අනුර වේදිකාවේ සිටිය යුතුයි :ඉක්මණින් සුව වී ඇවිත් පිළිතුරු දෙන්න

අනුරට ජනපතිගෙන් ප්රශ්න පෙළක්.

• අපනයන ආර්ථිකය පිළිබඳ පිළිගත යුත්තේ අනුරගේ ප්‍රතිපත්තියද? හඳුන්නෙත්තිගේ ප්‍රතිපත්තියද ?

• මා ගෙන ආ දූෂණ විරෝධි පනත ක්‍රියාත්මක කරනවා නම් ඊට සම්බන්ධ අනෙක් පනත්වලට සහාය නොදෙන්නේ ඇයි ?

• බැදුම්කරය ගැන කථා කරන්නේ එහි නඩු තීන්දුව ගැනවත් නොදැනයි.

• ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් ඇති සජිත්ගේ ප්‍රතිපත්තිය අද ජනතාවට ප්‍රශ්නයක් - ජනපති වැලිමඩදී කියයි.

අනුර කුමාර දිසානායක අපනයන ආර්ථිකයක් ගැන කථා කරන විට සුනිල් හඳුන්නෙත්ති ආනයන ආර්ථිකයක් ගැන කථා කරන ජාතික ජන බලවේගයේ සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද කියා තමා මීට පෙර ඇසු ප්‍රශ්නයට අනුර කුමාර දිසානායක වේදිකාවේ පිළිතුරු ලබා දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම දූෂණය නැති කිරීමට  දූෂණ විරෝධි පනත ක්‍රියාත්මක කරන බවට අනුර කුමාර  කළ ප්‍රකාශයක් පිළිබඳවද සිහිපත් කළ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ දුෂණය පිටුදැකීමට තමන් ගෙනා දුෂණ විරෝධි පනත පමණක් ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් නොවන බවයි. ඒ වෙනුවෙන් ගත යුතු වැඩිදුර පියවර “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන මගින් ඉදිරිපත් කර තිබෙන බවත් අනුර කුමාර දූෂණය පිටු දකිනවා නම් එක් පනතකට සීමා වී සිටිමින් අනෙක් පනත්වලට සහය නොදෙන්නේ ඇයි කියා තමා ප්‍රශ්න කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

මැතිවණය යනු විවාදයක් බවත්, එක් දේශපාලන වේදිකාවක අසන ප්‍රශ්නයට අනෙක් වේදිකාවේ පිළිතුරු දිය යුතු බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුර කුමාර ඉක්මණින් සුව වී පැමිණ මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (08) පස්වරුවේ වැලිමඩ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි. එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

පසුගියදා ධූරයෙන් ඉල්ලා අස්වු සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරළ මහත්මිය ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් වේදිකාවට එක්වීම ද මෙම රැලියේ සිදු වූ විශේෂත්වයක් විය.

ජන රැලිය ඇමතු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද අනුර කුමාර  බැදුම්කරය ගැන කථා කරන්නේ එහි නඩු තීන්දුව ගැනවත් නොදැන බවයි. අවශ්‍ය නම් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරන ලෙස තමාට දැනුම් දිය හැකි බවත් අනුර කුමාරට ද තමන්ගේ නීතිඥයන් එහි යැවිය හැකි බවත් ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් ඇති සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්තිය අද ජනතාවට තෝරා ගැනීමට නොහැකි වී තිබෙන බවද ජනාධිපතිවරයා ජන රැලිය අමතමින් සඳහන් කළේය.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

අපි රට ගොඩනැඟීමට ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. “පුළුවන් ශ්‍රී ලංකා” කියන්නේ සැප්තැම්බර් 22 වනදා සිට ආරම්භ කළ හැකි වැඩපිළිවෙළක්.  මම ඔබෙන් ඉල්ලා සිටින්නේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිම සඳහා ජනවරමයි.

ජනතාවගේ ජිවන බර සැහැල්ලු කර ආදායම් මාර්ග සලසාදීමේ වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම අපි ජනතාව වෙනුවෙන් අස්වැසුම සහ උරුමය වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම අප ලබන වසරේදී තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා.

