හම්බන්තොට සංචාරක, කර්මාන්ත, වෙළෙඳ සහ වරාය ආර්ථිකයක් ලෙස දියුණු කරනවා

• ජනතාවගේ ආදායම් මාර්ග දියුණු කර ජීවන බර අඩු කරනවා.

• රටේ ආර්ථිකය පවත්වාගෙන යා හැක්කේ නිවැරදි කළමනාකරණයක් තුළින් පමණයි.

• වේදිකාවල බොරු පොරොන්දු දෙන, අංක ගණිතය නොදත් නායකයන් ජනාධිපති ධුරයට සුදුසු නැහැ - ජනපති හම්බන්තොට දී කියයි.

හම්බන්තොට සංචාරක, කර්මාන්ත, වෙළෙඳ සහ වරාය ආර්ථිකයක් ලෙස දියුණු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තමන් ජනතාවට සහන ලබා දෙන්නේ ඔවුන්ගේ ආදායම් වැඩි කර බව පැවසූ ජනාධිපතිවරයා අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන් සහ තමා අතර වෙනස එය බවද පෙන්වා දුන්නේය.

අසීරුවෙන් ගොඩනඟාගත් රටේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට නම් ඉදිරියට යා යුත්තේ නිවැරදි කළමනාකරණයක් සමඟ බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා අංක ගණිතය නොදත්, බොරු පොරොන්දු පමණක් දෙන නායකයන්ට රටේ වගකීම භාර දිය නොහැකි බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ හම්බන්තොට බස්නැවතුම්පොළ ඉදිරිපිට ක්‍රීඩාංගණයේදී අද (29) පස්වරුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී  ජන රැලියට එක් වෙමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට විශාල ජනතාවක් එක්ව සිටියහ.

මෙහිදී ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

2022 වසරේ මා භාරගත්තේ කඩා වැටුණු රටක්. මම රට හදන්න සියලුදෙනාට ආරාධනා කළා. රට බේරගන්න බැහැ, රනිල් වික්‍රමසිංහ ඉවරයි අපි එන්නේ නැහැ කියලා ඇතැම් අය කිව්වා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුවේ බහුතරයක් මට සහාය ලබා දුන්නා. එදා සිට ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක් මට එම සහාය ලැබුණා. මම ඒ පිළිබඳ  ස්තූවන්ත වෙනවා.

මෙම මැතිවරණය සඳහා මම ඔවුන්ගේ සහාය ඉල්ලුවේ නැහැ. මැතිවරණයකදී ඕනැම පක්ෂයකට ඕනෑම තීරණයක් ගැනීමේ හැකියාව තිබෙනවා. එතුමන්ලා වෙනම තරග කරනවා. අපි වෙනම තරග කරනවා. මම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ රට තුළ අප ඇති කර තිබෙන ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර දීම සඳහායි.

ආර්ථිකය ස්ථාවර කිරීමේ දී මේ රටේ ගොවි ජනතාව මට විශාල සහයක් ලබා දුන්නා. 2023 මහ කන්නය සහ යල කන්නය සාර්ථක වුණා. ගොවින් අපට ඉහළ අස්වැන්නක් ලබා දුන්නා.

ඒ නිසා මේ ප්‍රදේශවල ගොවි ජනතාවට මම ස්තූතිවන්ත විය යුතුයි. 2023 වසරේදී  මෙරට දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 84ක් බවට පත් කර ගැනීමට අපට හැකි වුණා. අපට මුදල් ලැබීමත් සමඟ අස්වැසුම වැඩසටහන යටතේ ජනතාවට සමෘද්ධි දීමනාව මෙන් තුන් ගුණයක මුදලක් ලබා දුන්නා

අද අපි සෑම ක්ෂේත්‍රයකටම සහන ලබා දී තිබෙනවා. උක් වගාවටත් පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරනවා. මේ සහනාධාර ලබා දුන් විට ජනතාවගේ ආදායම් වැඩි වෙනවා. අප සහ අනිත් පාර්ශ්වයන් අතර තිබෙන වෙනස එයයි.

