ජාතිය, ආගම, කුලය වැනි කාරණා වෙනුවට රටේ ආර්ථිකය මෙවර ජනාධිපතිවරණයේ මාතෘකාව වීම සතුටට කරුණක්

• කඩිනමින් අපනයන ආර්ථිකයක් වෙත පරිවර්තනය නොවුනහොත්, 2035 - 2040 කාලය තුළ යළිත් අර්බුදයක් ඇතිවිය හැකියි.

• තරුණ ප්රජාවට වඩා දීප්තිමත් හා ස්ථාවර අනාගතයක් නිර්මාණය කර දීමට නම් දේශපාලන හා සමාජ පද්ධති ද පරිවර්තනයකට ලක් කළ යුතුයි.

• විදේශ ගමන් බලපත්‍ර තදබදය කඩිනම්න් විසඳනවා: ජනතාවට සිදු වූ අපහසුතාවට රජයක් ලෙස සමාව ඉල්ලා සිටිනවා: ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ආපස්සට හරවන්නේ නැහැ

• සුළු ජාතික දේශපාලන පක්ෂ නායකයන් වෙනත් අපේක්ෂකයින් පසුපස ගියත්, සුළු ජාතික ප්රජාවේ බහුතරයේ සහයෝගය මට හිමිවෙනවා.

• යල්පැන ගිය ආර්ථික ක්රම වෙත නැවත යොමුවීම, මියගිය පුද්ගලයින්ට නැවත පණ දීමට සමානයි - ජනපති වෘත්තීයවේදීන් සමඟ “Ask Me Anything” වැඩසටහනට එක්වෙමින් පවසයි.

ජාතිය, ආගම හෝ කුලය පිළිබඳව නොව රටේ ආර්ථිකය පිළිබඳව පමණක් අවධානය යොමු වූ ජනාධිපතිවරණයක් රට තුළ දක්නට ලැබීම පිළිබඳ ජනාධිපතිවරයා ලෙස තමන් ආඩම්බර වන බවත්, එතුළින් රටක් ලෙස එක්සත් ව කටයුතු කරමින් සමාජ විෂමතා පිළිබඳ පවතින ගැටලු විසඳීමට අවස්ථාව හිමිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට ආර්ථිකය කඩිනමින් අපනයන නැඹුරු ආර්ථිකයක් බවට පරිවර්තනය කර නොගතහොත්, දිගින් දිගටම ණය ගැනීමට සිදුවන බවත්, ඒ හමුවේ 2035 - 2040 කාලය තුළ තවත් අර්බුදයක් ඇතිවිය හැකි බවත් පෙන්වාදුන් ජනාධිපතිවරයා, රටේ තරුණ ප්‍රජාවට වඩා දීප්තිමත් සහ ස්ථාවර අනාගතයක් නිර්මාණය කර දීමට නම් මෙරට ආර්ථිකය සමඟ දේශපාලන හා සමාජ පද්ධති ද පරිවර්තනයකට ලක් කළ යුතු බව අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ වෘත්තියවේදීන්ගේ සංසඳය විසින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ඊයේ (02) පස්වරුවේ සංවිධානය කර තිබූ “Ask Me Anything” විශේෂ වැඩසටහනට එක්වෙමිනි.

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය කරන විද්වතුන් සහ වෘත්තිකයින් විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන්ට සිය ගැටලු ජනාධිපතිවරයා වෙත ඍජුව යොමු කිරීමට අවස්ථාව සලසා දී තිබීම ද විශේෂත්වයකි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෘත්තිකයින් සමඟ පිළිසඳරක ද නිරත වූ අතර එහිදී ජනාධිපතිවරයා වෙත යොමු වූ ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබාදීමට කටයුතු කළේය.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පවතින තදබදය කඩිනම්න් විසඳීමට රජය කටයුතු කරන බවත්, මේ හේතුවෙන් ජනතාවට සිදුවී ඇති අපහසුතාවට රජයක් ලෙස ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, මෙරට විදේශ ගමන් බලපත්‍රය ඩිජිටල්කරණය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ කිසිලෙසකත් ආපස්සට නොගන්නා බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිමෙන් අනතුරුව තමාගේ අභිමතය පරිදි අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොගන්නා බවත්, ඒ වෙනුවට රටේ ජනතාව විසින් නව පාර්ලිමේන්තුවට තෝරාපත් කර එවන මහජන නියෝජිතයින් අතුරින් අමාත්‍ය මණ්ඩලය පත් කරගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය

එසේම, සුළු ජාතික දේශපාලන පක්ෂවල නායකයින් අනෙකුත් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මුල්තැන දෙන විට, මෙරට සුළු ජාතික ප්‍රජාවේ බහුතරය සහයෝගය හිමිව ඇත්තේ තමන්ට බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

වර්තමානය වන විට අප, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, වීන එක්සිම් බැංකුව සහ නිල ණය හිමියන්ගේ කමිටුවේ රටවල් 17 සමඟ සහයෝගයෙන් ණය තිරසාරභාවය, ණය සහන මෙන්ම 2032 දක්වා ඉදිරියට යන මාවත පිළිබඳව එකඟතාවක් ඇතිකරගෙන තිබෙනවා. දැන් ප්‍රශ්නය වන්නේ අප මේ මාර්ගයේ දිගටම ගමන් කරනවාද නැතිනම් මෙය වෙනස් කරනවාද යන්න පිළිබඳවයි. රජයේ ආදායම් හා වියදම් පිළිබඳ මෙහි පවතින නිර්ණායක වෙනස් කළ නොහැකියි. බදු සංශෝධනයන් සිදු කළ හැකි වුවද, සමස්ත නිර්ණායක සපුරාලිය යුතුයි.

අනෙක් පක්ෂ යෝජනා කරන්නේ විකල්ප ආදායම් මාර්ග ලබා දීමකින් තෙරව බදු සහ තීරුබදු අඩු කිරීම, ආදායම් අඩු කිරීම සහ සුභසාධන ක්‍රියාමාර්ග මගින් රජයේ වියදම් වැඩි කිරීම පිළිබඳවයි. 2019 වසරේදී බදු අඩුකිරීම් නිසා ආදායම අඩුවීම සහ අධික ලෙස සහන ලබාදීම පදනම් කරගෙන, 2022 වසර වන විට ආර්ථික දුෂ්කරතා ඇතිවුණා. එවැනි අතීතයේ සිදු කළ වැරදි නැවත කිරීමට අවශ්‍යද කියා විමසිය යුතුයි

ඒ නිසා අප දැන් තීරණයක් ගත යුතුයි. මම ප්‍රතිපත්තිමය තොරතුරු ගැන කතා කරන්න යන්නේ නැහැ. අපට ලබන වසර දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඩොලර් බිලියන 3ක් හිමිවෙනවා. ඒවගේම 2040-2042 දක්වා ණය ආපසු ගෙවීමේ අවකාශයක් සහිත ගිවිසුමක් ද තියෙනවා. අපි අතේ තියෙන දේ මෙයයි. අප එය නැතිකර ගැනීමට සූදානම්ද? අපේ රටට අවශ්‍ය වන්නේ පරිවර්තනයක් මිස තාර්කික නොවන වෙනසක් නොවෙයි. මේ අර්බුදය ජයගනිමින් අපට 2042 වනවිට ස්ථාවරත්වයක් ළඟාකරගත හැකියි. නමුත් අපි ඉක්මනින් අපනයන නැඹුරු ආර්ථිකයක් බවට පරිවර්තනය නොවුනොත්, අපට දිගින් දිගටම ණය ගැනීමට සිදුවන නිසා 2035 - 2040 කාලය තුළ තවත් අර්බුදයක් ඇතිවිය හැකියි.

කෙසේ වෙතත්, තරගකාරී අපනයන ඉලක්ක කරගත්, ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් බවට පරිවර්නය වීම තුළින් අපට අතිරික්තයක් සහිත ආර්ථික පරිවර්තනයක් කරා ගමන් කළ හැකියි. ඉඩම් වැනි සැලකිය යුතු වත්කම් අප සතුව තිබෙනවා. මෙම ශතවර්ෂයේ මැද භාගය වන විට ගෝලීය ජනගහනය බිලියන 2 කින් පමණ වැඩිවීමක් අපේක්ෂා කරනවා. මෙම වෙළඳපොළට අවශ්‍ය ආහාර සැපයීම සඳහා අපගේ කෘෂිකර්මාන්තය නවීකරණය කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය තුළ ද සංචාරකයින්ගේ පැමිණීම මිලියන 2.5 සිට මිලියන 5 දක්වා වැඩි කළ යුතුයි.  එක් සංචාරකයෙකුගෙන් දැනට දිනකට ලැබෙන ආදායම ඩොලර් 150 සිට ඩොලර් 400ක් දක්වා වැඩි කරගත යුතුයි. ඒවගේම, ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම සහ අර්ධ ස්වයංක්‍රීය නිෂ්පාදන හැසිරවීමට අපගේ ශ්‍රම බලකාය පුහුණු කළ යුතුයි. එමඟින් ආදායම් ප්‍රවාහය පවත්වා ගැනීමට සහ අපගේ සම්පත් භාවිතා කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට අපට ඉඩ සැලසෙනවා.