ජනතාවට සැබෑ සහන හිමි වන්නේ “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහනින් පමණයි. ඒ වගේම තරුණ තරුණියන්ට රැකියා හිමිවන්නේ “පුළුවන් ශ්‍රී ලංකා ”වැඩිසටහනින් පමණයි. අනෙක් අපේක්ෂකයින් මේවා පිළිබඳ කතා කර නැහැ. ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙන් අප පුළුල් වැඩසටනක් ක්‍රියාත්මක කර තිබෙනවා.  මේ පළාතේ අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් ද අප විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරනවා. වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය සහ ඌව පරණගම කැප්පෙටිපොළ විද්‍යාලය යන විද්‍යාල දෙකේම අධ්‍යාපන මට්ටම බදුල්ල, බණ්ඩාරවෙල පාසල්වල මට්ටමට ගෙන ඒමට අප කටයුතු කරනවා.

අද සජිත් ප්‍රේමදාසට ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් තිබෙනවා. සතුටු දැයක් කියලා එකක් තිබෙනවා. ඒ වගේම බ්ලු ප්‍රින්ට් 3 කියලා තවත් එකක් තිබෙනවා. මේ දෙකෙන් කොයි එකද තෝර ගන්නේ කියා ජනතාවට ප්‍රශ්නයක් තිබෙනවා.

මම බලපොරොත්තු වන්නේ අපනයන ආර්ථිකයක් ඇති කිරීමටයි. අනුර කුමාරත් අපනයන ආර්ථිකයක් ඇති කරන්න සූදානම් කියලා කිව්වා. මට ඒ පිළිබඳ සතුටු හිතුනා. නමුත් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවා නිදහස් වෙළෙඳ ගිවිසුම් අහෝසි කරනවා කියලා. නිදහස් වෙළෙඳ ගිවිසුම් නැතිව අපනයනය කරන්න බැහැ.

ඒ වගේම සුනිල් හඳුන්නෙත්ති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධව නඩු දැම්මා. අපනයන කර්මාන්ත ඇති කිරීම ව්‍යවස්ථාවට විරුද්ධයි, දේශීය කර්මාන්ත ආරක්ෂා කළ යුතුයි කියලා එහි කියවෙනවා. මොවුන්ට හරි ප්‍රතිපත්තියක් නැහැ. මම පසුගිය සිකුරාදා මොරවක රැස්වීමට ගිය අවස්ථාවේ, අනුර කුමාර  සෙනසුරාදා මොරවකට පැමිණෙන නිසා එහිදී  පිළිතුරු දෙන්න කියලා මා ප්‍රශ්න දෙක්ක යොමු කළා. නමුත් එතුමා  ඊට පිළිතුරු දුන්නේ නැහැ. ඊට පසුව මම දැක්කා එතුමා අසනීප වෙලා කියලා. ඒ නිසා මේවට පිළිතුරු දෙන්න එතුමා ඉක්මණින්  සුවවේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

එතුමාට මම අහපු ප්‍රශ්නයට පිළිතුරු දෙන්න බැහැ, නමුත් මම යාපනයේ කළ කථාවට පිළිතුරු දී තිබුණා.  මේ රටේ ජනතාව දැනගත යුතුයි ඔබතුමන්ලා අපනයන ආර්ථිකයකයටද, ආනයන ආර්ථිකයකටද යන්නේ කියලා. අනුර කුමාර අපනයන ආර්ථිකයක් ගැන කථා කරන විට සුනිල් හඳුන්නෙත්ති ආනයන ආර්ථිකයක් ගැන කථා කරනවා.

ඒ වගේම අනුර කුමාර  අද  බැදුම්කරය ගැන කථා කරනවා. බැදුම්කරය ගැන විභාග කරන්න කිව්වේ මම. ඊට පස්සේ අපි කොමිසමක් දැම්මා. මම කොමිසමේදී කිව්වා මගේ කිසිම සම්බන්ධක් නැති නමුත් සමහර අය වැරදි කරුවන්ද කියා සොයා බැලීමට නඩු දාන්න කියලා. ඒ අනුව නඩු දැම්මා. නමුත් මහාධිකරණයේ එය ඔප්පු නොවු නිසා ඒ අය නිදහස් වුණා. අභියාචනාධිකරණයට ගිය විටත් එහිදී ද ඔප්පු වුණේ නැහැ. ඒ අනුව ඔවුන් නිදහස් වුණා.

