ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගන්න මම ඉල්ලන්නේ වසර 05 යි

• පෝලිම් යුගය අවසන් කර ආර්ථික පරිවර්තනය සඳහා පදනම සකස් කළ මට ඡන්දය ඉල්ලීමට අයිතියක් තිබෙනවා.

• ජනතාව දුෂ්කරතාවයට පත්ව සිටි අවස්ථාවේ පැන ගිය සජිත්- අනුරට සැප්තැම්බර් 21 දා නියමිත තැන දෙන්න: අමතක නොකරන්න.

• සජිත්-අනුරගේ ප්රතිපත්තිය ගෝඨාභයට සමානයි: බදු අඩු කර රාජ්ය ආදායම් අඩු කළොත් රට නැවත පෝලිම් යුගයට- ජනපති.

තමන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පසුගිය දෙවසර තුළ ගොඩ නැඟූ ආර්ථිකය ශක්තිමත් ස්ථාවරත්වයකට ගෙන ඒමට බවත් ඒ සඳහා තමන් ඉල්ලා සිටින්නේ වසර පහක කාලයක් පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පෝලිම් යුගය අවසන් කර, ජීවන බර අඩු කර, බදු සහන ලබා දෙමින් මෙරට ආර්ථික පරිවර්ථනයක් ඇති කිරීමට පදනම සකස් කළ තමන්ට ඡන්දය ඉල්ලීමට අයිතියක් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජනතාව දුෂ්කරතාවයට පත්ව සිටි අවස්ථාවේ පැන ගිය දේශපාලනඥයන්ට සැප්තැම්බර් 21 වනදා අමතක නොකර නියමිත තැන ලබා දෙන ලෙසද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (01) පෙරවරුවේ වව්නියාව Young Star  ක්‍රීඩාංගණයේදී පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලියට එක් වෙමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සජිත් සහ අනුරගේ ප්‍රතිපත්තිය වන්නේ බදු අඩු කර රාජ්‍ය ආදායම අඩු කළ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්තිය බවත් තම ප්‍රතිපත්තිය වන්නේ නිෂ්පාදනය වැඩි කර රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

කාදර් මස්තාන් මහතාට වගකීමක් භාර දුන්නොත් ඔහු එය සාර්ථකව සිදු කරනවා. දිලිපන් මන්ත්‍රීතුමා ව්‍යාපාරයක් පටන් ගත්තොත් ජයග්‍රහණයකින් එය අවසන් කරනවා. මෙහි සිටින සියළුම දෙනා සංවිධාන ශක්තියෙන් ඉහළයි. කාලයක් අපි එකිනෙකාට විරැද්ධව තරග කළා. දැන් අපි සියළු දෙනා එකට එක්ව සිටිනවා. මීට අවුරුදු දෙකකට පෙර ආහාර තිබුණේ නැහැ.  ඉන්ධන නෑ. විදුලිබලය නෑ. අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණෙත් නෑ.

මහින්ද රාජපක්ෂ මැතිතුමා මැයි 09 වනදා ඉල්ලා අස් වුණා.  සජිත් ප්‍රේමදාස රට භාර ගනියි කියා අපි හිතුවා. “ මට බැහැ” කියා  ඔහු රට භාර නොගන්නා බව අඟහරුවාදා රාත්‍රිය වන විට අපට ආරංචි වුණා.  

බදාදා දිනයේදී සරත් ෆොන්සේකා මහතා අගමැති වීමට සූදානම් බවත් දැන ගන්නට ලැබුණා. මං කිව්වා කවුරු අගමැති වුනත් අපි උදව් කරන්නම් කියලා. නමුත් බදාදා හැන්දෑව වන විට එතුමාත් අත හැරලා.