ආර්ථික පරිවර්තනය එක් අංගයක් වන නමුත් සමාජ පරිවර්තනය ද ඒ හා සමානව තීරණාත්මක වෙනවා. අපගේ බහු-මාන දරිද්‍රතාවය ජනගහනයෙන් 25%කට බලපා තිබෙනවා. සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ සුබසාධන යන ක්ෂේත්‍රවල පවතින ගැටලු නිරාකරණය කරමින් මෙය 10% දක්වා අඩු කිරීමට අප කැපවී සිටිනවා. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27. (2) (ඉ) වගන්තියට අනුකූලව, බලපත්‍රලාභීන් මිලියන 2කට සින්නක්කර අයිතිය ලබාදීමට සහ අඩු ආදායම්ලාභී පවුල් 250,000ක් සඳහා සින්නක්කර නිවාස අයිතිය ලබාදීමට සැලසුම් කර තිබෙනවා. රජය සතුව හෝ ව්‍යාපාර කිහිපයක් සතුව එම අයිතිය පවත්වාගැනීමට වඩා “අයිතිය” ජනතාවට ලබාදීමට අප කැපවී සිටිනවා.

වතුකරය තුළ දැනට පවතින සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය වෙනුවට කෘෂි ව්‍යාපාර ඇති කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා. දැනට ලයින් කාමරවල ජීවත් වන අයට අප ඉඩම් අයිතිය ලබාදෙනවා.  සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ මුදල් බැඳුම්කර සහ ණයකරවල ආයෝජනය කිරීම වෙනුවට, ඒ සඳහා පවතින ආයෝජන අවස්ථා සොයාබලමින් සිටිනවා. මෙම ක්‍රියාවලියට වෘත්තීය සමිති සහ සේවා යෝජකයන් සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

සමූපකාර ක්‍රමවේදයක් වන අපගේ ජාතික ධන සම්පත (National Wealth Fund) මගින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා මහල් නිවාස මිලදී ගැනීම සඳහා සහනදායී අරමුදල් සැපයීමට බලාපොරොත්තු වෙනවා. ජනතාවට දේපළක හිමිකාරිත්වය ලබාදීමේ වැඩසටහන් අඛණ්ඩව සිදුකරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ජනගහණයෙන් බහුතරය වුවද නියෝජනයෙන් අඩු කාන්තාවන් සඳහා ද අප තවත් බොහෝ දේ කළ යුතුව තිබෙනවා. අප ඉදිරි වසර කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශ හරහා ද ක්‍රියාත්මක වන කාන්තා සවිබල ගැන්වීමේ පනත ක්‍රියාත්මක කර තිබෙනවා.

කුලය, ජාතිය වැනි කල් පවතින වැඩවසම් සමාජ කොටස්වලට විසඳුම් සෙවීම සඳහා සමාජ සාධාරණත්වය පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීම පිළිබඳව ද අප අවධානය යොමු කර තිබෙනවා. ජාතිය, ආගම හෝ කුලය යන කරුණු ඉක්මවා යමින් අප සියලුදෙනාගේ පසුම්බියට එක හා සමානව බලපා ඇති ආර්ථික අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු වූ මැතිවරණ ක්‍රියාවලියක් දක්නට ලැබීම පිළිබඳව ජනාධිපතිවරයා වශයෙන් මම ආඩම්බර වෙනවා. මෙම තත්ත්වය විසින් අපට රටක් ලෙස එක්සත් වීමටත් සමාජ විෂමතා පිළිබඳ පවතින ගැටලු විසඳීමටත් අවස්ථාවක් ලබාදී තිබෙනවා. ළමා රැකවරණය සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැනි ගැටළු විසඳීමට ද අප කටයුතු කළ යුතු වෙනවා. අපි සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් හඳුන්වා දී තිබෙනවා. නමුත් තවත් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම මේ සඳහා අවශ්‍ය වෙනවා.

