උපයන විට ගෙවන බද්ද සංශෝධනය කිරීමට රජය මේවන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා

• ජනතාවට සහන සැලසීමටත්, රටේ ආර්ථිකය රැක ගැනීමටත් රජය කැපවී සිටිනවා.

• ආර්ථිකය නැවත කඩා වැටුණොත් ජීවත්වීමට රටක්  නැති වෙනවා.

• ආදායම් අඩු කර, වියදම් වැඩි කර ආර්ථිකය පවත්වාගෙන යන ආකාරය සජිත් - අනුර රටට කිව යුතුයි.

• සජිත් සහ අනුර පෙන්වා දෙන මාර්ගය ගෑස් නැති, ඉන්ධන, ඖෂධ සහ ආහාර නැති මාර්ගයක්.

• 2022 පැවති තත්ත්වයට ඇද වැටෙනවාද, රජය සමඟ ඉදිරියට යනවාද කියා ජනතාව තීරණය කළ යුතුයි  - ජනපති ඇහැලියගොඩදී පවසයි.

ජනතාවට විශාල ගැටලුවක්ව ඇති උපයන විට ගෙවන බද්ද සංශෝධනය කිරීමට රජය මේවන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ ඇති බවත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම සහනය කඩිනමින් ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (28) පස්වරුවේ ඇහැලියගොඩ නව වෙළෙඳපොළ අසළ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට ඇහැලියගොඩ ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලිය ඇමතු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ රටේ ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතා පිළිබඳ රජයට මනා අවබෝධයක් ඇති බවයි.  

ජනතාවට සහන සැලසිය යුත්තේ රටේ ආර්ථිකය ද ආරක්ෂා කර ගනිමින් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආර්ථිකය කඩා වැටුණහොත් සියලුදෙනාට ජීවත් වීමට ද රටක් ඉතිරි නොවන බව අවධාරණය කළේය.

බදු අඩු කර ජනතාවගේ ජීවන බරද අඩු කරන බවට ඉටු කළ නොහැකි පෙරොන්දු  සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක  ජනතාවට ලබා දෙමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන් පෙන්වා දෙන මාර්ගයේ ගමන් කළෙහොත් නැවතත් ගෑස් නැති, ඉන්ධන නැති සහ ඖෂධ නැති මගක ගමන් කිරීමට ජනතාවට  සිදුවන බව ද කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිතිවරයා මෙසේද  පැවසීය,

මම මීට පෙර ඇහැළියගොඩට පැමිණ රැස්වීම් පවත්වා තිබෙනවා. එවිට මේ දේශපාලන වේදිකාවල සිදුවූයේ එකිනෙකාට දොස් පැවරීම සහ විවේචනය කිරීම පමණයි. නමුත් අද අපි සියලුදෙනා සිටින්නේ එකම වේදිකාවකයි. අප සියලුදෙනා එක වේදිකාවකට පැමිණියේ රට බේරා ගැනීම වෙනුවෙන් එක්වීමට තීරණය කළ නිසයි.

ගෑස්, ඖෂධ සහ මුදල් නැති කාලයේ අපි සියලුදෙනා එකට එකතුවෙලා fua රට ගොඩගත්තා. අවාසනාවට මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත්  ජන බලවේගය සහ මගේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායත්වයයෙන් යුත් සමගි ජන බලවේගය අප සමග එක් වුණේ නැහැ. අප එකට එකතුවුණේ හොරකම් කරන්න කියලා ඔවුන් කිව්වා. ඔවුන්ගේ සහ අප අතර වෙනසක් තිබෙනවා. ඒ අපි පක්ෂයට ලැදි වගේම දේශපාලනඥයන් ලෙස රටටත්, ජනතාවටත් ලැදිව කටයුතු කරනවා. ඔවුන් පක්ෂය ගැන සිතා කටයුතු කරනවා.

මම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ පසුගිය වසර දෙක තුළ මේ රට ගොඩනැගීම වෙනුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ජන වරමක් ඉල්ලීමටයි.

මේ රටේ ජන බලවේග දෙකක් තිබෙනවා. කොපමණ වේගයෙන් ගියත් ඔවුන්ට ජනතාවගේ වේදනාව තේරෙන්නේ නැහැ. නමුත් අපට ජනතාවගේ වේදනාව තේරුණා. ඒ නිසා අපි අද රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කර තිබෙනවා.  අප පසුගිය වසර දෙක තුළ ක්‍රමානුකූලව බඩු මිල අඩු කර ජනතාවට සහන ලබා දුන්නා. නමුත් ජනතාවට තවදුරටත් සහන ලැබිය යුතු බව අප දන්නවා. ජනතාවට මෙම සහන ලබාදිය යුත්තේ රුපියල ශක්තිමත් කරමින් ක්‍රමානුකූලව ආර්ථිකය ඉදිරියට ගෙන යාමෙන් පමණයි.