අනුර කුමාර කියනවා බැදුම්කරයට සම්බන්ධ අයව නීතිය ඉදිරියට ගෙන එනවා කියලා. අධිකරණය කියනවා ඔවුන් නිදහස් කියලා. අවශ්‍යනම් මම කියන්නම් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිහින් ඇපෑලක් දාන්න කියලා, අනුර කුමාර දිසානයක මහතාට අවශ්‍ය නම් එතුමාගේ නීතිඥයොත් එතනට යවන්න පුළුවන්. අඩු තරමින් මොවුන් කතා කළ යුත්තේ මේවා දැනගෙනයි. මේ නඩුවෙන් කවුරු වැරදිකරු වුණාද, කවුරු නිදොස් වුණාද කියලවත් ඔවුන් දන්නේ නැහැ.

අනුර කුමාර  කියනවා දුෂණය නැති කරනවා කියලා. ඒ වගේම දුෂණ විරෝධි පනත ක්‍රියාත්මක කරනවා කියලා. නමුත් මම කියන්න කැමතියි දූෂණය වළක්වන්න විරෝධි පනත පමණක් ප්‍රමාණවත් නැහැ. එය ගෙනාවේ අපියි. දුෂණය වැළැක්විමට තවත් ගත යුතු පියවර අපි “පුළුවන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ මඟින් ඉදිරිපත් කර තිබෙනවා. මම කැමතියි එතුමා ඒවට එකඟ වෙනවද කියලා අහන්න.

අපරාධයකින් අත්පත් කරගන්නා ලද දේපළ පිළිබඳ පනත් කෙටුම්පත අප ඉදිරිපත් කර තිබෙනවා. ඊට අනුර කුමාර  සහයෝගය දෙනවද? නැද්ද? කියා මම අහනවා.

ඊළඟට අපි ජාතික දුෂණ විරෝධි සැලැස්ම ක්‍රියාත්මක කරනවා. අනුර කුමාර ඊට සහය දෙනවද? කියලා මම අහනවා.

විගණකාධිපතිවරයාගේ බලතල පුළුල් කිරීම සඳහා 2018 අංක 19 දරණ ජාතික විගණන පනත සංශෝධනය කිරීමට එකඟද? නැද්ද? කියා මට කියන්න.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ආයතන අපි තවත් බල ගන්නවනවා. ඒකට සහාය දෙනවද? කියා මම අනුර කුමාරගෙන් අහනවා.

වත්කම් හා බැරකම් තොරතුරු දැන් වෙබ් අඩවියෙන් බලාගත හැකියි. ඔබ ඊට පක්ෂද? නැද්ද? මූල්‍ය  අපරාධ හා මුදල් විශුද්ධිකරණය පිළිබඳ නීතිය දැඩි කිරීමට එකඟ වෙනවද? නැද්ද?  සමාගම් නීති සංශෝධනය කිරීමට එකඟ වෙනවද?  කියලා මම ඔහුගෙන් අහනවා.

දැන් දෙවැනි ප්‍රශ්නය ඇයි ඔබේ දූෂණ විරෝධී වැඩසටහන එක පනතකට සීමා කර තිබෙන්නේ?  ඇයි  අප සම්මත කළ අනෙක් පනත්වලට සහාය ලබා නොදෙන්නේ? ඇයි  ඒ ගැන අනුර නිශ්ශබ්ද කියා මම අහනවා. මෙම කටයුතු වෙනුවෙන් පනත් මාලාවක් අවශ්‍යයි.

ඒ නිසා මම මා මිත්‍ර අනුර කුමාරට ප්‍රශ්න දෙකක් යොමු කරනවා. පළමු ප්‍රශ්නය අපනයන ආර්ථිකය පිළිබඳ ඔබේ ප්‍රතිපත්තිය රටට කිවයුතුයි. දෙවැනි ප්‍රශ්නය අපේ දුෂණ විරෝධි වැඩසටහනට සහාය දෙනවද නැත්නම් එක නීතියකට සිමා කර ගන්නවද කියා කිවයුතුයි.