අවසාන වශයෙන් අපේ දේශපාලන ක්‍රමයට ද පරිවර්තනයක් අවශ්‍යයි. අපේ ආර්ථික ක්‍රමයේ බිඳවැටීම, ඊට අනුබල දුන් දේශපාලන රාමුවට ද ඒ ආකාරයෙන්ම බලපා තිබෙනවා. අනෙකුත් පක්ෂ යල්පැන ගිය ආර්ථික ආකෘතීන් වෙත ආපසු ගමන් කරන විට, එය මියගිය පුද්ගලයින්ට නැවත පණ වීමට දරන උත්සාහයකට සමාන වෙනවා. මෙය අපට දිගටම කරගෙන යා නොහැකියි. ඒවගේම අපගේ දේශපාලන පක්ෂ වලට ද ඔවුන් ගන්නා තීරණ අවසානයේ අධිකරණයකින් ලබාගත යුතු තීන්දු බවට පත්නොවන ආකරයට, ජර්මනියේ හෝ වෙනත් යුරෝපීය රටවල දක්නට ලැබෙන පරිදි එකම ආකාරයක නීති මගින් පාලනය වන ස්ථාවර සංවිධාන බවට පත්කළ යුතු වෙනවා.

දූෂණ විරෝධී පියවර ගැනීමද අත්‍යාවශ්‍ය වෙනවා. ඇතැමුන් දූෂණ සම්බන්ධ ලිපිගොනු 400ක් පමණ පෙන්වමින් දූෂණය පිළිබඳ කතා කළත් ඊට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි වූයේ 15 දෙනෙකුට පමණයි. සියලුදෙනා දූෂණය පිළිබඳ කතා කළත් අවශ්‍ය වන්නේ ඒ වෙනුවෙන් ඵලදායී පියවර ගැනීමයි. මා බලයට පත් වූ පසු, අප ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටියා. දූෂණ විරෝධී නීතිය සහ අපරාධයකින් උපයා ගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත වැනි නව නීති ඇතුළත් දූෂණ විරෝධී න්‍යාය පත්‍රයක් අප විසින් ක්‍රියාත්මක කරනවා.

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට වග කිව යුතුයි. ඒ සඳහා එක්සත් රාජධානියේ ආකෘතියට සමාන අයුරින් පාර්ලිමේන්තු ප්‍රමිතින් පිළිබඳ පනත් කෙටුම්පත ඇතුළු යෝජිත වෙනස්කම් සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එබැවින් ආර්ථිකය සමඟ දේශපාලන හා සමාජ පද්ධති ද පරිවර්තනය කළ යුතුයි. මෙම පුළුල් පරිවර්තනය මඟින් තරුණ පරම්පරාවන්ට වඩා දීප්තිමත් හා ස්ථාවර අනාගතයක් නිර්මාණය වෙනවා. විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම පිළිබඳ 1991 වසරේදී වියට්නාම කර්මාන්ත ඇමතිවරයා සමඟ පැවති සංවාදය මම නිතරයෙන් සිහිපත් කරනවා. අප ඉක්මනින් පරිවර්තනයට ලක් නොවන්නේ නම්, ජාතික සංවර්ධනය සඳහා ඔහුගේ උපදෙස් ලබා ගැනීමට අපට සිදු විය හැකියි. එනිසා සැප්තැම්බර් 21 වනදාට මේ සියල්ල පිළිබඳ සිහියේ තබා ගන්නා ලෙස ඔබට මතක් කරනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා

පසුගිය වසරේ ප්‍රතිසංස්කරණ දියත් කළ අදියරෙන් පසු අපි නැවත රට ගොඩනැගීමේ ක්‍රියාවලිය ආරම්භ කරන විට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඔහුගේ පෞද්ගලික අභිලාෂයන් හෝ ඊළඟ මැතිවරණය කෙරෙහි අවධානය යොමු කර නොමැති බවක් මට දක්නට ලැබුණා. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී සහ තීරණ ගැනීමේදී ඇතැම් ඒවා ඉතා අභියෝගාත්මක වුණා. එහිදී ඇතැම් අමාත්‍යවරුන් එම ගැටලු ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කළ අවස්ථා ද කැබිනට් රැස්වීම්වලදී දක්නට ලැබුණා. "සර්, කරුණාකරලා දැන් මේක කරන්න යන්න එපා. ඔබට ඉදිරි වසරේ ජනාධිපතිවරණයකට මුහුණ දීමට තිබෙනවා. මෙම ක්‍රියාමාර්ග ගැනීමෙන් ඔබ නැවත ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම සඳහා පවතින අවස්ථාවට හානියක් සිදු විය හැකියි." යැයි ඔවුන් ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කළා. එහිදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ “මැතිවරණ චක්‍රය කුමක් වුවත් ගත යුතු තීරණ නිවැරදි මොහොතේ ගත යුතුයි” කියායි.

