පැවති ආර්ථික අභියෝගය හමුවේ ජනතාව ජීවත් කරවීමේ වගකීම මා ඉටු කළා

• ඒ වෙනුවෙන් ලැබෙන සියලු උපහාර සතුටින් පිළිගන්නවා.

• මා ජනතාව වෙනුවෙන් ආර්ථිකය ගොඩනැගීමේ අභියෝගයට මුහුණ දුන්නා.

• ජනතාව පෝලිම්වල දුක් විඳින විට සොයා ගැනීමටවත් නොසිටි සජිත්ට හා අනුරට අනාගතය භාර දීමට ජනතාව සුදානම් නැහැ.

• පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටේ ආර්ථිකය ගොඩනැඟීමට එක් වූ පිරිසට  රටේ අනාගතය ගොඩනැගීමේ ශක්තියද තිබෙනවා - ජනපති නාරම්වල දී පවසයි.

පැවති ආර්ථික අභියෝගය හමුවේ ජනතාවට අවශ්‍ය ආහාර,ඖෂධ, ඉන්ධන සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලමින් ඔවුන් ජීවත් කරවීමේ වගකීම ඉටු කිරීම නිසා අද බහුතර ජනතාවගේ උපහාරය තමා වෙත හිමිව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම උපහාරය තමා සතුටින් පිළිගන්නා බව පැවසු ජනාධිපතිවරයා ජනතාව දුක් විඳින විට එය බලා සිටිය නොහැකි වූ තමා ජනතාව වෙනුවෙන් රට ගොඩනැඟීමේ අභියෝගයට මුහුණ දුන් බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (10) පස්වරුවේ නාරම්වල ප්‍රදේශයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලිය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ රටේ ජනතාව පෝලිම්වල දුක් විඳින විට සොයා ගැනීමටවත් නොසිටි සජිත්ට හා අනුරට තම අනාගතය භාර දීමට මේ රටේ ජනතාව සුදානම් නොමැති බවයි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටේ ආර්ථිකය ගොඩනැගීමට එක් වූ පිරිසට රටේ අනාගතය ගොඩනැඟීමේ ශක්තියද ඇති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා වූ වැඩපිළිවෙළ “පුළුවන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළින් ඉදිරිපත් කර තිබෙන බවද කියා සිටියේය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

මම මේ කැප් එක පැළඳ සිටින්නේ ඇයි කියා ඔබ සියලුදෙනාගේ හිතේ ප්‍රශ්නයක් තිබෙනවා. මම කිලිනොච්චි රැස්වීමේ කථා කර වේදිකාවෙන් බැසගෙන එන විට වැඩිහිටි කාන්තාවක් මට මේ කැප් එක දුන්නා. ඔවුන්ට ආහාර ලබාදීම ගැන, ඖෂධ ලබා දීම ගැන, ඉන්ධන හා ගෑස් ලබා දෙමින් ඔවුන් ජීවත් කරවීමට මා ගත් පියවරට ස්තූති කරමින් මට මේ කැප් එක ලබා දුන්නා. ඒ නිසා මට මේක ලක්ෂයකට වඩා වටිනවා.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ආහාර, ඖෂධ, ඉන්ධන සහ ගෑස් නැතිව ජනතාව පෝලිම්වල විඳින දුක මට බලාගෙන ඉන්න බැරි වුණා. එම නිසා ජනතාව එම වේදනාවෙන් මුදා ගනිමින් ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් මා මේ රටේ වගකීම භාර ගත්තා. ඒ වෙනුවෙන් අද එම ජනතාවගේ උපහාරය මට හිමිව තිබෙනවා.

එය මට ඉතා වටිනා බව කිව යුතුයි. මේ රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත විය යුතුයි. ඒ වගේම ඔවුන්ගේ රැකියා ආදායම් මාර්ග සරක්ෂිත විය යුතුයි. ඒ වගෙම රටේ ආර්ථිකය ඉදිරියට ක්‍රියාත්මක විය යුතුයි.

නැත්නම් රටේ ආර්ථිකය කඩා වැටෙනවා. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කරමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට මට පසුගිය දෙවසර තුළ හැකි වුණා. අද මේ රටේ දියුණුවක් ඇති වී තිබෙනවා. එම දියුණුව ගෙන එන වැඩපිළිවෙළ පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහනින් ඉදිරිපත් කර තිබෙනවා.