මුදල් නැතිව සහනාධාර ලබා  දෙන්නේ කොහොමද ? ඒ නිසා ජනතාවට සහන දිය යුත්තේ ආදායම් වැඩිකරගෙනයි. මෙම අංක ගණිතය නොදත් අය රටේ ජනාධිපති වන්නේ කොහොමද කියා මම අහන්න කැමතියි.

මේ රටේ නිෂ්පාදන වැඩි වීමත්, රුපියල ශක්තිමත් වීමත් සමග අපට ජනතාවගේ ජීවන බර අඩු කළ හැකියි. අප පසුගිය කාලයේ ආරම්භ කළේ එම වැඩපිළිවෙළයි.

අපි තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට සැලසුම් කර තිබෙනවා. සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඒ පිළිබඳ කිසිවක් ඇතුළත්ව නැහැ.

හම්බන්තොට වරාය දියුණු කිරීමේ වගකීම මා එදා භාරගත්තා. චයිනා මර්චන්ට් සමාගම මෙන්ම සුබානා ජුරොං සමාගමද ඒ සඳහා සැලැස්මක් සකස් කර තිබෙනවා. හම්බන්තොට මහා පරිමාණ අයෝජන කලාපයක් ඇති කිරීමට අක්කර හාරදහසක් ලබාදීමට අප එකඟ වී තිබෙනවා. ඒ වගේම සයිනොපෙක් පිරිපහදුව මෙම ප්‍රදේශයට ගෙනවිත් තිබෙනවා. සයිනොපෙක් පිරිපහදුව ලංකාවේ දෙවන පිරිපහදුවයි. මෙම ව්‍යාපෘති සමඟ අප ඉදිරි වසර පහේදී හම්බන්තොටට සංචාරක, කර්මාන්ත, වෙළෙඳ සහ වරාය ආර්ථිකයක් ගෙන දෙනවා. මෙම දියුණුව ඇති කිරීම වෙනුවෙන් අපි එක් වෙමු.

කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා,

අර්බුදය අවස්ථාවේ  රනිල් වික්‍රමසිංහ මහතා  මේ රට භාරගත් නිසා අප අද එතුමාට සහාය ලබා දෙනවා. එදා ජනතාව පෝලිම්වල මැරී වැටුණා. ඒ අවස්ථාවේ එතුමා වීරයෙක් වගේ රට ගොඩනැඟීමේ වගකීම බාරගත්තා.

එසේම ජනාධිපති ධුරය භාරගැනීමෙන් පසුව අපේ සහාය එතුමා ඉල්ලා සිටියා. කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මා ගොවින්ට පෙහොර ලබාදීමට මැදිහත් වුණා. ගොවිජනතාව නැවත වරක් ගොවි බිමට යැවීමට කටයුතු කළා.

විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද එදා අප පොහොර ආනයනය කර ගොවිජනතාවට ලබාදුන්නා. එය නතර කරන්න ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ  මොන බාධක ඇති කළත්  ජනතාවට පොහොර සහනාධාර ලබාදීම අප නතර කළේ නැහැ.

රජයේ කෘෂි නවීකරණ වැඩසටහන හේතුවෙන් අද වන විට සහල් අතිරික්තයක් පවා රට තුළ ඇති වී තිබෙනවා. අපේ ඉදිරි රජයක් යටතේ අතිරික්ත සහල් අපනයනය කිරීම තුළින් ගොවි ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට කටයුතු කරනවා. කෘෂි නවීකරණ වැඩසටහන තුළින්  ඉදිරියේදී තරුණයන්ට ලක්ෂ තුන හතරක් ලැබෙන පරිදි වැඩසටහන් නිර්මාණය කරනවා. ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගෙන සහල් නිෂ්පාදනය වැඩි කිරීමට ලබන කන්නයේ සිට පොහොර මිටියක් රුපියල් හාරදහසකට ලබාදීමට දැනටම මුදල් වෙන් කර තිබෙනවා.

