ජනතාවගේ ජීවන බර සටන 2025 දී අවසන් කරනවා

• රටක බිඳ වැටුණු ආර්ථිකයක් ගොඩගැනීමට අසීරු තීරණ ගැනීමට සිදුවුවද අවසානයේ සහන හිමි වනවා.

• ඉවසීමෙන් ශක්තිය ලබාදුන් සියලු ජනතාව  රට ගොඩනැඟීමේ කොටස්කරුවන් බවට පත් වෙනවා.

• රටට අලුත් ආර්ථිකයක් ලබාදීමට මට අවශ්‍යයි : සජිත්ට හෝ අනුරට එය සිදු කළ නොහැකියි - ජනපති දෙහිවලදී පවසයි.

ජනතාවගේ ජීවන බර පිළිබඳ සටන අවසන් කිරීමට ලබන වසරේදි කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රුපියල තවදුරටත් ශක්තිමත් වීමත් සමඟ රටේ ආර්ථික ස්ථාවරත්වය ද ආරක්ෂා කර ගනිමින් ජනතාවට එම සහන ලබාදීමට හැකිවනු ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රටක බිඳ වැටුණු ආර්ථිකයක් ගොඩගැනීමට අසීරු තීරණ ගැනීමට සිදුවුවද අවසානයේ සහන හිමිවන බව පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (15) පස්වරුවේ දෙහිවල පැවති "රනිල්ට පුළුවන්" විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටී අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස ජනාධිපතිවරයාව පිළිගනු ලැබූහ.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අලුත් ආර්ථිකයක්, අලුත් රටක් හා අලුත් දේශපාලන ක්‍රමයක් ගොඩනැගීමේ වැඩසටහන තමා මේ වන විටත් ආරම්භ කර තිබෙන බවයි. තමන්ට අවශ්‍ය රටට අලුත් ආර්ථිකයක් ලබා දීම බව පැවසු ජනාධිපතිවරයා සජිත්ට හෝ අනුරට එය කළ නොහැකි බවද කියා සිටියේය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය:

මෙවර ජනාධිපතිවරණයට මාත් සමඟ අපේක්ෂකයින් 38 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. නමුත් මීට වසර දෙකකට පෙර කිසිවෙකුත් ජනාධිපති ධූරය හෝ අගමැති ධූරය භාර ගැනීමට ඉදිරිපත් වුණේ නැහැ. මා එදා අගමැති ධූරයට පත් වූයේ ඒ තනතුර භාර ගැනීමට වෙනත් කිසිවෙක් නොසිටි නිසායි. දේශපාලනඥයන් ලෙස අපට යුතුකම් දෙකක් පැවරෙනවා. පළමුවැන්න රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමයි. දෙවැන්න රටේ ජනතාව ජීවත් කරවීමයි. නමුත් එදා කිසිවෙකුත් එම වගකීම භාර ගැනීමට සූදානම්ව සිටියේ නැහැ. ඔවුන්ට ඒ වෙනුවෙන් අවශ්‍යතාවයක් තිබුණේද නැහැ.

මේ රටේ ජනතාවට ආහාර, ඖෂධ, ඉන්ධන, ගෑස්, සපයා ගැනීමට නොහැකිව සිටියදී දේශපාලනඥයින් ලෙස ඔවුන්ට කණගාටුවක් ඇති වූයේ නැද්ද? මේ ප්‍රශ්න විසඳීම සඳහා ඔවුන්ට යුතුකමක් තිබෙනවා නේද යන්න පිළිබඳ ඔවුන්ට සිතුණේ නැද්ද? එදා ජනතාවගේ දුක තේරුනේ නැති සජිත් හා අනුර  දැන් බලය ඉල්ලමින් කතා කරනවා.

වසර දෙකකට පසු අද වන විට රට ස්ථාවර වී තිබෙනවා. අප මේ වන විටත් රුපියල ශක්තිමත් කර තිබෙනවා.  ඒ නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහළ යමින් තිබෙනවා. නමුත් තවමත් ජනතාවට ගැටළු තිබෙනවා. නිවාස ගණනාවක ආදායම සහ වියදම අතර විශාල සටනක් තිබෙනවා. මා උත්සාහ කරන්නේ එම සටන අවසන් කිරීමටයි. අප රුපියල තවදුරටත් ශක්තිමත් කරන නිසා ලබන වසරේදී එම සටන ද ජයගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

අප රට මුහුණදුන් අර්බුදයට සමාන අර්බුදයන්ට ලක් වූ අනෙක් රටවලට නැවත නැගී සිටීමට විශාල කාලයක් ගතවුණා. එම රටවල් ගත් අසීරු ක්‍රියාමාර්ග  ගන්නේ නැතුව, කෙසේ හෝ සියලු දෙනා ආරක්ෂා කර ගනිමින් රට ස්ථාවර කිරීමට කටයුතු කරන බව මා සිතා ගත්තා. ඒ අනුව අප අද වනවිට විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. එහිදී ඉවසීමෙන් කටයුතු කළ සියලු ජනතාවට මම ස්තූතිවන්ත වෙනවා. ඔවුන් මේ රට ගොඩනැගීමේ කොටස්කරුවන් බවට පත්වන බව කිවයුතුයි.