එක් අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක් ජනාධිපතිවරණයකට පෙර 6 දෙනෙකුට අගමැතිකම ලබා දෙන බවට පොරොන්දු වූ නමුත් ඔහු තේරී පත් වුවද ඔවුන් කිසිවකුට එය නොලැබුණු සිද්ධියක් අමාත්‍ය මණ්ඩලයේ සිටින අප සහෘද ආමාත්‍යවරයෙක් සිහිපත් කළා. කෙසේ වෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිගින් දිගටම අපට පැවසුවේ, "මේ වැඩසටහන දිගටම කරගෙන යන්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු පනත් ප්‍රමාද කරන්න එපා" කියායි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ආසන්න අවස්ථාව වන විට පවා, පෙර පැවති බොහෝ රජයන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් කිහිපයකදී පවා දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද ආර්ථික පරිවර්තන පනත, විදුලිබල ප්‍රතිසංස්කරණ පනත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත වැනි තීරණාත්මක ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කර තිබුණා. අනාගතයේ පත්වන ඕනෑම රජයකට, සිදුකර ඇති මෙම ප්‍රතිසංස්කරණ අනුගමනය මග සලසමින් ශ්‍රී ලංකාවට පැහැදිලි මාවතක් නිර්මාණය කළේ ජනාධිපතිවරයාගේ නොසැලෙන නායකත්වය සහ නොසැලෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ගුණාංගයයි.

ඒවගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සතුව තිබෙන අතිවිශාල අත්දැකීම් සමුදාය, අපගේ උත්සාහයන් සාර්ථක වීමට බෙහෙවින් බලපා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳඟ සාකච්ඡා කරමින් එකඟතාවට එළඹීම ඉතා පහසු කාරණයක් බව බොහෝදෙනෙකු සිතනවා. නමුත් එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බව කිව යුතුයි. මෙම ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාව, සංවර්ධන ආයතන සහ විවිධ ණය දෙන ආයතන සමඟ ද සංකීර්ණ මට්ටමේ සාකච්ඡා සිදු කළ යුතු වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳඟ සාකච්ඡා කරමින් එකඟතාවට එළඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිදු කල කාර්යයභාරය සහ කැපවීම අතිමහත් බව පැවසිය යුතුයි.

හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරිණත මෙන්ම දුෂ්කර තීරණ ගැනීමේදී ද විශිෂ්ට හැකියාවක් පෙන්නුම් කර තිබෙනවා. අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දුන් ආකාරයට දුෂ්කරතා හමුවේ පවා එතුමා ගත් අධිෂ්ඨානශීලී ප්‍රවේශය අපේ රට ස්ථාවරත්වය කරා යොමු කර තිබෙනවා. කෙටි කාලීන පොරොන්දු සහ සැබෑ කළ නොහැකි සිහින, ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීමට පෙළඹවීමක් ඇති කළ හැකියි. නමුත්, 2048 වන විට ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධිත රටක් බවට පත් කිරීම අරමුණු කරගත් දිගුකාලීන, යථාර්ථවාදී සැලැස්මක් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැපවී සිටිනවා.

විශේෂයෙන්ම මැතිවරණයකදී ජනප්‍රියත්වය තීරණාත්මක වන විට, ව්‍යාජ පොරොන්දු දීමේ ලබා නොදෙමින් කටයුතු කිරීම පිළිබඳ මම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ගරු කරනවා. යථාර්ථයක් නොවන සිහින පෙන්වන අනෙක් අපේක්ෂකයින් මෙන් නොව, ඔබතුමා කොතරම් අභියෝගාත්මක බවක් පෙනුන ද ජනතාවට සත්‍යය ඉදිරිපත් කර තිබෙනවා. අනෙක් අපේක්ෂකයින් ඉදිරිපත් කරන සිහිනවලට සැබෑ සංඛ්‍යා දත්ත පදනමක්, අත්දැකීම් හෝ යථාර්ථවාදී දැක්මක් ද නැහැ. මූල්‍ය විනයකින් තොර වන ඔවුන්ගේ ප්‍රතිපත්ති මගින් අප මේ වන විට අත්කරගෙන ඇති අඛණ්ඩ ආර්ථික ප්‍රකෘතිය අනතුරේ හෙළනවා. ”

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නෙරන්ජන් දේව් ආධිත්‍ය,  හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර, රවී කරුණානායක යන මහත්ම මහත්මීන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන්, විද්වතුන් සහ වෘත්තිකයින් රැසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more