අනුර කුමාර දිසානායක මගේ මිත්‍රයා මට මේකට පිළිතුරු ලබා දෙනකන් මම මේ ප්‍රශ්නය දිගටම ඔහුගෙන් අහනවා. ඡන්දය කියන්නේ විවාදයක්. එක වේදිකාවක අහන ප්‍රශ්නයට අනෙක් වේදිකාවේ පිළිතුරු දිය යුතුයි. අනුර ඔබ වේදිකාවේ සිටිය යුතුයි. ඒ නිසා ඔබතුමා ඉක්මණින් සුවපත් වී මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.  

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා,

පසුගිය දා මේ ස්ථානයේම ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් තිබුණා. එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් කිව්වා පුලුවන්නම් වැලිමඩ රැස්වීමක් කරන්න කියලා. අද  ජනතා විමුක්ති පෙරමුණේ රැලියට වඩා ජනකායක් මේ රැළියට පැමිණ සිටිනවා. අප කොහෙන්වත් සෙනඟ ඇදලා නෑ. මේ ඌව පරණගම- වැලිමඩ ජනතාව විතරයි.

ජනතා විමුක්ති පෙරමුණ කියනවා සියයට අනූ දෙකක් තැපැල් ඡන්ද ඔවුන්ට ලැබිලා තියෙනවා කියලා.  මහින්ද රාජපක්ෂ  මහත්තයා යුද්ධය දිනලත් ඡන්ද ගත්තේ  සියයට පනස් අටයි. ඒක හින්දා ජන්දෙ ගණන් කරනකොට ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කියන අතේ පැලවෙන බොරු එලිවෙනවා.

i-road ව්‍යාපෘතියෙන් අපට අසාධාරණයක් වුනා. නැදුම්ගමුව පාර ඉදිකිරීම් කටයුතු නැවතිලා තිබෙනවා. ඒ නිසා මීළඟ ජනාධිපතිවරයා ලෙස පත් වුනාට පසුය ඩොලර් මිලියන 50ක් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට ලබා දෙන්න කියා යෝජනා කරනවා. ජනාධිපතිතුමා වෙනුවෙන් ඌවෙ ජනතාවට කළ යුතු  සෑම දේම මා ඉටු කරනවා.  ජනාධිපතිවරණයේදී ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය වැඩි ඡන්දයෙන් ජනාධිපතිවරයා ජයග්‍රහණය කරන බව මම විශ්වාසයෙන් කියනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වේදිකාවේ සියලු පක්ෂ එකතු වී සිටිනවා.රට බංකොලොත් වී ආර්ථිකය කඩා වැටුණු වෙලාවේ  කිසිදු පක්ෂ නායකයෙක් රට භාර ගැනීමට ඉදිරිපත් වුණේ නැහැ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිම කොන්දේසියක් නැතුව රට භාරගෙන ජනතාව පීඩාවෙන් මුදා ගැනීමට කටයුතු කළා. පසුගිය වසර දෙක තුළ ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙළ නිසා රටේ ආර්ථිකය කෙමෙන් කෙමෙන් ස්ථාවර කිරීමට හැකි වුණා. ආර්ථික වැඩපිළිවෙල හා රටේ සාමකාමී බව ස්ථාපිත කිරීමෙන් පසුව විදේශ සංචාරකයන් ලංකාවට පැමිණීම වැඩිවුණා. සංචාරක කර්මාන්තය දියුණු වුණා.  අද වැලිමඩ ප්‍රදේශයත් සංචාරක කලාපයක් බවට පත්වෙමින් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරි වසර පහටත් මේ රටට අවශ්‍යයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය,

මම දිගු කාලයක් තිස්සේ ඔළුවේ තිබුණු බරක් බිමින් තියලා, ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වුණා. මා අවුරුදු විස්සක් දේශපාලනය කළා.  මම සජිත් ප්‍රේමදාස මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ මහතා යන නායකයන් දෙදෙනාගේම ලක්ෂණ හොඳට දන්නවා.