අප පසුගිය දෙවසරක් වැනි කෙටි කාලයක් තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලබා ගත්තද තවමත් ආර්ථිකය ශක්තිමත් වී නැහැ. ඒ නිසා මෙම ස්ථාවරත්වය වෙනස් විය හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන අනුව කටයුතු නොකළහොත් මේ සියල්ල අවසන් වෙනවා. මා ජනවරමක් ඉල්ලන්නේ මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගොස් අප ලබාගත් ආර්ථික ස්ථාවරත්වය  තහවුරු කිරීම සඳහායි. ඒ වගේම මේ රටට අලුත් ආර්ථිකයක් ලබාදීමට මට අවශ්‍යයි. සජිත්ට හෝ අනුරට මෙය කළ නොහැකියි. ඔවුන් දෙදෙනාම විවිධ සහන ලබාදෙන බව ජනතාවට ප්‍රකාශ කරමින් සිටිනවා. ඒ වගේම ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බවත් ප්‍රකාශ කරනවා. අනුර කුමාර මට විවාදයකට එන්න කියා ආරාධනා කළා. මම ඊට සූදානම් බව පැවසුවා. නමුත් මේ වනතුරු ඒ  සඳහා ආරාධනා කළේ නැහැ.

නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට අප සියලු දෙනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශ සමාලෝචනයට ලක් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය මෙලෙස සඳහන් කර තිබෙනවා. "ඉතිහාසයේ මුහුණ දුන් දරුණතම අභියෝගයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබාදීම සඳහා එම වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කරගැනීම ඉතා වැදගත් වෙනවා. ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදුකිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේ තීරණය ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ගත යුතුයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වැඩසටහන සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෘෂ්ටිකෝණයෙන් බැලූ විට අපට දකින්නට තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම අර්බුදයෙන් පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා මෙම වැඩසටහන තුළින් අත්කරගෙන ඇති ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වෙනවා." එනිසා මේ පවතින වැඩපිළිවෙළ එලෙසම ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. සජිත් හෝ අනුර ප්‍රකාශ කරන ආකාරයට දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළෙහි සංශෝධන කළ හැකිද යන්න පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහි සඳහන් කර නැහැ.

එමෙන්ම අපේ ණයබර පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව මාලිමාව ප්‍රකාශ කර තිබුණා. ඔවුන් මේ වෙනුවට විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළා. නමුත් අප මධ්‍ය ආදායම් ලබන රටක් නිසා අඩු ආදායම්ලාභී රටවල්වලට මෙන් ණය තිරිසරකරණ විශ්ලේෂණයක් සිදු කිරීමේ හැකියාවක් නැහැ. අපට අදාළ වන්නේ වෙළඳපොළ ප්‍රවේශයක් සහිත රටවලට අදාළ ස්වෛරීත්ව අවදානම් සහ ණය තිරසරභාවය පිළිබඳ රාමුවයි (Market risk and sovereign debt sustainability framework).

අපේ රට භාරදීමට කතා කරන්නේ මෙවැනි අයටද? යම් අවස්ථාවලදී කෙටි කාලීනව ඉතා අසීරු තීරණ ගැනීමට අපට සිදුවනවා. නමුත් අවසානයේ ඉන් අපට සහනයක් හිමිවනවා. එය රෝහලකට ගියා හා සමානයි. එනිසා මේ වැඩකටයුතු ඉදිරියට ගෙනයාම සඳහා ඔබේ ජනවරම මට ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. අලුත් ආර්ථිකයක්, අලුත් රටක්, අලුත් දේශපාලන ක්‍රමයක් ගොඩනැගීමේ වැඩසටහන මා මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. මෙම වැඩකටයුතු ඉදිරියට කරගෙන යාම වෙනුවෙන් අත්දැකීම් සහිත පලපුරුදු පිරිසක් ඉදිරියට පැමිණිය යුතුයි. එනිසා එම ජනවරම මට ලබාදෙන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමු මාස හය මේ රට ස්ථාවර කිරීම වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කළා. ජාත්‍යන්තර ප්‍රජාව එතුමා කෙරෙහි විශාල විශ්වාසයක් තැබුවා.රටේ දේශපාලන ස්ථාවර භාවයක්, ආර්ථික ස්ථාවර භාවයක් ඇති කරමින් ජාත්‍යන්තර පිළිගැනීම යළි ලබා ගැනීමට එතුමාට හැකි වුණා. එනිසා පළමු වසර අවසන් වන විට මේ රටේ සාමාන්‍ය ජනජීවිතය යළි ස්ථාපිත කිරීමට එතුමාට හැකිවුණා. ඒ අතරතුර අඩු ආදායම්ලාභී ජනතාව වෙනමින් සුභ සාධන වැඩසටහන්ද එතුමා ක්‍රියාත්මක කරමින් ආර්ථික අර්බුදය හමුවේ එම ජනතාව රැකගැනීමට අමතක කළේ නැහැ.

