ලයින් කාමර අහෝසි කරනවා

• වතුකරයේ ජනතාවට ද උසස් පහසුකම් සහිත ගම්මානයක ජීවත්වීමේ අයිතිය ලබාදීම මගේ අපේක්ෂාවයි.

• පෝලිම්වල දුක් විඳි ජනතාව  රටේ අනාගතය පිළිබඳ බියෙන් පසු වුණා.

• ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ එය නිවැරදි කිරීමටයි.

• සජිත්ගේ හා අනුරගේ පොරොන්දු අද රටට වලංගු නැහැ : ඒවා කළොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා.

• රට ගොඩනගන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ ජන වරම මට ලබා දෙන්න - ජනපති හපුතලේදී කියයි.

තමන් ලයින් කාමර යුගය අහෝසි කරන බවත්, වතුකරයේ ජනතාවට ද සින්නක්කර ඉඩම් අයිතිය ලබාදී උසස් පහසුකම් සහිත ගම්මානයක ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (08) පස්වරුවේ හපුතලේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එදා පෝලිම්වල දුක් විඳි ජනතාව  රටේ අනාගතය පිළිබඳ බියෙන් පසු වූ බවයි. තමා ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ ඒ සියල්ල  නිවැරදි කිරීමට බවත්, ඒ වෙනුවෙන් පසුගිය දෙවසර තුළ ආරම්භ කළ වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමේ ජනවරම මෙවර ජනාධිපතිවරණයේදී ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

බණ්ඩාරවෙල, හපුතලේ සහ දියතලාව කියන ප්‍රදේශ මම දීර්ඝ කාලයක් පුරා දැනගෙන සිටියා. අද මම පැමිණ තිබෙන්නේ අඩුපාඩු නැති හපුතලේ ආසනයටයි. 2022 වසරේදී මම මෙහි පැමිණෙන විට ඉන්ධන, ගෑස් හා ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් පෝලිම් තිබුණා. රැකියා තිබුණේ නැහැ. විදුලි බලය තිබුණේ නැහැ. රටට අනාගතයක් තිබෙනවාද කියා ජනතාව බියෙන් පසු වුණා. මම ආණ්ඩුව භාරගත්තේ මේ සියල්ල නිවරැදි කිරීමටයි. මේ රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීම එදා මම භාරගත්තා. ඒ වෙනුවෙන් අසීරු තීරණ ගැනීමට මට සිදුවුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන අපි ආරම්භ කළා. මම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩ කර තිබු නිසා ඔවුන් සමඟ වැඩ කරන්නේ කොහොමද කියා මම දනන්වා. ඒ නිසා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනිමට මට හැකි වුණා.

කෙසේ හෝ අද අප මේ රටේ ආථිකය ශක්තිමත් කර තිබෙනවා. ඒ වගේම ජනතාවගේ ජිවන බර අඩු කරමින් ඔවුන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළද ආරම්භ කර තිබෙනවා. ඉදිරියේ දී රුපියල තවත් ශක්තිමත්වීමත් සමග භාණ්ඩ මිල තවත් අඩු වෙනවා.

2023 වසරේ රජය සතුව මුදල් තිබුණා. අපි අඩුආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අස්වැසුම වැඩසටහන ආරම්භ කළා. ඒ යටතේ සමෘද්ධිය වගේ තුන් ගුණයක ප්‍රතිලාභ ජනතාවට ලබා දුන්නා. ලබාදෙන ප්‍රමාණය ලක්ෂ 18 සිට 24 දක්වා වැඩි කළා. ලයින් කාමරවල සිටින වැඩිහිටි අයටත් අස්වැසුම ලබාදීමට අප කටයුතු කරනවා.

2024 වසරේ අපේ රටේ ආර්ථිකය තවත් ශක්තිමත් වුණා. ඒ අනුව රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අප කටයුතු කළා. ඒ වගේම වතුකරයේ ජනතාවගේ වැටුප් වැඩි කිරීම කටයුතු කර තිබෙනවා. 2025 වසරේ ද ආර්ථිකය තවත් ශක්තිමත් වන නිසා උදය ආර්. සෙනෙවිරත්න වාර්තාව අනුව රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අප කටයුතු කරනවා.