බ්‍රහස්පතින්දා ගෝටාභය රාජපක්ෂ මැතිතුමා කිව්වා අගමැතිකම භාර ගෙන දිවුරුම් දෙන්න කියලා. එදා මම ගියේ මා පිටුපස කවුරුවත් නැතිව තනි පුද්ගලයෙක් ලෙසයි. අත්පුඩි ගහන්නවත් කවුරුවත් නෑ.

නමුත් මේ මන්ත්‍රීවරුන් කිව්වා ඔබතුමා වගකීම භාර ගන්න අපි උදව් කරන්නම් කියලා.  ජුලි 09 වනදා හිටපු ජනාධිපතිතුමාටත් ධුරය හැර යන්න සිදු වුණා. ජනාධිපතිධුරය මට භාර ගන්න සිදු වුණා. විපක්ෂය කිව්වා මට භාර ගන්න එපා කියලා. මම ඇහුවා කවුද භාර ගන්නේ කියලා.සජිත් සහ  අනුර කිව්වා ඔවුන් කවුරුත් භාර ගන්නේ නැහැ කියලා. කථානායකතුමාට රට භාර ගන්න කිව්වා. ඔවුන් ඒ  අභියෝගය භාර නොගෙන ඒ වතාවෙත්  පැනලා ගියා.

එදා පාර්ලිමේන්තුව වට කරන්න ආපු වෙලාවේ මේ පිරිස පාර්ලිමේන්තුවේ කතා කරමින් සිටියා . කට්ටිය එනවා කිව්වාම සියළු දෙනා පැනලා ගියා. මම හමුදාවට කිව්වා මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කියලා. කථානායකතුමා මට කිව්වා,  මම පාර්ලිමේන්තුව පාලනය කරන්නම්, ඔබතුමා රට පාලනය කරන්න, ජනාධිපතිධූරය භාර ගන්න කියලා. මං ඒ පියවර ගත්තේ නැත්නම් අද මේ රට බංගලිදේශය වගේ වෙනවා. නමුත් සජිත් සහ  අනුර රට වටේ ගිහින් කිව්වේ මම රනිල් රාජපක්ෂ කියලයි.  නමුත් දැන් රාජපක්ෂලා පිටව ගිහින්. දැන් ඔවුන්ට කියන්න දෙයක් නැහැ.

නමුත් මේ අවුරුදු දෙක තුළ අප   70% ට තිබූ  උද්ධමනය 2%ට  අඩු කළා. රතු පරිප්පු මිල 40%කින් අඩු වුණා. තිරිඟු පිටි  මිල 29%කින් අඩු වුණා. කුකුළු මස් මිල 11%කින්  අඩු වුණා. ඩීසල් මිල 28%කින් අඩු වුණා. ගෑස් මිල 31%කින් අඩු වුණා. දළ දේශීය නිෂ්පාදනය 2022 වන විට ඩොලර් බිලියන 76යක් ලෙස තිබුණත් 2023 වසරේදී එය  ඩොලර් බිලියන 84ක් දක්වා වර්ධනය වුණා. අපි  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ  ලෝක බැංකුවේ සහයෝගය ලබා ගත්තා. රට භාර ගෙන වසරක් ගත වන විට භාණ්ඩ මිල අඩුවුණා පමණක් නොවෙයි රාජ්‍ය සේවකයන්ගේ දීමනා පලමුව රු.5000/= කින්ද, අනතුරුව රු.10000/=කින්ද  මාසික වැටුපට එක් කළා.

