සුමන්තිරන් සජිත්ව අගමැති කරන්න යෝජනා කළත් ඔහු පලා ගියා

• එදා මම ආණ්ඩුව භාර නොගත්තා නම් මේ රට තවත් බංග්ලාදේශයක් වෙනවා.

• ගම්පහ දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ සැලැස්ම ඉදිරියේදී ක්‍රියාවට නගනවා - ජනපති.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ 2022 වසරේ මැයි මාසයේ අගමැතිධූරයෙන් ඉල්ලා අස් වූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතාට අගමැතිධුරය භාර දෙන ලෙස එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටි නමුත් ඒ අවස්ථාවේදී ද සජිත් පලා ගිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයෙන් ඉවත් වූ අවස්ථාවේද තමන්ට ජනාධිපතිධූරය භාර නොගන්නා ලෙස සජිත් ප්‍රේමදාම පැවසුවත් ඔහුද ඒ සඳහා ඉදිරිපත් නොවූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා එදා තමන් රටේ වගකීම භාර ගෙන ආණ්ඩුව පිහිටුවීමට කටයුතු නොකළා නම් මේ රට තවත් බංග්ලාදේශයක් වන බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (01) පස්වරුවේ දොම්පේ බස් නැවතුම්පොළ අසළ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය  කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

දොම්පේ මට අලුත් තැනක් නොවෙයි.  සුරනිමල රාජපක්ෂ අපිත් එක්ක දේශපාලනය කළා .  සරච්චන්ද්‍ර රාජකරුණා, 1975 දී පමණ  එක්සත් ජාතික පක්ෂයට බැඳුණා. ඔහු දොම්පේ ආසනය මෙහෙයවූවා . මම බියගම ආසනයේ වැඩ කළා. කවුරුත් හිතුවේ නැහැ අපි දෙන්නා දිනයි කියලා.සරච්චන්ද්‍ර රාජකරුණා මැතිතුමාගේ අභාවයෙන් පස්සේ මම  හර්ෂණ රාජකරුණාව පළාත් සභා මන්ත්‍රී කළා.

ඔබ සියළු දෙනා මීට අවුරුදු දෙකට කලින් සිටියේ ඉන්ධන ,  ගෑස් , ඖෂධ ,  පෝලිම් වලයි .  එදා පෝලීමේ ඉඳලා එපා වුණා. ඇතැමුන්  පෝලීම් වල මියගියා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න සිදු වුණා. සම්ප්‍රදායේ හැටියට ඊළඟට  අගමැති විය යුත්තේ විපක්ෂ නායකතුමායි .  ඊට කලින් සතියේ අපි අතර සාකච්ඡාවක් තිබුණා .  එහිදී එම්. ඒ.  සුමන්තිරන් මන්ත්‍රීතුමා  කිව්වා අගමැති අයින් වුණොත් ඔබතුමන්ලා විපක්ෂ නායකතුමාට අගමැති වෙන්න  ඉඩ

දෙන්න ඕන කිව්වා .   අපට ප්‍රශ්නයක් නැහැ. මම කොහොමද ආණ්ඩුවක් හදන්නේ? ඒ කාළේ මට කවුරුත් හිටියේ නෑ .  මම විතරයි. සජබේ සමහර අය මා සමඟ කතා කරන්නත් බයයි.

ආණ්ඩුවේ අය එක්ක කතා කළා. අඟහරුවාදා වන විට මමත් හිතුවා සජිත් අගමැති ධූරය භාරගනියි, ඊට උදව් කරන්නම් කියලා. නමුත් එදින සවස් වෙනකොට විපක්ෂ නායකතුමා අගමැති ධූරය  භාර ගන්න බිය වී පලා ගිය බව දැනගන්න ලැබුණා .  ඊළඟ  දවසේ ෆීල්ඩ්  මාර්ෂල් සරත් ෆොන්සේකා අගමැති ධූරය භාරගන්න ගියාත්  එතුමාත් බැහැ කිව්වා. අනුර කුමාර කතා  කළේවත් නැහැ.