ඒ වගේම අපි ලබාගත් ණය ආපසු ගෙවීමේදී සහන ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ අපට ණය ලබාදුන් රටවල් 18 මේ වන විට එකඟ වී තිබෙනවා. ඒ අනුව ඩොලර් බිලියන 10ක ණය සහනයක් අපට ලැබී තිබෙනවා. ඒ වගේම ණය ගෙවීමට ඇති කාලය 2043 දක්වා දීර්ඝ කර තිබෙනවා. මෙම ගිවිසුම් අනුව ඉදිරියට ගියොත් අපට දියුණු විය හැකියි. ඒ නිසා මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවාද, නැද්ද කියා මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තීරණය කළ යුතුයි.

සජිත් සහ අනුර කියනවා අපි ආරම්භ කළ වැඩපිළිවෙළ වෙනස් කරනවා කියලා. එවිට එම සහන ලැබෙන්නේ නැහැ. රුපියල නැවත කඩා වැටෙනවා. මේ රටේ ජනතාව ඊට සූදානම් නැහැ කියා මම දන්නවා. සජිත්ගේ හා අනුරගේ පොරොන්දු රටට ගැළපෙන්නේ නැහැ.

රටේ ආර්ථිකය ආපනයන ආරථිකයකට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළ අප මේ වන විට සකස් කර තිබෙනවා. එවිට වියට්නාමය, තායිලන්තය වැනි රටවල් වගේ විදේශ විනිමය අතිරික්තයක් තබා ගැනීමට අපට අවස්ථාව ලැබෙනවා. අප අලුත් ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට යා යුතුයි.

වතුකරයේ ජනතාවගේ වැටුප් වැඩි කිරීමට අප කටයුතු කරගෙන යනවා. ඒ වගේම අස්වැසුම ලබා දෙනවා. අපි ලයින් කාමර  ක්‍රමය අවසන් කරනවා. අපි වතුකරයේ ගම්මාන ඇති කර එම ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා. එවිට එම ජනතාවට  ද ගමේ ජනතාවට ලැබෙන වරප්‍රසාද හිමි වෙනවා.  

ඒ වගේම බණ්ඩාරවෙල විශාල ශිතාගාර ගබඩාවක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මේ ප්‍රදේශවල වගා කෙරෙන එළවළු හා පළතුරු මෙම ශිතාගාරයට එක් කර එතැනින් කොළඹට යැවිමට හෝ අපනයනය කිරීමට හැකියාව තිබෙනවා. අපි එම දියුණුව ඇති කළ යුතුයි.

ඒ වගේම මෙම පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කර නව රැකියා අවස්ථා උදා කරනවා. අපි රට දියුණු කරනවා. ආයෝජන කලාප ඇති කරනවා. ඩිජිටල් මධ්‍යස්ථාන ඇති කරනවා. ඒ වගේම අපි කාන්තාවන් අමතක කර නැහැ. කාන්තාවන් සවිබල ගැන්විමේ පනත අප ගෙනවිත් තිබෙනවා. ඒ වගේම කාන්තා හිංසනය වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.  

කාන්තාවන් වැඩි ප්‍රමාණයක් රැකියා වෙළෙඳපොළට එක් කර ගැනිමට අප පියවර ගෙන තිබෙනවා. මේ තුළින් ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ලැබෙනවා.

ඒ නිසා සැප්තැම්බර් 21 වනදා ගැස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ගසා මෙම වැඩපිළිවෙළ දිරියට ගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,

මේ වේදිකාව අමුතු වේදිකාවක්. අපට හුරුපුරුදු වේදිකාවක් නෙවෙයි. අපි මීට පෙර රැස්වීම් පැවැත්වූවේ විවිධ පක්ෂ ලෙස බෙදෙමින්. නමුත් අද මේ වේදිකාව දැක්කම මේ මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය පිළිබඳ කිසිම සැකයක් නැහැ. ඊයේත් මම එතුමා සමඟ යාපනයේ රැස්වීම් දෙකකට සහභාගි වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වගේම ජනකායක් උතුරේත් පෙළ ගැසී සිටිනවා. එතුමා කිසිම කෙනෙක් භාර ගන්න බෑ කියූ මේ රට යළි ගොඩ ගැනීමේ විශාල අභියෝගය තනියෙන් භාර ගත් වීරයෙක් බව කිව යුතුයි. එතුමා සිදු කළ එම ක්‍රියාව හේතුවෙන් හරිනම් අපි එතුමාව ඔසවා ගෙන ගොස් ජනාධිපති පුටුවෙන් තැබිය යුතුයි.

රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා,

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම දෙමළ පක්ෂ එක්වී සිටිනවා. මේ ආදර්ශය තුළින් අපි  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරනවා.

ජනතා විමුක්ති පෙරමුණ එදා වතු කම්කරුවන්ගෙන් පැහැර ගත් හැදුනුම්පත් ආපසු ලබා දෙන්න කියලා මම අදත් ඉල්ලා සිටිනවා. ඒ විතරක් නෙවෙයි ගිනි තැබූ තේ  කර්මාන්තශාලා නැවත හදලා දෙන්න කියලත් ඉල්ලනවා. ඔවුන් වතු සුපර්න්ටන්ඩ්ලා කී දෙනෙක් වෙඩි තබා ඝාතනය කළාද? අපට ගමනක් යන්න තිබුණ බස් ඍථ ගිනි තිබ්බා .

ඒ වගේම සජිත් ප්‍රේමදාසටයි, අනුර කුමාරටයි ඡන්දය දුන්නොත් අපි යළිත් අමාරුවේ වැටෙනවා. ඒ නිසා වතුකරයේ ජනතාවගේ සියලුම ඡන්ද ලැබෙන්නේ  ගෑස් සිලින්ඩරයටයි. අපේ දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, වතු කමස්කරුවන්ගේ වැටුප් ආදි මේ සියල්ල ජනාධිපතිතුමාට භාරයි.

අපිට ගෙවල් දුන්නේ, ගුරු පත්වීම් දුන්නේ, වැඩිපුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්, පලාත් සභා මන්ත්‍රීන් පාර්ලිමේන්තුවට යැව්වේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි දමිළ වතුකර ජනතාවට ගෞරවයක් වශයෙන්  අද නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස සෙන්දිල් තොන්ඩමන් මහතා පත් කළේත් රනිල් විකුමසිංහ මැතිතුමායි. අපි එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප විය යුතුයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා,

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දීමට ගත් තීරණයේ කිසිම වෙනසක් නැහැ. එතුමා එදා භාර ගත් අභියෝගයට ඉදිරි වසර  පහ තුළත් මුහුණ දිය යුතු වෙනවා. අපේ කොන්දේසිය වන්නේ ඒ වගකීම එතුමා ගත යුතුයි කියන එක පමණයි.

රටේ ආර්ථික අර්බුදයක් ඇති වී පෝලිම් යුගයක් බිහිවී තිබූ වෙලාවේ කවුරුත්  පෝලිම් යුගය අවසන් කරන්න ඉදිරිපත් වුණේ නෑ. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාලයේ කිසිම පෝලිමක් ඇති වුණේ නැහැ.පෝලිම් යුගය අවසන් කරමින්  එතුමා  පුළුවන් බව ඔප්පු කළා. ඒ නිසා අද එතුමාට ඔබ ඉදිරියට පැමිණ ඒ බව කියන්න හැකියාව තිබෙනවා. අනෙක් එක් අපේක්ෂකයෙකුටවත් කියන්න දෙයක් නැහැ. ඒ නිසා අපි ජනාධිපතිවරණයෙන් එතුමාව ජයග්‍රහණය කරවිය යුතුයි.

රාජ්‍ය අමාත්‍ය ඒ.අරවින්දකුමාර් මහතා,

මේ වනතුරු සියලු දේශපාලන පක්ෂ නවග්‍රහයන් වගේ එකිනෙකාට පිටුපා සිටිමන් කටයුතු කළා. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සියලු පක්‍ෂ ඒකරාශී කර ගෙන එකම වේදිකාවකට ගෙන එන්න සමත් වී තිබෙනවා.

කඳුකර ජනතාවට තමන්ගේම ඉඩමක හිමිකම ලබා දීමට එතුමා කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව කඳුකර ජනතාවට නිවාස හා ඉඩම් අයිතිය ලැබෙන දින වැඩි ඈතක නොවන බව කිව යුතුයි.