රුපියලේ අගය ඉහළ යාමත් සමග බඩු මිල අඩු කර ජනතාවට සහන ලබාදීමට හැකියාව ලැබෙනවා. අප ඉදිරියට යා යුත්තේ මේ මාර්ගයේ පමණයි. උපයන විට ගෙවන බද්ද අද විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. එය සංශෝධනය කිරීමට අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප එකඟ වී තිබෙනවා. එම මූලික තීරණය අප මේ වන විටත් ගෙන අවසන් බව කිවයුතුයි. ඒ පිළිබඳ අප යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර ඔවුන්ද යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම යෝජනා දෙක පිළිබඳ සාකච්ඡා කර එකඟතාවකට පැමිණි පසු එම සහනය ජනතාවට ලබා දෙනවා.

මම මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් වන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ජනතාවගේ ජිවන වියදමට ද සහන ලබාදීමටයි. ජනතාවට බදුවලින් මෙන්ම ජීවන වියදමින් සහනයක් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකර දීමට අප කටයුතු කරනවා. ලංකාව සීග්‍රයෙන් දියුණු කර ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට අප කටයුතු කරනවා. එම සැලැස්ම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස හෙට ඉදිරිපත් කරනවා.

අද අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස කියනවා බදු අඩු කර ජනතාවට සහන දෙනවා කියලා. බදු අඩු කර ජනතාවට සහන ලබාදිය හැකිද, බදු අඩු කළ විට රජයේ ආදායම් අඩු වෙනවා. එවිට එම මුදල් පියවාගත නොහැකිව උද්ධමනය ඉහළ යනවා.

එසේනම් ආදායම් අඩු වී වියදම් වැඩි වූ විට රටේ ආර්ථිකයකට මොකද වෙන්නේ. රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. ඒ නිසා ආදායම් අඩු කර වියදම් වැඩිකර රටේ ආර්ථිකය පවත්වාගෙන යන්නේ කෙසේද කියා අනුර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා රටට කිව යුතුයි. එම මාර්ගය ගෑස් නැති, ඉන්ධන නැති, ඖෂධ නැති තැනකට රට ගෙන යන මාර්ගයක් බව ජනතාව අවබෝධ කරගත යුතුයි. ඒ බව මතක තබා ගනිමින් කටයුතු කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අමාත්ය නීතීඥ පවිත්රා වන්නිආරච්චි මහත්මිය,

පසුගියදා එලි දැක්වුණු ජාතික ජනබලවේලගයේ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඍජු බදු අඩු කර රටේ ආදායම අඩු කරන බව සඳහන් කර තියෙනවා. වක්‍ර බදුත් අඩු කර රජයේ ආදායම තවත් අඩු කරන බව ඔවුන් තවත් තැනක කියනවා. රටේ වියදම වැඩි කරන බවත් සඳහන් කර තිබෙනවා. අනුර කුමාරගේ ප්‍රතිපත්තිය එයයි. අපි හදපු පොදුජන පෙරමුණු ආණ්ඩුවේදී යල් පැන ගිය ආර්ථික ඔස්තාර්ලා ඔය ජාතික ජනබලවේගය කරන්න යන දේ කරලා තමයි මේ රට අස්ථාවරභාවයට පත්වෙලා විනාශ වෙන්න ගියේ

බොහොම අමාරුවෙන් දැඩි සත්කාර ඒකකයේ හිටපු අපේ රටේ ආර්ථිකය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා  දැඩි සත්කාර ඒකකයෙන් වාට්ටුවට ගෙනැවිත් තිබෙනවා. දැන් අපි කළ යුත්තේ දැඩි සත්කාර ඒකකයෙන් වාට්ටුවට ගෙනාපු ලෙඩා සම්පූර්ණයෙන්ම සනීප කරලා රෝහලෙන් පිටත් කිරීමයි. එනිසා වගකිව යුතු පුරවැසියන් ලෙස අප සිදු කළ යුත්තේ NPP කියන වැරදි එන්නත ගහලා මේ මාතෘභූමිය නැමති ලෙඩා නැවත දැඩි සත්කාර ඒකකයට යැවීම නොවෙයි.

