන විට එය තනි ඉලක්කමට ගෙන ඒමට  ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.  ලෝකය දිහා බලන්න. සමාජවාදී කණ්ඩායම් අරගල කරලා පාලනය බලය ගත් කිසිම රටක් දියුණු වෙලා නැහැ, ග්‍රීසිය, වෙනිසියුලාව, ලෙබනනය, බංගලාදේශය වැනි රටවල් දිහා බලන්න. එම නිසා නූතන දියුණු රාජ්‍යයක් ඇතිකර හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතයි. එම නායකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙමු.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිධූරය භාරගන්න අවස්ථාවේ  මේ රට තිබුණේ මහා ගිනි ගොඩකයි. ඒ වෙලාවේ අරගලකරුවන් ඔබතුමාගේ පෞද්ගලික නිවසත් ගිනිබත් කළා. තමන්ගේ නිවස ගිනිගනිද්දී ඔබතුමා  රටේ ගිනි ගොඩ නිවා දැමීමට කටයුතු කළා.  ඔබතුමා පිළිබඳ එදා අපට විශාල ගෞරවයක් ඇතිවුණා. ඔබතුමා ජනතාව පීඩාවට පත්වන අවස්ථාවේ දාලා යන මනුස්සයෙක් නොවන බව අප එදා තේරුම් ගත්තා. ඔබතුමා ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කළා විතරක් නෙවෙයි බංකොලොත් වී තිබුණු රට ඉන් මුදා ගැනීමට ද කටයුතු කළා. මේ ජනතාව ඒ බව දන්නවා. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට මේ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව රොද බැඳගෙන සිටිනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, අමාත්‍ය අලි සබ්‍රි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න යන මහත්වරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල ජනකායක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more