2023 වසරේ මේ රටේ ආර්ථිකය ශක්තිමත් වන විට අපි ජනතාව වෙනුවෙන් අස්වැසුම ලබා දුන්නා. සමෘද්ධි වැඩසටහනද ඊට ඇතුළත් කර සමෘද්ධිය මෙන්ම තුන් ගුණයක් ප්‍රතිලාභ ලබා දුන්නා. ඒ අතර ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව ද ලක්ෂ 24ක් දක්වා ඉහළ දැමුවා.

එපමණක් නොවයි, ඉඩම් බලපත්‍ර තිබෙන අයට සින්නකර ඉඩම් ඔප්පු ලබා දුන්නා. එමඟින් ඔබේ ඉඩම්වල වටිනාකම ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ මේ ප්‍රදේශවල ක්‍රියාත්මක කර අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම අපේ අරමුණයි.

ඒ අනුව කුරුණෑගල ප්‍රධාන නගරයක් බවට පත් වෙනවා. ඒ වගේම කුරුණෑගල නව විශ්වවිද්‍යාලයක් ද ආරම්භ කරනවා. බිංගිරියේ අක්කර දහසක විශාල ආයෝජන කලාපයක් ඇති කරනවා. ඒ වගේම කුලියාපිටියේ නව කර්මාන්තශාලා විවෘත කෙරෙනවා. ඒ වගේම ඩිජිටල් මධ්‍යස්ථාන ඇති කරමින් අධ්‍යාපනය දියුණු කිරිමට ද අප සැලසුම් සකස් කර තිබෙනවා. මට අවශ්‍ය ගමට මුදල් ගෙනවිත් ගම පොහොසත් කිරීමටයි. අපි ජනතාවගෙන් මේ සඳහා සහයෝගය ඉල්ලා සිටිනවා.

අද සජිත් හා අනුර කරන්නේ  කතා කරන එක විතරයි. 2022 වසරේ ජනතාව පෝළිම්වල දුක් විඳින විට මේ අය හොයාගන්න හිටියෙත් නැහැ. දැන් කියනවා ජනතාවගේ අනාගතය ඔවුන්ට භාර දෙන්න කියලා. ඒ සඳහා මේ රටේ ජනතාව සූදානම් නැහැ කියා මම දන්නවා. අප සියලුදෙනා එක්ව රට දියුණු කරමු. ඒ සඳහා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය දී එම ගමන ශක්තිමත් කරන්න කියා මම සියලු ජනතාවගෙන් ඉල්ලනවා.

අමාත්‍ය ටිරාන් අලස් මහතා,

එදා රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගන්නා අවස්ථාවේදී පැවැති තත්ත්වය ජනතාව දන්නවා.ඒ කාලයේ පැය දහතුනක් විදුලිය කප්පාදු කළා. ඖෂධ, ඉන්ධන, ගෑස් තිබුණේ නැහැ. ජනතාවගේ පීඩාව මුල් කර ගනිමින් ත්‍රස්තවාදීන් පිරිසක් ඉදිරියට ඇවිත් රට ගිනි තැබුවා. ඒ අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට සාමකාමී කර නීතිය ස්ථාපිත කිරීමට කටයුතු කළා.

එතුමාගේ තිබුණු ජාත්‍යන්තර සබඳතා භාවිතයට ගෙන වරායේ නවතා තිබූ තෙල් නැව් වලට මුදල් ගෙවීමට කටයුතු කළා. ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මුදවා ගත් ආකාරය  පිළිබඳව ජාත්‍යන්තරය පවා විශ්මයට පත් වුණා.

ඒ අතරම ශ්‍රී ලංකාවේ පැවති මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කටයුතු කළා. එමඟින් මුළු රටේම මත්ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීමට හැකියාව ලැබුණා. හිස ඔසවා තිබුණු පාතාලය මර්දනය කිරීමටත් හැකි වුණා. පාතාලයේ බහුතරයක් මේ වන විටත් අත්අඩංගුවේ පසුවෙනවා. විදේශ රටවල සිට ශ්‍රී ලංකාවේ ඝාතන ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් අල්ලා මෙරටට ගෙන ඒමත් ගැනීමත් සිදු වෙමින් තිබෙනවා.