අද අනුර කුමාර දිසානායක මහත්මයා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සපත්තු දෙකේ බැහැලා. දෙන්නම තරගෙට විවිධ පොරොන්දු දෙනවා. අපේ රටට අවශ්‍ය වෙන්නේ ජනප්‍රියතාව රැකගන්න, නැත්නම් කොහොමහරි දිනාගන්න සාම්ප්‍රදායික දේශපාලන පොරොන්දු දෙන නායකයින් නොවෙයි. අපට අවශ්‍ය වන්නේ යථාර්ථවාදී දර්ශනයකින් මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයන්න පුළුවන් නායකත්වයකුයි. ඒ නිසා මේ රටට සහන මලු පෙන්නලා ඡන්දය ගන්න උත්සාහ කරන දේශපාලන විහිලුකාර නායකයෝ ලබන සැප්තැම්බර් 22වෙනිදා ජනතාවගෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වන බව කිව යුතුයි.

අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා,

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රටේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කළගුණ සලකනවා නම්, ආර්ථික යුද්ධය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් මේ රටේ හදවතක් තිබෙන ගුණගරුක ජනතාව ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කළගුණ සැලකිය යුතුයි.  ඔබතුමාලා විශ්වාස කරන්න. ලැබෙන පණිවුඩ ඉතා සුබයි. වර්තමානය වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දිස්ත්‍රික්ක බහුතරයක ඉදිරියෙන්ම සිටිනවා.

රත්නපුර දිස්ත්‍රික්කයත් ඇහැලියගොඩ ආසනයත් පොඩි තල්ලුවක් දුන් ගමන් සැප්තැම්බර් 22වනදා මේ රටේ නැවත වරක් ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වන බව පැවසිය යුතුයි. මට පසුගියදා මේ මගේ අතේ තිබෙන ලෙබනනයේ පවුම් ලක්ෂයක මුදල් නෝට්ටුව ලැබුණා. මේ මුදල් නෝට්ටුව ඔබට ළඟට නොපෙනුනත් ආර්ථික අර්බුදයේ බරපතලකම කියාපානවා. වෙනිසියුලාව ද වසර 10ක් පුරා ආර්ථික අර්බුදයෙන් බැට කනවා. අදටත් එහි ජනතාව පාන් රාත්තලකට මරාගන්නවා. ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය කියා දුන් ග්‍රීසිය අදට ආණ්ඩු 20ක් මාරු වෙලා. ඒත් ආර්ථික අර්බුදයෙන් බැටකමින් සිටිනවා. සිම්බාබ්වේ උද්ධමනය වසරකට 200%කින් පමණ ඉහළ යමින් තිබෙනවා. එවැනි අනාගතයක් කරා යමින් තිබුණු මේ රට ඒ ගමනින් වලක්වා හරි මඟට යළි ගෙන ආ, දැකපුරුදු පළපුරුදු නායක්වය වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අත්හදාබැලීම්වලින් තොරව මේ රට භාරදෙන්න කියා මා ඉල්ලා සිටිනවා.

රාජ්ය අමාත්ය ජානක වක්කුඹුර මහතා,

රත්නපුරෙන් ඡන්ද 465,000ක් ලබා ගනිමින් අප පසුගිය මැතිවරණයට ශක්තියක් වුණා. මෙවර ලක්ෂ පහකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම එසේ පවසන්නේ හේතුවක් ඇතුවයි. එදා ඔබ මේ රට බාර ගත්තේ සැතපුම් ගණන් ගෑස්, ඉන්ධන පෝලිම් තියෙන අවස්ථාවකයි. පැය 13කට වැඩිය විදුලිය කප්පාදුවක් කළ අවදියකයි. ඔබතුමා මේ රටේ වගකීම අරගෙන මාස තුනෙන් ඒ ප්‍රශ්න සියල්ල විසඳුවා. රත්නපුර ජනතාව ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් අත්වැල් බැඳ ගෙන සිටින්නේ ඒ නිසයි.

අද මේ ප්‍රදේශයේ දස දෙනෙකුගෙන් ඇහුවොත් අට දෙනෙක්ම කියන්නේ තමන්ගේ ඡන්දය ලබා දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බවයි. හෙට දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මැතිවරණයේදී අපේක්ෂකයකු ඉදිරිපත් කරන වඩාත් ප්‍රායෝගික හා යාතාර්ථවාදී ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කරනවා. ඔබතුමා නියම ස්වාධීන අපේක්ෂකයකු ලෙස රටේ ජනතාවගේ හදවතේ තිබෙන සළකුණක් තමන්ගේ මැතිවරණ සළකුණ ලෙස තෝරා ගත්තා. ගෑස් සිලින්ඩරය මිස වෙනත් සළකුණක් මෙවර මැතිවරණ සටනට සුදුසු වන්නේ නැහැ. ඒ අමතක නොවන සළකුණින් ඔබතුමා ජයග්‍රහණය කරවන්න මේ ජනතාව කටයුතු කරන බව මම ප්‍රකාශ කරනවා.

පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා,

මීට පෙර අප ජනාධිපතිවරයෙක් බිහි කළේ එක් පක්ෂයකින්. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා වගේම, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් අප පක්ෂවලින් බිහි කළ ජනාධිපතිවරුන් වෙනවා. ඒත් අද ජාතික වගකීමක් ඉටු කිරීමට පක්ෂ ගණනාවක් එක වේදිකාවකට පැමිණ සිටිනවා. පක්ෂ ගණනාවක් ජාතියේ ජයග්‍රහණය වෙනුවෙන් එක වේදිකාවකට පැමිණ සිටිනවා. ඒ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ‍අපේ ජනාධිපති අපේක්ෂකයා වන රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙනුයි.

අප කිසිම තනතුරක්, තරාතිරමක් නොතකා මේ රට අරාජික නොකර, මේ රටේ අනාගතය සුරක්ෂික කිරීම වෙනුවෙන් පෙළ ගැසී සිටිනවා. ඔබට මතක ඇති මීට වස‍ර දෙකකට පෙර මේ රටේ ක්‍රියාත්මක වුණේ කැළෑ නීතියයි. හමුදාවත් පොලීසියත් පැත්තකට වී සිටියදී,  ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටින් යද්දී අප ඔබතුමාට අගමැතිධුරය බාර දුන්න‍ා. ඒ වන විට අරලියගහ මන්දිරය, ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලයේ පැවතුණේ අරගලකරුවන් භාරයේයි. ඒ වගේම මැයි 09 වැනිදා ගුටි කාපු මිනිස්නු රෝහලට ගෙන ගියාම රෝහලේදී පවා පහර කෑමට ලක් වුණා. මේක තමයි එදා තිබූ තත්ත්වය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඔබතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මම පෞද්ගලිකව උර දෙන්නේ මේ කැළෑ නීතිය තුරන් කර රටේ නීතිය ස්ථාපිත කිරීම වෙනුවෙනුයි. මේ රටේ ආරක්ෂාව තහවුරු කර සුරක්ෂිත කිරීම වෙනුවෙනුයි.

රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අකිල එල්ලාවල මහතා,

සෑම මැතිවරණයක් ආරම්භයේදීම එය තීරණාත්මක මැතිවරණයක් බව අප පවසනවා. නමුත් මේ වසරේ පැවැත්වෙන මෙම ජනාධිපතිවරණය අපට අන් කවරදා මැතිවරණයකටත් වඩා තීරණාත්මකයි. ඇතැමුන් අපට කියනවා වෙන කවුරු හරි බලය ගත්තත් මාසස 6යි කරන්නේ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට නැවත රට භාර ගන්න සිදු වෙනවා කියලා.

මීට වසර දෙකකට පෙර රට මහා විනාශයකට පත්ව තිබූණා. රට පුරා පෝලිම් නිර්මාණය වී තිබුණා.  මේ රටේ අරගල, උද්ඝෝෂණ ඇතිකරමින් හැමදාමත් පෝලම්වල ඉන්න බැහැ. අපේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩ දෙන්න බැහැ. එනිසා මුහුණුපොතේ තිබෙන පෝස්ට් රැල්ලට, පාරේ ගහලා තියන කොඩි ගාණට රැවටිලා  තමන් ඡන්දය දෙන කෙනා තෝරන්නේ නැතිව බුද්ධමත්ව ඡන්දය භාවිතා කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මුදිතා සොයිසා මහත්මිය,

පසුගිය කාලයේ අප සියලුම දෙනා විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. ගෑස්, තෙල්, ආහාර වගේම දරුවන්ට දෙන්න කිරිපිටි ටිකක් හොයාගන්න නැතිවුණා. රට පෝලිම් යුගයකට ගියා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුනා. ඒ අවස්ථාවේ ගොඨාභය රාජක්ෂ ජනාධිපතිතුමා විපක්ෂයට ආණ්ඩුව භාරගන්න කියද්දී අද මේ කයිවාරු ගහන සජිත් ප්‍රේමදාසත් අනුර කුමාර දිසානායත් පැනලා ගියා. ඒ අවස්ථාවේ මේ රට භාරගන්න ඉදිරිපත් වුණු එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එනිසා මේ රටේ උපන් නූපන් දරුවන්ට හොඳ රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් මේ රට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත භාර දිය යුතුව තිබෙනවා.