ඒ අවස්ථාවේ මට දුරකථන ඇමතුමක් ලැබුණා අගමැති ධූරය භාරගන්න කියලා . මා  එක්ක යන්න මට අත්පොළසන් දෙන්නවත් කවුරුත් නෑ .  මම  තනියම ගිහින් දිවුරුම් දීලා ආවා. එතකොට තමයි මෙතුමන්ලා  සියලු දෙනා ආණ්ඩුවට  එකතු වුණේ. ආපසු ජුලි 09 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉල්ලා අස්වු‍ණා. මම ජනාපතිධූරයේ වැඩ බලන්න හිටියත්, සජිත් කිව්වා ඔබතුමා වැඩබලන ජනාධිපති ධූරය භාරගන්න  එපා කියලා. මම ඇහුවා ඔබතුමා ගන්නවා ද කියලා? නැහැ කිව්වා.  අනුරගෙන් ඇහුවා ඔබතුමා ගන්නවා ද කියලා. ඔහුත් ගන්නේ නැහැ කිව්වා.  කථානායකතුමාව යෝජනා කළා .  එතුමා කිව්වා මම ගන්නේ නැහැ, මට මේක කරන්න බැහැ කියලා . ඒ අය වාද කරන අතරේ පාර්ලිමේන්තුව වටලන්න ආවා . ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටි සියලු නායකයන්  පලා ගියා.  මම හමුදාපතිට කිව්වා මේක නවත්වන්න. මම එදා පාර්ලිමේන්තුව වටලන එක  නවැත්තුවේ නැත්නම් අද ලංකාවත් බංග්ලාදේශයක් වෙනවා .  එහෙනම් බංග්ලාදේශයේ වගේ මෙහෙත් පාර්ලිමේන්තුවක් නැහැ. එදා ඒ විදිහට ආණ්ඩුව අරගෙන තමයි අපි මේ රට දියුණු කළේ .  

අපට මේ වැඩ කටයුතු  ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි .  අපි ඇති කළ  ආර්ථික ස්ථාවරභාවය තහවුරු කරන්න අවශ්‍යයි. ජීවන බර තවත්  සැහැල්ලු කළ යුතුයි .  රුපියල ශක්තිමත් වන විට ගතවූ අවුරුදු දෙක තුළ බඩු මිළ අඩුවුණා. මම ඉන්නේ රුපියල තවත්  ශක්තිමත් කරන්නයි .  දළ දේශීය  නිෂ්පාදිතය වැඩි කළ යුතුයි.  බදු බර, ජීවන බර සැහැල්ලු කරන්න එම කටයුතු සිදුකල යුතුයි .

අනුර සහ සජිත් කියනවා බදු අඩු කරනවා කියලා. බදු අඩු කළ විට රාජ්‍ය  ආදායම අඩු වෙනවා .   ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කලෙත් ඒ කටයුත්තයි . ඔහුත්  බදු අඩු කළා, ජනතාව පෝලීමේ හිටියා. ආපසු ඩොලරයට සාපේක්ෂව රුපියල 370 යවන්න අවශ්‍යද ?  හාරසියයට යවන්න අවශ්‍යද ? මම ඔවුන්ට කියනවා ,  නිකන් බොරු කියන්න එපා කියලා.

දැන් අපට තිබෙන්නේ  රුපියල තවත්  ශක්තිමත් කිරීමයි .   රැකියා ලබාදීමට  අවශ්‍යයි .  පසුගිය අවුරුදු හතරක් තිස්සේ රැකියා ලබාදීමක් සිදුවුණේ නෑ .  නමුත්  එන අවුරුද්දේ රැකියා ලක්ෂයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනවා .  පුද්ගලික අංශයේ සහ  ස්වයං රැකියා සඳහා යොමුකරනවා .  පුද්ගලික අංශයට පිරිස්  යොමු කර පුහුණු වැටුප් ලබාදෙනවා . ඒ පිරිස් රැකියා වල  ස්ථිර කරන්න ඒ සමාගම්වලට දිරිගැන්වීමක් ලෙස අපි එම කටයුතු සිදුකරනවා .