ජනතාව පසුගිය වසර දෙකකට පෙර තුළ අත්වින්ද ජීවිතය ඔබ දන්නවා. ඒ නිසා රට දිනවන්න ඔබලාගේ වටිනා මනාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා,

ජනාධිපතිවරයාට යුතුකම් ඉටු කිරීමට ජනතාවට අවස්ථාව ලැබී තිබෙනවා. අපේ හදවතේ තිබෙන මනාපය රනිල් වික්‍රමසිංහ මහතාටයි. දඹදෙණියේ ජනතාව මහා සෙනගක් මෙතනට පැමිණ තිබෙන්නේ ජනාධිපතිවරයාට යුතුකමේ මනාපය ලබා දීමටයි. තිස් අවුරුදු යුද්ධයක් නිමා කළ මහින්ද රාජපක්ෂ මහතාට  යුතුකමේ මනාපය ලබාදුන්නා වගේම,  ජීවත්වීමේ අයිතිය ලබා දුන් රනිල්  වික්‍රමසිංහ මහතාට  යුතුකමේ මනාපය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව   ලබාදෙන බව මට විශ්වාසයි.

දේශපාලනඥයන්ගේ ගෙවල් ගිනි තියලා,  බස් රථ ගිනි තියලා,  දේපොළ හානි කරලා, බලය අල්ලා ගන්න ගිය පිරිස් අද පොරොන්දු විකුණමින් සිටිනවා.  මේ අයට බලය ලබාදීමට ජනතාව සූදානම් නැහැ.  22වැනිදා ප්‍රතිඵල කියනකොට  දඹදෙණිය පමණක් නොව කුරුණෑගල  සමස්ත දිස්ත්‍රික් ප්‍රතිඵලයෙන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි ඡන්දයෙන් දිනනවා.

සමහර විපක්ෂ කණ්ඩායම් පොරොන්දු දේශපාලනයෙන්  සිහින විකුණමින් සිටිනවා. ඔවුන්ට රට කරවීමේ හැකියාවක් නැහැ. යළිත් අත්හදා බැලීම් වලට ගියොත් මේ රට නැවත අරාජිකත්වයට යෑම වළක්වන්න බැහැ.ඒ නිසා අප සියලු දෙනා එකට එකතු වී මේ රටේ ආර්ථික වැඩ පිළිවෙළ ඉදිරි වසර පහටත් ගෙන යාමට ජනාධිපතිවරයාට ඉඩ දෙමු. ඒ වෙනුවෙන් එතුමාව ජයග්‍රහණය කරවමු.

රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා,

ත්‍රස්තවාදීන් විසින් මීට වසර දෙකකට පෙර නිවාස, බස්රථ ගිනි තබමින් රට අරාජික කරන මොහොතක රට භාරගෙන සාමකාමී රටක් ඇති කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා.  

පොහොර නැතුව ගොවීන් ගොවිබිම්වල අරගල ආරම්භ කළා. ඉන්ධන සඳහා දීර්ඝ පෝලිම් ඇතිවුණා, උද්ධමනය 90%ක් දක්වා  ඉහළ ගියා. සංචාරකයන්ගේ පැමිණීම නැවතුණා. මෙවැනි වෙලාවක රට භාරගෙන ජනතාවගේ ජීවත් වීමට අවශ්‍ය සියලුම මූලික පහසුකම් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මහතා කටයුතු කළා.

මේ රටට සංචාරකයින් ලක්ෂ විසිපහක් ගෙන ඒමට හැකි පරිසරය නිර්මාණය කළා. ජාත්‍යන්තර සබඳතා භාවිතා කරමින් ආර්ථිකය කළමනාකරණය කිරීම නිසා රට බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට එතුමාට හැකිවුණා. රට වෙනුවෙන් කළ දැවැන්ත සේවයට උපහාර දැක්වීමට අපට දැන් අවස්ථාව ලැබී තිබෙනවා. සැප්තැම්බර් 21 වැනිදා එතුමාට උපහාර දැක්වීමට ජනතාවටත් අවස්ථාව තිබෙනවා.

අපිත් මෙතෙක් කල් දැරූ පුටුව, අත, බුලත් කොලය, පොහොට්ටු ලකුණු පැත්තකින් තියලා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දීමට එකතු වුණා.