උදය සෙනෙවිරත්න වාර්තාව අනුව වැටුප් වැඩි කර තිබෙනවා.  ඒ වගේම විශ්‍රාමික හා ආබාධිත ප්‍රජාවට සිදු කරන ගෙවීම් වැඩි කරල තිබෙනවා. ගැබිණි මව්වරුන්ගේ දීමනාද වැඩි කර තිබෙනවා. සමෘද්ධි ප්‍රතිලාභය මෙන් තුන් ගුණයක් අප අස්වැසුම වැඩසටහන හරහා ජනතාවට ලබා දුන්නා. එසේම එම ප්‍රතිලාභය ලබන  සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා වැඩි කරනවා. අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් ලබා දීමටද අප කටයුතු කළා. පොහොර මිළ අඩු කළා. උරුමය වැඩසටහන හරහා ජනතාවට සින්නක්ර ඉඩම් ඔප්පු ලබා දුන්නා. ඒ වගේම කොළඹ අඩු ආදායම්ලාභීන්ට තට්ටු නිවාස ලබා දෙනවා. වතුකරයේ ජනතාව වෙනුවෙන් නව ගම්මාන ඇති කරනවා.

මේ ආකාරයට අද රටේ ස්ථාවරභාවයක් තියෙනවා. ජනාධිපතිවරණයක් පැවැත්වීමට ද අවස්ථාව ලැබී තිබෙනවා. අපි බංගලිදේශය වගේ නොවෙයි. මේ රට එම තත්ත්වයට පත් වීම මං බේරගත්තා. මේ වන විට එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරලා.  මන්ත්‍රීවරුන් 29ක් ඝාතනය කරලා. අග්‍ර විනිශ්චයකාරවරයාව ගෙදර යවලා. මේ වන විට එරට ඡන්දයක් පැවැත්වීමට නොහැකි වී තිබෙනවා. නමුත් අපි සැප්තැම්බර් 21 වෙනිදා ඡන්දය පවත්වනවා.

දැන් තමයි රනිල් වික්‍රමසිංහගේ පාලනය දකින්නේ. එහෙනම් මට ඡන්දය ඉල්ලන්න අයිතියක් තිබෙනවා. එහෙනම්  පැනලා ගිය අයට මොකද කරන්නේ. ඔවුන්ව අමතක කරන්න එපා. ඔවුන්ට දෙවෙනි සහ තුන්වන තැන දෙන්න. අපි මේ ආර්ථිකය හැදුවා. ජනාධිපතිවරණයට මම එන්නේ  ආර්ථික ස්ථාවරභාවය තහවුරු කරන්න. අපිට හැමදාම ණය අරගෙන ජීවත් වෙන්න බැහැ. මෙරටට විදේශ විනිමය හිඟයක් තිබෙනවා. ඒ නිසා අපි අපනයන ආර්ථිකයක් ඇති කර විදේශ විනිමය අතිරික්තයන් ලබා ගත යුතුයි.

ඔබේ නිවස කඩා වැටුනොත් මොකද කරන්නේ? එය ශක්තිමත් පදනමක් මත ආපසු ගොඩ නැඟිය යුතුයි. අත්තිවාරමේ අඩුපාඩු ඇත්නම් එය සැලසිය යුතුයි.  මේ ඡන්දයට මම ඉදිරිපත් වුනේ ඒ ආකාරයට රටේ වැඩ කටයුතු සිදු කිරීමටයි.  මේ වන විටත් ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව, චීන එක්සිම් බැංකුව ඇතුළු තවත් රටවල් 17ක සහයෝගය ලබාගෙන තිබෙනවා. ඒනිසා තමයි විශේෂයෙන්ම ඇමරිකාව, ඉන්දියාව, ජපානය, යුරෝපය ඇතුළු සියලු රටවල් අපට උදව් කළේ. මේ රට ස්ථාවර කරන්න මම ඉල්ලන්නේ අවුරුදු පහයි. එම වැඩ කටයුත්ත මම අවුරුදු 4න් අවසන් කරනවා. මගේ පරමාර්ථය ජීවන බර අඩු කිරීම, ගෙවන බදු වෙනුවෙන් සහනයක් ලබා දී සහ බදු බර සැහැල්ලු කිරීමයි. ඉහළ වැටුප් සහිත රැකියා වැඩි ප්‍රමාණයක් ඇති කිරීමයි.  ඒ වගේම ආර්ථිකය අපනයන ආර්ථිකයක් පරිවර්තනය කිරීමයි. ඒ වගේම උරුමය සහ අස්වැසුම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි.