ඒ වගේම සුහුරු කෘෂිකර්මය ආශ්‍රිත රැකියා සඳහා ද පිරිස් යොමුකරනවා . මේ රටේ ආර්ථිකය තවත් ශක්තිමත් කිරීමට මට අවශ්‍යයි . මෙරට ආර්ථිකය අපනයන ආර්ථිකයන් බවට පත්කළ යුතුයි .  සංචාරක ව්‍යාපාරය දියුණු  කළ යුතුයි .  අපනයන වෙළෙදාම ඇති  කරන්න අලුත් ආයෝජන කැඳවිය යුතුයි . ඒ වෙනුවෙන්  විශේෂ වැඩසහනක් තිබෙනවා. මේ වන විට  බියගම  A සහ B ආයෝජන කලාප තිබෙනවා .  දෙවන අදියර තුළ  කෑරගල C කලාපය ලෙස ගෙන එනවා . එහි  අක්කර 120ක් පමණ තිබෙනවා .  ගනේකන්ද වත්ත තුළ අක්කර 60- 70 ක් තිබෙනවා .  එහි සුහුරු කෘෂි කර්මාන්තය ආරම්භ කිරීමට  සමාගම්වලට වෙන් කර දෙනවා. ඒ තුළත් රැකියා අවස්ථා  විශාල ප්‍රමාණයක් තිබෙනවා . ඒ අනුව  නිෂ්පාදන කලාපයක්  සහ  නිෂ්පාදන නවීකරණ කලාපයක් නිර්මාණය වෙනවා .

ගම්පහ දිස්ත්‍රික්කය දියුණු කරන්න අපට වැඩපිළිවෙලක් තිබෙනවා .  මේ පණිවිඩය ඔබ සියලු දෙනා ඉදිරි දිනවල ගෙයින් ගෙට ගොස් කියන්න . ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයන්ට ද යමක් කිව යුතුයි .  දැන් මෙතන සජබ සමඟ බෙදීමක් තියෙනවා .  නමුත්  සජිත්ට දෙන ඡන්දය අනුරට දෙන ඡන්දයක් බව කිව යුතුයි .  එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියන්න මට ජන්දය දෙන්න කියලා. ඒ සඳහා ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන්න .  නැත්නම් ගෑස් සිලින්ඩරය වගේම මේ රටත් පුපුරනවා .

අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා,

ඔබ අප මේ ඒකරාශී වී සිටින්නේ  එක් පක්ෂයක ජයග්‍රහණයක් වෙනුවෙන් නොවෙයි.  මේ එක්ව සිටින්නේ පක්ෂයට වඩා රටේ ජනතාව දිනවීමටයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී සිටිනවා.

නූපන් පරම්පරාව ණය බරින් නිදහස් කර දිය යුතුව තිබෙනවා. එදා ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවේ එතුමා ආපස්සට ගියේ නැහැ. බංකොලොත් වූ රට  නිවැරදි කර රට යථා තත්ත්වයට පත් කළා.

මේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සජිත් ප්‍රේමදාසට, අනුර දිසානායකට රට ගොඩනගන්න  එදා වැඩපිළිවෙලක් තිබුනේ නැහැ. මේ අය පලා ගිය පසුව රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට ගොඩ නැඟීමේ අභියෝගය භාර ගෙන අද රට සාමාන්‍ය තත්ත්වයට පත් කර තිබෙනවා.

ජනාධිපතිතුමාගේ  දේශපාලන අත්දැකීම්වලට අනුව කටයුතු කරපු නිසා  ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්වී තිබෙනවා. ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දුක්වින්දා. එතුමාගේ නිවැරදි තීන්දු තීරණ නිසා ජනතාවට සහන ලැබෙමින් පවතිනවා.