ඒ වගේම සියලු ගොවින්ට බන්ඩි පොහොර නොමිලේ ලබාදීමට දැනටමත් ගිවිසුම් අත්සන් කරමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීමේ පින්කමට දායක වුණා. යළිත් අපට අත්හදා බැලීම් කරන්න කාලයක් නැහැ. මේ රට දියුණු කරන වැඩපිළිවෙළ ජයග්‍රහණය කිරීමේ වගකීම ඉදිරියේ අපට තිබෙනවා

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්   පතිරණ මහතා

රටකට ජාතික ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය ආරක්ෂාවත් අවශ්‍යයි. පසුගිය කාලයේ පැවැති අර්බුද හේතුවෙන් රටට සංචාරකයන් ආවේ නැහැ. එදා පැවතියේ විදේශ ප්‍රේෂණ විදියට ඇමරිකා ඩොලර් බිලියන හතරක් පමණයි. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඩොලර් බිලියන 7-8ක් අපට අහිමි වුණා.

අද රටට ඇදහිය නොහැකි ආර්ථික විප්ලවයක්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇති කළා.. ආර්ථික යුද්ධයෙන් රට බේරගත් නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අප කෘතවේදීව සහය ලබාදිය යුතුයි.

එදා අප රටක් විදිහට දුක්වින්දා. නමුත්  එතුමා ඉතා කෙටි කාලයකින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට වික්‍රමසිංහ ජනාධිපතිතුමා පියවර ගත්තා.  එතුමාගේ  නිවැරදි නායකත්වය නිසා රුපියල ස්ථාවර වී තිබෙනවා. උද්ගමනය අඩු වී තිබෙනවා. ජනාධිපතිතුමාට ඉදිරි වසර පහක කාලය නැවත ජනාධිපති ධූරය ලබාදීමට අප සියළුදෙනා කැපවෙමු.

නියෝජ්ය කතානායක අජිත් රාජපක්ෂ මහතා,

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය නායකයන් බහුතරයක් එක වේදිකාවකට ඇවිත් තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් දේශපාලන බලවේග විශාල පිරිසක් අප සමග ඒකරාශී වෙමින් සිටිනවා.

අප අද වෙහෙසකර ගමනක් ආරම්භ කර තිබෙනවා. ගත වූ වසර දෙක තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටට යුතුකම සහ වගකීම නිසි ලෙස ඉටුකළ නායකයෙක් බව පැවසිය යුතුයි.

එම නිසා එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් එතුමා වටා ඒකරාශී වී සිටිනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු විදියට  එතුමා වෙනුවෙන් මේ දේශපාලන තීන්දුව ගත්තේ රට ගැන සිතා බව කිව යුතුයි.

හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා,

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 38 දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුව ඉදිරිපත්ව සිටිනවා.  ජනපති පුටුවට යාමට කී දෙනෙක් බලන් ඉන්නවා ද කියා එමඟින් පැහැදිලි වෙනවා.  අනුර හා සජිත් මැතිවරණ වෙනුවෙන් කොපමණ මුදලක් වියදම් කරනවද?

එදා රට බාරගන්න ඔය කිසි කෙනෙක් හිටියේ නැහැ. බලය දුන්න වෙලාවේ කවුරුත් බාරගත්තේ නැහැ.  රනිල් වික්‍රමසිංහ මහතා එදා රට භාරගන්න විට ඇමරිකානු ඩොලර්  මිලියන 20 තිබුණේ. මේ රටේ ජනතාවට දවසක් කන්න දෙන්න ඒ මුදල ප්‍රමාණවත් නැහැ.

ධනපති පන්තියේ නායකයන් නිර්ධන පන්තියට බලය හොඳින් ලබා දෙන්නේ නැහැ. ඔවුන් සන්නද්ධ අරගලයකින් බලය ගන්න තමයි උත්සාහ කරන්නේ.  