මීට වසර දෙකකට පෙර රටේ ඇතිවූ ආර්ථික අවපාතය නිසා හිටපු ජනාධිපතිවරයා රටෙන් පැනලා ගියා. එවිට ජනතාව කන්න නැතුව, ඉන්ධන නැතුව ,ආහාර නැතුව විශාල දුක් වින්ඳා. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහතා නොබියව  රට භාරගෙන නිවැරදි දිශානතියට ගෙන  යාමට කටයුතු කළා. මෙවර ජනාධිපතිවරණයෙන් පසුවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් උපරිම සේවය ලබා දෙන බව මට විශ්වාසයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනග්‍රහණය ඔබේ ජයග්‍රහණයක් වෙනවා.

හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා,

මෙවර ජනාධිපතිවරණය පැවැත්වන්නේ රට බේරගත් නායකයා සහ ඇඟ බේරා ගත් නායකයන් අතරයි.  ජනතා විමුක්ති  පෙරමුණේ කයිවාරුකාරයන් ඉතිහාසයේ කළ දේවල් අප හොඳට දන්නවා.ඒ භීෂණය තවත් මේ රටට අවශ්‍යද කියා ලබන 21 වැනිදා ජනතාව තීරණය කළ යුතුයි.  

රට බංකොලොත් වූ වෙලාවේ රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවා ගැනීමට නොහැකිව සිටි අවස්ථාවේ ඇඟ බේරාගෙන සිටි කණ්ඩායම්  අද වේදිකාවල වීරයන් බවට පත් වෙන්න හදනවා. අරගලය අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා ගෝල්ෆේස් කිට්ටුවට ඇවිත් ආණ්ඩුවට මාසයක් දෙනවා ගෙදර පලයන් කියලා කිව්වා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා රට බාරගන්න කියපු වෙලාවේ පැනල දිව්වා.

මිනිස්සු පෝලිම්වල දින ගණන් කුසගින්නේ ඉන්න දුක දැකලා ආර්ථිකය ගොඩ ගන්න එකතු වෙන්න සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැටුණු රට භාරගෙන අඩියෙන් අඩිය ඉදිරියට ගෙන ආවා. ඒ වෙලාවේදිත් සජිත් ප්‍රේමදාසයි, අනුර දිසානායකයි කළේ කකුලෙන් ඇදපු එක විතරයි. අ

නමුත් පැය දෙකක් ඇතුලත ගෙවල් ගිනි තියන්න අනුර දිසානායකගේ මැර කණ්ඩායම් කටයුතු කළ ආකාරය මේ රටම දැක්කා.  එහෙම නායකයන්ට මේ රටේ මැතිවරණයක්  දිනන්න බෑ.

දැන් ඉන්ධන ප්‍රශ්න,ආහාර ප්‍රශ්න, ඖෂධ ප්‍රශ්න නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේ ඡන්ද ලක්ෂ හැටකින්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩපිළිවෙල තව ටික කාලයකින් මේ රට යළි නොවැටෙන තැනකට පත් කරනවා. ඒ නිසා මේ රටට යමක් කරලා පෙන්නපු නායකයාට දෙනවද ? නැත්නම් වේදිකාවේ ඉඳන් බොරු කියන  කයිවාරුකාරයින්ට දෙනවද කියා ඔබ කල්පනා කළ යුතුයි. මේ ජනාධිපතිවරයා ආර්ථිකය ගොඩ ගත් බව වසර දෙකහමාරකින් අමතක වෙනවා නම් මේ රටේ ඉරණම ඉතාම ඛේදනීයයි. මේ රට ඉහළට ඔසවා තබන අභියෝගය බාර ගත හැකි එකම නායකයාට රට භාර දෙන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකයින් , අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඒ.අරවින්දකුමාර්, පළාත් සභා හිටපු මන්ත්‍රී රවී ගුණවර්ධන යන මහත්වරුන්, විවිධ පක්ෂ නියෝජනය කරමින් පළාත් පාලන ආයතන හිටපු ප්‍රධානීන්  සහ සභිකයින් ඇතුළ විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Read more