මම ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරන්නේ රුපියල ශක්තිමත් කිරීම හරහායි. රුපියල ශක්තිමත් කරන්නේ දළ දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීමෙන්. 2022 වසර වන විට මෙරට  දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 76යි. 2023 වසරේදී එය ඩොලර් බිලියන 84ක් දක්වා ගෙන ඒමට හැකි වුණා. ඒ අතර අස්වැසුම සහ පොහොර ලබා දීමටද සිදුව තිබුණා. අප යල මහ කන්න සාර්ථක කර ගනිමින් නිෂ්පාදනය වැඩි කර ගත්තා. සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගියා. 2024 වන විට නිෂ්පාදනය තවත් වැඩිවෙලා තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල 370 සිට 300 දක්වා ශක්තිමත් වී තිබෙනවා.

සජිත් සහ අනුර කියන්නේ බදු අඩු කර රටේ ආදායම අඩු කරනවා කියලයි. ගෝඨාභය රාජපක්ෂ 2019 වසරේදී ඔය ආකාරයට බදු අඩු කිරීම නිසා තමයි අපි මේ කරදරයේ වැටුණේ. ඔහු රටේ ආදායම අඩු කළා. ජනතාව ගෑස් පෝලිමට හිටියා. පෙට්‍රල් පෝලිමේ හිටියා. පොහොර නැති වුණා. ඒ තත්ත්වයට ආපසු යන්න ඕනද? අනුර නැතත් සජිත් නැතත්පොහොර තියෙනවා. නිෂ්පාදනය වැඩි වන විට රජයේ ආදායම වැඩි වෙනවා. රජයේ ආදායම වැඩි වූ විට බදු බර සැහැල්ලු කළ හැකියි. මම  2025- 2026 සිදු කිරීමට යන කටයුත්ත එයයි. මෙය තවත් සීග්‍රයෙන් ඉදිරියට ගෙන යා යුතුයි.

තරුණයන්හට රැකියා අවස්ථා ලක්ෂයක් ලබන අවුරුද්දේ  රාජ්‍ය හා පෞද්ගලික අංශය ආශ්‍රිතව ලබා දෙනවා. පෞද්ගලික අංශයේ වසරක පුහුණුව ලබා දී ස්ථිර රැකියා සඳහා යොමු කරනවා. ස්වයං රැකියා සඳහා අපි ආධාර දෙනවා. තවත් 50000කට වෘත්තිය පුහුණු මධ්‍යස්ථානවල පුහුණුව ලැබීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා. මේ ආකාරයට රටේ  විශාල දියුණුවක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. අනෙක් පක්ෂ ප්‍රතිපත්තිවල රැකියා සම්බන්ධයෙන් කිසිවක් සඳහන් වී නැහැ. ඔවුන් ඒ පිළිබඳව නිශ්ශබ්දයි. නමුත් සැප්තැම්බර් 22 සිට ආරම්භ කිරීමට අපට සැලස්මක් තිබෙනවා.

ඒ වගේම මේ ප්‍රදේශය දියුණු කිරීමටද කටයුතු කරනවා. කෘෂි නවිකරණය මෙම ප්‍රදේයට ගෙන ‍එනවා. මල්වතුඔය ව්‍යාපාරය හරහා ජල සැපයීම විධිමත් කරනවා. වව්නියාව, මුලතිවු, මන්නාරම යන ප්‍රදේශ  දියුණු කළ යුතුයි. සංචාරක පැමිණීම ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා වැඩි කළ විට මේ ප්‍රදේශවලටත් සංචාරකයන් පැමිණෙනවා.

