රට අඳූරට ගෙන යන පෝලිම් යුගයකට නැවත ඉඩ දෙන්න එපා

• සමෘද්ධිමත් ස්ථාවර  රටක්ද, යළිත් පෝලිම් යුගයක්ද යන්න මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තීරණය කළ යුතුයි.

• වැල්පාලමෙන් අසීරුවෙන් එගොඩ කරවමින් සිටින දරුවා ඉදිරියට ගෙන යාමට පැන ගිය නතාලියා දෙදෙනාට බැහැ - ජනපති බදුල්ලේ දී පවසයි.

• පී. දිගම්බරම් නායකත්වය දරන ලංකා කම්කරු පෙරමුණේ සහ සමගි ජනබලවේගය පක්ෂයේ, අඹගමුව, වලපනේ සහ නුවරඑළිය ප්‍රාදේශීය සභා නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් සහ වෘත්තීය සමිති නායකයන් ජනපතිට සහාය පළ කිරීමට එක් වෙති.

මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තීරණය කළ යුත්තේ සමෘද්ධිමත්, ස්ථාවර  ආර්ථිකයක් ඇති රටක් ගොඩනඟනවාද, එසේත් නැත්නම් නැවතත් පෝලිම් යුගයකට රට තල්ලු කරනවාද යන්න පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (16) පස්වරුවේ බදුල්ලේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටී අතර ඔවුන් මහත් හරසරින් යුතුව ජනාධිපතිවරයාව පිළිගනු ලැබූහ.

ජන රැලිය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ රට අඳුරට ගෙන යන පෝලිම් යුගයකට නැවත ඉඩ නොතබන ලෙස තමා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් පසුගිය වසර දෙක තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වූ ජනවරම තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවසූ ජනාධිපතිවරයා වැල්පාලමෙන් අසීරුවෙන් එගොඩ කරවමින් සිටින දරුවා ඉදිරියට ගෙන යාමට අර්බුදය හමුවේ පැන ගිය නතාලියා දෙදෙනාට හැකියාවක් නැති බවද කියා සිටියේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරම් මහතා නායකත්වය දරන ලංකා කම්කරු පෙරමුණේ සහ සමගි ජනබලවේගය පක්ෂයේ, අඹගමුව, වලපනේ සහ නුවරඑළිය යන ප්‍රාදේශීය සභා නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් සහ වෘත්තීය සමිති නායකයන් පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළ කරමින් වේදිකාවට එක්වීමද විශේෂත්වයක් විය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

අපි දිනනවා ! මේ මහා ජනකාය දෙන බැලුවිට අපේ ජයග්‍රහණය ස්ථීරයි. මේ සතියේ ඔබේ ජීවිතයේ වැදගත්ම මැතිවරණයකට ඔබ මුහුණ දෙනවා. එයින් තීන්දු වන්නේ අපි සමෘද්ධිමත්, ස්ථාවර හොඳ ජීවිතයක් ගත කරනවාද නැත්නම් නැවතත් පෝලිම් යුගයකට යනවද යන්නයි.

නැවත පෝලිම් යුගයකට රට ගෙන යාමේ වැරුද්ද සිදු කරන්න එපා කියා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරිම වෙනුවෙන් පසුගිය වසර දෙක තුළ අප ගෙන ගිය වැඩපිළිවෙළ තහවුරු කිරීම සඳහා මට ඡන්දය ලබාදෙන ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එදා අනෙක් නායකයන් බෑ කියද්දි මම ආණ්ඩුව භාරගත්තා. මේ රටේ ජනතාව ආහාර, ඖෂධ, ඉන්ධන, ගෑස් නැතිව දුක් විඳින විට  සජිත්ගෙවත්, අනුරගෙවත් හදවත කම්පා වුණේ නැහැ. ජනතාව ඖෂධ නැතිව මිය යද්දි ඔවුන් දුක් වුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණේ ජනතාව බිල්ලට දී ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමටයි.