2004 වසරේදී  චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිතුමියගේ කාලයේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු පක්ෂය තුළ කටයුතු කළා. එදා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අනුර දිසානායක, බිමල් රත්නායක නාමල් කරුණාරත්න යන මහත්වරු පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. ඔවුන් ඇමතිකම් දැරුවා. නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයට ඔවුන්ගෙන් කෙනෙක් කිසියම් හෝ වැඩක් කර නැහැ.  කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව ඒ පිළිබඳව දන්නවා. මේ අයට නැවත රට භාරදීමට  කුරුණෑගල දඹදෙණිය ජනතාව සූදානම් නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා,

මේ වන විට මැතිවරණ ව්‍යාපාරයේ අවසන් අදියරට අප පැමිණ සිටිනවා. විපක්ෂයේ කණ්ඩායම් මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළේ මීට වසර දෙකකට පෙරයි. ඒ සඳහා විශාල මුදලක් ඔවුන් වියදම් කර තිබෙනවා. මේ මැතිවරණයේදී අපේක්ෂකයෙක් වියදම් කරන මුදල් පිළිබඳ විගණන වාර්තාවක් මැතිවරණ කොමිසමට ලබාදිය යුතු වෙනවා. නව පනත මගින් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් සීමාවක් පනවා තිබෙනවා.

ආර්ථිකය බිඳ වැටුණු පසු දේශපාලන නායකයින්ට පලා යන්න සිදුවුණා. ලක්ෂ 69 ක් මනාප ලැබූ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හිමි වී සිටි ආණ්ඩු පක්ෂයට ආර්ථිකය කඩා වැටීම හමුවේ ඉන් ඉවත් වෙන්න සිදු වුණා.

2018 වසරේ පාස්කු ප්‍රහාරය සමග කිසිදු සංචාරකයෙක් ශ්‍රී ලංකාවට පැමිණයේ නැහැ. ඒ නිසා වසරකට ඩොලර් බිලියන ගණනක ආදායමක් රටට අහිමි වුණා. කෝවිඩ් වසංගතය හමුවේ රට වසා දැමීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළා. අපට ලැබුණු විදේශ ප්‍රේෂණ අඩුවුණා. රටට අවශ්‍ය ආහාර, ඉන්ධන, ගෑස් ඖෂධ සඳහා වියදම් කිරීමට භාණ්ඩාගාරයට මුදල් තිබුණේ නැහැ.

එදා හිටපු ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා නම් ආර්ථිකය මේ තරම් බිඳ වැටෙන්නේ නැහැ. නමුත් එවකට හිටපු ඇමතිවරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් ඇමති ධූර වලින් ඉවත් වන බවට තර්ජනය කළා. මෙරට සතු විදේශ සංචිතය  ඩොලර් මිලියන 20ක් දක්වා ඇද වැටුණා. සමහර දවස්වල කළු කඩෙන් ඩොලර් එකතු කර භාණ්ඩ මිලදී ගැනීමට එවකට ආණ්ඩුවට සිදුවුණා.

ඒ සමඟම දේශපාලන අරගලයක් ආරම්භ වුණා. එහිදී ජනතාවට පිළිතුරු ලබාදීමට ආණ්ඩුවට හැකිවුණේ නැහැ. කොළඹ ජනතාවට විදුලිය ඉන්ධන, ගෑස් නොතිබුණු නිසා ආරම්භ කළ අරගලයට ත්‍රස්තවාදී කණ්ඩායම්ද එකතු වුණා. 2022 මැයි නව වනදා මේ රටේ නීතිය හා සාමය බිඳ වැටෙමින් රට අරාජික වුණා. එදා ගිනි තැබූ  නිවාස දේපළ ආරක්ෂා කරන්න කිසිවෙක් ඉදිරියට ආවේ නැහැ.අයවැයෙන් වැඩියෙන්ම මුදල් වෙන් කරන්නේ ආරක්ෂක අංශ වලටයි. නමුත් ඒ කිසිම කෙනෙක්ට එලියට ඒමට හැකියාවක් ලැබුණේ නැහැ.

මේ වෙලාවේ රටට නායකයෙකුගේ අවශ්‍යතාවය ඇතිවුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂය කණ්ඩායම්වලට   රට බාර ගැනීමට ආරාධනා කළා. සජිත් ප්‍රේමදාසවත් අනුර දිසානායකවත් රට භාරගන්න කැමති වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා කොන්දේසි විරහිතව රට භාරගත්තා.