අද රටක් ලෙස වර්ධනයක් ඇතිවී තිබෙනවා. ජනතාවට සහන ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී තිබෙනවා. රාජ්‍ය සේවය ශක්තිමත්ව ගොඩනැගෙමින් තිබෙනවා. රට ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියත් එතුමා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළා. 2025 ජනවාරි මාසයේ සිට නැවත වරක් වැටුප් වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

අමාත්ය ප්රසන්න රණතුංග මහතා,

අද මේ ප්‍රදේශයට පවතින අයහපත් කාලගුණය නිසා අපි ජනාධිපතිතුමාට කිව්වා මේ රැස්වීමට එන්න එපා කියලා. නමුත් එතුමා ජනතාව වෙනුවෙන් එනවා කියලා ප්‍රකාශ කළා.

දොම්පේ ප්‍රදේශයේ රටට ආදරේ කරන'ජනතාවක් සිටිනවා.  අභියෝග බාරගත් ජනතාවක් ගම්පහ දිස්ත්‍රික්කයේ සිටිනවා.

ආර්ථික අර්බුදය හමුවේ  හැමෝම පැනලා ගියා.  ඔවුන් රට විනාශ වෙන බව ප්‍රකාශ කළා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා රටේ අනාගතය වෙනුවෙන් එතුමා රට ගොඩනැගීමේ වගකීම භාරගත්තා.

අභියෝග භාරගත් කණ්ඩායමක් විදියට  රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ  ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට  අප කටයුතු කරන බව කිව යුතුයි.

රටේ ආර්ථිකය කඩා වැටුණ සෑම අවස්ථාවකම  ආර්ථිකය ස්ථාවර කිරීමට පියවර ගත්තා. 2022 වසරේදීත් එතුමා භාරගෙන රට යහපත් මට්ටමකට ගෙන ආවා.

1988 - 89 රටම ගිනි තැබූ, අනුර දිසානායකලා අද මේ රටේ බලය ඉල්ලනවා. අරගලය  අවස්ථාවේ  ඔවුන්ගේ හෙල්මට් බලකාය ජනතාවගේ නිවාස කොල්ලා කෑවා. නිවාස ගිනි තැබුවා. එවැනි අවස්ථාවක රනිල්  වික්‍රමසිංහ මහතා මේ රට භාර නොගත්තානම් තවත් බංගලදේශයක් වීමට  ඉඩ තිබුණා.

අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා,  

මේ දොම්පේ ආසනය  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකොටුවක්.  එදා තිබූ මතය අදත් වෙනස් වී නැහැ.

එදා අර්බුද වෙලාවේ මේ රට භාරගෙන රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට  හැකියාව ලැබුණා.  එතුමා අද ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක්  ලෙස  ඉදිරිපත්ව සිටිනවා.

එතුමා ඊළඟ වසර පහ තුළත් මේ ගෙනයන වැඩපිළිවෙල  ඉදිරියටත් ගෙන යන බව පැවසිය යුතුයි.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස එදා මට පාසල් ළමුන්ට පෙළපොත්,   නිල ඇදුම්, සපත්තු දෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අද ඒ සියල්ලක්ම ලබාදීමට රජයක් විදියට අපිට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම ලබන වසරේ සිට පාසල් ළමුන්ට නොමිලේ නිල ඇඳුම් ලබාදීමට දැනටමත් ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

හොඳම කණ්ඩායම ඉන්නේ අපිත් එක්ක. සජිත්, අනුර අඩුම තරමින්  ප්‍රාදේශීය සභාවක්වත් කරලා තිබෙනවාද?  අද ඔවුන් බලය  ඉල්ලා රට වටේ යනවා.

වසර 29ක් තිස්සේ පැවති රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීමට ජනවාරි සිට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප රු. 55,000 ක් වෙනවා.

රාජ්‍ය සේවකයන්ගේ ප්‍රශ්න විසඳන්න මාලිමාවට විසඳුම් නැහැ. අනුර කුමාර දිසානායකට පුළුවන් උද්ඝෝෂණ, වර්ජන කරන්න  විතරයි.

රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න මහතා,  

1994 වසරේ සිටම  අප මැතිවරණ වලට සම්බන්ධ වී සිටිනවා. ඒ සෑම මැතිවරණයකදීම   77%කට වඩා ඡන්දය ලබා දුන්නේ  දොම්පෙ ජනතාවයි.  