එනිසා ජනතාව වෙනුවෙන් සැලසුමක් ඇති නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. දෙහිවල ගල්කිස්ස ආසනයේ ජීවත්වන ජනතාවට සංවර්ධනය උදා කිරීමට එතුමාගේ වැඩ පිළිවෙළ තුළ සැලසුම් රාශියක් පවතිනවා. එනිසා එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදා රට පාලනය කළ හැකි, පාර්ලිමේන්තුවේ විශ්වාස තැබිය හැකි, ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගනිමින් රට තුළ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ හැකි නායකයෙකු ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැරුණුකොට වෙනත් කිසිඳු අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කල නොහැකි බව පැවසිය යුතුයි. එනිසා ගෑස් සිලින්ඩරය ලකුණ දිනවීම වෙනුවෙන් ඔබ සියලුදෙනා එක්ව ඉදිරියටත් කටයුතු කරන ලෙස මා ඉල්ලා සිටිනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා,

මිලියන 22ක් වූ මෙරට ජනතාව පාරට වැටී සිටින වෙලාවක එදා සජිත් ප්‍රේමදාස මහතා කිසිදු වගකීමක් භාර ගැනීමට සූදානම් නොමැති බව ප්‍රකාශ කළා. ඒ වගේම අනුර කුමාර දිසානායක මහතා විවිධ කොන්දේසි පනවමින් මග හැර ගියා. ඒ අවස්ථාවේදී ‘පුළුවන්’ කියා ඒ වගකීම බාර ගැනීමට ඉදිරිපත් වූයේ එක් පුද්ගලයෙක් පමණයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ එතුමාට තිබුණේ තනි මන්ත්‍රී ආසනයක් පමණයි. එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි බහුතරයක් හා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද සිය පක්ෂවල සිටිමින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය ලබා දුන්නා. ඔවුන් එලෙස උදව් කළේ රටේ ජනතාවට උපකාර කරමින් ඒ වන විට රටේ පැවති අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහායි.

ඒ සියලු දෙනා එක්ව රට වෙනුවෙන් කැපවීමෙන් වැඩ කළ නිසා අද අප රටක් ලෙස විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. අද රට ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට භාර ගනිමින් ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව කෙරෙහි බිඳ වැටී තිබූ විශ්වාසය යළි ගොඩනැගීමට කටයුතු කළා. ජාත්‍යන්තරය සමඟ දිගු කාලයක් කටයුතු කළ නායකයකු ලෙස එම විශ්වාසය ඉතාම ඉක්මණින් ගොඩ නැඟීමට එතුමාට හැකි වුණා. 2022 වර්ෂයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීමත් සමඟ එම විශ්වාසය තවදුරටත් වැඩි වුණා. ඒ සමඟම රට ඉදිරියට ගෙන යාමට අපට හැකි වුණා.

ඒ නිසා ඉතා අසීරුවෙන් අත් කරගත් ප්‍රගතිය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කළ යුතුව තිබෙනවා.

අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා,

2022 වසරේ දී ආර්ථික වශයෙන් ඇද වැටී මේ රට නායකත්වයක් සොයමින් සිටි අවස්ථාවක ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා කොන්දේසි විරහිතව මේ රට භාරගත්තා. අද බංග්ලාදේශයේ සිදුවන ආකාරයට එදා එතුමා බය කරමින්, එතුමාගේ නිවසටද ගිනි තබමින්, පුස්තකාලයද විනාශ කරමින්, රාජ්‍ය බලය අතට ගැනීමට ඇතැමුන් උත්සාහ කළා. එතුමා එදා එක් අඩියක් හෝ ආපස්සට ගත්තා නම්, මේ රට අද බංග්ලාදේශය පවතින තත්ත්වයට පත්වනවා. අද බංග්ලාදේශයේ පැය 19 ක් විදුලිය කප්පාදු කරනවා. ඇඟලුම් කර්මාන්ත ශාලා 213ක් වසා දමා තිබෙනවා. බංග්ලාදේශයේ ආයෝජනය කර ඇති ශ්‍රී ලාංකික ඇඟලුම් කම්හල් හිමියන් තව මාසයක් පමණ කාලයක් එරට තත්ත්වය පිළිබඳ සොයා බලා, වෙනත් රටකට හෝ නැතිනම් ශ්‍රී ලංකාවට සිය ව්‍යාපාර ගෙනයන බව කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවන් විනාශයකින් ශ්‍රී ලංකාව බේරා ගත්තා. එලෙස බේරා ගත් රටක, ජනතාව අසීරුවට පත්ව සිටියදී තමන්ගේ ඇඟ බේරාගෙන පැන ගිය පිරිස අද තමන්ට බලය දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ නිසා මේ යන ගමන ඉදිරියට ගෙන ගොස් අමාරුවෙන් ගොඩ නඟා ගත් රට ඉදිරියට ගෙන යනවාද, එසේත් නැත්නම් ආරම්භ කළ වැඩපිළිවෙළ අතරමග නතර කරමින් වෙනස්කම් සිදු කිරීමට ගොස් විනාශ කර ගන්නවාද ,යන තීරණය සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ ජනතාව ගත යුතු වනවා.

දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා,

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වැනි නායකයකු ජනාධිපති අපේක්ෂයකයකු ලෙස ඉදිරිපත් වූ විට වෙනත් අපේක්ෂකයින් මේ ප්‍රදේශයේ ජනතාවට වැදගත් වන්නේ නැහැ. ඔබතුමා මගේ දේශපාලන ගුරුවරයායි. එක්තරා කාලයක මට වෙනත් කඳවුරකට වී සිටීමට සිදු වූ නමුත් මේ රට කරන්න ‘පුළුවන්’ පුද්ගලයා සමඟ මා ඉදිරියේදී කටයුතු කළ යුතු බව මා තීරණය කළා.

අපට හැමදාම වැරදුනේ පක්ෂ, නායකයින් සහ කඳවුරු මත පිහිටා කටයුතු කළ නිසයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපට දේශපාලය එපා කෙරෙව්වා. නමුත් ඔබතුමාට පින් සිදු වන්නට අපේ රටේ ජනතාව මේ තත්ත්වයෙන් හෝ ජීවත්වනවා. බොහෝ මැතිවරණවලදී ඔබතුමාව ජනතාව ප්‍රතික්ෂේප කළා. නමුත් අවසානයේ බන්දේසියක තබා ඔබතුමාට ජනාධිපති ධූරය භාර දීමට ඔවුන්ටම සිදුවුණා.

විශාලා මහනුවරක් වීමටගිය අපේ රට බේරා ගත්තේ ඔබතුමායි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දිනවීම වෙනුවෙන් දෙහිවල-ගල්කිස්ස ආසනය තුළ අප පක්ෂ භේදයකින් තොරව කටයුතු කරනවා. ඒ අතර මොන දේ වුනත් කමක් නෑ අපි මාලිමාවට කියන පිරිසක් සිටිනවා. ඔවුන් රට විනාශ කළත් කමක් නැහැ කියන පිරිසක් සිටිනවා. ඔවුන් වෛරයෙන් පිරී සිටිනවා.

හිටපු අමාත්‍ය සුනේත්‍රා රණසිංහ මහත්මිය,

වසර දෙකකට පෙර මේ රට වැටී තිබූ තත්ත්වය අප කිසිවෙකුටත් අමතක නැහැ. ඒ නිසා අපි කොතැනක ගිහින් ජනතාවට කතා කලක් ඒ සියලු දෙනා ප්‍රකාශ කරන්නේ අපේ ඡන්දය ලබා දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහා පමණයි කියායි. අපි ආසනය පුරා ගෙන ගිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ඉතා සාර්ථකයි. අපට ජනතාවගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මේ ප්‍රදේශයේ  ගෙයින් ගෙට යන ව්‍යාපාරය ඉතාම සාර්ථකව අවසන් වී තිබෙනවා. ඇතැම් ස්ථානවල වරක් දෙවරක් නොව තුන් වරක් ම අප ගෙයින් ගෙට ගොස් මේ ප්‍රචාරණ කටයුතු සිදුකළා. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වටා විශාල ජනතාවක් එක් රොක් වෙමින් සිටින බව පැහැදිලියි.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ දී ඔබ ඡන්ද කොළය අතට ගත් විට පහළ සිට ඉහළට බැලීමේදී තුන් වෙනියට තිබෙන ගෑස් සිලින්ඩරය ලකුණ ඉදිරියේ ඔබේ වටිනා ඡන්දය සලකුණු කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

Read more