අද බංගලාදේශයට අත් වී තිබෙන ඉරණම බලන්න . එරට මන්ත්‍රීවරුන් විසිනවයක් මරා දමා තිබෙනවා. පොලිසියේ ආරක්ෂක හමුදා නිලධාරීන් ඝාතනය කර තිබෙනවා. බංග්ලාදේශයේ විපක්ෂය ආණ්ඩුව භාරගන්න සූදානම් වුණේ නැහැ. ඔවුන් දේශපාලන අත්දැකීම් නැති නොබෙල් ත්‍යාගය  දිනපු පුද්ගලයෙකුට බලය  ලබා දුන්නා. නමුත් බංගලාදේශයේ අද තෙල් පෝලිම් ඇතිවෙලා. ආහාර පෝලිම් ඇතිවෙලා. රට භාරගන්න කෙනෙක් නැහැ. මේක අපේ රටේ ජනතාවට හොඳ පූර්වාදර්ශයක්.

ඒ වගේම 2022 වසරෙදි අප රටක් ලෙස දුර්භික්‍ෂයකට ඇද වැටෙමින් තිබුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති නොවන්නට ලංකාවට මේ වනතුරුත් පොහොර ලබාගන්න ක්‍රමවේදයක් නැහැ. එතුමාගේ ජාත්‍යන්තර සබඳතා මත පොහොර ලබා ගැනීමට හැකි වුණා. ඒ නිසාම දුර්භීක්ෂයකට යමින් තිබුණු රටට කන්න හයක්  හොඳින් වගා කිරීමට හැකියාව ලැබුණා. මේ තත්ත්වය නිසා ආර්ථිකය පහසුවෙන් කළමනාකරණය කිරීමට හැකිවුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්මය දියුණු කිරීම මගින් ආර්ථිකය සංවර්ධනය කළ හැකිය යන මතය දරන පුද්ගලයෙක්.

අත්දැකීමක් තිබෙන පුද්ගලයෙක් ප්‍රශ්නයට මුහුණ දෙන ආකාරය සහ අත්දැකීමක් නැති පුද්ගලයෙක් ප්‍රශ්නයට මුහුණ දෙන ආකාරය කියන්නේ කාරණා දෙකක්. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේදී  අත්දැකීම් සහිත නායකයාගේ  වැඩපිළිවෙල ඔබ අත්දැක තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අසංග නවරත්න මහතා,

ඉදිරි සති දෙක ඉතාම තීරණාත්මකයි. මේ රටේ ඉරණම තීරණය වන ඉදිරි සති දෙක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් කැපකිරීම් කරමු. විපක්ෂයේ කණ්ඩායම් වසර දෙකක් තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියක් සිදුකළා. එතුමා වසර දෙකක් ඔබලාගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අරගල කළා.

ජනතාවට ජීවත්වීමේ අයිතිය මෙන්ම ජනතාවගේ මූලික අවශ්‍යතා ලබා දී, රට ආර්ථික වශයෙන් ස්ථාවර කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව ඉදිරියට පැමිණ තිබෙනවා. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයා ඉදිරි වසර 5 ලබාදෙන ලෙස ජනතාවගේ ඡන්දය ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලීමට කුරුණෑගල ජනතාව නිසි සාධාරණයක් ඉටු කරනු ඇති බවට මට විශ්වාසයි.

හිටපු අමාත්‍ය එස් .බී. නාවින්න මහතා,

මෙවර ජනාධිපතිවරණය ඉතාම වැදගත්. මෙවර ජනාධිපතිවරණයේ දී තීන්දු වන්නේ ශ්‍රී ලංකාවේ ඉරණමයි. ආර්ථික වශයෙන් බිඳ වැටුණු රටක් යළි ගොඩ නැඟීමේ වගකීම භාර ගෙන  ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එතුමාගේ විජයග්‍රහණයට අපි සියලු දෙනා කැපවිය යුතුයි.

අභියෝග හමුවේ පලායන නායකයින්ගෙන් ලබාගත හැක්කේ පොරොන්දු පමණයි. පොරොන්දු දේශපාලනය මගින් ජනතාවට සිහින විකුණුවාට එමඟින් ජනතාවට ජීවත්වීමේ අයිතිය ලැබෙන්නේ නැහැ. එනිසා මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ හදවතින් නොව මොළයෙන් කල්පනා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මනාපය ලබා දෙන්න.

මහා සංඝරත්නය , අන්‍යාගමික පූජකයින්, හිටපු පළාත් සභා මන්ත්‍රීවන් වන  ලක්ෂ්මන් වෙඬරුව, මංජුලා දිසානායක යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය දේශපාලන නායකයින් ඇතුළු විශාල ජනකායක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more