ඉතිහාසයේ පැවැති මැතිවරණ වේදිකාවලට වඩා  මේ වේදිකාව වෙනස් . ප්‍රධාන පක්ෂ රැසක්  ඇතුළු පක්ෂ ගණනාවක  නියෝජිතයන් මේ වේදිකාවේ සිටිනවා.

එදා රට අරාජික වූ වෙලාවේ නොබියව රට බේරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක්  බවට පත් කිරීමට  අපි  ඒකරාශී වී සිටිනවා.පක්ෂ දේශපාලනය අපට පසුව කරන්න පුළුවන්. රටක් විදිහට තවමත් රටේ ප්‍රශ්න විසඳි නැහැ. ලෝකයේ ඇතැම් රටවල් දේශපාලන වශයෙන් අස්ථාවර වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගිය නාලක ගොඩහේවා අද හොයාගන්නවත් නැහැ. පසුගිය වැරදි අපට යළි කරන්න බැහැ. අත්හදා බලන්න අවශ්‍ය නැහැ.

පාර්ලිමේන්තු මන්ත්රී මිලාන් ජයතිලක මහතා,

මේ රටේ ජනතාව විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. ඔබ සියලු දෙනා අධික වැසි නොතකා මේ ස්ථානයේ රැඳී සිටින්නේ ඇයි ද කියා අපි කවුරුත් දන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතුවී සිටිනවා. අරගලය වෙලාවේ ජනතාවගේ දේපල, ජීවිත ආරක්ෂා කළේ රනිල් වික්‍රමසිංහ මහතා බව පැවසිය යුතුයි.

එතුමා රටට ආදරය කරන නායකයෙක්.  අපි තවත් නායකයන්  පසුපස යන්නේ නොමැතිව රටට ආදරය කරන නායකයා වෙනුවෙන් මේ වේදිකාවට ඇවිත් සිටිනවා.එදා පාලකයන්ට අරගලයෙන්  ජනතාව බේරා ගන්න බැරිවුණා. අපේ ජනතාවට ආරක්ෂාවක් ලැබුණේ නැහැ. ජනතාවට පහර දෙන විට අපිට බලන් ඉන්න බැහැ.

අපි රනිල් වික්‍රමසිංහ මහතාට ණයගැතියි. අද ශ්‍රී ලංකා අවට රටවල් ගණනාවක් අරගල නිසා රටවල් අස්ථාවර වී තිබෙනවා.  එම රටවල්වල ජනතාව දුක් විඳිනවා.  

අපි මේ අවස්ථාව මගහැරගෙන තවත් බංගලාදේශයක් වීමට ඉඩ දිය යුතු නැහැ. එදා සජිත්ලා අනුරලා  එදා පැනලා දිව්වා.    නමුත් ඔවුන් රටට මොනවද කර තිබෙන්නේ? අනුර දිසානායක  අද  කුහක දේශපාලනයක නිරතව සිටිනවා.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක  රුවන් විජයවර්ධන මහතා,

පළමුවෙන්ම අයහපත් කාලගුණය නොතකා  මෙම ස්ථානයට  රැස්ව සිටින අතිවිශාල ජනතාවට ප්‍රණාමය පුදකර සිටිනවා.  දොම්පේ ආසනය වාමාංශික බලකොටුවක්.  නමුත් අද රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු පක්ෂ එකම වේදිකාවකට ඇවිත් සිටිනවා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද අපට හුස්ම ගැනීමට පුළුවන් රටක් නිර්මාණය කරදී තිබෙනවා. එදා  එතුමා නොසිටියා නම් අද රටට කුමක්ද සිදුවන්නේ? එතුමාට රට ගැන නිසි සැලැස්මක් තිබෙනවා.  ඒ නිසා  පක්ෂ පාට භේද නොමැතිව එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අප සියලු දෙනා එකතුව සිටිනවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර විවිධ පක්ෂ නියෝජනය කරමින් ප්‍රාදේශීය දේශපාලන නායකයන්, ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධාකවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more