අපේක්ෂකයින් 38 දෙනෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. ඒ අතරින් බුද්ධිමත් මෙන්ම ශක්තිමත් ජාත්‍යන්තර සම්බන්ධතා ඇති එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශක්තිමත්ම දිස්ත්‍රික්කය බදුල්ල දිස්ත්‍රික්කයයි. බදුල්ලේ අපි සියලු දෙනා එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අත්වැල් බැඳ ගෙන සිටිනවා. වැඩි ඡන්දයෙන් ගෑස් සිලින්ඩරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමට මුළු බදුල්ලම එක් වී සිටිනවා. මීට පෙර  වේදිකා කිහිපයක සිටි අපි එකම වේදිකාවකට ගෙන ඒමට කටයුතු කළේ එතුමායි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා,

මේ රට වෙනුවෙන් අපි එක් වේදිකාවකට ගොඩ වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවන්නට අපට මේ අවස්ථාව හිම වෙන්නේ නැහැ. එදා පෝලිම් වල ඉඳලා වත් ගන්න නැති වුණ ‘ගෑස් සිලින්ඩරය’ ජයග්‍රහණය කරවන්න ස්වාධීන පක්ෂයක් ලෙස අද මේ වේදිකාවේ එක පේළියට අපි අසුන් ගෙන සිටිනවා.

එතුමා තනියෙන් ඇවිත් මේ රට ගොඩ නැඟීමේ අභියෝගය භාර ගත්තේ අපිව විශ්වාස කරලයි. මේ තරම් වේගයකින් රටක් ස්ථාවර කළ නායකයෙක්  ලෝකයේ ඉන්නවා නම් ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි. විවිධ අණ පනත් ගෙනෙමින් මේ රට වේගවත් සංවර්ධනයක් කර ගෙන යාමේ සැලසුම් එතුමා සතුයි. අද බංග්ලාදේශය, මාලදිවයින, ඉතියෝපියාව වගේ රටවල්වලට  එතුමා ගේ ක්‍රමය අනුගමනය කිරීමට ජාත්‍යන්තරයෙන් උපදෙස් ලැබෙනවා.

හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නංගර මහතා,

ජනාධිපතිතුමා මේ රටේ ගමන් මග වෙනස් කළා. අපි හිතුවේ නෑ මෙහෙම නිදහසේ හුස්ම ගන්න පුලුවන් දවසක් එයි කියලා. මේ රට භාර ගෙන ලැබෙන මුදල් සියල්ල ඉතා පරිස්සමින් අවශ්‍ය දේට විතරක් භාවිතා කර බොහොම අපහසුවෙන් මේ රට යථා තත්ත්වයට ගෙනවිත් තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය අනුව එතුමාගේ මේ ගමන ඔබ අනුමත කළ යුතුයි. අභියෝගාත්මක වසර දෙකකට පසුව, එතුමා තමන්ට මේ රට ගොඩ නඟන්න ‘පුළුවන්’ කියලා පෙන්නලා ඔබේ පරමාධිත්‍ය බලයෙන් ජනාධිපතිධුරයට පත් වීමටයි ඔබේ ඡන්දය ඉල්ලා සිටින්නේ.

එක්සත් ජාතික පක්ෂයේ උදාර නායකයෝ උඩරට දියුණු කළා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කඳුකර දශකය නමින් විශාල වැඩ සටහනක් දියත් කර තිබෙනවා. ඒ සඳහා ඉන්දියාවෙන් අරමුදල් ලබා ගෙන විශාල මුදලක් යොදවා තිබෙනවා. එතුමා අඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කරන කෙනෙක්. මේ රටට අවශ්‍ය වන්නේ කයියනායකලා නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේ වැඩියෙන් වැඩ කරන කෙනෙක් බව කිව යුතුයි.

මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකයින්, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු විවිධ පක්ෂ නියෝජනය කරමින් පළාත් පාලන ආයතන වල හිටපු ප්‍රධානීන්  සහ සභිකයින් මෙන්ම විශාල ජනතාවක්ද එක සිටියහ.

Read more