යාපනය, කිලිනොච්චි, මාන්කුලම් ප්‍රදේශ ආශ්‍රිතව ආයෝජන කලාප ඇති කරනවා. සූර්ය බලය මෙම ප්‍රදේශයට ආදායම් උපයන මාර්ගයක් බවට පත් කළ හැකියි. ත්‍රී රෝද රථ සඳහා ණය ගත් පිරිසට ඉදිරියේදී සහන ලබා දීමට කටයුතු කරනවා. මට අවශ්‍ය මේ ආර්ථිකය පරිවර්තනය කිරීමයි. මෙම ප්‍රදේශයේ ඇති  ඉඩම් ප්‍රශ්නයද විසඳීමට කටයුතු කරනවා.  මධ්‍යම පන්තියේ අඩු ආදායම්ලාභීන්ට නිවසක් ඉදි කර ගැනීමට සහන ණයක් ලබා දෙනවා. අපි සජිත්ගේ නිවාසවලටත් ඒ සහනය දෙනවා. එවිට එම ජනතාවටත් ශක්තිමත් පදනමක් සහිත හොඳ නිවසක් ඉදි කර ගත හැකියි. මේ වැඩ අනුරට පුළුවන්ද?සජිත්ට පුළුවන්ද? ඔබට අවශ්‍යය මේ වැඩසටහන ඉදිරියට ගෙන යාමටද? නැද්ද ? ඔබට අවශ්‍ය වන්නේ හොඳ හ්‍රී ලංකාවක ජීවත් වීමටද? නැත්නම් තවත් බංග්ලාදේශයකට යන්නද? ඒ තීරණය සැප්තැම්බර් 21 තීරණය වෙනවා. එදාට ගෑස් සිලින්ඩරයට කතිරය ළකුණු කරන්න. එසේ නොකළහොත් ගෑස් සිලින්ඩරය වගේම මේ රටත් පුපුරනවා.  

අමාත්ය අලි සබ්රි මහතා,

මේ රටේ සියළුම ජනතාවට බියෙන් සැකෙන් තොරව, එක මවකගේ දරුවන් මෙන් ජීවත් වීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කරන  නායකයෙක් ඉන්නවා නම් ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව විශ්වාසයයෙන් යුතුව පැවසිය හැකියි. ජාති, ආගම්, පක්ෂ බේදයකින් තොරව ඔබ වෙනුවෙන් ඉතා කෙටි කාලයක් තුළ එතුමා විසින් සිදු කළ කාරණා කිහිපයක් පමණක් මම සඳහන් කිරීමට කැමතියි. අද වන විට මේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළ එතුමා පොහොර සහනාධාරය ලබා දීම මෙන්ම අස්වැසුම තුන් ගුණයකින් වැඩි කිරීමද සිදු කළා. උරුමය වැඩ සටහන තුළින් මේ වන විට ලක්ෂයකට තමන්ගේම කියා භූමියකට සින්නක්කර අයිතිය ලබා දෙනු ලැබුවා. තවත් 19 ලක්ෂයකට සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමට නියමිතයි. එසේ නම් තමන්ටම කියා ඉඩමක සින්නක්කර අයිතිය අවශ්‍ය නම් ඔබ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරියටත් සිටිය යුතු වෙනවා. ඒ වගේම දුෂ්කරතා රැසක් හමුවේ රට ගොඩගත් එතුමාට ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීමේ අවස්ථාවද ලබා දිය යුතුයි.

අමාත්ය ජීවන් තොණ්ඩමාන් මහතා,

මෙවර ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරන මැතිවරණයක් බව කිව යුතුයි. මෙතෙක් අපේ රටේ සිටි නායකයින් රටේ ආදායමට වඩා වියදම් කර තිබෙනවා. මේ රටේ ආර්ථික අර්බුදයක් ඇති වුණේ ඒ නිසයි.

