මා මෙතෙක් පැමිණි දේශපාලන ගමනේදී නිරතුරුවම මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වුණා

•  රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළේදී ද මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අපේක්ෂා කරනවා.

තමා මෙතෙක් පැමිණි දේශපාලන ගමනේදී මේ රටේ සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරතුරුව තමාට හිමි වූ බවත්,  රටේ සියලු ජනතාව වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිම සඳහා සියලුදෙනා එක් කර ගනිමින් ආරම්භ  කර ඇති වැඩපිළිවෙළ සඳහා ද   සමස්ත මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (27) කුරුණෑගල දී පැවති සත්කෝරල මහා සංඝ සමුළුව අමතමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ජාතිය සහ සම්බුදු සසුන වෙනුවෙන් ඉටු කරන සුවිශාල මෙහෙවර අගයමින් මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත අශිර්වාද පළ කළහ.

රටේ දුක් විඳින ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීමට රජය ඉදිරියටත් කැපවන බවට මහා සංඝරත්නය ඉදිරියේ සහතික වූ ජනාධිපතිවරයා තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ රට ගොඩගැනීම සඳහා පසුගිය වසර දෙක තුළ ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් බවද කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

අද කුරුණෑගල ප්‍රදේශයට පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමට මම කටයුතු කළා.  ඒ වගේම මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබාගෙන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරිම මගේ අරමුණ වුණා. ඒ වගේම රට ඉදිරියට ගෙන යන ගමනේදී ද මම නිරතුරුවම මහා සංඝරත්නයේ අවවාද සහ අනුශාසනා අපේක්ෂා කරනවා.

එදා මම මේ රට භාරගත්තේ අසීරු අවස්ථාවක තිබියදීයි. 2019 වසරේදී අප රට භාරදෙන අවස්ථාවේ භාණ්ඩාගාරයේ ඩොලර් බිලියන 07ක් තිබුණා. නමුත් මා 2022 වසරේදී රට භාරගත් මෙහොතේ රජය සතුව ඩොලර් මිලියන සීයක්වත් තිබුනේ නැහැ. තෙල්, පොහොර ,බෙහෙත් තිබුණේ නැහැ. මේ රටේ දායකයන්ට මහා සංඝරත්නය උදෙසා දානය පිළිගැන්වීමටවත් නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබුණා.

එදා මේ රට බාරගන්නා අවස්ථාවේදීද මට මහා සංඝරත්නයේ ආශිර්වාදය ලැබුණා. සාම්ප්‍රදායික පක්ෂ පදනම් කර නොගත් රජයක් අපි පිහිටවනු ලැබුවා.  සියලු කණ්ඩායම් එක්ව කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ අප ඉදිරියට ගෙන ගියා. එසේම රට ඉදිරියට ගෙන යාමේදී රජයක් ලෙස අපට අසීරු තීන්දු තීරණ ගැනීමට සිදුවුණා.

අපට පළමුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගෙන රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට හැකියාව ලැබුණා.  2022 වසරේ සිදු වූ දේවල් අද ඇතැමුන්ට අමතකයි.  රටේ පැවති ආර්ථික අර්බුදය සමනය කරන අතරතුර ජනතාවට සහන ලබාදීමට ද අප කටයුතු කළා. ඒ වගේම අප ඉදිරියේ දී ජනතාවට තවත් සහන ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

මේ රටේ දුක් විඳින ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීමට රජයක් ලෙස අප ඉදිරියටත් කැපවී කටයුතු කරනවා. අප තවත් ඉදිරියට යා යුතුව තිබෙනවා. මා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුයේ රට ගොඩගැනීමට පසුගිය වසර දෙක තුළ ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමටයි.

අපට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතව සිටිනවා.  අප ඒ මාර්ගය ඔස්සේ ඉදිරියටම යා යුතුයි. එසේ නොවුනොත් මේ රටේ ආර්ථිකය යළිත් කඩා වැටීම වළක්වන්න බැහැ. අද ජනාධිපතිවරණ වේදිකාවල ඇතැමුන් බදු අඩු කරන බව කියනවා. එසේ වුවහොත් කුමක්ද වන්නේ?  එවැන්නක් සිදු කළහොත් මේ රටේ ජනතාවට සහන දිය නොහැකි තත්ත්වයක් උදාවෙනවා.

අපි රජයක් පිහිටුවීමෙන් අනතුරුව විදෙස් සංචිත වැඩිකර ගැනිමට කටයුතු කළා. රුපියල ශක්තිමත් කළා.  ඉදිරි වසර  දෙක තුළ  වේගවත්ව රට ඉදිරියට ගෙන යාමට රුපියල ශක්තිමත්  විය යුතුයි. ජනතාවට සහන ලබාදිය හැක්කේ රුපියල ශක්තිමත් වීම තුළින් පමණයි.

ඒ නිසා අප සත්‍යය දැනගෙන ඉදිරියට යා යුතුව තිබෙනවා. අසත්‍ය ප්‍රචාරවලට යළිත් රැවටිය යුතු නැහැ.

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා  අබේවර්ධන මහතා,

2024 ජනාධිපතිවරණය සඳහා  ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත්ව සිටින බව ඔබවහන්සේලා දැනුවත්ව සිටින බව අප විශ්වාස කරනවා.

1977 වසරේ සිටම රට මුහුණ දුන් අභියෝගාත්මක අවස්ථාවලදී රටත් ජාතියත් බේරා ගැනීමට මහා සංඝරත්නය සුවිශේෂි දායකත්වයක් ලබා දුන්නා.

පැවති පාලන ක්‍රමයට එරෙහිව ජනතාව අරගල කළා.  ජනතාව පෝලිම් වල හිටියා. ඒ අභියෝගාත්මක කාලය තුළ මේ රටේ නායකත්වය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා පෝළිම් යුගය අවසන් කළා.

අනතුරුව ගත වූ වසර දෙක තුළ රටේ ආර්ථිකය ධන ආර්ථිකයක් බවට පත් කළා. එතුමා එදා මේ රට බාර නොගත්තානම් ශ්‍රී ලංකාව තවත් බංගලාදේශයක් බවට පත්වීමට ඉඩ තිබුණා.

මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක  නිකවැරටිය ශ්‍රී පාලිත පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය ගලහිටියාගම විමලධම්ම අනුනායක හිමි, මහා විහාර වංශික සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික, වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය පූජ්‍ය කඩුල්ලේ ශ්‍රී  සීලක්ඛන්ද හිමි, කොළඹගම මියුහගුණාරාම  රජමහා විහාරාධිපති  පූජ්‍ය ගල්ලෑපිටියේ ප්‍රේමරතන නාහිමි, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ වෑඋඩපල්ල හත් පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඇහැලේපොළ ඉන්ද්‍රජෝති නාහිමි ප්‍රධාන  මහා සංඝරත්නය, අමාත්‍ය ටිරන් අලස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර, ඩී. බී. හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසංක නවරත්න,  අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් ජාතික පක්ෂ උප නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more