සබරගමුව පළාතේ ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා,

මම 1988 ඉඳලා ජනාධිපතිවරණ කරන පුද්ගලයෙක් ඉතින් මේ මැතිවරණය ඉතාම වැදගත්. මෙය මේ රටේ අනාගතය තීරණය කරන මැතිවරණයක් බව කිව යුතුයි.

අද මේ වේදිකාවේ පාට පක්ෂ බේදයකින් තොරව සියලු දෙනා එකතු වෙලා එළඹෙන සැප්තැම්බර් 21 වනදා මේ රටේ ඊළඟ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරගන්න එකට අත්වැල් බැඳගෙන සිටිනවා. මේ අප සියලු දෙනා ඉන්නේ පක්ෂයට වඩා රට වැදගත් කියන අදහසේයි.

මම එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත නායකයෙක්ගේ පුතෙක්. නමුත් අපේ  පැරණි මිත්‍රකම් හතුරුකම් නෑ. අපි ඔක්කොම එකයි. අපි යන්නෙ එකම ගමනක්. ඒ මේ රට හදන්නයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට වසර දෙකකට පරෙ මේ රට භාර ගත් නිසා  අද අපට නිදහසේ ආශ්වාස ප්‍රශ්වාස කරලා තුන්වේල කාලාඉන්න හැකියාව ලැබී තිබෙනවා.  මේ විදියට මැතිවරණ රැස්වීම් කරන්න හැකි වී තිබෙනවා. එතුමා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. එතුමා හිංසනය නැවැත්තුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ දුර දිග දකින, සියලු දෙනා එකතු කරගෙන යන්න පුළුවන් පරිණත දේශපාලන නායකයෙක්. එතුමා ඒ පන්නරය ලබා තිබෙනවා. කළපුරුද්ද, දැකපුරුද්ද සහ පළපුරුද තිබෙන මේ රටේ එකම නායකයා, ජාතික නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව මම පැහැදිලිව ප්‍රකාශ කරනවා. එම නිසා අප එතුමා මේ රටේ ඉදිරි ගමන භාර දිය යුතුයි.

සබරගමුව පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සිරිපාල කිරිඇල්ල මහතා,

අද ඇතැම් අය රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කරනවා. අවුරුදු 40කට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී, ඇමති, අගමැති ධූර දරා දැන් ජනාධිපති ධූරය දරනවා. නමුත් එකම වැටුපක්වත් අරගෙන නෑ. කිසිම වාහන බලපත්‍රයක් අරගෙන නැහැ. මෙවැනි පිරිසිදු නායකයෙක් අද ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්ව නිහැ.

ඉදිරි අනාගතයේදී කොලපාට, නිල්පාට, සතු පාට කහපාට වලින් බෙදෙන්නෙ නැතුව මේ රටේ ජීවත්වන සෑම ජනකොටසකටම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්  සෞභාග්‍යමත් අනාගතයක් උදා වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

හිටපු පළාත් සභා අමාත්ය අතුල කුමාර රාහුබද්ධ මහතා,

අපේ රජයක් හදාගෙන පාරට බහින්න බැරි යුගයක් අපිට උරුම වූ වෙලාවක, අපේ  නායකයන්ට රට භාරගන්න බැරිවුණු අවස්ථාවක, මේ රටේ ඉන්න උත්තරීතර පාර්ලිමේන්තුවේ නායකකාරකාදීන්ට මේ රට භාරගන්න කිව්වත් රට භාර නොගත් අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමා තනි පුද්ගලයෙක් විදිහට වගකීම භාරගත්තා.

එම භාරගත්ත වගකීම එතුමා භාරදූර කර්තව්‍යක් ලෙස ගෙන රටේ තිබුණ ගෑස්, ඉන්ධන, ආහාර පෝලිම් අවසන් කළා. සෑම අංශයකින්ම වැටී තිබූ රට යළි නඟමින් සිටින අවස්ථාවක නැවතත් ජනාධිපතිවරණයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි මේ කඳවුරට එකතුවෙලා අපේ පූර්ණ දායකත්වය, සහයෝගය කැපවීම ලබා දෙමින් එතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට කටයුතු කරනවා.

පළාතේ මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, ප්‍රාදේශී ය දේශපාලන නායකයන් ඇතුළු නියෝජිතයන් සහ ජනතාව විශාල පිරිසක් ජන රැලියට එක්ව සිටියහ.

Read more