නමුත් මම මේ රට භාර ගත්තා. ජනතාව ගැන සිතූ සියලුදෙනා මා සමඟ එක් වුණා. අප සියලුදෙනා එක්ව වසර දෙකක් වැනි කෙටි කාලයත් තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමට ගෙන ආවා. රටේ ආර්ථිකය ගොඩනැගීමේ දී මට බදු ඉහළ දැමීම වැනි අසීරු තීරණ ගැනීමට සිදු වුණා. නමුත් අප දැන් ක්‍රමාණුකූලව ජනතාවට සහන සලසමින් ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට කටයුතු කර තිබෙනවා. 2025 වසරේදී ජනතාවගේ ජීවන බර තවත් සැහැල්ලු කිරීමට කටයුතු කරන බව මම ප්‍රකාශ කරනවා.

රටක ආර්ථිකයක් කඩා වැටුණු විට එම ආර්ථිකය ගොඩනැඟීමට වසර 05ක් පමණ ගත වෙනවා. නමුත් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඉතා වේගයෙන් රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට කටයුතු කළ රට බවට ශ්‍රී ලංකාව මේ වන විටත් පත්ව තිබෙනවා. රට ගොඩනඟන වැඩපිළිවෙළ ආරම්භ කර තුන්වන වසර වන විට එම වෙනස සියලුදෙනාට දැකගත හැකියි.

තවම අප සිටින්නේ වැල් පාලමේයි. අප තව ටිකක් දුර යා යුතුයි. වැල්පාලම සෙළවෙනවා. නමුත් අප මෙවර ජනාධිපතිවරණයේ දී මෙම ගමන ස්ථීර කරගත යුතුයි. හුණුවටයේ කතාවේ මෙන් නොව දරුවාගේ අයිතිය ලබා ගැනීමට පැන ගිය නතාලියා දෙදෙනෙකු ඉන්නවා. ඔවුන්ට වැඩපිළිවෙළක් නැහැ. රට පිළිබඳ දැක්මක් නැහැ. ඔවුන් බදු අඩු කරනවා කිව්වට එසේ සිදු කිරීමට ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් බලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොවුන් ජනතාව ඉදිරියේ බොරු කියමින් සිටිනවා.

පැන ගිය නායකයන් ගැන විශ්වාසයක් තබන්න බැහැ. දරුවා ඉදිරියට ගෙන යාමට පැන ගිය නතාලියා දෙදෙනාට හැකියාවක් නැහැ. ඒ නිසා සැප්තැම්බර් 21 වනදා අප සියලුදෙනා එක්ව රට ගොඩනඟන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමු කියා මම සියලු ජනතාවගෙන් ඉල්ලනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,

බදුල්ල දිස්ත්‍රික්කය සංවර්ධනයේ උච්චතම ස්ථානයට ගෙන එනවා කියා සජිත් ප්‍රේමදාස කියනවා. බදුල්ල දිස්ත්‍රික්කය සජිත් ප්‍රේමදාසට කරන්න දෙයක් ඉතුරු කරලා නැහැ.  නිමල් සිරිපාල හැමදාම ඇමති කියා  අනුර දිසානායක කියනවා . මේ බදුල්ලෙන් මහින්ද රාජපක්ෂ මහතා දිනවීමටත් කටයුතු කළේත් මමයි.

මා ඇමතිකම්  දැරූ සියලුම අමාත්‍යංශවලින් බදුල්ලට කළ යුතු සෑම දෙයක්ම සිදු කර තිබෙනවා. අනුර කුමාර අමාත්‍යවරයෙක් වෙලා සිටින කාලයේදී රටට තියා කුරුණෑගලටවත් වැඩක් කරලා නැහැ. ඒ අය කටයුතු කළේ නපුංසක ඇමතිවරුන් ලෙසයි. ඒ නිසා බදුල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් නොවෙයි මුළු රටෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ජයග්‍රහණය කිරීමට කටයුතු කරනවා.

රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතා,

මෙවර වැඩි ඡන්දයෙන් බදුල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව මේ ජනකාය දිහා බැලූ විට ස්ථිර වෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව   ජනාධිපතිවරයා වෙනුවෙන් පෙරට පැමිණ තිබෙනවා. මේ රටේ ආර්ථිකය ගොඩනැඟූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අපේ  යුතුකම ඉටු කරමින් වතු කම්කරු ජනතාවගේ ඡන්දය 100% ක් ලබා දීමට අප සූදානම් බව කිව යුතුයි.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා,

බියගුළු විපක්ෂ කණ්ඩායම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සටන අත් හරින බවට අසත්‍ය ප්‍රකාශ කරමින් සිටිනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ බහුතරයෙන් ජයග්‍රහණය කළ වෙලාවේ චාමර සම්පත් එතුමාව කරේ තියාගෙන ගියේ. ඒ විදියටම මේ ජනාධිපතිවරණයේදී ද එතුමාව කරේ තියාගෙන ගිහින් දිනවන බව කියන්න කැමතියි.  

බදුල්ල, නුවරඑළිය, අම්පාර, මඩකලපුව, වව්නියාව වගේම  උතුරු පළාත  වැඩි ඡන්ද සංඛ්‍යාවකින්  ජයග්‍රහණය කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. පුළුවන් නම් ඒ ලබන වැඩි ඡන්ද්‍ර ප්‍රමාණය අනෙක් දිස්ත්‍රික්කවලින් ලබාගන්න කියා මා අනුරටත් සජිත්ටත් එකට තියලා අභියෝග කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මේජ්ර් සුදර්ශන දෙනිපිටිය මහතා,

අපේ රටට ඩොලර් අවශ්‍යයි. ජනාධිපතිතුමා හරීන් ප්‍රනාන්දු ඇමතිතුමා සමඟ සාකච්ජා කරලා, වැඩසටහන් සැලසුම් කරලා, සංචාරකයන් රටට ගෙන්වලා ඩොලර් උපයන්න අවශ්‍ය උපදෙස් දුන්නා. එදා මේ රටේ විදෙස් සංචිත තිබු‍ණේ ඩොලර් මිලියන 20 යි. අද ඩොලර් බිලියන 6 ක් තියෙනවා. මේ අවුරුදු දෙක ඇතුළත විශාල ප්‍රමාණයක් විදෙස් රැකියා සඳහා යොමු කළා. ඔවුන් අද විදේශ ගතව ඒ ප්‍රේෂණ මේ රටට එවනවා. අද අපේ  විදේශ සංචිත ප්‍රමාණය ඉහළ යනවා. ආර්ථිකය ශක්තිමත් වෙනවා.

එදා ඉන්ධන නැවකට මුදල් නැතුව හිටපු රට, ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා සතු විදෙස් සම්බන්ධතා පාවිච්චි කරලා, ගොඩ දැම්මා. ගෑස්, ඉන්ධන පෝලීම් යුගය අවසන් කළා.

අද බංගලාදේශය අසරණ වෙලා. එදා අපට අමාරු අවස්ථාවේ ඩොලර් මිලියන 200 ක් ණය දුන්නා. ඒ රටේ ආර්ථිකය බිඳ වැටිලා. උද්ඝෝෂණ කරලා, අරගල කරලා බංගලාදේශයේ නායකයා රටින් පිටමං කළා. ඒ රටේ අරගල කරුවන් අවසානයේ පාර්ලිමේන්තුවටත් ගිනි තිබ්බා. අපේ රටේත් ඒ දේ කරන්නයි ගියේ. ඔබට මතක ද ලාල් කාන්තයි තව දෙන්නෙක් ඇවිත් කිව්වා පාර්ලිමේන්තුවටත් ගිනි තියමු කියලා. “සියලු දෙනා එකතුවෙමු පාර්ලිමේන්තුව ගිනි තියමු.”  කිව්වා. ඒ අවස්ථාවේ ජනාධිපති විදියට හිටියේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා කිසිකෙනෙකුට පාර්ලිමේන්තුව දෙසට එන්න දෙන්න එපා කියලා ආරක්ෂක අංශවලට  නියෝග දුන්නා.