ඒ වගේම අපේ රටේ ජනතාව මැතිවරණයකදී ඡන්දය ලබා දෙන්නේ ප්‍රතිපත්ති මත නොව හැඟීම් මත බව කිව යුතුයි. ජනාධිපති අපේක්ෂකයෙකුගේ මූල්‍ය ප්‍රතිපත්තිය කුමක්ද? ඔහුගේ න්‍යාය පත්‍රය කුමක්ද? ඉදිරි ක්‍රියාමාර්ග කෙසේ වේදැයි බොහෝ විට අපි සිතන්නේ නැහැ .

ඒ වගේම කිසිවෙක් අපි මේ තිත්ත  ඇත්ත කියනවට කැමතිත් නැහැ. මා මිහිරි බොරුවක් කියනවා නම් ඔබ කැමති වන්නේ එයටයි.

පසුගිය ආර්ථික අර්බුදය තුළ කාන්තා ස්ත්‍රීබේදයකින් තොරව තම පවුල්  නඩත්තු කිරීමට නොහැකි වුණා. දරුවන්ට තුන්වේල ලබා දීමට නොහැකි වුණා. ඒ අර්බුදයෙන් රට ගොඩගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය ලබාදිය යුතුයි කියා මම විශ්වාස කරනවා.

ඉඩම් හිමිකම්, වැටුප් ගැටලු විසඳීම ඇතුළු කඳුරට ජනතාවට විවිධ ප්‍රතිලාභ ලබාදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වවුනියාව ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය වැනි විවිධ ගැටලුවලට විසඳුම් ලබා දෙන බව මට විශ්වාසයි. මේ මැතිවරණයේදී  ඔබ ඡන්දය ලබා දෙන්නේ පක්ෂයක් වෙනුවෙන් නොවෙයි ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව මතක තබා ගන්න.

රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,

ඉතිහාසයේ ප්‍රථම වතාවට අප සිටි කඳවුරෙන් පිටතට ඇවිත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වීමට තීරණය කළා. ඒ සුවිශේෂ කරුණු කිහිපයක් නිසයි. මේ රටේ ප්‍රශ්න වැලක අප සියලුදෙනා මිරිකී සිටියදීත්, ඒ පීඩාවෙන් අප මුදවා ගැනීමට ගැලවුම් කාරයෙක් ඉදිරිපත් වුණා.ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.  අපි එතුමා තෝරා ගත්තා. ඒ විපක්ෂ නායකයා සහ අනුර කුමාර අපේ ආරාධනය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව බවද සිහිපත් කළ යුතුයි. නායකත්වය කියන්නේ නොබියව ප්‍රශ්නවලට මුහුණ දෙන එක බව එතුමා පෙන්නුවා. ප්‍රශ්නවලින් පැන ගිය අයට නායකයන් කියන්න බැහැ.

ජනතාව ප්‍රශ්නවලින් මිරිකී සිටිද්දී සමහර පක්ෂ දේශපාලනය කළා. වැඩ වර්ජන, උද්ඝෝෂණ කරමින් ජනතාව තව තවත් පීඩාවට පත් කළා. මිනින්දෝරු දෙපාර්තමේන්තුව අද වන විට මාස 6ක් තිස්සේ වැඩ වර්ජනයක් කරනවා. ඔබේ ඉඩමේ අයිතිය ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන යන ‘උරුමය’ වැඩ සටහන කඩාකප්පල් කර, ඒ අයිතිය ඔබට  අහිමි කිරීමට ඔවුන් ගත් ක්‍රියාමාර්ගය එයයි. දේශපාලන න්‍යාය පත්‍රවලට හසුව වැඩ වර්ජන කරන්න ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ. මෙවන් බාධා කිරීම් රැසක් හමුවේ මේ ‍රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කර ඔබේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජන නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවීමට අප කැප විය යුතුයි.  