අද ඔවුන්ට ඡන්දයට ඉදිරිපත් වෙන්න අවස්ථා ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතා මේ රටට කල වෙනස නිසයි. ඉදිරි මැතිවරණයේදී අපි වරද්දාගතහොත් දෙවනි ග්‍රීසිය වශයෙන් ශ්‍රී ලංකාව පත්වීම වළක්වන්න බැහැ.

හිටපු අමාත්ය මනූෂ නානායක්කාර මහතා,

ඉතිහාසයේ සිටම එක්සත් ජාතික පක්ෂය මේ රටට වැඩක් කළ, පක්ෂයක් බව කිව යුතුයි. එදා අර්බුදයට මැදිව තිබූ  මේ රට ජනාධිපතිතුමා භාර ගත්තා. ඒ අර්බුදය චිත්‍රපටයක් නම් ඒ චිත්‍රපටයට විවේකයක් ජනාධිපති වික්‍රමසිංහ මහතා ලබා දී තිබෙනවා.  මේ විවේක කාලය තුළ අර්බුදයෙන් එළියට යනවාද, එහෙම නැත්නම් රට යළිත් අර්බුදයකට ගෙන යනවාද කියා කල්පනා කළ යුතුයි. අද වන විට බංගලාදේශයේ තත්ත්වය ඉන්දුනීසියාවට පමණක් නොව මාලදිවයිනටත් පැතිර ගිහින් තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල අද රට පුරාම තිබෙනවා.  ජන රැලි වලට රට වටෙන්ම බස්වලින් ගෙන්වනවා. දවසකට බස්වලට විතරක් ලක්ෂ ගණන් වියදම් කරනවා.ඔවුන්ට මෙතරම් සල්ලි කොහෙන්ද? මේ සල්ලි ලබා දෙන්නේ මේ රට යළිත් අර්බුදයකට ඇද දැමීමට උත්සාහ කරන බලවේගයි.  ඒ බලවේගවලට ශ්‍රී ලංකාව  ගොඩනැගෙනවාට කැමති නැහැ. එම නිසා ජනතා විමුක්ති පෙරමුණට ඕනතරම් සල්ලි වියදම් කරනවා.

එම නිසා අපි රටක් විදිහට සාමූහිකව මැරී වැටිය යුතු නැහැ. ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා  මේ රටේ නායකත්වයට යළිත් පත් නොවුනහොත් අප සියලු දෙනා සමූල ඝාතනය වීම වළක්වන්න බැහැ.

හිටපු අමාත්ය ෆයිසර් මුස්තාපා මහතා,

ඉදිරි ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක මැතිවරණයක්. ඇතැමුන් මේ රටේ දේශපාලනය පමණයි කරන්නේ. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනතාවට ආදරය කරන නායකයෙක්.  අනික් දේශපාලනඥයන් සහ වික්‍රමසිංහ මහතා අතර වෙනසක් තිබෙනවා.

සමහර අය ජාතීන් අතර ප්‍රශ්න ඇති කරනවා. රනිල්  වික්‍රමසිංහ මහතා ශ්‍රී ලාංකේය චින්තනයක් සහිතව රට ඉදිරියට ගෙනයන නායකයෙක් බව කිව යුතුයි.  එතුමා එදා රට භාරගෙන සිදුකළ කාර්යභාරය ලෝකයේ කිසිදු රටක නායකයෙක් කර නෑ. අද දිනෙන් දින රටේ ආර්ථිකය ශක්තිමත් වෙමින් තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර දිසානායක  මහතා  මේ රටේ බලයට පත්වුවහොත් මාස හයක් ඇතුළත යළිත් පෝළින් යුගයක් ඇතිවෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිඳු දිනක රටට අහිතකර තීන්දු තීරගෙන නැහැ. එම නිසා තමයි එතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරන්නට එතුමාට සහාය ලබා දෙන්නේ.

Read more