බංග්ලාදේශයේ මේ වෙන කොට ලාල් කාන්ත කියන ගමේ නීතිය ක්‍රියාත්මක වෙනවා. අපේ රටේත් එහෙම කරන්න සුදානම් වුණේ. ඒවා ජනතාවට අමතක නැහැ.

දේපල ගිනි තියන, ප්‍රචණ්ඩත්වය වපුරන පිරිසකට මේ රට  භාර  දෙන්න ජනතාව සුදානම් නැහැ. අපේ මාදිවෙල තියෙන පාර්ලිමේන්තු නිල නිවාසයක ලාල් කාන්ත අදටත් ජීවත් වෙනවා. අවුරුදු දාහතක් තිස්සේ ලාල්කාන්ත ඉන්නේ එතන. මොකක්ද නීතිය? කාගේහරි මන්ත්‍රීවරයෙක්ගේ හෝ අමාත්‍යවරයෙක්ගේ නිල නිවාසයක පාර්ලිමේන්තුවේ නැති ලාල් කාන්ත පවුලත් එක්ක ඉන්නවා. ඔවුන් තමයි අද දුෂණය නැති කරන්න කතා කරන්නේ.

අපට ශක්තිමත් නායකයෙක් ඉන්නවා. එතුමා හොඳ ගමනක් යන නිසා අපි එතුමා එක්ක එකතු වුණා. එසේනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණය  කරන්න එකතු වෙන්න කියා මා ඔබ සැමට ආරාධනා කරනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා,

අපේ රටේ කොයි පළාතට ගියත් දිනන අපේක්ෂයා ලෙස  කියවෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නමයි. මේ දිස්ත්‍රික්කයට නිමල් සිරිපාල  ඇමතිතුමා විශාල   සේවාවක් සිදුකර කරලා තියනවා. හරීන් ප්‍රනාන්දු ඇමතිතුමා වගේම විදානගමගේ ආණ්ඩුකාරතුමාත්, මේ දිස්ත්‍රික්කය නියෝජනය කරන අපේ කඳවුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මේ පළාතට විශාල සේවාවක් කරලා තියෙනවා.

අනෙක් පැත්තේ ඉන්න අය කිසි සේවාවක් නොකර කතා කරපු එක විතරයි. මේ දිස්ත්‍රිකක්යේ නිමල් සිරිපාල ඇමතිතුමා රැකියා විශාල ප්‍රමාණයක් දීලා තියෙනවා. මේ  ප්‍රදේශයට චාමර ඇමතිතුමා කළ සේවය  වෙන කවුරුත් කරලා නැහැ. මේ දිස්ත්‍රික්කයේ  ඉන්නේ වැඩක් කරපු නායකයන්.  මේ  දිස්ත්‍රික්කයේ ඇතුළු  සියලු දිස්ත්‍රික්කවල වැඩිම මනාප රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලැබෙන බව ස්ථිරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය,

අද ජනතාවට නිදහස්ව ස්වාධීනව හිතන්න පුළුවන් වාතාවරණයක් ඇති වී තිබෙනවා. එම නිසා මෙතෙක් රට පසු කරගෙන පැමිණි යුගයන් පිළිබඳව හොඳින් හිතා තමන්ගේ  මනාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබාදිය හැකියි. පසුගිය කාලයේ පරිප්පු ටික ගන්න පුළුවන් වුණාද, හාල් ටික ගන්න පුළුවන් වුණාද කියා වතුකරයේ ජනතාවට මතක් කර දිය යුතු නැහැ. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අභියෝගාත්මක අවස්ථාවේ රට භාරගෙන ජනතාවට අවශ්‍ය සියලුම පාරිභෝගික භාණ්ඩ ලබාගත හැකි පරිසරයක් නිර්මාණය කළා.