රාජ්ය අමාත්ය සුරේන් රාඝවන් මහතා,

මගේ මව්බිම  වැටුණ වෙලාවේ එය බේරා ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. රට නැවත වැටුණත් බේර ගන්න පුළුවන් මෙම ජනාධිපතිවරයාටම  බව කිව යුතුයි. 2005 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඡන්දය ලබා දීම පිළිබඳව දෙමළ ජනතාව සමාව ඉල්ලන බව ඊයේ දිනයේ මට මුණ ගැහුණ විශ්‍රාමලත් විදුහල්පතිවරයෙක් පැවසුවා.  එදා ඔබතුමා පරාජයට පත් කළේ බෙදුම්වාදී ත්‍රස්තවාදයයි. ඒ ශක්තියෙන්ම මෙවර  උතුරේ, වන්නි‍ ප්‍රදේශයේ මෙන්ම  නැගෙනනහිර ජනතාව 70%ක් ඡන්දය ලබා දී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවන බවද ඔහු පැවසුවා.

ලෙබනනය අද තිබෙන තත්ත්වයට මේ රට ඇද වැටෙන්න තිබුණ අවස්ථාවට ඔබතුමා ඉදිරිපත් වීම නිසා 87%ක් ව තිබූ ආහාර උද්ධමනය 3%ක් බවට පත් වී තිබෙනවා. 33%ක් වූ පොලී අනුපාතය අද තනි ඉලක්කමකට පහත වැටී තිබෙනවා. රුපියල් 60,000 කට මිලදී ගන්නත් පොහොර තිබුණේ නැහැ. ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්න දවස් 4ක් පෝලිමේ හිටියා. ඒ හිස් වූ සිලින්ඩරය පුරවා දුන්නා පමණක් නොවෙයි, හිස් වීමට ගිය මගේ මව්බිම රැක ගත්තේත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. අපේ යුතුකම වන්නේ මේ දේශය ගොඩ නැඟූ මේ ජාත්‍යන්තර නායකයාව නැවතත් ජනාධිපතිධුර‍යට පත් කිරීම සඳහා සැප්තැම්බර් 21 වෙනිදාට රනිල් වික්‍රමසිංහ සහ ගැස් සිලින්ඩරය ඉදිරියේ කතිරය සටහන් කිරීමයි.

රාජ්ය අමාත්ය කාදර් මස්තාන් මහතා,

රට මේ ආකාරයට දියුණු විය යුතුද? එසේත් නැත්නම් ආපස්සට යනවාද යන්න තීරණය කරන මැතිවරණය මෙයයි. අද ඔබ මෙතැනට රැස්ව සිටින්නේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසර දෙක තුළ ඔබ වෙනුවෙන් සිදු කළ සේවයට කෘතවේදීත්වය දැක්වීමටයි. සමහර අය එදා අපෙන් ඇහුවා අපි මේ මැතිවරණයේදී තෝරගන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක්ද කියලා. නමුත් අපි බය නැතුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තෝරා ගත්තේ අන් කවරදාටවත් වඩා ජනතාව එතුමාව පිළි ගන්නා කාලයකයි.

එතුමා ලෝකයම පිළිගත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වී හමාරයි. ඒ වගේම එතුමා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි යථාර්ථවාදී දේශපාලනඥයෙක්. එතුමා විසින් රජය බාරයේ පැවති මේ ප්‍රදේශයේ ඉඩම් විශාල ප්‍රමාණයක් මුදා හැර තිබෙනවා. නමුත්  විපක්ෂය බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරනවා. විපක්ෂයේ කාර්යභාරය දිගින් දිගටම ජනතාව මුළා කිරීමද කියා මා ප්‍රශ්න කරනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන්,හිටපු නියෝජ්‍ය අමාත්‍ය පී. සුමතිපාල, වවුනියාව දිස්ත්‍රික් එජාප සංවිධායක මයුරන් ,පොදු ජන එක්සත් පෙරමුණ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ඊ. පී.ඩී.පී පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු විවිධ පක්ෂ නියෝජනය කරමින් ප්‍රාදේශීය දේශපාලන නායකයන්, ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධාකවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more