එවිට විපක්ෂය එතුමාව විවේචනය කළේ රනිල් රාජපක්ෂ කියලයිඒ වගේම   සමගි ජන සන්ධානය එදා කිව්වේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබා දෙන්නේ නැහැ කියලයි. ආණ්ඩුව මාස හයකින් වැටෙනවා කිව්වා. එතුමා ජනාධිපතිවරණය පවත්වන්නේ නැහැ කිව්වා. අද වන විට  ඒ සෑම දෙයක්ම ප්‍රතික්ෂේප වී තිබෙනවා.ඔවුන් ‘නැහැ’ ‘බැහැ’ කියූ සියලු දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ‘පුළුවන්’ බව කරලා පෙන්වා තිබෙනවා. රනිල් රාජපක්ෂද, සජිත් රාජපක්ෂද කියලා  දැන් සමාජයට දැක ගන්න තිබෙනවා. දැන් නාමල් ප්‍රේමදාස වෙලා. සජිත් රාජපක්ෂ වෙලා. මේ ඩීල් දේශපාලනය  මෙතැනින්නවතා දැමිය යුතුයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කවදාවත් ඩීල් දේශපාලනයක් තිබුණේ නැහැ. එතුමා  ගිහින්  රාජපක්ෂවරුන්ගෙන් ජනාධිපතිකම ඉල්ලුවේ නැහැ. රාජපක්ෂවරුන් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අඬ ගහලා ජනාධිපතිධූරය ලබා දුන්නේ.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනතාව අර්බුදයකට පැමිණි සෑම අවස්ථාවකදීම ඉදිරියට පැමිණ ජනතාව වෙනුවෙන් සේවය කර තිබෙන බව ඉතිහාසය සාක්කි දරනවා.

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙදර යවා, මේ රට නැවත ආර්ථික අර්බුදයකට ඇද වැටුනොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නැවතත් රට භාරගන්න ඉදිරිපත් වෙන්නෙත් නෑ.එම නිසා මෙම තීරණාත්මක අවස්ථාවේදී නිවැරදි තීරණය ගන්නා ලෙස මා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා,

තව දින පහකින් ලක්ෂ හැටකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක්  ලබා ගනිමින් මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි.  එදා ආර්ථික අර්බුදය අවස්ථාවේ සජිත් ප්‍රේමදාස රට භාරගත්තේ නැත්තේ ජනතාවගේ අවශ්‍යතා ලබා දෙන්න ඔහුට බැරි නිසයි. එහෙම වුණා නම් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න  සජිත් ප්‍රේමදාසට ඉඩ ලැබෙන්නේ  නැහැ. එදා සජිත් කළේ තමන්ගේ අනාගතය වෙනුවෙන් ජනතාව දුකට පත්වී සිටීම බලාගෙන සිටීමයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනතාව වෙනුවෙන් ඉදිරිපත්වීම නිසා එතුමාට තිබුණු එකම නිවසත් ගිනිබත් කළා. නමුත් එතුමාගෙ නිවසේ ගින්න නිවීමට වඩා ජනතාවගේ දුක් ගිනි නිවීමට ජනාධිපතිතුමා කැපවුණා.

ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් කියන්නේ කුහක ආකාරයට හිතන පිරිසක්. සජිත් ප්‍රේමදාසගේ නොහැකියාව නිසා ජනාධිපතිවරණය තුන්කොන් සටනක් බවට පත්වී තිබෙනවා. සාමාන්‍යයෙන් ඉතිහාසයේ ජනාධිපතිවරණයකදී තරගය තිබුණේ  පාර්ශව දෙකක් අතර පමණයි.  ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් විශ්වාස කර ඔවුන්ට බලය ලබා දුන්නොත් ජනතාවට අත් වන්නේ සදාකාලික දුක පමණයි. ඔවුන්ට රටක් කළ හැකි ක්‍රමයක් පිළිබඳ කිසිඳු අදහසක් නැහැ.   ජනතා විමුක්ති පෙරමුණ කතා කරන ආකාරයට රටක් හෝ ආයතනයක් පාලනය කළා නම් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව තවමත් ඔවුන් සතු විය යුතුයි. ඒ නිසා ඉතිහාසයේ පාඩම් දෙස අවබෝධයෙන් බලා  අවබෝධයෙන් මනාපය භාවිතා කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ හිටපු පුරපතිනි රෝසි සේනානායක මහත්මිය,

අද බදුල්ලට මෙපමණ ජනතාවක් රැස්ව සිටින්නේ මේ රටේ අනාගතය ගෙන යා යුත්තේ කොතනටද කියන තීරණාත්මක පණිවිඩය ලබා දීමටයි. 2022 අවුරුද්දේ අපි රටක් ලෙස නන්නත්තාර වෙලා හිටියේ. ඒ අවස්ථාවේදී, අද වේදිකා වල හයියෙන්  කෑ ගහන විරුද්ධ පක්ෂ නායකයින් හැංගුනා. සාමාන්‍යයෙන් රටක් ආරාජික වු විට ජනතාව හාමතේ සිටිනා විට, ඒ ජනතාව වෙනුවෙන් ඉදිරියට එන්නේ  සැබෑ ජාතික නායකයයි. ජනතාව ගෑස් පෝලිම් වල, ඉන්ධන පෝලිම් වල, කිරිපිටි පෝලිම් වල දුක් විඳින විට සැබෑ නායකයන් හැංගෙන්නේ නැහැ. ජනතාව විදුලිය,පොහොර,ආහාර නැතුව සිටිනා විට හැංගුණ නායකයන් අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා.

ආර්ථික අර්බුදය අවස්ථාවේ සජිත් ප්‍රේමදාස, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් ගිහින් මහ බැංකුවේ අධිපතිතුමා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා සමඟ පැය තුනක සාකච්ඡාවක් පවත්වනවා. ඊට පස්සේ ඒ ආර්ථික විශේෂඥයන් කියනවා "අපොයි අපොයි රට විනාශයි. මේක ගොඩගන්න අපිට බෑ. මේක ගොඩගන්න මහා පරාක්‍රමයෙකුටවත් බෑ. ගොඩගන්න කෙනාට අපි සුබපතනවා" කියලා. එදා ඔවුන් රට ගොඩනගන කටයුත්තට අත තිබ්බේ නැහැ.

රතු සහෝදරයන්ගේ හරිනි අමරසුරිය එදා කිව්වේ "අපි බලය ගත්තත් මේ අර්බුදයෙන් ගොඩ එන්න ක්ෂණික විසදුම් නෑ" කියලයි. රට ගොඩගන්න විශාල කාලයක් ගතවනු ඇති බවත්, ඒ කාලය තුළ ජනතාවට විශාල කැප කිරීම් කරන්න සිදුවන බවත් ඇය කිව්වා. මීටත් වඩා දුක් විදින්න සුදානම් වන ලෙසත් හරිනි කිව්වා. අද ඇවිත් ඇය කාන්තාවන්ට කියනවා එක මිටට අනුරට රට දෙන්න කියලා.  ඊට අමතරව නලීන් හේවගේ රතු සහෝදරයා කිව්වේ,  "අපොයි මේ පුස් කොහොම්බේ අපිට ගන්න බෑ. මේකේ මදෙත් කාලා, ලොදෙත් කාලා, පොත්තත් කාලා ගෙඩියත් නැතිවෙලා" කියලයි. එහෙම  හැංගුණු නායකයෝ තමයි දැන් ජනාධිපතිකම ඉල්ලන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා එදා අභියෝගය භාරගෙන පෝලිම් යුගය අවසන් කළා. ආර්ථිකය ස්ථාවර කළා. එදා උද්ධමනය 70%යි.  

අද උද්ධමනය 1.7%යි. ඒ ආකාරයට රට ගොඩනැගූ නායකයාව අප සැප්තැම්බර් 21 වනදාට නැවත වතාවක් ජනාධිපති ධුරයට පත් කර ගත යුතුයි.  

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්ද, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් , ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල ජනකායක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more